Nov 27, 2013

රජ මැදුරුවල හොල්මන් කරන එංගලන්ත රජ පරපුර


 
බකිංහැම් මාලිගය
 
 
ලොවම අඳුරේ ගිල්වමින් රාත‍්‍රිය එළැඹෙන්නේ ගුප්ත බියකරු නිහැඬියාවකට ලෝකය ඇද දමමිනි. මේ අන්ධකාරය තුළ රජ කරන්නේ දින ගෙවී වසර ගණනාවකට කලින් මෙලොව හැර ගිය විවිධ පුද්ගලයන්ගේ අවතාරය. මේ අවතාරවලට සැරිසරන්නට හොල්මන් කරන්නට කිසිම තහනමක් නැති සේය. මහා බලගතු බල පරාක‍්‍රමයෙන් පිරුණු රජ මැදුරක් වුවත් අවතාරයකට ප‍්‍රශ්නයක් නැත. ලන්ඩනයේ සුප‍්‍රසිද්ධ බකිංහැම් මන්දිරය ඇතුළු රජ මැදුරුවල පවා අවතාර සැරිසරන්නේ ඒ නිසාය.
එංගලන්ත මහ රැජිනගේ නිල මන්දිරය වූ බකිංහැම් මාළිගයේ පවා අවතාර සැරිසරන බව කිවහොත් ඔබ පුදුමයට පත් වනු ඇත.

එහෙත් මේ රජ මැදුරුවල අවතාර විසිපහක් පමණ ජීවත් වන බව කියැවේ. මේ අවතාර අතර කිරුළු දැරූවන් ද සිටින බව බොහෝ දෙනකු දැක තිබේ.
බකිංහැම් මාළිගය වූකලී කාමර 775කින් සමන්විත දැවැන්ත ප‍්‍රාසාදයකි. රාජකීයයන් සහ අමුත්තන් වෙනුවෙන් වෙන් කළ නිදන කාමර 52ක්, කාර්ය මණ්ඩලය වෙනුවෙන් වෙන් කළ නිදන කාමර 188ක්, කාර්යාල කාමර 92ක්, වැසිකිළි සහ නාන කාමර 78ක් ආදී වශයෙන් වූ කාමර රැසක් ඉහත කී කාමර 775ට ඇතුළත්ය. මේ අනුව මන්දිරයේ දිග මීටර් 108ක් පමණ වේ.
 

1 වැනි එළිසබෙත් රැජින
 
3 වැනි ජෝර්ජ් රජු
 
8 වන හෙන්රි රජු
 
මෙම සුවිශේෂ මැදුර බි‍්‍රතාන්‍ය රජ ගෙදර බවට පත් වූයේ 1837 වසරේදීය. එවකට එංගලන්ත රැුජිනිය වූයේ වික්ටෝරියා මහේෂිකාවයි. එහෙත් මේ මැදුර තිබූ භූමියෙහි අතීතයේ තිබී ඇත්තේ තාපසාරාමයකි.
වෙස්ට්මිනිස්ටර් ඇබේ ලෙස කියැවෙන මෙම තාපසාරාමය සඳහා ඉඩම පවරා ඇත්තේ වසර 1536 දී එබුරි නම් නින්දගමෙනි. එහෙත් අට වැනි හෙන්රි එංගන්තයේ රජ කළ සමයේ දී මේ තාපසාරාමය එතැනින් ඉවත් කළේය. ජේම්ස් රජ සමයේ දී මෙබිම මල්බෙරි වගාවක් සඳහා යොදා ගත් අතර එවක මෙහි රජ කළේ පටපණුවන්ය.

මේ බකිංහැම් මාළිගයේ හොල්මන් කරන අවතාර අතර එක් ප‍්‍රසිද්ධ අවතාරයක් වන්නේ හිටපු පූජකයෙකි.

