Showing posts with label බුදු දහම හා ලෝකය. Show all posts
Showing posts with label බුදු දහම හා ලෝකය. Show all posts

Dec 23, 2012

මහ මුහුදයි බුදු දහමයි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අනුජානාමි භික්ඛවේ චාතුද්දසේ,
පණ්ණරසේ අට්ඨමියා ච සන්නිපතිතුන්ති

සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බුදුසසුනත් මහ සයුරත් සංසන්දනාත්මකව කරන ලද විග්‍රහයක් උදාන පාලියෙහි සෝණ වර්ගයට අයත් උපෝසථසූත්‍රයෙන් දැකගත හැකිය.අංගුත්තර නිකායෙහි අට්ඨක නිපාතයෙහි ද මෙම සූත්‍රය දක්නට ලැබේ. උපෝසථ කර්ම අරභයා දෙසන ලද බැවින් මෙම සූත්‍රය උපෝසථනමින් හැඳින්වේ. උපෝසථ යන්නෙහි උප යන උපසර්ගයෙන් ළඟයන අර්ථය ගෙන දෙයි. වසථ යනු විසීමයි. ඒ අනුව උපෝසථ යනු ළඟ වාසය කිරීමයි.

පොහෝ දිනයන්හි දෙවියෝ මිනිස් ලොවට පැමිණ මිනිසුන් සමීපයෙහි වසන බව වෛදික යුගයේ බ්‍රාහ්මණ මතයෙකි. මේ නිසා පොහෝ දිනයන්හි උපෝසථ කර්මයෙහි නියුතු වූහ. උපෝසථ කර්ම නම් කාම සේවනයෙන් වැළකීම ආහාර ගැනීමෙන් වැළකීම ආදි ව්‍රත ආරක්ෂා කිරීමයි. උපෝසථ යන පදයෙන් ආහාර ගැනීමෙන් වැළකීම උපවාසය කිරිම යන අර්ථයන්ද ගත හැකිය.

බුදුසසුන ආරම්භ වීමට පෙරද උපෝසථ දිනයන්හි ව්‍රත සමාදානය ගිහි පැවිදි දෙපක්‍ෂයම කළහ. ගිහියන් හා පැවිද්දන් එක්වීම නිසා ගිහියන්ට ආගම ධර්මය කියාදීමේ හැකියාව උදාවිය. එහෙත් බුද්ධශ්‍රාවක භික්‍ෂූන් උපෝසථ දිනයන්හි රාශි භූත නොවූ නිසා එම වටිනා අවස්ථාව ගිලිහී ගියේය. ඒ නිසා බිම්බිසාර රජතුමා ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේට සැළකර සිටියේය.

එයින් දක්වෙනනේ අන්‍ය තීර්ථකයන් තුදුස්වක්, පසළොස්වක් හා අටවක් දිනයන්හි රැස්ව ධර්මදේශනා කරනු ලබන හෙයින් මිනිසුන් ඔවුන් වෙත පැමිණ බණ අසා ඔවුන් කෙරෙහි පේ‍්‍රමය ප්‍රසාදය ඇතිකරගෙන ඔවුන්ගේ පක්ෂය ගන්නා හෙයින් ආර්යයන් වහන්සේ ද එම දිනයන්හි රැස්වන්නේ නම් මැනවැයි යනුවෙනි. රජතුමාගේ එම ඉල්ලීමට අනුව බුදුරජාණන් වහන්සේ මහා සංඝයාට අනුජානාමි භික්ඛවේ චාතුද්දසේ පණ්නරසේ අට්ඨමසියා ච සන්නිපතිතුන්තියනුවෙන් තුදුස්වක් පසළොස්වක් අටවක් දිනයන්හි රැස්විය යුතු යයි නියම කළහ. භික්ෂූන් ද උපෝසථ දිනයන්හි රැස්වන බව දැනගත් උපාසක උපාසිකාවෝ ද රැස් වූහ. එහෙත් බණ ඇසීමට නො ලැබීම නිසා දෝෂාරෝපණය කළහ. ඒ නිසා භික්ෂූන්ට ධර්මදේශනා කිරීමටද බුදුරජාණන් වහන්සේ නියම කළහ.

පොහෝ දිනයන්හි මෙසේ රැස්වී භික්ෂූන්ට පාමොක් උදෙසිය යුතු යැයි බුදුරජාණන් වහන්සේම සිතා මතා ප්‍රකාශ කළහ. බුදුරජාණන් වහන්සේද ඒ සඳහා සහභාගි වූහ. දිනක් සැවැත්නුවර පූර්වාරාමයෙහි බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයා උපෝසථ දිනයෙක පොහෝ කිරීම සඳහා රැස්වූහ. එහි දී සීමාවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ අසුන්ගෙන නිශ්ශබ්දව වැඩසිටි සේක.ආනන්ද හිමියෝ සිවුර එකස්කොට පෙරවා අභික්ඛන්තා භන්තෝරත්ති, නික්ඛනතෝ පඨමෝ යාමෝ, චිරනිසින්නෝ භික්ඛණු සංඝෝ උද්දිසතු භන්තේ භගවා භීක්ඛූනං පාතමොක්ඛන්ති බුදුරජාණන් වහන්ස, රාත්‍රිය බොහෝ ඉක්ම ගියේය. පෙරයම ගෙවී ඇත. භික්ෂූහු බොහෝ වේලාවක් හිඳගෙන සිටිති. ප්‍රාතිමෝක්ෂය දේශනා කරන සේක්වා ! හි ඉල්ලා සිටියහ. එවිට බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව වැඩසිටි සේක. මධ්‍යම යාමයේත් එසේ ඉල්ලූ විට නිශ්ශබ්ද වම වැඩසිටි සේක. පශ්චිම යාමයේදී බුදරජාණන් වහන්සේට ආරාධනා කළ විට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. පිරිස අපිරිසුදු බවයි. එවිට මුගලන් මහරහතන් වහන්සේ සඟ පිරිස දිවැසින් පිරික්සීමේ දී සඟ පිරිස අතර සිටින දුසිල් පැවිද්දකු පෙනුණි. මුගලන් මහරහතන් වහන්සේ ඒ දුසිල් පැවිද්දාට බුදුරදුන් ඔබ දැක්කේයැයි පවසා පිරිසෙන් ඉවත් කළහ. පසුව බුදුරජාණන් වහන්සේගෙන් පාමොක් දෙසන ලෙස ඉල්ලා සිටියහ. එවිට බුදුරජාණන් වහන්සේ මෙයින් මතු තථාගතයන් වහන්සේ භික්ෂූන් සමග පාමොක් නො දෙසන බවක්, භික්ෂූන්ම පාමොක් දෙසිය යුතු බවත් වදාළහ. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ තවදුරටත් කරුණූ පැහැදිලි කරමින් මහා සමුද්‍රයෙහි ආශ්චර්ය අද්භූත කරුණු අටක් දැක අසුරයන් සමුද්‍රයෙහි ඇලෙන්නාක් මෙන් සිල්වත් භික්ෂූහු ද ධර්ම විනයෙහි ආශ්චර්ය අද්භූත කරුණු අටක් දැක ශාසනයෙහි ඇලෙන බව පෙන්නුම් කොට වදාළහ.

