Jul 13, 2013

පොළවට බට වානෙන් සැදි සුපර් මෑන්

8-2‘සුපර් මෑන්’ යනු ඇමෙරිකානු සංස්කෘතියෙන් බිහි වූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇමෙරිකානු සුපිරි වීරයකු වුවද, මෙවර එම ඇමෙරිකානු රාමුවෙන් මිදී සුපර් මෑන් චරිතය රඟදැක්වීම සඳහා ස්නයිඩර් විසින් තෝරාගනු ලැබ ඇත්තේ ඉංග්‍රීසි ඕඩයේ පිහිටි දිවයිනක් වන ජර්සිහි උපන් ඉංග්‍රීසි ජාතිකයෙකු වන ‘හෙන්රි කැවිල්ය’ කැමරාව ඉදිරියේදී නිරූපණය කරනු ලබන සුපිරි වීරයාගේ චරිතයෙන් මිදුණු කළ නියම බ්‍රිතාන්‍ය ඌරුවකින් යුතුව ඉංග්‍රීසි දෙබස් හසුරුවන, උත්තුංග දේහදාරී, ප්‍රතාපවත් පෙනුමින් යුතු කැවිල් වෙතින් දිස්වන ලෝකෝත්තර භාවය ඉක්මාවලූ අධි අසාමාන්‍ය ආකර්ෂණීය කඩවසම් පෙනුම කියා පාන්නේ සුපර්මෑන් චරිතයට සාධාරණය ඉෂ්ට කිරීමට ඔහු හැර අන් සුදුස්සෙකු නොමැති බවය.
මිහිපිට ඇති කිසිවක්ම හමුවේ හෝ නොසැලෙන, ලෝකෝත්තරත්වය ඉක්මවාලූ තේජාන්විත ස්වරූපයක් ප්‍රකට කරනු සඳහා දෑස් පියා  නොගැනීමටත්  දැඩි හිරු රැස් හමුවේ වුවද පීඩාවට පත් නොවන බව හඟවමින් සෘජුව නැගී සිටීමටත් උත්සාහ දරන කැවිල් ඒ වන විට කැමරාව ඉදිරියේ නිරූපණය කරමින් සිටින ලද්දේ සුපර්මෑන් අරමුණකින් තොරව මංමුලාවූවකු ලෙස ඉබාගාතේ ඇවිද යමින් සිටි අවධියයි. ඒ බව හැඟවීමේ පිටස්තර ලකුණක් ලෙස ඝනව වැඩුණු යටි රැවුලක් ප්‍රකට කළ කැවිල්ගේ රැවුලද කෙතරම් සුපිරි වූයේද යත්, එය මුඩු කිරීම සඳහා සුදුසු රේසරයක් මිහිපිට තිබේද යන්න ප්‍රශ්න කිරීම ස¼ඳහාම එකල යූ ටියුබ් වීඩියෝ 8-3පටයක්ද අන්තර්ජාලයට මුදා හැර තිබිණි. සෑම මිනිත්තු පහළොවකට වරක් බැගින් ස්නයිඩර් විසින් රූපගත කිරීම ඇරඹීම සඳහා ‘ඇක්ෂන්’ ලෙස විධානය නිකුත් කිරීමත් සමග අට්ටාලය වසා පැතිරගනිමින් මහා ගිනි ජාලාවක් පැන නගින අතර, අධිෂ්ඨානය පෙරදැරිව දැඩි කරගත් සිතින් යුතුව කැවිල් ඇවිළෙන ගිනි ජාලා මැදින් ඇවිද යාමට පටන් ගන්නේය. ඔහුගේ මග හරස් කරමින් ඉදිරියට වැටෙන බරැති ක‍පොල්ලක් ඉවත් කිරීම සඳහා කැවිල් ඉදිරියට නැවීමත් සමග දර්ශනය රූපගත කිරීම අවසන් කෙරෙන නියෝගය ස්නයිඩර් විසින් දෙනු ලබන්නේ, ජවනිකාවේ”අවදානම් සහගත ඉතිරි කොටස පරිගණක  සජීවීකරණ සුපර්මෑන් අනුරුව විසින් සම්පූර්ණ කිරීමට නියමිත නිසාය. (එසේ වුවද සංස්කරණයේදී කපා හරින ලද මෙම දර්ශනය චිත්‍රපටයට ඇතුළත් නොවේ.)
කැමරාවට හසු කරගනු ලැබූ ජවනිකාව පසෙක සිට පරිගණක තිරයක් හරහා නරඹන ස්නයිඩර්ද, කැවිල් මෙන්ම මෙම චිත්‍රපටය සඳහා බැලූ බැල්මට සුදුසුයැයි හැඟෙන තෝරා ගැනීමක් නොවන්නේ  ස්නයිඩර් විසින් මීට පෙර
අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටවල ඇතුළත් ඔහුගේ අනන්‍යතා ලකුණ ‘මෑන් ඔෆ් ස්ටීල්’ තුළ දැකිය නොහැකි නිසාය. ‘වොච්මන්’නමැති චිත්‍රපටය හරහා සුපිරි වීරයන් පිළිබඳව බටහිර රටවල මුල් බැසගෙන ඇති මිථ්‍යා ආකල්ප සුණු විසුණු කර දැමූ ස්නයිඩර්,සුපර්මෑන් හරහා තිරයට ගෙනෙනුයේ සිය පෙර නිර්මාණයට හාත්පසින්ම ප්‍රති විරුද්ධ වූද  අව්‍යාජ වූද, පරාර්ථකාමී වූද ව්‍යාජෝක්තියෙන් තොරවූද සුපිරි වීරයෙකි. තමා විසින්ම වරෙක සුණු විසුණු කර දැමූ සුපිරි වීරයාගේ ප්‍රතිරූපයට යළි ජීවය පිඹීමට උත්සාහ දරන සිය නවතම සිනමා සිත්තම වන ‘මෑන් ඔෆ් ස්ටීල්’ පිළිබඳව ස්නයිඩර් කියා සිටිනුයේ, එහි ඇති අපූර්වත්වය නම් ව්‍යාජෝක්තියෙන් තොරව තමා විසින් නිර්මාණය කළ එකම චිත්‍රපටය එය බවය.

