Feb 27, 2013

අතීතයෙන් ඇසෙන අරුමැසි කතා


12-1බියවද්දන පැල්පත්
අප්‍රිකාවේ “ මුකුලීන්” ප්‍රදේශයේ ගෝත්‍රිකයන්ගේ පැල්පත් තනනු ලබන්නේ විලාප නගන වාමනයකුගේ රුව එහි බාහිර ස්වරූපයෙන් නිරූපණය වන ආකාරයටය. මේ ආකාරයේ බියකරු ස්වරූපයකින් යුතුව සිය නිවෙස් ඉදිකිරීම මගින් සතුන් හා සොරුන්ගෙන් එල්ල විය හැකි උපද්‍රව වලට එරෙහිව ආරක්ෂාව සැලසෙන බවට වන විශ්වාසයක් ඔවුන් අතර පැවැතීම මීට හේතුවයි.

දේවගැතිවරයාගේ දියණිය
මෙයින් නුවර හැලෝවෙල් හි විසු දේවගැතිවරයකුගේ දියණියක වූ ‘ ලුයිසා බෙල්ඩන්’ හට ඕනෑම යාච්ඤාවක් ඉතා නිවැරදිව මතකයෙන් කීම සඳහා  එය එක්වරක් පමණක් ශ්‍රවණය කිරීම ප්‍රමාණවත් විය.

නත්තලට පෙර දින සැඳෑවේ සිදු වූ  නව ලෝකයේ බිහිවීම
නව රටවල් සොයා දේශ පර්යාටනයේ නියැළුණු දේශ ගවේෂක “ ක්‍රිස්ටෝපර්” කොලොම්බස් ඇතුළු නාවිකයන් පිරිස රැගත් ‘ සැන්ටා මරියා’ නෞකාව හයිටි රාජ්‍යයට ඔබ්බේදී අනතුරට ලක්වූයේ ක්‍රි.ව. 1492 දෙසැම්බර් මාසයේ 24 දාය. එල්ල විය හැකි සතුරු උපද්‍රවවලින් ආරක්ෂාව සලසා ගැනීම සඳහා නාවිකයන් පිරිස කඩිනමින් බලකොටුවක් ඉදිකිරීමට පටන් ගත් අතර, එය ඇමරිකාවේ පිහිටු වූ පළමු ස්ථීර ජනාවාසය බැව් කියැවේ.

ලාංඡනයකට ඇතුළු වූ ඇටසැකිල්ල
උතුරු අයර්ලන්තයේ  ‘ ලන්ඩන්ඩරි’ වසමෙට අයත් ලාංඡනයේ දැක්වෙන ඇටසැකිල්ල මියගිය රදළයකුගේ මතකය වෙනුවෙන් ඊට ඇතුළු කරන ලද්දකි. කාලයක්   පුරා සිය ඥාතියකු විසින් සිරගත කරනු ලැබ, කුසගින්නේ හිඳ මිය  ගිය ‘වොල්ටාර් ඩී බර්ග්’ ගේ  සිරුර නෝර්ත් බර්ග් බලකොටුවෙන් සොයා ගන්නා කළ එය ඇටසැකිල්ලක් බවට පත්ව තිබිණි. සිය ඥාතියාගේ කුරිරු වද හිංසාවනට ලක් වී දුඃඛිත මරණයක් උරුම කර ගනු ලැබු වංශාධිපතියාගේ මතකය වෙනුවෙන් ඔහුගේ ඇටසැකිල්ල ඔහුගේ  වසමේ ලාංඡනයට ඇතුළු කරනු ලැබිණ.

සොරකමට එරෙහිව පළිගත් පාලම
ග්‍රීසියේ ක්ලිඩ් නුවර වූ  “ලුඩියාස්’ ගංගාව මතින් පිහිටි පාලමේ අද වන විට ඉතිරිව ඇත්තේ ආරුක්කුවක් පමණි. අඩි පනස් නවයක් දිගැති අඩි විසි තුනක් උසැති මෙම පාලම ආදි රෝමානුවන් විසින් ඉදිකරන ලද්දක් වන අතර, පසුකලකදී එය හුදෙක් ආරුක්කුවක් පමණක් බවට පත් වූයේ, එහි වූ සෙසු ගල් සියල්ලම සොරකමට ලක්වීම නිසාවෙනි.

