Jul 17, 2013

කලාවැවේ කුවේණි කෝවිල


ඒ 1967 වර්ෂයයි. ගලේවෙල විදුහලේ මා සමග සේවය කළ ජයතිලක සමග කලාවැව බස් රියේ නැග ඒ අඩවියේ පැරණි තොරතුරු සොයා ගිය දිනය මට තවම මතකය. ජයතිලක කලින් මේ ප‍්‍රදේශයේ සේවය කර ඇවිද පළපුරුදු අයෙකි. පළමුව විජිතපුරයෙන් බැස එහි තොරතුරු සොයා බලා ඉන්පසු අව්කන ගොස් අව්කන පිළිමය බලා ආපසු නවාතැනට එනවිට දහවල් එකොළහ පමණ විය.මුළු පරිසරයම ගිනියම් අව්වෙන් පිළිස්සෙයි. කලා වැවේ වැව් බැම්ම දිගේ වාහන ඇදෙන විට වැව් දිය තෙමා ගත් සුළඟ වැදී ගත සිත නිවෙයි. සාගරයක් බඳු කලා වැවේ ජලය පිසගෙන එන සුළඟ සිරුරේ වෙහෙස උරා ගනියි.
වැව් බැම්ම වටා උස්ව රූස්ස ලෙස වැඩුණු ගහකොළ යට ඇති හෙවණ ගිනි ගහන මද්දහන වෙලාවට අපමණ සුවයක් ලබාදෙයි. අපි කලා වැව බැම්මේ සිසිල් ගස් සෙවණක් යට ඉඳගෙන වැව දෙස බලා සිටියෙමු. ජයතිලක කතාවට මුලපුරයි.

කලාවැව කිව්වට ඇත්තට මෙතැන වැව් දෙකක් තියෙනවා. ධාතුසේන රජ්ජුරුවෝ කරපු කලා වැවයි ඒ යාවම තියෙන බළලූ වැවයි. වැව් දෙකක් නැත්නම් කීපයක් එකට කරලා හදන එක ”බද්ධ වැව්” කියලා හඳුන්වනවා. වැව් දෙකක් එකතු කළාම ”ජෝඩු වැව්” කියනවා. පූජාවලිය කියන පොතේ මේ වැව හඳුන්වන්නේ කලා බළලූ වැව කියලා. වැව් දෙක වෙන්වෙන තැන පුංචි බිම් තීරුවක් දුපතක් වගේ තියෙනවා. පේනවද?
අපි කලා වැව දෙස බැලූවෙමු. මුස්ලිම් ධීවර පිරිසක් මාළු අල්ලා ගත් ඔරු කීපයක් ගොඩට එති. ධාතුසේන රජ්ජුරුවෝ කරපු අන්තිම ඉල්ලීම තමා කලා වැවේ නාන්න ඉඩ දුන්නොත් තමා සඟවාගෙන ඉන්න වස්තුව පෙන්නනවා කියලා. නාන්න ඉස්සර ධතුසේන රජ්ජුරුවෝ විජිතපුර විහාරයට ගොස් තමන්ගේ නෑදෑවන හාමුදුරු නමකගෙන් බණ අහලා තමා කරපු කලා වැවට බැහැලා හොඳ හැටි දිය නාලා මා සතු එකම වස්තුව මෙපමණයි කියලා කලා වැවේ දිය දෝතක් අරන් කාශ්‍යපට පෙන්නුවාලූ. කාශ්‍යප කුමාරයා තදින් තරහ ගිහින් ධාතුසේන පිය රජ්ජුරුවෝ පණපිටින් බිත්තියකට තියලා මැටි ගහලා මරන්න නියම කළායි කියැවෙන්නේ.
ඒකත් ධාතුසේන රජ්ජුරුවන්ට බලපාපු කර්ම විපාකයක් කියල කියනවා. කලාවැව බඳිද්දී එතැන භාවනායෝගීව හිටපු හිමි නමක් පස් කන්දට යට කරලා මැරෙව්වාලූ. ධාතුසේන රජ්ජුරුවන්ට පළදුන්නේ ඒකෙ විපාකෙලූ.මේ වැව බාරව හිටපු මුරකාරයා වැවට පැනලා මැරිලා යකෙක් වෙලා ඉපදිලා ඉන්න කතාවක් තියෙනවා නේද? මම විමසුවෙමි. 

