Dec 15, 2012

මනසේ පැවැත්ම



සිත මිස කය නැති බඹුන් ගේ මනස්‌ අපට සාපේක්‍ෂව වියුක්‌ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති යෑයි අපි කීවෙමු. ඒ බඹුන් ගේ මනස්‌ හෝ මනසක්‌ හෝ අපට සිතෙන් මවාගත නො හැකි ය. අපට බඹුන් ගේ මනස්‌ තබා ඔවුන් ගේ සිත් වුව ද මනසට වත් ගෝචර නො වේ. එබැවින් බඹුන් ගේ සිත් ද අපට සිතෙන් මවාගැනීමට නො හැකි ය. එසේ ගත් කල බඹුන් ගේ සිත් ද අපට වියුක්‌ත සංකල්පයක්‌ පමණකි.

එහෙත් ඒ බඹුන්ට තම මනස්‌ ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? එමෙන් ම අපට අපේ මනස්‌ ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? අප මනස යනුවෙන් අදහස්‌ කරන්නේ සිත් පරම්පරාවකි. එය ඉන්ද්‍රියයක්‌ ලෙස ද සැලකෙයි. මට මගේ සිත් පිළිබඳ හැඟීමක්‌ වෙයි. මට දිගින් දිගට ම සිත් පහළ වන බව මගේ සිත දනියි. එහෙත් මට අනෙකකු ගේ සිත් දැනගැනීමට නො හැකි ය. පරචිත්ත විජානන ඥානය ලැබූවකුට අනෙකකු ගේ සිත් දැනගැනීමට හැකි වුව ද ඒ ඥානය නො ලැබූවකුට අනෙකකු ගේ සිත් දැනගැනීමට නො හැකි ය. ඉන් කියෑවෙන්නේ අනෙකකු ගේ සිත් යන්න පරචිත්ත විජානන ඥානය නො ලැබූවකුට වියුක්‌ත සංකල්පයක්‌ බව ය.

පරචිත්ත විජානනය ලැබූවකුට අනෙකකු ගේ සිත් ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? එවැනි අයකුට තම සිතෙන්, එනම් සිත් පරම්පරාවකින් අනෙක්‌ අයකු ගේ සිත් දැනගත හැකි ය. එනම් පරචිත්ත විජානන ඥානය ලැබූ අයකු ගේ සිතට අනෙක්‌ අය ගේ සිත් ගෝචර වෙයි. එයින් කියෑවෙන්නේ පරචිත්ත විජානන ඥානය ලැබූ අයකුට අනෙක්‌ අය ගේ සිත් චෛතසික සංකල්පයක්‌ වන බව ය.

පරචිත්ත විජානන ඥානය නො ලැබූවකුට අනෙක්‌ අයකු ගේ සිත් වියුක්‌ත සංකල්පයක්‌ වුවත් තම සිත චෛතසික සංකල්පයක්‌ වෙයි. ඒ තමා ගේ සිතට තම සිත ගෝචර වන බැවිනි. කිසිවකුට තම සිත සංයුක්‌ත සංකල්පයක්‌ නො වන්නේ ඔහුට තම සිත තම සිතට ගෝචර කර ගැනීමේ දී මනස හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක්‌ යොදා නො ගන්නා බැවිනි. එලෙස ම දිව්‍ය තිරිසන් අමනුෂ්‍ය භවවල උපත ලැබූවන්ටත් ඒ ඒ අය ගේ සිත් චෛතසික සංකල්ප වනු ඇත.

කය ඇති බ්‍රහ්ම ලෝකවල ද තත්ත්වය එබඳු ම වෙයි. එහි ද බ්‍රහ්මයන්ට තම සිත් චෛතසික සංකල්ප වෙයි. එහෙත් මේ වර්ගීකරණය කය නැති බඹලොවට අදාළ නො වන බව පැහැදිලි විය යුතු ය. එහෙත් කය නැති බඹලොව බඹුන් ගේ සංකල්ප ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? කය නැති බඹලොවෙහි සංකල්ප අතර සංයුක්‌ත සංකල්ප නැති බව පැහැදිලි විය යුතු ය. අපේ වර්ගීකරණය අනුව යම් සත්ත්වයකුට සංයුක්‌ත සංකල්පයක්‌ ඇති වන්නේ මනස හා අනෙක්‌ ඉන්ද්‍රියයන් ගෙන් එකක්‌ හෝ වැඩි සංඛ්‍යාවක්‌ හෝ එකතු වීමෙනි.