කිසියම් වරදකට හිර කරන ලද මේ පූජකයා විඳි දඬුවම්වල බරපතළකම කොයි තරම් ද යත් ඔහු හිර කුටිය තුළම මිය ගොස් ඇත. ඉනික්බිතිව මෙබිම හැර නොගිය හෙතෙම අදටත් අවතාරයක් සේ මෙහිම සැරිසරයි. එදා පැළැඳි දුඹුරු පැහැති ලෝගුව පැළඳ ගෙනම සෑම නත්තල් දිනකම බකිංහැම් මාළිගයේ කාමරවලත් අවට එළිමහනේත් සැරිසරන මේ අවතාරය බකිංහැම් මාළිගයේ කොයි කාටත් හුරු පුරුදුය.

බකිංහැම් මාළිගයේ සැරිසරන අනෙක් සුපතල අවතාරය මේජර් ජෝන් ග්වායන්ගේය. ස්වකීය නිල ඇඳුම ඇඳගෙන පාවහන් බිම ගැටෙන විට නැගෙන ඩොක් ඩොක් හඬ නගමින් මහ රෑ තරප්පු පෙළ නගින බසින මේ අවතාරය වැඩි පුරම ගැවසෙන්නේ මාළිගයේ පහත මාලයේය. හත් වැනි එඞ්වඞ් රජුගේ පුද්ගලික ලේකම් ලෙස සේවය කළ ඔහු විවාහ වී සිටියේ රාජකීය පෙළපතකට  සම්බන්ධකම් ඇති තරුණියක සමගය. එහෙත් විවාහ දිවියේ තිබූ යම් යම් ගැටලූ හේතුවෙන් ඔහු එක් කලෙක ඇගෙන් දික්කසාද වූයේය. එහි ප‍්‍රතිඵලය වූයේ ජෝන් ප‍්‍රභූ සමාජයෙන් සාමාන්‍ය පංතියට පහත හෙළීමයි.

මමත්වය හිසේ තබාගෙන උජාරුවට ජීවත් වූ ජෝන් එතැන් පටන් දිවි ගෙවූයේ කනස්සල්ලෙනි. එක් දිනෙක බකිංහැම් මාළිගයෙහි වූ සිය රාජකාරි කාමරය තුළදීම හිසට වෙඩි තබාගෙන මිය ගිය ජෝන් එදා පටන් තවමත් බකිංහැම් මැදුරේ සැරිසරන අවතාරයකි.

එංගලන්ත රජ පවුල සතු තවත් රාජකීය මන්දිර කිහිපයක්ම තිබේ. මේ මැදුරුවල ද රාත‍්‍රියේ දී සැරිසරන අවතාර කිහිපයක්ම තිබේ. ඉන් සමහරෙක් රජුන් සහ රැුජිනියන් වීම පුදුමය දනවන සුළුය.

ජීවන ගමන් මගේ හැටනව වැනි අවුරුද්දේ දී මිය ගිය පළමු වැනි එළිසබෙන් රැජින තවමත් වින්ඞ්සර් මන්දිරය ඇතුළු රජ මාළිග අතැර ගොස් නැත.
දිනක් දෙවැනි එළිසබන් රැජින ඇගේ නැගණිය මාග‍්‍රට් සමග වින්ඞ්සර් මැදුරේ පුස්තකාලයේ කාලය ගත කළහ. ඔවුනට ඇසී ඇත්තේ පියවර හඬකි. මේ මහා රාත‍්‍රියේ සිය රජ මැදුර තුළ සැරිසරන්නේ හොල්මනක් දැයි බලන්නට දෙසොයුරියෝ පියවර හඬ ඇසුණු දෙසට ඇවිද ගියහ. සැබැවින්ම ඒ හොල්මනක් බව ඔවුනට පසක් වූයේ ඔවුන් ඉදිරිපිට සිටියේ පළමු වැනි එළිසබත් රැුජින නිසාවෙනි.

දෙපතුලටම දිගු කළු පාට ගවුම ඇඳ උරහිසින් කළු පාට ‘‘වෝල’’යක් දමාගත් ඇය අඩි උස සපත්තු පැළඳගෙන සිටියාය.