ඔව් බිරිඳත් එක්ක අමනාප වෙච්ච මිනිහෙක් කාලයක් වනාන්තර ගතවෙලා සත්තුත් එක්ක ගැවසුණා. මේ පණිවිඩය වැද්දෙක් රජ්ජුරුවන්ට දැන්නුවා. ධාතුසේන රජ්ජුරුවෝ මේ මනුස්සයා කොටුකර අල්ලා ගත්තා. වනාන්තරයේ විස්තර අහලා. ස්වභාවික තැනිතලාවක ජල කඳක් රැඳිලා තියෙන බව ඔහු රජ්ජුරුවන්ට පෙන්වා දුන්නා. මේ ස්වභාවික ජලතලාව විශාල කර බැඳලා තමා කලාවැව හැදුවේ. රජ්ජුරුවෝ ඒ මනුස්සයාටම වැව බලාගන්න රාජකාරියත් පැවරුවා. විශේෂයෙන් ගංවතුර වෙලාවේ වැඩි වතුර පිටවෙන එක හෝදිසි කරන්න වැව් බැම්මේ උපකරණයක් හයිකරල තිබුණා. දවසක් අන්ධ හාමුදුරු නමක් වැව් බැම්ම දිගේ යනවිට හැරමිටිය වැදිලා වර්ෂා මාපක යන්ත‍්‍රය බිඳුණා. එදා රෑ වර්ෂාව වැඩිවෙලා වැව් බැම්ම කැඞී ගියා.
තම වැරැද්දෙන් වැව් බැම්ම බිඳුණු බව දැනගෙන අර මුරකාරයා වැවේ දිය කඳට පැනලා දිවි නසා ගත්තා. අද වැව ආරක්ෂා කරන කඩවර දෙවියෝ වෙලා ඉන්නේ ඒ වැව බලා ගත්තු මුරකාරයා.
කලා වැවට අධිපති පනම්බණ්ඩාර කියලා දෙවි කෙනකුත් ඉන්නවා නේද? යි මම ඇසීමි.
ඔව්... කලා වැවේ අඩවියේ පනම්බණ්ඩාර දෙවියෝ අදහනවා. රාත‍්‍රි කාලයේ පනම්බණ්ඩාර දෙවියෝ සුදු අශ්වයා පිට නැගලා කලා වැව දිගේ යනවා. මේ පැත්තේ අය අවුරුද්දකට සැරයක් පනම්බණ්ඩාර දෙවියන්ට දානයක් දෙනවා. දානය බෙදන්නේ නෙළුම් කොළවල.වතුර අඩුවුණාම කලාවැව බළලූ වැව හොඳට වෙන් වෙලා පේනවා. ඉස්සර මේ වැව් දෙක අතර බිම් තීරුවේ කුවේණිට කැපවුණු කෝවිලක් තිබිලා තියෙනවා. කුවේණි කෝවිලේ බලපෑම ගුප්තය. බලය තාම තියෙනවා.ඒ කීවේ? මම විමසුවෙමිඅවුරුද්දකට සැරයක් නොවරද්දාම කුවේණි කෝවිලට බිල්ලක් ගන්නවා. සමහර වෙලාවට බිල්ලට ගත්තු අයගේ මිනිය හොයා ගන්නත් අමාරුයි.

මේ ළඟදී සිද්ධ වුණු කතාවක් මම කියන්නම්. ඈත පළාතක ඉඳලා පෝසත් පවුලක් වන්දනාවේ ආවා. තරුණ සැමියයි බිරිඳයි පුංචි දරුවකුයි කාර් එක පාර අද්දර නවත්තලා කෑම බීම අරගෙන මේ බිම් තීරුවට ඒ අය ආවා. තද අව්ව වෙලාවේ ගස් යට ගොම්මනේ ඒ අය ඉටි රෙද්දක් එළාගෙන කෑම කෑවා. දරුවා මැද්දෙන් හාන්සි වුණා. තරුණ ජෝඩුවටත් සුළෙඟ් සනීපයට නින්ද ගියා. පැයක් පමණ නින්දේ හිටපු ගැහැණු කෙනා අවදි වෙලා බැලූවා. සැමියා නිදි දරුවා නෑ. වාහනයටත් ගිහින් බැලූවා. දරුවා වාහනයෙත් නෑ. වටපිට හොයලා දරුවා නැතිව ඒ අය විලාප දුන්නා. ළඟපාත අය ඇවිත් හෝදිසි කරන කොට දරුවගේ මළ සිරුර වැවේ වතුර යට. පැය ගණනක් මහන්සිවෙලයි ගොඩ ගත්තේ. කුවේණි කෝවිල ළඟ බිලිගන්න බව ඒ අය දැන සිටියේ නෑ. ජයතිලක කීවේය.ජයතිලකගේ කතාවෙන් මගේ හිත දැඩි ලෙස සසල විය.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. ජයවර්ධන

Jul 15, 2013

අපි යක්‍ෂ ගෝත්‍රයේ අය කලවම් නැති හොඳම සිංහලයෝ


කන්ද මුදුනට යන්න යන්න ගල් පඩි පේළිය පටු දිගැටි ස්වභාවයකට පෙරැළෙනවා. එළිමහන් බිම්වලින් පදාසක් පුරා විසිර ඇත්තේ පර්වත. පර්වත මුදුනත පමණක් පස් සේදී යෑම නිසා "උඩට ඉලිප්පී" පෙනෙන්න පටන් අරගෙන.

එළිමහන් භූමියේ වූ එක් මුල්ලක විශාල ප්‍රමාණයේ වේ තුඹසක් අසල මා ගිමන් හැරීමට සූදානම් වුණා. මගේ දෙපසින් ගන වනය අෑතට විහිද ගොස් තිබුණ අතර ඉහළින් සහ පහළින් තිබුණේ ගල් පඩි පේළිය. මා සිටි තැන සිට යාර කීපයක් ඉදිරියෙන් වූ බෑවුම් සහිත බිමක තණ පඳුරු අස්සේ කුඩා සතකු ඔබ මොබ යනවා දැක සතා ඇඳින ගැනීමට මා උත්සාහ ගත්තා. උෟ බිළාල වර්ගයට අයත් සිවුපාවකු බව පෙනෙන්නට තිබුණත් සාමාන්‍ය උසකින් වැඩී තිබූ තණපත් නිසා ඇස් මානයේදී සතා හැඳින ගන්නට බැරි වුණා.


