Jan 26, 2013

මනෝමය නාවික සංචාරවල නියැළෙමින් වික්‍රමාන්විත කතා රචනා කළ- එමිලියෝ සල්ගාරි


06-1ජුල්ස් වර්න්, ජේම්ස් කූපර්, ඇලෙක්සැන්ඩර් ඩුමාස් වැනි පෙර කර්තෘවරුන්ගේ ආභාෂය ලැබූ ඉතාලි ජාතික එමිලියෝ සල්ගාරි ළමා හා තරුණ පාඨකයන්ගේ වීරයෙකු විය.
ළහෙළෙඳාමෙන් දිවි ගැට ගසා ගත් ඉතාලියේ වෙරෝනාවේ මධ්‍යම පාන්තික පවුලක ක්‍රි.ව. 1862 උපන් එමිලියෝ සල්ගාරි තරුණ වියට පාතැබිමත් සමග ‘මුහුදු යෑමේ’ උන්මාදයකින් පෙළෙන්නට විය. ධෛර්යවන්ත වූ ඔහු අගහිඟකම කරපින්නාගෙන හඬා වැටුනේ නැත. පියාගේ වෙළහෙළෙඳාම් කටයුතු හා බැඳුණු සල්ගාරි මුහුදු ගමනාගමනයට දැඩි ඇල්මක් දැක්වූයේය. තම ජීවිතය සාගරයේ ඇතැයි සිතුවේය. නාවිකයකු වීම සාගරය පිළිබඳ දැනගැනීමට ඇති එකම මංපෙත යයි කල්පනා කළේය.

වැනීසියේ නාවික අභ්‍යාස ආයතනයකට බැඳී නාවික පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වූ ඔහුට නාවික අභ්‍යාස ආයතනයෙන් සාමාර්ථයක් ලබාගැනීම හීනයක් පමණක්ම විය. ලිවීමේ, කියවීමේ  හා සවන්දීමේ කම්මැලියකු වූ සල්ගාරි අධ්‍යාපන කටයුතු කෙරෙහි  දැක්වූයේ දැඩි දුර්වල බවකි. අවම ලකුණු ප්‍රමාණයක් ලබාගත් සල්ගාරිට නාවික අභ්‍යාස ආයතනයෙන් ඉවත් වීමට සිදුවිය. ජීවත්වීම සඳහා ක්‍රි.ව. 1883 ඔහු පුවත්පතක වාර්තාකරුවකු ලෙස සේවයට බැඳුණේය.මුහුදු ජීවිතයට ඔහු කෙතරම් ඇළුම් කළේද යත්, “ලා නුවොවා එරීනා” නම් පුවත්පතට සැපයූ සෑම ලිපියක්ම ලිව්වේ “කපිතාන් සල්ගාරි”  යන අන්වර්ත නමිනි.මුහුද හා නාවික ජීවිතයේ විවිධ ක්‍රියාකාරකම් අළලා ලියැවුණු වීර වික්‍රමාන්විත කතාන්තර කියැවීමට සල්ගාරි දැඩි රුචියක් දැක්වීය.ප්‍රකට ‍ලේඛකයින්ගේ ප්‍රබන්ධ සොය සොයා කියවූ ඔහු   විශ්වකෝෂය හා ලෝක සිතියමට ප්‍රිය කළේය.06-2
නිතර නිතර ලෝ වටා “මනෝමය” නාවික සංචාරයක යෙදෙන සල්ගාරි අද්භූත හා වීර ක්‍රියාවන්ගෙන් පිරුණු කතාන්තර ගෙතීම විනෝදාංශයක් බවට පත්කොටගෙන තිබිණි.ඔහු වඩාත් ඇළුම් කළේ මුහුදු කොල්ලකරුවන්ගේ වීර වික්‍රමයන් උලුප්පා දැක්වෙන කතාන්තර ගෙතීමටය. දුනුවායන්, කඩු හරඹ කරන්නන්, වෙඩික්කාරයන්, මංපහරන්නන්, පල්හොරුන් එම කතාන්තරවලට ආලෝකය සැපයූ අනෙකුත් චරිතයෝ වෙති.

සමකාලීනයකු වූ ඇලෙක්සැන්ඩර් ඩුමාස්ගේ “ත්‍රී මස්කටියර්ස්”, “කවුන්ට් ඔෆ් මොන්ටි ක්‍රිස්ටෝ” යන නවකතාවලින් ලැබුණු ආලෝකය සල්ගාරි විසින් ගොඩනැගූ චරිත ඔපවත් වීමට පිටිවහලක් ලැබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.16 වන ශතවර්ෂයේ ඇරඹුණු ප්‍රංශ විප්ලවයෙන් පසු යුරෝපයේ හා ලතින් ඇමෙරිකානු රටවල් හරහා හමා ගිය සංස්කෘතික හා ආර්ථික පෙරළියේ සෝදාපාළුව නොඉවසූ සල්ගාරි සිය පරිකල්පනාවන් අවදි කළේ එම සුරාකෑමට එරෙහිව බැව් විචාරක මතයයි. ජනකතාවකින් උපත ලැබූ එංගලන්තයේ රොබින් හුඩ් දක්ෂ දුනුවායෙකි. අයුක්තියට හා අසාධාරණයට එරෙහිව සටන් වැදුණු වීරයෙකි. ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි “ජොන්ස්ටන් මැක්‍ලේ” ගේ උපකල්පිතයෙන් බිහිවූ සෝරෝගේ හා රොබින් හුඩ්ගේ චරිතවලට මූල බිජයන් සොයාගනු ලැබුවේද “ද පයිරේට්ස් ඔෆ් මැ‍ලේසියා” (මැ‍ලේසියානු මුහුදු කොල්ලකරුවෝ), “ද බ්ලැක් කොර්සෙයා සාගා” (කළු මුහුදු කොල්ලකරුවන්ගේ වීර කතා), “ද පයිරේට්ස් ඔෆ් බර්මියුඩා” (බර්මියුඩා මුහුදු කොල්ලකරුවෝ) යන එමිලියෝ සල්ගාරිගේ ඇතැම් සම්මානනීය නිර්මාණ තුළිනි.බටහිර හා දකුණු ඇමෙරිකානු අධිරාජ්‍යවාදී ආක්‍රමණයන්ට හා වහල් සංස්කෘතියට එරෙහිව පන්හිඳ මෙහෙයවූ සල්ගාරි සිය වගකීම ඉටු කළේ ඉහත කී ප්‍රබන්ධ තුළින් පාඨකයා තුළ විප්ලවීය මානසිකත්වයක් ගොඩනැගීමට වෙර දැරීමෙනි.

සල්ගාරි සතු ප්‍රබල මනෝභාවයන් ළමා හා තරුණ මනස උමතු කරවන්නක් විය. වීරත්වය හා අද්භූත සිදුවීම් තුළ නිතර දැවටෙන ළමා හා තරුණ මනස හොඳින් හඳුනා ගත් සල්ගාරි මනෝ විශ්‍ලේෂකයකුද වේ.
නැවියකු වීමේ සිහිනය බොඳ වූ සල්ගාරි පත්තර වාර්තාකරුවකු ලෙස ජීවිතය ඇරඹීමට තීරණය කළේය. සල්ගාරි විසින් ප්‍රබන්ධ කළ වීර කතා පෙළක් ඔහු සේවය කළ ලා නුවොවා එරීනා නම් පුවත්පතේම කොටස් වශයෙන් පළවන්නට විය.
 “මැ‍ලේසියානු මුහුදු කොල්ලකරුවෝ”  නමින් පළවූ එම කතා පෙළ විස්මය හා වීරත්වය කැටි කොට ගත් සල්ගාරිගේ නිර්මාණයක් විය.

එම වීර කතා පෙළ සඳහා නොසිතූ විරූ පාඨක ජනප්‍රියත්වයක් හා ප්‍රතිචාරයක් ලැබිමේ හේතුවෙන් පුවත්පතේ අලෙවිය සමග ප්‍රසිද්ධිය ඉහළ යන්නට විය. ක්‍රි.ව. 1911 අප්‍රේල් මස ජපනුන්ගේ “හරාකිරි” ක්‍රමයට සිය දිවි හානි කරගන්නා තෙක් වීර කතා හා නවකතා 200කට ආසන්න ප්‍රමාණයක් සල්ගාරිගේ තෙලිතුඩින් බිහිවිය.
ඉතාලි භාෂාවෙන් පමණක් රචිත එම කතාන්තර ගොන්න  ත්‍රාසජනක සිදුවීම්වලින් ගහන බටහිර ගොපළු චිත්‍රපට කෙරෙහි කිසියම් බලපෑමක් ඇති කරන්නට ඇතැයි විචාරකයෝ විශ්වාසය පළ කරති.
සුප්‍රකට විප්ලවවාදී “අර්නස්ටෝ ච්ෙ ගෙවාරා” ගේ ප්‍රියතම ‍ලේඛකයා වූයේද ඉතාලි ජාතික එමිලියෝ සල්ගාරිය.සල්ගාරිගේ නිර්මාණ අතුරින් තෝරාගත් කතාන්තර හැට දෙකක් ච්ෙ ගෙවාරා නිරන්තරයෙන් පරිශීලනය කළ බැව් ච්ෙ චරිතාපදානයේ කියැවෙයි.ඇමෙරිකානු යටත්විජිතවාදී සංකල්පයෙන් බැට කන දුගී දුප්පතුන් වෙනුවෙන් විප්ලවීය අරගලයක නියැළී සිටි ච්ෙ සල්ගාරිගේ නිර්මාණ තුළින් සිය ගරිල්ලා සටන් ව්‍යාපාරයට අවශ්‍ය ක්‍රමවේදයන් හා මානසික උත්තේජනය ලබාගත් බැව් කියැවේ.

ත්‍රාසජනක සිද්ධීන්ගෙන් ‍පොහොසත් “සන්දකොන්” කතා මාලාව ක්‍රි.ව. හැටේ හැත්තෑවේ දශකයේ චිත්‍රපට හා රූපවාහිනී සිනමා පට නිෂ්පාදකයින්ට නොඉඳුල් අමුද්‍රව්‍ය සැපයූ කතාන්තර භාණ්ඩාගාරයක් බඳු විය.
18/19 වන ශත වර්ෂ බ්‍රිතාන්‍යයන් විසින් සිය යටත්විජිතවාදය ලෝ පුරා පතුරුවමින් සිටි යුගයයි. ඉන්දියානු මහද්වීපයටද ගැලවීමක් නොතිබිණි. ඉංග්‍රීසීන්ට ඉසුරුමත් ජීවිතයක් සඳහා ධන නිධාන සොයා සපයා දුන් තෝතැන්නක් වූයේ ඉන්දියානු මහාද්වීපයයි.
ඉතාලි ජාතික එමිලියෝ සල්ගාරි නම් විප්ලවකරු මෙම සමාජ අසාධාරණය සඳහා හුදකලාව සටන් වැදුණේය. ඒ සඳහා ඔහු සිය පරිකල්පන ශක්තිය මෙහෙය වූයේ සිය පන්හිඳ අවියක් කොටගනිමිනි. “සන්දකොන්” නම් ගරිල්ලා සටන්කාමියාගේ චරිතය සල්ගාරිගේ මනෝභාවයන්හි පිළිසිඳ ගත්තේ ඒ අයුරිනි.06-3
අහිංසක දුගී දුප්පතුන්ගෙන් කොල්ලකෑ ධන නිධාන පුරවා ගත් නාවික හමුදාව මහා සාගරය මැදදී “ප්‍රති කොල්ලයකට” හසුකර ගැනීමට ‘සන්දකොන්’ චරිතය ඔහු නිර්මාණය කළේය. සන්දකොන් දක්ෂ දුනුවායකු විය, දක්ෂ අශ්වාරෝහකයකු විය. දක්ෂ වෙඩික්කාරයකු විය.සමාජ අසාධාරණය දුටු තැන කිපෙන සන්දකොන් දැඩි ආත්ම විශ්වාසයකින් හෙබි හැඩිදැඩි සිරුරකින් යුත් අයෝමය පුරුෂයකු විය.එමිලියෝ සල්ගාරි සන්දකොන්ගේ ත්‍රාසජනක හා අභීත වීර ක්‍රියා මුසු කොට මුහුදු කොල්ලකරුවන් හා බැඳුණු “වීර කතා” මාලාවක් විශ්ව සාහිත්‍යයට ප්‍රදානය කළේය.ඉතාලියානු සාහිත්‍යය හරහා විශ්ව සාහිත්‍යයේ ‍පෝෂණයට ලබාදුන් විශිෂ්ට දායකත්වයට රාජකීය පිළිගැනීම සනිටුහන් කළේ සල්ගාරිව නයිට් නම්බු නාමයෙන් ඉතාලි රැජින විසින් පිදීමෙන් අනතුරුවය.