ජූලියස් සීසර්ගේ ප්‍රීතිය 
ජූලියස් සීසර් අධිරාජ්‍යයා රෝමයේ ‍පොම්පෙයි නුවර දිනා ගැනීමේ ප්‍රීතිය සමරනු වස් පවත්වන ලද භෝජන සංග්‍රහයක් සඳහා අමුත්තන් එක් ලක්ෂ පනස් දහසක් ආරාධනා ලැබූ අතර ඔවුන්ට අසුන් ගැනීම සඳහා මේස විසිදෙදහසක් සකස් කොට තිබිණ. සිය ජයග්‍රහණයේ ප්‍රීතිය රටවැසි සියල්ලන්ටම පන්ති භේදයකින් තොරව ලබාදීම කෙරෙහි උත්සුක වූ නරේන්ද්‍රයා විසින් සිය අධිරාජ්‍යයේ වෙසෙන සියලුම දිළිඳු පවුල් වසරක කාලයකට සියලුම බදුවලින් නිදහස් කිරීමට තරම් කාරුණික විය.

කැරැල්ලකට තිත තැබූ මළ සිරුර
ප්‍රංශයේ තුන්වන හෙන්රි රජුට එරෙහිව කැරලි ගැසු වූලෝස් නුවර වැසියන් පාර්ලිමේන්තු කථානායකවරයා වු “ ෂෝන් ඩුරන්ට්” මරා දමන ලද්දේද එහි ප්‍රතිඵලයක් ලෙසිනි. සිය රජු කෙරෙහි දැඩි පක්ෂපාතිත්වයෙන් විසු  කථානායකවරයා ඝාතනය කොට ඉන් නොනැවතුණු කැරැලිකරුවන් තවදුරටත් ඔහුට අවමන් කරනු පිණිස ඔහු දැඩි ස්නේහයෙන් පසු වූ රජුගේ  රුව දැක්වෙන සිතුවමක් ඉදිරියේ මළ සිරුර සිටුවන ලදී. සිදුවූයේ නොසිතුවකි.
සෘජුව පිහිටුවා තුබු මළ සිරුර කිසිදු බාහිර බලපෑමකින් තොරව ලිස්සා ගොස්  සිතුවම ඉදිරියේ දණ ගසා සිටින ඉරියව්වකට පත් වූයේ කැරලිකරුවන් විස්මයෙන් මෙන්ම බියෙන්  මුසපත් කරමිනි. මළ සිරුරක් විසින් සිදු කළ එකී වික්‍රමයේ බලපෑම කොතරම් ප්‍රබල වීද කියතොත් කැරැල්ල එතැනම ලොප් කිරීමට එය සමත් වූ බව කියැවේ.

අඳුරට බියෙන් ආලෝකය නිපදවූවෙක්
රාත්‍රී අඳුර පලවා හරින විදුලි බල්බයේ නිර්මාතෘවරයා වන ‘ තෝමස් අල්වා එඩිසන්’ ස්වභාවයෙන්ම අඳුරට බියක් දැක්වූවෙකි. මූලික වශයෙන් සිය භීතිය ජය ගැනීමේ අරමුණින් විදුලි බල්බය ඔහු විසින් නිපදවන්නට ඇතැයි සිතිය හැක.
12-2
රුක්ලන්ති පෙරේරා (Ripley’s Believe It or Not ඇසුරිනි) 

Feb 26, 2013

යටිකුරු වූ වික්ටෝරියා රැජිනි රුවට ඉහළ ඉල්ලුමක්


2-1වසර එකසිය පනස්නවයක් පැරණි වික්ටෝරියා රැජිනගේ රුව රැගත් මුද්දරයක් පසුගියදා බ්‍රිතාන්‍ය පවුම්හැත්තෑ දහසක් වැනි ඉහළ මිලකට අලෙවි වූයේ එහි පැරණි බාවයටද වඩා ඉන් නිරූපණය කෙරෙන වික්ටෝරියා රැජිනගේ රුවෙහි අසාමාන්‍ය පිහිටීම නිසයි. මුද්දර එකතු කරන්නන්ගේ ලෝකය තුළදී වැඩිම ඉල්ලුමක් ඇති මෙම සුවිශේෂී මුද්දරයට එතරම් රසික  ආකර්ෂණයක් හිමිව ඇත්තේ, 1854 දී එය කොල්කොතා නුවර පිහිටි කාර්යාලයකදී මුද්‍රණය කිරීමේදී සිදු වූ  අත්වැරැද්දක් හේතුවෙනි.