වින්ඞ්සර් රජ මැදුරෙහි සැරිසරන අනෙක් රාජකීය අවතාරය තුන් වැනි ජෝර්ජ් රජුගේය. ජීවිතයේ අවසන් සමයේ උමතු බවින් පෙලූණු ඔහු වැඩිපුරම කාලය ගෙවූයේ සිය කුටියෙහි සිට කවුළුවකින් පිටත බලාගෙනය. එවිට ඔහුට පෙනුණේ සිය හමුදා සෙබළුන් සරඹ ක‍්‍රීඩාවල යෙදෙන ආකාරයයි.

අභාවයෙන් පසුව වින්ඞ්සර් මාළිගා භූමිය තුළම වළ දැමූ බැවින්දෝ රජු මිය ගියත් මැදුර හැර නොගියේය.

පළමු වතාවට ජෝර්ජ් රජුගේ අවතාරය දැක ඇත්තේ උයන් පල්ලෙකි. රජු නිතර සිටි කුටියෙහි ජනේලයෙන් බලා ඉන්නා හැටි දුටු ඔහු පළමුව විමතියට පත් විය. පසුව එය අවතාරයක් බවට ඔහු වටහා ගත්තේය.

තුන් වැනි ජෝර්ජ් රජුගේ අවතාරය දුටු අට වැනි හෙන්රි රජු මේ අවතාරය හරියටම හඳුනා ගත්තේය. පුස්තකාලය කිට්ටුවම සැරිසරන මේ රාජකීයයා අදටත් ඇතැම් රැයක මැදුර තුළ ඇවිද යයි.

අට වැනි හෙන්රි ද තම රාජකීය මුතුන් මිත්තන් සමග අවතාර සංගමයේ සාමාජිකත්වය දරයි. හැබැයි ඔහු කාටවත් පෙනෙන්නට සිටින්නේ නැත. නමුත් ඔහු ඇවිදින හඬ නම් මාළිගයෙන් විටින් විට ඇසෙයි.
වින්ඞ්සර් මැදුර මතට සඳ එළිය පතිත වන රැුයක එහි සුන්දර උද්‍යානය වඩාත් අලංකාරව පෙනෙයි. මේ බඳු රැුයක තුන් වැනි රිචඞ් රජුගේ දඩයක්කාරයා මේ උද්‍යානයට  පිවිසෙයි. අතීතයේ මෙබිම පුරා දුව පනිමින් සතුන්ට ගිනි බින්ද ලෙසින් උයන පුරා සැරිසරන ඔහු හර්න්ගේ අවතාරයයි.  

වින්ඞ්සර් මැදුරට යාබදව පිහිටි වන රජදහනේ දඩයමේ යෑම තුන් වැනි රිචඞ් රජුගේ ප‍්‍රියතම විනෝදාංශයයි. ඔහු බොහෝ විට දඩයමේ යන්නේ සිය විශ්වාසවන්තම දඩයක්කාරයා වූ හර්න් සමගය. එදා ද රජු ගෝනෙකුට ගිනි බින්දේය. එහෙත් බරපතළ තුවාල ලැබූ ඌ වියරු වැටුණා මිස මිය ගියේ නැත.

මරු විකල්ලයෙන් වියරු වැටුණු ගෝනා රජුත් දඩයක්කාරයත් ඉදිරියට දිව ආ අතර උගේ බිහිසුණු ප‍්‍රහාරයට රජු ගොඳුරු වන්නට තිබුණේ ඇසිල්ලක් පමණි.
පලා යන්නැයි රජුට පැවසූ දඩයක්කාරයා පෙන්නා ඉදිරියට පැන්නේ රජුගේ ජීවිතය බේරා ගැනීමටය. මිනිසාත් තිරිසනාත් අතරට පැන්නේය. රජු බේරා ගත යුතු බැවින් දඩයක්කාරයා ගෝනා ඉදිරියට පැන්නේය. ඉක්බිති ඔහුත් ගෝනාත් අතර හටගත්තේ දරුණු අරගලයකි. ගෝනාගේ අං තට්ටුව දඩයක්කාරයාට තුවාල කළා සේම ඔහුගේ ගිනි අවිය ගෝනාට ද තුවාල කළේය. අවසානයේ ගෝනා මැරී වැටුණු අතර දඩයක්කාරයා තුවාල වී නොමැරී බිම වැටුණි.
”ගෝනාගේ අං තට්ටුව කපා දඩයක්කාරයාගේ හිස පළඳවන්න එතකොට ඔහුට සනීප වේවි,’’

