Mar 15, 2013

ප්‍රාග් ඓතිහාසික යුගයේ මහ මුහුදේ රජ කළ දැවැන්තයා


03-1ප්‍රාග් ඓතිහාසික යුගයේදී එනම් මීට වසර මිලියන දෙසීය පනහකට පෙරදී මහා සාගරයේ අණසක පතුරවාගෙන සිටි අඟල් පහක් දිගැති පිහි තුඩු වන් තියුණු දත් සහිත දැවැන්තයෙකුගේ ෆොසිලයක් පසුගියදා සොයාගනු ලැබිණි.
දිගින් අඩි විසිඅටක් වූ දැවැන්තයෙකු වන මොහු මුහුදු ආහාර දාමවල ඉහළම මට්ටමේ පසු වූ විලෝපිකයකු වන අතර මොහුගේ ෆොසිලය අනාවරණය කරගනු ලැබ ඇත්තේ නෙවාඩා කාන්තාරයේ  ගල් පර්වත අතරිනි. වසර මිලියන දෙසීිය හතළිස් හතරක් වැනි ඈත අතීතයකට උරුමකම් කියන නෙවාඩා කාන්තාරයේ ගල් පර්වත පිහිටි මෙකී ප්‍රදේශය එකල උණුසුම් සාගරයෙන් වැසී තිබූවකි. “කටුස්සන් ආහාරයට ගත්  මහ  සයුරේ අධිපතියා  යන අර්ථය ඇතිව“Thalattoarchon Saurophagis” ලෙස හඳුන්වනු ලබන මොහු ‘ඉච්තියෝසෝරස්’03-2 වංශිකයන්ගේ ආදි නෑයෙකි. ඩයිනෝසර් දැවැන්තයන් මිහිමත රජකළ අවධියේදී සාගරයේ බල පරාක්‍රමය සියතට ගෙන සිටි සුමුද්‍රීය උරග කාණ්ඩයක් වන මොවුහු වසර මිලියන එකසිය හැටක කාලයක් සාගරයේ සැරිසරා තිබේ. ට්‍රියාසික යුගයේ මධ්‍යභාගයේදී පමණ ගොඩබිම සිට යළි සාගරය වෙත පියනැගූ උරගයන්ගෙන් ඉතිච්යෝසෝරස් පරිණාමය වන ලද්දේ අද සිටින ඩොල්පින් හා තල්මසුන් වැනි මත්ස්‍යයන් ඔවුන්ගේ මුතුන්මිත්තන්ගෙන් පරිණාමය  වන ආකාරයට සමානවය. ක්‍රිමේෂස් යුගයේදී මිහිමත පහළ වූ ‘ප්ලෙසියෝසෝරස්’ විලෝපික උරග වංශය විසින් මොවුන්ගේ ස්ථානය හිමිකර ගැනීමට ප්‍රථම ජුරාසික් යුගයේදී සාගරයේ බහුලවම සැරිසරන ලද්දේ ‘ඉච්තියෝසෝරස්’ උරග කාණ්ඩයයි.

ට්‍රියාසික යුගයේදී සාගරවල විසූ සෙසු උරගයන් ගොදුරක් කර ගැනීමට තියුණු විශාල දත් සහිත හණුවලින්ද සුවිශාල හිස්කබලකින්ද යුතු ‘තැලතෝආර්කන්’ සත්වයා නූතනයේ සිටින ‘ඔර්කා තල්මසුන්’ හට බොහෝදුරට සමාන වනුයේ ඔවුන් මෙන්ම මෙම දැවැන්තයාද තමාගේම ශරීර ප්‍රමාණයට සමාන ජීවීන් ගොදුරු කර ගැනීමට දැක් වූ හැකියාව නිසයි. (metapredators) තැලතෝ ආර්කන්’ සත්වයා මිහිමත පරිණාමය වීමට වසර මිලියන අටකට හෝ එනම් පර්සියානු යුගයේ අවසාන භාගයේදී සිදු වූ දරුණු නෂ්ටවීමකින් සාගරයේ සිටි ජීවී විශේෂයන්ගෙන් 80 -96 අතර සංඛ්‍යාවක් මුළුමනින්ම විනාශ විය. ඉන් නොබෝ කලකට  පසුව සිදුවූ තැලතෝ ආර්කන් සතුන්ගේ කාර්යක්ෂම පරිණාමයෙන් පෙනී යන්නේ එබඳු දැවැන්ත විනාශයකින් පසුව වුවද යළිත් වරක් ජීවිතය පරිණාමය වීමටත්, පරිසර පද්ධති වඩාත් නවීකරණය වී බිහිකිරීමටත් අප පෘථිවිය සතු අද්විතීය හැකියාව බව සොයාගැනීම සිදු කරන ලද විද්‍යාඥ පිරිසේ මූලිකයා වන බර්ලින්හි ‘හුම් බෝල්ඩ්ට් කෞතුකාගාරයේ’ ආචාර්ය නාදියා ෆේ‍රාබිෂ්ගේ අදහසයි.

නෙවඩාහි කඳු සහිත ප්‍රදේශයකින් සොයා ගනු ලැබූ ෆොසිලයේ හිස් කබලද ඇතුළුව සැලකිය යුතු කොටසක් ඉතා හොඳින් සංරක්ෂණය වී තිබුණද, වරල්වල කොටස් හා හොම්බේ පූර්ව භාගය හා කොඳු ඇට පෙළ කාලයාගේ පරිහානියට ලක්ව තිබුණේ ඉන් වැඩි කොටසක් විනාශයට පත් කරලමිනි.

ප්‍රියන්ති රුද්‍රිගු 

Mar 13, 2013

විශ්මිත රහස් සඟවාගත් දකුණු ඇමරිකාවේ පැරණි ශිෂ්ටාචාර


වනාන්තර, උස් තැනි හා කඳු වැටිවලින් හෙබි දකුණු ඇමරිකාව රහස් ගුලාවකි. එහි පැරණි ස්වදේශික මානවයන් විසූ ,නැති වී ගිය ශිෂ්ටාචාර විමර්ශනය කිරීම  විශ්මයෙන් කුළුගන්වන්නකි.
ඉන්කාවරු හා 16 වෙනි සියවසේ යුද බලයෙන් රටවල් යටත් කරගත් ස්පාඤ්ඤවරු පැමිණීමට පෙර එරට වාසය කළ ජනතාව විසූ කඳුකර දුර්ග හා ගල් තලාවල ඇති නටබුන් ඇමරිකානු පුරාවිද්‍යාඥයන් හා බ්‍රිතාන්‍ය කෞතුකාගාරය භාර නිලධාරී මහාචාර්ය ජාගෝ කූපර් විසින් විමර්ශනය කරන ලදී. ඒ එකල ජනයා පිළිබඳ වැඩිදුර කරුණු දැනගනු පිණිසය.

පුරාවිද්‍යා මහාචාර්ය ජාගෝ කූපර් පේරු හි ඇන්ඩීස් කඳු වැටිය කරා ළඟා වූයේ එහි විසූ අබිරහස් චචා‍පොයා ජනයා පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සඳහාය. වලාකුළු මිනිසුන් ලෙස හැඳින් වූ එම ජනයා තම කතා වාර්තා කිරීම සඳහා යොදාගත් ක්‍රමවේද දියුණු කර ගත් ආකාරය පිළිබඳ මහාචාර්ය කූපර් අනාවරණය කර ඇත. එමෙන්ම හුවමාරු කරගන්නා ලද විදේශීය භාණ්ඩද සැතපුම් සිය ගණනක් වූ ඔවුන්ගේ භූමි ප්‍රදේශවලින් සොයාගෙන ඇති අතර පැරණි මානව චර්යාවන් පිළිබඳ උපකල්පනයන්ට අභියෝග කරන අවමංගල්‍ය සම්ප්‍රදායන් පිළිබඳවද අනාවරණය කර ඇත

මෙම පර්යේෂණයේදී හමු වී ඇති දැඩි බෑවුමක (පර්වතයක) පිහිටි සුසානාගාර විශ්මය දනවන සුළුය. ඒවා වසර 500 කාලයක් පුරා කිසිවකුගේ අවධානයට ලක් වී නොමැති අතර එම පර්වතය දකුණු ඇමරිකාවේ පිහිටි වඩාත් දර්ශනීය දුර්ගයන්ගෙන් එකකි.09-3උතුරු පේරු හි ලා පෙටාකා ප්‍රදේශයේ පිහිටා ඇති මීටර 300ක් පමණ උස්, ගුහා  (කුහර) සහිත ප්‍රපාතයක් ඔවුන් මෙසේ තම සොහොන් සඳහා භාවිත කර ඇත. චචා‍පොයාවරු පර්වතයේ බිම සිට ඉහළට අඩදුරක මාර්ගය කෙසේ ගොඩනැගුවේද යන්න සම්පූර්ණයෙන් වටහා ගැනීමට නොහැකි වී ඇති නමුදු බොහෝ කුහරවලට / ගුහාවලට ඇති ප්‍රවේශයන් ඔවුන් විශාලකර ඇති බවට සාක්ෂි හමු වී ඇත. 

ඒවායේ ඇතුළත ඇත්තේ වසර 500ක කාලයක් පුරා කිසිවකුගේ බාධාකිරීමකට ලක් නොවී වැතිරී සිටින ඇටසැකිලි    නෂ්ටාවශේෂයන්ය.   පර්වතයේ ඇතැම් ස්ථාන  ගෙවී   මටසිලුටු වී ඇත්තේ ඔවුන් නැවත නැවතත් එහි පැමිණි බවට ඉඟි කරමිනි. එමෙන්ම එහි ඇති අස්ථිද ප්‍රවේශමෙන් හා හිතාමතාම ස්ථානගත කර ඇති අතර එම ජනයා මළවුන් තැන්පත් කරලීම සඳහා ඒ සා දුරක් යන්නට ඇත්තේ
මළවුන්ගේ ආරක්ෂාව හා රැකවරණය උදෙසා විය හැකියයි සැලකේ. මන්ද, තම මුතුන්මිත්තන්ගේ නෂ්ටාවශේෂ ප්‍රදර්ශනය කිරීමෙන් තම භූමි ප්‍රදේශයට ඇති අයිතිය ප්‍රබල වන හෙයිනි.

තනූජා යටවතුර 

Mar 12, 2013

කුරුල්ලන් කන යෝධ මකුළුවෝ


හිරු ඇහැරේ... එහෙත් සුවහසක් සියොත් සමූහය ඇස් අරින්නේ හිරුටත් කලිනි. සතුන්ගේ විවිධ රිද්මායානුකූල සංගීත සංධීවනියෙන් මුළු වනාන්තරයම අවදි වන්නේ හිරු ඇහැරෙන්නට හෝරාවකට දෙකකට පමණ පෙරාතුවය. හිරු එළියක්වත් නොවැටෙන මහා ඝනඅන්ධකාරයේ අඳුරු ගුහාවට නෙත් යොමුකරන ගවේෂකයා තවමත් ගෙවුණු රාත‍්‍රියේදී ගස් දෙකක එල්ලාගත් හැමොකය මත සැතපුණ ගමන්මය.

