1817 - 1818 ඌව වෙල්ලස්‌ස මහ කැරැල්ල යම් යම්
හේතුමත අසාර්ථක වීම අපේ දේශයේ තීරණාත්මක කඩ ඉමකදී සිදු වූ එක් අභාග්‍ය සම්පන්න
සිදු වීමකි.
කැරැල්ල මෙහෙයවු කැප්පෙට්‌ටිපොල,
මඩුගල්ල හා පිළිමතවලව්වේ දිසාව ඇතුළු 18 දෙනකු කැරළිකාරයන්, පෙරළිකාරයන් සහ බ්‍රිතාන්‍ය මහරජතුමාගේ සතුරන් හැටියට නම් කරමින්
ඉංග්‍රිසි ආණ්‌ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් ආඥ පත්‍රයක් නිකුත් කළේය.
කැප්පෙට්‌ටිපොල මඩුගල්ලේ හා පිළිමතලාවේ දිසාවන්ගේ හිස් වෙනුවෙන් ඔවුන් අල්ලාදෙන
කෙනකුට පගෝදි 1000 බැගින් තෑගි දෙන බවටත්, කිවුලේ ගෙදර මොහොට්‌ටාල අල්ලා දෙන අයෙකුට පතාග 500 ක්‌ද, ඇල්ලේපොල අදිකාරම්තුමා අල්ලා දෙන කෙනෙකුට රික්‌ස් ඩොලර් 1000 ක් තෑගි කරන බවටත් මෙම ආඥ පත්‍රයේ සඳහන් විය.
කැරැල්ල අසාර්ථක වී ඇති නිසා මෙම 18 දෙනා පරවහගම ගම්මානයේ වෙත පසු බැස්‌සේය.
කැප්පෙට්‌ටිපොල දිසාවට තිබු ඥති සම්බන්ධතාවයක් මත මෙම ගම්මානය තෝරා ගෙන ඇත.
මෙම ගම්මානය එකල හඳුන්වා ඇත්තේ
වඩිගමංගාව නමිනි. අතීතයේදී වඩිග පරපුරට අයත් රජවරු මෙම ප්‍රදේශය සමග විවිධ
සම්බන්ධතා පැවැත්වු නිසා එකල මෙම ප්‍රදේශයට වඩිගමංගාව යෑයි කියනු ලැබූ බව පැරණි
තොරතුරුවලින් හෙළිදරව් වේ.
අනුරාධපුර හා මාතලේ දිස්‌ත්‍රික්‌ක දෙක
වෙන්වන කහගල්ල කඳු අසල මෙම වඩිගමංගාව පිහිටා තිබේ. පරවහගම නමින් හඳුන්වන මෙම
ගම්මානය අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පලාගල ප්‍රාදේශිය ලේකම් කොට්‌ඨාසයට අයත්වේ.
කලාවැව සිට කිලෝ මීටර් දහයක් පමණ ගියතැන මෙම පරවහගම ගම්මානය හමුවෙන අතර මෙහි ප්‍රධාන
මාර්ගයේ සිට මීටර් 500 ක් පමණ දුරින් වන ලැහැබින් වටවූ ප්‍රදේශයක
කැප්පෙට්‌ටිපොලගේ පිළිරුවක් තනා ඔහුව අත්අඩංගුවට ගත් ස්‌ථානය බවට සනාථ කර ඇත.
එම ග්‍රාමයේ කැප්පෙට්‌ටිපොල දිසාවගේ
ඥති සහෝදරියකගේ වලව්වක් තිබූ නිසා මෙම පිරිස පරවහගමට පසුබැස ඇත. එමෙන්ම මෙම
විරුවන් ගමට පැමිණි දා සිට ගම්වාසීන් රැකවරණය ලබාදී ඇත. පාරවල් හරහා ගස් කපා දමා,
කාණු කපා වැටියොදා සියලු පැතිවලින් ආරක්‌ෂා කොට
පාරවල් වසා දමා ඇත. පාරවල් වැසූ ගම යන අර්ථයෙන් මෙය පරවහගම වූ බව එම ගම්වැසියන්ගේ
මතයයි.
