Mar 4, 2013

කලාවේ සක්විති රජු ඊසොප් උපමා කතා කලාවේ සක්විති රජු ඊසොප්


“එක් පැසුණු වෙල්යායක නියරෙහිවූ කූඩුවක කෙවිලියක් පැටවුන් දෙදෙනකු සමග ජීවත්වූවාය. තම පැටවුන් දෙදෙනාට නිසි ලෙස පියඹා යාමට හැකිවීමට පෙර කුඹුරු හිමියා පැමිණ ගොයම් කපා ගනිවීයැයි ඈ බියෙන් පසුවූවාය. “දරුවනේ මං නැති අතරේ කුඹුරට කවුරු හරි ආවොත් ඒ අය මොනවද කතා කරන්නෙ කියලා හොඳට සවන් දීලා ඒ හැම එකක්ම මට නොවරදවාම කියන්න ඕනෑ.”දිනපතාම කෙවිලිය කෑම සොයා යාමට පෙර පැටවුන් දෙදෙනාට උපදෙස් දුන්නාය. කෙවිලි මව කෑම සොයා ගිය එක් උදෑසනක කුඹුරු හිමියා තම පුතු සමග කුඹුරට එනු පැටවු දුටහ. ඔහු කියන්නේ මොනවා දැයි පැටවු හොඳට සවන්දීගෙන සිටියහ.“ගොයම් ටික දැන් හොඳටම පැහිලා. හෙට උදේම ගොයම් කපන්න උදවුවට එන්න කියලා අහලපහළ අයට කියන්න ඕනෑ.”ගොවියාගේ හා පුතාගේ සංවාදය කෙවිලි පැටවු සිය මව පැමිණි විට ඇය සමග පැවැසූහ.

“අනේ අම්මේ ඒ මිනිස්සු හෙට ගොයම් කපන්න ආපුවම අපේ කූඩුව කඩල දමාවි. ඊට ඉස්සර වෙලා අපි කොහාට හරි අරන් යන්න” දරුවෙක් මවගෙන් ඉල්ලා සිටියහ.
“ගොවියා අසල්වාසි අයගේ උදවු බලා‍පොරොත්තු වෙනවා නම් හෙට කොහොමවත් ගොයම් නොකැපෙන වග මට විශ්වාසයි. පුතාලා බය නැතුව ඉන්න” කෙවිලිය දරුවන් අස්වසමින් පැවැසුවාය.
පසුදින උදෑසනම ගොවියා කුඹුරට පැමිණ ගොයම් කැපීමට අසල්වාසීන් පැමිණෙනතුරු බලා සිටියේය. ඉරමුදුන්ව ගියද කිසිවෙකුත් පැමිණියේ නැත.
“පෙනේද අපේ අහලපහළ උදවියගේ හැටි. උන්ගෙන් කිසිම වැඩක් නැහැ. පුතා ගෙදර ගිහිල්ල මාමලටයි බාප්පලටයි කියන්න හෙට උදේ ගොයම් කපන්න එන්න කියලා. ඒගොල්ල නම් නොවරදවා එයි.”
ගොවියා පුතාට පැවසූ වදන් අසා සිටි පැටවු සවස මව පැමිණි පසු ඒ බව ඇය සමග කීහ. හෙට ගොයම් කපාවි යැයි ඔවුහු බියට පත්ව සිටියහ.

“උඹලා බය නැතුව හිටපල්ලා හෙටත් ගොයම් කැපෙන්න නැති බව මට විශ්වාසයි. ඒක එහෙමම තමා” මව දරුවන් අස්වසමින් පැවැසුවාය.
පසුදා ගොවියා පුතා සමග කුඹුරට පැමිණ නෑදෑයන් එනතුරු බලා සිටියද ඉර මුදුන්වෙන තුරු කිසිවකුත් පැමිණියේ නැත. කෝපයට පත් පියා පුතාට මෙසේ කියනු පැටවුන් අසාගෙනය.
“පුතේ අපේ දේ අපිම කරගන්න එක තමයි වැඩියෙන් හොඳ. දෑකැති දෙකකුත් අරගෙන හෙට උදේට කුඹුරට ඇවිත් අපි දෙන්නා ගොයම් කපන්න පටන් ගනිමු. නැතිනම් මේක කෙරන්නේ නැහැ.”
පැටවු මව පැමිණි පසු එම සිද්ධිය සැලකර සිටියහ.

