May 17, 2013

සූර්‍ය්‍යොපක්ලෙශ ප්‍රශ්ණය සහ අපේ දැනුම (මිළින්ද ප්‍රශ්ණය ඇසුරෙන්…)



සූර්‍ය්‍යොපක්ලෙශ ප්‍රශ්ණය සහ අපේ දැනුම (මිළින්ද ප්‍රශ්ණය ඇසුරෙන්…)මෙම ලිපිය ගෞතම බුදුරජාණන්වහන්සේ සම්මා බුද්ධත්වයට පත්වීමෙන් 2600 වසරක් පිරෙන සම්මා සම්මාසම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ පොසොන් පොහොය නිමිති කොටගෙන අවිද්‍යාවෙන් තොර විද්‍යාවක් පතන පාඨකයන් උදෙසා ලියන ලද්දකි.

බුද්ධ කාලයට සියවස් කිහිපයකට පසුව දඹදිවදී සිදු වූ ලෙස සැලකෙන නාගසේන හිමි(රහතන්වහන්සේ) සහ මිළිඳු රජු අතර ඇති වූ සංවාදය මිළින්ඳ ප්‍රශ්ණය නමින් ග්‍රන්ථයක් ලෙස රචනා වී ඇත. එහි සඳහන් වන මිළිඳු රජ හෙවත් මිතෙන්ඩර්(Menander) රජු මෙකලදී වයඹදිග ඉන්දියාව යනුවෙන් හඳුන්වනු ලබන භූමිය පාලනය කරන ලද ග්‍රීක සම්භවයක් සහිත රජකෙනෙක් බව සඳහන් වේ. එම රජතුමාගේ නම සඳහන් පැරණි කාසිද ඉන්දියාවෙන් හමු වී ඇත. එම කාසිවල එක් පැත්තක රජුගේ රූප සටහනක් ද ග්‍රීක භාෂා වාක්‍යයක්ද අනෙක් පැත්තේ රජුගේ නම සඳහන් උදාන වාක්‍යක්ද දැක්වේ. එවා අතරින් එක් කාසියක ධර්ම චක්‍රයද දැක්වේ.  මුල් අවධියේදී බුදු සසුන කෙරෙහි ශ්‍රද්ධාවක් නොතිබූ මිළිඳු රජතුමා, නාගසේන නම් වූ මහ රහතන්වහන්සේ නමක් හමු වී තමන් නොදත් සහ නොයෙකුත් සැක තැන් අරභයා විවිධ අකාරයෙන් තර්කාණුකුලව ප්‍රශ්ණ නඟමින් සහ ඒවාට පිළිතුරු ලබාගෙන ඇත. පසුව මිළිඳුන රජතුමාණෝ ඒ අනුව ක්‍රමයෙන් බුදු සසුනෙහි පැහැදී රජකම අතහැර නාගසේන රහතන්වහන්සේ ළඟ මහණ දම් පුරා අවසානයේ රහත් භාවය ලබා පිරිනිවන් පෑහ. මුලදී ශ්‍රද්ධාවක් නොතිබූ අයකු වූ බැවින් රජතුමා අසන ලද ප්‍රශ්ණ බුදුදහම විවේචනය කිරීම සඳහා ඔහු විසින් විමසූ ප්‍රශ්ණ සමූහයක් බවට අපට මිළින්ද ප්‍රශ්ණය කියවීමෙන් පහසුවෙන් හඳුනාගත හැක. මෙහිදී බොහෝ තාර්කික ප්‍රශ්ණ රජතුමාගෙන් යොමුවන අතර සෑම ප්‍රශ්ණයකටම පාහේ නාගසේන රහතන්වහන්සේගෙන් ලැබෙන පිළිතුරු හමුවේ හරස් ප්‍රශ්ණ පවා යොමුකරන මිළිඳු රජතුමා අවසානයේදී තර්කයෙන් තමන් පරාජය වූ බව නිහතමානීව පිළිගෙන සාධුකර දෙයි. එම මිළිඳු නාගසේන දෙදෙනාගේ තාර්කික සංවාදය අන්තර්ගත වූ මිළින්ද ප්‍රශ්නය, පරවාද මථනය හෙවත් අන්‍ය ආගමිකයන් විසින් බුදුදහම පිළිබඳ නගන ඇතැම් ප්‍රශ්ණවලට පිළිතුරු දීම සඳහා භාවිත කළ හැකි ග්‍රන්ථයකි.