‍පොත් ප්‍රකාශකයින්, චිත්‍රපට නිෂ්පාදකයින්, රූපවාහිනී වැඩසටහන් සම්පාදකයින්, සල්ගාරිගේ කතාන්තර එළිදැක්වීමෙන් ජයකෙහෙළි නැංවුවද සල්ගාරි සිය ජීවිතය ගැට ගසා ගනු ලැබුවේ දැඩි ආර්ථික අහේනි මැදය. කතාන්තර ලියූ තීන්ත හා කොළවල මුදලවත් නොලැබි යෑම කුතුහලය දනවන්නකි. සල්ගාරිගේ අවාසනාවන්ත ජීවිතයේ තවත් එක් අඳුරු පැත්තක් හෙළි කරන්නකි ඒ.දරුවන් සිව්දෙනෙකු සමග දයාබර බිරිය අයිඩා පෙරුෂී සමග ජීවිතය ගැටගසා ගැනීම දිනෙන් දින උග්‍ර ප්‍රශ්නයකට පෙරළෙමින් තිබිණි. ලියූ ‍පොත පතේ කර්තෘභාගයද නොලැබි යන තැනට කරුණු යෙදී තිබිණි.

සල්ගාරි තව තවත් ලියුවේය. මුද්‍රණකරුගෙන් ලැබෙන සොච්චම පවු‍ලේ ෙදෙනික අවශ්‍යතා සපුරාගැනීමට ප්‍රමාණවත් නොවීය. ක්‍රි.ව. 1911 වන විට සල්ගාරි නවකතා, වීරකතා 200කට ආසන්න ප්‍රමාණයක් ලියා තිබිණි. ලියූ ‍පොතපත ශීඝ්‍රයෙන් අලෙවි වුවද සල්ගාරි යුවළට  ලැබෙන මුදල ප්‍රමාණවත් නොවීය. මානසික ආතතිය දරාගැනීමට අ‍පොහොසත් වූ බිරිය ජීවිතයෙන් සමුගත්තාය.

එමිලියෝ සල්ගාරි දැඩි සේ අසරණ වූයේය.  ඇගේ දිවි තොර කරගැනීමත් සමග එමිලියෝ සල්ගාරිට දරුවන් සිව්දෙනෙකු සමග ජීවිතය ගැට ගසා ගැනීම බරපතළ ගැටලුවක් බවට පත්විය. දැඩි මානසික අවුලක පැටලුණු, සල්ගාරි ක්‍රි:ව: 1911 අප්‍රේල් 25 දින ජපනුන් මරණය ළඟාකර ගැනීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් වූ “හරාකිරි” ක්‍රමයට සිය උදරය කපාගෙන මෙලොවින් සමු ගත්තේය.

සරත් අමරකෝන්

Jan 25, 2013

ජීවිතය යනු මුදල් නොවන බව ලොවට කියා දුන් වෛද්‍යවරයකුගේ සමුගැනීම


8-2
වෛද්‍ය යොකාෂි තමා අතට පත්ව තිබූ එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයක වාර්තා කීපයක් දැඩි විමසිල්ලෙන් යුතුව පරීක්ෂා කරමින් සිටියේය. ඒවා දුටු මොහොතේ සිට යොකාෂිගේ තොලකට වියළී ගොස් ඇති බවක් ඔහුට දැනුණි. සිව්වැනි වතාවටත් ඒවා මුල සිටම පරීක්ෂා කළ යුතු යැයි සිතූ ඔහු නැවත වරක් මුල සිටම වාර්තා  පරීක්ෂා කරන්නට පටන් ගත්තේය. විනාඩි 20ක් පමණ ගතවූ පසු, වාර්තා සියල්ල මේසය මතට දැමූ ඔහු තම සුවපහසු අසුනේ පිටුපසට ඇදී පුටු ඇන්දේ හිස තබා ගත්තේය. මීට සුළු මොහොතකට පෙර තමා පරීක්ෂා කළ සියලු වාර්තා අයත් වන්නේ, ඔහුගේ හොඳම මිතුරාටය. කුඩා කල සිට පාස‍ලේ යාබද අසුනේ සිට තමන් හා එකට අකුරු කළ මිතුරාටය. පාස‍ලේදී පමණක් නොව වෛද්‍ය විද්‍යාලයේදීද ඔහුගේ හොඳම මිතුරා වූයේ එම පුද්ගලයාය. අද වනවිට මේ දෙදෙනාම වෛද්‍යවරුන්ය. මෙම එම්.ආර්.අයි වාර්තා අයත් වෛද්‍ය මිතුරා නමින් රිචර්ඩ්ය. නැතහොත් රිචර්ඩ් ටියෝ කොංසියැංය. වෛද්‍ය වාර්තාවලට අනුව රිචර්ඩ් ජීවත් වන්නේ තව මාස කීපයකි. එයට හේතුව ඉතා දරුණු ලෙස ඔහුගේ ශරීරයේ අභ්‍යන්තර අවයව විශාල ප්‍රමාණයක පැතිරී ඇති අවසන් අවස්ථාවේ පවතින පිළිකාවකි.

 වෛද්‍ය රිචර්ඩ් ටියෝ උපන්නේ 1972 වසරේය. ඉතාම දුක්බර ළමා කාලයක් ගෙවූ ඔහු ස්වෝත්සාහයෙන් ඉගෙන ගත්තේය. එයට හේතුවක් තිබිණි. සමාජය මෙන්ම ජනමාධ්‍යයෙන් ඇසෙන දකින දේ අනුව ටියෝ, දැන සිටියේ සාර්ථකත්වයට පැමිණිය හැකි වන්නේ ‍පෝසත් වීමෙන් පමණක් බවය. එනම් සතුට ඇත්තේ මුදල් මත බවය. ඒ අනුව ඔහු ඉතා හොඳින් පාසල් අධ්‍යාපනය නිම කළේය. පාස‍ලේ අධ්‍යාපන කටයුතුවලට අමතරව සෑම ක්‍රීඩාවකම නිරතවිය. පාස‍ලේ සෑම වර්ණ ප්‍රදානෝත්සවයකදීම ටියෝගේ නම හත්අට වතාවක් කියවුණි. වර්ණ රාත්‍රිය අවසන් වන්නේ ඔහු වටා කුසලාන පදක්කම් සහ සහතික තොගයක් ඉතිරි කරමිනි. උසස් අධ්‍යාපනය සඳහා ඔහු වෛද්‍ය විද්‍යාලයට තේරුණු අතර, ටියෝ එහිදී තෝරා ගත්තේ අක්ෂි වෛද්‍ය විද්‍යාවයි. ඊට හේතුව වූයේ අක්ෂි වෛද්‍ය විද්‍යාව යනු යහමින් මුදල් හම්බ කළ හැකි ක්ෂේත්‍රයක් වීමයි. එය සාර්ථක ලෙස පුහුණු වූ ඔහු අක්ෂි වෛද්‍ය විද්‍යා පර්යේෂණ සඳහා පේටන්ට් බලපත්‍ර 2ක්ද හිමිකර ගත්තේය. ඉන් එකක් අක්ෂි පර්යේෂණ සඳහා ‍ලේසර් කිරණ භාවිත කිරීමේ ක්‍රම සම්බන්ධව වූ අතර අනෙක අක්ෂි වෛද්‍ය උපකරණ සම්බන්ධවය. ඊට අමතරව ඔහුට ‍ලේසර් කිරණ භාවිත කර ඇස් පරීක්ෂා කිරීම සම්බන්ධ පර්යේෂණ ශිෂ්‍යත්වයක්ද පිරිනැමිණි. නමුත් ඔහු බලා‍පොරොත්තු වූ තරම් මුදලක් උපයා ගැනීමට අක්ෂි වෛද්‍ය විද්‍යාව ඔහුට ඉඩ ලබාදී නොතිබිණි.

 කෙටි කලකින්ම එය අත්හැර දැමූ ඔහු රූපලාවන්‍යය වෛද්‍ය ක්ෂේත්‍රය කෙරෙහි නැඹුරු වන්නට පටන් ගත්තේය. සිංගප්පූරුව යනු රූපලාවන්‍යය කෙරෙහි 8-1වැඩි අවධානයක් යොමු කරවන සහ වැඩි මුදලක් වියදම් කරවන රටකි. සිංගප්පූරු ජාතික ටියෝට මෙය මහත් සැනසිල්ලක් වූයේය. ඒ නිසා ඔහු ආයතනික වෛද්‍ය සේවය අතහැර රූපලාවන්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරන්නට පටන් ගත්තේය. කෙටි කලක් ගත වනවිට වෛද්‍යවරයකු ලෙස ඔහු ලබා තිබූ ප්‍රසිද්ධිය සහ කීර්තිනාමය අභිබවා ගිය ප්‍රසිද්ධියක් සහ කීර්තිනාමයක් රූපලාවන්‍ය ශිල්පියෙකු ලෙස ලබාගැනීමට හැකිවිය. සිය රූපලාවන්‍යාගාරය තුළ වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් යෝග්‍ය ප්‍රතිකර්ම රැසක් සිදුකෙරිණි. ඒ සුරූපී රුවක් සහ සහ සෞඛ්‍යාරක්ෂිත ජීවිතයක් ලබාගැනීම සඳහාය.