මායාකරුවෙකු පැවසුවේය. එබැවින් මිය ගිය ගෝනාගේ අං තට්ටුව කපා දඩයක්කාරයාගේ හිස පැලැන්දුවේය. දින කීපයකට පසුව සුවපත් වූ හර්න් එවක් පටන් රජුගේ හිතෛෂිවන්තයා බවට පත් විය.

මේ ලෙන්ගතුකම අනෙකුත් දඩයක්කාරයන්ගේ ඊර්ෂ්‍යාවට හේතුවක් වූ අතර ඔවුහු රජුට හර්න් පිළිබඳ බොරු කේලාම් කීහ.

එහි ප‍්‍රතිඵලය වූයේ රජු විසින් හර්න් තනතුරෙන් පහ කිරීමය. ඉන් විස්සෝප වූ හර්න්, වින්ඞ්සර් මැදුර අද්දර වූ කැලයට ගොස්  ඕක් ගසකට නැගී එල්ලී සිය දිවි නසා ගත්තේය.

එවක් පටන් අදටත් මේ දඩයක්කාරයාගේ අවතාරය වින්ඞ්සර් මැදුර සහ ඔහු දිවි නසා ගත්  ඕක් ගස වැනි ස්ථානවල සැරිසරන්නේලූ.

ඇතැම් විටෙක මේ අවතාරය පෙනෙන්නේ ගෝන අං තට්ටුවක් සහිතව වන අතර තවත් වරෙක  ඕක් ගසේ එල්ලී සිටින ආකාරයටය.

එළිසබෙත් රැජිනත් ජෝර්ජ් රජුත් හෙන්රි රජුත් හිතුවාට වඩා බියක් හර්න් දුටු විට දැනෙන්නේ ඒ නිසාය.

Nov 25, 2013

ගම ගෙදරට ගෙනා වාසනාව අද්භූත කළුනික සෝලු කෝටුව


පුරාණයේ කොත්මලේ විසූ ජනතාව ජීවත් වූයේ කෘෂිකර්මාන්තයේ නියැළෙමින් ඉන් ලැබුණු ආදායමෙනි. එසේම දේපළ ඉඩකඩම්, කුඹුරු බහුලව තිබූ අයද එහි සිට ඇත. ඇතැම් අය පොහොසත්කමින් යුතු අයගේ කුඹුරු ආදිය අඳ ක්‍රමයට වැඩ කළහ.


අෑත අතීතයේ ඉතා දුප්පත් ගම පවුලක් කොත්මලේ ප්‍රදේශයේ විසීහ. ආර්ථික මට්ටමෙන් ඉතා අසරණ තත්ත්වයේ සිටී මෙම ගම පවුල එදිනෙදා වේල සරිකර ගත්තේ කුලී වැඩ කරමිනි. එකල කොත්මලේ ප්‍රදේශයේ ගවයන් ඇති කිරීම සිරිතක්ව පැවැතිණි. සෑම නිවෙසකම හරක් බානක්වත් සිට ඇත. අද මෙන් හරක් ගැට ගසා තණ කවන සිරිතක් එකල නොවීය. උදෑසන මොනරාගල කඳු පියසටත් පහළ ඇති ලන්දටත් හරකුන් රැගෙන යන ගැමියෝ ගවයන් තණ බුදින අතරේ පල වැල නෙළමින් බඹර කපමින් කාලය ගෙවා දමති. හවස් යාමයේ හරකුන් රැගෙන ආපහු එති. කලක් යනවිට හරක් රැගෙන ඒම සඳහා ආපසු යෑමට අවශ්‍ය නොවීය. එම සත්තු ඉබේම පැමිණ ගම ඉස්මත්තේ තැනිතලාවක ලැගුම් ගන්නට පුරුදු වූහ.