මාසයක පමණ කාලයක් මෙම ගමේ සිටින අතර
කෑම බීම සපයා ඇත්තේ ඥති සහෝදරිය විසිනි. ගම්වාසීන් ආරක්‌ෂාව සපයා ඇත. දැනට වලව්වක්
තිබු බවට සාධක කිසිවක් ෙනැමැතිවුවත් පැරණි අය පවසා තිබුණේ මෙහි වලව්වක් පමණක්
නොව පිටස්‌තර අයට නැවතීමට හැකි මඩුවක්‌ද සාදා තිබූ බවය. මරක්‌කල වෙළෙන්ඳෙක් මෙම
මඩුවේ නැවතීම සඳහා එම දිනවල මෙම ගමට පැමිණ ඇත. ගම්වාසීන් විසින් ඔහුට පවසා එම
දිනයේ තොවිලයක් ඇති බැවින් නවාතැන් දිය නොහැකි බවය. පාරවල් හරස්‌කර තිබෙන
ආකාරයෙනත්, නවාතැන් දීම ප්‍රතික්‍ෂේප කළ
ආකාරයෙනුත්, ඔහුට කිසියම් සැකයක් ඇති වී ඇත. රාත්‍රිය
වනතුරු වන ලැහැබක සැඟවී සිටි ඔහු රාත්‍රියේදී වලව්ව ආසන්නයට පැමිණ කුමක්‌ද
සිදුවන්නේ යන්න බලා සිට ඇත.
කැප්පෙට්‌ටිපොල ඇතුළු පිරිස වලව්වට එනු
දුටු ඔහු මොවුන් ඇල්ලීම සඳහා ඉංග්‍රිසීන් විසින් සකස්‌කර ඇති ආඥ පත්‍රය සිහිවිය.
මොවුන් අල්ලා දුනහොත් තෑගි ලබා ගැනීමට හැකිවේයෑයි සිතූ ඔහු එම රාත්‍රියේම සැතපුම් 16 ක් පයින්ම මානාවේ කඳුවුරට ගොස් ඔත්තුව
දුන්නේය. ලෙප්ටිනන්ට් විලියම් ඔනිල් ඇතුළු 30 දෙනෙකුගෙන් යුත් භට කණ්‌ඩායමක් එකෙණෙහිම පරවහගම බලා පිටත්විය. ඔක්‌තෝම්බර්
28 වැනි දින අලුයම පැමිණි එම භට කණ්‌ඩායම
වලව්ව වටලන ලදී. පිළිමතලව්වේ දිසාව ඔත්පලව යහනක වැතිර සිටියේය. මඩුගල්ලේ දිසාව,
දේදුණුපිටියේ මොහොට්‌ටාල, වේගුරු ආරච්චි, උඩුගම මොහොට්‌ටාල, කෙම්පිටියේ මොහොට්‌ටාල, කුඩාගම මුහන්දිරම්, දුල්ලෑවේ මොහෙට්‌ටාල, අම්ගොල
මොහොට්‌ටාල, ඉරවතුරේ මොහොට්‌ටාල, කුරුක්‌කුඹුරේ මොහොට්‌ටාල, හොරොම්බාවේ මොහොට්‌ටාල, බොරු වැවේ කෝරාල, මොරවැවේ මොහොට්‌ටාල, කුච්චලවින්නේ
මොහොට්‌ටාල, මැදගම මොහොට්‌ටාල, හේවාපොල මොහොට්‌ටාල යන 16 දෙනා පලා ගියහ.
ඔවුන් සමග පැප්පෙට්‌ටිපොල පැනයැමට
කොතෙකුත් ඉඩ ප්‍රස්‌ථාව තිබුණත් ඔත්පලව සිටි තම සගයාව දමා යැමට තරම් ඔහුගේ සිත ඉඩ
දුන්නේ නැත. කැප්පෙට්‌ටිපොල දිසාව ඉදිරියට පැමිණ "මම තමයි කැප්පෙට්‌ටිපොල"
යනුවෙන් අභීතව ඉදිරිපත් වී ඉංග්‍රිසී හමුදාවේ අත්අඩංගුවට පත්විය. රෝගාතුරව
කවිච්චියක සැතපී සිටි පිළිමතලාවේ ද අත්අඩංගුවට ගන්නා ලදී. ඊට තෙදිනකට පසු පැනගිය
මඩුගල්ලේ දිසාව ප්‍රමුඛ කැරලිකරුවන් පිරිස මාතලේදී අත්අඩංගුවට ගෙන ඇත.
