Feb 8, 2013

සෞදියේදී රිසානා දිවි දෙමින් ඉල්ලන්නේ කුමක්ද


04-1පසුගිය දෙසැම්බර් මාසයේදී ආරම්භ වූ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග පෙත්සම මුළු රටම ගිනියම් කළ ගිනි බෝලයක් මෙන් අලුත් වසරටත් ඇදී ආවේය. දෝෂාභියෝග ගිනි බෝලය පිපිරී යන්නට ඔන්න මෙන්න කියා තිබියදී රටම කම්පාවට පත් කළ සිද්ධියක් වාර්තා විය. ඒ ඉතා දුගී දුප්පත් පවුලකින් සෞදිය බලා ගිය රිසානා නෆීක් දැරියගේ හිස ගසා දැමීම පිළිබඳ ලෝක ජනතාවගේ සිත් කම්පා කළ කතාවයි. මේ දිනවල අන්තර්ජාලය හරහා රිසානා නෆීක් දැරිය හිස ගැසුම් කන දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් හුවමාරු වෙමින් තිබේ. විද්‍යුත් තැපැල් ලිපිනවලටද එම වීඩියෝ පටය ලැබෙමින් පවතී. අදාළ වීඩියෝ පටය මා මහටද ලැබුණි. එහි මුලින්ම සඳහන් වී තිබුණේ “ඔබ හෘද රෝගියෙක් නම් මෙම වීඩියෝව නොබලන ලෙස කරන අනතුරු ඇඟවීමකි. හිස ගැසුම් කෑමක් යනු ඉතා මි‍ලේච්ඡ දර්ශනයකි. හෘද රෝගියෙක් නොවුණත් හදිසි කම්පනය මරණය කැඳවීමට වුවත් සෑහේ. එම අවදානම නැතිව අදාළ බිහිසුණු සිද්ධිය නරඹන්නට මගේ සිත මම එකලස් කර ගත්තේ මෙම බිහිසුණු වධයට ලක් වූ දැරිය අපේ එකියක් වූ බැවින්ය. එමෙන්ම දර්ශන වැල තුළ තිබෙන අපේ නැති බැරිකම පමණක් නොවේ, අපේ නොහැකියාවද හඳුනා ගන්නටය.

හිස සහ සිරුර සුදු ඇඳුමකින් වසා ගිනියම් වැල්‍ලේ දණ ගස්සා සිටියේ රිසානා නෆීක් දැයි කියන්නට මම අ‍පොහොසත්ය. මන්ද මධ්‍යම දුර ප්‍රමාණයේ රූප රාමුවලින් එම රූපකාය හඳුනා ගන්නට නොහැකි වූ බැවින්ය. අඩුම තරමේ ඒ කාන්තාවක්ද, පුරුෂයෙකුද යන්නවත් පැහැදිලි නැත. නමුත් සුදු වෑන් රථයක්, නුදුරින් වට වී බලා සිටින පිරිසක්, ‍පොලිස්කාරයින් සහ ආරාබි ලෝගුවලින් සැරසුණු සද්දන්ත මිනිසුන් කීපදෙනෙක් මෙම රූප පෙළට එක්වූ පිරිස වූහ. මගේ ජීවිතයේ මා නැරඹූ ඉතා බිහිසුණු හා තැති ගන්වනසුලු වීඩියෝ පටය එය විය.

මේතරම් බිහිසුණු ඉරණමක් වෙත රිසානා නෆීක් යොමු වූයේ ඇගේ දුප්පත්කම හේතුවෙනි. ශ්‍රී ලංකාවේ දුප්පත්කම පිටුදකින්නට ක්‍රමවේද මෙරට දේශපාලන ක්‍රමය තුළ කිසිදාක ගොඩනැගී නැත. වරින්වර පත්වන දේශපාලනඥයන් විසින් තමන්ගේ ප්‍රතිරූප ගොඩනගා ගන්නට දුප්පත්කම පිටුදකින ක්‍රම යැයි පවසමින් වැඩසටහන් ඉදිරිපත් කරනු ලබති. නමුත් ඔවුන්ගේ දේශපාලන ගමන අවසන් වන විට වැඩසටහනක්ද වළපල්ලට යයි. අලුතින් පත්වන දේශපාලනඥයන් යළිත් සිය ප්‍රතිරූප පුම්බා ගැනීමේ අලුත් වැඩසටහන් අරඹති. මේ අන්දමට ආරම්භ වන ව්‍යාපෘති යටතේ තෝරා ගත් පළාත් සභා ඒවායේ වෙසෙන තම පක්ෂය දිනවීමට දරදිය ඇද්ද පාක්ෂිකයන්ගේ දුප්පත්කම පිටුදකින වැඩසටහන් ක්‍රියාත්මක වන නමුත් ජාතික වශයෙන් මෙම ප්‍රශ්නයට ලබාදෙන විසඳුමක් ගව් ගණනකින්වත් පෙනෙන්නට නැත. එසේ තිබුණා නම් හොර පාස්‍පෝට් සාදා දී රිසානා නෆීක් සෞදියට යවන්නට තක්කඩි ඒජන්සිකරුවන්ට නොහැකිය. 

