Sep 18, 2013

ප්‍රධාන දෙවිවරුන්ගේ දේව මණ්ඩලවල අපේ මියගිය ඥාතීනුත්

ප්‍රධාන දෙවිවරුන්ගේ දේව මණ්ඩලවල අපේ මියගිය ඥාතීනුත්

පෙරදිග බෞද්ධ සංකල්ප අනුව දෙවියන්. දේවතාවුන්, යක්ෂ, රාක්ෂ, මාර, බ්‍රහ්ම යන අමනුෂ්‍ය කොට්ඨාස තුළ එකිනෙකාට යම් පමණක ඥාතිත්වයක් සබඳතාවයක් ඇතැයි පිළිගැනීමක් පවතී. එහෙත් අපේ දේශීය ජන  විඥානයට අනුව දෙවියන් හා දේවතාවුන් අතර යම් වෙනසක් පවතී. එහෙත් මෙම වෙනස නූතන සමාජයේ බොහෝදෙනා නොහඳුනති.

ප්‍රධාන දෙවිවරු හා සහ දෙව් පිරිවර කතරගම, විෂ්ණු, නාථ, ඊශ්වර, සමන්, පත්තිනි වැනි ශ්‍රී ලාංකීය ජන ප්‍රධාන දෙවිවරුන් අතිමහත් බල පරාක්‍රමයන්ගෙන් සපිරි පුද්ගල රූපී නොවූ බලශක්තීන් රාශියක සංකලනයන්ය. එවැනි එකිනෙකට අනන්‍ය වූ බලශක්තියක් තුළ අප්‍රමාණ වූ සේනාවකින් සැදුම්ලත් දේව මණ්ඩලයක්  ප්‍රධාන දෙවියකු වටා පවතී. පෙරකී සමහර දේවතාවුන් එම ප්‍රධාන දෙවියාගේ දේව බලශක්තිය තුළ වැජඹෙන පරිවාර සේනාවෝය. දෙවියන් සම්බන්ධ කතාබස්වලදී දේව මණ්ඩලය යන වදන නිතර ව්‍යවහාර වේ. එහෙත් මේ දේව මණ්ඩලවල ස්වභාවය බොහෝ දෙනෙක් නොදනිති. නොහඳුනති.

ප්‍රධාන දෙවිවරුන්ගේ දේව මණ්ඩලය අපේ ජන සංස්කෘතියේ එන විෂ්ණු සුරිඳුන්ගේ වාහල දෙවිඳුන් නැතිනම් දොරටු පාලකයා වැනි තනතුරක් දරන දෙවියා, යක්ෂ සම්භවයක් ඇති දැඩිමුණ්ඩ නැතිනම් අලුත් නුවර දේවතා බණ්ඩාරය. ඒ අනුව අලුත් නුවර දේවතා බණ්ඩාර යනු  විෂ්ණු බල පරාක්‍රමය යටතට ගැනෙන දෙවියන්ගේ  උප දෙවියෙකි. දැඩිමුණ්ඩ සුරිඳුන් විෂ්ණු දෙවිඳුන්ගේ උප දෙවියකු වුවද දැඩිමුණ්ඩ සුරිඳුන් යටතේද ඒ ආකාරයේම පරිවාර සේනාවක් සිටී. ඒ අතර සුදුමල් බණ්ඩාර දේවතාවද එක් අයෙකි. කෑරගල පද්මාවතී පිරුවන් දේවාලය, ඉඹුල්ගොඩ, අමුණුගොඩ කුඩු මිරිසේ දේවාලය, සුදුමල් බණ්ඩාර සඳහා වෙන් වූ  දෙවොල් අතර වෙයි.  සුදුමල් බණ්ඩාර යටතේද තවත් ඒ ආකාරයේම පරිවාර දේවතා සමූහක් වෙති. ඒ අනුව ඉහළින්ම සිටින ප්‍රධාන දෙවියාගේ සිට පහළින් පහළට ශාඛා විහිදෙමින් යන දේව මණ්ඩලයේ පහළම තලයට යනවිට භූතයන්, අසුරයන් වැනි යහපත් නොවූ අමනුෂ්‍යයන්ගෙන් සැදුම්ලත් පිරිසක්ද සිටිය හැකිය.

ඒ අනුව ඉහළින්ම වැජඹෙන ප්‍රධාන දෙවියාගේ පටන් දේව මණ්ඩලයේ පහලින් පහලට ගමන් කරන විට ඔවුන්ගේ බල පරාක්‍රමය,  තේජස හා යහගුණ ප්‍රධාන දෙවියාට සාපේක්ෂව ක්‍රමයෙන් අවප්‍රමාණ වන බව පෙනේ. නමුදු එය ප්‍රධාන දෙවියා සතු බල පරාක්‍රමයෙන් කොටසක් අංශු මාත්‍රයක් වන බැවින් එම උප ගණයේ දේවතාවන් සතු ස්වීය බලය එතරම ඇගයීමකට ලක් නොවේ.

එලෙස ප්‍රබල දෙවියකුගේ දේව මණ්ඩලයක පහළම තලයේ සිටින පෙර කී ආකාරයේ භූතයන් අසුරයන් වැනි අමනුෂ්‍ය කොට්ඨාස ප්‍රධාන දෙවියා ඇතුළු මුලින්ම වැජඹෙන දෙවිවරුන්ගේ බැලමෙහෙවර කරන දායකකම් කරන දේවතාවුන් පිරිස බව  ‍පොදු ජන විඥානයේ සටහන්ව තිබේ.
මෙහිදී බොහෝදෙනකු නොදත්  කරුණක්ද අනාවරණය කරනු කැමැත්තෙමි. එනම් අප නමින් මිය පරලොව ගිය අපේ නෑ පරපුරේ ඥාති මිත්‍රාදීන් ද තමන් කළ පව් පින් අනුව පෙර කී එක් එක් ප්‍රධාන දෙවියාගේ දේවමණ්ඩලයේ විවිධ ස්ථානවලට අරක් ගත හැකිවීමය.
ඒ අනුව ඉහත සඳහන් ප්‍රධාන දෙවිවරුන්ගේ දේව මණ්ඩලවල අපට ඥාතිත්වයක් ඇති දේවතාවන් හා දේවතාවියන් අනන්තවත් සිටිය හැකිය. ඒ අනුව ප්‍රධාන දෙවිවරුන්ගේ පිහිටාරක්ෂාව ලබාදීම කෙරෙහි එසේ එම  දේව මණ්ඩලවලට  පිවිස හිඳන මියගිය ඥාතීන් ද ඉදිරිපත් වීම් බහුලව සිදුවේ. නමුත් ඒ ප්‍රධාන දේවියා අදහන බොහෝ බැතිමත්හු ඒ බව නොදනි. නොතකති.

ශ්‍රී ලාංකීය ආධ්‍යාත්මවේදය පිළිබඳ පුරෝගාමී පර්යේෂක සමාජ විද්‍යාඥ මහාචාර්ය දයා අමරසේකර විසිනි
- උත්පලා සුභාෂිණී ජයසේකර / Lakbima