Apr 5, 2013

එදා කොළඹ පාරවල්වල නම් හැදුණු හැටි


එදා කොළඹ පාරවල්වල නම් හැදුණු හැටි
අඩුවෙන් ගමන්කළ මාර්ගයක් ඔස්සේ - කුමුදුනී හෙට්ටිආරච්චි විසිනි

කොළඹ මාර්ගවල පැරැණි නම් වෙනුවට අලූත් නම් යෙදීම සිදුවෙමින් පවතිද්දී සන්ඬේ ටයිම්ස් හි කුමුදුනී හෙට්ටිආරච්චි  සමග කළ සාකච්ඡාවක් මගින් ෆ්‍රෙඞ්රික් මෙන්ඩිස් අප රැගෙන යන්නේ දීප්තිමත් ඓතිහාසික සංචාරයකය.
නමක වටිනාකම කුමක්දැයි කවියා විමසුවද පොත් හා ලිය කියවිලි මගින් දැනුම ලබාගෙන මෙන්ම දුවිලි මාවත් දිගේ දිවිය පුරා ඇවිද ඇති වයස අසූ ගණන්වල සිටින ප්‍රෙඞ්රික් මෙන්ඩිස්ට සැම දෙයක්ම ඇත්තේ නම තුළය.
කෙසේ වෙතත් දෙපසෙහි ගස් වවා ඇති හෝර්ටන් පෙදෙසට නම ලැබුණු ආකාරයත් එහි පවුල් ප‍්‍රශ්න හා ඒ පිටුපස ඇති කවි පිළිබඳව ඔහු දැනුම ලබා ගන්නේ කවියාගෙන් නොව බයිරොන් සාමිවරයාගෙනි.
මෙන්ඩිස් මහතා සමග කළ දිගු සාකච්ඡාවේදී සන්ඬේ ටයිම්ස් පුවත්පතට දැන ගන්නට ලැබුණේ ලංකාවේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයකුව සිටි ශ්‍රීමත් රොබර්ට් විල්මට් විවාහ වූ අවස්ථාවේ ඔහුගේ මාමා ස්ථිර ලෙස ප‍්‍රකාශ කළේ තමන්ට හිමිවන දේපළවල උරුමය ලැබීමට නම් ශ්‍රීමත් විල්මට් වාසගම් ද්විත්වයන් භාවිත කළ යුතු බවයි.
ආණ්ඩුකාරවරයාගේ විවාහයෙන් පසුව තම බිරිඳගේ වාසගම එකතුවීම නිසා ඔහුගේ නාමය ශ්‍රීමත් රොබර්ට් විල්මට් හෝර්ටන් බවට පත්වූ අතර අවසානයේදී කුරුඳුවත්තේ මධ්‍යම ප‍්‍රදේශයේ ඇති මාර්ගයකට එම නම ලැබුණේද ඒ ආකාරයෙනි. මෙන්ඩිස් මහතා කියන ආකාරයට කතාව එතැනින්ද නවතින්නේ නැත. සම්මානනීය කවි බයිරන් සාමිවරයා ආණ්ඩුකාරවරයාගේ බිරිඳගේ ඥාතියකුවන අතර ඔහු ”රාති‍්‍රයේ සුන්දරත්වය මෙන් ඇය ගමන් කරයි” කෘතිය කරන්නේ ආණ්ඩුකාර බිරිය කළු ගවුමකින් සැරසි සිටිනු දුටු අවස්ථාවකට පසුවය.
87 හැවිරිදි මෙන්ඩිස් මහතාගේ මතකය තුළින් නම් දින සහ නොවැදගත් තොරතුරු ද වචනයට නැගුණේ සන්ඬේ ටයිම්ස් සම්මුඛ සාකච්ඡාවේදී පමණක් නොවේ. ශ්‍රී ලංකා ජාතික භාරය විසින් අගෝස්තු 30දා හැටන් නැෂනල් බැංකු ශ‍්‍රවණාගාරයේ පවත්වනු ලැබූ මාර්ග හා ස්ථාන නාම පිළිබඳ අතුරු සමීක්ෂණයේ සම්මන්ත‍්‍රණයේදී විශාල පිරිසක් ඉදිරියේ කළ කතාවේදී ද එය එසේ සිදුවිය.
කවි ගැන මෙන්ම බි‍්‍රතාන්‍යයන්ගේ කාලයේ ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන ද කතා කළ අතර බලවත් ලෙස පෑන මෙහෙයවූ අයිරිස් ජාතික ආචාර්ය කි‍්‍රස්ටෝපර් එලියට් ගැනද සඳහන් කරමින් කීවේ ඔහුගේ නමින් නම්කළ මාර්ගයේ නාම පුවරුවේ එම නමේ අකුරු වැරැදියට ලියා ඇති බවයි. ත්‍යාගශිලියකු වූ ආචාර්ය එලියට් බොරැල්ලේ පදිංචිව සිටි අතර කලම්බු ඔබ්සර්වර් පුවත්පතේ කතුවරයා ලෙස කටයුතු කළේය. බි‍්‍රතාන්‍යයන් විසින් පනවනු ලැබූ බලූ බද්ද සහ තුවක්කු බද්ද ඇතුළු බදුවලට එරෙහිව ප‍්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගිය ඔහු එයින් නොනැවතී බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහි විරෝධතා සඳහා ද ජනයා මෙහෙයවීය.
බලූ බද්ද ගෙවීම ප‍්‍රතික්ෂේප කළ ඔහු වේදිකාවට ගොඩවී ඉංගී‍්‍රසියෙන් මෙන්ම සිංහලෙන් ද දේශීය ජනයා අමතා කතා කළ බව කී මෙන්ඩිස් ඔහුගේ එම කි‍්‍රයා කලාපයට එල්ලවූ බරපතළ ප‍්‍රතිචාර ගැනද සඳහන් කළේය.
එලියට් මහතා විසින් 1848 ජුලි 26 වැනිදා සංවිධාන කළ මහා විරෝධතාවයෙන් කලබලයට පත් බි‍්‍රතාන්‍ය හමුදාව පිටකොටුවේ සහ මරදානේ සිට බොරැල්ල කරා මෙහෙයවන ලද්දේ එම මහජන කැළඹිලි මැඩ පැවත්වීම සඳහාය. කැරලිකරුවන් පෙරළා පහරදුන් නිසා බි‍්‍රතාන්‍යයන් කළ වෙඩි තැබීමෙන් විශාල පිරිසක් මිය ගියහ. යටත් විජිත ලංකාව තුළ යුද නීතිය ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. මුහුදින් එතර සිට කි‍්‍රයාත්මක වූ බලගතු බි‍්‍රතාන්‍ය පාලනය බලවත් පීඩනයකට ලක්වූ බව පෙනී ගියේය.
මෙම සිදුවීම ගැන බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්න කිරීමේ බරපතළ ප‍්‍රතිවිපාක ඇතිවූ අතර අගමැති ජෝන් ලෝඞ් රසල් තම කිට්ටු ඥාතිවරයකු වූ ටොරින්ටන් සාමිවරයා ආණ්ඩුකාරවරයා ලෙස පත්කර එවනු ලැබීය. මෙය ඥාති සංග‍්‍රහයක් ලෙස විවේචනයට ලක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ටොරින්ටන් සාමිවරයා සහ වෙනත් ප‍්‍රධාන නිලධාරීන් ආපසු කැඳවීමට සිදුවූ අතර බි‍්‍රතාන්‍යයේ කැබිනට් මණ්ඩලය ද විසුරුවා හරිනලද බව මෙන්ඩිස් මහතා කියයි.ඊළඟට බේරේ වැව ගැන විස්මය ජනක විස්තර කිරීමක යෙදෙන ඔහු එය කැලණි ගඟට සම්බන්ධ විශාල මඬ වගුරක් බවත් බොරැල්ල දෙමටගොඩ සහ කොළොන්නාව හරහා එම සම්බන්ධය තුබූ බවත් කියයි. සුළඟත් සමග ප‍්‍රදේශයට මෝසම් සුළං ලැබෙන විට මෙහි දිය රැලි ඇතිවන බවත් මෙහි බොර ඇළක් ඇතිවූ බවත් (පසුව බොරැල්ල වූයේ එයයි) පවසයි. නාරාහේන්පිට දක්වා පැතිරෙන මෙම මඩ වගුර වෙත දැදුරුඔය කැලයේ සිට කැලණි ගඟ ඔස්සේ පැමිණෙන අලින් නොපෙනී යන බවද මෙන්ඩිස් මහතා ප‍්‍රකාශ කළේය.
