Sep 27, 2013

ඕස්ට්‍රේලියාවට නව නායකත්වයක්

3-1
කැන්ගරු දේශය ලෙස විරුදාවලිය ලත් ඕස්ට්‍රේලියාව අපට ආගන්තුක නොවේ. ඒ නිසාම එරට තුළ සිදුවන දේශපාලනික හා සමාජීය පෙරළි පිළිබඳව අපි නිරන්තර අවධානයකින් පසුවන්නෙමු. මෑත කාලයේදී ඕස්ට්‍රේලියානු දේශපාලනය තුළ සිදුවූ හැලහැප්පීම්   බොහෝයි. ජුලියා ගිලාඩ්  අගමැතිකමෙන් ඉවත් වීමත් කෙවින් රඩ් යළි අගමැති ධුරයට ඒමත්  එහිදී කැපීපෙනිණි. එහෙත් වැඩි කලක් අගමැති පුටුවේ සිටීමට ඔහුට වරම් නොවිණි. හතළිස් හතර වන වතාවට පැවැති ඕස්ට්‍රේලියානු  මහ  මැතිවරණය තවත් සුවිශේෂී වෙනසක් කරා ඕස්ට්‍රේලියාව ගෙන ගියේ විපක්ෂයට රටේ අනාගතය භාර කරමිනි. ඒ  වෙනසේ ඇතුළාන්තය මෙවර අපගේ දේශපාලන ලිපිය තුළින් කියවා බලමු.

ඕස්ට්‍රේලියානු දේශපාලන  ඉතිහාසය දෙස බලද්දී ඔවුන්  කලක් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ  පාලනය වුණි. ඒ නිසාමදෝ බ්‍රිතාන්‍යයේත් ඇමෙරිකාවේත් සුසංයෝගයක් ඕස්ට්‍රේලියානු   පාර්ලිමේන්තු ක්‍රමය තුළ වේ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් හා සෙනෙට්  සභාවෙන් සැදුම්ලත් එය ආසන එකසිය පනස් පහකින් සමන්විත වූවකි. එරට ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවේ ප්‍රධානියා අගමැතිවරයායි. අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය අසුන් ගන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලයේයි. පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් දිනා ගැනීමට නම් ආසන එකසිය පනහෙන්  භාගයකට වැඩි ප්‍රමාණයක් ඔවුන්ට හිමි විය යුතුවේ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ ප්‍රාන්ත නියෝජනයක් පවතින අතර ප්‍රාන්තයේ ජනගහනය අනුව මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව තීරණය වේ. එනම් ජනගහනය වැඩි ප්‍රාන්තයක  මන්ත්‍රීවරුන්ද වැඩි වේ. මේ ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු ක්‍රමයේ දළ සැලැස්මයි. එරට මැතිවරණ  ක්‍රියාවලිය බොහෝ දුරට ඇමෙරිකාවට සමාන වූවකි. පසුගිය සැප්තැම්බර් හත් වනදා කැඳවූ ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේ  අරමුණ  වූයේ පාර්ලිමේන්තුවට නව සාමාජිකයින් තෝරා පත්කර ගැනීමයි.  එය පාර්ලිමේන්තුව තුළ පමණක් නොව සමස්ත ඕස්ට්‍රේලියාව තුළම වෙනසක් ඇති කරන්නක් විය. විපක්ෂ නායකයා අගමැති පුටුවට ගෙන ඒම මෙවර ඕස්ට්‍රේලියානුවන් සිදුකළ  වෙනසයි. කෙවින් රඩ් ගෙදර යවා ටෝනි ඇබට් අගමැති පුටුවට ගෙන ඒමට ඕස්ට්‍රේලියානුවන්ට සිතුණේ ඇයි? ‍ලේබර් පක්ෂයෙන්  පාලනය ගිලිහී විපක්ෂයේ සිටි ලිබරල් වාදීන්ට  බලය හිමි වූයේ වසර හයකට පසුවයි. සය වසරකට පසු ඕස්ට්‍රේලියානුවන් මෙවන් වෙනසක් කරා යාමට පෙළඹ වූ කාරණා බොහොමයක් වේ. කොහොමටත් මෑතක සිට ‍ලේබර් පක්ෂයේ නායකත්වය පැවැතියේ  අස්ථාවරත්වයකය. අගමැති  පුටුවේ සිටි ජුලියා හිලාඩ්  ඉන් ඉවත් කර ඉන් පෙර අගමැති ධුරයේ සිටි කෙවින් රඩ් යළි එම ධුරයට ඒම පක්ෂ නායකත්වයේ හැලහැප්පීම් තිබූ බවට දිය හැකි හොඳම  සාක්ෂියයි. ජුනි මාසයේ සිදු වූ මේ නායකත්ව වෙනසේ උණුසුමත් සමග කැඳවා තිබූ ඡන්ද විමසීමකින් පෙනීගියේ විපක්ෂයේ නායකයා ඉදිරියෙන් වන වගයි. ‍ලේබර් පක්ෂය මැතිවරණ තරග බිමට ගෙන ඒමට කෙවින් රඩ් ගත් උත්සාහය අසාර්ථක වූයේ ඒ වන විටත් ඇබට් ඉස්සර වී සිටි නිසායි.   ලිබරල් ජාතික සන්ධානය  නමින් කුඩා පක්ෂවල එකතුවකට නායකත්වය දුන් ඇබට්  සිය ස්ථාවරය  ගොඩ නගාගෙන තිබිණි. දශක තුනක කාල සීමාව ඇතුළත ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියතම නායකයා කෙවින් රඩ් බවට 2010 දී කළ සමීක්ෂණයකින් හෙළි වී තිබිණි. එහෙත් වෙළෙඳ උපක්‍රම හා පතල් බදු සම්බන්ධයෙන් ඔහු ගත් ක්‍රියාමාර්ග පක්ෂය තුළින්ම ඔහුට විරෝධතාවක් එල්ල වීමට හේතු විය. එහි අවසන් ප්‍රතිඵලය  වූයේ ඔහුගේ දෙවැනියාව සිටි ජුලියා ගිලාඩ් පක්ෂ නායකත්වයට පැමිණ අගමැති පුටුවේ  වාඩි වීමයි. එහෙත් 2013 ජූලි මාසයේදී යළිත් පක්ෂයේ සහය දිනාගනිමින්  නායකත්වයට  ඒමට ඔහුට හැකිවිය.   මෙවර ඔහු තුළ ඒ වාසනාව රැඳී  තිබුණේ මාස කිහිපයක් පමණි.   යළි අගමැති පුටුව භාරදී ගෙදර යාමට ඔහුට සිදුවිය. ඕස්ට්‍රේලියාව මේ වන විට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හා සංක්‍රමණික ගැටලුව මේ වෙනසට ප්‍රබල හේතුවක් වී තිබේ. මේ අතර ටෝනි ඇබට් තුළ ඇති කෙළින් කතා කිරීමේ පිළිවෙත බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට හේතුවක් වී ඇති සෙයක් පෙනේ. ඒ නිසාම “Tear-down Tony” යන අන්වර්ථ නමින්ද ඔහුව හඳුන්වයි. කෙසේ වුවද  ටෝනි ඇබට් තවත් කෙවින් රඩ් කෙනෙකු හෝ ‍ලේබර් පක්ෂ නායකයෙක් නොවනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඒ නිසාම  ටෝනි ඇබට් යුගයේ පහස විඳීමට ඕස්ට්‍රේලියානුවෝ  මෙන්ම ලෝක ප්‍රජාවද බලා හිඳිති.
ර‍ෂේමි ජයසේකර

වත්මන් ටෙලි නාට්‍ය මගින් සංසිඳෙන්නේ කතුන්ගේ ඕපාදූප අවශ්‍යතාවයද?

