May 7, 2013

ගමේ බොදුබල සේනාවක් හැදු ටිබෙට් හාමුදුරුවෝ


ගමේ බොදුබල සේනාවක් හැදු ටිබෙට් හාමුදුරුවෝ
2013 මැයි මස 05 14:51:56 | ලංකාදීප කර්තෘ මණ්ඩලය




වේලාව හිමිදිරි 5.00ට පමණ ඇත. බදුල්ල පාලාවත්ත නම්වූ දුෂ්කර ගම්මානයේ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අඩි 40ක් පමණ උසින් බඳින ලද ශබ්දවාහිනී යන්ත‍්‍රය ක‍්‍රියාත්මක වෙයි.

‘‘හැම දෙනාටම බුදුසරණයි’’

ඒ විහාරාධිපති එස්. අමරජෝති හෙවත් ටිබෙට් හිමියන්ගේ හඬයි. ඉක්බිති උන් වහන්සේ පන්සල් බිම ඇමදීම, බුදු කුටිය පිරිසිදු කිරීම, මල් පහන් පූජා කිරීම, බුදුන් වැඳීම සිදු කරන්නාහ.

ඒ කාලය තුළ සෙත් පිරිත් විකාශනය ශබ්දවාහිනි ඔස්සේ සිදුවන්නේය.

යළිත් ඇසෙන්නේ ටිබෙට් හාමුදුරුවන්ගේ කට හඬය.

‘‘අද උදේ 7.00ට පාර ශුද්ධ කිරීමේ ශ‍්‍රමදානය තියෙනවා. රෝගීන් හා කුඩා දරුවන් හැර සියළු දෙනා මෙයට සහභාගීවිය යුතුයි. නොපැමිණෙන අයට දඩය රුපියල් 500යි.’’

මඩොල්සීම කඳුවළල්ලේ වැදී දෝංකාර දෙන එම හඬට සියළු ගම්වැසියන් අවනතය.

මේ හාමුදුරුවන්ගේ ආගමනය ගැන අපි විමසුවෙමු.

‘‘මමත් ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවන්ගේ පරපුරේ කෙනෙක්. එස් කියන්නේ සිකින්. සිකින් මහින්ද. මම සිකින් අමරජෝති.

‘‘මහින්ද හාමුදුරුවන් ගේ කාලේ මම ඉපදිලත් නැහැ. නමුත් උන් වහන්සේගේ රටේ තමයි මම ඉපදුනේ. මගේ තාත්තා යුද හමුදා සෙබළෙක්. අම්මා මිය යනකොට මගේ වයස අවුරුදු 3යි. පස්දෙනෙකුගෙන් යුතු පවුලේ මම බඩපිස්සා’’

‘‘මා පොඩිකාලයේ අනාථ ළමා නිවාසයකට බාර දීලා තිබුණා. ඒ ළමා නිවාසය භාරව සිටියේ එස්. මහින්ද හාමුදුරුවන්ගේ සහෝදරයා. ළමා නිවාසයේ සිටියදීම මම පැවිදිවුණා. මම බටහිර බෙංගාලයේ බිංගුරි ප‍්‍රාන්තයේදී උපසම්පදාව ලැබුවා’’

‘‘උඩරට අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහා නායක දවුල්දෙන ඥානිස්සර නාහිමියන්ගේ ගෝල හාමුදුරුවරු ලෝකයේ හැම තැනකම වගේ ඉන්නවා. එවැනි ගෝල නමක් වූ ඕලන්දේ ආනන්ද හාමුදුරුවෝ සිකින් වලදී මට හමුඋනා. උන් වහන්සේ අනාථ නිවාසයේ විස්තර ඇහුවා. ඊට පස්සේ ඇහුවා තායිවානය ට හෝ ශ්‍රී ලංකාවට යන්න කැමතිද කියලා. තාත්තා යුද හමුදාවට බැඳී සේවයකරපු රටක් නිසා මම ශ්‍රී ලංකාවට යන්න කැමතියි කිව්වා.