මෙහි මුල් සිංහල නම නාරහත්පිටිය බවට විශ්වාසයක් පවතින බවත් එහි නා යනු අලින් බවත් එහි තේරුම අලින් අතුරුදන්වන ස්ථානය බවත් ඔහු හෙළි කළේය.
ඉන්පසුව ජලය ගලා යන්නේ නාවලටය. එය එකල ඝන වනාන්තරයකි. බුවනක බාහු මරා දැමිමෙන් පසුව කෝට්ටේ අත්හැර දමා තුබූ බවද මෙන්ඩිස් මහතා විස්තර කළේය.  ඕලන්ද ජාතික ඉතිහාසඥයකු වන වැලන්ටයින් පසුව විස්තර කොට තිබෙන්නේ ප‍්‍රදේශය ඇත් ගාලක් තත්ත්වයට පත්ව තුබූ බවයි.  නාවලින් පසුව පාගොඩ (හල්ගොඩ හෙවත් හබල් ඔරු නැවතුම) හරහා ජලය දියවන්නාවට ගලා යයි.
ඒ දිනවල මෙම ප‍්‍රදේශ හරහා අලින්ගේ ගමන් මගක් වූ බව ඔබ දන්නවා දැයි මෙන්ඩිස් මහතා විමසයි. නාවල, නාවින්න (නැහින්න) එනම් අලි සිටින ළඳු කැලෑව, පාදුක්ක, සිංහරාජ වනාන්තරය සහ දකුණේ පනාමුරේ දක්වා ප‍්‍රදේශයේ අලි ගමන් මගක් වූ බව පැහැදිලිය.
කුරුඳුවත්ත පසුබිම පිළිබඳව නැවත කතා කරමින් ඔහු කීවේ රොස්මීඞ් පෙදෙස නම් කොට තිබෙන්නේ රොස්මීඞ් සාමිවරයා වූ ශ්‍රීමත් හර්කියුලස් රොබින්සන් නාමයෙන් බවයි. ගිල්ෆර්ඞ් පෙදෙස නම්කොට තිබෙන්නේ ලංකාවේ ප‍්‍රථම බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයා වූ හා ග්ලිෆර්ඞ් හි අර්ල්වරයා වූ ෆෙඞ්රික් නෝර්ත් වෙනුවෙනි. එමෙන්ම ස්ටැන්මොරි ක්‍රෙසන්ට් නම්කර ඇත්තේ සැටැන්මොර් සාමිවරයා වූ ශ්‍රීමත් ආතර් ගොර්ඩන් වෙනුවෙනි.
මේවා ගැන මතුපිටින් කතා කරන්නේ නැතිව මෙම පුරාවස්තු ලෝලියා ඉතිහාසය තුළ එක් පියවරක් නොව පියවර ගණනාවක් ඉදිරියට ගොස් ඇති අතර දිවයින පුරා ස්ථාන 900ක ස්ථාන නාම පිටුපස තිබෙන කුඩා රහස් සහ කතා පිළිබඳ හෙළිදරව් කරගෙන තිබේ. කොළඹ 4 ශාන්ත පීටර් විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී මෙන්ඩිස් මහතා මෙම විෂයයට ඇලූම් කරන්නට වූයේ ඔහුගේ පියාද පුරාවස්තු රැස් කරන්නකුවීම නිසාය. ”නුගේගොඩ අපගේ නිවසේ තාත්තා සතු පෞද්ගලික කෞතුකාගාරය තුබූ” බව කියන ඔහු වැඩි දුරටත් කියන්නේ එහි ප‍්‍රධාන වශයෙන් තඹ, පොර්සිලේන් හා ඇත් දළ භාණ්ඩ තුබූ බවයි.නැවතත් තමන්ගේ පි‍්‍රයතම විෂයයට ගිය මෙන්ඩිස් කොළඹ හෙවත් කොළොන්තොට පිළිබඳව දිගු විස්තරයක් කෙළේය. කොටුව ප‍්‍රදේශයේ තුබූ අඹ ගසක කොළ මිස ගෙඩි නොතිබිණි.  ඕලන්දකාරයෝ මෙය ඔවුන්ගේ රාජදුත ලාංඡනයට ද ඇතුළත් කළහ. එයින් ද නොනැවතුණ  ඕලන්දකාරයන් මෙම නම යොදා ගත්තේ  ඕලන්දකාරයන් භාවිත කළ ලතින් භාෂාවේ එන කොලූම්බා යන යෙදුම ඇසුරින්ය.
ස්ථාන නාම පිළිබඳ ඔහුගේ දැනුම ගැන වමේ සිටි උදවිය ආකර්ශනය කර ගැනීමට බගතලේ පාර පිළිබඳව ඔහු කළ විස්තරය ද හේතුවිය.
”බගතලේ” යනු ”කිසිවකුට දෙවැනි නැති” යන අර්ථය ඇති වචනයක් බව කී ඔහු එය සුළු මුදල් ඔට්ටු සඳහා කෙරෙන ඉතාලියානු කී‍්‍රඩාවක් බව සඳහන් කළේය. සති අන්තවල මෙම ප‍්‍රදේශයට රැස්වන ජනයා බියර් පානය කරමින් මෙම කී‍්‍රඩාව කළෝය. ”එය බිලියඞ් වැනි කී‍්‍රඩාවකි. ඇලවූ ලෑල්ලක කරන එම කී‍්‍රඩාවේදී කුඩා බෝලවලට පොලූමතින් පහර එල්ල කරමින් ඒවා චලනය කරන්නේ ඇතැම් ඇනවල වැදීම සඳහාය. පසුව මෙම නම සිංහලීකරණය වී ඇත.”
අන්වීක්ෂයට හසුවූ ඊළඟ ස්ථානය නම් කොළඹ 4 පිහිටි මිලාගිරියයි. මුලදී එහි වූයේ ”නොස්සා සෙනොරා ඩොස් මිලාගෙස් (අවර් ලේඩි ඔෆ් මිරකල්ස්) නම් පෘතුගීසි පල්ලියකි. පසුව  ඕලන්ද පාලනය යටතේ  ඕලන්ද ප‍්‍රතිසංස්කරණවලට ලක්වූ එය සමග පාසලක්ද ආරම්භ කරනු ලැබීය. එහි විදුහල්පති වූ ස්වදේශිකයා ජඞ්නිමෝ ගේ‍්‍රරෝ නම්වූ අතර ඔහු තොම්බකරුවකු හෙවත් බෞතිස්මය, විවාහ සහ මරණ රෙජිස්ට‍්‍රාර්වරයකු ද වීය. එම පවුලේ ඉතිහාසය මෙබඳුය. ගේ‍්‍රරෝගේ බිරිඳ නෝනා බාබා නම්වූ අතර ඔවුන්ගේ දියණිය විරිතමුල්ලේ දෝන ඉසබෙලා කොර්නෙලියා පෙරුමාල් නමින් බෞතිස්මය ලැබූ අතර පසුව ගජමන් නෝනා ලෙස මාතර ප‍්‍රසිද්ධියට පත්වූයේ ඇයයි.
ඕලන්ද කාලයේ කොළඹ මාර්ග ජාලයක් තිබිණි. ඔහු කියන පරිදි මුලින්ම තුබුණේ කොනින්ග් ස්ටාර්ට් හෙවත් රජ වීදියයි. එමෙන්ම කුමාර වීදියක් ද තිබිණ. එය නම්කොට තිබුණේ  ඕලන්දයේ ඔරේන්ජ්හි කුමරු නාමයෙනි.
(මතු සම්බන්ධයි)
සන්ඬේ ටයිම්ස්හි පළවූ ලිපියකි / පරිවර්තනය - සී. ජේ. අමරතුංග