කෙසේ වුවද සිනමා ලෝලීන්ට කිසිසේත් ආගන්තුක චරිතයක් නොවන ‘සුපර් මෑන්’ නොහොත් සුපිරි වීරයා කරළියට ගෙනෙන ලද ළමු චිත්‍රපට අධ්‍යක්ෂවරයා ‘සැක් ස්නයිඩර්’ නම් නොවන බව ඉඳුරාම කිව හැක. 2006 වසරේදී බ්‍රයන් සිංගර් විසින් තිරයට ගෙනා,‘ඉභනඥපථචද අඥබභපදඵ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තාවල යම්තාක් දුරකට සිය නම රැන්දවීමට සමත්වුවද ඊට සමානකම් ඇති තවත් චිත්‍රපටයක් බිහි වීමට තරම් ප්‍රමාණවත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් උත්පාදනය කිරීමට එය සමත් නොවීය. සිනමාව ඔස්සේ පමණක් නොව පසුගිය දශකයකට ආසන්න කාලයක් රූපවාහිනිය ඔස්සේද විකාශනය වූ ‘Small Ville’.
මීට දෙවසරකට පෙරදී එහි අවසන් කතා මාලාවේ අවසන් කතාංගයද විකාශය වී නිමාවට පත්විය.) කතා මාලාව ඔස්සේද ප්‍රේක්ෂකයන් හමුවට නිබඳව පැමිණි සුපර්මෑන් නමැති වීරයා යළිත් වරක් කඩිමුඩියේ කරළියට ගෙන ඒමට තරම් ස්නයිඩර් පෙළඹ වූ හේතුව කවරක්ද කියා විමසා බැලීම වටී. මන්ද සුපිරි වීරවරුන්ගේ හිඟයක් මෑත භාගයේදී නොපැවැති නිසාය.

සැබෑම සංකීර්ණ සුපිරි වීරයන්ට ප්‍රිය කිරීමට හැඩ ගැසී සිටින ඇමෙරිකානු සමාජයක යකඩ මිනිසා (Iron man) මෙන් අසුබවාදී දැක්මෙන් යුතු නොවූද, 8-1බැට්මෑන් මෙන් පීඩාවන්ගෙන් පෙළෙන ලද්දාවූද හා  කණස්සලු ස්වභාවයෙන් තොර වුවද සුපර් මෑන් කෙනෙකු ප්‍රේක්ෂක ප්‍රසාදයක් හිමි කර ගනී යැයිි සිතීම උගහටය. කායිකව කිසිදු බාධාවකින් පරාජය කළ නොහැකිවූද  සාරධර්ම අතින් පිරිහීමට ලක් නොවූද, දෑසින් තාප තරංග පිට කිරීමේ අපූරු හැකියාවෙන් යුතු මෙම පිටසක්වල ජීවී සුපිරි වීරයා පිළිබඳව ඔහුගේ පියා (රසල්් ක්‍රෝ) දරන අදහස නම්, සිය පුතු අරමුණක් ඔස්සේ ඉදිරියට යාමට ලෝකය ‍පොළඹවාලන  සාධකයක් වනු ඇති බවය. පසුබිම් විස්තර බොහෝ සෙයින් මීට පෙර බිහි වූ ‘සුපර් මෑන්’ නිර්මාණයන්ට සමානුරූපී වුවද මෑන් ඔෆ් ස්ටිල් හරහා ස්නයිඩර් හට අවශ්‍ය වන ලද්දේ මතෛක් මෙම සුපිරි වීරයා පිළිබඳව නොකියවුණු කතාවක් කීමටය. සුපර් මෑන් චරිතය සම්බන්ධයෙන් කියැවුණු දෑවලට වඩා නොකියවුණු දෑ බහුල බවට විශ්වාස කළ ස්නයිඩර් ‘මෑන් ඔෆ් ස්ටීල්’ හරහා පෙර අප දැනහඳුනාගෙන සිටි සියලුම සුපර් මෑන් චරිත මතක ගබඩාවෙන් සහමුලින්ම ඉවත් කරනුයේ කොතරම් යථාර්ථවාදී නව්‍යතාවයකින් යුතුවද යත් මෙලෙස තමා හමුවට එන්නේ තමන් බොහෝ කාලයක සිට දැන හඳුනාගෙන සිටි වීරයකු බව පිළිගැනීමට ප්‍රේක්ෂකයා මැලි වන්නේය.