තමා ලත් අනපේක්‌ෂිත ජයග්‍රහණයෙන්
ලෙප්ටිනන්ට් විලියම් ඔනිල් අමන්දානන්දයට පත්විය. ඔහු අප්‍රමාදව මේ කටයුත්ත
පිළිබඳව වාර්තාවක් සකස්‌කොට පරවහගම සේනාංකය භාරව සිටි කපිතාන් ප්‍රේෂර් වෙත යවන
ලදී. කපිතාන් ප්‍රේෂර් ලෙප්ටිනන්ට් ඔනිල්ගේ නිර්භීත ක්‍රියාව අගය කර මෙම සිරකරුවන්
මහනුවරට ගෙන ඒ මේ අවසරය පතා සංදේශයක් සත් කෝරළය භාරව සිටි අණදෙන නිලධාරී හුක්
වෙත යෑව්වේය. ඔහු විසින් විශේෂ සංදේශයක් පිළියෙළ කර ආණ්‌ඩුකාර බ්‍රවුන්රිගේ වෙත
වහාම යවන ලදී. එම සංදේශයේ සිංහල පරිවර්තනය මෙසේය.
1818 ඔක්‌තොම්බර් 30 වැනිදා
කුරුණෑගල
උතුමාණෙනි,
තියුණු බුද්ධියෙන් හා අභීත
රණකාමීත්වයෙන් හෙබි ඒ අසමසම නිලධාරී ප්‍රේෂර්ටත් එසේම ඔහුගේ සංවිධානය යටතේ කටයුතු
කළ නිලධාරී පිරිසටත්, යුක්‌තිය ඉටු කරලීමේ කිසිම දෙයක් ගැන
සිතීමට පවා මම අපොහොසත්ව සිටින්නෙමි. මේ සේනාංකයේ සියල්ලන් තුළම පැවැති ආත්ම ශක්‌තිය
නිසාම බිහිසුණු කාලගුණ තත්ත්වය, වෙහෙස හා අනෙකුත් හැර හිරිහැර බාධාවක්‌ම
පරාජය කොට වර්ණනා විෂයාත්‍රිකාන්ත වූ මා හැඟි ජයග්‍රහණයන් ඔව්හු අත්කොට ගත්හ. මේ
විජයග්‍රහණය ඔබතුමාගේ ද අමන්දානන්දයට හේතුවනු නිසැකය. එසේම අප මහ රජතුමාණන්ටද එය
විජයග්‍රහණයකි.
ඔවුන් වෙනුවෙන් මවිසින් යවන ලද ආහාරපාන
පවා අයහපත් කාලගුණය හේතුකොට මගරැඳී ඇති බව පවසන්නේ ඉමහත් සිත් වේදනාවෙනි. සම්පූර්ණ
විජයග්‍රහණය පිළිබඳ විස්‌තර අඩංගු ප්‍රේෂර්ගේ සංදේශයක්, ලෙප්ටිනන්ට් ඔනිල්ගේ සංදේශයත්, ඔබ තුමන්ගේ සැළකිල්ලට භාජනය වනු පිණිස මේ සමග එවමි. ඔබතුමාගේ අණ
ලැබෙනතුරු සිරකරුවන් මෙහි රඳවාගන්නෙමි.
ඔබතුමාගේ යටහත් සේවක, ඇල්. හුක්.
හතර කෝරළයේ අණදෙන නිලධාරී තැන
බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා මේ ලිපිය
ලැබීමෙන් පසු ප්‍රීතියෙන් ඔඳවැඩී ගියේය. ඔක්‌තොම්බර් 31 දින මුළු දිවයින පුරා සෑම කඳවුරකම ජය සමරන ප්‍රීති උත්සව දිනයක් සේ
සලකා විශේෂ නිවේදනයක් නිකුත් කළේය. එසේම සිංහලේ විමුක්‌ති සටනේ ප්‍රබලතම බලකනු
දෙකක් වූ කැප්පෙට්‌ටිපොල හා පිළිමතලාව සිරභාරයට ගැනීම ගැන විශේෂ ගැසට් නිවේදනයක්‌ද
නිකුත් කළේය.
මහනුවරට ගෙනඑන ලද මෙම වීරයන් දෙදෙනා
මහනුවර කඳවුරක සිරකරන ලද්දේය. නීතියානුකූල ලෙස පිහිටුවාගත් මහ රජාණන් වහන්සේගේ ආණ්‌ඩුව
පෙරළීමේ අදහසින් යුද්ධ ඇති කිරීම ගැන කැප්පෙට්‌ටිපොලට විරුද්ධව නොවැම්බර් 13 වැනි දින යුද්ධාධිකරණය මගින් නඩු විසඳන ලදී.