එදා කොළඹ ලස්සන



Apr 1, 2013

”ලෝකයා දන්නෙ නැතිවට මම මේ වෙනකොට විශේෂිත පුද්ගලයෙක්” (රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්)



පසුගිය සියවසේ ලියැවුණු ගැඹුරු දහම් පොත්වලින් බොහොමයක්ම රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ බව ගිහිපැවිදි දෙපක්ෂයම හොඳින් දනී. උන්වහන්සේ ලියූ බෞද්ධ පොත් විනය ග‍්‍රන්ථ, අභිධර්ම ග‍්‍රන්ථ, භාවනා ග‍්‍රන්ථ, ධර්ම ග‍්‍රන්ථ ආදී වශයෙන් වර්ග කොට දැක්වීමට පුළුවන. ඒ ඒ විෂයනට අදාළව පරතෙරට ගිය අපූරු ධර්මධරත්වයක් උන්වහන්සේට තිබුණි. එසේම ගුණ බර වූ විනය ධරත්වයක් ස්වභාවයෙන්ම රේරුකානේ නායක හාමුදුරුවන් ගෙඩනගා ගෙන තිබිණි. ඒ ධර්මධරත්වය හා විනයධරත්වය මගින් උන්වහන්සේ අපේක්ෂිත අරමුණක් උදෙසා ගමන් කළ බවටද සාක්ෂි සාධක තිබේ. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් කෙරේ දැක්වූයේ අපමණ ගෞරව භක්තියකි.