‘‘මට සිංහල, බෙංගාලි, නේපාල්, චෝ, ටිබෙට්, ලැප්වා යන භාෂා කතා කරන්න පුළුවන්. ඒ සියල්ල මගේ උත්සාහයෙන්ම ඉගෙන ගත් ඒවා. වැඩ කරන ගමන් ධර්ම දේශනා කළා. ඇල්ලේ ආරණ්‍යයේ ඉන්න වෙලාවේ මාතර වලස්ගල පිරිවෙනේ ලොකු හාමුදුරුවෝ මුණ ගැහුණා. උන්වහන්සේ මට ආරාධනා කළා ඒ පිරිවනෙහි සංස්කෘත භාෂාව උගන්වන්න. ඒත් මා ඒ ගැන උනන්දු වුනේ නැහැ. බදුල්ලේ තියෙන පාලාවත්තේ කියන තමන්ගේ ගමේ පන්සල හාමුදුරුවෝ නැතිව වරින් වර වැහිලා යනවා. ඒ නිසා ඒ ගමේ මිනිස්සුන්ට උදවු කරන්න ඒ පන්සල භාර ගන්න කියලා මම බොහෝම කැමැත්තෙන් මෙහාට ආවේ. ශ්‍රී ලංකාව බෞද්ධ රටක්. පන්සල හැදුවොත් පන්සලත් එක්ක එකතු වෙලා මිනිස්සු හැදුණොත් රට දියුණු කරන්න පුළුවන්.

‘‘සිංහලයන් ටිකක් කම්මැලියි’’ ඒත් ඒක නැති කරන හැටි මම දන්නවා’’ කියමින් හාමුදුරුවෝ සිනා සෙද්දී මට මැවී පෙනුනේ මා අසා ඇති එස්. මහින්ද හිමියන්ය.

‘‘මේ ගමේ මිනිස්සුන්ගේ ජීවනෝපාය ගොවිතැන්ය. උක් වගාවට කෘමි රෝගයක් ඇවිත් විනාශ වුණා. දැන් මිනිස්සු ඉතා අසරණ තත්ත්වයක ඉන්නේ. උක් හකුරු කර්මාන්තය වැටිලා. මේ ගමේ තිබුණු කුඩා පරිමාණයේ උක් හකුරු මෝල් 100ක් විතර කැලේට ගිහින්. සමහරු කිතුල් කර්මාන්තය කරනවා. කිතුල් හකුරු මිල වැටිලා. ඒ අය අසරණ වෙලා. මොකක් හරි විකල්පයක් තියෙන්න ඕනෑ. ජපානයේ හොඳට වැවෙන ශාකයක් තියෙනවා. කොනෆ් කියලා. මේ රටෙත් හොඳට වැවෙයි. ඒ ගහේ කොළ වලින් කඩදාසි කාඞ්බෝඞ් හදන්න පුළුවන්. ගෘහ කර්මාන්තයක් ලෙස හොඳ ආදායම් ලබා ගන්න පුළුවන්. ජපානයේ පිරිසක් ඇවිත් මේ කර්මාන්තය ගැන ජනතාව දැනුවත් කළා. පන්සලෙත් ගස් ටිකක් හැදුවා. ඒවා හොඳට හැදුනා. ඒත් මේ වැඩ පිළිවෙලට ආණ්ඩුවෙන් අවසර අවශ්‍යයි’’.

‘‘මේ ළඟදී ජපානයෙන් තවත් කට්ටියක් ආවා. මම මේ ගමේ මිනිසුන්ගේ උක්වගාවට වූ හානිය පෙන්නුවා. නව ක‍්‍රමයකට උක් හකුරු හැදීමේ වැඩපිළිවෙළක් ගැන ඒ අය යෝජනා කර තිබෙනවා’’.

පන්සල ආසන්නයේ ජීවත්වන ආනන්ද තෙන්නකෝන් මහතා දානය රැගෙන පන්සලට පැමිණ සිටියේය.

ඔහු හාමුදුරුවන් ගැන කතා කළේ දැඩි භක්තියකින් හා අභිමානයකිනි.