රිසානා දැරිය හිස ගැසුම් කෑමේ සිද්ධිය හරහා ප්‍රශ්න ගණනාවක් පැන නගී. රිසානා පමණක් නොව සුදේශ්කර් නමැති තවත් ශ්‍රී ලාංකික තරුණයෙක් මරණ දඬුවම් තීන්දුව ලැබ කටාර් රටේ සිර මැදිරියක සිටින බව මේ වන විට වාර්තා වී තිබේ.

ඔහුට තිබෙන චෝදනාව වන්නේ ඉන්දියානු ජාතිකයෙකුට පිහියෙන් ඇණ ඝාතනය කිරීමයි. රිසානාට එල්ල වූ චෝදනාව වූයේ දරුවකුට බෝතලයෙන් කිරි පෙවීමේදී කිරි දියර සිර වී දරුවා මිය යාමට සැලැස්වීමයි. එය මිනී මැරුමක් වශයෙන් සෞදි උසාවිය හමුවේ ගොනු කරන්නට එරට නීති අංශ සමත් වී තිබිණ. එසේ ඔවුන් සමත් වූයේ එසේ නොවේ යැයි කියන්නට අප තුළ වූ නොහැකියාව හේතුවෙනි. එම නොහැකියාව ප්‍රකට වූයේ රටේ නීතියක් තිබුණද, නීතියට වඩා නීතිය තුළ තිබෙන සිදුරු තුළින් පැන යාමට බොහෝ දෙනාට ඉඩකඩ සලසා දී තිබෙන බැවින්ය. ඒ නිසා ලෝකය ඉදිරියේ නීතිය සම්බන්ධයෙන් නිරුවත් වන්නට ශ්‍රී ලංකාව සූදානම් වූයේ නැත. රිසානාට හිස් ගැසුම් කන්නට සිදුවූයේ එබැවින්ය.04-2
රිසානා නෆීක් දැරියට ව්‍යාජ ගමන් බලපත්‍රයක් සාදා දීමට ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කළේ යැයි කියන්නට කිසිසේත්ම නොහැකිය. නමුත් එවැන්නක් සිදුවී තිබේ. අපේ රටේ හොර ගමන් බලපත්‍ර, උප්පැන්න, ඉඩම් ඔප්පු, රියැදුරු බලපත්‍ර, උපාධි සහතික ආදි තවත් බොහෝ වටිනා ලියකියවිලි දවසක් දෙකක් ඇතුළත සාදා ගත හැකියි. දරුවෙක් සුපිරි පාසලකට දමා ගන්න අවශ්‍ය කරන සියලුම ලිපි ‍ලේඛන සාදා දීමට අද කා‍ලේ රුපියල් ලක්ෂ පහකට වඩා අය කෙරේ. විදුහල්පතිවරයාටත් ලක්ෂ පහක්වත් දිය යුතුය. රාජකාරිය සම්පූර්ණ වන්නේ එවිටය. මෙම තත්ත්වය රටේ ජනාධිපතිවරයාගේ පටන් පහළට සෑම පුරවැසියෙක්ම දන්නා කාරණාවකි. නමුත් පිටරටක ඇති වූ පළහිලව්වකදී අපේ රටේ හොර ගමන් බලපත්‍ර සාදා මිනිසුන්, ගැහැනුන්  පිටරට යවනවා” යැයි කියන්නට අපේ විදේශ අමාත්‍යංශයට නොහැකිය. එයින් සිදුවන්නේ රටට අවමානයක් පමණක් නොව ජාත්‍යන්තර වටිනාකමක් සහිත බලපත්‍රයක් ගැන කිසිම විශ්වාසයක් ජාත්‍යන්තරයට නැති වීමයි. එබැවින් රිසානා නෆීක්ගේ මරණ දඬුවම පිළිබඳ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ කතා හුදෙක් නැග එන ජනවිරෝධය පාලනය කරන්නට යෙදූ උපායන්වලට සමාන විය.