එකක් ඇනා  හතරක වටිනාකමකින් යුතු වූ මෙකී මුද්දරයේ දැක්වෙන වික්ටෝරියා රැජිනගේ උඩුකය රුව යටිකුරු ලෙස මුද්‍රණය කර ඇති මුද්දර දුසිමක් පමණ එහි පළමු මුද්‍රණයෙන් පසුව, ඉන්දියානු ජනතාව අතර අලෙවි කෙරී ඇත්තේ සිදු වූ මුද්‍රණ දෝෂය කාගේ කාගේත් අවධානයෙන් ගිලිහී යාම නිසයි.

දැනට මෙම මුද්‍රණ දෝෂය සහිත මුද්දර, ලොවට ඉතිරිව ඇත්තේ  20ක් 30ක් අතර සංඛ්‍යාවක් පමණක් වන අතර, පසුගියදා පවුම් හැත්තෑ දහසක ලංසුවක් යටතේ අලෙවි වූ මුද්දරය එකී ගොන්නේ වූ කිසිදු ආකරයක  කැළැල් හෝ සලකුණුවලින් තොරවූවක් වීම නිසා එහි වටිනාකම ඉතා ඉහළය.
2-2
“Spink of  London”  වෙන්දේසි කරුවන්ගේ ආයතනය විසින් වෙන්දේසියේ විකිණීමට පෙර ප්‍රකට ඇමරිකානු මුද්දර එකතු කරන්නෙකු වූ ‘ රොබට් කැත්ලින්’ සන්තකයේ පැවැති මෙම මුද්දරය බඳු උඩු - යටිකුරු රූප සහිත මුද්දරවලට ඉතා ඉහළ ඉල්ලුමක් ඇති බව මුද්දර විශේෂඥයන්ගේ අදහසයි. බ්‍රිතාන්‍ය යටත් විජිතයේ රත්නාකරයක් බඳු වූ ඉන්දියාව තුළ පරිහරණය කෙරුණු මුද්දර සඳහා  ක්‍රි.ව. 1901 දී වික්ටෝරියා රැජිනගේ අභාවය සිදුවන තෙක් ඇගේ උඩුකය රුව භාවිත කෙරී ඇත.

උඩු යටිකුරු මහරැජින රුව දැක්වෙන ඇනා හතරේ මෙම මුද්දරය බහුවිධ වර්ණ සංකලනයකින් යුතුව මුද්‍රණය කෙරුණු  ලොව ප්‍රථම මුද්දර කීපය අතරටද  ගැනෙන්නකි. රතු පැහැ රාමුවකින් යුතු එහි මැද දැක්වෙන රැජින රුව මුද්‍රණය කර ඇත්තේ නිල් පැහැයෙනි.

ප්‍රියන්ති රුද්‍රිගු 

Feb 25, 2013

යකැදුරන් භාවිත කළ ඓතිහාසික මන්ත්‍ර ගල් එකතුවක් ඉපැරණි යකැදුරන් භාවිත කළ ඓතිහාසික මන්ත්‍ර ගල් එකතුවක්