ඉතා කලාතුරකින් පමණක් දක්නට ලැබෙන සතකු යැයි ක්‍ෂණිකව හැඟී ගියත් සතා පසුපස යෑම අවදානම් සහගත යැයි ඒ සා වේගයෙන්ම මට තේරුම් ගියා.
මා වෙත පැමිණි හේරත් බණ්ඩා, "දිවියෙක් මේ පළාතේ කරක් ගහන්න පටන් අරගෙන" යැයි පවසා සිටියා. ඔහු එලෙස පැවැසුවාට පසු මා දුටු දර්ශනය විස්තර කිරීම අනුවණ යැයි සිතූ මා හැකි ඉක්මනින් කඳු මුදුනට යෑම සඳහා පය ඉක්මන් කළා.

කඳු මුදුනේ එක් කොනක ගිරිකුළු දෙකක් මැදි කරගත් විශාල ගව ගාලක්. හරක් දෙතුන් සියයකින් සමන්විත පට්ටියක් වුව ගාල් කළ හැකි එම ගව ගාල එක් පැත්තකින් පමණක් දඬු වැටකින් ආවරණය කරලා. කඳු පාමුල හොර ගල් අහුලන්න වූ සිවුපාවා අනෙකකු නොව දිවියා බව පැහැදිලි සහගත වූයේ ගව ගාල නිසා. ගවගාල්වල අලුත උපන් වසු පැටියන් ඩැහැගෙන කැලෑ වැදීමට හුරු පුරුදු වූ දිවියකු පිළිබඳව මඟ පෙන්වන්නා වූ මුතු හෙළිදරව් කිරීම් පෙළක් සිදු කළා.


වැඩි වයස් ඇත්තකු නොවූ දිවියා යහන්ගල සීමාවේ හේන් කළ ගොවීන් විසින් පන්නා දමන ලද්දෙක්. සතා මේ සීමාවට පැමිණියාට පසු මිනිසුන්ට මුලිච්චි නොවී සිටීමට වග බලා ගත්තත් වසු පැටියන් සහ කලාතුරකින් කැලෑ වදින එළුවන් පිළිබඳ වගකීම් නිසි ලෙස ඉටු කරනවාලු. කුඩා ප්‍රමාණයේ සිවුපා සතුන් සියල්ලන්ම පාහේ මේ වන විට දිවියාගේ ගොදුරු බවට පත්ව තිබෙනවා.


"රිවස්ටන් කන්දෙ විශේෂත්වය තමයි දෙමළු නැති එක. සුද්දගේ කාලෙ එක තේ මණ්ඩියක් තිබුණා නම් මේ පළාතත් අද වෙද්දි තේ වතුවලින් වැහිලා තියෙයි. කලවම් නොවිච්චි සිංහලයෝ තමයි මේ හරියේ ඉන්නෙ." මඟ පෙන්වන්නා පමණ ඉක්මවාගත් ජාතිවාදියෙක්. සිංහලකම කරපින්නාගත් අයෙක්. "එනසාල් මණ්ඩිවල ශ්‍රමිකයන් ලෙස සේවය කරන්න ආ දෙමළ පිරිස් තලවකැලේ, හැටන් ප්‍රදේශවල පදිංචියට ගියා. දැන් මේ පළාත තනිකරම සිංහලයන්ගේ. ඇරත් අපි යක්‍ෂ ගෝත්‍රයේ අය. කලවමක් නැති හොඳම සිංහලයෝ" මුතූ එලෙස පවසන්නේ මේ වන විට රටේ අධිනිශ්චය වූ මතයන් සමඟ මාද එක්කාසු වී ඇතැයි සිතාය.


හරක් ගාල් බලා කියාගෙන කන්දේ නතර වී සිටින පුද්ගලයන් මාස කීපයකට සැරයක් ගම්මානය කරා එන අය. කිතුල් මැද හකුරු සෑදීම, හරක් ගාල් තදාසන්නයේ ඔවුන් සිදු කරන්නේ රාජකාරි දෙකක් එකවර ඉටුකරගත හැකි නිසා.


මස් මාංස හිඟ නැති නිසා ගම්මානය කරා ඔවුන් පැමිණෙන්නේ ලුණු ඇඹුල් සොයා ගන්නට යැයි හේරත් බණ්ඩා පවසා සිටියා. "කෑම බීම තිබුණත් ලෑම නැතිකම ගම්මානයට එන්න එක හේතුවක්" එලෙස පවසා සිටියේ පිරිසේ එක් අයෙක්.


අප හරක් ගාල් අතහැර නැවැතත් ගමන ආරම්භ කළා. නිශ්චිතව අප කඳු මුදුනත වූ පැතලි බිම් කඩකට පැමිණෙමින් සිටින බව තේරුම් ගත හැකි වුණේ් ඉර බැසගෙන යන යුරු දිස් වූ නිසා. කඳු මුදුන් පැතැලි ස්වභාවයක් ගැනීම මෙම ප්‍රදේශයේ භූ විසමතාවේ ප්‍රධාන ලක්‍ෂණයක්. උදාහරණයක් ලෙස අපගේ අවසන් ගමනාන්ත දෙකෙන් එකක් වන ලකේගල ගතහොත් එහි මුදුනත හිස් පිට්ටනියකට සමයි. දෙවැන්න වූ යහන් ගලත් එලෙසයි. පැතලි බිම් කඩ මත මිනිස් පා සටහන් දක්නට නෑ. ඉතිහාසය පුරා මෙම වනාන්තරය තවත් වනාන්තරයක් විසින් ගිලගනු ලැබූ බවට වූ ලකුණු පමණයි එහි දක්නට ලැබෙන්නේ.