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය බි.ඒ. ටෙනිසන් පෙරේරා අවධාරණය කරයි
 
ටෙලි නාට්‍ය නැරඹීමේදී පුරුෂ පක්ෂය අභිභවමින් කාන්තාව පෙරමුණ ගෙන තිබිම ගම්බද නගරබද වෙනසක් නැතිව දැකගත හැකි දෙයකි. කාන්තාව එලෙස ටෙලි නාට්‍ය වෙත වැඩි නැඹුරුවක් දක්වද්දී පුරුෂ පාර්ශ්වය ක්‍රියාදාම, රහස් පරීක්ෂක කතා හා ක්‍රිකට් තරග වැනි දෑ නැරඹීමට වැඩි කැමැත්තක් දක්වති. මෙම තත්ත්වය සමහර අවස්ථාවලදී දෙපාර්ශ්වය අතර මත ගැටුම් පවා ඇති කරවීමට හේතුවක් බවටද පත්වේ.
මුල් යුගයේ සතියකට වරක් පමණක් විකාශය වූ ටෙලි නාට්‍ය අද වන විට සතියේ දින පහ පුරාම පාහේ විකාශය වේ. විවිධ නාලිකාවන් ඔස්සේ එවැනි ටෙලි නාට්‍ය තුන හතරක් එක දිගට නැරඹීමට හුරු වූ කාන්තාවකට ඒ වෙනුවෙන් දවසේ පැය විසි හතරෙන් පැය දෙක තුනක් වත් කැප කිරීමට සිදුවේ. එක් එක් නාලිකා ඔස්සේ විවිධ ස්වරූප ගත් ටෙලි නාට්‍ය ප්‍රචාරය වූවාට ඒ බොහෝ නාටක තුළින් පිළිබිඹු වන්නේ එදිනෙදා ජන ජීවිතය හා බැඳුණු අර්බුද, මත ගැටුම්, ආදරය, වෛරය වැනි  සාමාන්‍ය සහ සුලබ සංසිද්ධීන්ය. r3-1

මේ ආකාරයට පිරිමින්ට වඩා කාන්තාව ටෙලි නාට්‍ය නැරඹීමේදී ඉදිරියෙන් සිටින්නට බලපාන හේතු සාධකද බොහෝය.
පිරිමින්ට වඩා කාන්තාවන් වැඩිපුර ටෙලි නාට්‍ය බලන්නේ ඇයි ?
ජනප්‍රිය සංස්කෘතියේ අංගයක් බවට පත්ව ඇති ටෙලි නාට්‍ය ගලාගෙන යන විෂය ධාරාවක් දැකගත හැකිය. ටෙලි නාට්‍යයක් ජනප්‍රිය වන්නට නරඹන්නා අපේක්ෂා කරන රැල්ල තුළ පැවතීම අත්‍යවශ්‍යවේ. මෙහිදී වැඩිපුර ටෙලි නාට්‍ය නරඹන කාන්තාවගේ ආකර්ෂණය
ටෙලි නාට්‍යයක් වෙත යොමු වීමට නම් පෙර කී ඇගේ නැඹුරුතාවය ඊට යොමු වීම අවශ්‍යය. මෙහිදීද කාන්තාව කේන්ද්‍ර කොටගත් හා ඇය එදිනෙදා ගෘහ ජීවිතයේදී හා සමාජය තුළදී මුහුණ පාන නොයෙක් අර්බුද, ගැටලු දුක, සතුට, පිළිබිඹු වන ඒවා වීම ඇය ඊට යොමු කරවන්නට ඉවහල්වේ.

“හරියට මගේ ජීවිතේ වගේමයි එයාට වෙන්නෙත් මට සිද්ධවෙන දේවල්මයි“ආදී වශයෙන් ටෙලි නාට්‍යයේ චරිත මුහුණ දෙන අත්දැකීම් තමන්ගේ ජීවිතයට සමාන වීම තුළ කාන්තාව එම නාට්‍යය තමන්ගේ දෙයක් බවට පත්කර ගනී. මෙම විඥානය දැඩි සේ ග්‍රහණය කරගත් ටෙලි නාට්‍යකරුවා ද තව තවත් ඇය ඇද බැඳ තබා ගන්නා ආකාරයේ ටෙලි නාට්‍යයන්ම ඉදිරිපත් කරති. වටපිටාව ගැන වැඩිපුර සංවේදී කාන්තාව ටෙලි නාට්‍ය නැරඹීම තුළින් එම මානසික අවශ්‍යතාවය සපුරා ගනීතමන් ජීවත්වන පරිසරයේ සිදුවන දෙය පිළිබඳ විමසිල්ලෙන් හිඳීම අතීතයේ පටන් කාන්තාව තුළින් පිළිබිඹු වූවකි. එදා ගමේ ඇළ, දොළ, ළිඳ ළඟ, ගම්මැද්දේ යමින් කාන්තාව මෙම මානසික අවශ්‍යතාව සපුරාගත් ආකාරය පිළිබඳ පවතින පුවත් එතරම්ම සුබවාදී නොවේ. ජීව විද්‍යාත්මකව හෙළි කරගෙන ඇති ආකාරයට පිරිමියාට වඩා කාන්තාව කෙරෙන් මෙම වටපිටාව පිළිබඳ සංවේදී වීමේ වැඩි බව සංස්කෘතිය හා බද්ධව පවතින්නකි. ඒ නිසාම කොතරම් සමාජයේ සැරිසරන පිරිමියකු වුවද අවට සිදුවන දේ පිළිබඳව දැන ගැනීමට යොමුවන්නේ කාන්තාව වෙතය. අවට සිදුවන දේ දැන ගැනීමට කාන්තාවක් තුළ ස්වභාවයෙන්ම පවතින කුතුහලය තුළ ඇය එවැනි බොහෝ දේ ග්‍රහණය කර ගැනීමට සමත්වේ. ඇය සතු මෙම විමර්ශනශීලි බව පිරිමින් අභිබවමින් ඕපාදූප සෙවීම දක්වාම කාන්තාව යොමුකර වූ බවක් පෙනෙන්නට තිබිණ.
අද ටෙලි නාට්‍ය කාන්තාවන් සතු ඕපාදූප සෙවීමේ කුතුහලය හීන කර තිබේ

අද ටෙලි නාට්‍ය ගලාගෙන යන විෂය ධාරාව ද එදිනෙදා සාමාන්‍ය ජන ජීවිතය තුළ සිදුවන දේවල්වලට ප්‍රතිනිර්මාණයක් බව පෙනෙන්ට තිබේ. එකි’නෙකාගේ පවුල් අතර සිදුවන හැල හැප්පීම්, අර්බුද, පෙම්පලහිලව් ඒ ඒ ජීවිතවල ඇතුලාන්තය ගෙන හැර පෑම් ආදිය කාන්තාව එදා ඕපාදූප සෙවීමෙන් සපුරාගත් මානසික අවශ්‍යතාවයට සපුරාලීමකි. ඒ අනුව ඇයට වටපිටාවේ සැරිසරමින්, එකි’නෙකාගෙන් විමසමින් අවට සිදුවන දේ පිළිබඳව සොයා බැලීමේ මානසික අවශ්‍යතාවය නිවස තුළ ඇති රූපවාහිනිය තුළින් සැපිරිණි. ටෙලි නාට්‍ය තුළින් එදිනෙදා ජන ජීවිතය තුළ ඇතුලාන්තය ඒ ආකාරයෙන්ම ගෙන හැර පාද්දී ඒ තුළින් ලබන මානසික සංහිඳියාව ඇයට ප්‍රමාණවත් විය. තවත් පැත්තකින් වැඩි කාල පරාසයක් රූපවාහිනිය නැරඹීමට කැප කිරීම තුළ පැන නගින කාලය පිළිබඳ ගැටලුවද ඇය වෙනත් දේ වෙත යොමු කරවන්නට බාධාවක් බවට පත්ව තිබේ. ඒ අනුව වර්තමාන ටෙලි නාටකයන්ට පින්සිදු වන්නට අද කාන්තාව ඕපාදූප සොයන්නියගේ භූමිකාවෙන් ටිකෙන් ටික අත්මිදෙමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.
උත්පලා සුභාෂිණී ජයසේකර