ඔහුට නින්ද ගියේ නැති තරම්ය. නිදි දෙව්දුව ඇමේසන් වනයට අධිපතිත්වය දරන්නේ නැතුවා විය යුතුය. ඇත්ත වශයෙන්ම මේ රාත‍්‍රිය පුරාවටම මුළු වනයම වනයේ වෙසෙන සතුන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් සිටියේ අවදියෙනි. සමහරෙක් නිශාචරයෙකි. උන්ගේ ගොදුරු ලොබ  නිසා දිවාචරයකුට වුව හිතේ සැනසිල්ලෙන් නිදාගන්නට හැකියාවක් නැති නිසාය.ගවේෂකයා පසෙක වූ විදුලි පන්දම ගෙන හාත්පසට එල්ල කළේය. එහි වූ තියුණු එළිය වනපෙතට එල්ලවිය. මදක් ඇතින් වූ මේ තුඹස අසල කිසියම් සතෙකි. ගෙවුණු හැන්දෑවේ මිනිසකු තරම් උස්ව බැඳුණු මේ තුඹස දෙස ඔහු බලා සිටියේ පුදුමයෙනි. ඒ තරම් උස වේ තුඹසක් ඔහු ඇමේසනයට පිටතදී දැක නොතිබූ බැවිනි. තුඹස මෙච්චර ලොකුනම් මේකෙ ඉන්න වේයො කොච්චර ලොකු ඇත්දැයි ඔහුට සිතිණි.
තුඹස ඉදිරිපිට සිටගෙන සිටියේ සතෙකි. එහෙත් ඌ අමුතුම ආකාරයක සතෙක් බව ගවේෂකයාට බැලූ බැල්මටම පෙනී ගියේය. ඇත්ත වශයෙන්ම එය යක්‍ෂ අවතාරයක් වැන්න.
කකුල් දෙකෙන් සිටගෙන අත් දෙකෙන් වේ තුඹස හාරමින් සිටි උගේ මුහුණ දිගටි එකකි. එවන් සත්ව මුහුණක් ඔහු ඊට පෙර දැක තිබුණේ නැත.
එහෙත් ඇමේසන් වනයේ වෙසෙන අමුතු අමුතු සතුන් පිළිබඳව ඔහු බොහෝ තොරතුරු රැස් කළේය. යෝද කූඹි කන්නා ගැන ඔහුට කියවන්නට ලැබුණේ ඒ වෙලාවේය.
ඇමේසන් වනයේ වැඩි වශයෙන්ට වාසය කරන මේ අමුතු සතාගේ කටෙහි දත් නැත. ඒ වෙනුවට ඇත්තේ දිගු දිවකි. මේ දිගු දිවෙහි ආධාරයෙන් කුඹින් හා වේයන්  තම කුස තුළට ගන්නා ඌ ඒ සමඟ කුසට ඇතුළු වන පස් කුසෙහි වෙනම කොටසක තැන්පත් කරගනී. හැබැයි ඒ පස් පසුව ක‍්‍රමයෙන් දියවී යන බැවින් ඌට ඒ පස් ගබඩාව හානිදායක වන්නේ නැත.
කූඹිකන්නා නිශාචරයකු වන නමුත් ඇමේසන් වනයේදී නම් ඌ රාත‍්‍රියට පමණක් සීමා වන්නේ නැත. දවල් දවසේද ආහාර සොයාගෙන යන්නේය. ඒ අතරතුර හමුවන ගුහාවකට රිංග ගෙන වකුටු වී නිදාගන්නා ඌ සිය වලිගයෙහි ඇති ලොම් කබායෙන් මුළු ඇඟම වසා ගන්නේය. මීටරයක් පමණ දිග වලිගයේ සෙන්ටිමීටර් හැත්තෑවක් පමණ දිගට ලොම් කබායක් පිහිටා තිබෙන බැවින් ඌට තම සිරුර මේ වලිගයෙන් වසාගන්නට පුළුවන.
හැබැයි මේ හාදයා නපුරෙකි. හුදෙකලාවේ ගමන් කරන ඌ ඉදිරියෙන් හමුවන  ඕනෑම ජගතෙකුට පහර දෙන්නේ වලසකු මෙන් කකුල් දෙකෙන් හිටගෙන අත් දෙකේ ඇති තියුණු නියපොතු ආධාර කරගෙනය. මේ නිය වලට මුහුණු මස් ඉරීයයි
තුඹස බිඳ දැමු කූඹිකන්නා වේයන්ගේ කිරි රසය විඳ ගනිමින් සිටියි. ගවේෂකයා සිය විදුලි පන්දම පසෙකට යොමු කළේය. තවත් කොතරම් නම් අමුතු සතුන් මේ වනරජ දහනේ රජකම් කරනු ඇත්ද?
ඔහුගේ නෙත් ගැටුණේ තම හැමොකය අසලටම පහත් වූ තුරු අතු පතරෙන් ඇලී ඉන්නා යෝධ මකුලූවා වෙතය.
මුළු ඇඟම ලොම් කබායකින් වසාගත් මේ නපුරු මකුලූවාගේ සිරුරේ වර්ණය රතුය. තව වර්ගයක කළුය. එහෙත් මේ රාත‍්‍රියේ විදුලිය එළියට උගේ ඇෙඟ් පැහැය කළුද, රතුද යන්න පැහැදිලි ලෙස බලාගත නොහැකිය.
මීට කලියෙන් ඇමේසන් වනයේ රහස් සොයා ආ එක්තරා ගවේෂකයෙකුගේ ඇස මේ මකුලූවා වෙත යොමුවන විට ඌ සිටියේ පැණි කුරුල්ලෙකුගේ මසෙහි රස බලමිනි. එදා පුදුමයෙනුත් පුදුමයට පත් මේ ගවේෂකයා ”කුරුලූ කන්නා” ලෙසින් මේ මකුලූවා බව්තීස්ම කළේය.
ගවේෂක තෙමේ වඩාත් හරිබරි ගැහී කුරුලූ කන්නා දෙස බැලූවේය. ඒ මොහොතේ ඌ සිටියේ ආහාර ගනිමින් නොවේ. එහෙත් රාත‍්‍රියේදී නම් ඌට පහසුවෙන්ම කිරි වවුලෙක් අල්ලා ගන්නට පුළුවන. ඇතැම්විට රාත‍්‍රියේ කලින් හෝරාවක ඌ වවුලෙක් අල්ලාගෙන බඩ කට පුරවාගෙන සිටිනවා විය යුතුය. එසේනම් වවුල් තටු උගේ පාමුල බිම වැටී තිබෙනු ඇත.
”උදේට බලමු”
ගවේෂකයා තමන්ටම කියා ගත්තේය.
කුරුලූ කන්නා වූ කලි ඇමේසන් වනමැද වෙසෙන විශාලතම මකුලූ විශේෂයයි. බර ග‍්‍රෑම් 120 ක් පමණ වන උගේ කකුලක් සෙන්ටිමීටර් තිහක් පමණ දිගය. උගේ සිරුරේ දිග පළල සෙන්ටිමීටර් දහයක් තරම්ය.
අවුරුදු විස්සක් තරම් කාලයක් ජීවත්වන්නට වරම් තිබෙන මෙම මකුලූ විශේෂයෙන්ද උපරිම ආයුෂ විඳින්නේ මැකිලිය පමණකි. මකුලූවෙකුට ඒ තරම්ම දීර්ඝායුෂ විඳිය යුතු නම් ඌ අනිවාර්යයෙන්ම අනගාරික විය යුතුය. මැකිලියගේ පේ‍්‍රම මායම් දැලෙහි පැටලූනොත් ඌට සිදුවන්නේ ”මංගල රාත‍්‍රියෙන්ම, අවමංගල ගමනද” යන්නටය.
හේතුව තමන් සමඟ යහන් ගතවන  ඕනෑම වල්ලභයකුගේ මසෙහි රස බැලීමේ වියුරු ආශාවකින් මැකිලිය පෙලීමය. එහි ප‍්‍රතිඵලය වන්නේ මකුලූලොවේ පිරිමි සතුන්ගේ උපරිම ආයුෂ වසර හයකට සීමාවීමය.
ඇය මකුලූවන් කා දැමුවත් ඒ වෙනුවට බොහෝ මකුලූවන්ට ජීවිතයද දෙන්නීය. ඒ වරකට මකුලූ පැටවුන් හාරසීයක් පමණ බිහිකරනුවස් බිත්තර තොගයක් දැමීමෙනි. මේ නිසා ඇය දිනපතාම රති සුවය වින්දත් ප‍්‍රශ්නයක් නැත. මකුලූවන්  ඕනෑතරමටත් වඩා වැඩිය.
රාත‍්‍රිය ගෙවී ගොස්ය. හිරු ඇහැරී ඇති බවට ලකුණු මේ අඳුරු වනගහනය තුළ එල්ලෙන ඇඳක ගුලිවුණු ගවේෂකයාටද පෙනෙයි. සුවහසක් කුරුල්ලෝ අවදිව ගී ගයති. අත්තෙන් අත්තට පනින කුරුල්ලන් සේම ගස්මත වසා සිටින කුරුල්ලන්ද නිසාවෙනි.
කොළම කොළපාට වන රජ දහනට පාට පාට දෙමින් මැකෝ ගිරවුන් තුරු අතුපතර පියාඹති. රතු, කහ, නිල් ඇතුළු විවිධ විචිත‍්‍ර වර්ණවලින් හැඩවුණු මැකෝ ගිරව් ඇත්තටම ඇමේසනයට ආභරණයකි. සෙන්ටිමීටර් අසූවක් පමණ දිග, හොඳින් වැඩුණු මැකෝ ගිරවකුගේ බර කිලෝග‍්‍රෑම් එකහමාරක් පමණ වේ. ඇමේසනයේ ඉදෙන පළතුරු වලින් බඩ කට පුරෝගන්නා මේ ලස්සන ගිරවකු අවුරුදු සියයක තරම් දීර්ඝායුෂ විඳින බවද කියති.
මැකෝ විචිත‍්‍රවුවත් ඇමේසන් ගිරව් ලෙස හඳුන්වන සුවිසල් ගිරා විශේෂය නම් කොළ පාටය, මොවුන් සිටින්නේ රංචු වශයෙනි. ඇතැම් ගහක ඇති ගිරා ජනපදයක සාමාජිකයන් සංඛ්‍යාව දෙතුන් සීයද ඉක්මවයි. ඇමේසන් ගිරව් රෑනක් අහසට නැගුණවිට බලා ඉන්නකුට පෙනෙන්නේ කොළපාට වළාකුලක් අහසේ පාවී යන්නාක් ලෙසිනි.
බොහෝ වේලාවක් ගිරා විසිතුරු බලාසිටි ගවේෂක හැමොකයෙන් බැස එය ගලවා ගත්තේය. ඇමේසන් රහස් සොයමින් යළිත් වනගත වීම පිණිස දැන් ඉතින් සූදානම් විය යුතුය. මේ සොඳුරු ගමනේදී තවත් අපුරු රහස් ගණනාවක් දැන කියා ගන්නට, දැක බලා ගන්නට ඔහුට හැකිවනු ඇත්තේය.ඒ ගමනේදී ඔහු ඉදිරියට හාපුරා කියා ආවේ විෂකුරු සර්ප රාජයෙකි. ඌට ඉඩදුන් ගවේෂක පැත්තකට වූයේ බියෙන් ගැහෙමිනි. දෙකකුුල ”බූට්” සපත්තු වලින් ආවරණය වී ඇති නිසා සර්ප දෂ්ඨයකින් වුව විස ශරීරගත වන්නේ නම් නැත. එහෙත් විෂගෝර සර්පයකු දුටුවිට ගත ලොමුදැහැ නොගැන්වෙන්නේ කෙසේද? අඩි විස්සක් පමණ දිග මේ සර්පයා දුටු විටම ගවේෂකයා පිටුපසට වූයේ ඌ ගැන දන්නා කියන නිසාය. එහෙත් සතුරු ඉව දැනුණු නිසාදෝ වහා නතරවුණු සර්පයා ස්වකීය පෙන ගොබය විහිදෙව්වේය. අඩි හතරක් පමණ විශාල මේ පෙනයත් සමඟ රජනයා දුටු විට ඔහුට සිතුනේ ඌ නම් රජනයකු නොව අධිරාජ නයකු කියාය.
ඌ ඒ තරමටම දැවැන්තයෙකි.
මොනයම් සතකු හමුවුනත් තරාතිරමක් නොබලා දෂ්ඨ කරන මේ සර්පයා මිනිස් ශරීරයකටනම් දෂ්ඨ කළ සැනෙකිින්ම මරණයෙන් කෙළවර වන තරමටම උග‍්‍ර විෂ සහිතය.
රජ නයාගේ බිරිඳ කොළ අතුවලින් තනාගන්නා කැදැල්ලක බිත්තර හතළිහක් පමණ දමයි. දවස් හැටක් පමණ බිත්තර රැකීමෙන් අනතුරුව වනයට පිවිසෙන පැටවුන් සුදු හා කළු පාට වයිරම් සහිත විචිත‍්‍ර සතෙකි. එහෙත් ඒ පොඩිඑකා සතුවත් මහසතා සතු ප‍්‍රමාණයටම විෂ අන්තර්ගතය.
පෙනය හකුලාගත් රජනයා හෙමින් සීරුවේ වනයට ගියේය. ඉනික්බිති ගවේෂකයා ද තවත් වනගත රහස් සොයමින් වන මැදින් ගමන පටන් ගත්තේය
ඇමේසන් වන මැදින් යන ගමන ලෙහෙසි පහසු එකක් නම් නොවේ. විවිධ වර්ගවල ගස් කොළන්, කටු පඳුරු අස්සෙන් යන එක බොහෝ අමාරු වැඩක් වන නිසාය.
ඇමේසන් ගවේෂක වනමැද තිබෙන දැඩි සීතල දඅරාගෙන තවත් ඉදිරියටම ගියේය.
ඔහුට ඇසුනේ බියකරු හූ හඬක් බඳු හඬකි. වහා නැවතුණු ඔහු ගල් ගැසුනේය. මේ හූ හෙඬ් අයිතිකාරයා කවරකු විය හැකිදැයි ඔහුට කල්පනාවක් නැත. පොළෙවෙහි විෂකුරු සතුන්ය. තුරු කඳන්වලද තවත් එබඳුම නපුරන්ය. ගස් මත දෙපා සතුන්ය. ඇතැම්විට සිවුපාවුන්ය.
හැම මොහොතක්ම මාරයාගේ දත් තිස් දෙකට කොටුවිය හැකි අන්දමේ බිහිසුණු තත්ත්පර වලින් පිරී තිබේ. ඊළඟ මොහොතේ ඔහු ඉදිරියට යමක් වැටිණි. ඒ ගසකින් වැටුණු ගෙඩියකි. ඔහු උඩ බැලූවේය.
ඔහුට පෙනුණේ ඇමේසන් වඳුරෙකි. මොහොතකට පෙර කෑ ගැසුවේත් දැන් මේ ගෙඩියෙන් ගැසුවේත් අන්න ඒ වඳුරාම විය යුතුය. අළු පාටට හුරු මේ වඳුරා කලින් බෙරිහන් දුන්නේ මේ මිනිස් රුව දැකීම නිසා බව ගවේෂකයා වටහා ගත්තේය.