එහෙත් කය නැති බඹලොව බඹුන්ට වෙනත් ඉන්ද්‍රියයන් නැති බව පැහැදිලි ය. මෙය මගේ ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වන බව අමුතුවෙන් කිව යුතු නො වේ. කය නැති බඹලොව ගැන දේශනා කර ඇත්තේ බුදුන් වහන්සේ ඇතුළු මගේ විඤ්ඤුන් වහන්සේ ය. මම එවැනි බඹලොවක්‌ ඇති බව පිළිගනිමි. කය නැත්නම් වෙනත් ඉන්ද්‍රිය නැති බව දැනට මගේ පිළිගැනීම ය. මෙහි දී මා නිවැරැදි නො විය හැකි ය. මා කරන්නේ ඉන්ද්‍රිය පිළිබඳ අපේ දැනුම, එනම් අප විසින් නිර්මාණය කෙරී ඇති දැනුම, සිත මිස කය නැති බඹලොව බඹුන් සඳහා යොදා ගැනීම ය.

සූත්‍ර පිටකයෙහි මේ සම්බන්ධ වෙනත් යමක්‌ කියෑවී ඇත්නම් එය පිළිගැනීමට මම සූදානමෙන් සිටිමි. එහෙත් දැනට සිත මිස කය නැති බඹලොව බඹුන්ට මනෙන්ද්‍රිය හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක්‌ නැතැයි මම උපකල්පනය කරමි. පඬිවරයකු යම් අයකු ලියා ඇති අභිධර්ම ග්‍රන්ථයකින් එයට විරුද්ධව කරුණු ඉදිරිපත් කළ හොත් මම එය විමසා බලමි. එසේ විමසා බැලීමෙන් පසුව ඒ ඉදිරිපත් කෙරෙන කරුණු සූත්‍ර පිටකය සමග එකඟ වන්නේ නම් පමණක්‌ එය පිළිගනිමි. එසේ නොමැති ව අදාළ අභිධර්ම ග්‍රන්ථය රචනා කළ තැනැන්තා බුද්ධකාලයෙන් පසුකාලීන අයකු නම් ඒ තැනැත්තා මාර්ගඵල ලාභීද නැද්ද යන්න මත පදනම් වී මම නිගමනවලට නො එළඹෙමි.

ඇතැම් විට මනුෂ්‍යයන්ට හා දෙවියන්ට ද මේ සංකල්ප වර්ගීකරණය වලංගු නො වනවා විය හැකි ය. මනුෂ්‍යයන්ට හා තිරිසනුන්ට මෙන් නො ව ඔවුන් ගේ සිරුරුවල පඨවි ධාතුව අඩු යෑයි ගැනීමට සිදු වෙයි. සාමාන්‍ය මනුෂ්‍යයන්ට අමනුෂ්‍යයන් හා දෙවියන් නො පෙනෙන්නේ ද එබැවින් යෑයි සිතිය හැකි ය. ඇතැම් විට ඇතැම් තිරිසනුන්ට මේ පඨවි අඩු සිරුරු යම් ආකාරයකට ගෝචර වනවා විය හැකි ය. සූත්‍ර පිටකය ඔස්‌සේ ඒ පිළිබඳ කරුණු විමසීමකට අවස්‌ථාව ඇත. දෙවියන් ගේ හෝ අමනුෂ්‍යයන් ගේ හෝ පඨවි අඩු සිරුරුවල ඉන්ද්‍රිය හා අවයව ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න සූත්‍ර පිටකය ඇසුරෙන් දැනගත යුතු ය. එසේත් නැත්නම් සිත දියුණු කර ඒ දැනුම ප්‍රත්‍යක්‍ෂයෙන් ම ලබාගැනීමට උත්සාහ කළ යුතු ය.

ඒ කෙසේ වෙතත් අපි විශේෂයෙන් ම මිනිසුන්ට සාපේක්‍ෂව සංයුක්‌ත, චෛතසික හා වියුක්‌ත සංකල්ප යන වර්ගීකරණය ආශ්‍රිත ව සංකල්ප පිළිබඳ දැනුම නිර්මාණය කරමු. එහෙත් එයින් කියෑවෙන්නේ අපේ ප්‍රවාද ඒ වර්ගීකරණය මත හා මත ම පමණක්‌ පදනම් වන බව නො වේ. මිනිසුන්ට සාපේක්‍ෂව තම තමන් ගේ මනස චෛතසික සංකල්පයක්‌ ලෙස ද අනෙක්‌ අය ගේ මනස වියුක්‌ත සංකල්පයක්‌ ලෙස ද ඇතැයි අපි සලකමු.

අනෙක්‌ අය ගේ මනස්‌ ද තමන් ගේ මනස මෙන් ම චෛතසික සංකල්පයක්‌ නො වන්නේ දැයි කිසිවකුට ඇසිය හැකි ය. එහෙත් එහි දී අපට සංකල්පයකින් ඔබ්බට යැමට සිදු වෙයි. අනෙක්‌ මිනිසුන්ට මනස්‌ ඇති බව අප දකින්නේ කෙසේ ද? එක්‌කෝ ඒ බව අපේ විඤ්Cදුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබී අපි ඒ බව පිළිගනිමු. එය, එනම් අනෙක්‌ මිනිසුන්ට මනස්‌ ඇති බව, සාමාන්‍ය මිනිසුන් ගේ මනසට ගෝචර නො වේ. එය පැණවීමක්‌ වෙයි. එනම් පඤ්ඤත්තියක්‌ වෙයි.