"රේරුකානේ නායක හාමුදුරුවන්ගේ බණ පොත්ටික හොඳින් කියෙවුවොත් එ තැනැත්තා හොඳ ධර්ම ධරයෙක්. ධර්මඥයෙක් වෙනවා” යි. දවසක් බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ උත්සව සභාවකදී වදාළහ. ඒ ප‍්‍රකාශයෙන් එහාට රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ ධර්මධරත්වය ගැන තවදුරටත් පුන පුනා ප‍්‍රකාශ කිරීම අවශ්‍ය නැත. තමන් වහන්සේ තුළ වූ ධර්මධරත්වයෙන් හා විනය ධරත්වයෙන් උතුම් බුද්ධ පුත‍්‍රයකු හැටියට කිසියම් අපේක්ෂිත අරමුණක් සාක්ෂාත් කරගත් බව රේරුකානේ නායක හාමුදුරුවන්ගේ මහ සඟ චරිතය පිළිබඳ සොයා බලන කළ හොඳින්ම පෙනේ.
අදත් අපේ විහාරස්ථානවල හා ආරණ්‍ය සේනාසනවල ධර්ම මාර්ගයේ ගමන්කරන ස්වාමින් වහන්සේලා රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවන්ගේ පොත් නිරන්තරයෙන් පරිශීලනය කරති. ධර්මය දැන ඉගෙන ගන්නා ගිහි පැවැදි දෙපිරිසම රේරුකානේ හිමින්ගේ පොත් කියවති. මිථ්‍යා දෘෂ්ඨියෙන් තොරව බුදු දහම දැන ඉගෙන ගෙන ධර්ම මාර්ගයේ යන්නට  ඕනෑ නම් රේරුකානේ චන්දවිමල නායක හාමුදරුවන්ගේ පොත් කියවන්නැයි යක්කඩුවේ ප‍්‍රඥාරාම නාහිමියෝද නිතර වදාළහ. පොත පත ලීවා පමණක් නොව ඉන් ඔබ්බට උන්වහන්සේ සසර නිවීමටද පත්වූවා යැයි බොහෝ දෙනා විශ්වාස කරති.
උන්වහන්සේ බුදු මගේ කිසියම් උසස් තලයක සිටි බව සමහර අවස්ථාවල කරන ලද ප‍්‍රකාශ මගින්ද තහවුරු වේ. තමන් වහන්සේ අසවල් ඵලයක් ලැබීයැයි කිසිවිටෙක ප‍්‍රකාශ නොකළත් රේරුකානේ හිමියන්ගේ උපස්ථායකයන් වහන්සේ හැටියට එදා වැඩ සිටි කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් සමඟ උන්වහන්සේ කළ ඇතැම් ප‍්‍රකාශ මත ස්ථිර වශයෙන්ම උන්වහන්සේ සසර නිවීමක් ලැබී දෝයි යන නිගමනයේ අපට නැවතීමට සිදුවේ. රේරුකානේ චන්දවිමල නායක හිමියන් පිළිබඳව විස්තර සොයා අපි පසුගිය දිනෙක කොළඹ හොරණ පාරේ පොකුණුවිට හංදියට නුදුරුව මනරම් වෙල්යායක් සමීපයේ පිහිටි විනයාලංකාරාරාම විහාරයට ගියෙමු.
බුරුම පන්සල නමින්ද ප‍්‍රචලිත මෙතැන රේරුකානේ චන්දවිමල නායක හිමියන් වැඩ සිටි විහාරස්ථානයය. තවත් අතෙකින් රේරුකානේ චන්දවිමල හිමියන්ගේ උපස්ථායකව සිටි කිරිඔරුවේ ධම්මානන්ද නාහිමියන් අදටද වැඩ සිටින විහාරස්ථානයය. කන වැකුණු ආරංචියේ හැටියට ධම්මානන්ද හිමියන් විහාරයට නුදුරු කැලයක කඳු මුදුනේ භාවනා කරන්නේය යන තොරතුරු පිට ගම්වැසියකුගෙන් මම එහි සත්‍යතාව විමසා සිටියෙමි.
ධම්මානන්ද නායක හාමුදරුවො කැලේ ආරණ්‍යයේ භාවනාවෙන් වැඩ ඉන්නෙ. දානයට තමයි පන්සලට වැඩම කරන්නෙ. මෙතැන ඉඳන් කි.මි. දෙකක් විතර කැලෙන් කන්දට යන්න තියෙනවා. සමහර විට දැන් දානෙ වෙලාව නිසා පහලට වැඩම කරල ඇති. පන්සලට ගිහින් බලල නැත්නම් කන්දට යන්න.
ඒ අනුව අපි විනයාලංකාරාරාම විහාරයට ගියෙමු. ඈතට පෙනෙන විහාර වාහල්කඩ මුදුනේ රේරුකානේ හාමුදුරුවන්ගේ රුව මනාවට නිමවා තිබේ. විහාර බිමේ ඇති කුඩා ආවාසය ළඟ වැඩ සිටි තරමක් වයෝවෘද්ධ ස්වාමින් වහන්සේ නමක ගෙන්,
”කිරිඔරුවෝ ධම්මානන්ද නායක හාමුදරුවෝ වැඩ සිටිනවා” දැයි විමසීමු.
‘‘ඔවු, මමයි ධම්මානන්ද හාමුදරුවෝ’’ ඉන් පසු අපි පැමිණි කාරණය උන්වහන්සේට පවසා සාකච්ඡාව ආරම්භ කළෙමු.
මම පැවිදි වුණේ රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ ලියූ දහම් පොත් පත් කියවලා බුදුදහම ගැන ඇතිවූ පැහැදීම නිසයි. මට මුලින්ම ලැබුණේ උන්වහන්සේ ලියූ ‘අභිධර්ම මාර්ගය’ කියන පොත. එය කියවීමෙන් මට ධර්ම රසයෙන් ලොකු සැනසීමක් දැනුනා. මම රේරුකානේ හිමියන්ගේ පොත් නිතර කියෙව්වා. උන්වහන්සේ පැවිද්ද පිළිබඳව ලියූ ‘ශාසනාවතරණය’ පොත කියවූ පසුව මටත් පැවිදි වෙන්නට අවශ්‍යය යන වුවමනාව ඇතිවුණා. ඒ අනුව 1977 ජූනි 23 දා බිබිල යල්කුඹුරේ ටැම්ගොඩ රජමහා විහාරාධිපතිව වැඩ සිටි ලූණුගල සුනන්ද ලොකු