"වතුර පාරවල් එක පාරටම ගලාගෙන එන්න ගන්නවා. එහා මෙහා වෙන්න බැරි ගානටත් වතුර එනවා. ලකේගල පැත්තට කොහොමත් වහිනවනෙ. ඒ වතුර පාර තමයි කැලේ මැදින් ගලාගෙන එන්නෙ. මේ කඳු පන්තියෙන් එක කන්දකට දෙකකට හැමදාම වහිනවා. මේ කතාවේ ඇත්ත නැත්ත කපුකෙටූ ගල ළඟදී එකපාර ගල් අතරින් වැටෙන වතුර පාරවලින් ඔයාලටම දැකගන්න පුළුවන්. අනික මේ බිම රාවණාගේ කාලේ වැවක්ලු.

වැවේ නම පතහන් වැව. වැව ඉස්මත්තෙ තිබ්බ ගුහාවේ තමයි රාවණා සීතාව හංගගෙන හිටියා කියන්නෙ. සීතා ඒ ගල් ගුහාවේ ඉඳලා කපු කැටුවාලු. ඒ හින්දලුනෙ මේ ගලට කපුකෙටූ ගල කියන්නෙ. වැව ගොඩවෙලා තියෙන්නෙ රාම කුමාරයා ලකේගලට පහර දෙද්දි කඩාගෙන වැටුණ මහ ගල් කඳන් නිසා. අපි පොඩි කාලෙත් මේ කැලේට ඇවිත් තියෙනවා.

පරිසරය එදා මෙදාතුර කිසිම වෙනසක් වෙලා නෑ. රාවණාට පින් සිද්ධ වෙන්න අපේ තාත්තලා දැක්ක පරිසරය අපිත් දැකලා අපේ දරුවොත් අද දකිනවා" එලෙස පවසා සිටියේ හේරත් බණ්ඩාගේ බෑනා විසින්. දස අත සීතල ගතියක් සහ අඳුරු මූසල ස්වභාවයක් රජයන්ට අරගෙන. ගෝන්නු කෑ ගසන හඬ මිස වෙනත් සතකුගේ හඬක් ඇසෙන්නේවත් නෑ. මේ වන විට සුළඟට එහා මෙහා වෙන තුරු ලතා අතරින් කපුකෙටූ ගල පෙනෙන මානයට අපේ කණ්ඩායම පිවිසෙමින් සිටියා.

ප්‍රභාත් අත්තනායක

බුද්ධගයා ප්‍රහාරය සහ හිටපු ඇමරිකානු ජනාධිපති රේගන්ගේ මහත්වරු




පකිස්තානවාසී දේශපාලන චින්තකයකු හා සමාජ ක්‍රියාධරයකු වූ ඉක්බාල් අහමඩ් ප්‍රකට Dawn සඟරාවට ලියූ ලිපියකින් මගින් අපූරු කතාවක් ලෝකයට හෙළි කරයි. ඉක්බාල් කියන පරිදි කතාව මෙසේය. ඒ 1985 වසරේ දිනයකි. ඇමරිකානු රූපවාහිනිය අපූරු දසුනක් විකාශය කරයි. විවාදාපන්න ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් ධවල මන්දිර  තණපිටියේ සිටී.
ඔහුගේ මුහුණේ විශාල සිනහවකි. සිනහවෙන් මුව සරසා ගත් ජනාධිපති රේගන් මේ සූදානම් වන්නේ ඔහු සමග සිටින යම්කිසි කණ්ඩායමක් මාධ්‍ය මගින් හඳුන්වාදීමටය. රේගන් කණ්ඩායම හඳුන්වා දෙන්නේ මෙසේය.
‘මේ මහත්වරුන් හිතින් ඇමරිකාවේ නිර්මාතෘවරුන්ට සමානය’ ජනාධිපති රේගන් ඇමරිකාවේ නිර්මාතෘවරුන්ට සමාන කරමින් ඒ හඳුන්වා දුන්නේ ඇෆ්ගනිස්ථානයේ මුජහිදීන් නායකයන්ය.

මේ අවස්ථාව ඉතාම වැදගත්ය. එය ලෝකයේ ගමන් මග වෙනස් කළ
නිමේෂයකි. මුජහිදීන්ලා නමැති ඉස්ලාමීය ගරිල්ලා දේශපාලන කණ්ඩායම්  පන්නරය ලැබුවේ, ලෝකයට  ආවේ එපරිද්දෙනි. දේශපාලන ඉස්ලාමීය කොටස් ත්‍රස්තවාදීන් වශයෙන් අභිෂේක ලැබුවේ එසේ ධවලමන්දිරයේදීය. 