එසේත් නැත්නම් අපට, එනම් සාමාන්‍ය මිනිසුන්ට, අනෙක්‌ මිනිසුන්ට මනස්‌ ඇති බව එක්‌කෝ උපකල්පනය කිරීමට සිදු වෙයි. නැත්නම් උද්ගමනය කිරීමට සිදු වෙයි. එසේත් නැත හොත් තර්කයෙන් අනුමාන කිරීමට සිදු වෙයි. ඔහු මිනිසෙකි. මම ද මිනිසෙක්‌මි. මට මනසක්‌ ඇත. ඔහු ද මිනිසකු බැවින් ඔහු ද මා වැනි විය යුතු ය. එබැවින් ඔහුට ද මනසක්‌ තිබිය යුතු ය. එය තර්කයෙන්, මෙහි දී පැරැණි භාරතීය තර්කයෙන් ලබාගත් ප්‍රතිඵලයක්‌, අනුමානයක්‌ (inference) වෙයි. එවිට අනෙක්‌ මිනිසුන්ට ද මනස්‌ ඇති බව අනුමානයක්‌ මිස සංකල්පයක්‌ නො වේ. ඉහත සඳහන් අනුමානය ඇරිස්‌ටෝටලීය සංවාක්‍යයෙන් (syllogism) වෙනස්‌ වන බව අවධාරණය කළ යුතු ය.

ඇරිස්‌ටෝටලීය සංවාක්‍යයෙහි නිගමනවලට එළඹෙන්නේ එසේ නො වේ. එහි තර්කය මෙසේ ය. සියලු මිනිසුන්ට මනස්‌ ඇත. අසවලා මිනිසෙකි. එබැවින් අසවලාට මනසක්‌ ඇත. මේ නිගමනයක්‌ ලෙස හැඳින්වුව ද ඒ එසේ නො වේ. මුළු තර්කය ම පදනම් වන්නේ සියලු මිනිසුන්ට මනස්‌ ඇත යන්න මත ය. සියලු මිනිසුන්ට මනස්‌ ඇත යන්න උද්ගමනයෙන් ලබාගන්නකි. එය සියලු කපුටෝ කළුපාට වෙති යන්න වැනි උද්ගමනයකි.

එහෙත් මේ කිසිවකින් මනස යනුවෙන් කිසිවක්‌ මනසින් ස්‌වායක්‌ත ව පවතින බවක්‌ නො කියෑවෙයි. පුටුවක්‌ මේසයක්‌ මගේ මනසික්‌ ස්‌වායත්ත ව නො පවතියි. මගෙන් ස්‌වායත්තව බල්ලකු බළලකු නැත. බල්ලා ද පුටුව ද යනු හුදු සංජානන නො වේ. ඒ සංකල්ප සමග බැඳී ඇත. සංකල්ප ඇත්තේ මනසෙහි ය. සංකල්ප නොමැති ව අපට නිරීක්‍ෂකයන් ලෙස කිසිවක්‌ නැත. අපට ඇත්තේ සංකල්ප හා ඒ මත පදනම් වූ ප්‍රවාද ය, අනුමාන ය. එයට වඩා යමක්‌ නැත. ඒ ලෝකය සංකල්පීය ලෝකයකි. එය මගේ ලෝකය වෙයි. සංකල්පීය ලෝකයක්‌ ලෙස එය ශුන්‍ය වෙයි.

පුටුවක්‌, මේසයක්‌, බල්ලකු, බළලකු මනසෙන් තොර ව මනසෙන් ස්‌වායත්ත ව නො පවතී නම් මනස මනසෙන් තොර ව පවතින්නේ කෙසේ ද? මනස බාහිර ව තිබී එය පුටුව හා මේසය යන සංකල්ප තනන මනසට ගෝචර වන්නේ ද? එවිට මනස්‌ දෙකක්‌ ගැන මනස්‌ගාතයක්‌ කීමට සිදු වනවා පමණක්‌ නො ව සංකල්ප තනන මනස හා වෙනත් මනසක්‌ ගැන කීමට ද සිදු වෙයි. අනෙක්‌ සංකල්ප මෙන් ම මනස ද මනසට සාපේක්‍ෂ වෙයි.