වසර පනස් දහසකට ආසන්න කාලයක් මිනිස් දෑසින් සඟවා තබන ලද පුරාණ යකැදුරන් විසින් භාවිතා කළ ඉපැරණි මන්ත්‍ර ගල් එකතුවක් පැනමාවේ සමුද්‍ර සන්ධිය අසළ පිහිටි ලෙනක් තුළින් පසුගියදා හමුවන ලද්දේ පුරාවිද්‍යා කැණීම්වල ප්‍රතිඵලයක් ලෙසයි.
“කැසිටා ඩී.පියෙඩ්‍රා” නමැති ලෙනකින් සොයාගත් පාෂාණ කැබලි දොළසකින් පමණ වූ මෙම මන්ත්‍රගල් එකතුව මධ්‍යම ඇමෙරිකාවේ පිහිටි එකී ප්‍රදේශයෙන් හමුවූ පුරාණ යකැදුරන්ගේ මන්ත්‍ර සම්ප්‍රදායන් හෙළිකරන ප්‍රථම භෞතික සාක්ෂිය ලෙස සැලකේ. පුරාවිද්‍යා ගවේෂණය සිදුකරන ලද පැනමාවේ නිවර්තන ගවේෂණ ආයතනය විසින් සිදුකළ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස ලොව හමුවේ පෙනී සිටීමට වරම් ලද මෙම කෞතුක වස්තූන් සම්බන්ධයෙන් සිදුකරන ලද කාබන් දින නිර්ණය කිරීමේ       පරීක්ෂණයන්ගෙන් පෙනී ගොස් ඇත්තේ මේවා වසර හාරදහස් අටසියයක් තරම් ඈත අතීතයකට හිමිකම් කියන්නක් බවයි. 

1970 වකවානුවේ පටන් “පැනමා සමුද්‍ර සන්ධිය අසල පිහිටි “කැසිටා ඩී.පියෙට්‍රා” ලෙන හා ඒ ආශ්‍රිත ප්‍රදේශය පුරාවිද්‍යාත්මක කැණීම්වලට ලක්ව තිබුණද මෙම මන්ත්‍ර ගල් එකතුව සොයා ගැනීමට ලැබි ඇත්තේ “රූත් ඩිකවු” නමැති පුරාවිද්‍යාඥවරිය මෑත කාලීනව පළ කළ අදහසක් සැලකිල්ලට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඇයගේ විශ්වාසය වී ඇත්තේ මෙම ලෙන් පුරාණ මුතුන් මිත්තන් විසින් වසර නවදහසකට ආසන්න කාලයක් භාවිතා කරන ලද්දේ ඉවුම් පිහුම් කටයුතු හා ආයුධ තැනීමේ කර්තව්‍යයන් සඳහා බවයි. ලෙන තුළ තිබි සොයා ගන්නා ලද මෙම ගල් කැබලි දොළසම එකට වෙළී තනි සංයුක්තයක් ලෙස පැවතී ඇත්තේ මීට සහස්‍ර කිහිපයකට පෙරදී යකැදුරකු හෝ වෙදෙකු විසින් මෙකී ගල් එකට අසුරා තිබූ බව කියා පාමිනි.09-2
“රූත් ඩිකාවුගේ” මෙහෙයවීමෙන් සිදු කරන ලද කැණීමකදී අහඹු ලෙස මතුවූ මෙම පාෂාණ එකතුව අතර පාරදෘෂ්‍ය තිරිවානා (ක්වාට්ස්) යපස් පාෂාණ හා චුම්භක ලක්ෂණ පෙන්නුම් කරන ගල් කැබලිද හමු වී තිබේ. අදටද කොස්ටාරිකාවේ යකැදුරන් විසින් මළගියවුන් හා සන්නිවේදනය කිරීමට හා රෝග  නිර්ණය කිරීම සඳහා භාවිතා කරන මෙම මන්ත්‍ර ගල්, පැනමාවේ රත්‍රං ඉල්ලම් බහුලව ඇති “මධ්‍යම කොර්ඩි‍ලේරා” ප්‍රදේශයෙන් මුල්වරට සම්භවය වන්නට ඇති බව සැලකේ.