ශාන්ත කුමාර විතාන





Mar 11, 2013

ලංකාවේ මුල්ම ලොතරැයියෙන් මුල්ම දිනුම දිනූ වාසනාවන්තයා


ගලිගමුවේ බිසෝවෙල පදිංචිව සිටි කිරිඅප්පු රස්සාවට කළේ අඹන්පිටියේ තේ ස්ටෝරුවේ කම්කරු වැඩය. ලද ඉසිඹුවකදී තේ කෝප්පයක් බොන්නට ඔහු අසල තිබූ කඩයකට ගොඩවෙද්දී එතැන ස්වීප් වෙළෙන්දෙක් සිටියේය. තේ කඩයේ සිටි බොහෝ දෙනෙක් මේ ස්වීප් වෙළෙන්දා වටකරගෙන ස්වීප් මිලට ගනිමින් සිටියහ.

”දිනුවොත් රුපියල් ලක්ෂයකට කිට්ටු මුදලක් හම්බ වෙන්නෙ.”
ස්වීප් මිලට ගත් කෙනෙක් කීවේය....
කිරිඅප්පු ස්වීප් වෙළෙන්දාට කිට්ටු වී එක ලොතරැයියක මිල ඇසුවේය.
”ශත පනහයි” ඔහු කීවේය.
රුපියල් ලක්ෂයේ මුදලකට ආශා කළ කිරිඅප්පු අතේ තිබූ ශත පනහක් දී එක ලොතරැයි පතක් මිලට ගත්තේය.
ඒ ලොතරැයිය ගෙදර ගෙනගොස් සාලයේ එල්ලා තිබූ ගෝන අං තට්ටුව අස්සේ ගැසූ කිරිඅප්පු තේ කොප්පයක් බී පුරුදු විදිහටම කල් ගෙව්වේය.
මේ සිද්ධිය වූයේ 1955 සැප්තැම්බර් මාසයේ එක්තරා දවසකය.
යාම්තම් තුනේ පන්තියට පමණක් ඉගෙන තිබූ කිරිඅප්පු පුංචි සන්දියේම කුලියක් මලියක් කරගෙන ජීවත්වූයේ ඔහුට බාල සහෝදර සහෝදරියන් දහ දෙනකුගේ බඩගින්දර සමග සටන් කරන්නටය. පුරා මාසයක් මහන්සි වූ විට ඔහුට ලැබුණේ රුපියල් සීයක පඩියකි. ඒ පඩිය ඔහුට මහමෙරක් තරම් වටිනාකමකින් යුතු විය.
කාලය ගෙවී ගියේය.
”ස්වීප් එකේ මුල් තෑග්ග ලැබිල තියෙන්නෙ ගලිගමුවට...” තේ ස්ටෝරුවේ කෙනෙක් කිරිඅප්පුට කීවේය.
”ඇත්තට කවුද දන්නෙ නෑ වාසනාවන්තයා” කිරිඅප්පු ඇසුවේ ඔහුත් ලොතරැයියක් ගත් බව සිහිපත් කරමිනි.
එහෙත් ඒ වනවිටත් ජයග‍්‍රාහකයා ඉදිරිපත්ව සිටියේ නැත.
එදා හවස ගෙදර ගිය කිරිඅප්පු ගෙදර අස්සක් මුල්ලක් නෑර ලොතරැයිය සෙවුවත් කිසිතැනකින් එය හමුනොවිණි.
ඒ වනවිට ලොතරැයිය තැබූ තැන ඔහුට අමතකව තිබිණි. මිලට ගත් ලොතරැයිය ගැන සිතමින් නින්දට ගිය ඔහුට රාත‍්‍රියේදී සිහිපත් වූයේ ලොතරැයිය තැබුවේ ගෝන අඟ අස්සේ බවය.
ඒ රාත‍්‍රියේම ලොතරැයිය අතට ගත් ඔහු පසුදාම කෑගල්ලේ නිව්සිටි ස්ටෝර්ස් වෙත ගොස් ලොතරැයියේ ජය අංක සොයා බැලූවේය. කිරිඅප්පුට අදහාගත නොහැකි විය. මුල් දිනුම ඔහුටය.
එය ලංකාවේ පළමුවැනි ලොතරැයියේ මුල් දිනුම වූ නිසා එය ඉතිහාසයට එකතු වන අන්දමේ අපූරු ප‍්‍රවෘත්තියකි. මේ ප‍්‍රවෘත්තිය එකල ලංකාදීප පත‍්‍රයේ පළව තිබුණේ කිරි අප්පුගේ පින්තූරයක්ද සමගය.
”ආරෝග්‍යශාලා ලොතරැයියේ දිනුම්කරුවන් කිහිප දෙනෙක් ඊයේ උදයේ ලොතරැයි මණ්ඩලයේ ලේකම්වර දොස්තර ජෝර්ජ් රණවක මහතා හමුවූහ.
රුපියල් 97,343.50ක පළමු දිනුම ගල්ගමුවේ බිසෝවෙල කිරිඅප්පු මහතාට හිමිව ඇත. 24 හැවිරිදි කිරිඅප්පු මහතා 13 දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වෙනියා වේ.”
එදා ලංකාදීපයේ එසේ පළව තිබිණි.
රුපියල් 97,000ක් යනු එදා හැටියට අති දැවැන්ත මුදලකි. මේ මුදල වියදම් කරන්නේ කෙසේදැයි ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් කිරිඅප්පුගෙන් අසා ඇත.
කෙසේ හෝ වේවා ඔහු තම ලොතරැයි දිනුම නැති නාස්ති කළේ නැත. බිසෝවෙලින් මෙන්ම ලෝල්ලේගොඩෙන්ද ඉඩම් කුඹුරු මිලට ගත් ඔහු ඉන් වැඩිහරියක් ඔහුගේ බාල සහෝදරයන්ට නොමිලයේම ලබා දුන්නේය. ලෝල්ලේගොඩෙන් ඔහු මිලට ගත්තේ අක්කර විස්සක ඉඩමකි. රුපියල් හතළිස් පන්දහසකට ලබාගත් මේ ඉඩමත් කුඹුරු යායත් ඔහු තමා සන්තකයේ තබා ගත්තේය.
ඊළඟට ඔහුට අවශ්‍ය වූයේ මනාලියකි. මේ ලොතරැයි දිනුම ගැන දැනගත් දූවරු සිටි මිනිස්සු කිරිඅප්පුට මංගල යෝජනා ගෙන ආහ. ගමේ ගොඬේ තරුණියන්ද මේ අලූත් සල්ලිකාරයා දෙස බැලූවේ ගෞරවනීය හැඟීමකිනි. ඔහුගේ හිත දිනාගැනීමට එදා බොහෝ තරුණියන් උත්සාහ කළේලූ!.
එහෙත් කිරිඅප්පුගේ හිත ගියේ හෙම්මාතගම පැත්තේ තරුණියකටය. ඇය පුංචිඑතනා රාජකරුණාය. රාජකරුණා දම්පතීන්ට සිටි එකම දියණිය වූ ඇය ඒ වනවිට ඉංග‍්‍රීසි භාෂාවෙන් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත‍්‍ර විභාගය උසස් ලෙස සමත්ව සිටියාය.
”මම එච්.එස්.සී. විභාගෙට ඉගෙන ගන්නයි සිටියෙ. ඒත් අම්මල තාත්තලා බලකළා කිරිඅප්පුව බඳින්නම කියලා. එයාගේ උගත්කම මදිකම තමා මට ප‍්‍රශ්නෙකට තිබුණෙ. ඒත් ඉතින් අක්කර විස්සක ඉඩමක් මොරිස් 8 කාර් එකක් එහෙම තිබුණු මේ මනුස්සයට මාව දෙන්න අම්මල තාත්තලා හුඟාක් සතුටුවුණා.
අපේ මංගල්ලෙ කෙරුණේ බොහොම ජයට. දවස් හතරක් මඟුල් කෑවා. පහතරට සාරිය ඇඳල වේල් එක දාලයි මම මනමාලිට ඇන්දෙ. අපේ මඟුල් ගෙදර ලස්සන බලන්න මුළු ගමම වටවෙලා හිටියා. එහෙම මඟුලක් උපන්තේකට ඒ කට්ටිය දැකල තිබුණෙ නැහැ.”
පුංචි එතනා ඇගේ විවාහයේ තොරතුරු සිහිපත් කළේ ප‍්‍රීතියෙනි.
කිරිඅප්පු ඇය කැන්දාගෙන ගියේ බිසෝවෙලටය. එහෙත් කෙටි කලක් තුළ ලෝල්ලේගොඩ වත්තේ නිවෙසක් තනාගෙන ඔවුහු එහි පදිංචියට ගියහ.