දැන් ප්‍රශ්නය වනුයේ මනස මනසට සාපේක්‍ෂ වන්නේ කෙසේ ද යන්න ය. එය තේරුම් ගැනීමට හුදු සංකල්පයකින් නො හැකි ය. ඒ සඳහා ප්‍රවාදයක්‌ නිර්මාණය කළ යුතු ය. සිංහල බෞද්ධ මනස යනුවෙන් කලකට පෙර "දිවයින" පුවත්පතෙහි පළ වූ ලිපියෙන් කෙරුණේ ඒ ප්‍රවාදය නිර්මාණය කිරීම ය. එය නැවත විස්‌තර කිරීම මගේ අරමුණ නො වෙයි. මෙහි දී මට කීමට ඇත්තේ මනස යන්න නිර්මාණය කෙරෙන ක්‍රියාවලිය ම මනස බව ය.

කාලය යනු පඤ්ඤත්තියක්‌ පමණක්‌ බව අපි බොහෝ අවස්‌ථාවල කියා ඇත්තෙමු. එයින් කියෑවෙන්නේ එය මනසට වත් ගෝචර නො වන වියුක්‌ත සංකල්පයක්‌ බව ය. කාලය යන්න සිතෙන් මවාගත හැකි පෘථග්ජන මිනිසකු නැත. කාලය යන්න මනසට ගෝචර නො වේ. එහෙත් මනස මනසට ගෝචර වෙයි. එපමණක්‌ නො ව මනස තනනු ලබන්නේ ද, නිර්මාණය කරනු ලබන්නේ ද මනස විසින් ම ය.

මනසට ගෝචර නො වන කාලයෙහි ක්‍ෂණයක්‌ යනු කුමක්‌ ද? ක්‍ෂණයක්‌ යන්න අර්ථදක්‌වන්නේ කෙසේ ද? කාලය මෙන් ම එහි අත්‍යණුක කොටසක්‌, ඉතා කුඩා කොටසක්‌ ලෙස සැලකෙන ක්‍ෂණය ද සිතෙන් මවාගත හැකි නො වේ. ඇතැම්හු සිතක්‌ පවතින කාලය අනුව ක්‍ෂණය තේරුම් ගැනීමට උත්සාහ ගනිති. එහෙත් සිතක්‌ පවතින කාලය කුමක්‌ ද? සිත් පරම්පරාවක්‌ යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ කුමක්‌ ද? එක්‌ සිතක්‌ ඊළඟ සිතෙන් වෙනස්‌ වන්නේ කෙසේ ද? මේ පිළිබඳ ව අනුමාන කිරීම වැරැදි යෑයි කිසිවකු කීමට ඉඩ ඇත. එසේ වුවත් මනස පවතින්නේ ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී මේ සියල්ල වැදගත් වෙයි.

මනස ක්‍ෂණයකට වත් නිරීක්‍ෂකයා ගෙන් ස්‌වායත්ත ව පවතින්නේ නම් මනස ඒ ක්‍ෂණයෙන් පසු නැති වී වෙනත් මනසක්‌ ඇති විය යුතු ය. කෙසේ වෙතත් එහි දී ක්‍ෂණයක්‌ වත් තිබූ මනසක්‌ නැති වෙයි. මෙය උච්ඡේදවාදය වෙයි. ඇති ව තිබූ යමක්‌ නැති වීම උච්ඡෙදවාදය මින අනෙකක්‌ නො වෙයි. අනෙක්‌ අතට දිගින් දිගට ම මනස පවතින්නේ නම් එනම් මනස යනුවෙන් යමක්‌ නිරීක්‍ෂකයා ගෙන් ස්‌වායත්ත ව දිගින් දිගට ම පවතින්නේ නම් එයින් කියෑවෙන්නේ ශාස්‌වතවාදයයි. මනස ක්‍ෂණයකට පවතින්නේ යෑයි ගත්ත ද, දිගින් දිගට ම පවතින්නේ යෑයි ගත්ත ද අපි එක්‌කෝ උච්ඡෙදවාදයට එසේත් නැත්නම් ශාස්‌වතවාදයට හසු වන්නෙමු. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ඒ වාද දෙක ම බැහැර කිරීමට ය.


නලින් ද සිල්වා

Dec 14, 2012

" චුටි මල්ලිත් වඩාගෙන විභාගෙට ලියු දිරිය අක්කා " ( කාරුණික ඔබගේ අවධානය පිණිසයි )


මම විභාගෙට ලිව්වෙ චූටි මල්ලිත් වඩාගෙන.




උඩුදුම්බර තෙල්දෙණිය කොට්ඨාසයේ රඹුක්වැල්ල කනිෂ්ඨ විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලබන නිලූෂා දිල්ෂානි සිසුවිය පිළිබඳ සංවේදී පුවතක් අසන්නට
ලැබුණි. කුඩා සහෝදරයන් දෙදෙනෙකු සමඟ මේ දියණිය තනිකර දමා ඔවුන්ගේ මව විදේශ රැකියාවකට ගොසිනි. පියා ද නිවස හැර ගොස් ය.