මේ අභිෂේක මංගල්‍යයෙන් එළියට පැමිණ ත්‍රස්තවාදීන් ලෝකයට කරමින් තිබෙන විනාශය ගැන අමුතුවෙන් කිවයුතු නැත. ඔසාමා බින්ලාදන් නමැති ත්‍රස්ත ප්‍රධානියා එළියට ආවේ ඇමරිකාවේ ත්‍රස්ත අභිෂේක මංගල්‍යයෙහි ප්‍රතිඵලයක් හැටියටය. අවසානයේ බින්ලාදීන්ගේ අල්කයිදා කාඩර්ලා තමන්ට ත්‍රස්තවාදයේ රුහිරි පෙවූ පෙන්ටගනය සහ  සී.අයි.ඒ. මුල්කරගෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල කළහ. ඉතිහාසය සරදමක්යැයි කල්පනා වෙන්නේ මේවා දකින විටය. මෙසේ උපත ලැබූ මුජහිදීන්ලා ගැන අපගේ අවධානය යොමු වූයේ ඉකුත් 7 වැනිදා (2013 ජූලි 7) ඉන්දියාවේ බුද්ධගයා ශුද්ධ භූමියට එල්ල වූ කාලබෝම්බ ප්‍රහාර වටයත් සමගය. ඉන්දීය ආරක්ෂක අංශ වාර්තා සඳහන් කරන හැටියට බුද්ධගයා ම්‍ලේච්ඡ ප්‍රහාරය ඉන්දීය මුජහිදීන්ලාගේ වැඩකි. එහෙත් මේ මුජහිදීන්ලා ඉන්දියානුවන් යැයි නිෂ්පාදිත රටෙහි ‍ලේබලය ගැහුවද ඔවුන් පැමිණ තිබෙන්නේ  අරාබියෙන් හා ස්කොට්ලන්තයෙනි. කෙසේ වුවද මේ ඉන්දීය ආරක්ෂක වාර්තා අප තුළ සැක  ජනිත කරයි. ප්‍රහාරයෙන් පසුව ඉන්දීය බුද්ධි අංශ ප්‍රචාරය කළේ  මාස කිහිපයකට පෙර ප්‍රහාරයක අනතුර පිළිබඳ බුද්ධි අංශ අනතුරු ඇඟ වූ බවය.  එසේම දැනට අත්අඩංගුවට ගත්  ස්වරූපයේ පුද්ගලයන් බුද්ධගයා ප්‍රදේශයේ සැරි සරා තිබෙන බවද වාර්තාවෙයි. දිල්ලියේ බුද්ධි අංශ වාර්තා මගින් අනතුරු ඇඟ වූ පසු විහාරයෙහි විශේෂ ආරක්ෂක       බළකායක් විසින් ගයාවේ ආරක්ෂාව තර කළ බවද කියවෙයි. එහෙත් විශේෂ එබඳු ආරක්ෂාවක් දමා තිබියදී කාලබෝම්බ 13ක් ගයා භූමිය තුළ සවි කිරීම සැක ජනිත නොකරන්නේද? කෙසේ වුව අවසානයේ අයිය මලෝ දෙදෙනකු අල්ලයි. 8 වැනිදා අත්අඩංගුවට ගත් සැක කරුගේ මුහුණ කළු රෙද්දකින් වසා තිබුණි. ප්‍රහාරයෙන් සුළු කාලයක්ගත වෙද්දී සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් ඉන්දීය ආරක්ෂක බලධාරීන්ට  සමස්ත ලෝකයේම දැඩි ගෞරවයට ලක් වූ බුද්ධ ගයාව ත්‍රස්ත ප්‍රහාර වලින් බේරා ගැනීමට නොහැකිවීම ඉතාම ගැටලු සහිතය.
16-1එපමණක් නොව මේ  ජවනිකා පෙළ අප තුළ වඩාත් අරුමය උපද වන්නේ ප්‍රහාරයෙන් දිනකට පසු ඉන්දීය  ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන්ගේ ලංකා ගමන යෙනි.

එහෙයින්  ඉන්දීය ආරක්ෂක අංශ කියන හැටියට බුද්ධගයා ප්‍රහාරය මුජහිදීන්ලාගේ වැඩක් නම් ත්‍රස්තවාදින් ඉන්දියාවෙහි උඩ කරණම් බිම කරණම් ගසද්දී ආරක්ෂක උපදේශකවරයා ලංකාවෙහි තිබෙනවා යැයි කියන ගැටලු විසඳා ගැනීමට උපදෙස් දීම සඳහා පැමිණීම නම් අපගේ සිතෙහි හාස්‍ය රසයක් මතු කරයි.

බුද්ධගයා ප්‍රහාරයට කලින් ප්‍රබල ත්‍රස්ත ප්‍රහාර රැසකට ඉන්දියාව  ගොදුරු විය. මුජහිදීන්ලාගේ ත්‍රස්ත ප්‍රහාර දෙස අවධානය යොමු කරන කල අපට එක් කරුණක් පැහැදිලි වෙයි. ඒ ඔවුන් තමන්ගේ හෝ අනුන්ගේ අරමුණක් වෙනුවෙන් ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන බවය. එහෙත් බුද්ධගයා ප්‍රහාරයෙන් ඔවුන් ඉටුකර ගැනීමට අපේක්ෂා කළ ත්‍රස්තවාදී අරමුණ අතිශය සංදිග්ධතා බහුලය. එහෙයින් මෙම ප්‍රහාරය අපගේ සිත්හි තවත් සැකමතු කරයි. ඉන්දීය ආරක්ෂක අංශ වාර්තා එකවිට අපට පිළිගත නොහැකිය. අනෙක ලෝකයේ ප්‍රමුඛ පෙළේ බුද්ධි අංශ මගින් ක්‍රියාත්මක කරන අදහස් යුද්ධ අපට අමුතු දෙවල් නොවේ. ලෝකයේ ලොකුම අදහස් යුද්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන්නෙ ඇමරිකාවෙහි සී.අයි.ඒ.සංවිධානය මගිනි.