මිළින්ද ප්‍රශ්ණයේ සඳහන් වන එක්තරා ප්‍රශ්ණයක් වන සූර්‍ය්‍යොපක්ලෙශ ප්‍රශ්ණයට නාගසේන හිමියන් විසින් ලබා දුන් පිළිතුර එකලට මෙන්ම මෙකලටදවිශේෂයෙන්ම විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වනන්ට වැඩි දුරටත් කරුණු සිතා බැලීමට මඟ පෑදීමක් ලෙස අපට හැඟේ. එම ප්‍රශ්ණය සහ පිළිතුර(මුල් කොටස පමණක්) මෙසේය

මිළිඳු රජුගේ ප්‍රශ්ණය- ස්වාමීනි නාගසේනයන් වහන්ස, මේ සූර්්‍යදිව්‍යරාජ තෙම සර්වකාලයෙහිම තදව දිලියේද? නොහොත් මඳව දිලියේද?
නාගසේන හිමි – – මහරජාණෙනි, සූර්්‍යදිව්‍යරාජ තෙම සර්වකාලයෙහි ම ක්‍රෑරව දිලියෙන්නේය. මඳක් කල්වත් මඳව නො දිලියෙන්නේය.
මේ ආදි වශයෙන් තවදුරටත් දීර්ඝව සූර්‍ය්‍යොපක්ලෙශ ප්‍රශ්ණය සඳහා පිළිතුරු ලබාදීමේදී නාගසේන හිමියන් විසින් සූර්‍ය සහ චන්ද්‍ර ගමන, වර්ෂා සෘතු විපර්යාස, පෘථිවියේ මහද්වීප අතර දෛනික කාල වෙනස්කම් ආදියද මනාව පැහැදිලි කරනු ලැබේ. එම පිළිතුරෙ සඳහන්ව ඇති පෘථිවියේ වේලා කලාප(Time Zones) ගැන විස්තරය මෙසේ දැක්විය හැක.
සූර්්‍යදිව්‍යපුත්‍ර තෙම එක පහරින් තුන්දිවයිනක ඝන අන්ධකාරය විධමනය කෙරමින් බබලන්නේය, මේ දඹදිවට යම් කලෙක හිරු උදා වේ නම් එකල පූර්වවිදෙහයට හිරු මුදුන් වූ මධ්‍යාහ්න කාලය වන්නේය, උතුරුකුරු දිවයිනට හිරු අසංගත වන්නේය, අපරගොයානට අර්ධරාත්‍රිය වන්නේය. යම්කලෙක අපරගොයානට හිරු ළදා වේ නම් එකල මේ ජම්බුද්වීපයට හිරු මුදුන් වූ මධ්‍යහ්න කාලය වන්නේය, පූර්වවිදෙහයට හිරු අසංගත වන්නේය, උතුරුකුරු දිවයිනට අර්ධරාත්‍රිය වන්නේය.

මෙම පිළිතුරේදී නාගසේන හිමියන් ද්වීප(මහද්වීප) හතරක් ගැන සඳහන් කරති. ඒවා නම් දඹදිව, පූර්වවිදේහය, අපරගොයාන, උතුරුකුරු දිවයිනයි. එහිදී උන්වහන්සේ ඒ ඒ මහද්වීපයට හිරු උදා වීම, බැසීම(අසංගත වීම), මුදුන් වීම සහ මධ්‍යම රාත්‍රිය ආදි වශයෙන් වන විට සෙසු මහද්වීප වලට හිරු සාපේක්ෂව කෙසේ පවතිනේද යන්න දේශනා කරන ලද සේක. එනම් නාගසේන හිමියන්ට එකලදී පෘථිවියේ  වේලා කලාප(Time Zones) ගැන දැනුමක් තිබී ඇති බව පැහැදිලිය. පෘථිවියේ වේලා කලාප ගැන දැන ගැනීමට නම් සමස්ත පෘථිවියේම වේලා වෙනස(සූර්්‍යායා උදාවීමේ වෙනස) ගැන එක මොහොතකදී නිරීක්ෂණය කිරීමට කිරීමට හැකියාව තිබිය යුතුය. එසේ නොමැතිව හුදු නාවුක ගමන් වලින් පමණක් වේලා කලාප ගැන කීමට නොහැක.