“පැටවුණේ අපි මෙතැනින් ඉවත්විය යුතු හොඳම වෙලාව දැන් ඇවිත්. මිනිහෙක් තමන්ගේ වැඩ තමුන්ම කරගන්න ඉදිරිපත් වුණොත් ඒ දෙය ඒ විදියටම නොවරදවා කෙරෙනවා.”
එසේ පැවසූ කෙවිලිය එවෙ‍ලේම පැටවුන් රැගෙන වෙනත් සුදුසු ස්ථානයක් බලා පිටත් වූවාය. පසුදා උදෑසනම පුතා සමග කුඹුරට පැමිණි ගොවියා ගොයම් කැපීම ඇරඹුවේය.

මා මතෛක් දුරට පැවසුවේ ඊසොප්ගේ එක් උපමා කතාවකි. උපමා කතා කලාවේ නිර්මාතෘවරයා වන ඊසොප් පිළිබඳ අප කවුරුත් දැන සිටිය යුතුය.

කපුටා සහ කේජු කැබැල්ල, නරියා සහ මිදිවැල, බල්ලාගේ හඳට බිරිල්ල වැනි රසවත් උපමා කතාන්දර ඔබ කොතෙකුත් අසා ඇතිවාට සැකයක් නැත. එහෙත් එම කතා උපමා කතා කලාවේ සක්විති රජු ඊසොප්ගේ බව ඔබ නොදන්නවා ඇති. ඔහු ලියූ මෙවැනි කතා දහස් ගණනකි. ඒවා ලොව විවිධ භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇති අතර කෝටි සංඛ්‍යාත දරුවන්ගේ රසාස්වාදනයට භාජනය වී ඇත.
කිසියම් රසයක් ලබා දෙන අතරම යම් වැදගත් පාඩමක්ද කියා දෙන උපදේශාත්මක උපමා කතා විශ්ව සාහිත්‍යයට එක්කිරීමේ ගෞරවය හිමිවන්නේ ඊසොප්ටය. මෙවැනි උපමා කතා ඔක්ස්පර්ඩ් ශබ්දකෝෂයේ දක්වා ඇත්තේ ජ්ඒඕඹ්ජ් යනුවෙනි.
ඈත අතීතයේ මිනිසාගේ ජීවිතයේ සමීපතම කොටස්කරුවන් වූයේ වන සතුන්ය. සමහර සතුන් ඔහුට බොහෝ සමීපය. මිනිසා තුළ පැවැති නොයෙකුත් දුර්ගුණ, අඩුපාඩුකම් හා වැරදි සතුන්ගේ චරිත මගින් විකාශය කිරීමට ඊසොප් දක්වා ඇත්තේ අද්විතීය දක්ෂතාවකි.

10-2
ඊසොප්ගේ ප්‍රබන්ධ තරමට ඔහුගේ ජීවිතය රසවත් හෝ සැපවත් නැත. ඊසොප් ජීවත් වී ඇත්තේ ක්‍රි.පූර්ව 6 වන සියවසේ මැදභාගයේ පමණය. එනම් ක්‍රිස්තුස් වහන්සේ උපදීමටත් වසර 600කට පමණ පෙරදීය. එවකට මිසරයේ ඇමීසන් නම් පාරාවෝ රජු රජකර ඇත. ඉතිහාසඥයන් පවසන්නේ ඊසොප් ක්‍රි.පූ. 620දී උපත ලබා ක්‍රි.පූ. 500දී මියගොස් ඇති බවය. ඒ ස්වභාවික මරණයක් නොව ඝාතනයකි.

ඔහු යේමෝස් නමැති දිවයිනේ බන්තෝස් නමැති අයකුගේද අනතුරුව පෙරික්ටෙ‍පොලිස් නමැත්තාගේ පුත්‍ර ඉයැඩිමෙක් නම් ස්වාමියා යටතේද දීර්ඝ කාලයක් වහලෙකු ලෙස දුක්බර ජීවිතයක් ගතකර තිබේ. ඊසොප් කළු පැහැති විරූපී අයෙකු වුවද ඔහු තුළ තිබූ පුදුමාකාර බුද්ධි මහිමය නිසා සමාජ ගෞරවයට පාත්‍ර වී තිබේ. එකල සිටි වහලුන් අතර මොහු නායකත්වය ගෙන ක්‍රියාකාර ඇත. ක්‍රිසස් රජුගේ නියෝගයෙන් දූත මෙහෙවරක යෙදුණු හේ කොර්න්ත්හි පාලක පෙරියැන්ඩර්ගේ රජ ගෙදරදී පඩිවරුන් හත් කමිටුවක් සමග වාදකර ජයගෙන තිබේ. එහිදී ඔහුගේ බුද්ධිමත් භාවය ගැන පැහැදුණු ක්‍රිසස් රජු පසු කලක ඔහු අතේ ඩෙල්ප් නගරවාසීන් වෙත බෙදා දීම සඳහා රන් කාසි තොගයක්ද යවා තිබේ. ඩෙල්ප්වරුන් එම මුදල් ලබාගැනීම පිණිස එකිනෙකා පරයා අවිනීත ලෙස හැසිරීම ගැන කෝපවූ ඊසොප්ගේ ඒ අයට කාසි බෙදාදීමද ප්‍රතික්ෂේප කර ඇත. මෙයින් දැඩි ලෙස උරණවූ ඩෙල්ප්වරුන් අතින් ඊසොප් මරණයට පත්වූ බව වාර්තා වේ. එහෙත් ඩෙල්ප්වරුන් අතින් ඊසොප් ඝාතනය වූයේ ඔහු ඇපලෝ දෙවො‍ලේ තබා තිබූ රන් කුසලානයක් හොරාගැනීම නිසා යැයිද තවත් මතයක් වෙයි.

