
ඉරානය ඔබාමා ඉදිරියේ ඇති තවත් අභියෝගයක් වේ. ඇමෙරිකානු ප්‍රතිපත්තීන් බොහොමයක් ඉරාන අභියෝගයට ලක්ව තිබේ. ඇෆ්ගනිස්ථානය සමග ඇමෙරිකාවේ සම්බන්ධය, ඉරාකයේ ස්ථාවරත්වය, ඊශ්‍රායල - පලස්තීන අර්බුදයට විසඳුමක් සෙවීම, ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීම ඒ අතර වේ. මේ නෝක්කාඩුකම් මැද ඇමෙරිකාව කියන්නේ ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමේ උත්සාහයක නිරත බවයි. තම න්‍යෂ්ටික ක්‍රියාවලිය සාමකාමී අරමුණක් උදෙසා සිදු කරන්නක් බව ඉරානය කියයි. ඉරානයට එරෙහි මේ න්‍යෂ්ටික අවි චෝදනාව ගැන බටහිර රටවල් උසි ගන්වන්නේ ඇමෙරිකාවයි. මේ තත්ත්වය මැද දැන් දෙරට අතර සීතල යුද්ධයක් පවතී. කෙසේ වුවද ඉරාන න්‍යෂ්ටික ක්‍රියාවලිය සම්බන්ධයෙන් අත පොවද්දී හමුදා මැදිහත්වීම් සිදු නොකිරීමට ඇමෙරිකාව වග බලා ගත යුතුය. ඒ එවන් දෙයක් සිදු වුවහොත් ඉරානයද නිකම් නොසිටින බැවිනි. කලාපීය යුද්ධයක් කරා යාම එහි අවසන් ප්‍රතිඵලය විය හැක.
ඔබාමා හමුවේ ඇති තවත් අභියෝගයක් වන්නේ ඔහුගේ නව සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලිය සඳහා වැයවන මුදල දරා ගැනීමයි. වයස අවුරුදු හැටපහට වැඩි හා ආබාධිත ඇමෙරිකානු වැසියන් උදෙසා වන මෙම සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහන වෙනුවෙන් විශාල මුදලක් වැය වීම එය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බාධකයක් වන සෙයක් පෙනේ. එම තත්ත්වයට රජය කෙසේනම් මුහුණ දෙයිද ?
කොංග්‍රසය සමග ඉදිරි සිවු වසර තුළ වැඩ කරගෙන යාමද ඔබාමාට අභියෝගයකි. මහජන මන්ත්‍රී මණ්ඩලයේ පාලනය රිපබ්ලිකන් පාක්ෂිකයන් යටතේ පවතිද්දී සෙනෙට් සභාවේ සුළු පාලන බලයක් පමණක් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් යටතට ඒම ඔබාමා අපහසුවට පත්කරන්නක් වනු ඇත. බොහෝවිට පනත් කෙටුම්පත් අනුමත කර ගැනීමේදී එය ගැටලුවක් වේ. මේ නිසා ඔබාමාගේ මුල් වසර හතරට වඩා දෙවන වසර හතර තුළ කොංග්‍රසය සමග වැඩ කිරීම තරමක මතභේදකාරී බවක් ගෙන දෙන්නක් විය හැක.
ආර්ථිකය නගා සිටුවීම, ඇමෙරිකානු නිෂ්පාදන වැඩිදියුණු කිරීම, බල ශක්තිය නිපදවීම, කුඩා ව්‍යාපාර නගා සිටුවීම, මධ්‍යම පාන්තික රැකියා සඳහා අධ්‍යාපනය දියුණු කිරීම, රැකියා ඇති කිරීම, විශ්‍රාමික ආරක්ෂණය සුරැකීම හා ඇමෙරිකාව ඉදිරියට ගෙන ඒම ඔබාමාගේ නව සැලසුම් අතර වේ. ඔහුගේ මේ නව න්‍යාය පත්‍රය ඇමෙරිකාව වඩා යහපත් දේශයක් බවට පත් කරයිද ? ඔබාමාගේ සිවු වසරක පාලනය ගැන ඇමෙරිකානුවන්ට පමණක් නොව මුළු ලෝකයාටම අත්දැකීම් තිබේ. ඇතමෙක් ඒ ගැන පැහැදීමෙන් කතා කරද්දී ඇතමෙක් තුළ කිසිදු පැහැදීමක් නොවේ. කෙසේ වුවද ලෝකෙට ලොක්කාගේ තවත් සිවු වසරක පාලනය ඔබාමාට භාරවී තිබේ. ඒ කාලය තුළ ඔහු සිය රටට කොතරම් සාධාරණයක් ඉටු කරයිද යන්න අපි බලා හිදිමු.