*පළමු වැනි ආශ්චර්යය

මහා සමුද්‍රය එකවිටම ගැඹුරු බවට පත්වන්නේ නැත. ක්‍රමයෙන් ගැඹුරුවී යයි. මේ සාගරයෙහි ඇති පළමු වන ආශ්චර්ය අද්භූත කරුණයි. එමෙන්ම ශාසනයෙහි අනුපූර්ව ශික්ෂා අනුපූර්ව ක්‍රියා අනුපූර්ව ප්‍රතිපදා ඇත. කෙනෙකුට පිළිවෙල ඉක්මවා සීල, සමාධී, ප්‍රඥා නොපුරා එකවිටම රහත් බවට පත්විය නො හැකිය. තිසරණ සමාදන් වීමෙන් උපාසකයකු බවට පත්වන තැනැත්තා පංච ශීල අෂ්ටාංග සීල දස සීලාදිය ආරක්ෂා කොට ප්‍රව්‍රජ්‍යාව ලැබ සාමණේර සීල,අධිශීලාදියට පත්ව චූල සීල මජ්ඣිම සීල මහාසීල ආදි සීලයන් සම්පූර්ණ කටයුතු ය . සීලේ පතිට්ඨාය නරෝ නරෝ සපඤ්ඤෝ , චිත්තං පඤ්ඤංච භාවයං සීලයක පිහිටා සිත දියුණු කරගත යුතුය. ප්‍රඥාව වැඩිය යුතුය.මේ මූලික ප්‍රතිපදාවන්හි නො පිහිටා ප්‍රඥාව වඩා නිවන අවබෝධ නො කළ හැකිය. මෙම අනූපූර්ණ ප්‍රතිපදාව ශාසනයෙහි ඇති පළමු වැනි ආශ්චර්ය අද්භූ®ත කරුණයි.

*
දෙවැනි ආශ්චර්යය

මහා සමුද්‍රයෙහි කෙතරම් රළ නැගුණද වෙරළට විත් රළ බිඳී යයි. (සුනාමි ආදි විපත් වෙනත් කරුණු නිසා ඇතිවන්නකි. මෙහි පැවසෙන්නේ මහ සයුරෙහි ස්වාභාවික තත්වයයි ) වෙරළ ඉක්මවා යාමෙක් නැත. මේ මහා සමුද්‍රයෙහි දෙවන ආශ්චර්ය අද්භූත කාරණය වන අතර සසුන්ගත ශ්‍රාවකයෝ දිවි යතත් ශික්ෂාපද නො කඩකිරීම ශාසනයේ දෙවැනි ආශ්චර්ය අද්භූත කාරණයි. මෙහි විශේෂයෙන් දක්වා ඇත්තේ ආර්ය භාවයට පත් බුද්ධශ්‍රාවකයන් ගැන ය. උන්වහන්සේ දැන දැන බුද්ධ ප්‍රඥප්තියක් නො ඉක්මවති.

*
තෙවැනි ආශ්චර්යය

මහා සමුද්‍රයෙහි කුණප රැදෙන්නේ නැත. මහ සයුරට වැටෙන සෑම කුණපයක්ම වෙරළට ගසාගෙන එයි. එය මහා සමුද්‍රයෙහි ඇති තෙවන ආශ්චර්ය අද්භූත කාරණයයි. බුදු සසුනක් එමෙනි. සංඝ නාමයෙන් ගත් විට එහි දුස්සීලයෙක් නැත. (සංඝොහි නාම දුස්සීලෝ නත්ථි)

*
සිව් වැනි ආශ්චර්යය

මහාසමුද්‍රයට භාරත දේශයෙහි ගංගා යමුනා,අචිරවතී සරභු, මහි ආදි ගංගාවේ ගලාබසිති. ශ්‍රී ලංකා ද්වීපයෙන් මහවැලි කලණි, කළු වලවේ යන ගංගා ගලාබසින්නීය. තව නොයෙක් රටවලින් ගංගාවෝ අනන්ත ගලාබසිති කොයි රටකින් කිනම් නමකින් ගංගාවන් ගලාබැස්සේ මුහුදට වැටුණ පසු මුල් නාමයන් අතහැර මහාසමුද්‍රයයන නාමය ම ගනී.මේ සයුරේ සිව්වැනි අරුම පුදුම සිද්ධියයි. එමෙන් ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ,වෛශ්‍ය, ශුද්‍ර යන වංශිකයෝ බුදුසසුනෙහි පැවිදි වෙති. තව නොයෙක් ගෝත්‍රිකයෝ පැවිදි වෙති. ඔවුන් පැවිදි වූවායින් පසු මේ බ්‍රාහ්මණයෙක්ය.මේ ක්‍ෂත්‍රිය වංශිකයෙක්ය. ආදි වශයෙන් නො හඳුන්වති. සියල්ලන්ම හඳුන්වන්නේ බුද්ධශ්‍රාවක නමිනි. අද පවා ශ්‍රී ලංකාද්වීපයෙහි පැවිදි වන උතුමෝ මුල් පෙළපත් නාමයන් අතහැර ගමේ නම යොදාගෙන නාමය භාවිත කරති. එහෙයින් සංඝයා සැමට පොදු පිරිසක් බව ඒත්තු ගැන්වෙයි. මේ ශාසනයෙහි සිව්වැනි ආශ්චර්ය අද්භූත සිද්ධියයි.