රූපලාවන්‍යාගාරය ආරම්භ කර පළමු මාසය ගවෛන විට ටියෝ, සෑම දිනකම පැය කීපයක් තමා හමුවීම සඳහා පැමිණෙන සිය පාරිභෝගිකයන්ට වේලාව ලබාදී තිබිණි. මාස 4ක් ගතවනවිට ටියෝ හමුවීම සඳහා පාරිභෝගිකයන්ට සතියක් බලා සිටින්නට සිදුවිය. තවත් මාස කීපයක් ගතවිය. ටියෝ හමුවීම සඳහා සති 3ක සිට ලැයිස්තුවේ සිටි පාරිභෝගිකයන්, ඒ පිළිබඳව කිසිසේත්ම උරණ වූයේ නැත. අවසානයේ ඔහු හමුවීම සඳහා මාස 3ක් පමණ බලා සිටින්නට තරම් අවිවේකී කාලපරිච්ජේදයක් ටියෝට උදාවී තිබිණි. එසේම ඔහු කුඩා අවධියේ සිතූ ලෙසම සිහින මැවූ ලෙසම මුදල් ඔහු සොයා ගලා එන්නට විය. මුදල් යනු සතුට යැයිද, මුදල් යනු ජීවිතය යැයිද සිතූ ටියෝ මහත් ආඩම්බරකාර ජීවිතයක් ගත කළේය. එදිනෙදා ආහාරපාන සඳහා ලෝභී ලෙස මුදල් වියදම් කරන සිංගප්පූරු වැසියන් තම රූපලාවන්‍ය කටයුතු සඳහා දිනකට ඩොලර් 10,000ක් වියදම් කළේ කිසිදු චකිතයකින් තොරවය. විනාඩියක කාර්යයන් සඳහා ටියෝ ඩොලර් දහස් ගණන් අය කළේය. අවසානයේ මුදල්වල වටිනාකමක් හෝ අගයක් නොදකින තරමට ඔහු ධන කුවේරයකුවී සිටියේය. ඔහු මෝටර් රථ මාරු කළේ ඇසිපිය ගසන වේගයෙනි. රේසින් මෝටර් රථවල නැගී විනෝද සවාරි යෑමට සහ රේසිං තරගවලට යෑමට ඔහුට ඕනෑ තරම් වේලාව තිබිණි. ඒ වනවිට ඔහුට අයත් රූපලාවන්‍යගාරයේ, වෛද්‍ය විශේෂඥයන් 7 දෙනකු පූර්ණකාලීන සේවයේ යොදවා තිබිණි. අත්‍යවශ්‍යම අවස්ථාවක හැර ටියෝ කිසිදු පාරිභෝගිකයකු හමුවූයේ නැත. ඒ නිසාම ඔහුට තම විනෝදකාමී දිවිය එලෙසම පවත්වාගෙන යාමට බාධක තිබුණේ නැත. ඔහු මාසයකට වරක් තම ඥාතීන් බැලීමට ගමට ගියේය. ඒ සුපිරි මිලක් ගෙවා තමන් සතු කරගත් සුපිරි මෝටර් රථයෙනි. එය ෆෙරාරි 430 වර්ගයේ රථයකි. ඥාතීන් දැකීමට වඩා ඔහුට අවශ්‍ය වූයේ තම සුපිරි දිවිය ඥාතීන්ට දැකීමට සැලැස්වීමටය. ඔහු එයින් මහත් සැනසුමක්, සතුටක් ලැබුවේය.

මෝටර් රථයට පසු ඔහු මහත් ආශාවකින් සිටියේ සුපිරි පන්තියේ මාලිගාවක් වැනි නිවසක් තැනීමටය. ඒ අනුව තරු පැළැන්තියේ ධන කුවේරයන් ජීවත්වන පරිසරයකින් ඉඩමක් මිලදී ගත් ඔහු තම සිහින මාලිගය ඉදිකරන්නට පටන් ගත්තේය. ටියෝගේ ජීවිතය, ප්‍රියසම්භාෂණ, සමාජශාලා වැනි ධනපති පන්තියේ ක්‍රියාවන් වෙත යන්නට පටන්ගෙන තිබිණි. එවැනි උත්සවයක් නොපැවතෙන දිනයක් නොමැති තරමට ඔහු ඒවාට සහභාගි වූයේය. එවැනි සම්භාෂණවලදී දැන හඳුනාගත් ධන කුවේරයන් ඔහුගේ සමීපතමයන් බවට පත්විය. ධනවත් කාන්තාවන්, නිරූපණ ශිල්පීන්, රූපරාජිනියන්, බහුජාතික සමාගම් අයිතිකරුවන් ආදිය ඔහුගේ අතිජාත මිතුරන් බවට පත්ව සිටියේය. ඒ වනවිට ටියෝගේ ජීවිතය තුළ ඉඩකඩ තිබුණේ එවැනි ධනපති පන්තියේ වැසියන්ට පමණි. ඔහු ජීවිත කාලය තුළ ලබාගත යුතු යැයි බලා‍පොරොත්තු වූ සියලුම දෑ ඔහුගේ දෑස් ඉදිරිපිටම මැවී තිබිණි. ඔහු වෘත්තීය මට්ටමින් මෙන්ම පෞද්ගලික ජීවිතය අතින්ද මහත් විපර්යාසයකට ලක්ව සිටියේය.

මේ ආකාරයට ගෙවුණු විනෝදකාමී ජීවිතයට කනකොකා හඬවමින් දිනක් ඔහුගේ කොන්ද ප්‍රදේශයට මහත් වේදනාවක් ගෙන දුන්නේය. කායවර්ධන ව්‍යායාමවල යෙදීමත්, දිනපතා මහත් ශක්තියක් වැයකර ඇවිදීමත් (Jogging) මෙයට හේතු වන්නට ඇතැයි සිතූ ඔහු, තම වේදනාව එතරම් අවධානයට ගත්තේ නැත. දින කීපයක් ගත වුවද කිසිදු ආකාරයක සුවයක් නොලැබි නැත. ඔහු තම මිතුරු වෛද්‍ය යොකාෂි හමුවී කොඳුනාරටියේ ර්අ ස්කෑන් පරීක්ෂණයක් සිදුකර ගන්නට තීරණය කළේය. ඒ අනුව 2011 වසරේ මාර්තු මස දිනක ඔහු මිතුරා හමුවී එම පර්යේෂණයට මුහුණ දෙන ලදී. පර්යේෂණ ප්‍රතිඵල අනුව ඔහුගේ කොඳුඇට          පෙළෙහි ඇටමිදුළුවල යම්කිසි වෙනසක් ඇති බව මිතුරාගෙන් දැනගන්නට ලැබුණි. ඒ අනුව මෙම වෙනස පැහැදිලි කරගනු සඳහා ටියෝට තවත් පර්යේෂණ කීපයකට මුහුණ දීමට සිදුවිය.
එම පර්යේෂණ ප්‍රතිඵල වාර්තා හොඳින් අධ්‍යයනය කළ වෛද්‍ය යොකාෂි මහත් විමතියට පත්වූයේ තම මිතුරා සුව කළ නොහැකි මට්ටමේ පිළිකාවකින් පෙළෙන බව දැනගත් නිසාය. වාර්තාවලට අනුව ටියෝ සිව්වැනි මට්ටමේ පෙනහලු පිළිකාවකින් පෙළෙති. (4th Stage lang cancer)  ඊට අමතරව එම පිළිකා ෙසෙල, මොළය, කශේරුකාව, අක්මාව මෙන්ම හෝමෝන ස්‍රාවී ඇඩ්්‍රනලින් ග්‍රන්ථි වෙතද පැතිරී තිබිණි. මෙවැනි ආකාරයේ පිළිකාවක් සහිතව මෙතරම් නිරෝගී ලෙස ජීවත්වන්නේ කෙසේද යන්න පවා වෛද්‍ය යොකාෂිට හිතාගන්නට හැකියාව තිබුණේ නැත. තම ජීවිතය තුළ තමා මුහුණ දුන් අන්ත දුක්ඃඛිතම අවස්ථාවට මුහුණ දෙමින් යොකාෂි, තම මිතුරාට ඔහුගේ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කරන ලදී. ඒවා හොඳින් පරීක්ෂා කළ ටියෝ මුලින් මෙය විහිළුවක් ලෙස සලකා සිනාසීමට පටන්ගත් අතර පසුව මොහොතකින් යොකාෂිව දැඩිව ග්‍රහණය කරගෙන හඬන්නට පටන් ගත්තේය. ස්වල්ප වේලාවක්, ඇති තරම් හැඬූ ඔහු සිය කඳුළු පිසදා ගත්තේ ජීවිතයේ අරුත වටහා ගනිමිනි.

එතැන් පටන් ඔහු ජීවත්වූයේ දෙපා ‍පොළොවේ තබාගෙනය. තම ජීවිතය මාස කීපයකට සීමා වන බව දත් ඔහු සිය සුපිරි ජීවිතයෙන් මිදී සාමාන්‍ය මිනිසුන් අතරට ගියේය. තමාගෙන් සේවය අවශ්‍ය අය වෙනුවෙන් ඔහු සේවය කළේ කිසිදු අය කිරීමකින් තොරවය. ඒ සඳහා දෙවරක් සිතුවේ නැත. තමා සතු වටිනා කියන සියල්ල මුදල් බවට පත් කළ ඔහු දුප්පතුන් සහ කුඩා ළමුන් වෙනුවෙන් එම මුදල් වියදම් කළේය. ඔහු වයස අවුරුදු 20දී කතෝලික භක්තිකයෙකු බවට පත්ව සිටියේය. ඒ තම සුපිරි ධන කුවේර මිතුරන් සියල්ලෝම කතෝලික භක්තිකයන්වූ හෙයිනි. නමුත් ඔහු තම ජීවිතයේ අවසාන කාලය තුළ සියලුම ආගම් අදහන්නට පටන් ගත්තේය. සියලුම ආගමිකයන් සමග සතුටින් කාලය ගත කරන්නට විය. කෙසේ වුවද ඔහුට තම රෝගය නිසා දුක්විඳින්නට අවශ්‍ය වූයේ නැත. අවසන් මොහොත දක්වා සතුටින් හිනැහෙමින් සිටි ඔහු 2012 ඔක්තෝබර් මස 18 වන දින සියලු සැපසම්පත් මිල මුදල්වලින් මෙන්ම තම ජීවිතයෙන්ද සදහටම සමුගත්තේය. පසුගිය ජනවාරියේ ඔහු වෛද්‍ය සිසුන් අමතා සිදුකළ දේශනයකදී මෙසේ පවසා තිබිණි. “මට හැම දෙයක්ම අයිතියි. ඒත් මට මගේ ජීවිතය අයිති නැහැ. මට මගේ කෝටි ගණනක් වටිනා ෆෙරාරි රථය වැළඳගෙන සතුටු වෙන්න තරම් හැකියාවක් නැහැ. ඊට වඩා වටින මගේ ජීවිතයත් දැන් මම අතහැර දමන්න සූදානම්.”
දුලංජලී මුතුවාඩිගේ

සසර කතරින් එතෙර වන්නට පියවර තබන නිරූපිකාව


10-1
2005 වසරේ ජූලි මාසය, නේපාල නිරූපණ ක්‍ෂේත්‍රයට   එතරම් සුබදායී මාසයක් වූයේ නැත.  එයට හේතුව  නේපාල ජාතික  නිරූපණ  ශිල්පිනියන් කීප දෙනෙකුටම විවිධ අනතුරුවලට ලක් වීම නිසා ක්‍ෂේත්‍රයෙන් සමු ගැනීමට සිදුවීමයි. වසරේ මැද  කාලය යනු සෑම රටකම පාහේ නිරූපණ  ක්‍ෂේත්‍රය කාර්ය බහුල වන කාලයකි. ඒ නිසා සෑම ශිල්පිනියකටම වැඩ අධිකය. සියලුම වැඩ රාජකාරි අතරතුර ඉතා සැහැල්ලුවෙන් කාලය  ගත කරන දීපා සිං නේපාල නිරූපණ ශිල්පිනියන් අතර අවධානයට ලක්වන්නේ ඒ අතරතුරදීය. ඉන්දියානු පියෙකුට සහ නේපාල මවකට දාව 1979 වසරේ ඔක්තෝබර් මස 25 වන දින උපන් ඇය, උප්පැන්න සහතිකයට අනුව දීපා සිං වූවාය. අම්මා නම් ඇය ඇමතුවේ දීපා ලෙසින් නොව, “චානක්‍යා”  ලෙසිනි. තාත්තාට ඇය “බුද්ධා” නම් විය. වයස  අවුරුදු 18 වන විට පාසල් අධ්‍යාපනයෙන් සමුගත් ඇය, නිරූපණ ශිල්පිනියක් ලෙස, නිරූපණ 10-2ක්‍ෂේත්‍රයට පිවිසීමට මහත් බලා‍පොරොත්තු ඇතිව සිටියාය. නිරූපණ ශිල්පිනියන් පුහුණු කිරීමේ ආයතනයකට යොමු කරන ලද අයදුම්පතකට අනුව ඇයට කැඳවීමක් ලැබිණ.  ඒ අනුව එම ආයතනයේ මාස 6 ක පුහුණුවක් ලද ඇයගේ නම, කොහිනූර් ලෙස වෙනස් වූයේ නිරූපණ ශිල්පිනියක් ලෙස පළමු වරට වේදිකාවට නැගීමත් සමගය. දීපා සිං කොහිනූර් සිං බවට  පත් කළේ ප්‍රවීණ නිරූපණ ශිල්පී පුහුණුකරුවෙකි. “දීපා” යනු මෙම ක්‍ෂේත්‍රයට ගැළපෙන නමක්  නොවන බව පැවසූ ඔහු, මෙතැන් පටන් ඇය “කොහිනූර්” නම් විය යුතු බවට තීරණය කරන ලදී.