බුද්ධගයා ප්‍රහාරය මුජහිදින්ලාගේ වැඩක් යැයි අපි මොහොතකට උපකල්පනය කරමු. එහෙත් ඒ ප්‍රහාරය ඔවුන්ගේ අවශ්‍යතාවට කළ එක්ක විය නොහැකිය. මුස්ලිම් ත්‍රස්තයන්  බොහෝ විට කර තිබෙන්නේ සී.අයි.ඒ. ආදි බුද්ධි අංශවලට කඩේ යාමය.ලෝකයේ බුද්ධි අංශ අතර දැනට ඉහළ තැනෙක සිටින පාකිස්තානයේ අයි.එස්.අයි. ඔත්තු සේවාව ප්‍රබල තැනෙක සිටී. රෝ -සී.අයි.ඒ. ඒකාබද්ධ බුද්ධි මෙහෙයුම් සේම චින ඔත්තු සේවාව වන එම්.එස්.එස්.සේවාව අයි.එස්.අයි. ඔත්තු සේවාව සමග එකට වැඩ කරන අවස්ථාද ඇත.  ඇමෙරිකාවේ සී.අයි.ඒ. සහ පෙන්ටගන මග පෙන්වීම අනුව ලෝකයේ දේශපාලන ඉස්ලාමීය කණ්ඩායම් ත්‍රස්තවාදීන් සේ පාරට බැස්සද කාලයක් යන විට බොහෝ ත්‍රස්ත කණ්ඩායම් ඇමරිකාවේ පාලනයෙන් ගිලිහී පාකිස්තාන ඔත්තු සේවාව අතට පත්වෙයි.
එහෙයින් බුද්ධගයා ප්‍රහාරය එබඳු ඒකාබද්ධ ගනුදෙනුවක ප්‍රතිඵලයක් විය හැකිය. මතුපිටින්  කරුණු  සලකා බලනවිට බුද්ධගයා ප්‍රහාරයේ එක් අප්‍රධාන අරමුණක් වන්නේ දලයිලාමා හාමුරුදුරුවන්ගේ ගෝලබාලයන් වන  ලාමා හිමිවරුන්ය. ලාමා හිමිවරුන් ඉන්දියාවෙහි සරණාගතයන් වී සිටින්නේ බෞද්ධ තිබ්බතය කොමියුනිස්ට් චීනය මගින් ග්‍රහණයට ගනු ලැබිම නිසාය.

චීනයට ලොකුම හිසරදයක් වී තිබෙන්නේ ලාමා වරුන්ගේ විමුක්තිකාමී අරගලයයි. පසුගිය කාලයේ ලාමාවරුන් විශාල පිරිසක් තිබ්බත නිදහස තකා ගිනි තබාගෙන අපවත් වූහ.  ත්‍රස්ත ප්‍රහාර වටයේ අරමුණ ලාමාවරුන්ට පාඩමක් ඉගැන්වීමද? එසේත් නැත්නම් චීනයට එරෙහිව ලාමාවරුන්ගේ අරගලය උග්‍ර කරවීමද?  යන ප්‍රශ්නද අප තුළ ඇතිවෙයි. මුස්ලිම් ගරිල්ලන්ට බුද්ධාගම නොඉවසීම පිළිබඳ මූලධර්මවාදි වලිප්පුවක් විනා බෞද්ධයන් සමග ගහමරා ගැනීමට සමීප හේතු තිබෙන බවක් නොපෙනේ. ඉන්දීය ආරක්ෂක අංශ කියන්නේ බුරුමයෙහි ඇති  වී තිබෙන මුස්ලිම් ත්‍රස්ත  නැගිටීම හා බුද්ධගයා ප්‍රහාරය අතර සබඳතාවක් තිබිය හැකි බවය. එබඳු එකී තර්කයෙහි යම් ඇත්තක් තිබේනම් ත්‍රස්තයන් ප්‍රහාර එල්ල කළ යුත්තේ බුරුමයෙහි ස්වේදගෝන් වැනි පූජනීය ස්ථානයකටය. පැට්නාවල සැලසුම් කළ ප්‍රහාරය පසුව යම් හේතුවක් උඩ ගයාවට එල්ල කළ බවද මේ අතර ප්‍රචාරය වෙයි. එබැවින්ම මුජහිදීන්ලා තමන්ගේම ත්‍රස්තවාදී අරමුණක් සඳහා ප්‍රහාරය එල්ල කළේ නම් උපාය මාර්ගිකව ඔවුන් ප්‍රහාර එල්ල කළයුත්තේ හින්දු ආගමික ස්ථානයකටය. ඊට හේතුව ඉන්දීය  හින්දූන් සහ මුස්ලිම්වරුන් අතර තිබෙන බරපතළ ගැටුමයි.