ආච්චි අම්මාගේත්, සීයාගේත් රැකවරණය ලබන මේ දරුවන් ගෙවන ජීවිතය ඉතාම කටුකය. පාසල් අවසන් වාර විභාගය පැවති පසුගිය දිනෙක ඇය වයස අවුරුදු දෙකක් තරම් වූ කුඩා සොහොයුරා ද වඩාගෙන ගියේ මල්ලී ගේ රැකවරණයට නිවෙසේ කිසිවකු නොසිටි නිසාය. විභාගය ලිවීමේ දැඩි අවශ්‍යතාවය ද නිසාය. පාසලේ ගුරුවරු පවසන්නේ අත දෙන්න කෙනෙක් සිටී නම් ඉගෙනීමට දක්‍ෂ මේ දියණිය බොහෝ දුර යන බවයි. මේ ඒ දිරිය දියණිය ගේ කතාවයි.

මම රට යන්නද පුතේඅම්ම දවසක් මගෙන් ඇහුවා. ඒ වචනවල තේරුම හරියට ම නොතේරුණත් මට මතක් වුණේ චූටි මල්ලි.

එපා අම්මෙ. අම්ම රට ගියා ම චූටි මල්ලි බලාගන්නෙ කවුද?’ කියල මම අම්මට කිව්වා.

ඒත් කටු මැටි ගහපු එකම එක කාමරයක් තියෙන පුංචි ගෙදර වෙනුවට වීදුරු ජනෙල් දාපු ලස්සන ගෙදරක්, ලොකු ටී.වී. එකක්, කතා කරන බෝනික්කෙක්, රසම රස චොක්ලට් ගොඩාක් අරන් දෙනවා කියද්දි නම් අම්ම රට ගියොත් හොඳයි කියල මටත් හිතුණා.

මේ කිරි සප්පයෝ තුන් දෙනෙක් තනිකරල උඹ රට රාජ්ජෙ ගියාම උන්ට යන කල මොකක්ද?’ කියල කිරි අම්මයි, කිරි අත්තයි හැම වෙලාවෙම අම්මට දොස් කිව්වා. තාත්තත් රණ්ඩු වුණා. ඒ විදිහට ටික කාලයයි ගෙවුණේ. දවසක් අම්මා උදෙන් ම ගමනක් ගියා.

මගෙ දුව මල්ලිලා දෙන්න බලාගෙන පරිස්සමට ඉන්න ඕනකියල අම්ම ගෙදරින් පිට වුණේ මගේ මූණත් ඉඹල. අම්ම එහෙම කියන කොට මට හිතුණෙ මම දැන් ලොකු ළමයෙක් කියල. මගෙ හිතට හරි සතුටක් දැනුණා. සීතලේ නිදා ගෙන හිටපු චූටි මල්ලිට රෙද්දකුත් පොරවලා මම එදා ඉස්කෝලෙට ගියා. දවල් ගෙදර එන කොටත් අම්ම ගෙදර ඇවිත් නෑ. නැඟිටපු වෙලාවේ ඉඳන් බඩගිනිවෙලා අඬන චූටි මල්ලි ගේ ඇස් දෙකත් ඉදිමිලා. කටහඬත් වෙනස්වෙලා.

කොලු පැටියා බත් කටක් කන වයසක ද ඉන්නේ. උදේ ඉඳන් ම තේ කහට ටික විතරයි.කියල කිරි අම්මත් අඬනවා. මම ගේ ඇතුළට දිව්වා. ළිප මුල්ලේ කෙළවරක තිබ්බ පිටි ටින් එකේ අඩියට වෙන්න තිබුණු පිටි ටික සූරලා මම කිරි අම්මට දුන්නා. ඈ හදල දුන්නු කිරි ටික එක හුස්මට බීපු චූටි මල්ලියා ඇඬීම නවත්තලා ලස්සනට හිනා වුණා. අම්ම ගේ මූණටත් වඩා මල්ලිගෙ ඒ හිනාව මට හැමදාම මතක් වෙනවා.

එදා හැන්දෑවෙ අම්ම කොහේදෝ ඉඳලා උඩහ ගෙදර නැන්දට කෝල් කරල තිබුණා. මම රට යනවා කියලා අම්මට කියන්න.නැන්දා ඒ පණිවිඩේ කිව්වේ පුදුම වෙලා. ඒ වෙලාවෙ මගෙ පපුව හිරවෙනවා වගේ දැනුණා. ඇස්වලින් කඳුළු බේරුණා. නැන්දා කියන්නේ බොරු. මේ ඉන්නේ අපේ අම්මා. අම්ම ලස්සනට හිනාවෙවී ගේ ඉස්සරහ හිටගෙන ඉන්නවා වගේ මට දැනුණා. මම ඇස් දෙක පිහදාලා හොඳට බැලුවා. අම්ම හිටියෙ නෑ.