සහජයෙන් උරුම වී තිබූ දක්ෂතා නිසාම කොහිනූර් (දීපා) දිනෙන් දිනම නිරූපණ       ක්‍ෂේත්‍රයේ පියවරෙන් පියවර  ඉදිරියට ගියාය. මේ ආකාරයට වසර 10ක් ගෙවිණි. ඇය විසින් නිරූපණය කරන  ප්‍රසංග  විශාල සංඛ්‍යාවක් ඒ කාලය ඇතුළත ජනතාව  අතර ප්‍රසිද්ධ වී තිබිණි. ඊට අමතරව ඇය විසින් රංගනයෙන් දායක වන සංගීත වීඩියෝ 25කට වැඩි ප්‍රමාණයක් විවිධ වබේ අඩවි ඔස්සේ ප්‍රචාරණය වී තිබිණි. වසර 10ක් තුළ කොහිනූර් සිං නිරූපණ ක්‍ෂේත්‍රයේ  හිණි පෙත්තටම නැග සිටියාය. අතිශය කාර්යබහුල දිවිය ඇයගේ  හිතට කරදර කරන්නට පටන් ගත්තේ ඉන් පසුවය. දවසින් දවසම  වගකීම් වැඩි වීම, ඇගේ හිතේ වූ මානසික පීඩනයද වැඩි කරලීය. ඒ අතර ඇයගේ  පෙම්වතා වූ ෂංකර් ගෝල්යන්ද ඇය තනි කර දමා, වෙනත් විවාහයකට  ඇතුළු වී  තිබිණි.  ෂංකර් ගෝල්යන් යනු නේපාලයේ සුප්‍රසිද්ධ ව්‍යාපාර ආයතනයක් වූ ෂංකර්  ගෲප් ආයතනයේ හිමිකරු, ගෝල්යන් මහතාගේ  පුත්‍රයෙකි. කොහිනූර් සහ ෂංකර් අතර පෙම් සබඳතාව නතර වූයේ දෙදෙනාගේම කැමැත්ත මතය. පෙම් සබඳතාව නතර වුවද, ඔවුන්ගේ මිත්‍රත්වය  නතර වූයේ නැත.

කොහිනූර්ගේ ජීවිතය වෙනස් වන්නට පටන් ගත්තේ දිනක් ඇගේ නිවසට පැමිණි සංඝයා වහන්සේ නමක් නිසාය. 2004 වසරේ “වස්” කාලයේ, හීල් දානය සපයා ගැනීමේ අරමුණින් එක් භික්ෂූන් වහන්සේ නමක් කොහිනූර්ගේ නිවසට වැඩියහ. අධික තෙහෙට්ටුවකින්   ඇඳෙන් බිමට වන් කොහිනූර්, දානය සපයාගෙන ආපසු වඩින භික්ෂුව දුටුවාය. උන් වහන්සේ දුටු වනම, සැහැල්ලු බවකින් ඇගේ හිත පිරී ගියේය. වහාම උඩු මහලෙන් බිමට බැසි ඇය, දිවගොස් භික්ෂූන් වහන්සේගේ ගමන නවතා, උන් වහන්සේ  දෙස මොහොතක්  බලා සිටියාය. “මට ඔබ වහන්සේගේ ප්‍රතිපත්ති ධර්මය දැන ගත හැකිද?” ඇය විමසුවාය. එතැන් පටන් එම භික්ෂූන්  වහන්සේගෙන් ධර්මය පිළිබඳ අවබෝධයක් ලබාගත් කොහිනූර්, කමෛන් බෞද්ධ ධර්මයට අනුව  ජීවත් වන්නට පටන් ගත්තාය. ඇය පළමුව, තම නිදන කාමරයේ තිබූ අනවශ්‍ය බඩු භාණ්ඩ සියල්ල ඉන් ඉවත් කරන ලදී. ඒ අතර දැවැන්ත රූපවාහිනී තිරයක්, කැසට් සහ වීඩියෝ යන්ත්‍ර රූපලාවන්‍ය උපකරණ, ව්‍යායාම් උපකරණ, පරිගණක යන්ත්‍ර ආදිය  තිබිණි. අවසානයේ කොහිනූර්ගේ  කාමරය තුළ ඉතිරි වූයේ  නිදා ගන්නා ඇඳ, ඇඳුම් රාක්කය සහ භාවනා කිරීම සඳහා සාදා ගන්නා ලද ආසනය පමණි.

ගුරු හාමුදුරුවන් යටතේ භාවනා ප්‍රගුණ කළ කොහිනූර්, 2005 වසරේ ආගෝස්තු මාසයේදී, ලෞකික සැප සම්පත් අත්හළ යුතු බව තීරණය කර තිබිණි. ඒ අනුව අගෝස්තු මාසය අගභාගයේ  කොහිනූර් සිං නොහොත් දීපා සිං, ලොසෑන් ඩොල්නා නමින් පැවැදි ජීවිතයට එළඹියාය. පඬු පැහැති සිවුරෙන් ආවරණය වී තිබූ ඇගේ  සිරුරත්, සම්පූර්ණයෙන්ම මුඩු කොට තිබූ කෙස් වැටිය සහ ඇහි බැමත් දුටු, ඇගේ ගිහි ජීවිතයේ මිතුරු මිතුරියන්ට ඇස් අදහාගන්නට නොහැකි වී තිබිණි. පිට මැදට  කඩා හැලී තිබූ දුඹුරු පැහැති සේද කෙස් කළඹ වෙනුවට  තිබුණේ මුඩු කරන ළද හිසකි. දුන්නක් මෙන් අඩකවාකාරව පිහිටා තිබූ ඇසි බැම  ඇගේ වීදුරු බෝලවන් දෑසට ඉහළින් තිබුණේ නැත. විවිධ විලාසිතාවන්ගෙන් හැඩ  වී තිබූ සරාගී සිරුර, පඬු පැහැති සිවුරෙන් වැසී තිබූ අතර, ඇය ඉතා සන්සුන්  ගමනින් පියවර තැබුවාය. ඇය පැවිදි දිවියට ඇතුළත් වී මාස 2කට පසු බිබිසී සේවයේ විශේෂ වාර්තාකරුවකු පැමිණ ඇය සමග සම්මුඛ සාකච්ඡාවක් සිදු කරන ලදී.

ප්‍රශ්නය:- “ඔබ තුමිය නිරූපණ ශිල්පිනියක් වෙන්න තීරණය කළ මොහොතේ දෙමාපියන්ගේ ප්‍රතිචාර මොනවාද?

පිළිතුර :-  “ඔයාට පිස්සු හැදීගෙන එනවද?  ඔයා ඒකේ තේරුම මොකක්ද කියලා දන්නවද?”  කියලා ඇහුවා.

ප්‍ර:- “ඔබ  පැවිදි ජීවිතයට ඇතුළු වෙන්න තීරණය කළ මොහොතේ දෙමාපියන්ගේ ප්‍රතිචාර මොනවාද?”

පි:- “ඔයාට පිස්සු හැදීගෙන එනවද? ඔයා ඒකේ තේරුම මොකක්ද කියලා දන්නවද” කියලා ඇහුවා. නමුත් අවසානයේ ඔවුන් මට  කැමැත්ත දුන්නා.”

ප්‍ර:- “ඇයි ඔබ පැවිදි වෙන්න තීරණය කළේ?”

පි:- “ගිහි ජීවිතයෙදි මනසට විවේකයක් ලැබෙන්නෙ නෑ. සිරුරට විතරයි විවේකයක් සැහැල්ලුවක් ලැබෙන්නෙ. මගේ ගුරු හාමුදුරුවන්ව මා පළමුවරට දුටු දවසෙ මම දැක්කා   එතුමාගේ මනසේ තිබූ සැහැල්ලු බව. ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුගෙන් එහෙම දෙයක් දකින්න බැහැ.  ඉතිං මට දැනුනා මට උරුම මේක තමයි කියලා. අද මම හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ.

ප්‍ර:- දැන් මේක රැල්ලක් බවට පත්වෙලා නේද? ලස්සන ගැහැනු ළමයින් ජනප්‍රිය වෙන්න හිතාගෙන කරන දෙයක් නේද මේ?

පි:- ජනපිය වෙන්න ඕනෙනම් ඒකට ඕනතරම් ක්‍රම තිබෙනවා. පැවිදි ජීවිතයකට පත්වීම  ජනප්‍රිය වීමේ උපක්‍රමයක් කියලා හිතලා යමෙක් එසේ කරනවා නම්  ඒ  පුද්ගලයා සුළු කාලයකින්ම නැවත උපැවිදි වෙනවා. ජනප්‍රිය වීම සඳහා පැවිදි  වෙන්න ඕනෙ කියලා හිතන  අය ඉන්නවානම් මට ඒ අය ගැන හරිම අනුකම්පාවයි.

ප්‍ර:- ඔබ පැවිදි ජීවිතයට යොමු වුණේ ප්‍රේමය බිඳ වැටී
මක  ප්‍රතිඵලයක් නිසා කියලා මම කිව්වොත්?

පි:- ඔබට එහෙම හිතෙන්න ඇත්තේ ප්‍රේමය බිඳ වැටීම සහ මම පැවිදි ජීවිතයට        එළඹීම එකම යුගයක සිද්ධ වුණු නිසා වෙන්න ඇති. අදටත් අපි ඉතාම  හොඳ මිතුරන්. ඔහු දැන් සාර්ථක  ලෙස විවාහ ජීවිතයක් ගත කරනවා. විවාහ ජීවිතයේ  ඇතිවන විවිධ ප්‍රශ්න විසඳලා දීමට මම ඒ දෙදෙනාටම මට හැකි ආකාරයෙන් අනුශාසනා කරනවා.

ප්‍ර:- පැවිදි වීමෙන් ඔබ බලා‍පොරොත්තු වුණේ මොනවද?

පි:- ප්‍රධාන  වශයෙන් සිතේ සැහැල්ලුව. දෙවනුව සංසාරයේ සැහැල්ලුව. නැවත උපතක් නොලබන්නට පුළුවන් අවස්ථාව දක්වා ගමන් කිරීම.

ප්‍ර:- ඔබට ජීවිතේ ගැන කලකිරීමක් තිබුණද?