*
පස් වැනි ආශ්චර්යය

ඇල දොළ ගංගාවන්ගේ නිමාව සිදුවන්නේ මුහුදට වැටීමෙනි. එමෙන් වර්ෂා ජලයද සමුද්‍රයයි. ගලාබසියි. එසේ වුවත් මහා සමුද්‍රය අඩු හෝ වැඩි නොවේ. මේ මහා සමුද්‍රයෙහි ඇති පස් වැනි ආශ්චර්ය අද්භූද කරුණයි. එමෙන්ම බුද්ධ ශාසනයෙහි පරම නිෂ්ටාව වන නිවනෙහි ද මේ ලක්‍ෂණය දක්නට ලැබේ.

බුදු පසේබුදු මහරහත් යන උත්තමයෝ කෙළෙස් නැසීමෙන් සෝපධිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා ආයු කෙළවර අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාති. කෙතෙක් පිරිනිවන් පෑවත් නිවනෙහි අඩු වැඩි බවක් අතිරික්තයක් ඇති නොවේ.මේ ශාසනයෙහි ඇති පස් වැනි ආශ්චර්ය අද්භූත කරුණයි.

*
සවැනි ආශ්චර්ය

මහා සමුද්‍රයෙහි කොතැනකින් දියබිඳක් ගෙන බැලුව ද එය ලුණුරසමය. එසේම ධර්ම විනය එකම විමුක්ති රසයෙන් යුක්ත වේ. මහ සයුරෙහි හා බුදු සසුනෙහි ඇති සවන ආශ්චර්ය අද්භූත කරුණ එයයි.

*
සත්වැනි ආශ්චර්යය

සත් වැනිව දක්වා ඇති මහ සයුරෙහි ආශ්චර්ය අත්භූත කරුණ නම් එහි ඇති මහාර්ඝ වස්තූන්ය. මහසයුර තුළ මුතු , මැණික්, වෙරළුමිණ, සක්, සිලා, පබළු, රන් රිදී, මැසිරිගල් ආදි මහා අනර්ඝ වස්තු ඇත. එසේම ධර්ම විනයෙහි ද සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය පංච බල, සප්ත බෝධ්‍යාංග ධර්ම, ආර්යාෂ්ටාංගික මාර්ගය වැනි මිල කළ නොහැකි මහාර්ග ධර්ම නමැති මුක්නා මාණික්‍යයෝ ඇත්තාහ.මේ ශාසනයෙහි සක් වැනි ආශ්චර්ය අද්භූත කාරණයි.

*
අටවැනි ආශ්චර්යය

මහා සමුද්‍රය මහා සත්වයන්ට වාසස්ථානයෙකි. ගොඩබිම වසන සත්වයන්ට වඩා සත්ව වර්ගයෝ මහා සමුද්‍රයෙහි වාසය කෙරෙති. සමහර සත්වයන් විශාලත්වයෙන් ද වැඩිය. නිමි , තිමිංගල, තිමිරපිංගල වැනි විශාල සත්වයෝද අසුර නාග ගාන්ධර්වාදීහුද වෙසෙති. එමෙන්ම බුදු සසුනෙහි ද සෝවාන් , සකෘදාගාමි ,අනාගාමි අරහත් ආදි මහා සත්වයෝ වෙසෙති.මේ බුදු සසුනෙහි අට වන ආශ්චර්යය අද්භූත කාරණයයි.

බුදුරජාණන් වහන්සේ ස්වාභාවික නිර්මාණයක් වන මහා සාගරයෙහි පවතින ආශ්චර්ය අද්භූත කරුණු අටක් ගෙනහැර පාමින් එම කරණු අට බුදු සසුනටත් සමාන බව සංසන්දනාත්මකව මෙම උපෝසථ සූත්‍රයෙන් පෙන්වා වදාළහ. මහ සයුරෙහි එම කාරණා අට කරන්නෙක් හෝ කරවන්නෙක් නැත. එමෙන් බුදුසසුන ද ස්වය පාලිතය. ධර්ම විනය ශාස්තෘත්වයෙන් සලකාගෙන පාලනය වෙති 

උපුටා ගැනීම - දහම් ගගන.
http://www.facebook.com/groups/Budhistcorner/permalink/263806020414118/

Dec 18, 2012

කාලය හා මායා දින දර්ශනය


කාලය හා මායා දින දර්ශනයඅප උත්සාහ කරමින් සිටින්නේ ක්‌වොන්ටම් අංශුවල චලිතය තේරුම් ගැනීමට ය. එහෙත් අප තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් ඒ බව දැනගැනීමෙන් නො වේ. අපේ ප්‍රත්‍යක්‍ෂ නිවැරැදි යෑයි මෙයින් අදහස්‌ නො කෙරෙයි. අපේ ප්‍රත්‍යක්‍ෂ ද අපේ නිර්මාණ (සංස්‌කාර) වෙයි. අප පුටුව ලෙස දකින්නේ අපේ සංස්‌කෘතිය විසින් සකස්‌ කෙරී අපට ලබා දුන් සංකල්පයක්‌ සහිත ඊනියා වස්‌තුවකි. එවැනි වස්‌තුවක්‌ ඇතැයි සැලකීමට අපට සංස්‌කෘතියෙන් උගන්වනු ලැබ ඇත.
ක්‌වොන්ටම් අංශු අපට දෘශ්‍යමාන නො වෙයි. දෘශ්‍යමාන නො වෙයි යන්නෙන් මේ ලිපිවල දී පමණක්‌ නො ව අදාළ වෙනත් ලිපිවල දී ද අදහස්‌ වන්නේ පංෙච්න්ද්‍රියයන්ට ගෝචර නො වන බව ය. එයින් කිසිසේත් ම හුදෙක්‌ ඇසට නො පෙනෙන බව පමණක්‌ ගම්‍ය නො වේ. ඊනියා ගුරුත්වාකර්ෂණ බලය දෘශ්‍යමාන නො වේ යෑයි කී විට එය ඇසට නො පෙනෙන නමුත් ඇඟට දැනෙන්නේ යෑයි කියන්නෝ වෙති. එහෙත් ඔවුහු ඊනියා ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකට දැයි නො කියති.

ඊනියා ගුරුත්වාකර්ෂණ බලය දෘශ්‍යමාන නො වේ යන්නෙන් එවැන්නක්‌ ඉන්ද්‍රිය ගෝචර නො වේ ය යන්න අදහස්‌ වන බව, මගේ ලිපිවලට දේශපාලන පක්‍ෂ විසින් හා වෙනත් අය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවිවල කමෙන්ට්‌ නමින් හැඳින්වෙන පඬි මත දක්‌වන අය නො දන්නා බව පැහැදිලි ය. අපි ඔවුන් ගැන අනුකම්පා කරමු. ඒ අය කළ යුත්තේ ඊනියා ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකට දැයි කා හටත් පැහැදිලි වන අයුරෙන් ප්‍රකාශ කිරීම ය. එසේ නැති ව තමන්ට ගුරුත්වාකර්ෂණය දැනෙන බව කීමෙන් පලක්‌ නොමැත.

පසුගිය දා නිරීක්‍ෂණය කරන ලදැයි කියෑවෙන හිග්ස්‌ බෝසෝනය ද දුටු අයකු නැත. බටහිර විද්‍යාඥයන් දළ සේයා පටිවල ඇති වූ රේඛා මගින් හිග්ස්‌ බෝසෝනය අර්ථ දක්‌වා ඇත. හිග්ස්‌ බෝසෝනය දුටු අයකු, එනම් පංෙච්න්ද්‍රියට ගෝචර කරගත් අයකු සර්න් පරීක්‍ෂණාගාරය ඇතුළු ලෝකයේ කිසි තැනක නැතත් මෙරට ඇතැම් පඬියන් කතා කරනුයේ තමන් හිග්ස්‌ බෝසෝනය දුටු අයුරෙනි. ඔවුන් වැඩි ම වුව හොත් කරන්නේ අද ලෝකයේ විඤ්Cදූන් බවට බලහත්කාරයෙන් බටහිරයන් විසින් පත් කෙරී තිබෙන බටහිර විද්‍යාඥයන් ගේ මත අතිමහත් විශ්වාසයකින් පුනරුච්චාරණය කිරීම පමණකි.

ඔවුන් තමන් මහත් උනන්දුවකින් කතාකරන අනුගමනය කරන්නේ යෑයි කියන කාලාම සූත්‍රයෙහි පළමු කොටස අනුගමනය නො කරති. ඔවුහු තමන් නිරීක්‍ෂණය නො කර ම හිග්ස්‌ බෝසෝනය ඇතැයි කියන්නේ වෙනත් අය කියා ඇති බැවින් මිස තමන් අනුගමනය කරන්නේ යෑයි කියන ඊනියා විද්‍යාත්මක ක්‍රමයක්‌ අනුව හෝ ඊනියා විද්‍යාත්මක ආකල්පයක්‌ නිසා හෝ නො වේ. ඔවුහු කාලාම සූත්‍රයෙහි දෙවැනි කොටස ලෙස හැඳින්විය හැකි විස්‌තරයෙන් කියෑවෙන පරිදි එලොවටත් මෙලොවටත් වැඩදායක වන පරිදි විඤ්Cදූන් කරන කියන දෑ කිරීමටත්, නො කරන නො කියන දෑ නො කිරීමටත් පෙලඹවී ඇතැයි කිසිවකුට සිතිය හැකි ය. එහෙත් එහි දී ප්‍රශ්නයක්‌ වනුයේ ඔවුන් ගේ විඤ්Cදූන්a වූ මේ බටහිර විද්‍යාඥයෝ හා වෙනත් බටහිර පඬිවරු එලොවටත් මෙලොවටත් වැඩදායක වන අයුරෙන් ක්‍රියා නො කිරීම ය.
අප උත්සාහ කරන්නේ අපට දෘශ්‍යමාන නො වන ක්‌වොන්ටම් අංශුවල චලිතය තේරුම් ගැනීමට ය. දෘශ්‍යමාන නො වන අංශුවල චලිතය තේරුම් ගැනීම එක්‌ විට ම අපහසු විය යුතු බැවින් අප පළමුව පංෙච්න්ද්‍රියයන්ට ගෝචර වන වස්‌තුවල චලිතය තේරුම් ගැනීමට උත්සාහ කළෙමු. එහෙත් අපට එය කළ හැකි වනුයේ සංකල්ප, ප්‍රවාද ආදිය ආශ්‍රයෙන් මිස වෙනත් ක්‍රමයකට නො වේ. හුදු සංජානන කිසිවකු සම්බන්ධයෙන් ඇති නො වේ. අප වැනි පෘථග්ජනයන් ගේ සංජානන සංකල්පවලින් බැහැර නො වේ. අපට සංකල්පයක්‌ නොමැති සංජානනයක්‌ නැත.

පංෙච්න්ද්‍රියයන්ට ගෝචර වන වස්‌තුවල චලිතය, අවකාශය, කාලය, විස්‌ථාපනය ආදී සංකල්ප උපයෝගී කරගනිමින් අවබෝධ කරගැනීමට උත්සාහ කළෙමු. එහෙත් එහි දී අපට වස්‌තුවක්‌ අවකාශයේ පිහිටි ස්‌ථාන දෙකක්‌ අතර චලනය වීමේ දී නොයෙකුත් උපකල්පන කිරීමට සිදු විය. විශේෂයෙන් ම වස්‌තුවක සීමාකාරී අවස්‌ථාවක්‌ වූ අංශුවක චලිතය සාකච්ඡා කිරීමේ දී අවකාශය හිඩැස්‌වලින් තොර වූ සන්තතික භූතාර්ථයක්‌ ලෙස සැලකීමට අපට සිදු විය. භෞතික වූ අවකාශයක්‌ ඇති බවත් එය සන්තතික බවත් පමණක්‌ නො ව එම භෞතික අවකාශය ගණිතමය අවකාශයක්‌ වූ යුක්‌ලීඩීය අවකාශයට සමාන බවත් (භෞතික අවකාශය හා ත්‍රිමාන යුක්‌ලීඩීය අවකාශය අතර එකට එක අනුරූපිතයක්‌ ඇති බවත්) උපකල්පනය කළෙමු.