හාමුදරුවන්ගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි වුණා. පැවිදි වන විට මම ගුරුවරයෙක්. පැවිදි වුණාට පසුවත් යල් කුඹුර මහා විද්‍යාලයේ ඉගැන්වීම් කළා. එහෙම සිටිද්දී රේරුකානේ නායක හාමුදරුවන් ලියූ පොත් නිසා සද්ධර්මය ගැන දැන ඉගෙන ගන්නට ලැබුණු මට කෙටිකළක් හෝ උන්වහන්සේට උපස්ථාන කළ යුතුය යන අදහසක් ඇති වුණා. මේ අදහස හිත පුරා දවසින් දවස මෝරා වැඩුණා. ඒ අනුව 1980 අගෝස්තු අන්තිම යල්කුඹුර විදුහලට අස්වීමේ ලිපිය භාරදී ගුරු හාමුදරුවන් වහන්සේටත් දායක දායිකාවන්ටත් දන්වා මේ විහාරස්ථානයට පැමිනුණා.
එදා මම එනවිටත් උන්වහන්සේ බොහොම වයෝවෘද්ධව, දුබලව සිටියෙ ඒ වන විට රේරුකානේ හාමුදුරුවෝ සැරයටියක් භාවිත කළා. තනිවම ඇඳෙන් නැගිට ගන්නත් අපහසුවෙන් හිටියෙ. නිතර උපස්ථානයට හිටියෙ හේන්ගොඩ කල්‍යාණධම්ම හාමුදුරුවෝ. මම වැඩම කරන විට රාත‍්‍රි උදා වෙලා තිබුණත් නායක හාමුදරුවෝ අපහසුවෙන් නැගිටල මට ගිලන්පස හදා දෙන්නැයි කල්‍යාණ ධම්ම හාමුදුරුවන්ට වදාළා. උන්වහන්සේ තුළ තිබුණු ආගන්තුක සත්කාරය මට එවෙලේ දැන හැඳින ගන්නට ලැබුණා.
1980 ඔක්තෝම්බර් 05 වැනිදා මම පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ සීමා මාලකයේදී රේරුකානේ මහ නායක හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙකු හැටියට උපසම්පදාව ලබා ගත්තා. කිරිඔරුවේ ධම්මානන්ද හිමියෝ තමන් වහන්සේ පොකුණුවිට විහාරස්ථානයට වැඩම කිරීම පිළිබඳ මතකය ආවර්ජනය කළහ. එතැන් සිට රේරුකානේ නායක ස්වාමින් වහන්සේ අපවත් වන තුරුම උන්වහන්සේගේ අග‍්‍ර උපස්ථායකයා වූයේ ධම්මානන්ද හාමුදරුවෝය. පසුකාලය වන විට රේරුකානේ නාහිමියන්ගේ දෑස් ද අන්ධ විය. එවිට කළයුතු උපස්ථාන පෙරට වඩා වැඩි විය. සියලූ දේ ඉදිරියේ ධම්මානන්ද හිමියෝ කළ මනා උපස්ථාන නොපිරිහෙළා ඉටුකළහ. දෑස් අන්ධ වූවත් රේරුකානේ චන්දවිමල නාහිමියන් තුළ පැවති ධාර්මික ප‍්‍රතිපදාවන් බිඳකුදු අඩු නුවූහ. නිතර භාවනාවේ යෙදෙමින් ධර්මය සිහිපත් කරමින් කල් ගත කළහ. රේරුකානේ නායක හාමුදරුවෝ නිවන් අවබෝධ කරගත්තද? කිරිඔරුවෝ ධම්මානන්ද හිමියන්ගෙන් අපි විමසීමු. එයට එකවර පිළිතුරක් නොදුන්නත් ධම්මානන්ද හිමියෝ කාමරයට ගොස් පොතක් ගෙනැවිත් මා අතට දුන්හ.
මෙකල නිවුණු ඇත්තෝ එම කෘතිය රේරුකානේ චන්දවිමල මහ නා හිමියන් පිළිබඳව ධම්මානන්ද හිමියන් කල විවරණයක් සහ ගුණ සමරු දම් දෙසුම් එකතුවකි. කෘතියේ නමින් එහා තවදුරටත් විමසීම් කළ යුතු නොවේ. රේරුකානේ හාමුදුරුවන්ගේ ගුණ බර චරිතය පිළිබඳව අපි ධම්මානන්ද නාහිමියන් හා සාකච්ඡා ඇරඹීමු.
පැවිදි වුණත් පුන්‍ය පහසුකම් හිඟ විය. පොල් අතු මඩුවක පැදුරක් එලා රාත‍්‍රියට සැතපෙන්නට සිදුවිය. උදේට ලූණු කැඳ හකුරු කැබැල්ලක් සමඟ වළදන්නට සිදුවිය. දුෂ්කරතා පැවතියද පාලි ඉගෙනගත් උන්වහන්සේ 1908 ජනවාරි මහේ බුරුම රටට පිටත් වූහ. එහිදී පාලි හා බුරුම භාෂාද ජන්ම භාෂාව මෙන්ම දැන ඉගෙන ගන්නට රේරුකානේ හිමියන්ට හැකිවිය. ත‍්‍රිපිටකය, විනය, අභිධර්මය හොඳින් ප‍්‍රගුණ කරන්නටද හැකිවිය.
1917 ඔක්තෝම්බර් මාසයේ බුරුමයේ ධම්මිකාරාම සීමාවේදී උන්වහන්සේ උපසම්පදාව ලැබූහ. ඉන් පසුව යළි ලංකාවට වැඩම කළ චන්දවිමල හාමුදුරුවෝ දෙමටගොඩ විශුද්ධාරාමයේ නවාතැන් ගත්හ. එදා එහි විහාරාධිපතිව වැඩ සිටියේ අරංගල සිරිධම්ම හාමුදුරුවෝය. එහිදී රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ විහාරයට දැන ඉගෙන ගන්නට එන අයට අභිධර්මය ඉගැන්වීම් කළහ. විශුද්ධාරාමයෙන් පසුව පානදුර වැල්ලබඩ පන්සල, කළුතර කුමරිකන්ද පන්සල, බොල්ගොඩ බෝධිරුක්ඛාරාමයේද වැඩ සිට පසුව පොකුණුවිටට යළි වැඩම කළහ.