ඉහත සඳහන් කළ දුප්පත් ගම පවුලටද හරක් බානක් විය. ගම ඇත්තාද උදේ තම හරක් බාන රැගෙන ලන්දට ගොස් දමා එන අතර පසුව හවස හරක් ලගින තැනට ගොස් උන් රැගෙන ඒමට පුරුදු විය. දිනක් මෙම ගම්ඇත්තා හරකුන් ලගින තැනට ගොස් බලන වට තම හරක් බාන එහි පැමිණ නැති බව දුටුවේය. පසුව ඔහු කැලයට ගොස් ඇඳිරි වැටෙන තුරුම සොයා හිස් අතින්ම ගෙදර පැමිණියේය. පසුදා උදේම නිවෙසින් පිටත් වූ ගම ඇත්තා කැලයට ගොස් උන් සොයා සෑම තැනම ඇවිද්දේය. එහෙත් උන් ගිය අතක් සොයා ගැනීමට නොහැකි විය. ගවයන් නැතිව ඉතා දුකින් ආපසු එන ඔහුට පාරේ තිබී සෝලු කෝටුවක් හමුවිය. එසේම එය ඉතා බලසම්පන්න එකක් බව අතට ගත්විට ඔහුට දැනිණි. මෙසේ එම සෝලු කෝටුවත් රැගෙන එන අතරේ පාර අයිනේ ගසක් යට තණකමින් සිටින තම හරක් බාන දැක ගත හැකි වූයෙන් ඔහු ඉතා සතුටට පත්විය. පසුව ගෙදරට පැමිණි ගම ඇත්තා කළුනික සෝලු කෝටුව වහලයේ ගසා සිදුවූ අද්භූත විස්තරය තම බිරියට කීවේය. එහෙත් සෝලු කෝටුව වහලයේ ගසා තිබෙන තැන බිරියට කීවේ නැත.



කළුනික සෝලු කෝටුව නිසා ටික කලක් යන විට මෙම දුප්පත් ගම පවුල ගමේම සිටින පොහොසත් පවුල බවට පත්විය. තමන් මෙතරම් පොහොසත් වූයේ කළුනික සෝලු කෝටුව නිසා බව ගම් ඇත්තා දැන සිටි නමුත් ගෙදර ඇත්තී ඒ බව නොදැන සිටියාය. ගම ඇත්තාද ඒ බව ඇයට නොකීවේය. බොහොම දුප්පත් කමින් සිටි මේ පවුල හිටි හැටියේ මෙසේ පොහොසත් වූයේ කෙසේ දැයි යන්න ගමේ අනෙක් අයටද ගැටලුවක් විණි. එහෙත් ඒ ගැන සොයා බලන්නට කාටත් වුවමනාවක් වූයේ නැත.
තමන් මෙතරම් පොහොසත් වූයේ කෙසේද කියා ගම ඇත්තාගේ බිරියටද ගැටලුවක් ඇති විය. ඒ ගැන නිතර නිතර තම සැමියාගෙන් ඇය විමසන්නට වූවාය. ඇයගේ කරදරය ඉවසා සිටින්නට බැරිම තැන සත්‍ය තොරතුරු කීමට ගමයාට සිදුවිය. ඔහු ඒ පිළිබඳ ඇයට කීවේ කාටවත් නොකියන ලෙස පොරොන්දු කරගෙනය. ඇයද ඊට එකඟ වූවාය.