මේ සියල්ල උපකල්පන වෙයි. ඒ උපකල්පන නොමැති ව අපට අංශුවක චලිතය තේරුම් ගත නො හැකි ය. එහෙත් එය තේරුම් ගැනීමක්‌ ද යන ප්‍රශ්නය පැන නඟින්නේ එය උපකල්පන මත රැඳී ඇති බැවිනි. අප කරන්නේ යම් උපකල්පන මත පදනම් වෙමින් ආකෘති ගොඩනැඟීම ය. භෞතික අවකාශය ද අපට ප්‍රත්‍යක්‍ෂ නො වේ. අපි ඊනියා භෞතික අවකාශයක්‌ නිර්මාණය කරමු. එහෙත් එසේ කරන්නේ ගණිතමය යුක්‌ලීඩීය ත්‍රිමාන අවකාශය මත පදනම් වෙමිනි. ගණිතමය යුක්‌ලීඩීය අවකාශය කිසිසේත් ම පංෙච්න්ද්‍රියයන්ට ගෝචර නො වේ. එහෙත් එය සමග එකට එන අනුරූපිතයක්‌ ඇතැයි සැලකෙන භෞතික අවකාශයක්‌ ද ඒකමාන වූ කාලයක්‌ ද අපි නිර්මාණය කරගන්නෙමු.
කාලය සම්බන්ධයෙන් ද කිව යුත්තේ එය ද අවකාශයෙක්‌ ලෙස ගැනෙන බව ය. එය ඒකමාන ගණිතමය අවකාශයක්‌ සමග එකට එක අනුරූපිතයක්‌ සාදන්නේ යෑයි උපකල්පනය කෙරෙයි. කාලය පිළිබඳ අප දන්නේ යෑයි සිතන බොහෝ දෑ මේ ගණිතමය අවකාශයෙන් ගලා එයි. අප ගන්නා ගණිතමය ඒකමාන අවකාශය සන්තතික ය. එහි හිඩැස්‌ නැත. අපට භෞතික අවකාශයෙහි මෙන් ම කාලයෙහි ද අතරමැද ස්‌ථාන හෝ ලCෂ්‍ය ක්‍ෂණ හෝ පන්නා යා හැකි නො වේ. ලCෂ්‍ය ක්‍ෂණයක්‌ ලෙස මෙහි දී අර්ථ දැක්‌වෙන්නේ කාල අන්තරයක්‌ ශුන්‍ය කරා එළඹීමේ සීමාව ය. එය වස්‌තුවක පරිමාව ශුන්‍ය කරා එළඹීමේ දී අංශුව ලැබෙන්නාක්‌ මෙනි. මේ කාල අවකාශය ඇතැම් සංස්‌කෘතිවල ගණිතමය සරල රේඛාවක්‌ ලෙස ගැනිණි. (අවශ්‍ය නම් ස්‌වඡෙදනයක්‌ නො වන වක්‍ර රේඛාවක්‌ ලෙස ද ගත හැකි ය. වක්‍ර රේඛාව තමන් ඡේදනය නො කළ යුතු ය. එය සන්තතික වක්‍රයකි.)

කිනම් සංස්‌කෘතියක වුව ද යෑයි කිව හැකි තරමට මිනිසුන් කාලය මනින්නේ අද තාත්වික සංඛ්‍යා ලෙස හැඳින්වෙන සංඛ්‍යා ආශ්‍රය කරමිනි. අපි එක්‌ සිද්ධියක සිට තවත් සිද්ධියකට ගත වී ඇති කාලය තත්පර දහයක්‌ යෑයි කියමු. එසේත් නැත්නම් අවුරුදු පහක්‌ යෑයි කියමු. පහ, දහය ආදිය තාත්වික සංඛ්‍යා වෙයි. සංකීර්ණ සංඛ්‍යාවලින් කාලය මනින සංස්‌කෘතියක්‌ ඉතිහාසයේ කිසි දිනෙක වත් තිබූ බවට සාක්‍ෂියක්‌ නැත.

චලිතය ගැන යමක්‌ දැන සිටි සියල්ලන් ඉහත සඳහන් ආකාරයෙන් සිතුවේ යෑයි යමකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. ඔවුන්ට ගණිතමය අවකාශය පිළිබඳ දැනුමක්‌ නො තිබෙන්නට ඇත. අඩු ම තරමෙන් යුක්‌ලිඩීය ජ්‍යාමිතිය සකස්‌ කළ ග්‍රීකයන්ට වුව ද ඒ දැනුම නො තිබිණි. එහෙත් ඒ බොහෝ දෙනා අවකාශය ගැන සිතුවේ හිඩැස්‌ නොමැති භූතාර්ථයක්‌ ලෙස ය. එලෙස ම කාලය පිළිබඳ රේ‚ය සංකල්පයක්‌ තිබූ සංස්‌කෘතිවල කාලය ද ක්‍රමයෙන් වැඩි වන්නක්‌ ලෙස සැලකිණි.
එහෙත් කාලය ගැන එලෙස නො සිතූ සංස්‌කෘතීන් ද විය. ඔවුන් ගේ කාලය එක්‌කෝ සර්පිලාකාර විය. එසේත් නැත්නම් වෘත්තාකාර හෝ වෙනත් සංවෘත කාලයක්‌ විය. සංවෘත කාලයක්‌ පිළිබඳ සංකල්පය ඇති වන්නේ චක්‍රීය චින්තනයක ය. සිංහල බෞද්ධයන්ට ඇත්තේ චක්‍රීය චින්තනයකි. සංසාරය ගැන අප සිතන්නේ ද එක්‌තරා ආකාරයකින් සංවෘත කාලයක්‌ හෝ සර්පිලාකාර කාලයක්‌ හෝ ආශ්‍රයෙනි.

අද බොහෝ දෙනා කතා කරන මායාවරුන් ගේ දින දර්ශනය සංවෘත කාලයක්‌ ඇසුරෙන් නිර්මාණය කරගෙන ඇතැයි සිතිය හැකි ය. ඔවුන් 2012 දී ලෝකය විනාශ වන බව නො ව ලෝකය නැවත තම මාර්ගය දිගේ ගමන් අරඹන බව සිතුවා වන්නට හැකි ය. චක්‍රීය චින්තනයක එසේ සිතීම අරුමයක්‌ නො වේ. ලෝකයේ එක්‌ යුගයක්‌ අවසාන වී තවත් යුගයක්‌ ආරම්භ කිරීම 2012 දී සිදු වන්නේ යෑයි ඔවුන්ට සිතෙන්නට ඇත. එබැවින් 2012න් පසුව දින දර්ශනය දිගින් දිගට ම ගලා යැමට සැලැස්‌වීමට ඔවුන්ට අවශ්‍යතාවක්‌ නො තිබෙන්නට ඇත.
වෛදික සංස්‌කෘතියෙහි ද එක්‌ එක්‌ යුග ඇත. අද ඇත්තේ කලියුගය යෑයි කියනු ලැබේ. බෞද්ධයෝ ද ලෝකය ප්‍රසාරණය වී පසුව සංකෝචනය වන්නේ යෑයි ද නැවතත් ප්‍රසාරණය වන්නේ යෑයි ද ආදී වශයෙන් ගනිති. ඒ ඒ කල්පවල දී බුදුන් වහන්සේලා පහළ වන බවත් නැවතත් ධර්මය දේශනා කරන බවත් බෞද්ධයෝ දනිති. ඒ ක්‍රියාවලිය චක්‍රීය වෙයි. එක්‌ කල්පයක දී එක්‌ බුදුන් වහන්සේ නමක්‌ පමණක්‌ පහළ වන්නේ යෑයි නො සිතිය යුතු ය. මේ මහා භද්‍ර කල්පයෙහි බුදුන් වහන්සේ පස්‌ නමක්‌ පහළ වෙති. මේ කල්පය භද්‍ර හෙවත් යහපත් වන්නේ එබැවිනි.

එහෙත් බුදුන් වහන්සේ නමක්‌ පහළ නො වන කල්ප ද තිබිය හැකි ය. එමෙන් ම බුදුන් වහන්සේලා දෙනමක්‌ අතර ධර්මය නැති වී යන කාල ද වෙයි. එවැනි කාල අබුද්දස්‌ස කාල ලෙස බෞද්ධයන් විසින් හඳුන්වනු ලැබේ. මෙයින් පැහැදිලි වන කරුණක්‌ නම් ඕනෑ ම කල්පයක්‌ වෙනත් කල්පයක පිටපතක්‌ නො වන බව ය. එනම් කල්ප අතර එක අනුරූපිතයක්‌ ද නැත. මේ සියල්ලෙන් අපට කියන්නේ කාලය විවෘත රේ‚ය වශයෙන් ගන්නා සංස්‌කෘතීන් හැර තවත් සංස්‌කෘතීන් ද ඇති බව ය.

මායාවරුන් ගේ දින දර්ශනය 2012න් අවසන් වී ලෝක විනාශයක්‌ සිදු වන බවක්‌ ගැන කතා කරන්නේ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ය. එයට හේතුව බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි කාලය විවෘත, ඒක රේ‚ය වීම ය. එහි කාලයට ආරම්භයක්‌ ඇත. ඒ ආරම්භයෙන් පසු කාලය දිගින් දිගට ම ඒක රේ‚ය ව ගලා යයි. එය ලෝක ආරම්භයත් සමග සිදු විණි යෑයි යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි සැලකෙයි. මහා පිපිරුම, දෙවියන් වහන්සේ ලෝකය මැවීම ආදිය ඒ සංස්‌කෘතියෙහි බිහි වූ සංකල්ප වෙයි.
බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි පඬිවරුන්ට මායා දින දර්ශනය හමු වූ විට ඔවුන්ට කළ හැකි වූයේ ඔවුන්ගේ සංස්‌කෘතියට අනුව එය විවරණය කිරීම ය. ඔවුන්ට අනුව දින දර්ශනය අවසානයක්‌ ඇත්නම් එයින් කියෑවෙන්නේ ඉන්පසු ලෝකයක්‌ නැති බව ය. සරල රේඛා ඛණ්‌ඩයක අග මුල මෙන් ඔවුන්ට දින දර්ශනවලට අගක්‌ මුලක්‌ ඇත. එබැවින් ඔවුහු මායා දින දර්ශනයෙහි 2012න් පසුව යමක්‌ නො කියෑවෙන බැවින් එය එහි අග එසේත් නැත්නම් අවසාන ලෙස ගත් හ. විවෘත ඒක රේ‚ය චින්තනයක්‌ ඇති බටහිර පඬිවරුන්ට අනුව මායා දින දර්ශනයෙන් කියෑවෙන්නේ 2012 දී ලෝකය අවසන් වන බව ය. එනම් ලෝකය විනාශ වන බව ය. තම සංස්‌කෘතියෙහි සිතන ආකාරයට අනෙක්‌ සංස්‌කෘතිවල ද සිතන්නේ ය යන උද්ධච්ඡස්‌භාවයෙන් පෙළෙන බටහිරයෝ මායාවරුන් තම දින දර්ශනයෙන් 2012 දී ලෝකයේ වෙනත් යුගයක ආරම්භය ගැන කියා ඇත් ද යන්න කල්පනා කිරීමට තරම් වත් නිහතමානී නො වෙති.
- නලින් ද සිල්වා මහතා විසින් විදුසර පුවත්පතට ලියූවකි

ක්‍රිස්ටෝපර් කොලොම්බස් ට පෙර ඇමරිකාව තරණය කළ බෞද්ධ භික්ෂූහු


ක්‍රිස්ටෝපර් කොලොම්බස් ට පෙර ඇමරිකාව තරණය කළ බෞද්ධ භික්ෂූහු
(‘සිංහලේ නව නිදහස් සටන‘  විසිනි )