ඒ දැනට අවුරුද්දකට විතර කලින්. එදා ඉඳන් අපි හැදුණේ කිරි අම්මා ළඟ. වෙනදා අම්මා ගේ තුරුලේ හිටපු චූටි මල්ලියා දැන් නිදා ගන්නේ මට තුරුල් වෙලා. මද්දු මල්ලි දකුණු පැත්තේ. රෑට බඩගිනි වෙලා සැරෙන් සැරේ ඇහැරිලා අඬන චූටි මල්ලි නළවන්නෙත් මම. හිස් සූප්පුවක් දීල උකුලේ තියලා නළවන කොට මල්ලිට ආයෙත් නින්ද යනවා. මටත් නින්ද යනවා.

අම්මා ගිය දවසෙ ඉඳන් අපේ තාත්තත් හැමදාම ගෙදර එන්නෙ නෑ. රස්සාව කුලී වැඩ. ඒත් හැමදාම වැඩ නෑ. මාසයකට දෙකකට සැරයක් චූටි මල්ලිට කිරි පිටි පැකට් එකක් ගෙනත් දෙනවා.

දවසක් කිරි අම්ම මාත් මල්ලිලා දෙන්නත් එක්ක අපේ පළාතේ ආණ්ඩුවේ ලොකු කන්තෝරුවකට ගියේ තාත්ත ඉඳල හිටල ගෙනත් දෙන කිරි පැකට් එකෙන් විතරක් මල්ලිගෙ බඩ පුරවන්න බැරි හින්දා. අපේ කතාව අහගෙන හිටිය ඒ කන්තෝරුවේ ලොකු මහත්තයා කිව්වේ මොනව කරන්නද අම්මේ. මගේ සාක්කුවෙන් දෙන්න ද?’ කියලා. වචනයක්වත් කතා නොකරපු කිරි අම්ම අපි තුන්දෙනත් අරගෙන ආපහු හැරුණා.

කිරි අම්මගේ ඇහෙන් වැටුණු කඳුළුවලින් මල්ලිගේ පිට තෙමෙනවා මම දැක්කා. කිරි අම්මට තවත් දුක හිතෙයි කියලා මම අහක බලා ගත්තා. දවසක් චූටි මල්ලිට කිරි බෝතලේ දෙන කොට මද්දු මල්ලිත් ඒ කිරි ඉල්ලලා ඇඬුවා.

මගෙ හොඳ මල්ලිනේ, ඔයා අඬන්න එපා. ඔයාට බත් කන්න පුළුවන්නේ. මේ පිටි ටික ඉවර වුණොත් චූටි මල්ලි බඩ ගින්නේ නේද?’ මම මල්ලිව තුරුලු කරගෙන එහෙම කිව්වා. මගේ මල්ලිත් චූටි මල්ලිට හරිම ආදරෙයි. එයා ආයේ කවදාවත් පිටි කිරි ඉල්ලලා ඇඬුවේ නෑ.

අපේ තනියට කිරි අම්ම ළඟ හිටියත් අපිට රසට කෑම බීම දෙන්න, ගවුම් කමිස අරන් දෙන්න කිරි අම්මටයි කිරි අත්තටයි සල්ලි නෑ. වයස වැඩි හින්දා කුලී වැඩක් ලැබෙන්නෙත් නෑ. අම්ම රට ගිය මුල්මාස දෙක තුනේ විතරක් එවපු සල්ලිත් ඉවරයි.

අපේ කිරි අත්ත උදේ ඉඳන් රෑ වෙන තුරුත් හේන් වැඩ කරනවා. කිරි අම්ම හේනට යන්නේ මම ඉස්කෝලේ ඇරිල ගෙදර ආවට පස්සේ. හැන්දෑ වරුවේ මල්ලිලා දෙන්නත් බලාගෙන මම ගෙදර ඉන්නවා. කිරි අම්මත් හේනට යනවා. චූටි මල්ලිගෙ ඇඳුම් ටිකවත් සෝදලා දෙන්න කියලා සමහර වෙලාවට කිරි අම්ම මට කියනවා. ඒ වැඩ වැඩි හින්දා. ඒ වැඩේට නම් මම මඟ හරිනවා. කම්මැළිකමට නෙවෙයි. රෙදි සෝදනකොට මගෙ ඇඟිලි රිදෙනවා.

දැන් නම් මගේ චූටි මල්ලි බත් කනවා. වයස අවුරුදු දෙකක්නේ. කිරි අම්ම කියන්නේ ආරංචියක් නැතත් අම්ම රට ගිහින් දැන් අවුරුද්දකුත් ගෙවිල ඉවරයි කියලා. තුන්වේලම අපට බත් ලැබුණත් කිරි අම්ම නම් හුඟක් දවස්වල බඩගින්නේ. මුට්ටියේ ඉතිරිවෙන දවල් කෑම පංගුව රෑට අපි තුන්දෙනාට බෙදල දීලා කිරි අම්මා තේ කහට කෝප්පෙකින් බඩ පුරව ගන්නවා. ඒ වෙලාවට නම් මට බය හිතෙනවා. හරියට කෑමක් බීමක් නැතිව කිරි අම්මත් ලෙඩ වුණොත් මගේ මල්ලිලා දෙන්නා බලා ගන්නේ කවුද? ඉස්කෝලෙ පරිසර පාඩමේ දී අපේ ගුරුතුමී කිව්වේ නිරෝගී වෙන්න නම් සමබල ආහාර වේලක් ගන්න ඕන කියලයි.