ඩෙල්ප්වරු ඇපලෝ දෙවියන්ට වන්දනා කිරීමට පුරුදුව සිටි අය වෙති. ඊසොප් මෙම ඇපලෝ දේව වන්දනාව පිළිබඳ උපහාසයට ලක්කර උපමා කතා කිහිපයක් ගොඩනැගුවේය. ඔහුගේ මරණයට එයද හේතුවන්නට ඇතැයි සිතිය හැක. ඊසොප්ගේ උපමා කතා අඩංගු පැරණිතම ග්‍රන්ථය ලෙස සැලකෙන්නේ ඔහු ජීවත්ව සිටි කාලයේම ලියූ ඩිමිට්‍රියන් ප්‍ලේරියන් නමැති ‍ලේඛකයා කළ ඊසෝපියා නමැති නිර්මාණය.
ග්‍රීක දාර්ශනිකයකුවූ සොක්‍රටීස් පවා ඊසොප්ගේ උපමා කතා පිළිබඳ මහ ඉහළින් වර්ණනා කළේය. මෙම නිර්මාණ තුළින් වඩාත් රසවත්ව සහ පහසු ලෙස ප්‍රශස්ත ආචාර ධර්ම ඉගැන්වීමට පුළුවන්වූ බව ඔහු පවසා තිබේ. සොක්‍රටීස් සිය ජීවිතයේ අවසාන භාගයේ හිරගෙදර සිටියදී ඊසොප්ගේ උපමා කතා පද්‍යයට නගා තිබේ.

ඊසොප්ගේ නිර්මාණවල ‍පොදු ලක්ෂණයක් වන්නේ පැවැසීමට ඇති බොහෝ දේවල් වචන කිහිපයකින් කෙටිකර දැක්වීමය. එසේම ඒ මගින් මිනිසාගේ දුර්ගුණවලට පහර ගැසීය. මේ කතා මතුපිටින් හාස්‍ය රසයෙන් පිරී සිද්ධි ලෙස පෙනුණද ඇතුළතින් ඒවා තුළින් දිවෙන සියුම් උපහාස රසය මුළු මනුෂ්‍ය සංහතියටම අනගි පාඩමක් දුන්නේය. විමර්ශකයන් පවසන්නේ ඊසොප් ඇස් රතු කර නොගෙන උපහාසය ව්‍යාංගයෙන් ඉදිරිපත් කළ එකම නිර්මාණකරුවා බවය.

පංචතන්ත්‍රය, හිතෝපදේශය වැනි භාරතීය සාහිත්‍යය ඔප කළ කෘතිවල ඇතැම් කතාවල දැක්වෙන ‍පොදු ලක්ෂණ ඊසොප්ගේ උපමා කතා තුළ ගැබ්ව තිබේ. මේ නිසා ඇතමුන් පවසන්නේ ඊසොප් භාරතයේ ප්‍රචලිත ජනප්‍රිය කතා ආභාෂයට ගෙන උපමා කතා ගොතා ඇති බවයි.

“දිනක් ඊසොප් ගින්දර ටිකක් ලබාගැනීමට නුදුරු නිවෙසකට ගියේය. ගින්දර රැගෙන යාමට වෙනත් ක්‍රමයක් නැති නිසා ඔහු දැල්වෙන පහනක් ගෙන ගියේය. ටික දුරක් යනවිට පාරේ යන්නෙක් ඔහු දැක මෙසේ විමැසිය. “මේ මහ දවල් පහනක් අරගෙන තමුසේ මොනවද හොයන්නේ?” පිළිතුර වූයේ “මම තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න කෙනෙකු සොයනවා” යනුවෙනි.

යසවර්ධන රුද්රිගු 

1 comments: