Oct 18, 2014

දෙවන ලෝක යුද්ධයට එක්වූ නිලධාරියෙකුගේ අප්‍රකට කතාව

(සීතා අබේසේකර)
හාන්ස් ඇලෙක්සැන්ඩර් ලන්ඩනයේ ගෙවූ ඔහුගේ ජීවිත කාලය පුරා තෝමස් ඇතුළු සියල්ලෝම ඔහුව හඳුනාගෙන සිටියේ විනෝදකාමියෙකු ලෙසටය. ඔහු මහලු වියට එළැඹෙන තෙක්ම තම අතීතය ගැන කතා කළානම් ඒ ඉතා කලාතුරකිනි. 2006 වසරේ හාන්ස් මියගියේය. මිය යනවිට ඔහු 89 වන වියේ පසුවිය. ඔහුගේ අවමංගල උත්සවයේදී යුද වීරයෙකු ලෙස ඔහු පිළිබඳ කරනු ලැබූ ගුණ කථනයේදී ඔහු සැඟව සිටි නට්සි හමුදා නායකයින් කොටුකරගෙන නීතිය ඉදිරියට පැමිණ වූ දක්ෂ හමුදා නිලධාරීන් කිහිපදෙනාගෙන් කෙනෙකු යැයි සඳහන් වූ කල්හි ඔහුගේ ඥාතීන්ගෙන් වැඩිදෙනකු පුදුමයෙනුත් පුදුමයට පත්විය.

තෝමස් හාඩින්ටද එය අදහාගත නොහැති පුවතක් විය. ඔවුහු පළමුව සිතුවේ එයද හාන්ස් විසින් අන් අයගේ විනෝදය උදෙසා ගොතන ලද රසවත් කතාවක් බවය.එහෙත් එය ප්‍රබන්ධයක් නොවන බව සැකහැර දැනගත් කල්හි ‍ලේඛකයකු වූ තෝමස් තම මුත්තනුවකු වූ හාන්ස් ඇලෙක්සැන්ඩර් නම් රණවිරුවාගේ සැබෑ අතීත කතාව කෙසේ හෝ එළිදරව් කරගැනීමටඅධිෂ්ඨාන කරගත්තේය. ඔහු මුලින්ම ලන්ඩනයේ ඉම්පීරියල් යුද කෞතුකාගාරයේ පර්යේෂකයින් හමුව, නට්සි හමුදා නායකයන් නීතියට කොටුකර ගැනීමට ඔවුන් සොයා ඇරඹූ   මෙහෙයුමට දායක වනු වස් ආපසු තම උපන් රටට ගිය ජර්මානු යුදෙව්වා ගැන ඇසුවේය. ඔවුහු කළේ සිනහ වීම පමණකි.


එයින් පසුබට නොවූ තෝමස් ලන්ඩන් නුවර ආසන්නයේ පිහිටි බෙඩ්ෆෝඩ්ෂයර්හි කුඩා හමුදා බුද්ධි අංශ කෞතුකාගාරයක් වෙත ගොස් තොරතුරු විපරම් කළේය. එහිදී එක් ‍‍‍ජ්‍යෙෂ්ඨ මේජර්වරයකු ඔහු වෙත ලබාදුන් ලිපි ගොනුවක අවුෂ්ට්විම්ස් නම් නට්සි සිරකඳවුරේ ප්‍රධාන අණදෙන නිලධාරී රුඩොල්ෆ් හොස් අල්ලා ගැනීම පිළිබඳ සවිස්තර වාර්තාවක් විය. එහි දෙවන පිටුවෙහි තම මුත්තනුවන්ගේ නම සටහන්ව තිබෙනු දුටු තෝමස් තමාට අසන්නට ලැබුණු මුත්තණුවන්ගේ වීර ක්‍රියාව සත්‍යයක් බව සැකහැර දැනගත්තේය.‍පොතක් ලෙස පළ කිරීමේ අරමුණින් ඊළඟ අවු. හයක කාලයක් තුළ තෝමස් හාන්ස් ඇලෙක්සැන්ඩර්ගේ ජීවන තොරතුරු එක්රැස් කළේය. පසුගියදා එක්සත් ජනපදයේදී “හාන්ස් සහ රුඩොල්ෆ්” ලෙස එළිදක්වෙන ලද්දේ එම කෘතියයි.


පළමුවන ලෝක යුද සමයේ ජර්මනියේදී යුදෙව් මාපිය යුවළකට දාව මෙලොව එළිය දුටු ඇලෙක්සැන්ඩර්ගේ ළමා විය ගෙවුණේ බර්ලින්වල අලංකාර, සැප පහසු නිවසකය. ඔහුගේ පියා වෛද්‍යවරයෙකි. නිතර ප්‍රිය සම්භාෂණ පැවැත්වුණු එම නිවසේ සාදවලට සුප්‍රසිද්ධ නළු නිළියන්, කලාකරුවන් හා විද්‍යාඥයින් සහභාගි විය. ඔවුන් අතර, ලෝ සුපතල භෞතික විද්‍යා මහාචාර්ය ඇල්බට් අයින්ස්ටයින් ද වී යැයි සඳහන් වේ.
එහෙත් ඇඩොල්ෆ් හිට්ලර් බලයට පත්වීමත් සමගම ඇලෙක්සැන්ඩර්ගේ නිවසේ පැවැත්වූ මියුරු සංගීත, ප්‍රිය සම්භාෂණ සියල්ල නිමාවිය. 1930 දී ඇලෙක්සැන්ඩර්ගේ යුදෙව් පවුල සියලු යස ඉසුරු හැර දමා බ්‍රිතාන්‍යයට පලා ගියේය. එහෙත් ඇලෙක්සැන්ඩර් ජර්මනියේ නතර විය. 1936 දී ඇඩොල්ෆ් හිට්ලර්ගේ නට්සි හමුදාව සිදුකිරීමට යන දරුණු ක්‍රියාවලිය පිළිබඳ ආරංචි ලද සැනෙන් ඇලෙක්සැන්ඩර්ද බර්ලින් නගරය හැරදමා තම පවු‍ලේ උදවිය ඒ වන විට පදිංචිව සිටි ලන්ඩන් වෙත පලා ගියේය.
1939 දී බ්‍රිතාන්‍ය ජර්මනියට විරුද්ධව යුද ප්‍රකාශ කරන විට ඇලෙක්සැන්ඩර් අවු.22ක තරුණයෙකි. බ්‍රිතාන්‍ය යුද හමුදාවට බැඳීමට ඔහු ගත් උත්සාහය ජර්මනියේ උපත ලැබිම හේතුකොටගෙන ව්‍යර්ථ වී ගියේය.


එහෙත් යුද්ධය ක්‍රමයෙන් දිග්ගැස්සෙමින් යද්දී හමුදාවට බඳවා ගැනීමේදී පනවා තිබූ නීතිරීති ලිහිල් වී ගියෙන් ඇලෙක්සැන්ඩර්ටද හමුදාවට බැඳීමට වරම් ලැබුණි. එහෙත් ආයුධ පරිහරණය සඳහා අවසර ලැබුණේ ඊටත් වසර කීපයකට පසු ඔහු හමුදා නිලධාරියකු ලෙස උසස්වීමක්ද ලද පසුවය.
1945 දී දෙවන ලෝක යුද්ධය නිමාවන විට ඇලෙක්සැන්ඩර් සිටියේ වයඹ දිග ජර්මනියේ පිහිටි බර්ජන් වෙල්සන් සිරකඳවුරේ නට්සි හමුදා භටයින්ගෙන් තොරතුරු ලබාගනිමිනි. මේ අනුව චූදිත නට්සිවරුන්ගෙන් කෙළින්ම ප්‍රශ්න කිරීම්කොට තොරතුරු ලබාගත් මුල්ම කිහිපදෙනා අතරට ඇලෙක්සැන්ඩර්ද එක්වෙයි.ඇලෙක්සැන්ඩර් ඇතුළු කණ්ඩායම නට්සි භටයින්ගෙන් තොරතුරු ලබාගනිද්දී නිතරම ඔහුගේ සිහියට ආවේ නීතිය මගහැර සිටින ප්‍රධාන පෙළේ නට්සි හමුදා නායකයින් ගැනයි.