කිරි අම්මත් සැරෙන් සැරේ ලෙඩ වෙන්නේ හරියට කෑමක් බීමක් නැති හින්ද කියලයි මට හිතෙන්නේ. අහල පහල අය නම් කියන්නේ ඔය වයසක මනුස්සයට කිරි දරුවො තුන් දෙනෙක් බලා ගන්නත් පුළුවන් ද කියලා. ඒත් කිරි අම්ම නම් කවදාවත් ඒ ගැන මැසිවිලි කියන්නේ නෑ. මට වාගෙම මල්ලිලා දෙන්නටත් ගොඩක් ආදරෙයි.

උදේ පාන්දරින් ම මම ඉස්කෝලෙට යන්නේ මද්දු මල්ලිත් එක්ක. මගේ මල්ලි වාගෙම පුංචි නංගිලා මල්ලිලා අම්මලා තාත්තලාගේ අතේ එල්ලිලා ලස්සනට හිනා වෙවී පාසලට එනවා. අක්කේ, අපේ අම්මයි තාත්තයි හිටියා නම් අපිටත් ඒ විදිහට යන්න තිබුණා නේද?’ කියලා මල්ලි මගෙන් අහනවා. මටත් එහෙම හිතෙනවා. මගෙ මල්ලිට මම ඉන්නවනේඑහෙම කියල මම මල්ලි ගේ හිත හදනවා.

හැන්දෑවට ගෙදරදී මම මද්දු මල්ලිට අකුරු කියල දෙනවා. චූටි මල්ලිත් ළඟ තියාගෙන පාඩම් පොතේ තියෙන කවි කට පාඩම් කරනවා. මල්ලිලාට සෙල්ලම් කරන්න කොස් කොළ තොප්පි, කුරුම්බැට්ටි මැෂින් හදලා දෙනවා. වහින වෙලාවට නම් කඩදාසි ඔරු හදල ඉල්ලලා මල්ලි කරදර කරනවා.

මම මගේ මල්ලිලා දෙන්නට වාගෙ ම පොත්වලටත් ගොඩක් ආදරෙයි. කඩදාසි ඔරු හදන්න මම කවදාවත් පොත්වල කොළ කඩන්නේ නෑ. අපිට අකුරු ලියන්න, චිත්‍ර අඳින්න පොත් පත් වාගෙම පෑන් පැන්සල් අරන් දෙන්නෙ ඉස්කෝලෙ ගුරුවරු. විදුහල්පතිතුමා, පන්තිබාර ගුරුතුමිය වගේ ම ගුරුවරු හැමෝම අපිට ගොඩක් ආදරෙයි. මම ඉගෙන ගන්න කැමතිත් ඒ හින්දමයි. පහුගිය දවස්වල ඉස්කෝලේ වාර විභාගෙ තිබුණා. ඒ දවසක කිරි අම්මට හොඳටම අසනීප වුණා.

මගෙ පුතේ මල්ලිලා දෙන්නත් බලාගෙන අද ගෙදර ඉන්න.

එහෙම කියල කිරි අම්මයි කිරි අත්තයි බෙහෙත් ගේන්න ඉස්පිරිතාලෙට ගියා. විභාගෙට නොගිහින් මම කොහොමද හයේ පන්තියට පාස් වෙන්නේ. යාළුවෝ ඔක්කොම අද විභාගෙට ලියයි.

මගෙ ඇස්වලට කඳුළු පිරුණා. මගෙ අම්ම හිටියා නම් කවදාවත් මට මෙහෙම වෙන්නේ නෑ.මට එහෙම හිතුණා. මල්ලිලා දෙන්නම ඇහැරුණෙත් ඒ වෙලාවේ.

දෙන්නටම තේ බොන්න දුන්නු මම මද්දු මල්ලිගේ මූණ කට සෝදලා ඇඳුමක් ඇන්දුවා. ඊට පස්සේ චූටි මල්ලිව සේදුවා. ගමනක් යන්න තරම් හොඳ ඇඳුමක් නැති වුණත් මල්ලිට පරණ කමිසයක් ඇන්දුවා. පොත් ටික මද්දු මල්ලි අතට දීලා මම චූටි මල්ලි වඩා ගත්තා.