තාලිබාන් වෙඩි උණ්ඩ මැද නැගී සිටින දිරිය දියණිය මලාලා යුසුෆ්සායි

8-1මලාලා උපත ලැබුවේ 1997 ජූලි 12 වන දින පාකිස්තානයේ ස්වැට් නිම්නයේ සුන්නි මුස්ලිම් පවුලක වැඩිමහල් දියණිය ලෙසිනි. ඇයට බාල සොහොයුරන් දෙදෙනෙකි. ඇගේ පියා සියවුදීන් යුසුෆ්සායි ය.  මලාලාගේ ළමා විය ගෙවුණේ 2004 වසරේ අල්-ඛයිඩා සංවිධානයේ සාමාජිකයින් සොයා ඇමෙරිකානු හමුදා හා පාකිස්තානු රජයේ හමුදා පටන්ගත් මෙහෙයුමෙන් ආරම්භ වූ වයඹ දිග පාකිස්තානයේ අභ්‍යන්තර යුද්ධයකට මැදිවය. 2009 වසර ආරම්භයේදී පාකිස්තානු ජාතික බි.බි.සී. වාර්තාකරු අබ්දුල් හායි කන්තර් එවකට තාලිබාන් හමුදා පාලනය යටතේ පැවැති ස්වැට් ප්‍රාන්තයේ ජන ජීවිතය පිළිබඳ වාර්තාවක් ලිවීමට අදහස් කළේය. ඔහුට අවශ්‍ය වූයේ තාලිබාන් පාලනයට යටත්ව වෙසෙන අයෙකු ලවා එම තැනැත්තාගේ සැබෑ අත්දැකීම් අනුසාරයෙන් වාර්තා සැපයීමටය. එබැවින් අබ්දුල් හායි සියවුදීන් යුසුෆ්සායි ගෙන් ඔහුගේ පාස‍ලේ ළමයෙකු ලවා එබඳු වාර්තා සකස් කළ නොහැකි දැයි ඇසුවේය. (සියවුදීන් පෞද්ගලික පාසල් ගණනාවක හිමිකරුවෙකු මෙන්ම කවියෙකු හා අධ්‍යාපනඥයෙකු ද විය.) මුලින් ඔහුගේ පාසලක අයිෂා නම් ගැහැනු ළමයෙකු එම කටයුත්තට කැමැත්ත පළ කළද තාලිබාන් හමුදාවෙන් ලැබිය හැකි දඬුවම්වලට බියෙන් ඇගේ දෙමාපියන් ඇයව එයින් ඉවත් කර ගත්හ. එවකට සියවුදීන්ගේ දියණිය මලාලා 7වන පන්තියේ ඉගෙනුම ලැබූ එකොළොස් (11) වියැති ළාබාල දැරියකව සිටියද ඇය හැර එම කටයුත්ත භාර ගැනීමට ඉදිරිපත් වීමට කිසිවෙකුත් නොවූයෙන් ඇය සිය කැමැත්තෙන්ම එම කටයුත්ත භාර ගත්තාය. 
 
 සියවුදීන්ට අනුව ඔහුගේ දියණිය සුවිශේෂී දැරියකි. ඇය මුලින්ම කාන්තාවන්ට අධ්‍යාපනයට ඇති අයිතිය පිළිබඳ කතා කිරීමට පටන් ගත්තේ 2008 වසරේ සැප්තැම්බර් මාසයේදීය. ඒ ඇගේ පියා ඇයව පේෂාවර් හි ප්‍රාදේශීය වාර්තාකරුවන්ගේ සංගමයේ රැස්වීමට රැගෙන ගිය අවස්ථාවේදීය. රැස්ව සිටි සභාව අමතා “කිසිදු බියක් සැකක් නැතිව තාලිබාන්වරු මගේ අධ්‍යාපනයට ඇති අයිතිය පැහැර ගත්තේ කෙසේද?” යි විමසමින් කළ කතාවට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලැබිණි. එවකට ඇය ජීවත් වූ ස්වැට් නිම්න දිස්ත්‍රික්කය, මවුලානා ෆස්ලූලාගේ නායකත්වය යටතේ පැවැති තාලිබාන් හමුදා පාලනය යටතට පත්ව තිබිණ. ඔවුහු එහි සාමාන්‍ය වැසියාට සංගීතය හා රූපවාහිනිය නැරඹීමටද ගැහැනු ළමුන්ට පාසල් යාමද, කාන්තාවනට සාප්පු සවාරිද තහනම් කොට තිබුණි. වරින් වර හිස ගසා දමනු ලැබූ පාකිස්තානු රජයේ ‍පොලිස් නිලධාරීන්ගේ සිරුරු නගර මධ්‍යයෙහි එල්ලා තිබෙනු දැකිය හැකිවිය. බාලිකා පාසල් සියල්ලම පාහේ වසා දමා තිබුණි. තම පියාගේද අනුමැතිය ඇතිව මලාලා 2009 ජන. 03 වන දින ඇගේ පළමු වාර්තාව බිබිසීය වෙත යැව්වාය. පැවැති තත්ත්වය යටතේ මලාලාගේ ජීවිතය අනතුරට හෙළනු නොහැකි බැවින් බිබිසී කර්තෘවරු මලාලාට ආරූඪ නමකින් වාර්තා සපයන්නැයි යෝජනා කළහ. එබැවින් ඇය ගුල් මකායි (තිරිඟු මල යන අරුත ඇති) යන ආරූඪ නමින් වාර්තා සැපයුවාය.
 ඇගේ බිබිසී යට වාර්තා සැපයීම අවසන් වූ පසු නිව්යෝක් ටයිම්ස් වාර්තාකරු ඇඩම් බි එලික් මලාලා හා ඇගේ පියා පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිපදවීය. එයින් පසු විද්‍යුත් මාධ්‍ය ගණනාවකම ඇය සම්මුඛ සාකච්ඡා සඳහා සහභාගි වූවාය. 2009 දෙසැම්බර් වන විට ගුල් මකායි (ට්භත ර්චඬචඪ) යනු මලාලා යුසුෆ්සායි බව අනාවරණය වී තිබුණෙන් ඇය ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන්වලට සහභාගි වෙමින් කාන්තා අධ්‍යාපනය පිළිබඳව
හඬ නැගුවාය.
8-2
මලාලා ටිකින් ටික ප්‍රසිද්ධියට පත් වීමත් සමග ඇගේ ජීවිතයට තර්ජන එල්ල වන්නට විය. පුවත්පත් මගින් හා අන්තර්ජාලය ඔස්සේද නිවසට ලැබුණු ලිපි මගින්ද ඇයට මරණ තර්ජන එල්ලවන්නට විය. මේ කිසිවකිනුත් පළක් නොවූ තැන 2012 වසරේ අග භාගයේදී තාලිබාන් නායකයින් එක් රැස්ව මලාලා ඝාතනය කළ යුතුයි. ඒකමතිකව තීරණය කළහ.