එතැන් පටන් අපවත්වන තුරුම රේරුකානේ චන්දවිමල මහ නා හිමියෝ පොකුණුවිට විනයාලංකාරාරාමයේ වැඩ සිටියහ. උන්වහන්සේ හමුවීමට යම් කෙනකුට අවශ්‍ය නම් එය ලොකු පොඩි කියා භේදයක් තිබුණේ නැත.  ඕනෑම කෙනකුට උන්වහන්සේ හමුවීමට හැකි විය. ඒ ඒ අයට කිසිම විටෙක මදි පුංචි කමින් සැලකිල්ලක් දැක්වූවේද නැත. තවත් අතෙකින් රේරුකානේ හිමියන් තුළ පැවතියේ  ඕනෑම සියුම් ගැඹුරු කාරණයක් වුවද, විනිවිද ගොස් දැකිය හැකි නුවණකි. මහාචාර්යවරු පවා උන්වහන්සේගේ දැනුම පිළිබඳ මවිත වූහ. යමක් එක්වරක් කියැවූ පමණින් මතක හිටින ස්වාභාවයක් රේරුකානේ හාමුදුරුවන්ට තිබිණි. ඒ ධාරණ ශක්තිය දිවියේ 95 වැනි විය ගෙවෙන විටද එසේම පැවැතිණි.
ධම්මානන්ද මම ගාථාවල් කවදාවත් අමාරුවෙන් පාඩම් කරල නෑ, මට යමක් එක්වරක් කියුවාම පාඩම් හිටිනවා. මට පාඩම් තියෙන ප‍්‍රමාණය නම් කොච්චරද කියල මමවත් දන්නෙ නෑ. ඇතැම් විට උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.
"මම ඉගෙනීම් කළේ පොත් පත් ලිවීමේ අදහසින් වත් අනුන්ට බණ කීමේ අදහසින්වත් උගතෙක් වශයෙන් ප‍්‍රසිද්ධ වීමේ අදහසින්වත් නොවේ. අපේ සම්මෝහය දුරු කර ගැනීමටයි.”
ධම්මානන්ද හිමියන් සමඟ ප‍්‍රකාශ කල එම අදහසත් උන්වහන්සේ ලියූ පොත් දෙස බලද්දී උන්වහන්සේ සම්මෝහය දුරු කරගන්නා ලදැයි සිතන්නට සැක සිතිය යුතුද නැත. චතුරාර්ය සත්‍යය, පාරමිතා ප‍්‍රකරණය, පට්ච්ච සමුප්පාද විවරණය, ධර්ම විනිශ්චය , කෙලෙස් එක්දහස් පන්සීය, නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක‍්‍රමය, බෝධි පාක්ෂික ධර්ම විස්තරය, විදර්ශනා භාවනා ක‍්‍රමය, පෞරාණික සතිපට්ඨාන භාවනා ක‍්‍රමය, චත්තාලීසාකාර මහා විපස්සනා භාවනාව, සතිපට්ඨාන භාවනා විවේචනය, අභිධර්ම මාර්ගය, පට්ටඨාන මහා ප‍්‍රකරණ සන්නය, අනුවාද සහිත අභිධර්මාර්ථ සංග‍්‍රහය, විනය කර්ම පොත, ශාසනාවතරණය, උපසම්පදා ශීලය රේරුකානේ හිමියන් ලියූ කෘති කීපයක් පමණකි.
"ධම්මානන්ද සාමණේර කාලයේ පටන් අපේ අදහස වුණේ කොහෝ හෝ තැනක හුදකලාව ඉඳගෙන මහණ කම හොඳින් කර ගැනීමයි.” ඒ උදෙසා උන්වහන්සේ නිතර පිරිසිදු ශීලය ආරක්ෂා කර ගත්හ. විකාලයේ තැඹිලි වතුර ටිකක් හෝ නොවැළඳුහ.
”ධම්මානන්ද මා රැස් කළ විශාල ධනය පැවිදි ජීවිතයයි.” තම පැවිදි දිවියේ නිරාමිස ප‍්‍රීතිය නිතර විඳගත්හ.
රේරුකානේ චන්දවිමල නායක හාමුදරුවෝ අසූ-අනූ වියට එළැඹදේදි අමුතු විදිහේ ප‍්‍රකාශයක් කළහ.
ලෝකයේ සිටින ලොකුම පොහොසතාත් මමයි. ලොකුම දුප්පතාත් මමයි’ එය අර්ථකථනය කර දෙන්නටද උන්වහන්සේ උනන්දු වූහ.
"දුප්පත්කම කියන්නේ සෑහීමකට පත් නොවීමයි. තව ආකාරයකින් කියනවා නම් සෙවීම ඇති නොවීමයි. ලද දෙයින් සතුටුවී සෙවීම ඇති වී සිටින නිසා ලෝකයේ ලොකු ම පොහොසතා මමයි කියා හිතනවා. අපි හිඟන්නෙක් ගැන හිතල බලමු. ඒ හිඟන්නාට තියෙන පොල්කටුව හැරමිටිය වුණත් මගේ හැරමිටිය, මගේ පොල්කටුව කියා ඔහු විසින් සිතින් අල්ලාගෙනයි ඉන්නේ. ඒ නිසා ඒ හිඟන්නා යමක් ඇති කෙනෙක් නේද? මට අයිතිව තිබෙන මේ කිසිවක් මම හිතින් අල්ලාගෙන නැති නිසා කිසිවක් නැති කෙනෙක් හා සමානයි. ඒ නිසා ලෝකයේ සිටින දුප්පතාත් මමයි කියා මං හිතනවා”.
මානසිකව එතරම් දියුණු තලයක සිටි උන්වහන්සේ තමන්ට ලැබී තිබුණු මහා නායක කම්. උපාධි තනතුරු පිළිබඳ ලොකුවට සිතුවේ නැත. තමන් වහන්සේ ඒවා ඉල්ලා ලබාගත් ඒවා නොවන බවත් ඒවා ලැබුණත් ඉස්සරත් දැනුත් තමන් වහන්සේගේ තත්ත්වය එකම බවත් නිතර වදාළ දෙයකි.
රේරුකානේ හාමුදරුවෝ කුඩාකල සිටම යම් කිසි භාවනාවක යෙදුනහ. එය පිරිහීමට නොදී දිගටම කරගෙන පැමිණියහ. වයෝවෘද්ධ සමයේ උන්වහන්සේ දවසේ වැඩි වේලාවක් භාවනා යෝගිව ගතකළහ. දවල් කාලයේ සමථ භාවනාව වැඩූහ. රාත‍්‍රියේ ත‍්‍රිලක්ෂණය මෙනෙහි කළහ. 1986 අපේ‍්‍රල් 13 වැනිදා රේරුකානේ හාමුදුරුවෝ ධම්මානන්ද හිමියන්ට තවත් විශේෂ හැඳින්වීමක් කළහ.
”ධම්මානන්ද මේ කාලෙ ලෝකෙ ඉන්න විශේෂ පුද්ගලයෙක් තමයි මම ලෝකයා දන්නෙ නැතුවට. එය ලෝකයාට දැන ගන්නට විදිහක් නෑනේ.” එම ප‍්‍රකාශයෙන් කියැවිණි.
සටහන අසංක ආටිගල