”මේ ගේ හදන්න මගේ අම්මා තාත්තා එහෙමත් උදව් කළා. ගස් ඔක්කොම වත්තෙන්. වැලි ඔයෙන්. මම හිතන්නෙ මුළු ගේම හදන්න වියදම රුපියල් පන්දාහක් වෙන්න ඇති...” පුංචි එතනා කීවාය.
අහල පහළ ගැමියන් අතර මේ වත්ත ප‍්‍රසිද්ධ වූයේ ස්වීප් වත්ත යනුවෙනි. එහි හිමිකරුවා ස්වීප් මුදලාලි බවට නිකම්ම පරිවර්තනය විය.
කාර් වෑන්වලින් ලස්සන වුණ මේ ගෙදර මාවනැල්ල ප‍්‍රදේශයේ මොනවට කැපී පෙනුණි. ඒ අතරතුර පුංචි එතනාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් රැකියාවක් ලැබුණත් ස්වීප් මුදලාලි ඇය රැකියාවකට යවන්නට කැමැති වූයේ නැත. පුංචි එතනා ගෙදර බලාගෙන සිටිද්දී කිරිඅප්පු ඉඩකඩම් කුඹුරු බලාගෙන ඉඳහිට පැමිණි හයර් එකකුත් කරගෙන පාඩුවේ සිටියේය.
”එයාට ලැයිසන් තුවක්කුවක් තිබුණා. ඒකත් අරන් කැලේට යන කිරිඅප්පු ඉත්තෑවෙක්, හාවෙක්, මී මින්නෙක් දඩයම් කරගෙන එනවා. කොසුයි මසුයි එයාගෙ ප‍්‍රියතම ආහාරෙ. හැබැයි එයා සත්තුන්ට හරි ආදරෙයි. අපේ ගෙදර ඒ කාලෙ හරක්, එළුවො, කුකුලො වගේ සත්තු මහ ගොඩක් හිටියා. එයාගෙ හුරතල් මුගටියෙකුත් හිටියා ටින්කා කියලා.  එයා බත් කනකොට ඌ කිරිඅප්පුගෙ කරට නැගල නිදාගන්නවා. ගිරව් සැලලිහිනි එයාගෙ ප‍්‍රියතම සත්තු.”
පුංචි එතනා කියන්නේ ස්වීප් මුදලාලිගේ රුචි අරුචිකම් ගැනය.
කිරිඅප්පුගේ තාත්තා සර්ප වෙදකමේ කෙළ පැමිණියෙකි. ඒ වෙදකමත් යන්ත‍්‍ර මන්ත‍්‍ර ශාන්ත‍්‍රයත් ඔහු කිරිඅප්පුටද දී තිබිණි. මේ නිසා ඔහු සමහරෙකුට සර්ප වෙද මහත්තයාද විය.
කිරිඅප්පුගේ දුවා දරුවන්ද හොඳට ඉගෙන ගත්හ. ඔහුගේ වැඩිමල් දියණිය අදටත් මහනුවර ප‍්‍රදේශයේ රජයේ රැකියාවක් කරයි. බාල දියණිය පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කළත් භීෂණ සමයේ තිබූ වැඩ තර්ජන හේතුවෙන් ඇය රැකියාවෙන් ඉවත්වූවාය. ස්වීප් මුදලාලිගේ පුතා අද ජීවතුන් අතර නැත.
”තාත්තා ජීවත්ව ඉන්දැද්දි අපිට ඉඩම් ලිව්වා. එක්කෙනෙකුට අක්කර තුන ගානෙ. අම්මටත් අක්කර දෙකක් ලිව්වා. ඉතුරු ඉඩම් ටික වික්කා. එහෙම කරන්න හේතුවුණේ තාත්තාට තාත්තගෙ ඉඩම්වලට ගෙවන්න තිබුණ බදු බර තාත්තට දරාගන්න බැරිවුණ හින්දා. ආදායම් බද්දට අමතරව මාසෙට රුපියල් 800ක ධන බද්දකුත් ඒ කාලෙ ගෙවන්න වුණා. ඉතින් තාත්තා කළේ ඉඩම් ටික විකුණන එක.”
ස්වීප් මුදලාලිගේ බාල දියණිය වන කල්‍යාණි කුසුම්ලතා කීවාය.
තාත්තාගේ පින්තූර ලිපි ලේඛන සියල්ල පරිස්සම් කරගෙන සිටින්නේද ඇයයි.
ස්වීප් මුදලාලි මියගියේ 1973.04.29දාය. මියයන විට වසර 72ක් ගතකර තිබූ ඔහු මියගියේ අංශභාග රෝගය වැළඳීමෙනි. ඔහුගේ දේහය පවුලේ සුසාන භූමියේදීම මිහිදන් කළේ ස්වීප් වත්ත ස්වීප් මුදලාලිගේම බව පසක් කරමිනි.
ලංකාවේ පළමුවැනි ලොතරැයිය ආරෝග්‍යශාලා ලොතරැයියයි
අරෝග්‍යශාලා ලොතරැයිය ලංකාවේ පළමුවැනි ලොතරැයියදැයි තහවුරු කර ගැනීම සඳහා අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ දැන්වීම් කළමනාකාර ගාමිණී අබේවික‍්‍රම මහතා ඇමතුවෙමු. ඔහු මෙසේ කීවේය.
”1955 සැප්තැම්බර් 15 වෙනිදා කොළඹ නගර ශාලාවේදී දිනුම් ඇදපු ආරෝග්‍යශාලා ලොතරැයිය ලංකාවේ පළමුවැනි ලොතරැයියයි. අපේ රටේ ආරෝග්‍යශාලා දියුණු කරන්න අවශ්‍ය අරමුදල් හොයාගන්නයි මේ ලොතරැයිය පවත්වල තියෙන්නෙ. ඒකෙ පළමු දිනුම ලැබිල තියෙන්නෙ ගලිගමුවෙ කෙනෙකුට.”
ශාන්ත කුමාර විතාන / සේයාරූ - සේහාන් වික‍්‍රමසිංහ


බිරිඳ පුංචි එතනා

විවාහය දා

කිරිඅප්පු මහතා විවාහයෙන් පසුව

දියණිය කල්‍යාණි

එදා ලොතරැයි දිනුම ගැන පත‍්‍රිකාවක්

ලොතරැයි දිනුමෙන් ගත් මොරිස් 8 රිය

 අදහස්(2)  බැලූවෝ (3450)

රාවණා: රජෙක් වගේම වෙදෙක්


රාවණා රජතුමා පිළිබඳව වන මතවාදය මේ වනවිට සමාජයේ බොහෝ විද්වතුන්ගේ උගතුන්ගේ මෙන්ම ඉතිහාසඥයන්ගේද අවධානයට ලක්ව ඇත. එහෙත් ඔවුනොවුන් අතර මතුවන තර්ක විතර්ක ඔස්සේ පෙනීයන්නේ රවාණ රජු මිත්‍යාවක් හා මිත්‍යාවක් නොවේය  යන්න ප‍්‍රකාශ කරන දෙපිරිසම තම තර්ක  සඳහා පදනම් කරගෙන ඇත්තේ රාමායනය පමණක් වන බවය. එහෙත් රාමායනය වනාහි ඉන්දියානුවන්ගේ  මනදොල පිරවීම සඳහා ආදි ඉන්දියානු සාහිත්‍යකරුවන් විසින් පෝෂණය කරන ලද වීර කාව්‍යයක් පමණක් වන බව පැහැදිලිය. එහෙයින් රාමායනයට රාවණා චරිතාපාදනය ලෙස ගෙන රාවණා රජු  ජීවනමාන කරවීම හෝ රාවණා යනුවෙන් තිරිසනකු හෝ ලංකාවේ සිට නැත යන්න ප‍්‍රකාශ කිරීම බුද්ධිගෝචර නොවේ.

කෙසේ නමුදු රාවණාරජු පිළිබඳව අධ්‍යනය කිරීමට හා ඉතිහාසය ගවේෂණය කිරීමට ජනශ‍්‍රතිය පිළිබඳව අධ්‍යනය කිරීම මෙන්ම හෙළවෙදකම, යන්ත‍්‍රමන්ත‍්‍ර, හෙළ සටන්, හා ජ්‍යොතිශය යන විද්‍යා පිළිබඳව මනාව අධ්‍යනය කළ යුතුය. ඒ මන්දයත් හෙළ වෙදකමතුළ අදටද රාවණා යනු ජීවමාන හෙළ වෙද සක්විත්තෙකි. මේ ඒ පිළිබඳව ජ්‍යෙෂ්ඨ ඉතිහාසඥ ආචාර්ය  සුරිය ගුණසේකර සමග කළ සාකච්ඡාවකි.