ඒ අනුව 2012 ඔක්. 09 වන දින විභාගයක් අවසන්ව ආපසු බස්රියෙන් නිවස බලා එමින් සිටි මලාලාට වෙස්වලාගත් තුවක්කුකරුවෙකු විසින් හිසට වෙඩි තබන ලදී. වෙඩි උණ්ඩය ඇගේ හිසෙහි හා බෙල්ලෙහි පැත්තක් පසාරු කරගෙන ගොස් උරහිසේ වැදී නතර විය.
වෙඩි වැදීමෙන් පසු පේෂාවර් හි හමුදා රෝහලක් වෙත ගෙන එනු ලැබූ මලාලාට පැය 03ක හදිසි සැත්කමක් කරන ලදී. දින කිහිපයකට පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔක්.15 ඇයව එක්සත් රාජධානියේ බර්මිංහැම් හි ක්වීන් එලිසබෙත් රෝහල වෙත රැගෙන එන ලද්දේ ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ හා ඇගේ දෙමාපියන්ගේ ද කැමැත්ත ඇතිවය.
එහිදී සම්පූර්ණ සුවය ලද මලාලා මේ වසරේ ජූලි 12 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තරුණ සමුළුවටද සහභාගි වූවාය.
 එහිදී සමුළුව ඇමැතූ ඇය මෙසේ පැවැසුවාය. ත්‍රස්තවාදී අන්තවාදීන් ‍පොත්පත්වලට හා පෑනට බියක් දක්වයි. අධ්‍යාපනය ඔවුන්ව බියපත් කරවයි. එසේම ඔවුන් කාන්තාවන්ගේ ශක්තියටද බයය. ඒ ඔවුන් ලොව පුරා නූගත් බවට දිළිඳු බවට හා ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටින නිසාය.එබැවින් අපි අපේ ‍පොත් සහ පෑන් අතට ගනිමු. අප සතු ප්‍රබලම අවි ආයුධ ඒවාය. මන්ද ගුරුවරයෙකුට, ‍පොතකට හා පෑනකට මුළු ලෝකයක් වෙනස් කළ හැකි නිසාය.
 මලාලා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා දින 3කට පසු ජූලි 15 වැනිදා තාලිබාන් සටන්කාමියෙකු වන අද්ගන් රෂීඩ් විසින් මලාලා වෙතට ලියූ ලිපියක් ජූලි 17 වනදා මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කෙරිනි. එහි මෙසේ සටහන්ව තිබුණි.
“තාලිබාන්වරු ඔබව ඝාතනය කිරීමට සැරසුනේ ඔබ පාසල් ගිය නිසා හෝ අධ්‍යාපනයට ලොල් වූ නිසා නොවේ. තාලිබාන් හෝ මුජහිදීන්වරු කිසි විටෙකත් පිරිමි හෝ ගැහැනු ළමුන් අධ්‍යාපනය ලබනවාට විරුද්ධ නැත. අප ඔබට පහර දුන්නේ ඔබ අප සංවිධානයට විරුද්ධව ජාත්‍යන්තරයට ලියූ නිසාය. ඔබ අප ජීවත්වන ස්වැට් ප්‍රදේශයේ ඉස්ලාම් ක්‍රමවේදයන් ස්ථාපනය කිරීමට අප ගන්නා උත්සාහයට අවඥාකරමින් එය කඩාකප්පල් කිරීමට ගත් උත්සාහය නිසාය. ඔබ ලියන ලද දේ අපට විරුද්ධව ජාත්‍යන්තරය උසිගන්වන සුළු ඒවා නිසාය.”
“එක්සත් ජාතීන්ගේ තරුණ සමුළුවේදී ඔබ කළ කතාව අනෙකුත් ජාතීන්ට විශාල බලපෑමක් කළේය. පෑන කඩුවට වඩා බලවත් යැයි ඔබ සඳහන් කළේය. එසේ නම් වචන කඩුවට වඩා ඉතා බලවත් බවත් කඩුවෙන් වන තුවාලය සුවකළ හැකි වුවත් වචනවලින් සිදුවන තුවාලය කෙසේවෙතත් සුවකළ නොහැකි බවත් යුද්ධයකදී සිදුකරෙන කතා ලොව අන් කිසිදු ආයුධයකින් සිදුකරන විනාශයට වඩා බරපතළ විනාශ සිදුකරන බවත් මතක තබාගන්න.”
 “මම ඔබට ආපසු මව් රටට විත් ඉස්ලාම් සංස්කෘතියට අනුව හැඩ ගැසෙන්නැයි අවවාද කරමි. කුරාණය හදාරන්න. මුස්ලිම් ජාතියට සිදුවී ඇති විපත අවබෝධ කරගෙන ‘සාමූහික නව ලොවක්’ යන තේමා පාඨයට මුවා වෙමින් බටහිර ජාතීන් ඇතිකරගෙන සිටින දුෂ්ට බලවේගවලට අප ජාතිය පාවා දීමට ඔබලා කළ කුමන්ත්‍රණය හෙළි කරන්නැයි ද ඉල්ලා සිටිමි.”
 එසේ වුවත් මලාලා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා කළ කතාවේදී පවසා සිටියේ මෙබඳු අදහස්ය.
“මා මෙහි නැගී සිටින්නේ සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබිමට ඇති අයිතිය ගැන කතා කිරීමටය. එසේ නැතිව තාලිබාන් සංවිධානයට එරෙහිව මගේ පෞද්ගලික හැඟීම් ප්‍රකාශ කිරීම නොවේ. තාලිබාන් හා අනෙකුත් අන්තවාදී සංවිධානවල සාමාජිකයන්ගේ දූ පුතුන්ටද හොඳ අධ්‍යාපනයක් ලැබෙනු දැකීම මගේ අභිප්‍රායයි. මා මට වෙඩි තැබූ ප්‍රබලයාට වෛර නොකරමි. මා අත ගිනි අවියක්ද මා ඉදිරියේ මට වෙඩි තැබූ පුද්ගලයාද සිටියේ වුව මම ඔහුට වෙඩි නොතබමි. මහත්මා ගාන්ධි, බාද් ශා ඛාන් හා තෙරේසා මවුතුමියගේ අවිහිංසාවාදී දර්ශනයෙන් මා උගත් දේ එයයි.

මා වෙත එල්ල වූ වෙඩි උණ්ඩයෙන් මගේ අරමුණ, මතු බලා‍පොරොත්තු වෙනස් කළ හැකියැයි ත්‍රස්තවාදීන් සිතුවේ නම් ඔවුන් වැරදිය. සිදුවූ එකම වෙනස මා තුළ යම් මානසික දුර්වල බවක් බියක් හා බලා‍පොරොත්තු රහිත බවක් වී නම් ඒ හැඟීම් මිය ගොස් ඒ වෙනුවට අලුත් ශක්තියක් බලයක් හා 8-3ධෛර්යක් මා තුළ හට ගැනීමය.”
 සමුළුව අමතා මලාලා කළ කතාව ලෝකයේ අනෙක් රටවල නොමඳ ප්‍රශංසාවට ලක්වුවද පාකිස්තානු රජය මේ සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් කිරීමෙන් වැළකී සිටියේය. මලාලාගේ මව්බිමේ සමහර මාධ්‍ය බටහිර ජාතීන්ගෙන් ඇය ලබන මේ කීර්තිය හා ප්‍රසිද්ධිය දකින්නේ වෙනස් ආකාරයකිනි. ඔවුන් පවසන අන්දමට සෑම ළමයෙකුම අධ්‍යාපනය ලැබිමට ඇති අයිතිය සුරැකීමට මලාලා ගෙන යන ව්‍යාපාරය බටහිර උවමනා එපාකම් අනුව සකස් කෙරුනු වැඩපිළිවෙළකි. ඔවුන් මලාලාට මේ සා ප්‍රසිද්ධියක් අත්කර දීමෙන් බලා‍පොරොත්තු වන්නේ පාකිස්තානු ළමා පරපුරේ මානසික සංවර්ධනය නොව ඔවුන්ගේ ක්‍රියාකාරකම් (විශේෂයෙන්ම ඇමෙරිකානු හමුදා මගින් සිදුකළ ගුවන් ප්‍රහාර) වලට ගොදුරු වූ අනෙකුත් අහිංසක ජනතාව පිළිබඳ ජාත්‍යන්තරයේ අවධානය වෙනතකට යොමු කිරීමය.

 2013 මාර්තු මස සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභීන්ගේ යෝජිත නම් අතරට එක්වීමට තරම් ජාත්‍යන්තර කීර්තියක් අත්කරගත් මලාලා, ඛිඒ සංවිධානයේ ඔත්තුකාරියකැයි චෝදනා ලැබිමටත් තම මව්බිමෙන් ගැරහුම් ලැබිමටත් ලක්වූයේ ඇයි. පාකිස්තානු මාධ්‍යකරුවෙකු වන අසාද් බෙයිග් පවසන අන්දමට මලාලා කිසි විටෙකත් බටහිර විවේචනය නොකළාය. ඇය කිසිවිටෙකත් ඇමෙරිකානු ගුවන් හමුදා ප්‍රහාර මගින් මියයන අහිංසක සාමාන්‍ය ජනතාව ගැන කතා නොකළාය. ඇයට වෙඩි තැබිමේ සිද්ධිය තාලිබාන් සංවිධානය අපකීර්තියට ලක් කිරීමක්වත්, ඛිඒ සංවිධානය මගින් කළ රඟදැක්වීමකැයි පාකිස්තානු ජනතාවට ඒත්තු ගැන්වීමටත් තාලිබාන්වරුනට අවස්ථාවක් ලබා දීමට තරම් ඉඩ නොදී මලාලා බටහිර ක්‍රියා සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කළාය. එබැවින් තමන් කළ වැරදි සාධාරණීයකරණය කර ගැනීමට බටහිරට ලැබුණු හොඳම ඉත්තා මලාලාය.

නූතන යුගයේ සිදුකළ යකුන් දුරු කිරීම්වල මතකයෙන්...