එවන් වූ නව පරපුරේ සුපිරි වීරයකු බිහි කිරීම සඳහා සුදුසු රංගන ශිල්පියෙකු තෝරා ගැනීම වෙනුවෙන් මෙබඳු චරිත සඳහාම උපතින්ම උරුම වූ දේහකායකින් ද අංග ලක්ෂණවලින් සමන්විත අපේක්ෂකයන් දෙසීයක් පමණ පරීක්ෂණයට බඳුන් කළ ස්නයිඩර්ගේ අවසන් තෝරා ගැනීම වූයේ එකල රූපවාහිනී මාලා නාටකයක් වූ ‘ද ටියුඩර්ස්’ හි ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් ජනප්‍රියව සිටියාවූද මීට පෙරද සුපර්මෑන් චරිතයක් සඳහා තෝරා ගනු ලැබිමේ සමීපයටම ආ තාරකාවක් වූද හෙන්රි කැවිල්ය. ඒ සඳහා කැවිල්ගේ යෝග්‍යතාව පරික්ෂා කිරීම සඳහා 1978 වසරේදී සුපර්මෑන් චරිතයට පණ පෙවූ ක්‍රිස්ටොෆර් රීව් විසින් ඇඟලන ලද ඇදෙන  සුළු ශරීරයේ හැඩයන් මතු කරමින් ඊට ඇලී පවතින ස්පැන්ඩෙක්ස් රෙද්දෙන් කළ නිල් රතු හා කහ වර්ණයෙන් යුතු සුපර්මෑන් නිල ඇඳුමට බැසීමට සිදු වූ අවස්ථාව කැවිල්ට ඉතා අපහසුදායක පසුගාමී හැඟීම්   දනවන්නක් වී තිබිණි. ඒ වන විට වෙනත් චිත්‍රපටයක සිරුරේ හැඩය නියමිත රාමුවෙන් පිට පැන ගිය භූමිකාවක් නිරූපණය කරමින් සිටි කැවිල්ගේ දේහ බර නත්තල් සමය ද හේතුවෙන් විශාල ලෙස ඉහළ ගොස් තිබිණි. කිසිදු හැඩයකින් තොර ගස් කොටයක් සේ තමාව චිත්‍රපට කාර්ය මණ්ඩලයට පෙනෙනු ඇති බවට වන නොසන්සුන්තාවෙන් කැවිල්ගේ සිත වෙලී පැවැතියද සුපර් මෑන් නිල ඇඳුමෙන් තේජාන්විත ලෙස තමන් ඉදිරියට එන මෙම උත්තුංග දේහධාරියා දුටු කල ස්නයිඩර් ඇතුළු පිරිසට හැඟී යන ලද්දේ නවතම සුපිරි වීරයාගේ චරිතය සඳහා කැවිල් හැර අන් සුදුසුස්සෙකු නොමැති බවය. තවදුරටත් ස්නයිඩර්ට කිරීමට ඉතිරිව තිබෙන ලද්දේ ‘කැවිල්’ කේන්ද්‍ර කොටගත් සිනමා පටයක් නිර්මාණය කිරීම පමණි. මීට පෙර සුපර් මෑන් කේන්ද්‍ර කොටගත් කිසිදු නිර්මාණයක් බිහි නොවූ ගණනට සිය චිත්‍රපටයේ නිර්මාණ කටයුතුවලට අත ගැසූ ස්නයිඩර්ට අවශ්‍ය වූයේ ‘සුපර් මෑන් නමැති ශීර්ෂ පාඨයෙන් මෙම සුපිරි වීරයාව පිටතට ගැනීමයි.

සුපර්මෑන් පාදක කොටගත් මිත්‍යා කතාව නව අර්ථකථනයකින් යුතුව ඉදිරිපත් කිරීම සඳහා චිත්‍රපටයේ ආරම්භක මිනිත්තු විස්ස කැප කළද, සංක්ෂිප්තයෙන් ඉදිරිපත් කෙරෙන ‘ක්‍රිප්ටන්’ ග්‍රහලොව පිළිබඳ හැඳින්වීමත්, සුපිරි හැකියාවන් උරුම කරගත් ළදරු සුපර් මෑන් පෘථිවියට එවනු ලබන අන්දමත්, සුපර්මෑන්ගේ පියාගේ පරම සතුරා වන ජෙනරල් සොඩ් (මයිකල් ෂැනෝන්) අසාධාරණ අන්දමින්, කෙසේ හෝ  දිවි ගලවා ගැනීමට සමත්වන අන්දමත්, කිසිසේත්ම ප්‍රේක්ෂකයා බලා‍පොරොත්තු නොවූ ඉදිරිපත් කිරීමක් නොවන බව කිව යුතුය.

