May 22, 2013

රත්නකම්බිලි කතා වස්තුව



රත්නකම්බිලි කතා වස්තුව

සර්ව බලධාරි දෙවි කෙනකුන් පිළිබඳ ව විශ්වාසයක් නැතත් අපටත් දෙවිවරු ඉන්නවා. අපි මේ දෙවිවරුන් ව වර්ග කරලාත් දක්වනවා. අල්පේශාක්‍ය, මහේශාක්‍ය කියලා. එහෙම නැතිනම් බූමාටු, ආකාසට්ඨ කියලා. ඔය ආකාසට්ඨ, මහේශාක්‍ය දෙවිවරුත් එක්ක අපේ වැඩි භජනයක් නෑ. අපි ඒ අය ගේ ආශීර්වාදය බලාපොරොත්තු වෙනවා. අපි ඒ අයට පිං අනුමෝදන් කරනවා.

හැබැයි බූමාටු දෙවි දේවතාවුන් සම්බන්ධ අපේ පිළිවෙත එහෙම නෙවෙයි. අපි ඒ අයත් එක්ක ගොඩක් ගනුදෙනු කරනවා. අපි පාර කපන තැනටත්, පොළොව කොටන තැනටත් ඒ අය එනවා. ඒ අය ව ඒ තැන්වලට ගෙන්වගන්න එක ඒ තරම් අමාරු වැඩකුත් නෙවෙයි. මල් පැලක් හදලා, පානක් පත්තු කරලා කන්නලව්වක් කළා ම ඇති.

මේවා ඉතින් අපි හැමෝ ම අහලා තියෙනවානේ. මේ දෙවිවරු ගැන මම අහලා තියෙන දෙයක් කියන්නම්.
1981, 1982 විතර මම අපේ තාත්තත් එක්ක නිකවැරටිය පැත්තේ දේවාලයකට යනවා. ඒක රත්නකම්බිලි දේවාලයක්. දේවාලේ කපු මහත්තයා විදිහට කටයුතු කළේ හෙට්ටිපොල මහජන බැංකුවේ නිලධාරියෙක්. මේ කපු වැඩේ නිසා ඒ මහත්තයාට සිකුරාදාට නිවාඩුවක් ලැබිලා තිබුණා. බැංකුවේ මහත්තයා දේවකාරි කළේ සිකුරාදා හවස් වරුවේ ඉඳලා ඉරිදා රෑ වෙනකම්.
රත්නකම්බිලි, කළුකම්බිලි, කළු දේවතාවා, හූනියම් දේවතාවා වගේ හුඟක් යක්කු හා දෙවිවරු මේ කපු මහත්තයාට ආවේස වෙනවා. වැඩියෙන් ම එන්නේ රත්නකම්බිලි තමයි.

මම මේ ගමන්වලට බොහොම කැමැති වුනේ ඉරිදා උදේට ආවේසයෙන් කියන කතා අහන්න පුළුවන් නිසා. උදේ 8 ඉඳලා පැයක් විතර ලොකු දේශනයක් කරනවා. බණක් කියනවා වගේ. එළිමහනේ බෝධිය ළඟ කරන පූජාවෙන් පස්සේ තමයි මේ වැඩේ පටන්ගන්නේ. ඉතින්, එහෙම වෙලාවක කියපු කතා දෙකක් පාඨක ඔබේ දැනගැනීමට කියන්නම්.

පළමු කතාව රත්නකම්බිලි ගේ උප්පත්තිය සම්බන්ධයෙන්. දෙවැන්න ඔහු මේ බැංකු මහත්තයාට කැඹිරීම සම්බන්ධයෙන්. මෙතෙන්ට කෙළින් ම අදාළ දෙවැනි කතාව. ඒ නිසා, මුලින් ම ඒ කතාව කියන්නම්. අනෙක් කතාව පස්සේ කියන්න පුළුවන්.
පෙර ආත්ම භාවයක දී රත්නකම්බිලි හා බැංකු මහත්තයා ජීවත්වෙලා තියෙන්නේ තාත්තා හා පුතා විදිහට. මේ තාත්තාට තව දරුවෝ ඉඳලා තියෙනවා. ඒත්, මේ පුතා (අපේ බැංකු මහත්තයා) තමයි තාත්තා ව බලා ගෙන ඉඳලා තියෙන්නේ. අනෙක් අයට බලන්න වෙනත් දේවල් තියෙන්න ඇති.