පි:- කාර්යබහුල ජීවිතයක් ගත කරන කාලෙ, මානසික වශයෙන් විශාල කලකිරීමක් තිබුණා. මැරෙන ටිකට නේද මිනිසුන්   මේ හැමදේම කරන්නෙ කියලා  හිතුනා. ඒත් කිසිවකුත් මරණයෙන් පසු නැවත උපතක් ගැන හෝ ඒ උපතේදී කර්මය, විපාක ගැන වැටහීමකින් ජීවත් වෙන්නෙ නැහැ. බුද්ධ ධර්මයට අනුව අපි ලෝකෝත්තර ධර්මය පිළිබඳ  දැඩි විශ්වාසයකින් පසුවෙනවා.  ලෝකෝත්තර  දියුණුවට මං පාදා ගන්නවා. මම පැවිදි ජීවිතයට යොමු වුණේ, ගිහි තරුණියක විදියට සැපවත්ම යුගයක් ගත කළ කාලයේ. ඉතිං ඇයි මට කලකිරීමක්  ඇති වෙන්නෙ. මේ වගේ තීරණ ගන්න අවශ්‍ය වෙන්නෙ කලකිරීම නොවෙයි. තේරුම් ගැනීම සහ අවබෝධය. මම මේ තැනට ආවේ කිසිම ආකාරයක කලකිරීමක් මත ගත් තීරණයක් නිසා නොවෙයි. ඉතාමත් අවබෝධයෙන් යුක්තව ගත් තීරණයක් මතයි.

ප්‍ර:- මේ ජීවිතය ගැන ඔබ තෘප්තිමත්ද?

පි:- මා පැවැදි වුණේ තෘප්තියක් ලබන්නට නොවෙයි. මගේ අරමුණ කරා යන්නටයි. අමා මහා නිර්වාණය තරම් සැනසීමක් කිසිදු බෞද්ධයකුට නැහැ.

දුලංජලී මුතුවාඩිගේ

Jan 24, 2013

පාපැදි ගිල දමන අරුම පුදුම වනස්පතීන්


7-1ගසකට හේත්තුකොට තැබූ පාපැදියක් හෝ යතුරු පැදියක් කාලයාගේ ඇවෑමෙන් එකී ශාකයේම කොටසක් බවට පත් වීම සැබවින්ම අරුම පුදුම සිදුවීමක් නොවන්නේද? ඇමෙරිකාවේ වොෂිංටන් නුවර ‘වැෂ්ටන් අයිලන්ඩ් හි’ දැකිය හැකි බිම් මට්ටමින් අඩි කීපයක් උසින් දැවැන්ත ගසක මධ්‍යයේ සිර වී ඇති ළමා පාපැදිය එලෙස ගස් විසින් ගිල දැමූ එකම පාපැදිය නම් නොවේ.

 අද වනවිට කදිම සංචාරක ආකර්ෂණ නැරඹූම් ස්ථානයක් බවට පත්ව ඇති මෙම ‘රුක් පාපැදිය’ එබඳු පිහිටීමකට පත් වූයේ කෙසේද යන්නට නානා විධ ජනප්‍රවාද ගොඩනැගීමෙන් පෙනී යන්නේ එයට කෙතරම් අවධානයක් දිනා ගැනීමට හැකි වී ඇත්ද යන්නයි. මෙබඳු පිහිටීමකට පාපැදියක් ස්ථානගත වූයේ කෙසේද කියා මෙන්ම එබඳු අනපේක්ෂිත බාධකයක්, බාධකයක් ලෙස සිතා එය මග නොහැර ශාකයේම කොටසක් බවට පත්කර ගනිමින් මෙම වනස්පතීන් වර්ධනය වී ඇති ආකාරය පිළිබඳව ඇත්තටම පුදුම නොවී සිටිය නොහැක.

 ශාක හා ලතාවන් සතු අනන්‍යතාවය මෙබඳු අපූරු ස්වභාවික එමෙන්ම කලාත්මක නිර්මාණ බිහිවීම කෙරෙහි බලපා තිබේ. ස්වභාවයෙන්ම ශාක සතු නම්‍යශීලී හැකියාව මගින් බාහිර බාධක සිය දේහයේම කොටසක් බවට පත් කර ගනිමින්, එබඳු ආගන්තුක දෑ කෙරෙහි මිත්‍රශීලී හැඟීමෙන් යුක්තව කටයුතු කිරීමට ශාක ලොවේ මෙබඳු දැවැන්තයන් සතු මෙම අපූරු ගුණාංගය මිනිස් අපටද කියා දෙනුයේ ආදර්ශමත් පාඩමකි.
ප්‍රියන්ති රුද්‍රිගු

කල්පිටිය ඕලන්ද බලකොටුවේ අබිරහස් සොයාගිය ගමනක්


ශ්‍රී ලංකාව පෘතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි යන විදේශීය ආධිපත්‍යයන්ට නතුව පැවැති යටත් විජිතයකි. මෙම විදේශීය ආධිපත්‍යයන්හී ශේෂාවශේෂයන් අද ද සිරිලක පුරා දැකිය හැක්කේ ය. ලන්දේසි පාලනයේ විචිත‍්‍රත්වය මෙන්ම සැඟවුණු කෲරත්වය ද විදහා දැක්වෙන තක්සලාවක් බඳුවූ, ලන්දේසි බළකොටුවක්, වයඹ පළාතේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ කල්පිටිය අර්ධද්වීපය තුළ දැකිය හැක්කේ ය.
පසෙකින් කල්පිටිය කළපුවෙනුත්, මහ සයුරිනුත් මායිම්වූ කල්පිටිය අර්ධද්වීපයේ ඉහළ කෙළවරේ කළපු තෙර මෙම බළකොටුව පිහිටා ඇත්තේය. දැනට කල්පිටිය විජය නාවුක හමුදා කඳවුර පවත්වාගෙන යනු ලබන්නේ මෙම  ඕලන්ද බළකොටුව තුළය.
ශ්‍රී ලංකාව බටහිර ජාතීන්ගේ ග‍්‍රහණයට නතුවීමට බොහෝ කලකට පෙර සිටම, අරාබි ජාතීන් මුහුදින් කල්පිටියට පැමිණ සිය වෙළෙහෙළදාම් කටයුතුවල නිරතව ඇත. ඈත අතීතයේ ”සොලමන් රජු දවස වෙළෙඳාම් චාරිකාවල යෙදුණු ෆිනීසියන් වෙළෙඳුන් පවා කල්පිටිය සමග වෙළෙඳ සබඳතා පැවැත්වූ බැව් ”බ්‍රෝහියර්” නමැති ලේඛකයාගේ වාර්තාවල ද සඳහන් වෙයි.
නිශ්චිත හේතුවක් අනාවරණය නොවුණද, අරාබි වෙළෙඳුන් ගේ කල්පිටි ආර්ථික මධ්‍යස්ථාන බිඳවැටී, ගොස් ඇති අතර ක‍්‍රිස්තු වර්ෂ 1544 දී කල්පිටිය ජනශූන්‍ය ප‍්‍රදේශයක් බවට පත්ව ඇත.
පෘතුගීසීන්ගේ ආක‍්‍රමණය සිදුවීමත් සමඟ පෘතුගාලයේ රජුගේ අණ පරිදි ජෙසුයිට් නිකායික පූජකවරුනට කල්පිටිය තිළිණයක් ලෙස පවරා දෙනු ලැබීය. ඔවුහු සිය ප‍්‍රධාන වගකීම වූ කතෝලික දහම ප‍්‍රචාරයේ නිරත වෙමින් සිටියදී කල්පිටියේ ජන ඝනත්වය ඉහළ ගොස්, යළි සශ්‍රීක යුගයක් උදාවූ බැව් සඳහන් වේ.
අනතුරුව ලන්දේසීන්ගේ ආක‍්‍රමණයත් සමඟ  ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ බලය කල්පිටියේ ස්ථාපිත කිරීමට,  ඕලන්ද රජය තීරණය කොට ඇත. එවකට මෙරටේ පහතරට පළාතේ ආණ්ඩුකාරධුරය හෙබවූ රයික්ලෝප් වාන් ගොළුසාන්, එම තීරණයට සමගාමීව ක‍්‍රිස්තුවර්ෂ 1667 වර්ෂයේ දී මෙහි බළකොටුව ඉදිකිරීම ආරම්භ කොට ඇත. එකල කුරුඳු සහ පුවක් අපනයනය සිදු කරන ප‍්‍රධාන වරාය වශයෙන් කල්පිටිය තෝරාගත් බවද සඳහන් වේ.
ඕලන්ද බළකොටුව පිළිබඳ තතු විමසීමේදී එහි පිවිසීමේ එකම දොරටුව වන්නේ පවුරු ප‍්‍රාකාරයෙන් සාදා ඇති විශාල ආරුක්කු ද්වාරයයි. එහි ද්වාරයට ඉහළින් වී ඕසී (VOC-Vereenigde Oost Indische Compagnic&)  ලාංඡනය සටහන්ව ඇත. එහි පහළින් සරසනලද ඇතුන් දෙදෙනෙකුගේ සළකුණු සටහන්කොට සහ බළකොටුව ප‍්‍රතිසංස්කරණය කළ 1676 වසර කොටා ඇත.
මෙම ප‍්‍රධාන දොරටුවේ ඉහළ කුරෙන්තියේ සීනුවක් එල්ලා තිබූ බවට සාක්‍ෂි දිස් වේ.
ප‍්‍රධාන දොරටුවෙන් ඇතුළු වූ විට, චතුරස‍්‍රාකාර එලිමහන් භූමියක් මත පෙරට්ටු භූමියට අවතීර්ණය වේ. ලන්දේසි සෙබළුන් සිය යුද පුහුණුවීම් සඳහා මෙම භූමිය භාවිතාකර තිබේ.
බළකොටුවේ සිව් දිසාවේ මුරකුටි හෙවත් තුවක්කු බැස්ටින හතරක් පිහිටුවා ඇත. ඊට අමතරව, මුහුදු තීරය එක එල්ලේ දිස්වන පරිදි බැක්ටීනයක් පිහිටුවා ඇත. එකල වැඩිම යුදමය තර්ජන මුහුද දෙසින් සිදුවීමට ඉඩ තිබුණු නිසා විය හැක. මෙම සියලූ මුරකුටි අඩි පහකට වඩා උසින් අඩුය. ඉතා කුඩා ඉඩකඩක් සහිතය. බළකොටුවේ පරිපාලන කටයුතු ලන්දේසීන් විසින් සිදුකරද්දී, ජා, ලස්කිරිඤ්ඤා මැඩි කුලී භටයින් මුරකුටිවල සේවයට යොදන්නට ඇතැයි විශ්වාස කෙරේ. එම කුලී හේවායින් ගේ උසට හා මහතට සරිලන පරිදි මුර කුටි ගොඩනගා ඇත.
අඩි විස්සක තරම උසට බළකොටු ප‍්‍රාකාරය ගොඩනගා ඇත්තේ, ප‍්‍රදේශයට ආවේණික මුහුදු හිරිගලිනි. බළකොටු ප‍්‍රාකාරයට සමාන්තරව, කුමන්ත‍්‍රණකරුවන්ගේ ගමනාගමනය සඳහා ඉදිකළ උස්බිමකි. මෙම බිම් තීරයට පිවිසීම සඳහා ආනත්තලයක හැඩැති බෑවුම් මාර්ගයකි. මෙම මාර්ගය යුද උපකරණ හා අනෙකුත් බර අධික දෑ ප‍්‍රවාහනය සඳහා යොදා ගන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මෙම බළකොටු ප‍්‍රාකාරයේ බැම්මේ ඉහළ කෙළවර හෙවත් මුදුනත, බල කොටුවෙන් පිටතට බෑවුම් වන පරිදි තනා ඇත. යුද උපක‍්‍රමයක් වශයෙන්, පිටතින් පැමිණෙන සේනාවන්ට උණු දිය හෝ වෙනත් විස සහිත පිළිස්සුම් දියර හැලීමට ඒවා ගොඩනඟා ඇත.
ඕලන්ද බළකොටුව සතුව වටිනා උමං මාර්ග දෙකක් වේ. වම්පස පිහිටි උමග කිලෝමීටර දෙකහමාරක් පමණ දිගින් යුතු වන අතර එය නගරය ඔස්සේ එරමුතිව් දූපතට විවෘතව ඇත. සටනකදී අතිරේක බල ඇණි මුහුදු මගින් ගෙන්වා ගැනීමටත්, පලා යන සෙබළ පිරිස් සඳහා මුහුදින් ප‍්‍රවාහන පහසුකම් සැපයීමේ යුද උපක‍්‍රමයක් ලෙසත් මෙය භාවිත කළ බැව් පෙනේ. මෙම උමගේ ඇත්තේ එක් අයකු පිටුපස එක් අයකු වශයෙන් ගමන් ගැනීමට තරම් පටු ඉඩකි.  ඕලන්ද ගෘහ නිර්මාණ ශිලිපීන්ගේ දිය යට ගොඩනැගිලි ඉදිකිරීමේ දක්‍ෂතාවයද මෙම උමං මාර්ගය නැරඹීමේ දී පැහැදිලි වේ.
බළකොටුවේ දකුණු පස උමං මාර්ගය බළකොටුවේ සිට මීටර පන්සියයක් පමණ දුරින් පිහිටි  ඕලන්ද පල්ලිය කරා දිව යන්නකි. එම දේවස්ථානය තුළ ද මෙම උමං මාර්ගයේ අනෙක් දොරටුව පිහිටා ඇත. ආගමික කටයුතු සඳහා සිය හමුදා පිරිස් නගර මධ්‍යයෙන් ගමන් ගැනීමේදී පිරිස් බලය බාහිරට අනාවරණය වේ. එම නිසා යුද උපක‍්‍රමයක් වශයෙන් සෙබළුන්ට සිය ආගමික වතාවත් සඳහා රහසේම ගමන් ගැනීමට මෙම උමං මාර්ගය භාවිත කළ බව සැලකේ. සුව පහසුවෙන් ගමන් ගැනීමට හැකිවන පරිදි එම උමං මාර්ගය තනා තිබේ.
විශේෂ ස්තුතිය --- වයඹ නාවික ප‍්‍රදේශය බාර ආඥාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා. කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී කපිතාන් රෝහණ ලේල්වල ඇතුළු කාර්ය මණ්ඩලය වෙතට.
(මතු සම්බන්ධයි)
කල්පිටියේ පද්මා කුමාරි කංකානම්ගේ