චිත්‍රපටයෙන් දිග හැරෙන කතාව බෙහෝ දුරට ප්‍රේක්ෂකයන්ට හුරුපුරුදු වූවක් වුවද නිසැකයෙන්ම එය සුපිරි වීරයන් හා සම්බන්ධ සෙසු චිත්‍රපටයන්ගෙන් කැපී පෙනෙන ලෙස වෙනස් වන්නකි.  වාර්තා වැඩසටහන්වලට ආවේණික භෞතිකමය අනන්‍යතාවයකින් යුතු ‘මෑන් ඔෆ් ස්ටීල්’ මෙකල නිපදවෙන එබඳු ගණයේ සෙසු චිත්‍රපට මෙන් ඩිජිටල් කැමරා ආධාරයෙන් රූපගත කෙරුනක් බවට පත් නොවිය යුතු බව තරයේ ඇදහූ ස්නයිඩර්ට අවශ්‍ය වන ලද්දේ ප්‍රේක්ෂකයා හට යථාර්ථවාදී සැබෑම සිනමා රූපී අත්දැකීමක් ලබා දීමය. මේ නිසාම සිය ‘300’ නම් වූ චිත්‍රපටයේ රූපගත කිරීම් මුළුමනින්ම පාහේ පැරණි ගබඩාගාරයක් තුළ සංවෘත වාතාවරණයක් සිදුකළ ස්නයිඩර් ‘මෑන් ඔෆ් ස්ටීල්’ හි රූපගත කිරීම් සැබෑ ලෝකය තුළ සිදු කරන ලද්දේ එය හැකිතාක් මනුෂ්‍යත්වයට සමීප කරවීම සඳහායි.

 ක්ලාක් කෙන්ට් (සුපර්මෑන්) හට ධීවර යාත්‍රාවක රැකියාවක් ලැබුණු කළ, සිය කාර්ය මණ්ඩලය අඩි තිහක් උස් වූ දැවැන්ත රළ මත බෝට්ටු චාරිකාවක ගෙන ගිය ස්නයිඩර්, අභ්‍යවකාශයේ සිදුවන සිදුවීම් රූපගත කිරීම සඳහා රිජිෆෝම් ආධාරයෙන් අති දැවැන්ත පිටසක්වල යානා නිර්මාණය කරවන ලදී.  මෙබඳු රූපගත කිරීම් කොතරම් තාත්වික ලෙස සිදුකළේද යත් මයිකල් ෂැනෝන් පවසන ආකාරයට බොහෝ දෙනකු විශ්මයට පත්වන ලද්දේ මෙබඳු 8-4සිදුවීම් සැබෑ ලෙසටම සිදුවිය නොහැක්කේ මන්ද කියාය. ක්ලාක් කෙන්ට් සිය ළමා විය ගත කළ ඇමෙරිකාවේ කැන්සාස් හි පිහිටි ගොවිපළ නිවස එහි රූපගත කිරීම් සඳහා වෙසෙසින්ම ඉදි කළා පමණක් නොව ඒ වටා අක්කර එකසිය හැත්තෑවක භූමි භාගයක් වසා පැතිරී ගත් ඉරිඟු යායක්ද වගා කිරීමට තරම් ස්නයිඩර්ගේ තාත්විකත්වය රතු ඉර පැන තිබිණි.
සුපිරි හැකියාවන්ගෙන් සන්නද්ධ වූ සුවිශේෂී මිනිසුන් කිහිපදෙනෙකු අතර ඇතිවන සටනක්, උදාහරණයක් ලෙස තනි අතකින් බරැති ට්‍රක් රථයක් එසවිය හැකි,  ශබ්දයේ වේගය ඉක්මවූ සුපිරි වේගයකින් පියඹා  යා හැකි සුපිරි වීරයන් කිහිප දෙනෙකු එකම පිටියක ‍පොරවැදුණොත් ප්‍රතිඵලය කෙබඳු විය හැකිද  යන්නෙහි භෞතික න්‍යාය ස්නයිඩර්ගේ දැඩි අවධානයට ලක්විය. එබඳු ගැටුමකදී එල්ල වන හැම පහරකම ප්‍රබලතාව එයාකාරයෙන්ම ප්‍රේක්ෂකයාට අත්විඳීමට සැලැස්වීම, සිය නිර්මාණයේ සාර්ථකත්වය තහවුරු කරන්නක් බව ස්නයිඩර්ගේ පිළිගැනීම විය.