ප‍්‍රශ්නය : රාවණා රජු පිළිබඳ කතාබහ කරන කොට බොහෝ දෙනෙකුගේ සිත්වල මැවෙන්නෙ හිස් දහයක් ඇති. උඩුරැුවුල සහිත. දළ ඇති. අත් විස්සකින් ආයුධ ගත් විකෘති සත්ත්වයෙක්. මෙය කොයිතරම් දුරට ගැලපෙනවාද යන්න සහ රාවණාරජු අප විසින් දැකිය යුතු වන්නේ කොයි ආකාරයටද යන්න කතා බහ කළ යුතුයි. මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

පිළිතුරු:  ඇත්තටම ඔබ ඇහුවෙ කාලීන මෙන්ම වඩාත් හොඳ ප‍්‍රශ්නයක් මේක ඇත්තටම කනගාටු දායක තත්ත්වයක්. ඒ නිසා අපි රාවණා රජුගේ පරම්පරාව ගැන හොඳ අධ්‍යනයකින් කතාබහ පටන් ගමු. රාවණාරජු පුලස්ති පාරම්පරාවට අයත් බව රාමායනය ඇතුළු සංස්කෘත සාහිත්‍යයෙන් පැහැදිලි වනවා. මෙය ලේ \ඥාති පරම්පරාවකට වඩා වෛද්‍ය පරම්පරාවක් බව ආයුර්වේද පොතපතින් ඔප්පු වෙනවා. පුලස්ති  සාමිවරයා අයත්වන්නේ බ‍්‍රහ්මගේ මානස පුතුන් සත්දෙනා අතරටයි. මෙයද ලේ ඥාතීන්ත්වයට වඩා එක් කරන ප‍්‍රබල ගුරුකුලයක් ලෙස හඳුනාගන්න පුළුවන් මේ දරුවන් සත්දෙනා කාර්යයන් ගණනාවකට විශේෂඥතාව දක්වන නිසා එක් ගුරුවරයකුගේ ශිෂ්‍යයන් සත්දෙනා පුතුන් ලෙස සංකේතාත්මකව දක්වා තිබෙනවා. ලෝකය විනාශ වී  ගියවිට නැවත සත්ව වර්ග බිහිකරන මත්ස්‍යයා රැුකගන්නේද මෙම මානස දරුවන් සත්දෙනා බව කියවෙනවා. එය නැවතත් සංකේතවත් කර දක්වන්නේ මිනිසාට අවශ්‍ය සියලූ විද්‍යා හා ශිල්ප කලා මෙම පරපුරින් බිහිකර ඇති බවයි.

පුලස්ති සාමිවරයා තෘණබින්දු සාමිවරයාගේ අසපුවේ සිිටියදී තමාගේ ධ්‍යානයට බාධා කළ කන්‍යාවන්ට ශාපයක් කළා. ඒ තමා ධ්‍යානයෙන් අවධි වී දෑස් විවර කරන විට පළමුවෙන් දුටු තැනැත්තිය ගැබ්ගනීවා යනුවෙන්. මෙම ශාපයට හසුවුණේ තෘණබිංදුගේ දියණි හවිරගුයි. මේ නිසා පුලස්තිට තමා පියා ලෙස පිළිගෙන ඇයට බිරිඳ ලෙස සැලකූ බව රාමායණයේ හා වෙනත් ”පුරාණ” ග‍්‍රන්ථවලද සඳහන් වනවා. මේ විදිහට අතිශෝක්තියෙන් දැක්වුණත් මේ සියලූ දෙනාම ඓතිහාසික පුද්ගලයන්.

 ”අනුරාධපුර” වෙස්සගීරි සෙල්ලිපිවල ත්‍යණබින්දු  (තණචොබග) නාමය සඳහන්  නිසාත්,  පොලොන්නරුව ”පුලස්තිනගර” ලෙස මහාවාංශයේ හඳුන්වා ඇති නිසාත් විශ‍්‍රවස්ගේ (විසව) නාමයද වෙස්සගීරි  ලිපිවල ඇති නිසාත්, පුලස්ති හා විශ‍්‍රවස්ගේ ලංකා සම්භාවය ගැන සැකයක් නැහැ. කතරගම අසල මහින්දපුර මධ්‍යස්ථානය (වැඩහිටිකන්ද) කරගත් සුමාලි  රකුස් රජුගේ දියණිය වූ කෛකාසි කුමරිය විශ‍්‍රාවස්  මුණිකට දාව රාවණා බිහිකිරීමද නිසා පුලස්ති වෛද - සාමි පරම්පරාවේ රාවණාගේ ඓතිහාසික බව පැහැදිලියි.

රාමායණයේ ”රාවණාරජු” නැමති මානසික චිත‍්‍රය නිසාත් හිස් දහයක් සහිතව කඩු මුගුරු අතින් ගත් දකුණු ඉන්දියාවේ දේවාලවල ඇඳ ඇති රකුසු චිත‍්‍රය නිසාත් සාමි - වෛද්‍යවරයකුගේ සැබෑ ස්වරූපය යටපත් වී තිබෙනවා.  මෙනිසා රාවණා නැමති ඒ මහා වෛද්‍ය විශේෂඥයාගේ ස්වභාවය  සිතට ගත් විට මැවී පේන්නේ  මහා පඬිවරයෙක්. එමෙන්ම ප‍්‍රාඥයෙක්.

චරිත  පුර්ණකාවේ සඳහන් ආකාරයට රාවණා රජුගේ පුත‍්‍රයා ”උපේන්ද්‍ර මිණි” නම් වෙයි. ඔහුගේ මධ්‍යස්ථානය හෝ බල ප‍්‍රදේශය ගැන තොරතුරු කිසිවක් දැන ගැනීමට නැහැ. නමුත් ”උපේන්ද්‍රමිණි”ගේ පුතුන් දෙදෙනා වන රවිශෛලාශ හා කේවේයාස්ත ගැන තොරතුරු තිබෙනවා. ඔවුන් දෙදෙනාගේම පාලන මධ්‍යස්ථාන ආශි‍්‍රතව ඔසු උයන් දෙකක් තිබුණු බව මේ ග‍්‍රන්ථයේ සඳහන් වනවා. රවිශෛලාශගේ මධ්‍යස්ථානය වුණේ රකුන්ගිර නොහොත් රිටිගල ආශි‍්‍රත ප‍්‍රදේශයයි. අදත් ”ඖෂධ කන්ද” නැමති ස්ථානයක් රිටිගල කඳුවැටියේ  තිබෙනවා. ඔහු රාවණා වෙද පරපුරේ ඍෂි  - පාලකයකු බව ඉන් සනාථ කරන්න පුළුවන්.

දෙවැනි පුත‍්‍රයා වු කේවේසස්ථ යාපන අර්ධද්වීපයේ කන්කසන්තුරේ ආශි‍්‍රත මධ්‍යස්ථානයක සිට පාලනය කළ අතර ”කේවෙසස්ථ මන්ඨක පදියට” නමින් වර්ගපුර්ණිකාව එය හඳුන්වනවා. උතුරු කොදව්වේ  රාවණා රජු විසින් පිහිටවන ලද ”පදිසර්ගය වන්ඨාල” නම් ඔසු  වනය ආශ‍්‍රය කරගෙන මෙම රාජධානිය පැවතීම නිසා අගනුවරක් මුල්බැස ගැනීම ඔසු උයනක් මුල්කරගෙන සිදුවීමට තරම් වෛද්‍ය කර්මයන් රාවණා පරපුරට වැදගත් වී තිබෙන බවයි.  ඒකෙන් පැහැදිලි වෙන්නේ.

රවි ශෛලාශ කුමරුන්ගේ රකුන්ගිර නොහොත් සත්නානාගිර නොහොත් රිටිගල ආශි‍්‍රත මුල්බැස ගත්තේ ”අරවුදසෝත” නම් ඖෂධ උයන මුල්කරගෙනයි. සත්නානාගිර කියන එකේ තේරුම තමයි ගිරි සතක නායකත්වය කියන එක. ඔසු උයනක් ආශ‍්‍රය කරගෙන පාලන මධ්‍යස්ථාන හා සාමිවරයා පාලකයා වශයෙන් වාසය කිරීම හරියට 11 වැනි සියවසෙන් පසු දළදා වහන්සේ ආශ‍්‍රය කරගෙන ලංකාවේ රජ මාළිගය හා අගනුවර ස්ථාපිතවීම වගෙයි.


ප‍්‍රශ්නය : හොඳයි ඔවුන් සතුව තිබූ ඒ වෛද්‍ය කර්මය පිළිබඳව  පැහැදිලි  කළොත්? දැන් පවතින වෙදකම හා ආදි හෙළ වෙදකම අතර මොනවගේ වෙනසක්ද දකින්න ලැබෙන්නේ?

පිළිතුර : වෛද්‍ය  කර්ම  හැමවිටම ජ්‍යෝතිෂය  හා බැඳී පැවතුණා. අද ජ්‍යෝතිෂය යනුවෙන් මිනිසාට  බලපාන හඳහන බැලීම, නැකැත් සෑදීම ආදි කටයුතු කීපයක් පමණයි අදහස් කෙරෙන්නේ. නමුත් ඊට වඩා  පුළුල් ජ්‍යෝතිෂ විද්‍යාවක් අතීතයේ තිබුණා. හිරු රැස්  වායුගෝලය  හරහා ඒමෙන් පෘථිවිය මතුපිටට ඇතිවන බලපෑම, හිරුගේ රැස් අනෙකුත් ග‍්‍රහලෝකවල පතිත වී පෘථිවියට පරාවාර්තනය වීම නිසා ඇතිවන බලපෑම්, හා ඒවා ශාඛවලට හා සතුන්ට බලපාන ආකාරය  හා  එම ශාඛවල ධාන්‍ය, පලතුරු හා එළවළුද, සතුන්ගේ ක්ෂිරයද මිනිසා ආහාරයට ගත්විට ශරීරයේ ඇතිවන ප‍්‍රතිකි‍්‍රයා දක්වාම විනිවිද දකින්න මේ  විද්‍යාවට හැකියාව  තිබුණා.

මේ සෘජු හිරු කිරණ වගේම පරාවර්තන ග‍්‍රහ කිරණත් මිනිසාට ඇති කරන ශුභ හා අශුභ ගැන සොයා බලා අශුභ තත්ව මගහරවා ගැනීමට ග‍්‍රහ පුජා, බලි පුජා, නැටුම් ගැයුම් (තොවිල්), භේරී වාදන (යක්බෙරය) තුළින් සිදුකෙරුණා.  රාවණා රජුට පෙර මහාබලි රජු විසින් බලියාගය හා ශාන්තිකර්ම  හඳුන්වා දෙන ලද බව නාට්‍යචාර්ය ජේ.ඊ. සේරදමන් විසින් තම පාරම්පරික උගැන්වීම් ඇසුරින් දක්වා තිබෙනවා. මේ සියල්ල මිනිසාගේ නිරෝගි බව හා අපල සපල කර ගැනීම දෙසටයි එල්ල වී තිබුණේ. මිනිසා කියන්නෙ අහස පොළොව මැද තෙරපී ජීවත්වන සත්වයකු වීම නිසා එම අහස පොළව හැදෑරීම ඔහුට වැදගත් වුණා.


ප‍්‍රශ්නය: හොඳයි රාවණා රජතුමා  කළ වෙදකම පිළිබඳව ඇති සාක්‍ෂි හා තොරතුරු මොනවාද?