මෙම යුද්ධාධිකරණයේ සභාපති හැටියට ලෙප්ටිනන්ට් කර්නල් කෙලී සහ නියෝජ්‍ය
විනිශ්චයකාර අධිනීතීඥ ලෙස ඩබ්ලිව් එච්. ක්‌ලේදර් පත්කොට සිටියේය.
මොනරවිල කැප්පෙට්‌ටිපොල දිසාවතුමා
හමුදා රැකවරණ සහිතව ඉංග්‍රීසීහු යුද්ධාධිකරණ ශාලාව වෙත කැඳවාගෙන ආහ. ඔහුට විරුද්ධව
නගා තිබූ චෝදනා අධිකරණය ඉදිරියේ කියෑවීමෙන් පසු විභාගය ඇරඹිණි. චෝදනා 4 ක් ඔහු වෙත ඉදිරිපත් කර තිබිණි.
01. රාජද්‍රොaහියකු ලෙස රාජාඥවක් ප්‍රකාශයට පත් කරනු ලැබූ ඌවේ හිටපු දිසාව වූ
කැප්පෙට්‌ටිපොල නොහොත් මොනරවිල මහනිලමේ නමැති යුෂ්මතා මහ රජ තුමාගේ නීත්‍යානුකූල
ආණ්‌ඩුවට විරුද්ධය යුද වැදී සටන් කිරීම.
02. එසේම මහනුවර රජකමට උරුමකම් ඇතැයි ව්‍යාජ
නාමයකින් ඉදිරිපත් කරන ලද ව්‍යාජ පුද්ගලයකු යටතේ පසුගිය අවුරුද්දේ දියබෙත්මේදී
සිංහලේ පළමුවන අදිකාරම් හෙවත් මහ ඇමැති පදවිය භාරගෙන සිංහලේ පුරා රාජද්‍රොaහියකු ලෙස කටයුතු කිරීම.
03. එසේම පසුගිය ජූලි මාසයේදී කැරළිකාරයන්
සමග හතර කෝරළයට වැදී එහි වූ රාජ්‍ය පාක්‍ෂික යටත් වැසියන් ලවා නීත්‍යානුකූල බ්‍රිතාන්‍ය
පාලනයට විරුද්ධ කැරලි සංවිධානය කිරීම.
04. මෙලෙසින් රාජද්‍රොaහි ක්‍රියා පටන්ගත් යුෂ්මතා බ්‍රිතාන්‍ය
මහරජතුමාට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම.
මෙහිදී දීර්ඝ නඩු විභාගයක් නොපැවැත්වූ
අතර කැප්පෙට්‌ටිපොල සියලු චෝදනාවලට වරදකරු බව යුද්ධාධිකරණය තීරණය කළේය. ආණ්‌ඩුකාරතුමන්ගේ
මනාපය අනුව එතුමන් විසින් නියම කරන ලද ස්‌ථානයකදී මරණීය දණ්‌ඩනය දිය යුතුය.
යනුවෙන් නියම විය.
නොවැම්බර් 16 වැනිදා චෝදනා විභාග කළ මඩුගල්ල දිසාවටද මරණීය දණ්‌ඩනය දිය යුතුය යනුවෙන්
නියම විය. පිළිමතලාවේටද මරණීය දණ්‌ඩනය නියම වුවත් පසුව එම දඩුවම ලිහිල් වී රටින්
පිටුවහල් කිරීමට පියවර ගෙන ඇත.
සියලු දෙනාගේ නඩු විභාගවලින් පසු
නොවැම්බර් 24 දා බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා නිකුත්
කළ නිවේදනය අනුව කැප්පෙට්‌ටිපොල දිසාවටත් මඩුගල්ලේ දිසාවටත් 1818 නොවැම්බර් 26 වැනි දින උදේ 8.00 ට බෝගම්බර වැව අසල වධකාගාරයේදී මරණයට
මුහුණ පෑ යුතුය යනුවෙන් දන්වන ලදී.