චිත්‍රපටයේ එන තවත් එක් මනබඳිනා සුළු දර්ශනයක් වන්නේ සුපර් මෑන්, පවනට බඳු සුපිරි වේගයකින් පියාඹා යන ආකාරයයි. ස්නයිඩර් විසින් අපට හුරුපුරුදු එකී දර්ශනය සිය ප්‍රති පරිකල්පන මහිමය විදහාලමින් ඉදිරිපත් කරනුයේ කක්ෂයෙන් ඉවත්ව යන ෂටලයකින් නිකුත් වන්නාක් බඳු තුනී දුමාරයකින් සුපර්මෑන්ගේ ගමන් මග සලකුණු කරමිනුයි. එමෙන්ම ඔහුගේ පියාසැරීමේ වේගය කෙතරම් ප්‍රබලද යන්න ප්‍රේක්ෂකයාට දැනෙන ලෙස හැඟවීමට ඔහු යොදාගෙන ඇති උපක්‍රමය  නම් එකී රූපරාමු කැමරාවට හසුකර ගැනීම ඉතා දුෂ්කර වූ බව ඇඟවෙන අයුරින්ද, පියාඹා යන සුපර්මෑන් කැමරා කෝණයට කොටු කර ගැනීමේ දුෂ්කරතාව මැනවින් විදහා දක්වන සේ ඒවා රූපගත කිරීමයි. මේ නිසාම ඇතැම් ඇතැම් රූපරාමු නරඹන කල ඉකුත් පෙබරවාරියේදී රුසියාවට හදිසියේ ඇද හැළුණු උල්කාපාත වර්ෂාව දැක්වෙන යූ ටියුබ් වීඩියෝ පටයක් සිහි වීම නොවැළැක්විය හැකිය.

ස්නයිඩර් විසින්ම අවධාරණය කරන ආකාරයට මෙම චිත්‍රපටයේ ඇති අපූර්වත්වය වනුයේ තමා විසින් එතෙක් මතෛක් සිදුකළ වඩාත්ම යථාර්ථවාදී චිත්‍රපටය වනුයේ යථාර්ථයෙන් ඈත් වූ සුපර්මෑන් නිර්මාණයක් වීමයි. යථාර්ථයට සමීප වීමට නම් ඉන් ප්‍රේක්ෂකයා තුළ ජනනය කරවන හැඟීම් සත්‍යවාදී විය යුතු බව  තරයේ ඇදහූ ස්නයිඩර් සෑම චරිතයක්ම එබඳු ගැඹුරු මට්ටමේ හැඟීම් දනවන අයුරින් රංගනයේ නියැළීම අපේක්ෂා කළේය. සැබෑව ඉක්මවූ විචිත්‍ර සිදුවීම්වලින් පරිපූර්ණ වුවද සිය චිත්‍රපටය සැබෑ ලෝකය තුළ ජීවත් වන සංවේදනාත්මක ලෙස යථාර්ථවාදී වූවක් බවට පත් කිරීම ස්නයිඩර්ගේ  අභිප්‍රාය විය. සුපර්මෑන් දෙස ස්නයිඩර් බැලුම් හෙලූ දෘෂ්ටි කෝණය වූයේ, බාහිරින් පැමිණෙන ලදුව දරුකමට ගනු ලැබුවාද මෙලොව තුළ තමාට හිමි ස්ථානය සොයා ගැනීමට යත්න දරන පිටස්තරයෙකු යන්නය. සිය මාහැඟි හැකියාවන් සමග නිරායාසයෙන් හිමි වන ජයග්‍රාහී විශ්වාසයකින් යුතුව ක්‍රිස්ටොෆර් රීව් විසින් පණ පෙවූ සුපර්මෑන් චරිතය අද කැවිල් විසින් නිරූපණය කරන්නේ සමාජය විසින් තමාව අනේක වරක් වරදවා වටහා ගනු ලැබිම තුළ ජීවත් වෙමින් වුවද යම් දිනයක මනුෂ්‍යත්වය විසින් තමාව පිළිගනු ඇතැයි යන බලා‍පොරොත්තුව පෙරදැරිවය.

ඇත්තෙන්ම එය මතෛක් අප දැන සිටි වීරයන් වන ‘අයන් මෑන්’ (සිය හැකියාව යහපත වෙනුවෙන් යෙදවීමට ඉගෙන ගන්නා ධනවතා) බැට්මෑන් (තමා පෙළනු ලබන පළිගැනීමේ ච්ෙතනාව යහපත වෙනුවෙන් යෙදවීමට උගෙන ගන්නා පීඩනයට පත් අනාථ තරුණයා) වැන්නවුන්ට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නකි. ඇමෙරිකාවේ ගම්බද පරිසරයක යහපත් පවුල් පසුබිමක් තුළ හදා වඩා ගැනීමට ලක්වීම හෙයින් ස්වභාවයෙන්ම  යහපත් චරිතයකින් යුතු සුපර් මෑන් හරහා  ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කෙරෙනුයේ සමාජය යහපත උගැන්මට දරන උත්සාහයත්, යහපතේ පරමාදර්ශයක් බඳු වූ එකී සුපර්මෑන් චරිතය, එනම් ජානමය වශයෙන් දක්වන්නා වූ අසාමාන්‍ය බල පරාක්‍රමයෙන් යුතු මෙකී පිටසක්වල ජීවී චරිතය සමාජය විසින් පිළිගැනීමට උත්සාහ දරන ආකාරයත් බව පැවැසීම ‘මෑන් ඔෆ් ස්ටීල්’ චිත්‍රපටයට සැක් ස්නයිඩර් විසින් දීමට උත්සාහ දරා ඇති අර්ථකථනයයි.
රුක්ලන්ති පෙරේරා Time ඇසුරිනි.