ගුරු හිමියන් බැහැදුටු ධම්මානන්ද හිමියෝ

රේරුකානේ චන්දවිමල හිමියෝ



චන්දවිමල හිමියන්ගේ පාරිභෝගික භාණ්ඩ







Mar 31, 2013

කොළඹ වහල් දූපත


එදා අද කොළඹ

වහල් දූපත ලෙස සිංහල වහරට ගැණුන ‘‘ස්ලේව් අයිලන්ඞ්’’ හි මෙයට සියවස් තුන හතරකට පෙර කාපිරින් රඳවා සිටි පෙදෙසකි. වර්තමාන කොළඹ දෙක ලෙස හඳුන්වන කොම්පඤ්ඤවීදියට අයත් ප‍්‍රදේශයේ මෙම වහල් දූපත තිබුණා යැයි සැලකේ.
ආචාර්ය කේ.ඞී. පරණවිතාන මහතා පවසන පරිදි කොළඹ ජනප‍්‍රියම නම හා ස්ථානයත් මේ කොම්පඤ්ඤ වීදියයි. පසු කලෙකදී රෝහල් සමුපකාර, කාර්යාලය, කුරුඳුවගා, ආගමික ස්ථාන, ගුවන් හා යුද හමුදා කඳවුරු, වෙළෙඳ ව්‍යාපාරික ආයතන රාශියක්  කොම්පඤ්ඤවීදියේ පිහිටා ඇත.
ඇෆ්ගන් ජාතිකයන් බහුලව සිටි නිසා ඇෆ්ගන් ටවුම ලෙසත්, කාපිරි ජාතිකයන් සිටි නිසා කාපිරි නගරය ලෙසත්, මැලේ ජාතිකයන් සිටි නිසා මැලේ නගරය ලෙසත් විටින් විට හැඳින්වූ කොම්පඤ්ඤවීදිය ඇතැම් විට දී ‘‘බේරේ ටවුන්’’ ලෙසද ඇතැම් ඉංග‍්‍රීසි හා සිංහල ලේඛනවල දක්වා ඇත.
කොම්පඤ්ඤ වීදියට වහල් දූපත යන නම හැදුණු ආකාරය ගැන ඇත්තේ මෙවන් කතාවකි. 1630 දී පමණ පෘතුගීසින් විසින් ඉන්දියාවේ සිට මෙරටට රැුගෙන එන ලද කාපිරි ජාතිකයන් සිටි නිසා වහල් දූපත ලෙස නම් වූ බව කියැවේ. ඉන්දියාවේ ගෝව ප‍්‍රදේශයේ සිට මලබාර් වරායෙන් මෙම කාපිරි පිරිස් මෙරටට ගෙන්වා ඇත්තේ වහල් සේවයේ යෙදවීමටය. ලෝකයේ බොහෝ පෘතුගීසි යටත් විජිත වල මෙම අප‍්‍රිකානු කාපිරි ජාතිකයන් වහල් සේවයට ගෙන සේවයේ යොදවා ඇත.
ඇතැම්විට වෙළෙඳ භාණ්ඩ ලෙසත්, සොල්දාදුවන් ලෙසත්, කඳවුරු සහයකයන් ලෙසත්, ද්‍රව්‍ය ප‍්‍රවාහකයන් ලෙසත්, මෙම අප‍්‍රිකානුවන්ව සුදු ජාතිකයන් විසින් යොදවා ගත් බව සඳහන්ය. මෙලෙස යොදා ගත්තේ මෙම පිරිස් අයිතිව සිටි ස්වාමිවරුන්ට මුදල් ගෙවා බවද පැවසේ.
ස්වභාවයෙන්ම සැහැසි ජාතියක් වූ නිසා මොවුන්ගේ විශාල තොල් යා වන පරිදි යකඩ ඉබ්බන් දමා අත්වලට මාංචු සහිත යකඩ දම්වැල් දමා ඇතැම් විට මෙරට සේවයේ යොදවා තිබී ඇත. ඒ ඔවුන් ඇතැම්විට මිනිසුන් සපා මරා දමනු ඇතැයි යන බිය නිසාය. මන්දයත් මෙම කාපිරි ජාතිකයන් මිනී මස් බුදින්නන් ලෙස ඇතැම් රටවල ප‍්‍රචලිතව සිටි නිසාය.
කෙසේ හෝ මෙරටට ගෙනා කාපිරි පිරිස් පෘතුගීසීන්ගේ නොයෙක් වගා බිම්වල, ගෘහ සේවයේ යොදවා තිබුණි. පෘතුගීසීන් පමණක් නොව ලන්දේසීන් ද මෙම පිරිස් වගා බිම්වල යොදවා ආහාර ද්‍රව්‍ය වගා මෙන්ම වීද වගා කරවූ බවත් සඳහන්ය. ඇතැම් යහපත් චර්යා දැක්වූ පිරිස් කොළඹ රෝහලේ සාත්තු සේවයට ද යෙදවිණි.
18 වැනි ශතවර්ෂයේ දී පමණ මෙම කාපිරින්ගේ කැරැල්ලක් හටගෙන ඇත. එහිදී පාරවල් දෙපස ගොඩ නැගිලිවලට හානි පමුණුවමින් මෙම කැරැල්ල පැතිර ගොස් තිබේ. මොවුන් ඉතා ප‍්‍රචණ්ඩ අයුරින් එහිදී හැසිරී සිටි බවද සඳහන්ය.
එම කැරැල්ලේදි බැරැන්ට් වැන්ඩර් ස්ටොන්ස් නම් පිස්කල්වරයා හා ඔහුගේ බිරිඳ නිදි යහනේදීම කිරිච්චියකින් ඇණ මරා දමා ඇත.
කෙසේ හෝ වැන්ඩර් පිස්කල්ගේ නිවසේ සේවය කළ එම කාපිරි ජාතිකයා මිනී මැරුමට පෙර ඔවුන්ගේ නිදි යහනයට සැඟවී සිට ඔවුන් නින්දට යනතුරු බලා සිටි බවත් එවක මූලාශ‍්‍රවල ලියැවී ඇත.
එවකට ආණ්ඩුකාර අයිසැක් මේෆ්ට මෙම කැරැුල්ල දැඩිව මර්දනය කිරීමට පියවර ගත්තේය.
කැරැල්ල මැඩ පැවැත්වූ පසු සෑම දිනකම ඒ ඒ ආයතනවල, නිවාස වල වැඩ කළ කාපිරි ජනයා සියලූ දෙනාම ‘‘කාපිරි තැන්න’’ නම් ස්ථානයට කැඳවා ඇත. එහිදී සියලූම දෙනාගේ නම් අඬගසා අඩු අය කවුරුන්දැයි සොයා බැලිණි. ඉන් පසුව කොටුවේ කොටු බැමි අතර පටු පාරක් දිගේ කැඳවාගෙන සැලි පෝර්ට් යන ස්ථානයට ගෙනගොස් ඇත. සැලි පෝර්ට් යනු එවකට වැවේ තිබූ තොටුපළක් වීය.
එහිදී තිබූ බෝට්ටුවලට මෙම කාපිරින් පටවාගෙන ලංදේසි බසින් අයිජේ නමින් හැඳින්වූ කඩතොළු සහිත දිවයිනකට රැගෙන ගොස් ඇත. එම දිවයින අර්ධද්වීපයක් ලෙස තිබූ එකකි. එම අර්ධද්වීපයට කැඳවාගෙන ගිය මෙම පිරිස ලැයිම් හා මුඩුක්කු වල පදිංචි කරවා ඇත.
ඒ නිසාම සියවස් තුනක් තිස්සේම වහලූන්ගේ දූපත ලෙස මෙය හඳුන්වා ඇත. එය ‘‘වහලූන්ගේ දූපත’ ලෙස හංවඩු ගැසීම නිසා පසු කලෙක බොහෝ විචාරක දෝෂ දර්ශනයට ද ලක්ව ඇත. මෙයට වහල් දූපත ලෙස බි‍්‍රතාන්‍යයන් නම් කෙරූ බවද ඇතැම්හු සළකති.
එහෙත් වර්ෂ 1845 දී පමණ බි‍්‍රතාන්‍යයන්ම මෙරට වහල් සේවය තහනම් කර ඇති අතර එය නීතීගත කර ඇත. ලංකාවේ වහල් සේවය තහනම් කර දිගු කලකට පසු ලෝකයේ වහල්සේවය තහනම් කිරීමද විශේෂත්වයකි.