              ස්පාඤ්ඤයේ ෆර්ඩිනන්ඩ්ස් රජුගේ සහ ඉසබෙලා බිසවගේ අනුග්‍රහය ලැබ නැව් තුනක් සමගින් බටහිර බලා යාත්‍රා කළ ක්‍රිස්ටොපර් කොලොම්බස් විසින් 1492 දී ප්‍රථම වරට ඇමරිකාව (America) සොයාගන්නා ලදැයි යන මතය බිඳහෙලනු ලබන පුවතක් කලකට පෙර පුවත්පත් වල පළවිය. කොලොම්බස් ඇමරිකාව සොයාගැනීමට අවුරුදු දහස් ගණනකට පෙර මෙම මහද්වීපය චීන බෞද්ධයන් විසින් සොයාගන්නා ලදැයි ඒ ප්‍රවෘත්තියේ සඳහන් විය.
           බෞද්ධ ධර්ම ප්‍රචාරයෙහි යෙදුනු චීන භික්ෂූන්වහන්සේලා ඇමරිකාවට ගොස් ඇතැයි යන්න චීන ජාතිකයන් විසින් පිළිගනු ලබන කාරණයකි. ඔවුන් එසේ පවසන්නේ හුදු ප්‍රචාරය පිණිස නොව කිසියම් සැලකිය යුතු පදනමක් මත බව කරුණු පරීක්ෂා කර බැලීමේදී පෙනී යන්නකි. ‘උතුරු ශාන්තිකර සාගරය‘ (Nothern Pacific Ocean) ඔස්සේ යාත්‍රා කර පස්වෙනි සියවසේ අගභාගයේදී (ක්‍රි.ව. හාරසිය ගණන් වල) පමණ චීන ජාතිකයින් ඇමරිකාවට ගොස් ඇතැයි පිළිගනු ලැබෙයි. මෙය කොලොම්බස් ඇමරිකාව සොයා ගමන් ඇරඹීමට අවුරුදු 1000 කටත් ඉහත දී සිදුවූවකි. ‘චීන ගමන‘ පිළිබඳ විස්තර දැනට චීන කෞතුකාගාරයේ ඇති මුද්‍රණද්වාරයෙන් මේ වනතුරු ප්‍රසිද්ධ වී නැති ඉතිහාස ග්‍රන්ථයක සඳහන් වී තිබෙයි.
  අවුරුදු හාරදහසකට පමණ අධික කාලයක සිට ලියැවී ඇති චීන ඉතිහාසය බොහෝ දුරට නිවැරදි බව ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ඉතිහාසඥයින් පවසන කාරණයකි. ක්‍රිස්තු වර්ෂයට අවුරුදු දෙදහසකට පමණ පෙර පවා චීන ජාතිකයන් ඉතා දුරින් පිහිටි රටවල් සම්බන්ධව දැන සිටියහ. එම රටවල් අතර යාම් ඊම් ද කළහ. ඇසිරියානු හෝ බැබිලෝනියානු බසින් ලිවීමේ හැකියාවක් ඇතිව සිටි තානාපතිවරයෙක් චීන රජුට අක්තපත්‍ර පිළිගන්වා තිබෙයි. ‘යුප්‍රටීස්‘ ගංගාධාරයේ තිබී පුරාවිද්‍යාඥයන් විසින් සොයාගන්නා ලද ලියවිලි අතර චීනය පිළිබඳ තොරතුරු ද දක්නට ලැබෙයි. මෙම පුරාවිද්‍යාත්මක සාක්ෂි චීනයේ ඉතිහාසය සමග සැසඳූ විට ‘චීන ඉතිහාසය‘ නිවැරදි බව තහවුරු වෙයි.

දූත ගමන්

       රෝමයේ සිට චීනයට ගිය දූත ගමන් කිහිපයක් පිළිබඳව ද චීන ඉතිහාසයේ දැක්වෙයි. එවක රෝමයේ සිටි එම්ප්‍රදෝරු රජුන්ගේ නම් නිවැරදිව චීන ඉතිහාසයේ සඳහන් වෙයි.
              ඉතිහාසයේ පැරණි යුගයේ සිටි චීන ජාතිකයන් මුහුදු යාත්‍රා කිරීමේ යෙදී සිටියහ. ක්‍රිස්තු වර්ෂයට පෙර චීන ජාතිකයින් මාලිමා යන්ත්‍රය හෝ එවැනි උපකරණයක් ආධාරයෙන් සමුද්‍ර යාත්‍රාවේ නොයෙදීණැයි කීමට ද හේතුවක් නැත. හයවෙනි සහ හත්වෙනි ශතවර්ෂ වලදී චීන ජාතිකයින් විසින් ලියන ලද සමහර පොත්වල ‘උතුරු ශාන්තිකර සාගරයේ‘ (Nothern Pacific Ocean) වෙරළාසන්න පෙදෙස් පිළිබඳව නිවැරදි විස්තර දක්නට ලැබෙයි. ‘ඇලූෂියන්‘ දිවයිනේ හා ඒවායේ මිනිසුන් ඔවුන්ගේ ඇඟහි සායම් තවරාගැනීමේ සිරිත ද එක් විස්තරයක සඳහන් වෙයි. ‘ඇලස්කා‘ ප්‍රදේශය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් තවත් ග්‍රන්ථයක එයි.
 
 (අලුශියන් ගෝත්‍රිකයෙක් )

       ඇලස්කාවේ සිට ගිනිකොනින් පිහිටි ගොඩබිමක් පස්වෙනි ශතවර්ෂයේ අවසාන භාගයේ දී චීන ජාතිකයන් විසින් සොයාගන්නා ලදි. ඔවුන් සොයාගන්නට ඇත්තේ වර්තමාන ‘මෙක්සිකෝව‘ (Mexico) හෝ මධ්‍යම ඇමරිකාව වියයුතු යැයි විශ්වාස කරනු ලැබේ. මේ සොයාගැනීම සම්බන්ධයෙන් දැනට චීනයේ පාසැල් ශිෂ්‍යයන්ට ද උගන්වන බව සඳහන් වෙයි.

        මේ සොයාගැනීම පිළිබඳ තොරතුරු ‘හෝයි ෂිං‘ නැමැති බෞද්ධ භික්ෂුවක විසින් අනාවරණය කරනු ලැබ ඉතිහාස පොතට ඇතුලත් කොට තිබෙයි. නැගෙනහිර දිග රටවල දීර්ඝ කාලයක් තිස්සේ සංචාරයෙහි යෙදී සිටි මෙම හෝයි ෂිං භික්ෂුව ක්‍රි.ව. 490 දී නැවත චීනය ට පැමිණියේ ය. ‘පූසාන්‘ නමින් හැඳින්වෙන රටකට තමා ගිය බව හෝයි ෂිං භික්ෂූන්වහන්සේ ගේ විස්තරයේ සඳහන් වෙයි. එරට ස්වදේශිකයන් ගැන ද විස්තරයක් කරන හෝයි ෂිං භික්ෂූන්වහන්සේ තමන් ට කලින් ක්‍රි.ව. 458 දී මේ රටට පිණ්ඩපාතික බෞද්ධ භික්ෂූන්වහන්සේලා පස් නමක් වැඩම කළ බව ද සඳහන් කර තිබෙයි.
          පූසාන් රට ගැන මින් පසු කිහිප තැනකම සඳහන් වෙතත් ඉන්පසු එහි ගිය කෙනෙකු සම්බන්ධයෙන් සටහනක් නැත. එහෙයින් ඒ රට පිළිබඳව චීන ඉතිහාසයෙහි සඳහන් වන්නේ හෝයි ෂිං භික්ෂුව කළ විස්තරය පමණකි.

