මැද පෙරදිග යනු ශ්‍රමිකයින් උදෙසා ලෝකයේ ඇති වඩාත් තරගකාරී හා ජනප්‍රිය වෙළඳපළකි. මිනිසුන් කොතෙක් මැද පෙරදිග සේවයට යාමට පෙළඹී ඇද්දැයි කිවහොත් එහි නිතරම ඉල්ලුමට වඩා වැඩි සැපයුමක් පවතී.
මැදපෙරදිග, විශේෂයෙන්ම දස ලක්ෂ 35කට ආසන්න ජනගහනයක් වෙසෙන GCC රටවල (Gulf - Corporation Council බහරේන්, කුවේට්, ඕමාන්, කටාර්, සෞදි අරාබිය) දළ වශයෙන් විදේශවලින් පැමිණි සේවකයින් දස ලක්ෂ පහළොවක් වෙතැයි සඳහන්වේ. බොහෝ දෙනෙකු නොදන්නේ වුවද මෙම සංඛ්‍යාව, ඊශ්‍රායලයේ හා පලස්තීනයේ මුළු ජනගහන එකතුවද ඉක්මවා යන්නකි. මොවුන්ගෙන් බොහෝ දෙනා මුස්ලිම් රටවලින් පැමිණි මුස්ලිම් ජාතිකයන්ය. ඉන්දියාවෙන් වුවද මැදපෙරදිග සේවය සඳහා යනු ලැබූ වැඩි දෙනා මුස්ලිම් ජාතිකයන්ය.
මානව හිමිකම් කටයුතු හා සෞඛ්‍ය සේවා ක්‍ෂේත්‍රයේ පරිගණක කටයුතු පිළිබඳ විද්වතෙකු වූ ජේ ජොන්සන් (Jay Johnson) ෆ්රන්ට් පේජ් සඟරාවේ සාකච්ඡාවකට සහභාගි වෙමින් කියා සිටියේ GCC සාමජික රටවල් විදේශීය සේවකයිනට සලකනු ලබන්නේ අති අමානුෂීය ආකාරයෙන් බවයි.
මේ කාරණයේදී අප සිත්හි මතුවන ගැටලුව වන්නේ සේවකයිනට මේසා අමානුෂීය ලෙස සලකනු ලබද්දීත්, ජීවිත අවදානම පවා නොතකා දකුණු ආසියානු ජාතිකයින්, මුස්ලිම් ජාතිකයින් පවා මැද පෙරදිග රැකියාවන් සොයා යන්නේ මන්ද යන්නය.
ජේ. ජොන්සන් පවසන අන්දමට ඊට හේතුවූ කරුණු කීපයකි. එකක්, ඔවුනට තම මවු බිමෙහි රැකියාවක් සොයා ගැනීමට ඇති අපහසුවයි. රැකියාවක් සොයා ගත්තද සෑහෙන පමණ වැටුපක් ඇති රැකියාවක් සොයා ගැනීම අපහසුය. අනෙක, බටහිර යුරෝපීය රටක සේවය කිරීමට තරම් උගත්කමක් නොමැතිවීමය. එබඳු තත්ත්වයක් යටතේ මැද පෙරදිග සේවයට යන විදේශික සේවකයිනට මුහුණ පාන්නට වන අතුරු ආන්තරා ගැන අසන්නට ලැබුනද, දිළිඳු ජනතාව තම පවුල තුළ ඇති ආර්ථීක තත්ත්වයේ යථාර්ථය හමුවේ, තමාටත් එබඳු දරුණු ඉරණමකට මුහුණ පාන්නට සිදු නොවනු ඇත යන හැඟීමෙන්, අවදානම බාරගෙන එබඳු රටවල සේවයට යාමට පෙළඹෙති.
ඉහත කී GCC රටවල වෙසෙන ප්‍රධාන පෙළේ පුරවැසියන් ස්වාභාවික ගෑස් සහ තෙල් ආකර හිමියන් බැවින් අතිශයින්ම ධනවත්, සුපිරි ජීවිත ගත කරන්නෝය. ඔවුහු කොතරම් ධනවත්ද යත් ඔවුන්ගේ සුපිරි වාහනවල තෙල් මාරු කිරීමට අවශ්‍ය වූ විට ඔවුහු තම වාහන ලන්ඩන් වෙත යවනු ලබයි. එය යාමට හා ඒමට සැතපුම් 6500ක් වන ඉතා දිගු දුරකි. එබඳු පුද්ගලයින්ගේ සේවය සඳහා යාමෙන් තමන්ටද වැඩි වාසි ලබා ගත හැකිය යන හැඟීමද බොහෝ විට දකුණු ආසියානු රටවල දිලිඳු ජනයා ඒ රටවල සේවය සඳහා ඇදී යාමට බලපා තිබේ.
ඇත්ත වශයෙන්ම මැදපෙරදිග රටවල ධනවත් පවුල්වලට, තම ගෘහසේවිකාවනට සාධාරණ පහසුකම් සලසා දී සෑහෙන වැටුපක් ගෙවිය හැකි වුවද බොහෝ විට ඔවුහු එසේ නොකරති. ඒ වෙනුවට ඔවුහු තම සේවක සේවිකාවනට මනුෂ්‍යයෙකුට වැඩ කළ හැකි කාල සීමාව ඉක්මවා සේවයේ යොදා ගනු ලබන අතර වාචිකව හා කායිකව ඔවුන්ව අපහරණයද කරනු ලබයි. හිතාමතාම වැටුප් ගෙවීම පමා කරයි. නැතහොත් බොරු හේතු දක්වමින් වැටුප් කපා හැරීම හෝ සමහර විට කොහෙත්ම වැටුප් ගෙවීමක් සිදු නොකරයි. එපමණක් නොව බොහෝ අවස්ථාවල සේවිකාවනට පහර දීම,
දූෂණය කිරීම හා මරා දැමීමද සිදු කරයි.