ඉතින් අවසාන කාලේ දී, තාත්තා බොහෝ ම අසනීපයෙන් තමයි ගත කරලා තියෙන්නේ. පුතා තමන්ට කරන්න පුළුවන් හැම ආවතේවයක් ම කරලා තියෙනවා. මේ සාත්තු සප්පායම් වෙනුවෙන් යමක් කෙළින් ම අපේක්‍ෂා නො කළත් අනේ, තාත්තා මට ම කියලා කිසි ම දෙයක් දුන්නේ නෑනේකියලා පුතාට අන්තිම කාලේ හිතිලා. ඔහු අතින් ඒක ඇඟවෙන්නත් ඇති.

ඉතින් තාත්තාට මේ කාරණේ තේරිලා. ඔහුට ඒ ගැන දුකකුත් කණගාටුවකුත් ඇති වෙලා. දුක්වෙලා තියෙන්නේ පුතාට විශේෂ යමක් දීමට නො හැකි වීම ගැන. කණගාටුවෙලා තියෙන්නේ පුතා එහෙම දෙයක් අපේක්‍ෂා කිරීම ගැන. ඉතින් මේ සිතුවිල්ල හිතේ තියාගෙන තමයි තාත්තා මිය ගිහින් තියෙන්නේ.
මේ තාත්තා රත්නකම්බිලි වුනේ ඒ ගමන් ම නෙවෙයි. ඔහු තවදුරටත් තමන් ගේ සංසාර ගමනේ යෙදිලා තියෙනවා. මෙහෙම භවයෙන් භවයට යන අතරේ ඔහු කාලෙක ජීවත්වෙලා තියෙන්නේ වෙළෙන්දෙක් විදිහට. ඔහු වෙළෙඳාම් කරලා තියෙන්නේ කම්බිලි!

දවසක් තමන් ගේ වෙළෙඳාම් ඉවර වෙලා ආපහු ගම්බිම් බලා එන අතරේ දී ඔහු පාලු ප්‍රදේශයක් හරහා ගමන් කරලා තියෙනවා. එහෙම එද්දී හොරු කණ්ඩායමක් ඔහු ව වටකරලා පහරදීලා සියලු ම වස්තුව කොල්ලකාලා. හොරුන් ගේ පහරකෑම නිසා වෙළෙන්දා මියගියා. ඔහු මැරුණේ මිනිස්  වර්ගයා ගැන වෛරයකින්. මහත් කෝපයකින්. පලිගැනීමේ චේතනාවෙන්.
ප්‍රතිඵලය තමයි රත්නකම්බිලි යක්‍ෂයා ගේ බිහිවීම.
ඉතින් මිනිසුන් මරාගෙන කන, ලේ බොන මහ භයානක යකෙක් උපන්නා. පස්සේ කාලෙක කඩවර එක්ක හවුලේ මේ වැඩේ කරගෙන ගියා. දෙන්නා ම ලංකාවට ආවා. ලංකාවේ දී පවා ඒ මිනී මැරිල්ල නැවැත්තුවේ නෑ.

ඒත් ලංකාවේ දෙවිවරු මේ වැඩේට ඉඩ දීලා බලාගෙන ඉන්න සූදානම් වුනේ නෑ. මේ මිනීමරුවන් ව මට්ටු කරන වැඩේ කතරගම දෙවියන්ට පැවරුනා. උන්නාන්සේ මේ යක්කු දෙන්න මේච්චල් කරගත්තා. කඩවර සහ රත්නකම්බිලි දෙදෙනා කතරගම දෙවියන් ගේ සේවයට එක්වුනා.
මේ දෙන්නටත් පස්සේ කාලෙක මිනිසුන්ට වැඩකරලා දීමේ ඉඩකඩ (අවසරය)හිමිවුනා.

අපි දන්නවා මේ වැඩ කරලා දෙන විදිහ. තමන් විසින් ගෙවිය යුතු ණයකට අනුව කඹුරන්න ඕන කාට ද කියලා මේ අය හොයලා බලනවා. ඉතින් මේ විදිහට හොයලා බලන කම්බිලි දෙවියන්ට (මිනී මරන්නා යකෙක්. මිනිසුන්ට යහපත සලසන්නා දෙවියෙක්. කම්බිලි යකා දෙවියකු බවට පත්වෙලා.) ඒ සඳහා කෙනකු හමුවුනා. ඒ තමයි පෙර අත් බවයක දී තමන් ගේ පුතා විදිහට ඉඳිමින් තමන්ට සාත්තු සප්පායම් කළ පුද්ගලයා. ඒ කියන්නේ අපේ බැංකු මහත්තයා.

තාත්තා දෙවියෙක් වෙලා පුතාට ණය ගෙවනවා. ඔහු තම පුතාට කඹුරනවා. ඒ සඳහා පුතාට ආවේස වෙනවා. මේක පුතාට වදයක්. ඔහු තම පුතාට එක විදිහකින් වද දෙනවා. ඒ, ඔහු (පුතා) තුළ වූ නොමනා සිතුවිල්ලට එරෙහි ව. පුතා තමන්ට සාත්තු සප්පායම් කළේ විශේෂ යමක් බලාපොරොත්තුවෙන්. ඒක පාප සිතුවිල්ලක්. ඒ නිසා, එයට දඬුවම් ලැබිය යුතු යි.

