Sep 10, 2013

කපුකෙටූගල ගුහාවේ කෙළවරේ අභිරහස් උමං පද්ධතියක්

කපුකෙටූ ගල මත ඇති ගුහාව පිළිබඳ කිසිදු මුඛ පරම්පරාගත කියමනක් සොයාගත නොහැකි යැයි හේරත් බණ්ඩාරගේ බෑනා වන අධිකාරි පවසා සිටියේ ගුහා කටෙන් මම අවට පරිසරය විඳිමින් සිටින අතරවාරයේය. ගුහා කට පරිසරය දෙස බලා සිටින විශාල මත්ස්‍යයකු වැන්න. එහි ඇති සුවිශේෂීභාවය වන්නේ ගුහා කටෙන් අවකාශයට පිවිසෙන්නෙත් ගම අවට කඳු පන්ති කිසිදු බාධාවක් නොකිරීමය. යම් අයකු එලෙස පිවිසුණා යැයි උපකල්පනය කළහොත් ඔහුට ඇස් මානයේ අනන්තය කරා වුව යා හැකිය. ස්වාභාවික බාධා කිරීම් කිසිවක් නොමැති මේ ගුහා කට වසාගෙන සිටින්නේ කිනම් යුගයක, කුමන තාක්‍ෂණයක්ද යන්න විස¼දාගත යුත්තකි.


ගුහාවේ අභ්‍යන්තරය කරා හොඳින් ඉර එළිය පැමිණේ. මතුපිට බිත්තිය මැටිවලින් කපරාරු කළ බවට සාක්‍ෂි තවමත් එහි වේ. හේරත් බණ්ඩා සිටින්නේ සෙවිල්ලේය. ඔහු කළු කුමාර වී සොයා ගත්තේද ඒ සෙවිල්ලේ ප්‍රතිඵලයක් ලෙසටය. (කළු කුමාර වී සොයා ගැනීම පිළිබඳ විශේෂාංග ලිපියක් "පාර දිගේ" අතිරේකයේ පළවිණි) තරුණ පිරිස් පැමිණ රාත්‍රි කිහිපයක් ගුහාවේ පහන් කර ඇති බවට සාක්‍ෂිද බොහෝ වේ. ඒවා අතරින් හේරත් බණ්ඩාගේ සියුම් ඉසිඹු ගවේෂණයේ ප්‍රතිඵලයක් හැටියට සොයා ගැනීමට ලැබුණේ වී ප්‍රභේදයකි. කුරුට්ට පමණක් යැයි අප උපකල්පනය කළද එම වී මදය සහිත යැයි ප්‍රථමව කීවේ අධිකාරිය. පුදුමය නම් දිගු කාලයක් වී සංරක්‍ෂණය වී තිබීමය. ගුහාවට වී පැමිණියේ කෙසේද යන්න විවාදයට තුඩුදිණි. හේරත් බණ්ඩා පවසා සිටියේ කුරුල්ලන් වී ගෙන එන්න ඇතැයි සිතිය නොහැක්කේ මෙතරම් වී ප්‍රමාණයක් රැගෙන ඒම සිදුවී නම් එය අද දවස වන විටත් දීර්ඝකාලීනව සිදුවිය යුත්තක් යන තර්කය සමඟය. මම ඉදිරිපත් කළේ මෙවැනි අදහසකි.


බිත්ති කපරාරුව සඳහා පැරැන්නන්් බදාම සකසා ගැනීම සඳහා ධාන්‍ය පොතු යොදා ගත්තා විය නොහැකිද යන්නය. එයට පිළිතුරු නොලැබුණත් හේරත් බණ්ඩා ඇසුවේ එසේ නම් වී පැවැතිය යුත්තේ තවදුරටත් "පොතු" වශයෙන් බවය. එයද පිළිගත යුත්තකි. තර්ක විතර්ක සහ මත දැක්වීම් මධ්‍යයේ හේරත් බණ්ඩා ගුහාවේ ඇති වී එක්කාසු කිරීම ඇරැඹුවේ තවත් අතීතයේ තිබූ වී ප්‍රභේදයකට ජීවය දීමට හැකි පිනක් තමන්ට ලැබේවා යන සිතිවිල්ලෙන් බණ්ඩාර දෙයියන්ට කන්නලව් කරන ගමන්ය.


ලියුම්කරු රැගෙන එනු සිතා වී ස්වල්පයක් කාල නිර්ණය කරගැනීම සඳහා අප පුවත්පතේ පුරාවිද්‍යා විෂය පිළිබඳ නැඹුරුවක් ඇති සඳරැසි සුදුසිංහ සහෝදරියට ලබාදුන් අතර ඇය ඒ සඳහා ගත් උත්සාහයන් ව්‍යර්ථ වූයේ එවැනි පරීක්‍ෂණයක් සඳහා විශාල මුදලක් වැයවෙනවා යැයි බලධාරීන් පවසා සිටි නිසාය. අතීත උරුමය මුදල් මත පදනම් වන සැටි!