Jul 8, 2013

නිසි තැන් වෙනුවට ඉහළ තැන් ලද තායි වනිතා ශ්‍රම බළකාය

4-1තායි වනිතාවන් දෙස බැලූ විට හැඟෙන්නේ සමතැන් ඉල්ලන්නේ නැති වනිතාවන්ට නිසි තැනටත් වඩා ඉහළ තැනක් ලැබි තිබෙන බවකි. ඒ මන්ද යත් එහි පිරිමින්ට වඩා රැකීරක්ෂා ඇබෑර්තු තිබෙන්නේ කාන්තාවන්ට වීමයි. ගෘහණියකගේ කාර්ය භාරයට අමතරව ඔවුන් පිරිමින්ට වඩා කාර්යක්ෂම ලෙස රටේ සංවර්ධන ක්‍රියාවලියට උරදී සිටී. 4-2දරුවන් තුන් හතර දෙනෙකු සිටින පවුලක පවා මව කුමක් හෝ රැකියාවක නිරත වෙති. එය මධ්‍යම පාන්තික හෝ ධනවත් පන්තියේ කතුන්ට ද ‍පොදුය. ධනවත් හෝ මධ්‍යම පන්තියේ කියා රැකියාවේ වෙනසක් නැත. අපේ රටේ මෙන් නොව ඔවුන්ගේ සුදුස්සාට සුදුසු රැකියා ලැබි තිබේ. නූගත් එහෙත් බලය සහ මුදල් ඇත්තවුන් උස් පුටුවල සිට හයිකාරකම් පෙන්වන්නේ නැත. රැකියාවේ හෝ බලයේ උණුසුමින් මහජනයාට පාට් දමන්නේ ද නැත. උස් පුටුවල සිටින්නන්ගේ දරුවන්ගෙන් ද සාමාන්‍ය වැසියන්ට කිසිදු ආකාරයක කරදරයක් හෝ හිරිහැරයක් මේ දක්වා වාර්තා වී ද නැත.
රාජකාරි කාලය තුළ තමාට අයත් රැකියාව හෝ ව්‍යාපාරය මැනවින් ඉටු කරන්නට මෙම වනිතාවෝ සැදී පැහැදී සිටිති. එය පදික වේදිකාවේ සිදුකරනු ලබන ව්‍යාපාරයක් වන්නට පුළුවන. මේසන් රැකියාවක් වන්නට පුළුවන. එසේත් නැතිනම් ටුක් ටුක් රථයක රියැදුරු රැකියාවක් හෝ බස් කොන්දොස්තරකමක් හෝ වන්නට පුළුවන. මේ සෑම රැකියාවක්ම ඔවුන් දැඩි වගකීමකින් ඉටු කරති. ඒ අතින් ඔවුන් සිටින්නේ පිරිමින්ට වඩා ඉදිරියෙනි.
70 දශකයේ මුල් භාගයේ තායි වනිතාවන්ගේ රැකියා වියුක්තිය පැවතුනේ ඉහළ අගයකය. ක්‍රමයෙන් රටේ සංවර්ධන මංපෙත් පුළුල් වීමත් සමග කාන්තා 4-3රැකියා වියුක්තිය අවම වන්නට පටන් ගෙන තිබිණි. 1976 වසර වන විට කාන්තා රැකියා වියුක්තිය සියයට 93කින් අවම වූ අතර ශ්‍රම බළකායේ කාන්තා නියෝජනය පිරිමි නියෝජනය හා සම මට්ටමකට පැමිණ තිබිණි. එතැන් සිට 1983 වසර දක්වා ශ්‍රම බළකායේ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ පහළ නොගිය අතර 1976 සිට 1985 දක්වා වසර දහය කාන්තා දශකය ලෙස නම් කරනු ලැබිය.
ඔවුන් පළමු වරට සංවිධානාත්මක ලෙස ජාත්‍යන්තර තලයේ ශ්‍රමික කාන්තා සමුළුවකට සහභාගි වූයේ 1985 වසරේදීය. ඒ කෙන්යාවේ නයිරෝබි නුවර පවත්වන ලද සමුළුවකි.
ඉන් අනතුරුව තායි කම්කරු ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ 1998 වසරේදීය. ඒ කම්කරු ආරක්ෂක පනත නමිනි. ටීආර්ටී නොහොත් තායි තරක් තායි පක්ෂයේ යෝජනාවකට අනුව එය ඉදිරිපත් වී තිබිනි. කාන්තා සහ පිරිමි කම්කරු දෙපිරිස වෙනුවෙන් එය පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර ඉන් අනතුරුව කම්කරු ප්‍රජාව වෙනුවෙන් නීති පද්ධති සකස් කෙරිනි
.
2002 වසරේ සිට 2011 වසර දක්වා පිරිමි සහ කාන්තා ශ්‍රමිකයන්ගේ වර්ධනය වෙන් වෙන් වශයෙන් සලකා බැලූ විට පිරිමි ශ්‍රමිකයන් සංඛ්‍යාව වර්ධනය වී ඇත්තේ ලක්ෂ 23 කිනි. නමුත් කාන්තා ශ්‍රමිකයන් සංඛ්‍යාව ලක්ෂ 31කින් වර්ධනය වී තිබේ. ස්වයං ව්‍යාපාරික මට්ටමින් ශ්‍රම බළකායට එකතු වී ඇති කාන්තා ප්‍රතිශතය සියයට 18කි. ඉන් වැඩි පිරිසක් රූපාලංකරණ ක්‍ෂේත්‍රය හා සම්බන්ධ රැකියාය. කේෂාලංකරණ ආයතනය, සම්බාහන ආයතන සහ මැහුම් ගෙතුම් ආදිය ද ඊට ඇතුළත්ය. කාන්තා ස්වයං රැකියා ක්‍ෂේත්‍රය කෙතරම් සාර්ථක ලෙස පණ ගැන්වී ඇත්ද යත්, ෆෝබ්ස් සඟරාව 4-4පවසන අන්දමට ලොව හොඳම ව්‍යාපාරික කාන්තාවන් පනස් දෙනා අතර සිටින්නියක් ද තායිලන්ත කාන්තාවකි. යුවදී ජිරාදිවට් නම් වන ඇය කොටස් වෙළෙඳ‍පොළ හිමිකාරියකි. පසුකාලයේ ඇය සහභාගි වූ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී, විවාදයකට තුඩු දිය හැකි කරුණක් පවසන ලදුව එය මාධ්‍ය මගින් ඉස්මතු කර පෙන්වා තිබිණ. සාකච්ඡාව අවස්ථාවේ මෙය දැඩි ලෙස සිදු කළ ප්‍රකාශයක් වුවද, පසුව ඇය කීවේ මෙය ඉතාම සාර්ථක ලෙස සිදුකළ විහිළුවක් පමණක් බවයි.