මම කොහොම හරි අද විභාගෙ ලියනවා.එහෙම හිතාගෙන පාරට ආවා. පාරේ වළවල්, ගල්පතුරුවල වැදිලා මගේ එක රබර් සෙරෙප්පුවක් ගැලවෙනවා. ඒ හැම වෙලාවකම එක අතකින් පොත් ටික ගත්තු මද්දු මල්ලි ඒ සෙරෙප්පුව හදලා දෙනවා. ඒ විදිහට අපි ඉස්කෝලෙට ගියා. ළමයි විතරක් නෙවෙයි. ගුරුවරුත් පුදුම වෙලා බලාගෙන හිටියා. මගේ ඇස්වලට කඳුළු ආවා. බයට නෙවෙයි. ඒ වෙලාවෙ මට ගොඩාක් දුක හිතුණා. විදුහල්පතිතුමා මට කතා කළා.

ඇයි පුතේ මල්ලිත් අරගෙන ඉස්කෝලෙට ආවේඑතුමා මගෙන් ඇහුවා. මම විස්තරේ කිව්වා. මට විභාගෙ ලියන්න ඕනෑ කියලත් කිව්වා. විදුහල්පතිතුමා හරිම කරුණාවන්තයි. මට විභාග ශාලාවට යන්න ඉඩ දුන්නා.

අපේ පන්ති බාර ගුරුතුමී විතරක් නෙවෙයි. ගුරුවරු හැමෝම මල්ලිව වඩාගන්න හැදුවා. මගේ මල්ලි මා ළඟින් හෙල්ලෙන්නේවත් නෑ. මල්ලිට කෑම බීම ගොඩක් දුන්නා. ඒත් කිසිම කෙනෙක් ළඟට යන්න මල්ලි කැමති වුණේ නෑ. මම මල්ලිත් තුරුළු කරගෙන ම ප්‍රශ්න පත්තරේට උත්තර ලිව්වා. ටික වෙලාවකින් මල්ලිට නින්ද ගියා. එක ගුරුතුමියක් මල්ලිව මේසයක් උඩ නිදි කළා.

එදා මේ සිදුවීම දැකපු ගුරුවරු හුඟ දෙනෙක් ඇඬුවා. මටත් ගොඩාක් දුක හිතුණා. ඒත් මොනවා කරන්නද? අපේ අම්ම අපි ළඟ නෑනේ.

කුඩා දරුවන් ඉන්න මවුවරුන් පිට රට රැකියාවලට යාම තහනම්පත්තර පිටුවක එහෙම ප්‍රවෘත්තියක් තියෙනවා දවසක් මම දැක්කා. එහෙම නම් අපේ අම්මා රට ගියේ කොහොමද? අපි තුන්දෙනා තාමත් පොඩි දරුවොනේ. සල්ලි ගොඩක් අරගෙන එනවා කියලා අම්මා රට ගියත් දැන් අම්ම ගැන කිසිම තොරතුරක් නෑ. අහස් යාත්‍රාවක හඬ ඇහෙන කොට මල්ලියි මමයි මිදුලට දුවනවා. අනේ! අපේ අම්මා ඒ අහස්යාත්‍රාවෙන් එනවා නම්! ඒත් අපිට අම්මත් නෑ. තාත්තත් නෑ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නැන්දලා මාමලාට නම් අපේ අම්මා ගැන තොරතුරක් හොයා ගන්න පුළුවන් වෙයි. අනේ නැන්දේ, මාමේ අපේ අම්ම ආයෙත් ගෙන්වලා දෙන්න. එතකොට අනිත් ළමයින්ට වගේ ම මටයි මල්ලිලා දෙන්නටයි ආයෙත් සතුටින් ඉන්න පුළුවන්. අම්ම ගේ අතේ එල්ලිලා ඉස්කෝලේ යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. තාත්තත් ගෙදර එයි.

අම්ම රට ගියේ අපිට ලස්සන ගෙයක් හදල දෙන්න. අලුත් ගෙවල් එපා. වහින වෙලාවට වහලෙන් වැටෙන වතුර බිංදුවලට වළං මුට්ටි තියල නොතෙමී ඉන්න පුළුවන්.

එක ම කාමරේ අපි පස්දෙනාට ගුලිවෙලා ඉන්න පුළුවන්. ඒ කාමරේම පාඩම් කරන්නත් පුළුවන්. අම්මයි තාත්තයි ළඟ ඉන්නවා නම් ඒ හැම දුකක්ම උහුලන්න පුළුවන්. අම්ම ආවොත් කිරි අම්මටයි කිරි අත්තටයි නිදහසේ පිනක් දහමක් කරගන්නත් පුළුවන්.

නිලූෂා දුවගේ විස්තර 0815789778 දුරකතන අංකයෙන් ලබාගන්න පුළුවන්.

විශේෂ ස්තූතිය
උඩුදුම්බර රඹුක්වැල්ල කනිෂ්ඨ විද්‍යාලයේ සුජීවා නිල්මිණී ගුරුතුමියට

රමණී සුබසිංහ
උපුටා ගැනීම (සිළුමිණ )