වසර 345 ක් පුරා භාවිත කරන පැරණි පානීය ජල ළිඳ

මුහුද දක්වා දිවෙන උමං මාර්ගය

තුවක්කු බැස්ටීන

උමං මාර්ගය ඕලන්ද දේවස්ථානය කරා දිවෙන

බලකොටුවේ ඉදිරිපස


මී පැණියෙන් බදාම සාදා තැනූ ප‍්‍රාකාර බිත්ති


 අදහස්(3)  බැලූවෝ (3895)

Jan 22, 2013

සුද්දන්ගේ ගුවන් යානා ගොඩබෑ මාවතගම ගුවන් තොට


එදා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවැති ලංකාව දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වීමත් සමග පැය 48ක් තුළ ප‍්‍රදේශයේ ජනතාවට ඉවත් වීමේ හදිසි නියෝගයක් නිකුත් කරමින් ක්‍ෂණිකව ඉදි කළ මාවතගම ගුවන් තොටුපොළ මවුන්ට් බැට්න් සාමිවරයාට එංගලන්තයේ සිට පැමිණ මහනුවර තම පාලන මධ්‍යස්ථානය දක්වා ගමන් කිරීම සඳහාම ඉදි කළ බව පැවසේ. අද එය මාවතගම "අහස් යානා පිටිය” නමින් හැඳින්වේ.

එවකට ජනයා සතුව පැවති වෙල්යාය පුරවා ඉදි කරනු ලැබූ එම ගුවන් යානා තොටුපොළේ සිට මාවතගම නගරය දක්වා මාර්ගය -මවුන්ට් බැට්න් රෝඞ්” නමින් එදා නම් කර තිබූ බවක් ද කියැවේ.
මාවතගම හිටපු විදුහල්පතිවරයෙකුවූ  ඩබ්.පී. සනී ඔස්ටින් මහතාට (70) මේ ගුවන් තොටුපොළ ගැන මතකයක් ඇත.
1939 එංගලන්තය, ඇමරිකාව, රුසියාව යන රටවල් මිත‍්‍ර පාක්‍ෂිකව සිටියා. එවිට ගුවන් හා නාවුක වශයෙන් එංගලන්තයට ශ්‍රී ලංකාව අග්නිදිග අසියාවේ වැදගත්ම මධ්‍යස්ථානයක් වශයෙන් තෝරාගනු ලැබුවා. ඒ නිසාම මේ පිරිස අග්නිදිග ආසියාවේම වැදගත් මධස්ථානයක් වශයෙන් ද මහනුවර රහසිගත ස්ථානයක් ලෙස පවත්වාගෙන ගියා,” ඔස්ටින් මහතා කියයි.
මවුන්ට් බැට්න් සාමිවරයාට ඉතාම සුදුසු රහස්‍ය මධ්‍යස්ථානය ලෙස මහනුවර බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය විසින් ද අනුමත කොට තිබිණි.
ඔහුට බි‍්‍රතාන්‍ය රජය සමග ක්‍ෂණිකව සම්බන්ධතාවය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ද ඇති විය.
මේ සඳහා ගුවන් තොටුපළක් අවශ්‍ය බව වැටහී යාමෙන් ඒ සඳහා ගුවන් තොටුපොළක් ක්‍ෂණිකව ඉදි කිරීමට  කටයුතු කළේය. කඳු සහිත බිමක් වූ මහනුවර ඊට සුදුසු නොවීය.
මාවතගම, මාරලන්ද, කලහේන්ගොඩ අක්කර 300 පමණ විශාල තැනිතලා සහිත භූමිය ඊට ඉතාම සුදුසු වූ බැවින් ක්ෂණිකව එහි ගුවන් තොටුපොළක් ඉදි කිරීමට පියවර ගනු ලැබිණි.
ඒ වන විට එම ප‍්‍රදේශය වගා කළ කුඹුරු සහිත ගේදොර ඉදි කරනු ලැබූ ජනාකීර්ණ ස්ථානයකි. වහා කි‍්‍රයාත්මක වන පරිදි පැය 48ක් තුළ එහි පදිංචිව සිටි ජනතාවට ඉවත් වීමේ නියෝගයක් නිකුත් කරනු ලැබූ අතර ඒ වෙනුවට අවට ප‍්‍රදේශවල තාවකාලිකව නිවාස ඉදි කරදීමට පියවර ගත්තේය.
ක්‍ෂණිකව ඉදි කළ නිවාසවල වහලයට තාර පැදුරු එළන ලද බවත් ලීවලින් රාමු සාදා මැද ගෝනි පඩංගු ගසා ඒ තාවකාලික නිවාස ඉදි කරනු ලැබූ බවත් කියති.
පොතුබෝව, තලහේන්ගොඩ එම නිවාස එදා ඉදි කරනු ලැබිණි. එදා කුඹුරු හා ඉඩකඩම් අහිමිවූ අයට මාවතගම අවට පදිංචි වීමට ද කටයුතු කර තිබිණි.
ගුවන් තොටුපළ සැකසීමට අවශ්‍ය කටයුතු ක්‍ෂණිකවම සිදු වෙද්දී කුඹුරු පිරවීම සඳහා මාවතගම නගරය අවට  කඳු කපා බොරලූ ගෙන ගියේය. ප‍්‍රදේශයේ ජනතාව මෙම ගුවන් තොටුපොළ සැකසීමේ දී කුලීකරුවන් ලෙස ද කටයුතු කර තිබිණි. ඒ සඳහා ඔවුන්ට වැටුප් ගෙවනු ලැබීය.
බොරළුවලින් කුඹුරු යායවල් පුරවා තැනිතලා මට්ටමට පත් කර ඒ මතුපිට ගණ තාර පැදුරු එලා සකස් කළේය. තැනිතලා ගුවන් තොටුපොළෙහි ජලය බැස යාමට අවශ්‍ය පරිදි ඇතුළට යකඩ තහඩුවලින් නිම කරන ලද සැතපුම් කාලක් පමණ දික් වුවත් අඩි 7ක් පමණ උසින් යුතු බෝක්කු යොදා තිබූ බවට ද සාධක ඇත.
සැතපුම් කාලක් තරම් දික්වූ ගුහා තුනකින් යුතු  ඕනෑම පුද්ගලයකුට කිසිදු අපහසුවකින් තොරව හිටගෙන ගමන් කළ හැකි මෙම බෝක්කු තුළ අඟලක් තරම් ඝණ යකඩ තහඩුවලින් ඇතුළට ආවරණය සකස් කර තිබෙනු දක්නට ලැබේ. සිමෙන්තිවලින් සකසා ඇති මෙම බෝක්කු අද ද ගොවි ජනතාව විසින් හරක් දක්කාගෙන යාම සඳහා යොදා ගන්නා බව පැවසේ. තැනින් තැන පස් කණ්ඩි  කඩා වැටී මග අවහිර වී ඇත. උස පොල් ගසක් තරම් උස්වූ ගඩොලින් ඉදි කරනු ලැබූ ගුවන් තොටුපොළේ සිග්නල් ලයිට් කණු මෑත යුගය දක්වා දක්නට තිබූ බව ද මෑත කාලයේ නිවාස ඉදි කිරීම් සඳහා එම ගඩොල් ගලවාගෙන ගොස් තිබෙන බව ද පැවසේ.
මේ ගුවන් තොටෙහි අහස් යානා බැස්සවීම සිදු කරනු ලැබුවේ වසර දෙකක් තරම්වූ සුළු කාලයකි.
මේ ගුවන් තොටුපළ ලෝක යුද්ධය අවසන්වී යාමත් සමග අවට ජනයා විසින් මෙහි තාර පැදුරු, කම්බි, ගඩොල් ආදිය ගලවාගෙන යනු ලැබිණි.
1954 දී ඉන්ධන හිඟවූ ගුවන් යානාවක් හදිසියේ මෙම ස්ථානයට බැස්සවූ බවක් ද කියවේ.
මේ ගුවන් තොටුපොළ අවට වතුර බැස යාමට සාදා තිබූ බෝක්කු යකඩ කමිබි රහිතව සිමෙන්තිවලින් සකස් කර තිබුණි. 1940 දී පමණ මාවතගම මුලින්ම මේ සිමෙන්ති වැඩ ආරම්භ කළේ මේ ගුවන් තොටුපොළ බෝක්කු ඉදි කිරීමටය. ඊට පෙර නිවාස බොහොමයක් ඉදි කර තිබුණේ හුණු බදාම මිශ‍්‍ර මැටියෙනි.” විශ‍්‍රාමික විදුහල්පති සනී ඔස්ටින් මහතා පැවසීය.
අතීතයේ පැවැති මාවතගම ගුවන් තොටුපොළ පිළිබඳ අහස් යානා පිටිය ප‍්‍රදේශයේ පදිංචි ඩිංගිරි නයිදේ මහතා (94) මෙසේ අදහස් දැක්වීය.
1940 ලෝක යුද්ධය කාලේ මං අවුරුදු 20ක තරුණයෙක්. මම පදිංචි වෙලා හිටියේ තලහේන්ගොඩ. ගුවන් තොටුපොළ හදන්න ගඩොල් ඇද්දා. කුලියට වැඩ කළා. එක දවසක් ගඩොල් පටවපු ලොරිය පෙරළුණා. මට ඒකේ වැඩ එපා උණා. එදා මේ ගුවන් තොටුපළට දවසකට අහස් යානා දෙකතුනක්  බැස්සුවා. සමහර දවස්වලට එන්නෙම නෑ. තාර පැදුරු එලා තිබුණා. ඒ දවස්වල කාපිරියෝ ට‍්‍රක්වල නැගලා එහාට මෙහාට ගියා. ගුවන් තොටුපොළට ටිකක් ඈතින් සුද්දන්ට බංගලා තිබුණා. සුදු මහත්තුරු පදිංචි වෙලා හිටිය බංගලාවක් තමා දැනට පොතුබෝව ඉස්කෝලෙ හරිය.
"මම ඒ කාලෙ වඩු වැඩ කම්මල් වැඩ කරල ජීවත් උණා. මට දරුවො 10ක් සිටියා,” යයි ද ඩිංගිරි නයිදේ මහතා පැවසීය.
දැනට අහස් යානා පිටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටින බී. ජයවර්ධන (82) මහතා මෙසේ අදහස් දැක්වීය.
ඔය ගුවන් තොට හදන කොට මට වයස අවුරුදු 12යි. ඔය තැන තියන විශාල ගුහා තුනට අපි කීවේ මහා මින්ටේරි බෝක්කු කියලා. මගේ මහ ගේ තිබුණේ මීතැන්වල කියන ගමේ. මගේ තාත්තා, සීයා මේ ගුවන් තොටේ කුලියට වැඩ කළා. ඒ දවස්වල ගුවන් යානා හැමදාම ආවා මේ ගුවන් තොටුපොළට. මේ එන ගුවන් යානාවලට පේන්න බැලූම් උඩ යවලා ඒ බැලූම්වලට විදුලි ලාම්පුවක් ඇල්ලූවා. නූලෙන් උඩ යවපු බැලූම් අහසේ බල්බ් වගේ දිලිසුනා.
හතරැස් කොටුවට උසට ගඩොලින් බැඳපු ලයිට් කණු තිබුණා. බිම ඉඳලා ස්විච් දැම්මාම කණුව උඩ බල්බ් දැල්වුණා.
පිට්ටනිය වටේත් ඇතුළත් තාර පැදුරු එදා තිබුණා. උස වැඩි තැන් හැමදාම රහිනවා. ආය සමතලා කරනවා. මේකට පිරිසක් හිටියා කුලියට දමලා. මේ ප‍්‍රදේශය වටේම විදුලිය කම්බි ඇදලා තිබුනේ පොළව යටින්. ඒ කම්බි තඹ. ඒවාගේ ආරක්‍ෂාවට ඊයම් කම්බි තිබුණා. මිනිස්සු මේ තඹ කම්බි ගලවලා කඩවලට විකුණුවා. යුද්ධය අවසන් වෙන කාලේ මිනිස්සු වගාවට මේ භූමි යොදා ගත්තා දුම්කොළ, බටු, එළවළු ආදිය සඳහා.
"මට මතකයි ඒ කාලෙ අපිට කන්ඩ තිරිඟු බෙදුවා. හාල් බෙදලා දුන්නා. ගෙවල් කඩා ඉවත් කළ අයට සල්ලිත් දුන්නා වන්දියට.”
අහස් යානා පිටියේ ආර්. බේබි නෝනා (75) මහත්මිය කීවේ, අපි පුංචියි ඒ කාලේ. ගුවන් යානා ආවාම අපි ඈත ඉඳලා බලාගෙන ඉන්නවා ළඟට යන්න දුන්නෙ නෑ,” කියාය.
මිල්ටේරි කාලෙ වලලපු තාර පැදුරු රෝලක් අපේ වත්ත කෙළවරෙත් තිබුණා. ඒ කාලේ අපි ඒ පැදුරු රෝල උඩ වාඩි වෙලා හිටයා මට මතකයි. පස්සේ කාලේ අහස් යානා පිටිය තිබුණ තාර පැදුරු ගලවලා ගෙවල්වලට එළා ගත්තා,” විනීතා මාලනී මහත්මිය කියයි.
විස්තර ඡායාරූප -- මාවතගම කාන්චනමාලා බණ්ඩාර