එම ගැටුම උග්‍ර වූයේ 1992 දෙසැම්බර් 6 වැනිදා අයෝධ්‍යා ප්‍රහාර යෙනි. අයෝධ්‍යාවල මුස්ලිම්වරුන්ගේ මෝගල් යුගයට අයත් දේවස්ථානයක් විය. හින්දුවරුන් විශ්වාස කළේ එම දේවස්ථානය තිබෙන්නේ රාමා උපන් භූමියෙහි බවය. එනිසා රණකාමී ආගමික උත්සවයකට සහභාගි වූ හින්දු අන්තවාදීහූ අයෝධ්‍යා මුස්ලිම් දේවස්ථානය කුඩුපට්ටම් කළහ. මෙනිසා ගැටුම් රැල්ලක්  ඇතිවිය.  2000කට අධික පිරිසක් මිය ගියහ. අනෙක් මුස්ලිම් රටවලද ගැටුම් ඇතිවය. මෙකී වාස්තවික  පසුබිම අනුව මුස්ලිම් ත්‍රස්තයන් බුද්ධ ගයාවට ප්‍රහාරයක් එල්ල කිරීමෙහි උපාය මාර්ගික ගැටලු ඉතාම අපහැදිලිය. එක්පැත්තකින් මේ ප්‍රහාරය රෝ සංවිධානයේ උපාය මාර්ගික කම්පන ප්‍රහාරයක්ද විය හැකි යැයි යමෙකුට තර්ක කළහැකිය. එබඳු ප්‍රහාරයකට දැක්විය හැකි නිදර්ශනයක් වන්නේ 1986 මැයි 3 දා උදෑසන 9.12ට කොළඹ  සිට මා‍ලේ බලා යාමට නියමිතව තිබූ එයාර් ලංකා ගුවන් යානයක බෝම්බයක් පිපිරීමය. යානය පිටත්වීමට සුළු මොහොතකට පුපුරා ගිය බෝම්බය නිසා 16ක් මිය ගියහ. 41 ක් තුවාල ලැබූහ. ලංකාවේ පමණක් නොව ඉන්දියාවේද අය මේ ගැන ප්‍රකාශ කළේ   ඒ ප්‍රහාරය ‘රෝ’   වැඩක් බවය. එකී බෝම්බ ප්‍රහාරය වනවිට ඉන්දියාව හා ලංකාව අතර දෙමළ ජනයාට දේශපාලන විසඳුමක් දීම පිළිබඳ මත භේද උග්‍ර වී තිබුණි. එකට සිටි ඉන්දීය විදේශ ‍ලේකම්  ඒ.පී. වෙන්කටේස්වරන්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ ලංකාවේ දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීමය. කෙසේ වුව මුලින්ද අප කී පරිදි  බුද්ධගයා ප්‍රහාරවලින්් මෙරට බොදු හදවත් ශෝකයෙන්  ඇවිලෙද්දී ඉන්දීය ආරක්ෂක උපදේශක මෙහි පැමිණීම අපූරු අහඹුවක් විය හැකිය.
 
කොහොම නමුත් බුද්ධගයා ප්‍රහාරය අතිශය බරපතළ අනතුරු ඇඟවීමකි. ඒ අනතුරු ඇඟවීම ශ්‍රී ලංකාවටද එකසේත් අදාළය. ඇමරිකාවේ සී.අයි.ඒ. සමග එක් වී ඇෆ්ගනිස්ථානයේ සෝවියට්  ආගමනයට එරෙහිව මුජහිදීන්ලා පුහුණු කළ අන්තර්සේවා බුද්ධි අංශයෙහි වසර 4ක් පුරා කටයුතු කළ බ්‍රිගේඩියර් මොහොමඩ් යූසුෆ් වරක් සඳහන් කර තිබුණේ තමන්ගේ කාල සීමාවේදී මුජහිදීන්ලා 80,000ක් පමණ පුහුණුකර මුදා හළ බවයි.
අහමඩ් රෂිඩ්ගේ ඇස්තමේන්තු පරිදි 1982 - 1992 අතර කාලයේදී ඉස්ලාමීය රටවල්  43ක මුස්ලිමුන් 35,000ක් මුජහිදීන්ලා වෙනුවෙන් එක්කර තිබේ. මේ කණ්ඩායම් විවිධ ඔත්තු සේවාවලට සම්බන්ධ වෙමින් ලෝකයට හානි කරමින් සිටී. සමහර විට චීනය නැගිටින විට ආසියාවේ ප්‍රබල බෞද්ධ මුස්ලිම් ගැටුමක් නිර්මාණය කිරීම සමහර අයගේ අරමුණු විය හැකිය. එය චීනයේ නැගීසිටීමට මතූ නොව සමස්ත  ආසියාවේ නැගිටීමටද බාධාවකි.  බුද්ධගයා ප්‍රහාරය එබඳු වැඩ පිළිවෙළක ආරම්භක ප්‍රහාරය විය හැකිය. එහෙයින් ලංකාව  සීරුවෙන් සිටිය යුතුය.  

වරුණ අබේසේකර 

පාරාවෝ ශාපය යළිත් කරළියට ගෙනා කැරකෙන පිළිරුවේ අබිරහස

11-1
ළාබාල වයසින් පරලෝ සැපත් වූ සුප්‍රකට තූතන්කාමන් පාරාවෝගේ ශාපය විසින් මිනිස් ජීවිත විස්සක් පමණ බිලි ගත්තද නෙබු සෙනු නමැති පාරාවෝවරයාගේ ශාපය විසින් එල්ල කොට ඇති එකම බලපෑම නම් සෑම තෙදිනකට වරක්ම එම ශාපය රැඳි අඟල් දහයක ප්‍රමාණයේ කුඩා පිළිරුව එහි මුල් පිහිටීම තෙක් සකස් කිරීම පමණි. ඇමෙරිකාවේ මැන්චෙස්ටර් නුවර පිහිටි කෞතුකාගාරයේ වන වීදුරු කැබිනෙට්ටුවක් තුළ වර්ෂ ගණනාවක සිට තැන්පත්කොට ඇති වසර හාරදහසක් පමණ පැරණි මෙම ප්‍රතිමාව මෑතකදී සිට කිසිදු බාහිර බලපෑමකින් තොරව 180ංකින් (අඩ වෘත්තාකාර වටයක්) භ්‍රමණය වීමට පටන්ගෙන ඇත්තේ සෑම තෙදිනකට වරක් එය යළි මුල් පිහිටීමට ගෙන ඒමේ අවශ්‍යතාවක් කෞතුකාගාර භාරකරුවන්ට මතුකරමිනි. 