“තායිලන්තයේ පිරිමින් ඉන්න ඕනෙ තැන්වල දැන් ඉන්නෙ කාන්තාවන්. ඒක හරිම ආඩම්බරයක්. නමුත් තව කාලය ගත වන විට තායි පිරිමින් ගෘහණියන් බවට පත් වෙලා. කාන්තාවන් බලවත් වෙයි කියලත් හිතෙන අවස්ථා තිබෙනවා”.

තායි දත්ත වාර්තාවලට අනුව තායි කාන්තාවන්ගෙන් සියයට 58ක් අඩු අධ්‍යාපනලාභීන්ය. එනම් ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු පාසල් හැර ගියවුන්ය. නමුත් අත්දැකීම් මත තමාගේ සේවා වගකීම් ගැන මනා දැනුවත් බවක් සහ වැටහීමක් තිබේ. වාර්තා පෙන්වා දෙන අන්දමට කම්කරු රැකියාවන්ගේ නියුක්ත කාන්තාවන්ගෙන් සියයට 90ක් කෘෂිකර්මය හා සම්බන්ධ රැකියාවල නිරත වී සිටී. ඒ ගම්බද ප්‍රදේශවලය. 1980 වසරේ කෘෂිකාර්මික භෝග අපනයනය කිරීමෙන් තායිලන්ත දළ දේශීය නිෂ්පාදිතයට එකතු වූ ආදායම සියයට 15.5කි. 1986 වසරේදී එය 43.6කි. 1989 වසර වන විට 65.5 ක් වූ එය 1996 වසරේදී 89.4 ක් දක්වා ඉහළ නැග තිබිණි. මේ ආකාරයට රටේ සංවර්ධනයට උරදීමේ පූර්ණ ගෞරවය රජය විසින් ලබා දී තිබෙන්නේ ද කාන්තාවන්ටය.

නගරබද අඩු අධ්‍යාපනලාභී කාන්තාවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් පදික වෙළෙඳාම්, මේසන් රැකියා හෝ ඉලෙක්ටේ‍රානික ක්‍ෂේත්‍ර ආදියෙහි නිරත වී සිටිති. පදික වෙළෙඳ කාන්තාවන්ගේ ප්‍රධාන වෙළෙඳ භාණ්ඩය ඇඳුම් පැළඳුම්ය. දිනපතා උදෑසන දැවැන්ත ට්‍රන්ක පෙට්ටිවල නානා ප්‍රකාර ඇඳුම් පුරවා ගෙන පැමිණෙන ඔවුන් විදේශිකයන් ගමන් ගන්නා මංමාවත් අසල යම්කිසි ස්ථානයක් බලා තාවකාලික කුටියක් අටවා ගනී. ඒ සඳහා අවශ්‍ය යකඩ කණුවේ සිට බෝල්ට් ඇණය දක්වා වූ සියලු අඩුපාඩු ගෙන එන්නේ ඉහත කී ට්‍රන්ක පෙට්ටිය තුළ දමා ගෙනය. ඉන්පසු සවස් වනතුරු සිය වෙළෙඳාම් කටයුතු සිදුකරන ඔවුන් සවස හය පමණ වන විට සියලු සේසත හකුලා ට්‍රන්ක පෙට්ටිය තුළ දමාගෙන යන්නට යයි. නැවත වැඩ පටන් ගන්නේ පසුදා උදෑසනය.