එදා ගුවන් තොටුපොළ අද තැනිතලා කුඹුරු යායක්


ගුවන් තොටුපොළ භූමියේ තිබෙන දැනට දිරා යමින් පවතින සැතපුම් 1 /4 පමණ දිග අඩි 7ක් උසැති විශාල මිල්ටේරි බෝක්කු





Jan 21, 2013

පණ්ඩිතයා කුඹුර ළඟ නිල්ගරුඬ පාෂාණය


නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ වලපනේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පණ්ඩිතයාකුඹුරු යායට ඉහළින් බැලූ බැල්මට පෙනෙන කඳුයාය ආශි‍්‍රතව පිහිටි කොළපාට වර්ණයෙන් යුතු මහ ගල්තලාවකි. වනවදුලූ වලින් වැසුණු මේ කොළපාට වර්ණයෙන් යුතු මහ ගල්තලා අද වලපනේ ජනතාව හඳුන්වන්නේ ”නිල් ගරුඬ ගල” හෙවත් නිල් ගරුඬ පාෂාණය නමින්ය.

නුවරඑළිය දිස්ති‍්‍රක්කයට උරුම වලපනේ ජනතාවගේ අනන්‍යතාවට මෙම නිල් ගරුඬ ගල ගැන ඉඳ හිට කතාබහට ලක් වූවද ප‍්‍රශස්ථ මට්ටටමේ කතිකාවතකට භාජනය නොවීම නිසා වලපනේ ග‍්‍රාමීය ජනතාව අභිමානයෙන් නැඟී සිටින්නට තිබූ ඉඩකඩ ඇහිරී ගිය බවක් අසන්නට දකින්නට ලැබේ.
දකුණු ආසියාවේ මෙවැනි කොළපාට වර්ණයෙන් යුතු පාෂාණයක් ගැන තොරතුරු නැති තරම්ය. එබැවින් ඛනිජ සම්පතක් වූ වලපනේ රුපහ ගරුඬ ගල පිළිබඳව මේ දක්වා කළ පර්යේෂණයක් ගැන තොරතුරක් සොයා ගැනුමට නැත. එහෙත් මේ සොබාදහමේ අපූරු දායදායක් වූ රුපහ නිල් ගරුඬ ගල හෙට දවසේ දේශීය හා විදේශීය සංචාරකයින්ගේ සොඳුරු පාරිසරික දසුනක් විය යුතුය. ශීඝ‍්‍රයෙන් දියුණුවන ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අද දවසේ නව මංපෙත් සොයනු පෙනේ. ඒ අනුව ”රූ දෙස්” සංචාරයට මෙම රුපහ නිල් ගරුඬ ගල  කොතෙක් ආකර්ෂණීය ඉසව්වක් කර ගත හැකිද? යන්න විමසීම වටී.
සොබා දහමෙන් ලැබුණු ත්‍යාගයක් ලෙස සැලකිය හැකි මේ වලපනේ රුපහ නිල් ගරුඬ පාෂාණය අද වන විට කිසිවකුගේ අවදානයට ලක් නොවූ ස්ථානයක් වී හමාරය. මේ වටිනා ගල පිළිබඳව ගෙවුනු දශක කීපය තුළ සැබෑලෙස අවධානය යොමු කළ ආයතනයක් හෝ කෙනකු නැත. එසේ වූවානම් මෙම වටිනා පාෂාණය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනෙන අපේ මහ සම්පතක් වන්නට තිබුණි. එහෙත් මේ වටිනා සම්පත දින දින වන වඳුළු තුළ අසරණව සුසුම් හෙළනු පෙනේ.
නුවරඑලිය-උඩුපුස්සැල්ලාව මාර්ගයේ ඇමසිටි හන්දියෙන් නිල්දණ්ඩාහින්න මාර්ග ඔස්සේ ගිය විට කොටඹේ හන්දිය අපට හමුවේ. කොටඹේ ඓතිහාසික බෝධියට ඉදිරිපස ගුරු පාරක් වෙතින් මේ නිල් ගරුඬ ගලට පිවිසිය හැකිය.
මේ වටිනා ස්ථානය හඳුනාගැනීමට හැකි කුඩා ප‍්‍රමාණයේ ”නිල් ගරුඬ ගල”යනුවෙන් දැක්වෙන පුවරුවක් හෝ නොමැතිකම අපි මේ නිල් ගරුඬ ගලට ලබාදුන් වටිනාකමේ සලකුණකි. රුපහ කොටඹේ හන්දියේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ ගුරු පාරක් ඔස්සේ ගිය විට අපට මේ නිල් ගරුඬ ගල හමුවේ. මේ පිවිසුම් මාර්ගය වරින් වර තැන තැන පිළිසකර කර ඇතත් කිසිදු නඩත්තුවක් නොකිරීම නිසා රථවාහනයකින් ගරුඬ ගල වෙත යෑම ඉතා දුෂ්කරය. ගරුඬ ගල බැලීමට වන වදුලක් ඔස්සේ බැස යෑමට ගල් පඩි පෙළක් ඉදිකොට ඇත. මේ වටිනා නිල් ගරුඬ ගල බැලීමට මෑතක කිසිවකු ගිය බවක් දකින්නට නැති තරමට පඩිපෙළ කැලෑ කොළ වලින් වැසී ගොසිනි.
ඉතා අපහසුවෙන් පඩිපෙළ බැසගිය අපට ලා කොළ පාට ගල්තලාවක සිරි අසිරිය දැකගත හැකිවිය. ලා කොළපාට ගල මතින් ගරුඬ සිසිල ගෙන එමින් පණ්ඩිතයාකුඹුර බලා සිටින අයුරු හරි අපූරුය.
ගරුඬ ගල වෙත අප හා ගිය සගයින් නිල් ගරුඬ ගලේ අපූර්වත්වය දැක මන්මත් වූ බවක් පෙනුනි. ඔවුන් මේ අපූරු පාෂාණයේ වර්ණය මනසින් ස්පර්ශ කරමින් අතැඟිලිි ඔස්සේ ආශ්වාදයක් ලබාගන්නට විය.
අපි මේ ගරුඬ ගලේ ආගිය තොරතුරු ගැන විමසීමක් කළෙමු. ඒ සඳහා අප හා එකතු වූයේ නිල් ගරුඬ ගල ආසන්නයේ පදිංචි එච්.එම්. හේරත් මහතා (60)ය.
අපි තමයි ගරුඬ ගල ළඟම පදිංචිව සිටින්නේ. රුපහ මාර්ගයේ කොටඹේ හන්දියේ ඉඳලා කි.මී. 1-2ක් අතර දුරක් තිබෙනවා. මෙම මාර්ගයෙන් රාගලට යන්නත් පුළුවන්. දෙපැත්තෙන්ම ගරුඬ ගල බලන්න පුළුවන්. නමුත් ගරුඬ ගල ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ ගලේ වටිනාකම  ගැන හරි තොරතුරක් නැහැ. කිසිදු ආරක්‍ෂාවක් නැහැ. හැබැයි මට මතකයි මෙම ගල කැඞීම තහනම් කියලා තීරණයක් ගත්තා පසුගිය කාලේ. ඒත් අද එහෙම තහනම් කළ කථාවක් හෝ නැහැ. අඩුතරමින් ගරුඬ ගල ගැන බෝඞ් එකක්වත් නැහැ.
ඒත් මෙම නිල් ගරුඬ ගල ගැන ජනප‍්‍රවාදයේ බොහෝ දේ තිබෙනවා. අපේ වැඩිහිටියන්, ගම්වාසීන් අදත් ඒවා මතක් කරනවා. කියනවා.
මෙම ගරුඬ ගල ඈත අතීතයේ රාම - රාවණ යුගය දක්වා යනවා. රාවණා රජු සීතාදේවිය පැහැරගෙන විත් ආරක්‍ෂා සහිතව සඟවා තබා ගැනීමේ දී සීතාදේවියට ඇතිවූ බඬේ රුජාවක් සඳහා මෙම ගරුඬ පාෂාණ උරගා දී ඇතිබවත් එයින් ඇගේ අසනීපය සුව වූ බවත් කියනවා.
අදත් අපේ ගැමි ජනතාව බඬේ අජීර්ණයක් වැනි දෙයකට මෙම ගල් කෑල්ලක් උරච්චි කර දීමට පුරුදු වී තිබෙනවා. විශේෂයෙන්ම බොහෝ දෙනෙක් හමේ ඇතිවන විවිධ රෝගවලට මෙම ගරුඬ ගල් කැබැල්ලක් උරගා එම කුෂ්ඨ දද වල සලකුණු මත ගෑමෙන් ඒ රෝග සුවවන බව විශ්වාස කරනවා. විශේෂයෙන්ම විෂකුරු සර්පයින් දෂ්ඨ කළ විටද මෙය උපයෝගී කරගෙන වෙද හෙදකම් කළ බව අපි අසා තිබෙනවා.
ගරුඬ ගල මතින් ගලා යන ගරුඬ ඔයෙන් දියනෑම සෞඛ්‍යයට ඉතාමත් වටිනා කාර්යයක් බව රුපහ ගැමියන්ගේ මතයයි. රාම - රාවණා කථා පුවත ඍජු ලෙස සම්බන්ධකම් කියන වලපනේ ගරුඬ ගල ඉන්දියාවේ අතැම් හින්දු බැතිමතුන්ගේ පූජනීය ස්ථානයක් ලෙසද සැලකුම් ලබන ස්ථානයකි. රාම සීතා කථා පුවතේ තොරතුරු සොයන ඉන්දියානු සංචාරකයන්ද මේ පිළිබඳ විමසීම් කරනුයේ ඒ නිසාය. සීතා දේවිය ස්නානය කොට සැනසුණු ස්ථානයක් නිසා මෙම ගරුඬ ගල හා ගරුඬ ඔය පූජනීය ලෙස සැලකිලි ලබයි.