ඒ අතරතුර අපි ගුහා බිත්ති නිරීක්‍ෂණය කළෙමු. ගුහා බිත්ති ඝනව කපරාරු කර ඇති බව බැලූ බැල්මට පෙනේ. බිත්තිය පමණක් නොව අප පය ගසා සිටින බිම් කඩද පස් පුරවා සකසා ඇතැයි තේරුම්ගත හැකි වුණේ මුදුන් මුලක් ඇති ශාක කීපයක් ඒ මත මුල් යවා හිරු එළිය සොයා ගුහා කටෙන් පිටතට ශාක පත්‍ර යවා තිබූ නිසාය. ගුහාවේ කෙළවර පැහැදිලි නොවුණත් කෙළවර සිට අෑතට ඇදී යන උමං කටවල් කීපයක් පැහැදිලිවම පෙනෙන්නට තිබූ අතර ඒවා කපු කෙටූ ගල මත ඇති තවත් ගුහාවක් කරා හෝ උමං මාර්ගයක් කරා යොමු වූ ඒවා විය හැකි යැයි හේරත් බණ්ඩා පවසා සිටියේය.


"මහත්තයා දන්නවද අපි මේ ජීවත් වෙන පරිසරය කියන්නේ මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ සුදුසු පරිසරයක් නෙවෙයි කියලා? ඒක හරියට දැනගෙන හිටපු උත්තමයා තමයි බණ්ඩාර දෙයියෝ. ඒ කියන්නේ රාවණා රජතුමා. බුදු දහමට අනුව ලෝකයේ ජීවය කියල දෙයක් පහළ වුණේ ඍතුව එළැඹීම එක්ක. ඍතුව කියල කියන්නේ උෂ්ණය සහ තෙත කියන එක. ජෛව විවිධත්වය කියල කියන්නේ ඒ කියන උෂ්ණය හරි තෙත හරි කොයි තරම් හොඳ අතට පිහිටල තියෙනවද කියන එක. ඒ සාධක දෙක එකට ගැළපිලා අවුරුද්ද පුරා එකට පවතිනවා නම් ඒ රටවල් තමයි ජෛව විවිධත්වය වැඩිම රටවල්. ලංකාවෙ දැන් අපි මේ ඉන්නා රිවස්ටන් කඳු පන්තිය ජෛව විවිධත්වය අතින් ගොඩක් ඉහළ තැනක්. ඒත් එක්ක තියෙන වැදගත්ම දේ තමයි ජෛව විවිධත්වයෙන් ඉහළ රටවල් මනුෂ්‍ය වාසයට නොගැළපෙනවා කියන එක. ඒකට හේතුව තමයි ජෛව විවිධත්වය තුරුලතාවලට සත්තුන්ට හිතකර විදියට ගළපලා ඒවායේ වර්ධන වේගය ඉක්මන් කරන එක. දැන් ලංකාවේ ඒ වගේ ස්ථාන එළිපෙහෙළි කළාම මොකද වුණේ කියල පේනවනේ. උදාහරණයකට රිවස්ටන් ගමු. කළුකන්ද පැත්ත එනසාල් වවන්න එළි කළා. අද ඒ හින්ද වර්ෂා රටාව පවා වෙනස් වෙලා. කොංගෝව, ඇමසන් වනාන්තර එළිපෙහෙළි කිරීම්වලින් ඔරොත්තු නොදෙන ප්‍රතිඵල අත්වෙලා තියෙනවා. යුරෝපාකාරයෝ ලංකාවට එද්දි අවශ්‍ය ප්‍රමාණයට වඩා 6 ගුණයක් වර්ෂා ජලය අපට ලැබුණා මෝසම් සුළං දෙකෙන්. ඒ කියන්නේ වඩා බලවත් නිරිතදිග මෝසමත් එක්ක තමයි ජලය අපට ලැබෙන්නේ. ඒකට හේතුව ලංකාවට දකුණින් දූපත් හරි ලොකු රටවල් හරි නැති එක. මේ තත්ත්වය තේරුම් ගත්ත පාලකයා තමයි රාවණා රජතුමා. එතුමා කඳු මුදුන්වල පදිංචි වුණේ. උමං මාර්ග ප්‍රවාහනයට යොදා ගත්තේ නුසුදුසු බිමක සුදුසු විදියට ජීවත් වෙන්න ඕනෑ හින්දා."


ප්‍රභාත් අත්තනායක