පිළිතුර : රාවණා රජතුමා නාඩි ශාස්ත‍්‍රයෙන් රෝග මුල්‍ය සෙවීම, ශාඛ වෙදකමින් රෝග සුව කිරීම, කල් තබාගන්නා අර්ක සම්පාදනය, පත්ථ්‍යාපත්ත්‍ය ආහාර මගින් නිරෝගී බල ලබා ගැනීම, වෛද්‍ය ආචාර්ය ධර්ම ආදී අංශයන් හි විශාරදයෙක් බව එතුමා විසින් සම්පාදනය කරන ලද කුමාර තන්ත‍්‍ර, උඞ්සිය තන්ත‍්‍ර, නාඩු ප‍්‍රකාශ, අර්ක ප‍්‍රකාශ, මර්ම විඥානා, විධි වෛද්‍යක ආදී ග‍්‍රන්ථවලින් පැහැදිලියි. නමුත් මේ සියල්ලටම වඩා සුවිශේෂි වන්නේ රස ශාස්ත‍්‍රය  නොහොත් ”රස වෙදකම මගින් කිරීමට පුළුවන් එවායේ න්‍යායන් පමණක් අද අප අතර ශේෂ වී තිබෙනවා.”

ආයුර්වේද ඉතිහාසයේ උගන්වන විදිහට රාවණා රජුගේ කාලය වනතුරු රසදිය ප‍්‍රයෝජනයට ගැනුනේ රත්රන් නිපදවීමට පමණයි. කි‍්‍රස්තු පුර්ව 8 වැනි සියවසේ පමණ විසු නාගර්ජුන ආචාර්යන් විසින් හඳුන්වන පරිදි රන් සෑදීම  සහ ලෝහවල තත්ත්වය උසස් කිරීමට රසදිය යොදාගැනීම ”ලෝහ වේදය” නම් වෙනවා. මේ ගැන ලියැවුණු සංස්කෘති ග‍්‍රන්ථ රැසක් තිබෙනවා. නමුත් පළමුවැනි වරට හා අංග සම්පුර්ණ වශයෙන් රසදිය මිනිස් ශරීරයට මුසුකර ශරීරය බල ගන්වන හා වයසට යාම වළක්වාලන ”දේහවේදය” කි‍්‍රයාත්මක කර තිබෙන්නේද රාවණා වෛද්‍යතුමා විසිනුයි.කුසට ගත් ආහාරය පළමුවෙන්ම ”රස” බවට පත්වන්නේයැයි ආයුර්වේදය උගන්වනවා. ඉන්පසු රක්ත (ලේ), මාංශ, මේද, ඇට, ඇටමිදුළු පෝෂණය කරමින් අවසානයේ ”ශුක‍්‍ර” නිපදවයි. ”රසදිය” නොහොත් ලෝහ ශරීරයට අවශෝෂණය කරන්නේ එම රස අවස්ථාවේදීයි. නමුත් මේ අප දකින ”අමු රසදිය” අවස්ථාව නොවේ. සම්පුර්ණයෙන් හෝ එක්තරා ප‍්‍රමාණයකට නිශ්චල කරන ලද  රසදිය තමයි මේ විදිහට භාවිතා කරන්නේ.


ප‍්‍රශ්නය: නමුත් ”දේහවේදය” ඔය තරම්  බලගතු නම් රාවණා රජතුමා ඔය විද්‍යාව  සොයාගැනීමට කලින්, ඒ වනවිටත් යම් බලගතු දැනුම් සම්භාරයක් භාවිත විය යුතුයි. නැතිනම් රාවණා රජුට මේ වැනි දැනුමක් එක්වර පහළ විය හැකියි. කියන එක් තරමක් පිළිගත නොහැකි නේද?

පිළිතුරු : නැහැ දේහවේදය වැඩිදියුණු කර හපන්කම් කිරීමට රාවණා රජුට පදනම් වුණේ මේ වෙනකොටත් කි‍්‍රයාත්මකව තිබුණු දඬුමොනර සංකල්පය නොහොත් පුෂ්පක රථය සඳහා  පොළොවේ විවිධ  ස්ථරවලින් ලබාගත් ලෝහවර්ග තවත් ලෝහ  සමග මිශ‍්‍රකර හා සංස්කරණය කර සැහැල්ලූ , ශක්තිමත් හා උෂ්ණත්වයට, පීඩනයට ඔරොත්තු දෙන ආකාරයට සකසා තිබීම බව සහේතුකව  නිගමනය කරන්න පුළුවන්. පංච  මහා භූතයන්ගෙන් නිර්මිත ද්‍රව්‍යමය ලෝහය තත්ත්වයෙන් උසස් කළ හැකි නම් ඒ පංච මහා භූතයන්ගෙන්ම නිර්මිත මිනිසාගේ ද්‍රව්‍යමය  ශරීරයද තත්ත්වයෙන් උසස් කළ හැකිවීම තමා උගත් රස ශාස්ත‍්‍රයේ මූලධර්මය බව නාගර්ජුන සඳහන් කර තිබෙනවා.
ආචාර්ය සූරිය ගුණසේකර

ප‍්‍රශ්නය : රස වෙදකම ගැන කතාබහ කිරීමේදී රාවණාරජතුමා යනු සුවිශේසී පුද්ගලයකු නම් ආයුර්වේදයේ දී රාවණා  නාමය පිළිබඳව සුවිශේෂීත්වයකින්  කතාබහකළ යුතුයි නේද?

පිළිතුර : රස වෙදකම  පිළිබඳව පශ්චාත් උපාධි ධාරි එකම විශ්වවිද්‍යාලය කථිකාචාර්ය වෛද්‍යවරිය (දේශීය වෛද්‍ය පීඨය ,කොළඹ විශ්වවිද්‍යාලය) පවසන විදිහට ඇය තම පශ්චාත් උපාධිය සඳහා  බරණැස විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය පීඨයට ඇතුළත්වු විට කථිකාචාර්ය වරුන්  ඇයගෙන් අසා තිබෙනවා රස වෙදකම උපන් රාවණාගේ රටේ අය රස  වෙදකම හැදෑරීමට උත්තර භාරතයට එන්නේ ඇයි කියලා ඉන්දියානු ආයුර්වේද ක්‍ෂේත‍්‍රයේ රසවෙදකම හා ලංකාව පිළිබඳ හැඟීම එබඳුයි. ඒ අදහස උත්තර භාරතීය ආයුර්වේදය තුළට මිත්‍යාවක් ලෙස හෝ ඇදහිල්ලක් ලෙස ඇතුළු වුණා වන්නට  බැහැ. ඊට ගැඹුරු පදනමක් තිබිය යුතුයි. රාවණා රජතුමා එම දැනුම ලොවට දායාද කිරීම එයට හේතුවයි.


ප‍්‍රශ්නය : හොඳයි ඒ සියල්ල ඇත්තයි හිතමු. මොකක්ද රසදිය නිශ්චල කිරීම කියන්නේ?

පිළිතුර :  රසදිය නිශ්චල කිරීම කියන්නේ එහි ගමන් කිරීමේ වේගය නැති කිරීමයි. රසදිය හැන්දකට ගෙන බිමට දැමුවොත් කුඩා කුඩා බෝල ගණනාවකට කැඞී ඒ ඒ දෙසට  දිව යනවා දැකගන්න පුළුවන්. එයින් විශාල ගුලියක් ගෙන නැවත බිමට දැමුවොත් තවත් කුඩා බෝල ගණනාවකට ඒවා කැඩි කැඞී චලනය වෙයි. තවදුරටත් අංශු නොකැඩෙන තත්ත්වය දක්වා එය සංස්කරණය කරන්න පුළුවන්. රසදියෙන් රන් සෑදීම සඳහා රසදිය සංස්කරණය කිරීමේ විධි 18ක් රස ශාස්ත‍්‍රයේ දක්වා තිබෙනවා. මේ සංස්කරනයන් අවසානයේදී රසදිය නිශ්චලවී රත‍්‍රන් සෑදීමට පුළුවන්. උත්තර භාරතීය ආයුර්වේද ක‍්‍රමය තුළ තවමත් ඉන් අත්හදා බලා ඇත්තේ විධි 8ක් පමණයි. චන්ද්‍රගුප්ත අධිරාජයා සමයේදී චානක්‍ය නොහොත් කෞටිල්‍ය බ‍්‍රාහ්මණයා විසින් ලියන ලද ”අර්ථ ශාස්ත‍්‍රය” නැමති  ග‍්‍රන්ථයෙහිද,”රස සිද්ධ ස්වර්ණ” නොහොත් රසදියෙන් සාදන ලද රත‍්‍රන් ගැනත් එසේ සෑදීම ගැනත් සඳහන් වනවා.

වෛද්‍යකර්මයන් ගැන ප‍්‍රසිද්ධ සාමිවරුන් අතුරින්ද රස ශාස්ත‍්‍රය දැන සිට අය  ඉතා අල්පයි. කි‍්‍රස්තු වර්ෂයෙන් පසු සියවස්වලදී පවා වෙද පවුල් කිහිපයක් පමණක් රස ශාස්ත‍්‍රය උගෙන ඉතා රහසිගතව වනගත ස්ථානවලදී රන් නිපදවීම හා මිනිස්  සිරුරට  හිතකර ඖෂධ වර්ගද නිපදවා තිබෙනවා. රස ශාස්ත‍්‍රයේ මූලධර්ම ලියැවුණු පතපොත හා ඒ දන්නා වෛද්‍යවරුන්ද ලංකාවේ සිටියත් ඒවා අත්හදා බලා නැහැ.  භාරතයේ  සංස්කරණවිධි 8ක්  අත්හදා බලා තිබෙනවා ”රස සිද්ධි පුද්ගලයකු” ලෙස හැඳින්වෙන්නේ රසදිය නිශ්චල කිරීමට දන්නා අයයි.” මර්කරි වෝටෙක්ස් එන්ජින්” නැමති රසදිය ආධාරයෙන් (ඉන්ධන ලෙස) කි‍්‍රයාත්මක වන  යන්ත‍්‍රයක් ඇති ගුවන් යානාවක් නිපදවීමට එක්සත් ජනපදය සමත්වූ බව 1998 දී හෙළිදරව් වී තිබෙනවා. අභ්‍යාවකාශ ගතකරන ලද මර්කරි ෂ , මර්කරි ෂෂ යානා දෙක එබඳු ඒවායි. පැරණි ගුවන්යානා නොහොත් ”විමාන” කි‍්‍රයාත්මක වුණේ රසදිය  යෙදු යන්ත‍්‍ර මගින් බව මහාසෘෂි භාරද්වාජ විසින් රචිත ”වෛමානික ශාස්ත‍්‍ර” නැමති ග‍්‍රන්ථයේ සඳහන් වනවා. මේ නිශ්චල කරන ලද රසදිය බව නිගමනය කළ හැකි නමුත් කුමන අවස්ථාව දක්වා නිශ්චල කළ රසදිය දැයි දැනගැනීමට නැත.


  ප‍්‍රශ්නය : ඔබ ඔය කියන ”රස සිද්ධි” පුද්ගලයෙකුට කළ හැකි දේවල් මොනවාද?