රිසානා සෞදියට පිටත් වූයේ ගෘහ සේවිකා වෘත්තියටය. දරුවාට කිරි පෙවීම අයත් වන්නේ “Baby sitting”යන වෘත්තියටය. ඇයගේ අතින් දරුවාට ‍පොවන කිරි පිට උගුරේ ගියේ “Baby sitting”පිළිබඳ රිසානා තුළ තිබූ නොදැනුවත්කමයි. මෙම තර්කය වුවත් සෞදි මහාධිකරණය හමුවෙහි ගොඩනගන්නට සෞදි ශ්‍රී ලංකා තානාපති අංශයට නොහැකි විනි නම් එය පුදුමයට කාරණාවක් නොවේ. මන්ද එම නීති තර්කය මතු වන්නට පෙර එරට නීතිවේදීන් මතු කර තිබූ ප්‍රශ්නය වූයේ ඇගේ ගමන් බලපත්‍රයයි. දාහත් හැවිරිදි රිසානාගේ වයස එම ගමන් බලපත්‍රයේ සඳහන් වූයේ 21ක් හැටියටය. මේ අලි බොරුව හමුවේ ආණ්ඩුව වරද පිළිගත්තා නම් ඉන් අනතුරුව රිසානාගේ මරණයෙන් පමණක් දඬුවම අවසන් වන්නේ නැත. හොර පාස්‍පෝට්වලින් එරටට පැමිණ රාජකාරිවල යෙදෙන බොහෝ දෙනකුට සිරදඬුවම්, කස පහර කන්නට හෝ හිස් ගැසුම් කන්නට සිදුවනු නොඅනුමානය. මන්ද සොරකමට, වංචාවට සෞදි රටේ ඉඩක් නැති බැවින්ය.

අවුරුද්දකට මැද පෙරදිග ශ්‍රමිකයන්ගෙන් පමණක් රටට ඇමෙරිකන් ඩොලර් කෝටි 60ක ආදායමක් ලබන බව කියමින් මැද පෙරදිග සෝ සුසුම් දුක් කඳුළු මැදින් උපයන මුදලින් විනෝද වන පුද්ගලයන් අවධානය යොමු කළ යුත්තේ අහිංසක ශ්‍රමිකයන්ට සාධාරණයක් ඉටු කිරීමටය. රිසානාගේ මරණයෙන් ඉක්බිති දැන් විදේශ අමාත්‍යංශයේ හිස මතට තවත් උල්කාපාතයක් කඩාපාත් වී තිබේ. ඒ කටාර් හි සුදේශ්කර් නමැති තරුණයා මරණ දඬුවමින් බේරාගන්නේ කෙසේද යන්න ගැනයි. රිසානා හිස ගැසුම් කෑම හේතුවෙන් මේ වනවිට රටේ ජනතාව ඇඟිල්ල දිගු කරන්නේ ආණ්ඩුවටය. එම පීඩනය මදක් සැහැල්ලු වී යද්දී සුදේශ්කර් තරුණයාගේ මව රූපවාහිනී මාධ්‍ය හමුවේ හඬා වැළපෙමින් ඉල්ලා සිටින්නේ ඇගේ දරුවාගේ ජීවිතය බේරාදෙන ලෙසයි. මෙම තරුණයාට ජීවිත දානය ලබා දෙන්නට නම් ඔහුගේ පිහි පහරින් ජීවිතක්ෂයට පත් වූ ඉන්දීය තරුණයාගේ දෙමව්පියන් රුපියල් ලක්ෂ තිස්පහක් ඉල්ලති. එපමණ මුදලක් ගෙවන්නට තමන්ට වත්කමක් නැතැයි සුදේශ්කර්ගේ මව පවසයි.