මුල්ම අවධියේදී රෝගී හා මහලූ අය මෙම දූපතේ රදවා තිබූ බව ඉංග‍්‍රීසි මූලාශ‍්‍ර වල සඳහන් ය.
1807 දී පමණ කාපිරි ජාතිකයන් හත්සියයක් පමණ මෙරට සිටි බව කෝඩිනර්ගේ වාර්තාවල සඳහන්ය. පුත්තලම, මඩකළපුව, ත‍්‍රිකුණාමලය ආදී ප‍්‍රදේශවල පසුකාලයක මෙම ජාතීන් සුළු වශයෙන් පැතිරී ගොස් ඇත.
ස්ලූයිස්කින් නම් කපිතාන්වරයකුගේ මන්දිරයක කාපිරි තූර්ය වාදක කණ්ඩායමක් සිටි බවද ඉතිහාස මූලාශ‍්‍රවල සඳහන්ය. ‘කපිර් වෙල්ඞ්ට්’ නම් විවෘත බිමක මෙම කාපිරි වෙනුවෙන් 1875 දී පමණ බිතාන්‍ය සොල්දාදුවන් බැරැක්ක ඉදි කරනු ලැබූ බව ද සඳහන්ය. එහිදී එක් මායිමක් ලෙස වත්මන් බේරේ වැවත්. අනෙක් පස ඇතුළු නගරයේ කොටු බැම්ම තිබූ බවද සඳහන්ය.
කෙසේ හෝ ලන්දේසි යුගයේ කොළඹ කොටුව නිර්මාණයට කාපිරි ජාතිකයන් යොදවා ගත් බවත් එකල කාපිරින් හාර දහසක් පමණ මෙරට සිටි බවත් ආණ්ඩුකාර ගොයන්ස්ගේ වාර්තාවක සඳහන්ය.
මුවෙන් චිකෝ නි සංගීත රාවයත් චතුරංග හෙවත් ක්වෝඩි‍්‍රල් නැටුමත් මෙම කාපිරින්ට ආවේණික වටිනා සංස්කෘතික දායාද බව ද සැලකේ.
කාපිරියකු විසින් මරා දැමුණු වෙරන්ට් වැන්ඩර් වරයාගේ නිවස පසු කලෙක භූතයන් හොල්මන් රජකළ නිවසක් බවද කට කතා පැතිරී ඇත. එම නිවසේ පසු කලෙක පදිංචි වූවන්ට වැඩිකලක් ගතකිරීමට තරම් හැකියාවක් නුවූ නිසා පසු කලෙක බි‍්‍රතාන්‍යයන් කෝපි ගබඩාවක් ඉදිකර ඇත. පසු කලෙක එම කෝපි ගබඩාව කඩා ඉවත් කර ඇති අතර අද එය තිබූ තැනක්වත් සොයාගත නොහැකිය.
කොළඹ කොටුවේ ලංකා බැංකු ගොඩනැගිල්ල අසල ඇචිලන් බැරැක්ක වලට යාබදව කපිර් වෙල්ඞ්ට් හෙවත් කාපිටි තැන්න තිබී ඇත.  ඕලන්ද බසින් කපිර් වෙල්ඞ්ට් යනු කාපිරින් පෙරට්ටුව සඳහා කැඳවූ ස්ථානය යැයි සැළකේ. එය පසුව කාපිරි මුඩුක්කුව ලෙස හඳුන්වා මෑත දශක දෙකකට පමණ පෙර කෝසල පටුමග ලෙස හඳුන්වා ඇත.
කාපිරින් ලංකාවට ගෙනෙනාවිට ලංකාවේ වහල් සේවය නොතිබුණි. එය ලංකාවාසීන්ට ආධුනික දෙයක් විය.
හත්ති කුච්චි සෙල් ලිපියේද ක‍්‍රි.ව. අට වැනි හා නව වැනි සියවස්වල මහා තිත්ථවල කාපිරි මිනිසුන් සිටි බව අරාබි වාර්තා වලද සඳහන් ව ඇත. ඇතැම් කාපිරින් විහාරස්ථානවල ඇබිත්ත තනතුරේද සිට ඇත.
1815 දී සිංහල මුස්ලිම් කෝලහල වලටද සම්බන්ධ වූ මෙම ප‍්‍රථම හා දෙවන ලෝක යුද සමයේදී යුද සේනාංකවලටද අපේරට වෙනුවෙන් යුද්ධයට සහභාගි වී ඇත. එපමණක්ද නොව රොබට් නොක්ස්ගේ වාර්තාවලට අනුව දෙවැනි රාජසිංහ රජු තම ශ්‍රී විභූතිය වර්ණවත් කිරීමට කාපිරි යුද සේනාංකයක්ද භාවිතා කර ඇත.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඉංග‍්‍රීසීන් විසින් අත් අඩංගුවට ගන්නා ලද විට රජුගේ සේනාවේ කාපිරින් දෙසීයක් සේවය කළ බව ජෝන් ඩොයිලිගේ වාර්තාවල සඳහන්ය.පිරිමි අය මෙලෙස යුද කටයුතුවල නිරත වූවද කාන්තාවන් ගෘහ සේවයේ ඉවුම් පිහුම් කටයුතු වලට සහභාගි වී ඇත.
කෙසේ වෙතත් විසිවන සියවසේදී පමණ ලංකාවේ පුවත්පත් වලින් මෙම කාපිරි ජනතාව සිටි ප‍්‍රදේශය හැඳින්වූ වහල් දූපත යන්නට එරෙහිව ප‍්‍රබල හඬක් නංවා ඇත. ලන්දේසි ඉංජිනේරුවරයකු වූ ‘ද බියර්’ සිහිවීමට කාපිරි ජනයා සිටි මෙම ප‍්‍රදේශයේ වැව බේරේ වැව ලෙස නම් කළ බැව් ඇතැම්හු පවසති. එලෙස බේරේ වැව කියා නම් කළානම් වහල් දූපත යන නම නොදා ‘‘බේරේ නගරය’’ ලෙස නම් නොකළේ ඇයි දැයි ඇතැම්හු ප‍්‍රශ්න කරති.
එහෙත් ද බියර් සිහිවීමට බේරේ වැව කියා නම් කිරීම පිළිගත නොහැකි බවද තවත් අය කියති. 1659 දී ලංදේසි ජාතික මිනින්දෝරු ඒඩි‍්‍රයන් ද ලීව් නම් නගර නිර්මාණකරු හා මිනින්දෝරුවා කොළඹ කොටුව නිර්මාණය කරන විට වත්මන් බේරේ වැවට කිසිදු නමක් නොතබා ජලාශය යැයි නම්කර ඇත. 1796 දී සිතියමක කොළඹ විල ලෙස නම් කර තිබුණද බේරේ වැව යන නම නිල වශයෙන් ලැබී ඇත්තේ 1927 වර්ෂයේ දීය.
කෙසේ හෝ වහල් දූපත ලෙස හැඳින්වූ මෙම ස්ලේව් අයිලන්ඞ් නම් ප‍්‍රදේශයේ කිසිදු දූපතක් මේතාක් හමුවී නොමැති බව ඉතිහාසඥයෝ මත පළකරති.
සියවස් දෙක තුනක් තිස්සේ කොළඹ නගරයේ ඉතාම මනස්කාන්ත නිසංසල දර්ශනයක් වූ බේරේ වැව පෘතුගීසි, ලංදේසි හා ඉංග‍්‍රීසින්ගේ අපමණ වර්ණනාවන්ට ලක්ව ඇත. කලක් එහි ඔරු පැදීම්. බිලීබෑම් වැනි තරඟ පැවැත්වූ බවද සඳහන්ය. එවන් සුන්දර දර්ශන වලට හිමිකම් කියූ බේරේ ජලාශය අද වන විට බොහෝ දෙනාගේ නාසය දුඟදින් හකුළුවන ස්ථානයක් බවට පත්ව ඇති බවද කිව යුතුමය.
විශේෂ ස්තූතිය.
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රෝහිත දසනායක මහතාට
සටහන හා ඡායාරූප - පුෂ්පා වීරසේකර

එදා වහල් දූපතට විහාරස්ථානය පෙණුන අයුරු

1905දී කොම්පඤ්ඤ වීදිය