වසර දෙදහසකට පමණ පෙර විසූ නාගසේන හිමියන් පෘථිවියේ වේලා කලාප ගැන දැනගත්තේ කෙසේද? එසේත් නැත්නම් මිළින්ද ප්‍රශ්ණය සම්පාදනය කරන ලද මුල් කතෘ අදාල කාරණය බටහිර විද්‍යාඥයන්ට පෙර දැනගත්තේ කෙසේද?
කෙසේ වුවත් අපට සඳහන් කල හැක්කේ බටහිර විද්‍යාඥයන් පෘථිවියේ වේලා කලාප ගැන දැනගැනීමට බොහෝ කලකට පෙර දඹදිව(මෙරටද දඹදිව නම් කලාපයට අයත් බව අපගේ අදහසයි)  වැසියන් ඒ ගැන දැනගෙන තිබූ බවයි. දඹදිවට හිරු උදාවන අවස්ථාවක පූර්වවිදේහයට හිරු මුදුන් වූ මධ්‍යහ්න කාලය බවද, උතුරුකුරු දිවයිනට හිරු බසිනා කාලය වන බවද, අපරගොයානට මධ්‍යම රාත්‍රිය බවද නාගසේන හිමියෝ වදාලහ. තවද අපගේ වර්තමාන දැනුමට අනුවද මෙම කාරණය ගලපා බැලිය හැක. දඹදිව යනු වර්්තමාන ඉන්දියානු අර්ධද්විපය ආශ්‍රිත කලාපය නම්, මෙහිදී පෘථිවිය පැය හයකට ආසන්න වූ වේලා කලාප වලට බෙදුවහොත් පූර්වවිදෙහය වර්තමාන ඔස්ට්‍රේලියානු මහද්වීපය ආශ්‍රිත අක්ෂාංශ පරාසයක පිහිටි ප්‍රදේශයක් බවටත්, උතුරුකුරු දිවයින ඇමරිකානු මහද්වීපට අදාල අක්ෂාංශ පරාසයක පිහිටි ප්‍රදේශයක් බවටත්, අපරගොයාන යුරෝපය හෝ අප්‍රිකානු මහද්වීපය ආශ්‍රිත වූ අක්ෂාංශ පරාසයක පිහිටීමක් විය හැකි බවටත් අපට වර්තමාන දැනුමට අනුව අනුමාන කල හැක.

තවද සූර්‍ය්‍යොපක්ලෙශ ප්‍රශ්ණයට නාගසේන හිමියන් දුන් පිළිතුරේ තවත් තැනක මෙසේ සඳහන් වේ. මහාමේරු පර්වතය වටා පිහිටියා වූ යුගන්ධර පර්වතය භුමිය පටන් දෙසාලිස් දහසක් යොදුන් උස ඇත්තේය. යුගන්ධර පර්වතය පටන් සක්වළගල දක්වා මෙරට හාත්පසින් චාතුර්මහාරාජිකය පිහිටියේය. එහි අනන්ත වූ උද්‍යාන විමාන කල්ප වෘක්ෂාදියෙන් සැදුම් ලත් අජ වීථිය නාග වීථිය ගොවීථිය යයි යන වීථිත්‍රයෙහි සප්තවිංශති නක්ෂත්‍ර තාරකාවන් පිරිවරා චන්ද්‍ර සූර්්‍ය දෙදෙන නිති හැසිරෙති.  සූර්්‍යදිව්‍යපුත්‍ර තෙම චන්ද්‍රවිමානයට යොදුනක් මත්තෙන් යනුයේ ක්‍රමයෙන් සරස ගමන් වඩ වඩා ඇසළ මස පටන් සමසක් මහමෙර පටන් චක්‍රාවාට පර්වතය සමීපයට යන්නේය. පුසේනැකත ලත් දුරුතු මාසේ පටන් සමාසයක් චක්‍රාවාට පර්වත සමීපය පටන් මහමෙරු පර්වතය සමීපයට යන්නේය. 

පුසේනැකත ලත් දුරුතු මාසේ පටන් සමාසයක් චක්‍රාවාට පර්වත සමීපය පටන් මහමෙරු පර්වතය සමීපයට යන්නේය. චන්ද්‍ර සූර්්‍ය දෙදෙන අජවීථියේ ගමන් යන කල මිනිස් ලොවට වැසි නො වස්නේය. නාගවීථියෙහි ගමන් යන කල වැසි බොහෝ වස්නේය. සෘතු සම ව පවත්නේ ය. ගොවීථියෙහි යන කල වැසි මධ්‍යමාකාරයෙන් වස්නේය. සෘතු සම ව පවත්නේ ය.