මෙසේ ටික කලක් එම රහස රැකගෙන සිටියත් ඇයට එය කාට හෝ කීමට අවශ්‍ය විය. ඒ අනුව ඇය ගමේ කාන්තාවකට ඒ පිළිබඳ විස්තර කළාය. ඉන් ටික දිනකින් එම රහස ගම පුරා පැතිරී ගියේය. මෙම අපූරු සෝලු කෝටුව ගැන මලය රටේ සිටි දක්ෂ ඇදුරකුටද ආරංචි විය. එම ඇදුරා තවුස් වෙසක් ගත්තේය. එසේ පැමිණි මෙම ගම ගෙදරට අවුත් තමන්ට භාවනා කිරීමට මෙම ඉඩමේ සුදුසු පරිසරයක් ඇති බවත් ඒ සඳහා සුළු ඉඩ ප්‍රමාණයක් ලබාදෙන ලෙසත් ගමයාගෙන් ඉල්ලා සිටියේය. ගම දෙමාල්ලන් හට තාපසයාගේ ඉල්ලීම ඉවත දැමීමට නොහැකි විය. ඒ අනුව ඔහුට සිටින්නට වත්ත කෙළවරක කුටියක් සකස් කරදී දිනපතා දානයට වඩින්නටද ආරාධනා කළේය. තාපසයා එවිට ගම දෙපළට කීවේ තමන් නිසි පරිදි ගුණදම් ආරක්ෂා කරන අයකු නිසා පිටස්තර අය දෙන ආහාරපාන ආදිය නොවළඳන බවයි. වෙන අයගේ ආහාරපාන ගතහොත් තමාගේ සිල් බිඳෙන බවත් ඒ නිසා තමන්ම ආහාර පිළියෙල කරගන්නා බවත් හෙතෙම කීවේය.



තාපසයා ආහාර පිළියෙල කළේ රත්තරනින් සෑදු භාජනවලය. අනුභව කළේද රත්තරන් පිඟානකය. මේ තරම් රත්තරන් ගොඩක් තිබෙන අපූරු තාපසයා පිළිබඳ මෙම ගම දෙපළ පැහැදී සිටියහ. ඔවුහු එතුමාට භක්තියෙන් සිටියහ. මෙසේ කාලයක් ගෙවී යන විට මෙම තවුස්වෙස් ගත් ඇදුරාට ගම ගෙදර සෝලු කෝටුව පිළිබඳ විමසිලිමත්වී එය තිබෙන තැන සොයා ගැනීමට හැකිවිය. එහෙත් එය ලබා ගන්නට නම් ගමයා ගෙදර නොසිටින අවස්ථාවක් විය යුතුය. එසේම එය ගම ඇත්තීගෙන් ප්‍රයෝගයෙන් ගත යුතු බව හෙතෙම කල්පනා කළේය. මෙසේ ඒ පිළිබඳ උනන්දුවෙන් කල් මරමින් සිටින විට දිනක් ගම ඇත්තා නිවෙසින් පිටත් වී දුර බැහැරක යන බව දැනගත හැකි විය. සෝලු කෝටුව ලබා ගැනීමට එය කදිම වෙලාව බව දැනගත් තාපසයා වහා ක්‍රියාත්මක විය.



ඒ අනුව ගම ගෙදරට ගිය තාපසයා තමා දැන් මෙහි සිටියා ඇති බවත් අෑත මහ වනයට ගොස් භාවනා කිරීමට අදම යන බවත් පැවැසුවේය. ගම බිරියද තාපසයාගේ හදිසි තීරණය ගැන කම්පා වූවාය. එහෙත් එතුමන් උසස් ගුණදම් රකින තාපසයකු නිසා කිසිත් නොකීවාය. තාපසයා තමන් පාවිච්චි කළ රත්තරන්වලින් පිඟන් කෝප්ප ආදිය ගම බිරියට ගෙනැවිත් දුන්නේය. තමන් මහ වනයට යායුතු නිසා ආරක්ෂාවට වහලයේ ඇති සෝලු කෝටුව දෙන ලෙස ඇය ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව එය තිබෙන තැන පෙන්වා ඇයගෙන් එය ලබා ගත්තේය. ගම බිරිය තාපසයාට එය ලබා දුන්නේ රත්තරන්වලට වූ අධික තණ්හාව නිසාය. එය කළුනික සෝලු කෝටුවක් බවත් තම පවුල මෙසේ පොහොසත් වූයේ එය නිසා බවත් ඇයට සිත්චුණේ නැත. තවුසා එය රැගෙන ඉක්මනින්ම යන්නට ගියේය.