ගල් පතුරක් තවත් ගලකින් ජලය මුසුකොට ඉතා ඉක්මනින් කිරිපාටට දියරයක් ලෙස මතුවන අතර එම දියරය කිසියම් වූ තවත් ඖෂධ හා එක්කොට භාවිත කිරීම එදා සිට අද දක්වා පැවත එන බවක් පෙනෙන්නට තිබේ.
මේ ලා කොළ පැහැති වර්ණවත් ගල වර්ණ පහකින් පමණ විවිධ තැන්වලදී දැකගත හැකි බව ගැමියකුගේ තවත් මතයකි.
1988 දශකයේ දී බලවතුන් කීප දෙනකුගේ සහාය මත වයඹ පළාතේ එක්තරා හිමිනමක් මෙම ගරුඬ ගල කඩා විශාල ප‍්‍රමාණයේ ගල් කුට්ටි ලොරි හතරකින් පටවාගෙන ගිය කතාවක්ද රුපහ ප‍්‍රදේශයේ දී ඈත මෑත තොරතුරු දන්නා කීපදෛනක් අදහස් දක්වමින් කියා සිටින්නට වූහ.  ඒ හැර දක්‍ෂ නිර්මාණ ශිල්පීන් මෙම ගරුඬ ගලේ කොටස් භාවිත කරමින් විවිධ නිර්මාණ කර ඇති බව ප‍්‍රදේශයේ පවතින ප‍්‍රසිද්ධ රහසකි. කොළ පාටින් යුතු සබන් කැටයක ප‍්‍රමාණයට සැකසූ නිල් ගරුඬ ගලේ කැටයම් රුපහ නිවසකින් දෙකකින් අදද අපට දැකගත හැක.
ඓතිහාසික මහා තොරතුරු කන්දරාවක් රැගත් වලපනේ ආශි‍්‍රත සංචාරක ප‍්‍රවර්ධන කටයුත්තකට කාලය එළඹ ඇති බව සඳහන් කරන්නේ ඉතා වගකීමකින් යුතුවය. මේ සම්බන්ධව වලපනේ ප‍්‍රාදේශීය ලේකම් නන්දන ගලබඩ මහතා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙවැන්නකි.
ශ්‍රී ලංකාවේ උසින් තුන්වැනි කුරුඳු ඔය දියඇල්ල, මනරම් ඉසව්වක පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු ලිහිණියාගල රජමහා විහාරය, රුපහ නිල් ගරුඬ ගල, රන්දෙනිගල මහා ජලාශය ප‍්‍රධාන ආගමික ජාතික සංස්කෘතික හා ආර්ථික වශයෙන් වැදගත් වූ ස්ථාන සලකුණු කොට දේශීය හා විදේශීය සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා විධිමත් හා ක‍්‍රමවත් පිළිවෙතකට අප පිවිසය යුතු බවය. එයින් වලපනේ ගැමි ජනතාවගේ ජන ජීවිතය ඉතා ඉක්මණින් ඉහළ තලයකට ගෙන ඒමේ හැකියාවක් ඇතිබව ප‍්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
පොදුවේ ගත්කල හෙට දවසේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සංචාරක ව්‍යාපාරය හා බද්ධ වී ඇති බව කාගේත් විශ්වාසයයි. ඒ ඉලක්ක ජය ගැනීමට සංචාරක ව්‍යාපාරය විවිධ මංපෙත් තුළ ගමන් කළ යුතුව ඇත. නුවරඑළියේ සංචාරයට එන විදේශීය සංචාරකයන් දින දෙකක් පමණ රැඳී යළි ආපසු යෑම නිරන්තරයෙන්ම දැකගත හැකි කරුණකි. එසේ යන එන සංචාරකයන් අප මේ සඳහන් කරන රුපහ ගරුඬ ගල ආශි‍්‍රත රූ දෙස් සංචාරයකට යොමු කරන්නේ නම් එයින් මහත් වාසි අත්වනු නියතය.
රුපහ නිල් ගරුඬ ගල මත හිරුඑළිය පතිත වීමෙන් මතුවන කිරණවල ශක්තිය හෙට දවසේ ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තියට මහත් ආලෝකයක් ගෙන දෙනු ඇතැයි අපි විශ්වාස කරමු.
සටහන හා ඡායාරූප - නුවරඑළියේ ෂෙල්ටන් හෙට්ටිආරච්චි

නිල්ගරුඬ ගල නැරඹීමට පැමිණි පිරිස් එහි ආකර්ශනීය බව විඳිමින්

ගරුඬගල අසල සිට රූපන පෙදෙස පෙනෙන අයුරු

ගරුඬගල මතින් ගලාබසින ගරුඬ ඔය

ගරුඬගල කැඞීමට බෝර වළවල් ගසා ඇති අයුරු

එච්. එම්. හේරත්


Jan 20, 2013

‘නෝ ලිමිට්’ ජාතියෙන් සමාව ගනී



‘නෝ ලිමිට්’ ජාතියෙන් සමාව ගනීශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ රෙදිපිලි වෙළඳ සැල් ජාලයක් වන නෝ ලිමිට් ආයතනය මහරගමදී මුළු මහත් ජාතියෙන් සමාව ඉල්ලා තිබේ. ඊට හේතු වී ඇත්තේ සිංහල රාවය ජාතික සංවාධානයේ ජාතික සංවිධායක හිමියන්ට එරෙහිව ඔවුන් උසාවියේ පවරන ලද නඩුවක් ඔප්පු කර ගැනීමට නොහැකිව සමථයකට පත් වීමයි.

අන්තර්ජාල සමාජ ජාලා සහ විවිධ මාධ්‍යයන් ඔස්සේ නෝ ලිමිටි සමූහයට එරෙහිව ගෙන යන විරෝධතා රැල්ල හේතුවෙන් සිය සමාගමට මාසිකව රුපියල් ලක්‍ෂ 53ක් පාඩු සිදුවන බවත් ඒ සියල්ල මෙහෙයවන්නේ සිංහල රාවය ජාතික සංවිධානය බවත් පවසමින් පසුගිය දා එම සංවිංධානය විසින් නඩු පවරා තිබුනේ සිංහල රාවය ජාතික සංවිධානයෙන් එම මුදල් අයකර දෙන ලෙස ඉල්ලමිනි.
කෙසේ වෙතත් උසාවියේදී දෙපාර්ශ්වය විසින් නඩුව සමථයකට පත් කරගෙන ඇති අතර පසුව සිංහල රාවය ජාතික සංවිධානය චෝදනා කර තිබුනේ සංඝ සමාජයට අපහාස කිරීමේ වරදට නෝ ලිමිට් ආයතනය ජාතියෙන් සමාව ගත යුතු බවයි.

එම ඉල්ලීම මෙතෙක් ඉටු නොවීම හේතුවෙන් ඊයේ පස්වරුවේ මහරගම නෝ ලිමිට් වෙළඳ සැල ඉදිරිපිටදී සිංහල රාවය ජාතික සංවිධානයේ විශාල පිරිසක් විසින් විරෝධතාවයක් පැවැත් වූ අතර එතැනට පැමිණි නෝ ලිමිට් සහකාර කළමණාකාරවරයා සමස්ථ සංඝ රත්නයෙන් සහ මුළු මහත් ජාතියෙන් සමාව ඉල්ලා සිටියේය.
අවසානයේ විරෝධතාකරුවන් සවුදි ආරාබියේ මරණ දඩුවම් නියම කර ඇති තුංගසිරි වෙනුවෙන්ද සවුදි රජයට විරෝධය පාමින් අබ්දුල්ලා රජුගේ පිළිරුවක්ද ගිණිබත් කලහ.
nlm-01nlm-02nlm-03nlm-04
43,845 Viewers

බකිංහැම් මාලිගය


එංගලන්තයේ බකිංහැම් මාලිගය 1837 සිට බි‍්‍රතාන්‍ය රජපවුලේ නිල නිවස විය. රාජකීයයන්ගේ පරිපාලන මූලස්ථානයද එම මන්දිරයයි. මහජනයාටද රජගෙදර විවෘතය. එහි කාමර 775 කි. රාජකීය හා ආගන්තුකයනටද එහි නිදන කාමර 52 කි. කාර්ය මණ්ඩල නිදන කාමර 188 කි. කාර්යාල 92 කි. නාන කාමර 78 කි. මාලිගය මීටර් 108 ක් දිගය. මීටර් 120 ක් පළලය. මීටර් 24 ක් උසය. දෙවැනි එළිසබෙත් රැුජිනගේ හා එඩින්බරෝ ආදිපාදවරයාගේ කාර්ය  මණ්ඩලය එහි ක‍්‍රියාත්මක වෙයි. රාජකීය උත්සව, විදේශ රාජ්‍ය නායකයන් පිළිගැනීම්, තානාපති අත්තපත‍්‍ර බාරදීම ආදිය මෙන්ම රාජකීය උත්සව භෝජන සංග‍්‍රහ ආදිය එහි පැවැත්වේ.

එහි ලී බඩු ඇතුළු භාණ්ඩ මිල කළ නොහැකි නිර්මාණයෝය. කලාභවනක් හෝ කටුගෙයක් මෙන් එහි භාණ්ඩ ඇත. වසරකට පනස් දහසක් පමණ බකිංහැම් මාලිගයට එති.