1818 නොවැම්බර් 26 වැනි දින පාන්දර කැප්පෙට්‌ටිපොල හා මඩුගල්ලේ දිසාවටත් ඔවුන්ගේ
ඉල්ලීම පරිදි දළ¹ මාළිගාවට ගොස් වැඳ පුදා එහි සිටි ස්‌වාමීන්
වහන්සේලාගෙන් සුළු අනුශාසනාවක්‌ද අසා සිටියහ. බොහෝ වේලාවක් දණ ගසාගෙන සිටි ඔහු
නැගී සිට අසල සිටි සෝයරස් මහතා දෙසට හැරී "මහත්මයාණෙනි මවිසින් මේ කරන ලද
අවසාන පුන්‍යකර්මයේ පින් ඔබටද අනුමෝදන් කරවන්නෙමි" කියා සිටියේය. ඉන්පසු
තමාගේ ඉන වටේ දවටාගෙන තිබූ වස්‌ත්‍රය වුණා මෙය කිළිටි වී ඇතත් මා ළඟ ඇති එකම වස්‌තුව
මෙය බැවින් පින් අඩු නොවේවායි කියා පූජා කොට අවසාන වූ පසු සෝයරස් මහතාට හිස ගසා
දමන ස්‌ථානයට පැමිණෙන ලෙස ඉල්ලා සිටිමුත් ඒ මහතා ඉල්ලීම ප්‍රතික්‌ෂේප කළේය.
වධක ස්‌ථානයට කැඳවාගෙන ආ පසු කැප්පෙට්‌ටිපොල
නිලමේතුමන් පැන්බඳුනක් ඉල්ලාගෙන අතපය මුහුණ කට දෝවනය කොට කොණ්‌ඩය උඩට පීරා බැඳගෙන
කිසිම තැති ගැන්මක් හෝ බියක් නොමැතිව වධකයා දෙසට හැරී "දැන් මම මරණයට
සූදානම්"යෑයි කියා සිටියේය. "ඉතිපිසෝ භගවා අරහං" කියත්ම වැදුණු කඩු
පහරින් ගෙල සිඳී ගියේය.
කැප්පෙට්‌ටිපොල නිලමෙතුමා තම මරණයට
අභීතව මුහුණ දුන් අයුරු, තම ඇසින් දුටු වෛද්‍ය හෙන්රි මාරිෂල්
මහතා "මොහු කැරැල්ලෙන් ජයග්‍රහණය කළේ නම් රාජද්‍රොaහියකු ලෙස හිස ගසා දමනු වෙනුවට දේශප්‍රේමියකු ලෙස ගෞරවයට පාත්‍ර වනු
නියත යෑයි කියා සිටියේය.
වෛද්‍ය හෙන්රි මාර්ෂල් විසින් කැප්පෙට්‌ටිපොල
මහ නිලමගේ හිස් කබල එංගලන්තයේ එඩිම්බරෝ නගරයේ පිහිටි කපාල විද්‍යා සංගමයේ
කෞතුකාගාරය වෙත යවන ලදී. එහිදී මෙම හිස් කබල විද්‍යාඥයන්ගේ විශේෂ පරීක්‌ෂණයට
භාජනය කරන ලදුව මෙම හිස්‌කබල හිමි තැනැත්තා ලෝකයේ අතිශයින් විරල ගණයේ වීරයෙකු බව
වෛද්‍ය හීල් මහතා විසින් අනාවරණය කරන ලදී.
1948 පෙබරවාරි 04 දින ශ්‍රී ලංකාව ට නිදහස ලැබීමෙන් පසු ආපසු මෙම හිස් කබල ලංකාවට
භාර දෙන ලදී. නමුත් 1954 නොවැම්බර් 26 වැනි දින මහනුවර මහමළුවේ විශේෂ ස්‌මාරකයක් යට තැන්පත් කරන ලදී. එදා
සිට අද දක්‌වාම එම හිස්‌කබල එම ස්‌මාරකය තුළ නිරුපද්‍රිතව ඇතැයි විශ්වාසයක් ඇති
බැවින් එය පිටතට ගෙන මහනුවර ජාතික කෞතුකාගාරයේ තැන්පත්කර මහජනතාවට නැරඹීමට ඉඩ
සැලැස්‌විය යුතුව ඇත. වසර ගණනාවක් තිස්‌සේම විවිධ ආයතන හා සංවිධාන වලින් මෙම
ඉල්ලීම කර ඇතත් අදාල බලධාරීන්ගේ නිසි අවධානයක් ඊට යොමු වී නොමැති බව පෙනේ.
බී. හේමසිරි කුරේ
0 comments:
Post a Comment