10-1
යක්ෂයෙක් නැතහොත් මිනිස් සිරුරට අරක් ගත් අමනුෂ්‍ය ආත්මයන් හා නපුරු බලවේගයන් දුරුකිරීම අද ඊයෙක සිට නොව ඈත අතීතයේ සිට සිදුවූවකි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රමුඛ උන්වහන්සේගේ අනුගාමිකයින් විසින් මෙබඳු අමනුෂ්‍ය ආත්මයන්ගෙන් පීඩා විඳිමින් සිටියවුන් සුව කළ අවස්ථා පිළිබඳව බයිබලයේද ඕනෑ තරම් හමුවේ. එසේම විවිධ ගෝත්‍රික ජන කොට්ඨාසයන් අතර යක්ෂයන් දුරු කිරීම සඳහා විවිධාකාරයේ වත්පිළිවෙත් භාවිතා වේ. එබඳු සිදුවීමක් තේමා කර ගනිමින් නිපැදවුණු ‘යකැදුරා’ නොහොත් ‘‘The Exorcist‘‘ නමැති චිත්‍රපටය නැරඹූවන්ට බඹරයක් මෙන් කරකැවෙන හිසකින් යුතු වූද බහුභාෂාවේදියකු ඉක්මවූ නිපුණත්වයකින් යුතුව විවිධ භාෂා ගණනාවකින් එක්සත් ජාතීන්ගේ සැසියක් ඇමතූ ලින්ඩා බ්ලෙයාර් අමතක වන්නට හේතුවක් නැත. මෙම ලිපියෙන් ඔබ හමුවට ගෙන එනුයේ සැබෑ ලෝකයේදී සිදුවූ එබඳු යකුන් දුරු කිරීමේ අවස්ථා කීපයක් පිළිබඳ ගත කිළි‍පොළන විස්තරයකි.
කැමිල් සීනුත් 2005 වසරේදී ‘පැටී්‍රෂියා ඇල්ව්ස්’ නමැත්තිය දස වසරකට සිරගෙට නියම වන ලද්දේ ගයනාවේ ජෝර්ජ් මවුත් හි විසූ කැමිල් සීනුත් නමැත්තිය අත්වැරදීමකින් ඝාතනය කිරීම හේතුවෙනි. යකුන් දුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලු කාන්තාවක වූ ඇල්ව්ස් විසින් පවත්වාගෙන යනු ලැබූ ‘භූත දේවස්ථානයට’ නිතිපතා සෙනඟ විශේෂයෙන්ම කාන්තාවන් ඇදී එන ලද්දේ අප්‍රිකානු හෝ හින්දු සම්ප්‍රදායානුකූලව යකුන් දුරු කර ගැනීම සඳහායි. මෙබඳු අවස්ථාවලදී අමනුෂ්‍ය ආත්මයන් පලවා හැරීම සඳහා යාච්ඤා මෙහෙයන් සේම යක්ෂයා ආරූඪ වී සිටින තැනැත්තාගේ සිරුරට පහරදීමද සිදුකෙරුනු අතර කැමිල් සම්බන්ධ සිද්ධියේදී ඇය අවාසනාවන්ත ලෙස එම පහරදීම්වලින් මියගියාය. සිය අත්වැරදීම 10-2ලෝකයාගෙන් සඟවා ගැනීම සඳහා ඇල්ව්ස් මළසිරුර හොර රහසේම වළලා
දැමුවද ඇගේ අපරාධය නීතියෙන් සැඟවීමට හැකි වූයේ නැත.
පාප්තුමන්ට අභියෝග කළ තරුණිය රෝමයේ වතිකානුවේ සිටින යකුන් දුරුකිරීමේ නිල බලතල ලත් තැනැත්තා ලෙස සැලකෙන ගේබ්‍රියල් ඇමෝත් දේව ගැතිතුමන් විසින් මේ වනවිට අමනුෂ්‍ය ආත්මයන් දුරු කළ වාර ගණන එක්ලක්ෂ හැට දහසකට අධික බව පැවසේ. නමුත් 2000 වසරේදී II වන ජුවාම් පාවුළු පාප්තුමන්ගේ ආධාරයද ඇතිව වතිකානුව තුළදී අමනුෂ්‍ය ආත්මයක් අරක් ගත් දහනව හැවිරිදි තරුණියක සුව කිරීමට ගේබ්‍රියල් පාප්තුමන් දැරූ උත්සහය ඒ කිසිවකට සම කළ නොහැකි බව පැවසේ. පාප්තුමන් හමු වූ අවස්ථාවේදී උන්වහන්සේට දැඩි කෝපයෙන් යුතුව පරිභව කිරීමට පටන් ගත් මෙම දැරිය සමග පැය භාගයක කාලයක් උන්වහන්සේ ගත කළද ඇයට අරක්ගෙන සිටි අමනුෂ්‍ය ආත්මය නොහොත් සාතන් ඇගේ සිරුරින් ඉවත් කිරීමට හෝ තමාට අවනත කර ගැනීමට උන්වහන්සේට නොහැකි වූ බව පැකිළීමෙන් යුතුව වුවද කිව යුතුය. පරාජය භාර ගනිමින් දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් දැරිය අසලින් ඉවත්ව යන කළ “පල්ලියේ ප්‍රධානියාටවත් මා පලවා හැරිය නොහැකි” යැයි කියා වහසිබස් දෙඩීමට තරම් එම අමනුෂ්‍ය බලවේගය එඩිතර වී තිබිණි.

ජැනට් මෝසස්
2007 වසරේදී නවසීලන්තයේ විසූ ‘ජැනට් මෝසස්’ නමැති ළාබාල දැරිය අවාසනාවන්ත ලෙස මියයන ලද්දේ ඇගේ පවු‍ලේ සාමාජිකයින් විසින් ඇගේ සිරුරට අරක් ගෙන සිටි අමනුෂ්‍ය බලවේගය ඉවත් කිරීමට දැරූ උත්සහයේදී දියේ ගිලීමෙනි. ඇගේ ඝාතනය සම්බන්ධයෙන් නව දෙනකුට චෝදනා එල්ලවුවද සැබැවින්ම එහිදී සිදුව තිබුණේ දැරිය තුළ සිටි යක්ෂයා පලවා හැරීම සඳහා කළ ‘මෙකුටු’ ලෙස හැඳින්වුණු මඕරිවරුන්ගේ යකුන් සාම්ප්‍රදායික පිළිවෙත නොසිතූ ලෙස වැරදී යාමය.සාම්ප්‍රදායික මඕරි මන්ත්‍ර ජප කිරීම් භාවිතයෙන් දැරිය සුව කිරීමට නොහැකි වූ කල් හි ඇගේ පවු‍ලේ සාමාජිකයින් ඇය වෙත ජල ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන ඇති අතර තෙදිනක් පුරා අඛණ්ඩව සිදුකෙරුන මෙම ජල කෙළිය අවසානයේදී පිළිවෙත සිදුකළ කාමරය ජලයෙන් යටවී ගොස් තිබුණේ දැරියගේ ජීවිතයද තොර කරමිනි. දැරියව වෙලාගනු ලැබ තිබුණේ ඊට කලකට පෙරදී මියගිය ඇගේ මිත්තණියගේ ආත්මය විසින් බවට කියැවුණද එය තහවුරු කර ගැනීමට හැකිවූයේ නැත.

සැල්වදෝර් ඩාලි
සුප්‍රකට කලාකරුවකු වන සැල්වදෝර් ඩාලිද සිය සිරුරට අරක් ගත් භූතාත්මයන් පලවා හැරීමේ පිළිවෙතකට මුහුණ දුන් අයකු බව දැන ගැනීම පුදුමයට කරුණක් වනු ඇත.
ඩාලිගේ මිතුරකු වූ ‘ගේබ්‍රියල් මරිකා බෙරාඩි’ නමැති දේවගැතිවරයා විසින් සිදුකරන ලද බව කියැවෙන මෙම යකුන් දුරු කිරීම සනාථ කිරීම සඳහා බෙරාඩි විසින් ඉදිරිපත් කරන ලද්දේ තම සේවයට කෘතවේදීත්වය දැක්වීම උදෙසා ඩාලි විසින් ඔහුට ලබාදී තිබුණු අගනා කුරුසියකි. මෙම කුරුසිය ඩාලි විසින්ම නිමවන ලද්දක් බව කලා විශේෂඥයින් දෙදෙනකු විසින් කළ පර්යේෂණයකින්ද තහවුරු වී තිබිණි. සිය ආගමික නිකායෙන් බෙරාඩි නෙරපා හරිනු ලැබිමෙන් පසුව ඩාලි හට ඔහුව හමුවන ලද්දේ ප්‍රංශයේදී වන අතර යකුන් පලවා හැරීමේ සිද්ධිය සිදුවී ඇත්තේ 1947 වසරේදී ප්‍රංශයේදී බවට සැලකේ.
මරිෂියා අයිරිනා කෝනිෂි
2005 වසරේදී එවකට විසිතුන් හැවිරිදි වියේ පසු වූ මරිෂියා අයිරිනා කෝනිෂි රුමේනියාවේ පිටිසරබඳ පෙදෙසක පිහිටි ඔර්තෝඩොක්ස් තාපසාරාමය වෙත සංචාරයක නියැළෙන ලද්දේ එහි සිටි සිය සොහොයුරා වූ ‘ටනාකු’ දැක බලා සුවදුක් විමසීම සඳහායි. එහිදී ඇය සහභාගි වූ දේව මෙහෙයන් අතරතුරදී සාමාන්‍ය හැසිරීම් ප්‍රකට කළ ඈ අස්වාභාවික ලෙස නොනවත්වා සිනහ වීමටත් දැඟලීමටත් පටන් ගත් අතර මානසික වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඇය භින්නෝන්මාදයෙන් පෙළෙන බවය. එනමුත් දේවස්ථානයේ සැදැහැවත් පියතුමන් වූ ‘කොරොජිනු’ එකී වෛද්‍ය මතය පිළිගැනීමට මැලිවූවා පමණක් නොව මරිෂියාගේ සිරුරට අද්භූත ආත්මයක් අරක් ගෙන ඇති බවට තරයේ කියා සිටි ඔහු ආරාමයේ සිටි තවත් කන්‍යා සොහොයුරියන් කිහිප දෙනකුගේද ආධාරය ඇතිව මරිෂියාට දස වද දෙන ලද්දේ එම අමනුෂ්‍ය ආත්මය දුරු කර දැමීම සඳහාය. අසරණ තරුණිය කුරුසියකට තබා බැඳ දැමූ ඔවුහු ඇගේ මුව තුළට රෙදි කැබලි ඔබා දින ගණනක් ‍ලේ මිදෙන ශීතලකින් යුතු කාමරයක හුදකලා කොට තැබූ අතර අවසානයේදී අශුද්ධ ආත්මය කෙසේවතුදු අසරණ තරුණියගේ ජීවිතය මෙලොවින් තුරන් වී තිබිණි. මිනීමැරීමට එරෙහිව කොරොජිනු දේවගැතිවරයාද ප්‍රමුඛ කන්‍යා සොහොයුරියන් සිව් දෙනකුට දාහතර වසරක් සිර දඬුවම් හිමිවූ අතර ආරාමය වසා දැමිණි.