පිළිතුර : රස සිද්ධි පුද්ගලයන්ට  සාමාන්‍ය අයට කළ නොහැකි සුවිශේෂි දේ කරන්න පුළුවන්. ඒ රසදිය සිරුරට අවශෝෂණය කරවීම මගින් ලෙඩරෝග නොසෑදෙන පරිදි ඔරොත්තු දීමේ ශක්තිය සිරුරට ලබාගැනීම, ස්වාභාවිකව සිදුවන වයසට යාමේ සීග‍්‍රතාවය අඩුකර තරුණ බවෙන් සිටීම, මියගිය පසුව ශරීරය දියවී වැහැරී යාම වළක්වා දීර්ඝ කාලයක් තබාගැනීම හා ප‍්‍රාණය නොහොත් ”ශක්ති” සිරුරෙන් පිටවී ගිය පසුවද බාහිරව දෘෂ්‍යමාන වන කෙස්, නිය, රැුවුල වැඞීම, හම රැළි ගැසීම වළක්වාලීම, මාංශය එලෙසම පවත්වා ගැනීම ආදි දේ රස විද්‍යාව දන්නා අයකුට කළ හැකියි. මේ සඳහා පිරිය යුතු පිළිවෙත්, පිළිපැදිය යුතු වතාවත්, අනුභව කළ යුතු  ආහාර, ඒ ඒ නැකැත් හා මුහුර්ත අනුව ජපකළ යුතු මන්ත‍්‍ර ආදියත් තිබෙනවා. ඒවා පිළිනොපැද ඉන්ද්‍රජාලමය ස්වරූපයෙන් ශරීරය මියගිය  පසු ආරක්‍ෂා කළ නොහැකියි. ගෝවේහි ඇති ශාන්ත ක්ෂේවියර් (පෘතුගීසි) බව පවසන කෙස්, නිය, රැුවුල වැඩෙන මෘත ශරීරය පෘතුගීසි පූජකවරයකුගේ වීමට නොහැක්කේද මෙම හේතුව නිසයි. රස සිද්ධි පුද්ගලයකු විසින් රසදියවල තත්ත්වය වෙනස් කිරීම ආයුර්වේදයේ හඳුන්වන්නේ ”රසායන” ලෙසටයි. මෙම රසායන කි‍්‍රයාවලිය නිසා ශරීරයට අවශ්‍ය ආකාරයට සිත මෙහෙයවීමට පුළුවන්. බුදු දහමෙහි ඉගැන්වෙන්නේ ඊට විරුද්ධ කි‍්‍රයාව වන සිතට අනුව ශරීරය හැසිරවීමයි. යෝග ව්‍යායාමවලින්ද ශරීරය සිතට අනුව කි‍්‍රයා කරවීමට පුහුණු කරනවා. ධ්‍යාන භාවනාවලින් සිත ”ශක්ති” සමග එකතු කර  මොහොතක් තුළදී විශ්වයට යවා ආපසු ශරීරයට ගෙන්වා ගැනීමට  පුළුවන්. රස විද්‍යාවෙන් කි‍්‍රයාත්මක වන්නේ ඊට විරුද්ධ පාර්ශවය වන ශරීරය බලවත් කිරීමයි. රාවණාරජු දඩබ්බර තද පුද්ගලයකු වූයේ මනසට වඩා ශරීරය බලවත් නිසා විය හැකියි.

 රාවණා රජු තමන් දන්නා විද්‍යා ගැන පමණට වඩා ආත්ම විශ්වාසයෙන් යුක්ත වූ බව වාල්මිකී රාමායණයේදී පෙන්නුම්  කරනවා.  එය උඩඟු අහංකාරකම දක්වා  ගමන් කළ බවත් රාමායනය කියවන විට වැටහෙනවා. ඒ වගේම රාවණා රජුගේ නැගණිය වූ ශුපර්ණාකාගේ  නාසය සිඳින ලද ලක්ෂ්මණ නිසාත්, 12000ක් රකුස් ජනතාව ඝාතනය  කිරීම නිසාත්, රාම කුමරු තමන් ළඟට ගෙන්වා ගැනීමට උපායක් ලෙස රාවණා රජු සීතාව පැහැරගෙන ආ බවත් රාමායනය කියවන විට හැඟී යන තවත් කරුණක්. සීතාට කිසිදා අතවරයක් නොකරන ලද බව ඒත්තුගැන්වීම අවශ්‍ය වන විදිහට රාමායනය රචනා වී ඇති බව පැහැදිලියි. සීතා පැහැරගෙන ආවේ රාමකුමරු ලංකාපුරයට ගෙන්වා දඬුවම් ලබාදීමට බව රාමායනය කියවන විට පැහැදිලි වනවා.


ප‍්‍රශ්නය : වාල්මිකීගේ රාමායණයේ දක්වා ඇති පරිදි රාවණා රජුට විවිධ  වෙස් ගැනීමට පුළුවන්. ඊජිත්තුවේ මන්ත‍්‍රකරුවන්ටත් මේ හැකියාව තිබුණු බව පුරාවෘත්තවල දැක්වෙනවා. එංගලන්තයේ ඇති ඉදල්මිට, කොහුමිට ආදියෙහි නැගී යන මායාකාරියන් ගැන දැක්වෙන පුරාවෘත්ත වැනි මේ දේ ඔබ ඔය කියන ලෝහ විද්‍යාවට අනුව තරමක් දුරට යථාර්ථවාදියි නේද?

පිළිතුර : ඔව්. ඔය පුරාවෘත්ත හුදු බොරු බේගල් ලෙස සම්මතයට පැමිණ අවුරුදු දහස් ගණන් පැවතීමට නොහැකිය. ඇතැම්විට  අතිශෝක්ති තිබීමට පුළුවන්. රාවණාගේ ලංකාපුරය ස්වර්ණපුරයක් බවත් තමා විසින් එය විනාශ කරන ලද බවත් හනුමාන් විසින්  රාමකුමරුට දැනුම් දෙනවා. රසදිය  නිශ්චලකළ හැකි අයකුට රන් නිපදවා ස්වර්ණලේපිත පුරයක් ඇතිව  සිටීමටද හැකියාව තිබෙනවා.

ආයුර්වේද ඉතිහාසයේ දැක්වෙන පරිදි විවිධ විෂයන් 10ක් පිළිබඳ විශේෂඥ දැනුමක් (දශවිධ ඥාන) රාවනා රජුට තිබුණා. එනිසාම ඔහු දසීස් රාවණා යැයි සම්මත වුණා. මෙම වචනය (දසීස්)  වරදවා ගෙන ඉන්දියානු කෝවිල්වල හිස් දහසක් හා රකුසු මුහුණු ඇති අත් විස්සක් සහිත සත්වයකු ලෙස රාවණා රජුගේ රූපය නිර්මාණය කර තිබෙනවා. අපේ රටෙත් පුවත්පත්, සඟරාවල හා රූපවාහිනියේ රාවණා රජුට හැඳින්වීම සමඟ ප‍්‍රදර්ශනය කරන්නේ එම බහුභූත රූපයි. එබැවින් හිස් 10ක් හා අත් 20ක් ඇති මනුෂ්‍යයකු ලොව පහළවිය නොහැකි බවට ඇතැම් මහාචාර්යවරු තර්ක ඉදිරිපත් කරමින් රාවණා යනු මිත්‍යාවක් බව ප‍්‍රකාශ කිරීම පුදුමයක් නොවේ. ඒ ඔවුන්  රාවණා රජු හැඳිනගත් ආකාරයයි.


ප‍්‍රශ්නය : රාවණා රජතුමා විසින් රචනා කරන ලද ග‍්‍රන්ථ පිළිබඳවත් පැහැදිලි සාක්‍ෂි තිබෙනවාද?

පිළිතුරු: වෛද්‍ය ශාස්ත‍්‍රය වෙනුවෙන් රාවණා රජතුමා කළ මෙහෙවර ඉමහත්. ඔහු සම්පාදනය කරන ලද ග‍්‍රන්ථ ගණනාවක් තිබෙනවා. රාවණා රජු මිත්‍යාවක් යැයි කීමට රාජකීය ආසියාතික සංගමය විසින්  2010.7.17 වැනි දින විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් රාශියක් සමග මහා සම්මන්ත‍්‍රණයක් පැවැත්වුණා. ඒත් ඒ අය දැනසිටියේ නැහැ. නුගේගොඩ පිහිටි ”මොඩර්න් බුක් කම්පැණි” වෙතින් සිංහලට පරිවර්තනය කරන ලද රාවණා රජුගේ ඇතැම් වෛද්‍ය ග‍්‍රන්ථ මිලදී ගැනීමට තිබුණු බව. මේ තිබෙන්නේ  එවැනි පොත් සහ ඒවායේ තොරතුරු කෙටියෙන්.

අර්ක ප‍්‍රකාශන: විවිධ ශාඛ කොටස්වල එකතු කළ සාරය උණුකර වාෂ්ප වන්නට හැර නැවත එම වාශ්පය සිසිල් කර එකතු කරගෙන  ආරක්‍ෂා කරගන්නා අරිෂ්ඨ ආසව වර්ග නිපදවීමේ ක‍්‍රමය මෙහි විස්තර වනවා. මෙය සම්පාදනය කර ඇත්තේ දෙදෙනකු අතර ඇතිවන සංවාදයක ස්වරූපයෙන්. අර්ක යන්ත‍්‍රය සාදාගන්නා  ආකාරයේ පටන් ශාඛ යුෂ එකතු කර පැසවා වාෂ්ප කර සිසිල්ව එකතු කර ගත් ඖෂධ භාජනවල තැන්පත් කිරීම දක්වා විස්තර එහි අඩංගුව වනවා. ද්‍රව්‍ය, ගුණ, මාත‍්‍රා, යෙදීම් යන ශීර්ෂ යටතේ මෙම කි‍්‍රයාවලියේ වර්ගකිරීම්  දක්වා තිබෙනවා. අර්ක නැමති  පැරණි වචනයම ”ර” යන්න හල් කිරීම වෙනුවට ”ක” යන්න හල් කර ”අරක්” ලෙසට එය ඉංගී‍්‍රසි භාෂාවට බිඳී  තිබෙනවා. එබැවින් සිංහලෙන් එම වචනය ”අරක්කු” ලෙස උච්චාරණය වනවා.
නාඩි ප‍්‍රකාශ : මෙහි අඩංගු වන්නේ හදවතේ ගැස්ම, අතේ මැණික් කටුව අසලදී නහරය ඇඟිලි තුනකින් ස්පර්ශ කරමින් වා, පිත්, සෙම් යන මූල තුන අතරින් රෝග කාරකය විනිශ්චය කිරීම ගැනයි. මෙම වා, පිත්, සෙම් සංකල්පය (තිදෝෂ) ලොවට හඳුන්වා දුන්නේ රාවණා රජුගේ සීයා ලෙස හඳුන්වන පුලස්ති  බව ”සුශ‍්‍රැත” නැමති ආයුර්වේද ග‍්‍රන්ථය සඳහන් කරනවා. එය තවත් ඉදිරියට ගෙන යාම මේ අනුව රාවණා රජු විසින් සිදුකර තිබෙනවා. මුළු ශරීර කි‍්‍රයාකාරිත්වය වා, පිත්, සෙම් යන මූල ස්වභාවයන් දක්වා සරල කර රෝගයට හේතු වූ මූල ස්වභාවය  හැඳින ගැනීමට අවශ්‍ය දැනුම මෙහි දැක්වෙනවා.