ඒත්, ඇත්තට ම පුතාට යහපතක් කරන්න තිබුණා නම් හොඳයි. පුතා කළ සේවයට ප්‍රති උපකාරයක් කරන්න තිබුණා නම් හොඳයි. තමන්ට ඒ වෙලාවේ ඒ දේ කරන්න බැරි වුනා. දැන් තමන් යමක් කළ හැකි කෙනෙක්. දෙවියෙක්. ඉතින් දැන් තමන්ට පුළුවන් තමන් ගේ ණය කාරයාට කඹුරන්න. එහෙම කරලා තම පුතාට යමක් කමක් හොයලා දෙන්න. කම්බිලි දෙවියන් ගේ පිහිට පතාගෙන එන මිනිස්සු ඒ වෙනුවෙන් පඬුරු පාක්කුඩම් පුදනවා. දෙවියන් ගේ පංගුව අතහැරලා කපු මහත්තයාට පුළුවන් ඉතිරි හරිය තමන් ගේ ප්‍රයෝජනයට ගන්න. සාමාන්‍යයෙන් අය කළේ රුපියල් 10 යි සත 10 යි. සත 10 දෙවියන්ට. රුපියල් 10 කපු මහත්තයාට!

සටහනඃ
ඉහත දැක්වූ රත්නකම්බිලි කතාව  ශ්‍රී ලංකා මහබැංකුවේ  සේවය කරන  මා හොඳින් දන්නා හඳුනන  හිතවත් මිත්‍රයකුගේ පෞද්ගලික අත්දැකීමකි.  එතුමා සිය වටිනා කාල වේලාව කැප කරමින් ලියා එවන ලද එම  කතාව කියවීමෙන්  අපට ලබා ගතහැකි වැදගත් ආදර්ශ කිහිපයක්ම ඇත. මේ කතාවෙන් මා හට  තහවුරු  වූ සුවිශේෂම ම කාරණය වන්නේ මව්පියන්ට සැලකීම වැනි අපගෙන් පවුලේ අයටත්, තවද සමාජයටත්  විය යුතු යුතුකම්කොටස  පැහැර නොහැර ඉෂ්ඨ කිරීම ඉතාමත් වැදගත් දෙයක් බවයි.  එසේ යුතු කම් ඉෂ්ඨ කිරීමේ හෝ නොකිරීමේ ඵල විපාකයන් ආත්ම ගණනක් ඈතට සංසාරය පුරා ඇදී යන බවට මේ කතාව ඉතා හොඳ උදාහරණයකි. තවද දෙමව්පින්ට සැලකීම වැනි දේ හුදු දේපල වැනි දේ  අපේක්ෂාවෙන්(තණ්හාවෙකින් යුක්තව) නොකල යුතු බව ද මේ කතාවෙන් ගත හැකි තවත් ආදර්ශයකි. යුතුකම් ඉෂ්ඨ නොකිරීමක්යනු  අප ගෙවිය යුතු ණයක්(මූල්‍යමය ණයක් නොවේ) නොගෙවා පැහැර හැරීමක් බව අපගේ වැටහීමයි. එවැනි ණය සංසාරය පුරා  ඉදිරියට ඇදී යමින්විවිධ අකුශල ඵල විපාක  ලබා  දීමටද ඉඩ තිබේ.

බුදුරජාණන්වහන්සේ සිඟාල ගෘහපතියාට දේශනා කළ සිඟාලෝවාද සූත්‍රය  ඇසුරින් අපගෙන් අන්‍යයන්ට ඉටුවිය යුතු යුතුකම් සහ ඒවා ඉෂ්ඨ කළ යුතු ආකරය ගැන අවබෝධයක් ලබාගත හැක.  ගෞතම බුදුරජාණන්වහන්සේගේ සම්මාසම්බුද්ධත්වයෙන් වසර 2600ක් පිරෙන මේ සම්මා සම්බුද්ධත්ව ජයන්තියේදීත් එයින් ඉදිරියටත්, අපි බුදුදහමෙන් අපට ඉගැන්වෙන පරිදි  යුතුකම් ඉෂ්ඨකිරීමේ වැදගත්කම අවබෝධකරගෙන ඒ අනුව කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගනිමු.

තෙරුවන් සරණයි !
ඉන්දික  ප්‍රසාද් කුමාර [MBA, CCIE#18807] (idipkumara@gmail.com)

0 comments:

Post a Comment