ඊජිප්තු යුගයේදී වන්දනාවට ලක්වූ මළවුන්ගේ අධිගෘහිත දේවතාව වූ “ඔසිරිස්” හට නෙබු සෙනු පාරාවෝ විසින් ක්‍රි.පූ. 1800 දී පමණ ඔප්පු කළ බවට සැලකෙන මෙම කුඩා ප්‍රතිමාවේ භ්‍රමණයද සම්බන්ධ මෙම අබිරහස මෑත ඉතිහාසයේදී ඊජිප්තු පෞරාණික විද්‍යාව සම්බන්ධයෙන් අසන්නට ලැබුණු අත්භූතම සිදුවීම බවට සැකයක් නැත. පිරමීඩ හා මමි හා ඈඳුණු ගුප්ත විශ්වාසයන් කෙරෙහි දැඩිව එල්බ ගත්තවුන් මෙයද පුරාණ පාරාවෝවරුන්ගේ අබිරහස් බලපරාක්‍රමය හඟවන සාධකයක් ලෙස පිළිගත්තද මෙබඳු කාරණා දෙස වඩාත් විවෘත මනසකින් පිළිගත හැකි පදනමක හිඳිමින් බැලුම් හෙළන භෞතික විද්‍යාඥ මහාචාර්ය බ්‍රයන් කොක්ස් විසින් ඊට ඉදිරිපත් කරනුයේ විද්‍යාත්මක පැහැදිලි කිරීමකි. ඒ කවර හේතුකාරණා ඉදිරිපත් වුවද මැන්චෙස්ටර් කෞතුකාගාරය වෙත නිතිපතා ඇදෙන සංචාරකයන්ගේ සංඛ්‍යාවේ අඩුවක් වීමට එය හේතුවක් වී නොමැති බව නම් පැහැදිලිය. 

 ප්‍රතිමාවේ අබිරහස්මය අර්ධ වෘත්තාකාර භ්‍රමණය මුලින්ම නිරීක්ෂණය කොට ඇත්තේ ප්‍රතිමාවේ භාරකරු ලෙස ක්‍රියා කරන විසිනව හැවිරිදි කැම්ප්බෙල් ප්‍රසිස්ය. කාල විරාම (බඪථඥ  තචනඵඥ) කැමරාවක් මගින්ද ඉතා සෙමින් සිදුවන භ්‍රමණය පටිගත කොටගෙන ඇති ප්‍රයිස්ගේ විශ්වාසය නම් මෙම අත්භූත සංසිද්ධිය සඳහා යම් අධ්‍යාත්මික තලයේ පැහැදිලි කිරීමක් තිබිය යුතු බවය. ප්‍රතිමාව රඳවා ඇති කැබිනෙට්ටුවේ විවෘත කළ හැකි යතුරක් ඇත්තේ ප්‍රයිස් සන්තකයේ පමණක් වන අතර, තමා විසින්ම කිහිපවරක්ම ප්‍රතිමාව මුල් පිහිටීමට ගෙනාවද මීළඟ දිනයේදී එය යළිත් භ්‍රමණයට ලක්වී තිබෙනු කිහිපවරක්ම සියැසින්ම දුටු ප්‍රයිස් පෙන්වා දෙන විශේෂ කරුණක් නම් ප්‍රතිමාව හැමවිටම 180ංක් පමණක් භ්‍රමණය වී නතර වන්නේ එහි පිටුපස සටහන් කොට ඇති එක්තරා යාතිකාවක් ඉදිරිපසට නිරාවරණය කරමිනි. එය පාන්, බිර, ගවයන් හා කුකුළන් ඉල්ලා සිටිමින් කළ යාඥාවක් වීම කුකුසක් දනවන්නකි. මමියක් විනාශ වූ කල ඒ සමග තැන්පත්කොට තිබූ එහි අනුරුව දැක්වෙන ප්‍රතිමාවකට මමියට අරක්ගත් ආත්මයේ විකල්ප දාරකයා ලෙස ක්‍රියාකළ හැකි අතර, මෙහිදීද සිදුව ඇත්තේ එබඳු සංසිද්ධියක් බව ප්‍රයිස්ගේ අදහසයි. 

පිළිමය භ්‍රමණයට ලක්වන්නේ හැමවිටම දිවා කාලයේදී පමණක් වීමත්, භ්‍රමණය 180ං නොඉක්මවීත් මෙහි ඇති අපූර්ව ගුප්තභාවය ඉතා තීව්‍ර කරන්නකි. එසේ වුවද මීට විද්‍යාත්මක  පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට තැත්දරන මහාචාර්ය කොක්ස් කියා සිටිනුයේ කෞතුකාගාර නරඹන්නට එන්නවුන්ගේ අඩි ශබ්දවලින් හටගන්නා කම්පන තරංගවල බලපෑමට ලක්වීමෙන් ප්‍රතිමාව චලනය වන්නට ඇති බවයි. නමුත් එසේ නම් මෙතුවක් කාලයක් කිසිදු චලනයක් නොපෙන්වූ එය හදිසියේම චලනය වීමට පටන් ගත්තේ කෙසේ ද? එසේම හැම විටම එය වෘත්තාකාර පථයකම භ්‍රමණය වන්නේ කෙසේද? මේවාට පිළිතුරු ලැබෙනතුරු මෙයද මෑත කාලීන අබිරහස් ගොන්නට එකතු වනු ඇත.

ප්‍රියන්ති රුද්‍රිගු