සේල්ස් ගර්ල්ස් නොහොත් සුපිරි වෙළෙඳසල්වල විකුණුම් සේවිකා වෘත්තිය, පදික වෙළෙඳාමට වඩා පියවර කීපයක් ඉදිරියෙන් ඇති රැකියාවකි. විකුණුම් සේවිකාවක වීම සඳහා වැඩිදුර අධ්‍යාපනයක් අවශ්‍ය නොවූවද මුදල් අයකැමි තනතුර සඳහා නම් සාමාන්‍ය අධ්‍යාපනයක් හෝ අවශ්‍යය. බැංකොක් නගරයේ ඇති වෙළෙඳසල්වලින් සියයට 95ක් පමණ ඇත්තේ සුපිරි වෙළෙඳසල්ය. ඒ නිසා විකුණුම් සේවිකා ඇබෑර්තු මදි නොකියන්නට තිබේ. මෙම සෑම සුපිරි
4-5වෙළෙඳසලකම විකිණීම සඳහා තබා ඇති බඩු භාණ්ඩවලට අමතරව එක්තරා ‍පොදු උපකරණයක් තිබේ. ඒ සෑම බිත්තියකම පාහේ සවිකරන ලද විශාල ප්‍රමාණයේ දර්පනයන් (මුහුණ බලන කණ්ණාඩි) ය. මේවා අලෙවිය සඳහා තැබූ ඒවා ද නොවේ. සුපිරි වෙළෙඳසල්වල භාණ්ඩ සොරා ගැනීම වැළැක්වීම සඳහා මේවා සවිකළැයි සිතීම සම්පූර්ණයෙන්ම විහිළුවකි. මන්ද යත් ඒ සඳහා ඕනෑතරම් සීසීටීවී කැමරා පද්ධති සවිකර තිබිමයි.

මෙතරම් දර්පන ප්‍රමාණයක් බිත්තිවල එල්ලා තැබිමට හේතුව සොයා බැලූ විට, දැනගත හැකි වූයේ පුදුම උපදවන කාරණයකි. ඒ සියලුම දර්පන වෙළෙඳ සේවිකාවන් වෙනුවෙනි. වෙළෙඳ සේවිකාවන්ගේ රූපාලංකරණය වෙනුවෙනි. කණ්ණාඩි පමණක් නොව සුපිරි වෙළෙඳ‍පොළේ විකිණීම සඳහා තබා ඇති ඕනෑම ආ‍ලේපනයක් නොමි‍ලේම නිවසට රැගෙන යන්නට ද ඔවුන්ට අවසර තිබේ. නමුත් ඒ යම්කිසි සීමාවක් දක්වා පමණි. එපමණක් නොව, සෑම සේවිකාවක්ම උදෑසන සේවයට වාර්තා කළ පසු සම්පූර්ණයෙන්ම මුව අලංකරණවලින් (එනම් මේක් අප්) සැරසිය යුතුය. මේ කියන දර්පන සවිකර ඇත්තේ ඒ සඳහාය. උදෑසන නවයට පමණ මෙවැනි වෙළෙඳසලකට ගොඩවුවහොත් මෙහි ඇත්ත නැත්ත දැකිය හැකිය. වෙළෙඳ සේවිකාවන් එක රොත්තට මුව ආ‍ලේපන උලති. තොල් පාට කරති. හිසකෙස් කරකවා එක එක මෝස්තරවලින් හැඩ කරති. කෙටියෙන්ම කිවහොත් රූපලාවන්‍යාගාර මෙනි. ගනුදෙනුකරුවන් ගැන අවධානය ඇති වන්නේ එම කාර්යයෙන් අනතුරුවය. නමුත් මේ පිළිවෙළ ගැන කිසිම පුද්ගලයෙකු දොස් කියන්නේ ද නැත.

මෙම මේක් අප් කිරීම වෙළෙඳ සේවිකාවන්ට පමණක් සීමා වූවක් නොවේ. බස් කොන්දොස්තරවරියන් ද එසේය. පදික වේදිකාවේ වෙළෙඳාම් කරන කාන්තාවන් ද එසේය. මේසන් වැඩ කරන කාන්තාවන් ද වර්ණවලින් සරසන ලද දෙතොල් සහ දුන්නක් සේ අඩක් වක් වුණු, පාට කරන ලද ඇහිබැමිවලින් යුක්තය. ගිනි කාෂ්ඨක අව් රශ්මියේ ටුක් ටුක් රථ පදවාගෙන යන රියැදුරුවරියන් ද සම්පූර්ණ මේක් අප් භාවිතයෙන් හැඩ වී සිටිති. අපට විකාරයක් ලෙස පෙනුණද ඕනෑම පුද්ගලයෙකුට ප්‍රියමනාප ලෙස සිටීම සඳහා ඔවුන් හුරු වී තිබෙන ආකාරයයි මේ. මෙවැනි හේතු නිසාම තායි තරුණියක් දෙස දෙවරක් හැරී නොබලන්නට හිතෙන යම් පුද්ගලයෙකු වේ නම් නියත වශයෙන්ම එම පුද්ගලයා දෑස් නොපෙනෙන්නෙකු විය යුතුය. නොඑසේ නම් සිහි කල්පනාවක් නැත්තෙකු විය යුතුය. එසේත් නැතිනම් සියලු කෙලෙසුන් නැසූ යතිවරයෙකු විය යුතුය.

දුලංජලී මුතුවාඩිගේ තායිලන්ත සංචාරයකින් පසු