Feb 24, 2013

ඉඳිකටු සිදුරෙන් රිංගන ඔටුවෝ


2-3
ඉදිබුවෙකුගෙන් පිහාටු ගන්නවාක් මෙන්ම ඉඳිකටු සිදුරෙන් ඔටුවෙකු රිංගා යෑම වැනිදෑ අප ව්‍යවහාරයට එක්වී ඇත්තේ කිරීමට කිසිසේත් නොහැකි සේ ඉතාමත් දුෂ්කර වූ කර්තව්‍යයක් උපමා කිරීම සඳහායි. ඔබ කිතුනුවෙක් නම් බයිබලයේ ශූභාරංචි ග්‍රන්ථයක හමුවන ධනවතකුට ස්වර්ග රාජ්‍යයට ඇතුළුවීමට වඩා ඔටුවකුට ඉඳිකටුවලින් රිංගායාම පහසු යැයි “ක්‍රිස්තුන් වහන්සේ වදාළ උපමා වැකිය අසා ඇතුවාට සැක නැත. එකී ප්‍රකාශය 2-1අභියෝගයට ලක්කිරීමට සිතූ රුසියානු ජාතික කලාකරුවකු ඉදිකටු සිදුරක් තුළ අන්වීක්ෂීය ප්‍රමාණයේ ඔටුවන් සත් දෙනෙකුගෙන් යුතු තවලමක් පමණක් නොව ඉඳිගස් තුනක්ද නිර්මාණය කිරීමට සමත්විය. සිඅට වසරක් පැරණිඅන්වීක්ෂයක්ද, මැලියම්, සිරින්ජර හා කුඩා ඉරටු කැබලි ආධාරයෙන් මෙබඳු අන්වීක්ෂීය ප්‍රමාණයේ නිර්මාණ සිදුකරනුයේ “නිකොලායි ඇල්ඩුනින්ය.” මොස්කව් නුවර සිය නිවසේ සිට නිර්මාණකරණයේ යෙදෙන ඇල්ඩුනින්ගේ කලාකෘති කෙතරම් සියුම් එමෙන්ම සංකීර්ණදැයි කිවහොත් පියවි ඇසට පැහැදිලිව දැකගත නොහැකි. එකී නිර්මාණ සතු සූක්ෂම විස්තරාත්මක ස්වභාවය තාත්වික අයුරින් නිර්මාණය කිරීම සඳහා සිය හදවත ගැහෙන රාවයට නොදවෛනි සංයමයකින් යුතුව ඔහු නිර්මාණකරණයේ යෙදෙන්නේය. ඒ සඳහා ඔහුට පෙළඹවීමක් ලැබි ඇත්තේ “ලෙවිෂා නමැති වමත හුරු කලාශිල්පියා පිළිබඳ රුසියාවෙන් වාර්තාවන ඓතිහාසික කතාවක් ඇසුරිණි.

මෙතරම් කුඩා වූද සංකීර්ණ වූද නිර්මාණයේ යෙදෙන කළ අසීමිත ලෙස බලා‍පොරොත්තු කඩවීමේ අවස්ථාවලට ඔහු මුහුණ දුන් වාරද අනන්තය. වරෙක සති දෙකක කාලයක් මුළුල්‍ලේ තමා නිර්මාණය කරමින් සිටි අන්වීක්ෂීය ප්‍රමාණයේතුවක්කුවක කුඩා කොටසක් නැතිවීම නිසාවෙන් ඔහුට මුළු නිර්මාණයම ඉවතලා යළිත් මුල සිට සියල්ල නිර්මාණ කිරීමට සිදුව තිබිණ. අසීමිත ලෙස 
2-2වෙහෙස වී වචනයට පෙරළිය නොහැකි කැපවීමකින් යුතුව සිදුකළ එවන් එක් නිර්මාණයකට එබඳු ශෝචනීය ඉරණමක් අත්වීම ඇල්ඩුනින් පමණක් නොව අන්කවර කලාකරුවකුට හෝ වුවද දරා ගැනීම ලෙහෙසි නොවේ. යළිත් සියල්ල මුල සිට අරඹමින් ඉච්ඡා භංගත්වයට පත්නොවී මීළඟ නිර්මාණයේ සාර්ථකත්වය කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් නිර්මාණකරණයේ නියැළීම වැදගත් බව ඇල්ඩුනින් තරයේ අදහන්නකි.
“ඔබගේ උත්සාහයන් අසාර්ථක වන්නා වූ කිසිම විටක ඔබ සිත් තැවුලට පත් නොවිය යුතුයි. මන්ද ඔබගේ ආත්මීය හා ෙචෙතසික සංවේදනාවන් එයාකාරයෙන්ම ඔබගේ දෑත් කරාත් එතැනින් ඔබගේ නිර්මාණය වෙතත් සම්ප්‍රේෂණය වන බැවිනි.

ප්‍රියන්ති රුද්‍රිගු