 කුමාරතන්ත‍්‍ර : ළමයින්ට හා ළදරුවන්ට වැළඳෙන විවිධ රෝග විග‍්‍රහ කිරීම, ඒවා හැඳින ගැනීම හා ප‍්‍රතිකාර විධි මෙහි ඇතුළත් වෙනවා.  ළදරු අවස්ථාවේදීම ලේ ධාතුව ශක්තිමත් කර රෝග ජයගැනීම සඳහා ළදරුවාට දිය යුතු ඖෂධ වර්ග  විස්තර  කිරීමක්ද එහි තිබෙනවා. එකම රෝගය සඳහා විවිධ  ආකාරයේ  ඖෂධ  සංයෝග කුමාර තන්ත‍්‍රයෙහි ඇතුළත්. මහාචාර්ය ගුණපාල ධර්මසිරි පවසන පරිදි ලංකාවේ ඇති අධික ජෛව විවිධත්වය නිසා මෙසේ එකම රෝගය සඳහා වට්ටෝරු අධික සංඛ්‍යාවක් තිබෙන නමුත් ජෛව විවිධත්වය අඩු උත්තර භාරතයේ එම රෝගය සඳහාම ඇති වට්ටෝරු විවිධත්වය අඩුයි.

 උඞ්ඩිය තන්ත‍්‍රය : රෝගියා  මෝහණයට ලක්කර ඔහුගේම යටිසිත මගින් රෝග විස්තර ලබාගැනීම හා කෙම්, යන්ත‍්‍රමන්ත‍්‍ර, ශාන්තිකර්ම වැනි ගුප්ත විද්‍යාත්මක ක‍්‍රමයන්ද, ජ්‍යොතිෂමය ප‍්‍රතිකාරයන්ද මෙහි ඇතුළත්. මහාචාර්ය ගුණපාල ධර්මසිරිගේ ”වෛද්‍ය ශාස්ත‍්‍රයේ ස්වභාවය”  නම් කෘතියේ මේ පිළිබඳ දීර්ඝ විස්තර දැකිය හැකියි. එමෙන්ම වෛද්‍ය විද්‍යාව සඳහා රාවනා රජුගේ දායකත්වය ගැනද විග‍්‍රහයක්  මෙහි සඳහන් වෙනවා.
 මර්ම විඥාන: මූලික වශයෙන් ”නිල ශාස්ත‍්‍රය” ගැන මෙහි කරුණු සඳහන් වී තිබෙනවා. ශරීරයේ නිල පිහිටි ස්ථානයන් හා ඒවායේ ප‍්‍රබල හා දුබලතා ද එම නිල ස්පර්ශ කිරීමද සම්බන්ධ විස්තරාත්මක දැනුමක් මෙහි අඩංගු වෙලා තියෙනවා. ශරීරයේ මර්ම ස්ථාන යනු මෙසේ ස්පර්ශයෙන් හා තදින් කම්පනය කිරීමෙන් ශරීර කි‍්‍රයාකාරිත්වය අකි‍්‍රය කිරීම හා ප‍්‍රබල කළ හැකි ස්ථාන වනවා.

පාහියන් නැමති සංචාරක චීන භික්ෂුව  ලංකාවේ සිට චීනයට ගෙනගිය ”විදුම් පිළිස්සුම්” ප‍්‍රතිකාර ක‍්‍රම ඇතැම් විට රාවණා යුගයේ සිට ආ ප‍්‍රතිකාර විධීන්  වන්නට පුළුවන්. දැන් එය  ආපසු  ”ඇකියුපංචර්” නමින් චීන සළුපිළි වලින් සරසා නැවත ලංකාවට පැමිණ තිබෙනවා. ශල්‍යකර්ම සඳහා නිර්වින්දනය කිරීමටත් යුද්ධයේදී සතුරන් නොමරා හා තුවාල නොකර මෙල්ල කර ගැනීමටත් යන උභය කාර්යයන් සඳහාම නිල ශාස්ත‍්‍රය උපකාරී වනවා. නිර්වින්දන තොරතුරු නිසා ශල්‍යකර්මයන්ද සිදුකෙරුණු  බව අනුමාන කරන්න පුළුවන්. මොකද දේශීය වෙදකමට ශල්‍ය වෛද්‍ය කර්මත් ඇතුළත්.

 කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් පෙන්වා දෙන ආකාරයට දේශීය වෙදකමේ ස්වර්ණමය යුගය තමයි රාවණාරජුගේ යුගය. රෝග වලක්වාගැනීම, රෝග සුවකර ගැනීම, ආයුෂ දීර්ඝ කරගැනීම, නොහොත් ජරාවට පත්වීම ප‍්‍රමාද කිරීම, නිරෝගි  ශක්තිමත් හා ප‍්‍රාඥාවන්ත දරුවන් ලබාගැනීම වගේ ඉහළම සෞඛ්‍ය මට්ටම් කාලයේදී මෙරට තිබුණු බව ඤාණවිමල හිමියන් ප‍්‍රකාශ කරනවා.

 ඒ වගේම පණ්ඩිත විලියම් අල්විස්  කියන වෛද්‍ය විශාරදයන් මේ සඳහා හොඳ කරුනු විග‍්‍රහයක් කර තිබෙනවා. විජයාගමනයට පෙර යුගයේදී මෙරට දියුණු වී තිබුණු විදුම් පිළිස්සුම්  හා ඇදුම ප‍්‍රතිකාර විධි රාවණා යුගයේ ප‍්‍රචලිතව තිබූ බව ඔහු පෙන්වා දෙනවා. විජයට පෙර යුගයේදී වෛද්‍ය ග‍්‍රන්ථ විදිහට අද ඉතිරිවෙලා තිබෙන්නේ සංස්කෘත බසට පරිවර්තනය වූ රාවණාරජුගේ වෛද්‍ය පුස්ථක පමණයි. භාගශර හා අග්නිශර නමින් හඳුන්වන ගිනිමැල් විහිදුවන හර ප‍්‍රහාර පිළිබඳවත් සඳහන් වනවා. මේවා වර්තමාන මල්වෙඩි වැනි අන්තරාය රහිත ගිනිමල් නොවේ. ගිනි අවියකින්  පිටවන ආකාරයේ විනාශකාරී හර ප‍්‍රහාරයක් මේ විදිහට සඳහන් කර තිබෙනවා වෙන්න පුළුවන්.


ප‍්‍රශ්නය: ඔබ ඔය කියන්නේ ”මිසයිල් තාක්ෂණය, බෝම්බ වගේ අවිආයුධ භාවිතා  කළා කියලද? එහෙනම් ඒ ගැන පැහැදිලි සාක්කි තිබෙනවාද?

පිළිතුරු : ඔව්. ළිං හැරීමේදී ලග්ගල වැසියන්ට හමුවී තිබෙනවා. මේ ශර යැයි හිතන්න පුළුවන් යම් යම් සාධක. හරියට ඒවා පාර්ලිමේන්තුවේ සෙංකෝලයේ  හැඩයට සමානයි. ඉදිරි කොටසේ ගිනිමල් ගබඩා කර තිබූ බව හිතන්න පුළුවන්.  මේවා රාවණා යුගයේ අවි විය යුතුයි. එවැනි අවි ඇති සමාජයක තුවාල සඳහාද ප‍්‍රතිකාරද තිබිය යුතුමයි. ලග්ගල, රූමස්සල, සීතාඑළිය, හා හග්ගල  ඇති පැරණි ඔසුඋයන්ද  රාවණා යුගය  දක්වා දිවයනවා. ලග්ගල නොහොත්  ඉලක්කගල රාවණාගේ ජ්‍යොතිෂ විද්‍යාවේ අංශක බිංදුවේ අංශකය වූ බව ලග්ගල ගැමියන්ගෙන් අසා දැනගත් බව පෘතුගීසි ජාතික ක්වේරෝස් පියතුමා පවසා තිබෙනවා.

 බුදුරජාණන්වහන්සේ ලංකාවට වැඩමකළ සමකාලීන අවධියේ (කි‍්‍ර.පූ. 6 සියවස) මධ්‍යම කඳුකරයේ  විශාල ඔසු උයනක් තිබුණා යැයි අනුමාන කරන්න පුළුවන්. පුලින්ද, ව්‍යාධ, සබර, මලක්ක, මනුස්ස, උපචරක, වනචරක යනාදි විවිධ නම්වලින් හැඳින්වුණු ආදිවාසී ජනකොටස් මෙම ඔසු උයනේ සේවය ලබාගන්නට ඇති. සමන් දෙවියන්ගේ අඩවියේදී අතරමං වූ ශ්‍රීපාද වන්දනාකරුවන් පළතුරු බහුල වූ වනාන්තරවල දින දෙක  තුන ඇවිද අවසානයේ මාර්ගවලට පැමිණි සැටි විස්තර කරන මහළු උපාසක උපාසිකාවන් අදත් හමුවිය හැකිය.

රාවණා රජුගේ දඬුමොණරය / (චිත‍්‍රය - ආයු ශ්‍රී ලංකා වෙබ් අඩවියෙනි)

සතුරන් මහනුවර ආක‍්‍රමණය කළොත් නගරය ගිනි තබා කැලෑවැදී ජීවත්වීමට අවශ්‍ය පළතුරු වනාන්තර වවන ලද්දේ සෙනරත් හා දෙවැනි රාජසිංහ යන සෙංකඩගල රජවරුන් විසිනුයි. 1803 දී නෝත් ආණ්ඩුකාරතුමන් මහනුවර ආක‍්‍රමණය  කළ විට සතුරා පරාජය කිරීමට  මෙම පළතුරු වාන්න්තර  උඩරැටියන්ට මහෝපාකාරී වුණා. මේවා සඳහා ආදර්ශය ලබාගන්නා ලද්දේ මහගිර  (සමණොළගිර) හා රකුන්ගිර (රිටිගල) වැනි ඔසුඵල වනාන්තරවලින් බව කියන්න පුළුවන්.

මේ සියල්ල අධ්‍යයනය කළ විට ඔබ මුලින් ආහපු ප‍්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලැබෙනවා. රාවණා රජු සම්පාදනය කළ වෛද්‍ය පුස්ථක තුළින්ම ඒතුමාගේ නිවැරදි පෞර්ෂය අපට හිතාගන්න පුළුවන්. කොහොම වුණත් ඓතිහාසික රාවණා රජු කියන්නේ රාමයාණයෙන් නිරූපිත රාවණා නම් නොවේ.

සටහන හා සාකච්ඡාව
පි‍්‍රයංකර හේරත්ගේ ඉතිහාස ගවේෂකයින්ගේ තරුණ සංවිධානය