යුද්ධය නිමාවී මාස ගණනකට පසුව ඔහු සැඟව සිටින නට්සි යුද අපරාධකරුවන් සොයා මෙහෙයුමක් දියත් කිරීමට බ්‍රිතාන්‍ය හමුදාවෙන් අවසර පැතුවද එබඳු වැඩපිළිවෙළක් ඒ වන විට ආරම්භකොට නොතිබූ බැවින් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය. එහෙත් තම නැගණියට ලියූ ලිපියක සඳහන්ව තිබූ අන්දමට ඔහු රාජකාරි වේලාවෙන් බැහැරව සිටින විවේක කාලය නාසි නායකයින් සෙවීම සඳහා යොදවා තිබුණි.
කල්යාමේදී බ්‍රිතාන්‍ය රජය නට්සි අපරාධකරුවන් කොටුකර ගැනීමට කණ්ඩායමක් යෙදවීමට තීරණය කළවිට ඇලෙක්සැන්ඩර්ද ඊට එක්විය. ඒ අයුරින් ඔහු ප්‍රථම යුද අපරාධ පරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකත්වය ලැබුවේය.


මෙම මෙහෙයුමේදී ඇලෙක්සැන්ඩර්ගේ විශාලතම ජයග්‍රහණය සටහන් වන්නේ නට්සි නායකයකු වූ රුඩොල්ෆ් හොස්ගේ බිරිඳව තම සැමියා සැඟව සිටින ස්ථානය හෙළිදරව් කරගැනීමට උපක්‍රමශීලීව ‍පොළඹවා ගනු ලැබිමය.රුඩොල්ෆ් හොස් යනු නට්සි හමුදාව විසින් පවත්වාගෙන යනු ලැබූ වධකාගාර නොහොත් රැඳවුම් කඳවුරුවලින් විශාලතම හාබිහිසුනුමරැඳවුම් කඳවුර වූඅවුෂ්ට්විට්ස් හි අණදෙන නිලධාරියායි.


1940 අප්‍රේල් 27 වනදා  හිට්ලර්ගේ නියෝගයෙන් ‍පෝලන්තයේ කොන්වේසිව් අසල ඉදිවුණු මෙම කඳවුර යුද්ධය නිමාවන කාලය වන විට විශාල ප්‍රධාන කඳවුරු තුනකින් හා ඊට අනුයුක්ත වූ කුඩා කඳවුරු 45කින්ද යුක්තව තිබිණි. එහි කොතරම් දරුණු වධහිංසා පැමිණවීම් හා මනුෂ්‍ය ඝාතන සිදුවූවාදැයි කිවහොත් “අවුෂ්ට්විට්ස්”යන වචනය යුරෝපීය යුදෙව් සංහාරයේ හා මරණයේ සංකේතය බඳුවිය.


බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් සැඟව සිටි නට්සි අණදෙන නිලධාරී රුඩොල්ෆ් හොස්ව අල්ලාගන්නා විට ඔහු සිටියේ ඩෙන්මාර්ක් දේශසීමාව අසල පිහිටි ගොට්රූපල් නම් ප්‍රදේශයේ වූ පිදුරු මඩුවක නිදාගෙනය.
1946 මැයි 25 ඔහුව ‍පෝලන්ත බලධාරීන්ට බාරදෙනු ලදුව එහිදී නඩු විභාගයෙන් පසු 1947 අප්‍රේල් 02 වනදා එල්ලා මැරීමට නියම කෙරිණි. නඩු තීන්දුවට පෙර නඩු විභාගය පැවතෙද්දී මිනිසුන් දසලක්ෂ තුනහමාරක් මරා දැමීමට ඔහු වරදකරු යැයි පැමිණිල්ලෙන් පැවැසූ කල්හි හොස් කිසිදු පැකිලීමකින් තොරව මෙසේ පවසා තිබුණි. “නැහැ. මා මරා දැමුවේ දසලක්ෂ දෙකහමාරයි. ඉතිරි අය මළේ කුසගින්නෙන් හා ලෙඩරෝගවලට ගොදුරු වීමෙන්.”