රැකියා සඳහා මැද පෙරදිග රටවලට පමණක් නොව වෙනත් කාර්යයන් සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුවක් වී තිබෙන්නේ සංක්‍රමණය වන රට තුළ පවතින නීතිය පිළිබඳ අනවබෝධයයි. එපමණක් නොව එරටේ නීතිය හෑල්ලුවට ලක් කරමින් හැසිරීමයි. ඊට හේතුවී තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීමයි. මෙරටේ පවතින නීති රීති ඇතුළේ සිදුවන නොපනත්කම්වලින් වැරදිකරුවෝ බොහෝ පහසුවෙන් ගැලවී යති. නීතිරීති පෙනි පෙනී තිබියදී ඒවා උල්ලංඝනය කරති. නීතිරීති බලගන්වන්නෝද වැරදි කරති. ඉන් බේරී යති. දිනපතා දකින්නට ලැබෙන එවැනි පූර්ව ආදර්ශ යටතේ ගොඩනැගෙන සමාජයේ සමහර පුද්ගලයන් විදේශගත වීමෙන් අනතුරුව එරටේ පවතින නීතියට අවනත නොවීම හෝ එම නීති නොසළකා හැරීම පුදුමයට කාරණාවක් නොවේ. උදාහරණයක් වශයෙන් සුදේශ්කර් නමැති තරුණයා අතින් මේ රටේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුවිනි නම් සමහර විට ඔහුට රැකවරණය ලබාදීමට ඉදිරිපත් වන අංශ බොහෝ තිබෙන්නට පිළිවන. එය සුදේශ්කර්ගේ වරදක් නොවේ රටේ හැටිය. මෙබඳු ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන බොහෝ දෙනා මාස පහකින් පමණ ඇප මත නිදහස් වී පැමිණෙති. අවුරුදු දහයක් දොළහක් මුළුල්‍ලේ නඩු අසති. අවසානයේදී බොහෝ විත්තිකරුවන් හදිසි කෝපය මුල් කරගත් මිනීමැරුමක චූදිතයන් වී දඩයක් සමග අත්හිටවූ සිරදඬුවමකට යටත් කරති. එසේත් නැත්නම් අවුරුද්දක හෝ කීපයක සිරදඬුවමකට ලක් කරති. එම දඬුවමට එරෙහිව වුවත් ඉදිරියට යාහැකි ආකාරයට පවතින නීති ක්‍රියාදාම අවසන් වන්නේ විත්තිකරුවා නිදොස් වීමෙනි. මෙය තමයි රටේ ඇත්ත තත්ත්වය. තිත්ත වුවත් ඇත්ත තත්ත්වය මෙය නම් එය යටතේ ගොඩනැගුන සමාජයක ජීවත්වන ජනතාව පිටරටකට ගියත් බොහෝ විට කල්පනා කරන්නේ ශ්‍රී ලංකාවේ මෙන් හැසිරෙන්නටය. නමුත් එය වැරදිය. මෙම අනවබෝධය සුදේශ්කර්ටද බලපාන්නට ඇතැයි විශ්වාස කරන්නට පිළිවන.

විශේෂයෙන් මැද පෙරදිග රටවල පවත්වාගෙන යන බොහෝ තානාපති සේවාවන් වෙතින් සිදුවන්නේ අලුත් අවුරුද්දට සිංහ කොඩි දැමීම, සිංහල අලුත් අවුරුද්දට බක්මහ සැණකෙළි සමග ශ්‍රී ලංකාවෙන් ගායක ගායිකාවන් ආනයනය කරවීම, වෙසක් සතියේ කූඩු සෑදීම හා නත්තලට ගවලෙනක් සෑදීම වැනි ප්‍රාථමික මට්ටමේ ළදරු වැඩසටහන්ය. ‍පොල්තෙල් ලාම්පු පත්තුකර මැද පෙරදිග ශ්‍රමිකයන් ගැන කිඹුල් කඳුළු හෙලීම එහිදී විශේෂාංගයකි. මෙම බහුභූත වැඩ කරන නිලධාරීන්ට වැටුප් ගෙවන්නට ශ්‍රී ලංකා ආණ්ඩුව වියදම් කරන මුදල සුළු පටු නොවේ. ආණ්ඩුවේ විමල් වීරවංශ ඇමැතිවරයා පවසන්නේ මැද පෙරදිග ඇතුළු රටවල පවත්වාගෙන යන්නේ තානාපති සේවාවක් නොව තානායම් සේවාවක් බවකි. කතාව සම්පූර්ණයෙන් ඇත්තය. මෙම නිලධාරීන් සතුව නව මං පෙත්වලට පිවිසීමේ දැනුම් මට්ටම පවතින්නේ ඉතා පහළ මට්ටමකය. තමන්ගේ රටට පැමිණෙන ශ්‍රමිකයන්ගේ ජීවිත සුරක්ෂිතභාවය පිළිබඳ බොහෝ දේ කල්පනා කොට ක්‍රියාත්මක කරන්නට මොවුන්ට හැකියාව ඇතත් වඩාත් පිළිඹිබු වන්නේ ඔවුන්ගේ නොහැකියාවයි. එබැවින් එහි ශ්‍රී ලාංකික ජනතාව පත් වී ඇත්තේ දුකටය. විපතටය. තානාපති සේවාව බොහෝ රටවල ‘බිස්නස්’ එකකි.

රිසානා නෆීක් දැරියට සිය ජීවිතය ඉතා අවාසනාවන්ත ලෙස අහිමි වූයේ ශ්‍රමිකයන් පිටරටවලට යැවීමේ ක්‍රමවේදය පිටුපස තිබෙන මාෆියාව හේතුවෙනි. සුදේශ්කර්ට මරණ දඬුවම හිමි වී ඇත්තේ රටවල පවතින නීතිය ගැන තිබූ අනවබෝධය හේතුවෙනි. මෙම කරුණු දෙක මුල් කර ගනිමින් ඉදිරියේදී මැද පෙරදිග සිදුවන ජීවිත විනාශ වළක්වා ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවන බව මගේ දැනීමයි. ඒ සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් වහා ආරම්භ කළ යුතුව තිබේ.

අනුර හොරේෂස් 

0 comments:

Post a Comment