ක්ලාරා ජර්මානා කෝල්
1906 දී දකුණු අප්‍රිකාවේ උම්සින්ටෝ ප්‍රදේශයේදී ඉරාස්මුස් හෝනර් නමැති පියතුමා හට ඉතා අසාමාන්‍ය ආකාරයේ පා‍පොච්චාරණයකට සවන් දීමට සිදුවිය. සිව් අවුරුදු වියේ සිට මේරියන් හිල් නමැති සංඝයේ ක්‍රියාකාරී කතෝලික සාමාජිකාවක ලෙස සිටි ක්ලාරා ජර්මානා කෝල් නමැති තරුණිය හෝනර් පියතුමා ඉදිරියේ පා‍පොච්චාරණය කරමින් කියා සිටින ලද්දේ තමන් යක්ෂයා සමග ගිවිසුමකට එළැඹි බවයි. මුලදී මෙය ක්ලාරාගේ හුදු ප්‍රලාපයක් ලෙස සිතා පියතුමන් විසින් නොසලකා හරිනු ලැබුවද නොබෝ දිනකින්ම ක්ලාරාගේ හැසිරීමේ කැපී පෙනෙන වෙනසක් ආරාමයේ කාටත් දැකගත හැකිවිය. තමන් හැඳ සිටින ඇඳුම් ඉරා දැමූ ඇය කිසිවකුටත් නොතේරෙන තමන් ඊට පෙර කිසිදිනක හෝ දැන නොසිටි භාෂාවන්ගෙන් මන:කල්පිත පුද්ගලයන්ට කතා කිරීමටත් ආරාමයේ සිටින කන්‍යා සොහොයුරියන්ට පහරදීමටත් උමතු වූවකු මෙන් වරින්වර මරහඬ තැලීමටත් පටන් ගත්තා පමණක් නොව වරක් කන්‍යා සොහොයුරියක් සපා කෑමට පවා පෙළැඹුණාය. හෝනර් පියතුමන් විසින් සාර්ථක ලෙස ක්ලාරා තුළ පෙරළි කළ අශුද්ධාත්මය
පළවා හැරීමට සමත් වූ අතර එහිදී ඇගේ සිරුර පාවීමට ලක් වූ බැව් කියැවේ.

රොබි මෑන්හයිම්
අතිශය ජනප්‍රිය වූද ප්‍රේක්ෂකයන් භීතියෙන් ලොමු දැහැගැන්වීමට සමත්වූද “ඊඩඥ ජ්යධපජඪඵබ” නමැති චිත්‍රපටයට පාදක කර ගන්නා ලද්දේ 1949 දී සිදු කෙරුනු රොබි මෑන්හයිම් නොහොත් රෝලන්ඩ් ඩෝ නමැති දහතුන් හැවිරිදි පිරිමි දරුවාගේ යකුන් දුරු කිරීමේ සිද්ධියයි. රොබිගේ මෙම අසාමාන්‍ය තත්ත්වය මුලින්ම ප්‍රකට වන ලද්දේ සිය නැන්දණියගේ හදිසි මරණයෙන් පසුව ගත වූ මාස කීපයක කාලය තුළදී භූතයන් සමග සන්නිවේදනය කිරීමට යොදා ගන්නා ‘භූත ලෑල්ල’ නොහොත් ‘ඖජා’ පුවරුවක් භාවිතා කිරීමෙන් පසුවය. සිය පුතුගේ අසාමාන්‍ය චර්යාව හා ඔහු ඇසුරු කර ගනිමින් සිදුවූ අස්වාභාවික සිදුවීම් සමුදාය තවදුරටත් ඉවසාගත නොහැකි වූ රොබිගේ දෙමාපියන් ඔහුගේ සිරුරට අරක් ගත් නපුරු බලවේගය පලවා හැරීම සඳහා ලූතර් මයිල්ස් ජුල්ස් දේවගැතිවරයාගේ සහය පැතීය. කෙසේ වූවද රොබිට අරක් ගෙන සිටි භූතයා සමග ඔට්ටු වීමට තම හැකියාව ප්‍රමාණවත් නොවන බව වටහාගත් ජුල්ස් පියතුමා රොබිව එඩ්වඩ් හි්‍යු පියතුමන් වෙත ඉදිරිපත් කළේය.

යකුන් දුරු කිරීමේ ක්‍රියාවලිය අතරතුරදී ඇඳක වූ දුන්නක් කුඩා දරුවකුට තරම් නොවන දැවැන්ත අමනුෂ්‍ය බලයක් ප්‍රදර්ශනය කරමින් ඉවතට ඇද ගත් රොබි විසින් හි්‍යු පියතුමාට ඉන් සිදුකළ තුවාලය කොතරම් දරුණු වීදයත්  ඊට මැහුම් සියයකට අධික සංඛ්‍යාවක් යෙදීමට සිදුව තිබිණි. කෙටි කාලසීමාවක විරාමයකින් පසුව යළිත් වරක් රොබි යකුන් දුරු කිරීමේ පිළිවෙතකට මුහුණ දුන් අතර එය සති හයක කාලයක් පැවැතිණි. ඇඳන් ගෘහ භාණ්ඩ දෙදරීම, බඩු භාණ්ඩවලින් දමා ගැසීම් ආදී අමනුෂ්‍ය ආත්මයක බලපෑම ප්‍රකට කෙරූ බිහිසුණු සිදුවීම් මාලාවකින් අනතුරුව රොබි යක්ෂ බලපෑමෙන් මුළුමනින්ම අත්මිඳුණි.

ඇනා එක්ලන්ඩ්
කාල් වොග්ල් දේවගැතිතුමන් විසින් රචිත “ඕඥඨධදඥ ඉචබචද” නමැති කෘතියෙන් විස්තර කෙරෙනුයේ ‘ඇනා එක්ලන්ඩ්’ නමැති යෞවනියගේ සිරුරට අරක් ගත් අමනුෂ්‍ය ආත්මය දුරු කළ අන්දමයි. 1882 දී අයෝවාහි උපන් ඇනා උපතින්ම කතෝලික බැතිමතකු වූ අතර ඇය කිසියම් නපුරු බලවේගයක බලපෑමට නතුව ඇති බවට පළමු වරට ලකුණු පහළ කරන ලද්දේ දාහතර හැවිරිදි වියේදීය. ශු. වස්තූන් පිළිකුල් කළ ඈ දේවස්ථානයට ඇතුළුවීම පවා ප්‍රතික්‍ෂේප කළා පමණක් නොව එබඳු ළාබාල වයසක පසුවන දැරියකට තරම් නොවන අන්දමේ අසැබි වදන් කියවීමටද

පෙළඹුණේ කවුරුත් පුදුමයට පත් කරමිනි. 1912 දී තියෝෆිලියස් රිසින්ගර් පියතුමන් විසින් ඇයට අරක්ගෙන සිටි අශුද්ධාත්මය පලවා හැරීමට සමත් වූවද 1928 දී ඇනා යළිත් වරක් එම භූතාත්මයේම බලපෑමට නතු වූවාය. යළිත් වරක් තියෝෆිලියස් පියතුමන් විසින් යකුන් දුරු කිරීමේ වත් පිළිවෙත් සිදුකිරීමට ඉදිරිපත් වූ අතර ඒ සඳහා තෝරා ගැනුණේ අසල පිහිටි ෆ්‍රැන්සිස්කානු නිකායික කන්‍යා සොහොයුරියන්ගේ ආරාමයකි.
විසිතුන් දිනක් මුළුල්‍ලේ සිදුකෙරුන එම යකුන් දුරු කිරීමේ සිද්ධියේදී දැරිය හැසිරෙන ලද්දේ උමතු වූවකු පරිද්දෙන් වන අතර අසාමාන්‍ය කාය ශක්තියක් ප්‍රකට කළ ඇය පාලනය කිරීමට කන්‍යා සොහොයුරියන් සය දෙනකුගේ ශක්තිය අවශ්‍යව තිබිණි. දුෂ්කරතා මධ්‍යයේ වුවද පිළිවෙත සාර්ථකව නිම වන ලද්දේ 1928 දෙසැම්බර් 23 දින එතෙක් කලක් ඇනා පීඩාවට පත් කළ නපුරු ආත්මය ඇගෙන් සඳහටම ඉවත් කරමිනි.