ගම ඇත්තා යළි නිවෙසට පැමිණෙන විට ගම බිරිය එම විස්තරය ඔහුට කීවේ තාපසයා දුන් රත්තරන් භාණ්ඩ පිළිබඳ උදම් අනමිනි. ගමයාගේ ඉහ මොළ රත්වී ආවේය. එහෙත් පමා වූවා වැඩිය තම පවුලට මෙසේ වාසනාව ගෙනාවේ එම කළුනික සෝලු කෝටුව නිසා බව ඇයට පහදා දුන්නේය. එවිට ඇයද දුක්වෙන්නට වූවාය. එසේ කල් යත්ම එම දෙපළ දුප්පත් වී අසරණ තත්ත්වයට පත්වෙන්නට වූහ. ඔවුහු තම දේපළ විකුණමින් ජීවිතය ගැටගසා ගන්නට පුරුදු වූහ. තමන්ට වාසනාව ගෙනා සෝලු කෝටුව නැතිවීම ගැන දුක් වන්නට වූහ.

සෞදියේ සුන්දර අබා නගරය

ඉමක් නොපෙනෙන  කාන්තාර වලින් හෙබි සෞදි අරාබියේ  ශ්‍රී ලංකාවේ නුවරඑළියට  බොහෝ සමාන සුන්දර කදුවැටි බඩවැටි  මිහිදුන් වලාකුලෙන් හෙබි ප්‍රදේශයක් ඇතැයි  කිවහොත් ඔබ විශ්වාස කරනු ඇතැයි මා නොසිතමි. 


සෞදි අරාබියේ මධ්‍යම හා නැගෙනහිර  කළාපයෙන් ඔබ්බට  ගමන් කරන ඕනෑම  කෙනෙකුට දැකගත හැකි වන්නේ  ඉමක් කොනක් නොපනෙන වැලි කුණාටුවලින්  ගහණ වාළුකා කාන්තාරත් එකාපිට එකා ගමන් කරන ඔටු  පෙරහරවල් මිස ගහක් කොළක් හෝ  පිපාසයට දිය බිදක්  නම් නොවේ. 

එහෙත් මේ විශාල බිම් ප්‍රමාණයකින් වට වු  සෞදි අරාබියේ  දකුණු දිග අර්ධද්වීපයට අයත් ප්‍රදේශයක් වන  අසීර් නම් කළාපයේ  පරිසරය ගහකොළ ගහ කොල වතු පිටි හාත් පසින්ම වෙනත් බව දැනගන්නේ පසුගියදා සිදු කළ සංචාරයකදීය. 

සෞදි අරාබියේ නැගෙනහිර අල් කොබාර් සිට කිලෝමීටර් (2000) දෙදහසක්  දුරින්ද  රියාද් සිට කිලෝමීටර් එක්දහස් එකසියක් දුරින්ද  ජෙඩා නගරයේ සිට  කිලෝමීටර් 700 ක් පමණ දුරින්ද පිහිටි  ඒ සුන්දර නගරය  අබා නගරය ලෙසින්ද හැදින්වෙන අතර එම ප්‍රදේශය අයත් වන්නේ   සෞදි අරාබියේ  අසීර් කළාපයටයි.
අබා ප්‍රදේශයේ රතු මුහුදට මායිම්ව පිහිටි ජිසාන් වලට කිලෝමීටර් 200 ක්ද ජිසාන් සිට හැත්තෑවක් පමණ දුරින්  පිහිටා තිබේ. 

 අබා වු කළි  සෞදි අරාබියේ මුල් පදිංචිකරුවන් ජිවත් වු ප්‍රදේශයක් ලෙස වසර 300 කට එපිට අරාබි ජාතිකයින්  ජීවත් වු වාසභවන  තවමත් ශක්ති සම්පන්නව පැමිණිම නිසා බව අනුගමනය කළ හැක.
අබා ප්‍රදේශය වර්ග කිලෝමීටර් සිය ගණනක්  පුරා විසිරි ඇති  මුහුදු මට්ටමේ සිට  අඩි  දස දහසකට නොඅඩු කදු වලල්ල  පාමුල සංචාරය කරද්දී ශ්‍රී ලංකාවේ සමනල කන්ද  මෙන් යැයි අපට සිතිණි.
ඉතා විශාල කදු හා බෑවුම්වල වලින් සමන්විත නිසා වාහන පැදවීමේදී පවා ඉතාමත් පරීක්ෂාකාරී විය යුතුය.අනතුරු අවම කැර ගැනීම වෙනුවෙන්  විශාල සිමෙන්ති බැමි යොදා  මාර්ගය දෙපස ආවරණය කැර තිබේ. 