ධර්ම ප්‍රචාරය

     බුද්ධ ධර්මය පතුරුවාලීම පිණිස බෞද්ධ භික්ෂූන්වහන්සේලා දුරු කතර ගෙවා යාම සිරිතක් ව පැවති බවට ඉතිහාසය සාක්කි දෙයි. එහෙයින් චීන භික්ෂූන්වහන්සේලා ධර්ම ප්‍රචාරය පිණිස පූසාන් රට බලා ගියහයි කීම අසත්‍යය කැයි සිතිය නොහැක. පූසාන් නමින් හැඳින්වෙන මේ රට ඇමරිකාව නොව ජපානය වියයුතු යැයි සමහරු කියති. එහෙත් කරුණු කිහිපයක් නිසා ඒ තර්කය බිඳවැටේ. ජපානයේ ඉතිහාසය අනුව ඒ රටට බුදුදහම ගෙන යන ලද්දේ ක්‍රි.ව. 458 දී නොව 522 දී ය.

   පූසාන් රට ජපානයේ ඇතැම් ඉතිහාසඥයන් විසින් පූසෝ නමින් හැඳින්වීම තවත් කරුණකි. ජපන් ඉතිහාසඥයන් සඳහන් කරඇති අන්දමට පූ‍සෝ රට පිහිටා ඇත්තේ මධ්‍යම ඇමරිකාවේ හෝ මෙක්සිකෝවේ විය යුතු ය.

       චීන ඉතිහාසයේ සඳහන් වන කාල වකවානුව මෙක්සිකෝව ස්පාඤ්ඤ ජාතිකයන් ගේ ආධිපත්‍යය ට නතුවීමට ශතවර්ෂ දහයක ට පමණ පෙර යුගයක් විය හැකි ය. එහෙයින් හෝයි ෂිං භික්ෂුවක එහි යනවිට තිබෙන්නට ඇත්තේ ඇස්බක් පරපුර හෝ ඊටත් පෙර වූ බැල්ටික් රජ පරපුර ද විය නොහැක. මෙය ඊටත් පෙරාතුව තිබී විනාශව ගිය ශිෂ්ටාචාරයක් විය යුතු ය. මෙක්සිකෝවේ තවමත් දක්නට ලැබෙන නටබුන් නගර මේ යුගයේ ඒවා වියහැකි බව ඇතැම් පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.

තවත් සාධක

එවැනි දුරාතීතයේ යුගයක මිනිසුන් තුල පැවති සිරිත් විරිත් කලින් කල වෙනස්වීම නියතයෙන් ම සිදුවන්නකි. ස්පාඤ්ඤ ජාතිකයන් මෙක්සිකෝව ආක්‍රමණය කරන අවධියෙහි ඒ සිරිත් විරිත් ස්වදේශිකයන් තුලින් ඉවත් වී ගොස් තිබුණි නම් එය පුදුමයට කරුණක් නොවේ. එහෙත් පුදුමයට කරුණ වන්නේ හෝයි ෂිං භික්ෂුන්වහන්සේ විසින් විස්තර කරන සිරිත් - විරිත් සහ ගති  - පැවතුම් ද වැඩිකොටසක් එවක ඇමරිකානු ස්වදේශිකයන් අතර නොවෙනස් ව තිබීමයි.

හෝයි ෂිං භික්ෂුව විසින්, පූසාන් රාජ්‍යය පාලන ක්‍රමය, පන්ති භේදය, කාලය මැනීම, පෙරහැරවල් පැවැත්වීම සහ අනෙකුත් සමාජ සිරිත් ආදිය විග්‍රහ කොට තිබෙයි. ස්පාඤ්ඤ ජාතිකයන් මෙක්සිකෝව ආක්‍රමණය කළ අවස්ථාවේ එහි සිටි ස්වදේශිකයන් අතර පැවති සිරිත් විරිත් සියල්ල  හෝයි ෂිං භික්ෂුව විසින් කරනු ලැබූ විස්තර වලට සමාන ය.

පූසාන් රටේ යකඩ පරිහරණයක් නොවී යැයි හෝයි ෂිං භික්ෂුව පවසන අතර යුරෝපීය යන් යනතුරු ම ඇමරිකාවේ ස්වදේශිකයන් යකඩ පරිහරණය පිළිබඳව දැන නොසිටි බව ඉතිහාස වාර්තා සඳහන් කරයි. තඹ, රිදී හෝ රත්‍රන්වල ද අගයක් පූසාන් වැසියන් ට නොවී යැයි සඳහන් කරන හෝයි ෂිං භික්ෂුවගේ ප්‍රකාශය ද සත්‍යය කි.

       මේ රට හෝයි ෂිං භික්ෂුව විසින් පූසාන් යැයි නම්කර ඇත්තේ එහිදී හමුවුණු එක්තරා බෙහෙත් පැළෑටියක් අනුව ය. චීනයේ වැවෙන පූසාන් නමැති ඖෂධීය පැළෑටියකින් ගන්නා ප්‍රයෝජන එරට ස්වදේශිකයෝ මේ ගසින් ද ලබාගන්නා හෙයින් හෝයි ෂිං භික්ෂුව ඒ රට පූසාන් නමින් හැඳින්වී ය. මේ ගස අගිල් ගස යැයි උපකල්පනය කළ හැකි ය. පූසාන් ගසින් ඇමරිකානුවෝ ලබාගන්නා ප්‍රයෝජන හෝයි ෂිං භික්ෂුව විසින් සවිස්තර ලෙස සඳහන් කර තිබේ. අදත් මෙක්සිකානුවෝ ඒ ගසින් හෝයි ෂිං භික්ෂුව විස්තර කළ ප්‍රයෝජන ලබති.

හෝයි ෂිං භික්ෂුව කරන විස්තර අනුව සලකා බලන විට ඇමරිකාව සොයාගැනීමේ ගෞරවය ක්‍රිස්ටෝපර් කොලොම්බස් ට නොව චීන ජාතිකයන් ට හිමිවිය යුතුබව අවිවාදයෙන් ම පිළිගත හැකි ය.

(Paul  Brockවිසින් Pate සඟරාවට ලියූ ලිපියක් ඇසුරිනි.)
(විශේෂ ස්තුතිය කේ. චන්ද්‍ර ශ්‍රී කුලරත්න මහතා ට)
(කරුණාකර උපුටා ගැනීමේදී උපුටනය සදහන් කරන්න)