ඇනලිස් මයිකල්
ජර්මනියේ ක්ලින්ජස්බර්ග් ප්‍රදේශයේ විසූ දැඩි මතධාරී එමෙන්ම දැඩි ආගම් භක්තියකින් යුතු කතෝලික පවුලක දියණියක ලෙස උපන් ඇනලිස් සාමාන්‍යයෙන් ඇගේ සම වයසේ දරු දැරියන්ට වඩා චරිත ලක්ෂණ අතින් බෙහෙවින්

වෙනස් වූවාය. ඒ 1960 වකවානුව වූ අතර එවකට දාහත්වන වියේ පසු වූ ඇනලිස්ගේ සමවයසේ තරුණ තරුණියන් තාරුණ්‍යයේ නව මංපෙත් සොයා යද්දී ඇනලිස් දිනපතා දැඩි ශීතලකින් යුතු බිම නිදා ගනිමින් සිය  මවගේ පාප සඳහා වන්දි ගෙව්වාය. ඒ ඇගේ මව වූ ඇනා මයිකල් 1950 වකවානුවේදී නීත්‍යනුකූල විවාහයකින් පරිබාහිර වූ එනම් පියකු නොමැති දියණියකට උපත දීමේ පාපය වෙනුවෙනි. ඇය කිසියම් අශුද්ධ ආත්මයක බලපෑමට නතු වී ඇති බව ප්‍රකට කළ මුල්ම ලක්ෂණය වූයේ හිටිවනම පාලනය කළ නොහැකි අන්දමින් මුළු සිරුරම ගැහීමට පටන් ගැනීමයි. වෛද්‍ය නිගමනය වූයේ ඇය අපස්මාර තත්ත්වයෙන් පෙළෙන බව වුවද ඇය යාච්ඥාවන්ගේ නිරත වන කල්හි ඇයට විඳීමට සිදුවූ ශ්‍රව්‍යමයභ්‍රාන්ති (චභඤඪබධපර ඩචතතභජඪදචබඪධදඵ) වැනි ඇතැම් අස්වාභාවික තත්ත්වයන්ට ඉන් පැහැදිලි කිරීමක් නොලැබුණි. ඇයට යක්ෂ බැල්ම වැටී ඇති බවත් නිතරම ඇගේ කනට කොඳුරනු ඇයට ඇසුණු බවක් ඇය කියා සිටියාය. 1973 වන විට ඇය දරුණු විෂාද තත්ත්වයකින්ද පෙළුණාය. තම යකුන් දුරු කිරීමේ පිළිවෙතකට ලක් කරන ලෙසට ඇය ගමේ පල්ලියේ දේවගැතිවරයාගෙන් ඉල්ලා සිටියද දෙවරක්ම ඇගේ ඉල්ලීම් අවඥාවෙන් යුතුව බැහැර කොට තිබිණි.

ක්‍රමයෙන් ඇගේ තත්ත්වය වඩාත් දරුණු අතට හැරුණු අතර සුනඛයකු මෙන් බිරීමටද මකුළුවන් ආහාරයට ගැනීමටද පමණක් නොව තමාගේම මුත්‍රා පානය කිරීම වැනි ජුගුප්සාජනක ක්‍රියාවන්ටද පෙළඹුණු ඇනලීස් දිනකට හයසිය වාරයක් දණින් වැඳ වැටීම නිසා ඇගේ දණහිස ආශ්‍රිත තන්තු පටකවලට දරුණු ලෙස හානි සිදුව තිබිණි. ඇය භින්නෝන්මාදයෙන් පෙළෙන බව පැවසුවද ඇන්ලීස්ගේ පවු‍ලේ උදවිය ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්‍ෂේප කළේය. අවසානයේදී වස්බර්ග් හි රදගුරුතුමන්ගේ ඉල්ලීම යටතේ ඇයව යකුන් දුරු කිරීමකට ලක් කළ අතර එහිදී ඇයව ‘ලුසිෆර්’, ‘ජුදාස්’, ‘ඉස්කාරියොත්’, ‘නීරෝ කායින්’ හා ඇඩොල්ෆ් හිට්ලර් යන යක්ෂ ආත්මවල බලපෑමට ලක්ව ඇති බව අනාවරණය විය. නව මසක කාලයක් පුරා ඇයව යකුන් දුරු කිරීමේ සම්මත වත් පිළිවෙත් හැට හතකට ලක් කෙරුනු අතර 1976 දී ඇය මියයන ලද්දේ ස්වකීය කැමැත්තෙන්ම උපවාසයක නිරත වීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඒ සාතන්ගේ බලපෑමෙන් මිදීමටය. මරණයට වගකිව යුත්තන් ලෙස ඇගේ දෙමාපියන්ට සය වසක් බැගින් සිර දඬුවම් හිමි වුවද ඇගේ මව වාර්තා සහගත ලෙස ප්‍රකාශ කර තිබුණේ සිය දියණියට වූ විපත සම්බන්ධයෙන් තමා කනගාටු නොවන බවත් ඇය මියයන ලද්දේ නැති වූ ආත්මයන්ගේ පාපවලට වන්දි ගෙවීම සඳහා බවත්ය.
ප්‍රියන්ති රුද්‍රිගු

කුරිරු අසිරියන්වරුන්ගේ නිර්මාණ කෞශල්‍යය

අසිරියන් අධිරාජ්‍ය ඉතිහාසය වසර 300ක පමණ ඈතට දිවෙයි. වර්තමාන ඉරාකය, ඉරානය, සිරියාව, කුවේටය, රතු මුහුදෙන් බටහිර ගොඩබිම් ප්‍රදේශය දක්වා (අප්‍රිකාවේ) අසිරියන් අධිරාජ්‍ය ව්‍යාප්තව පැවතුනි. ක්‍රි.පූ. 1100 න් ආරම්භව ක්‍රි.පූ. 612 දක්වා පැවතී ඇත. ඉන්පසුව අසිරියන් අධිරාජ්‍ය බිඳ 11-1වැටෙයි. පශ්චාත් බැබිලෝනියන් අධිරාජ්‍ය බලයට එයි. එම අධිරාජ්‍යයද ක්‍රි.පූ. 539 දී අවසන් වෙයි.
ලොව පැරණි ඉතිහාසයේ ඉතාම කෲර අධිරාජ්‍යය වූයේ අසිරියන් අධිරාජ්‍යයි. ඔවුහු රණකාමී, යුද්ධයට ප්‍රිය, අරගලකාරී ජන කොට්ඨාසයක් විය. යාබද රාජ්‍යයන්, අසිරියන් අධිරාජ්‍යයට ඈඳා ගැනීමේ සටන්, සැමදා පැවතින. මේ හේතුව නිසා ඔවුන් හා සතුරු රාජ්‍යයන් බොහොමයක් විය. බලවත් යුද හමුදාවක් ඔවුන් සතුවිය. තඹ අවි ආයුධද, අශ්වාරෝහක යුද රථද ඔවුන් සතුව තිබුණි.
අසිරියන්වරුන්ගේ පළමු අධිරාජ්‍යා වූයේ ටිග්ලාත් පිලීසර්ය. (1114-1076) එවක ප්‍රකට දෙවිය කෙනෙකු වූ අෂූර්, මුළු ලොවම තම අණසකට ගැනීම සඳහා තමාට අණදී ඇතැයි ටිග්ලිත් පිලීසර් ප්‍රකාශ කර ඇත.
අසිරියන් අධිරාජ්‍යයන් අතුරෙන් බෙහෙවින් කෲර පාලකයා වූයේ  වන ඇෂුර්නසිරිපාල් අධිරාජ්‍යයාය. (ක්‍රි.පූ. 883-859) එසේ වුවද අසිරියන් අධිරාජ්‍යයින් නිර්මාණාත්මක කලාකාමීන්ය. කැටයම්, පිළිරූ චිත්‍ර ආදිය 11-2ඔවුනටම ආවේණික වූ කලා සම්ප්‍රදායක් අනුව නිර්මාණය කර ඇත. කලා නිර්මාණවල තේමාව වී ඇත්තේ යුද්ධය හා රණශූරත්වයයි.
 වන අෂුර්නසිර්පාල් අධිරාජ්‍යා සතුවූ නිම්රූඩ් රජමාලිගාවේ ස්පින්ක්ස් ආකෘතියට අනුකූලව නිමවූ “ලමාසු” නම්වූ දොරටුව අභියස වූ පිළිමය අපූරු නිර්මාණයකි. මිනිස් හිසක් හා ගව කඳක් එක්කර පාද පහකින් හිටගෙන සිටින ආකාරයෙන් අඩි 10. 2 1/2 උසට නිර්මාණය කර ඇත. එම නිර්මාණය අද දක්නට ලැබෙන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි මෙටේ‍රා‍පොලිටන් කෞතුකාගාරයේය.