 මෙම කඳු මුදුන එක් කැර ඇති එක් ප්‍රදේශයක්  අල් සුමුදු  යන නමින් හදුන්වයි.
කදු මුදුනෙන් ඔබ්බට නැගී නැවතත්  රසල් අල් මා  නැවතී ප්‍රදේශට පිවිසි අපි එහි සිරි නැරඹුවෙමි. 
 
අසාර් කළාපයට  අයිති අබා ප්‍රදේශය සෞදි අරාබියේ කොටසක් දැයි විටෙක සිතේ. වන සතුන්ගෙන් ගහන  අබා ප්‍රදේශයේ පාරම්පරික මුල් අරාබිවරුන්ගේ  ගෘහ නිර්මාණ ශිල්ප  සිගිරි බිතු සිතුවම් වලට  සමාන කවි ද එහි දකින්නට ලැබීම සුවිශේෂිත්වයකි. 

මඩවගුරු සහිත බිම් හි  කෙසෙල්,කන්කුන්,තම්පලා,පේර,ජම්බු ,දෙළුම්,බඩ ඉරිඟු ,ඉදල් සරුවට වැවෙන අතර  ශ්‍රී ලංකාවේ  වැවෙන කහ පැහැයෙන් යක්ත මාළු මිරිස් ,තක්කාලි  මෙන්ම ගස් ලබු,දෙහි ,දොඩම් ,වට්ටක්කා ,ගෝවා වැනි භෝගයන්ගෙන් සමන්විත  ඉතා සරු අස්වැන්නක්  ගෙන දෙයි.
අබා ප්‍රදේශය රතු මුහුද පිහිටි ජිසාන් නම් මුහුදු බඩ  ප්‍රදේශයේ   ගමන් ගන්නා විට පාරම්පරික  මැටි වළං නිශ්පාදනය  බෙදා හැරීම  ලංකාවේ  සමකළ හැකි වන්නේ  කතරගම  ප්‍රදේශයේ  මැටි වළං අලෙවිසල් වල දසුනකි. 

කිලෝමීටර්  දෙදහසක් පමණ  දුරක් ගෙවමින්  කිලෝමීටරයේ සිට 1.5  දක්වා දිවෙන උමං මාර්ග කිහිපයක් දර්ශන දැක ගත හැකි වු අතර අබා නගරයේ පිහිටි ‘ශ්‍රීමත් මවුන්ටන්‘  කොල කන්ද නැමැති ප්‍රදේශය අබා ප්‍රදේශයේ ඕනෑම  තැනකට  දිවා රාත්‍රි කාලයේ  දිස්වන අතර විශාල වැව් කිහිපයක්ද  පිහිටා ඇත.
 සුන්දර අබා නගරයේ  කදු මදුන්  දෙකකට සවි කර ඇති තවත් කේබල් කාර් අංගන දෙකක් ද සවි කර ඇති අතර එහි උපරිම දුර  කිලෝමීටර් 3.6 ක් වේ.
දින පහකින් පසු  ගමනාන්තයට පැමිණිමේදී මේ සදහා  මග පෙන්වු  අබා ප්‍රදේශයේ පදිංචි  නිමල් එඩේරමුල්ල මහතා සහ මැක්සි මහතාද අප සමග  සිටියේය.
ගමන සදහා ඔවුන්ගෙන් ලැබුණු සහය ඉතා විශාලය.









, ලලිත් ප්‍රේමලාල් සෞදි අරාබියේ සිට