මෙහිදී නාගසේන හිමියෝ, වර්ෂාව ඇති වීමත් සමඟ චන්ද්‍රයාගේ සහ සූර්්‍යයාගේ ගමන් අතර ඇති සම්බන්ධය පැහැදිලි කරනු ලබති. උන්වහන්සේගේ පැහැදිලි කිරීම දඹදිව් තලයේ (පෘථිවියේ) පිහිටි මහමෙරු පර්වතය සහ යුගන්ධර පර්වතයෙන් පටන්ගෙන චාතුර්මහාරාජික දිව්‍යලෝකය ගැනද සඳහන් කරමින් කරන ලද විග්‍රහයකි. මෙය බටහිර විද්‍යා ඉතිහාසයයේ 16වන සියවසේ පමණ නිකලස් කොපර්නිකස් නම් බටහිර ගණිතඥයා විසින් ඉදිරිපත් කරන ලද 

සූර්්‍යකේන්ද්‍රවාදයකට සමාන වූ විග්‍රහයක් නම් නොවේ. සූර්්‍යකේන්ද්‍රවාදය භාවිතයේදී අප ජීවත්වන පෘථිවිය වටා හිරු, සඳු ඇතුඵ වෙනත් ග්‍රහවස්තු චලනය වීම දක්වනු වෙනුවට, අභ්‍යවකාශයේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි ලක්ෂයක සිට නිරීක්ෂණය කරන විටක සූර්්‍යයා කේන්ද්‍රකරගනිමින් එය වටා පෘථිවිය  ඇතුඵ වෙනත් ග්‍රහලෝක චලනය වන ආකාරය දැක්වේ.  එනමුත් නාගසේන හිමියන්ගේ සූර්්‍යයාගේ සහ චන්ද්‍රයාගේ ගමන පිළිබඳ විග්‍රහය දඹදිව(පෘථිවියේ) පිහිටි මහමේරු පර්වතය පදනම් කරගෙන කරන ලද්දකි. එම විග්‍රහය උන්වහන්සේ වැඩ විසූ ප්‍රදේශයේ(දඹදිව) පිහිටි මහා පර්වතයක් ඇසූරු කොටගෙන හෙවත් එම ප්‍රදේශයේ ජනයා දන්නා ස්ථානකට සාපේක්ෂව කරන ලද විග්‍රහයකි. තවද නාගසේන හිමියන් විසින් වදාල චාතුර්මහාරාජිකය, අජ විථීය, නාග වීථිය සහ ගොවීථිය ආදිය නම් බටහිර විද්‍යාඥයන්ට තවමත් ගෝචර වී නොමැත. බෞද්ධ විග්‍රහයට අනුව චාතුර්මහාරාජිකය දිව්‍යලෝක සයෙන් අපට(මනුෂ්‍යලෝකයට) වඩාත් ආසන්නම දිව්‍යලෝකයයි. චාතුර්මහාරාජිකයට අමතරව අනුපිළිවෙලින් තව්තිසාව, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවර්තිය යන දිව්‍යලෝක පිහිටා ඇත. මෙම දිව්‍යලෝක බටහිර විද්‍යාවට ගෝචර නොවීම බටහිර විද්‍යාවේ දුර්වල කමක් නොවේ නම් බටහිර විද්‍යාඥයන් විසින් ඒවා නැති බව අපට ඔප්පු කරපෙන්විය යුතුය. එසේ නැතිව ඔවුනට ගෝචර නොවූ පමණින් දිව්‍යලෝක නැතැයි කිව නොහැක.

සූර්‍ය්‍යොපක්ලෙශ ප්‍රශ්ණයට නාගසේන හිමියන් දුන් පිළිතුර බටහිර විද්‍යාත්මක දැනුම සමඟ සැසඳුවහොත් බටහිර විද්‍යාව මඟින් අපට අදටත් පැහැදිලි කරගතව හැකිව ඇත්තේ වේලා කාලාපයන් ගැන කරන ලද හැඳින්වීම, සෘතු විපර්යාසය, පොහොය ඇති වීම ආදි කිහිපයක් පමණකි. එම පිළිතුරෙ සඳහන් චාතුර්මහාරාජික දිව්‍යලෝකය, වර්ෂාව ඇතිවීම පිළිබඳ විග්‍රහය ආදිය බටහිර විද්‍යාවට ගෝචර නොවේ. මාගේ අදහස නම් නාගසේන හිමියන් අදටත් බටහිර විද්‍යාඥයන්ට වඩා බොහෝ ඉදිරියන් සිටින බවයි.
නාගසේන හිමියන් දැනුම ලබාගත් ක්‍රමය කුමක් ද? එම ප්‍රශ්ණයට පිළිතුර මතුකර ගැනීමට උත්සහ දැරීම අවිද්‍යාවෙන් තොර වූ අපේම වූ විද්‍යාවක් සොයා යන ගමනේ එක් කොටසක් විය හැක.

- ඉන්දික ප්‍රසාද් කුමාර,  idipkumara@gmail.com