ලොව ඉතා ප්‍රසිද්ධ කැටයම් නිර්මාණයක් වූ ‘සිංහ දඩයම’ ද අද අපට දක්නට ලැබෙන්නේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් කෞතුකාගාරයේය. ඇෂුර්න සිරිපාල් රජතුමා අශ්ව කරත්තයක නැගී දුනු හී තලවලින් සිංහයකු බිමහෙලන අයුරු එම කැටය මෙන් ප්‍රදර්ශනය කෙරේ. රජතුමාගේ වීරත්වය සනිටුහන් කළේ ඒ අයුරින්ය. එම කැටයම් ඵලකය 99ජථ ය 2.54ජථ ප්‍රමාණ වේ. එය අසිරියන්වරුන්ගේ කැටයම් කලා කුසලතාවය පෙන්වීමට ඇති කදිම නිදසුනකි. ඉතා අලංකාර වූ ‘සිටි ඇටෑක්’ නම් වූ කැටයම් ඵලකයෙන් තම සතුරන් පරාජය කරන ආකාරයද ප්‍රදර්ශනය කෙරේ.  වන සාර්ගන් අසිරියන් අධිරාජ්‍යයා තම පාලන මධ්‍යස්ථානය නිම්රුඩ්හි සිට ඩ්‍රර් ෂාරක්‍රින් (වර්තමාන කොහොර්ෂබාඩ්) වෙතට ගෙන ගියේය. එහි විශාල නගර හා මාලිගා සංකීර්ණයක් නිර්මාණය කළේය. මුළු ඩුර් ෂාරුකින් නගරයම බලකොටුවකින් නුවර ආරක්ෂක පවුරකින්  වට කළේය. ආරක්ෂක මුරපළවල් පවුර වටේ පිහිටුවේය. නගරය සැලසුම් කළේය. මාලිගයද රාජකීය උද්‍යාන ඇතුළු ගොඩනැගිලි සංකීර්ණයද, යුදය, රණකාමීත්වය තේමා කරගත් කැටයම් චිත්‍ර පිළිරූ ආදියෙන් කලාත්මකව, නිර්මාණශීලීව, අලංකාර කළේය. රාජ සභා මන්දිරයට පිවිසෙන දොරටුව ඉදිරියේ  සාර්ගන් රජතුමා විසින්  ඉදිකරන ලද ලමාසු පිළිරුව අඩි 14ක් (මී. 4.26) උස මිනිස් රුවක් හා ශක්තිමත් ගව පාද සහිත කඳකින් ගොඩනැගුණු මේ පිළිරුව ඉහළට විහිදුවන ලද පියාපත් යුගලයකින්ද සරසා 11-3තිබිණ. මේ පිළිරුවට, කුර සහිත ගවපාද පහක් විය. අපූර්ව කලාත්මක නිර්මාණයක්. අද එම පිළිරුව දක්නට ඇත්තේ ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේය. රජ වාසලට පිවිසෙන අමුත්තන් මෙම පිළිරුව අසලින්, පසුකර යා යුතුවිය. සිංහාසනාරූඪ  රජතුමාට පෙර ඇස ගැටෙන්නේ මේ ලාමාසු දොරටු පිළිරුවටයි. අඩි 14 උසට සිටගෙන සිටින මේ පිළිරුව  මුහුණට මුහුණලා මුණගැසෙන විට පළමුවෙන් දිස්වන්නේ ගවපාද දෙකක් සහිත රාජකීය මුහුණක් සහිත මිනිස් රුවකි. පිළිරුව පසුකර යනවිට  යනවිට දක්නට ලැබෙන්නේ ඇවිදගෙන යන ගවයෙකි. මෙම පිළිරුවේ මිනිසෙක් ගවයෙක් හා පක්ෂියෙක් ප්‍රකාශනය වෙයි. මෙබඳු පිළිරුවක රාජ සභා මන්දිරය ඉදිරිපිට නිර්මාණය කිරීමට හේතුවූයේ කුමන හේතුද ? අභිප්‍රාය වූයේ කුමක්ද ? ඉතිහාසඥයින් අදහස් දක්වන ආකාරයට අධිරාජයා බැහැදැකීමට 11-4එන අමුත්තන් කෙරෙහි රාජ සභාව තුළ ගෞරව සම්ප්‍රයුක්ත බියක් ඇතිකිරීමටත් එක් අසිරියන්වරුන්ගේ කලාත්මක නිර්මාණ කුසලතාවය ප්‍රදර්ශනය කිරීමක්ය. අධිරාජයාගේ සිංහාසනයෙන් පසුපස බිත්තිය සම්පූර්ණයෙන් සරසා තිබුණේ රජුගේ සටන් හා රණශූරත්වය ප්‍රදර්ශනය වන චිත්‍ර හා කැටයම්වලින්ය. රතු වර්ණය වැඩිපුර පාවිච්චිකර තිබුණු බවට සාක්ෂි ඇත. අසිරියන්වරුන්ගේ සටන් මානසිකත්වය මේ කලා කෘතිවලින් ඉස්මතුකර තිබෙන බව කලා විචාරකයෝ කියති. මේ අසිරියන් අධිරාජ්‍ය පරම්පරාවේ අවසාන, බලවත් අධිරාජ්‍ය වූයේ “ඇෂුර්බනිපාල් රජුය (668 - 633 ක්‍රි.පූ.) ඔහුව හඳුන්වනු ලැබුවේ කෲරත්වය හා සංස්කෘතිය මුසුකරගෙන අධිරාජ්‍යය පාලනය කළ රජතුමෙක් ලෙසය. ඔහු අධිරාජ්‍යයේ සංස්කෘතික දියුණුවට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළේය. ඔහු පුස්තකාලයක් ස්ථාපිත කළේය. ඓතිහාසික ආගමික සාහිත්‍යමය විද්‍යාත්මක හා වාණිජ්‍යමය තොරතුරු මෙම පුස්තකාලයේ එක්රැස් කර තැබුවේය. ඵලක වාර්තා සකස් කළේය. බයිපාල් රජතුමාගේ පුස්තකාලයෙන් බොහෝමයක් අද ආරක්ෂිතව තැන්පත්ව ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන්හි මහා කෞතුකාගාරයේය. මෙබඳු සංස්කෘතික කටයුතුවලින්ද චිත්‍ර, පිළිරූ හා කැටයම් නිර්මාණවලින්ද ‍පෝෂණය වූ අසිරියන් අධිරාජ්‍යය ශත වර්ෂ 5ට ආසන්න කාලයක් බලගතුව පැවතුනි. රණකාමීත්වය,වීරත්වය යුද මානසිකත්වය අසිරියන්වරුන්ගේ ෙනෙසර්ගික ගුණය මිස කලා රුචිකත්වය හා නිර්මාණ කුසලතාවයද අසිරියන්වරු සතුවිය. ඔවුන් ඊජිප්තු, මෙස‍පොතේමියත්, බැබිලෝනියන් ශිෂ්ටාචාරයන්හි ආභාෂය ලබා ඇති බවද ප්‍රකාශ වෙයි.