‘‘මේ හාමුදුරුවෝ ගමට දෙවි කෙනෙක් වගේ. දුකේදීත් සැපේදීත් දෙකෙහිම හැමුදුරුවෝ අපත් එක්ක ඉන්නවා, මළ ගෙයක් වුණත් ඉස්සල්ලාම වඩින්නේ හාමුදුරුවෝ. ශබ්දවාහිනියෙන් උන්වහන්සේ ගමටම මරණය ගැන දැනුම් දෙනවා. අපි ඉක්මනට පන්සලට යනවා. උන්වහන්සේ ළඟ තියෙන ටෙන්ට් එකයි ජෙනරේටර් එකයි පැදුරු ටිකයි පුටුයි අරගෙන අපි ඔක්කොම මළ ගෙදර යනවා. මළ ගම ඉවත් වෙනකල්ම වෙලාව බෙදාගෙන අපි සියළු වැඩ කරනවා. ‘‘සමහර වෙලාවට හාමුදුරුවෝ කතා කරනකොට තරහා ගියා වගේ පේනවා. අනේ තරහා යන්නෑ.... විහිලූවක් කරලා හිත සනසනවා. වත්තේ පිටියේ කුඹුරේ ශ‍්‍රමාදන වලට උන්වහන්සේ වඩිනවා. හරි හරියට වැඩ කරනවා. වැඩියෙන්ම වඩින්නේ මොකද දන්නවද? ලැයිස්තුවේ නම තිබුණත් සහභාගි නොවන අය කවුරුන්ද කියා බලන්න. ගමේ කාටහරි තුවාලයක් වුණත් දුවන්නේ පන්සලට. හාමුදුරුවෝ තුවාල සුද්ද කරලා සනීප වෙනතෙක් බෙහෙත් කරනවා.’’ රජයේ නිලධාරීන්ගෙන් වැඩ ගන්න මාර දක්‍ෂයි. හැබැයි බොරු කළොත් මූණට දෙසාබානවා. පන්සලට යන පාර බාගෙට හැදුවේ රජයේ කාර්යාලයකින්. රජයේ මුදලින් ඒ මහත්තයා පන්සලට ආ වෙලාවේ උන්වහන්සේ මූණටම කිවුවා මහත්තයා මේ වැඬේ ඉවර කරලා මිසක් ආය පන්සලට එන්න එපා කියලා. උන්වහන්සේ කියන්නේ කාගෙන් වුණත් කමක් නෑ ගමට වැඩ ගන්න කියලා. අර පේන බෝධි ප‍්‍රාකාරය හදන්න සල්ලි තිබුණෙ නැහැ. උන්වහන්සේට කවුදෝ පුජා කරපු වීඩියෝ කැමරාවක්, කම්පියුටර් එකක් ටීවී එකක් තිබුණා. ඒවා විකුණලා ඒ සල්ලි වලින් ප‍්‍රාකාරය හැදුවා.

‘‘ගම් වැසියන් දවස් 5කට බෙදලා පන්සලේ සහ ගමේ ශ‍්‍රමදාන වලට කැඳවනවා. ඒ සියල්ල කරන්නේ ශබ්දවාහිනියෙන්. මහ ශ‍්‍රමදාන දවසට ලෙඞ්ඩු හා කුඩා දරුවන් හැර හැම ගෙදරකින්ම එන්න ඕන. ඒක අනිවාර්යයි. නැත්නම් රුපියල් 500ක් දඩ ගහනවා. ඒ මුදල් ගමේ වැඩක් පලක් කරන්න බැරි අසරණ අයට ලබා දෙනවා.

ගමට බෙර කණ්ඩායමක් හදලා පොසොන් පෙරහැර කරනවා. දහම් පාසලේ ගොඩනැගිල්ල කඩා වැටෙන්න ඔන්න මෙන්න. ඒ ශාලාව අලූතින් ඉදිකරන්න ගල් සපයා ගන්න හාමුදුරුවෝ පන්සලේ තිබුණු ගලක් කඩන්න පටන් ගත්තා. හාමුදුරුවෝ කුළුගෙඩිය ඔසවලා ගල් කඩනකොට අපට ලොකු ධෛර්යයක් ආවා. අපි ශ‍්‍රමදානයෙන් ගල් කැඩුවා. දැන් එම ගොඩනැගිල්ල හදලා ඉවරයි’’

‘‘ලක්ෂ 40ක් පමණ වියදම් කළ මේ ගොඩනැගිල්ලට මුදල් උපයා ගන්නත් හාමුදුරුවෝ හුඟාක් මහන්සි වුණා. බුදුගෙයක් ධර්මශාලාවක් ඇතුළු අංගයන්ද එහි තිබෙනවා’’

අපේ කතා බහට විරාමයක් තැබූ මම ආවාසයට ගියෙමි. උන් වහන්සේ යළිත් මයික‍්‍රෆෝනය ඉදිරියේ ‘‘පින්වතුනි සවන් දෙන්න. දැන් මහ ශ‍්‍රමදානය පටන් ගන්න වේලාව කිට්ටුයි. හැම ගෙදරකින්ම පන්සලට එන්න. නැත්නම් රුපියල් 500ක දඩයක්. ගතවූයේ විනාඩි කීපයකි. ගම් වැසි ලොකු පොඩි බාල මහළු හැම දෙනාම පන්සලට ඇදෙන්න වූහ. බෝ මළුව සකස් කිරීමේ ශ‍්‍රමදානය මුල් පස් පිඩැල්ල කැපුවේ හාමුදුරුවන්ය. ඉන්පසු ගම් වැසියන්ගේ දෑත් උදලූ අලවංගු පස් තලන උපකරණ විල් බැරෝ අතරැුඳි යුහුසුළුව ක‍්‍රියාත්මක වෙන අයුරු ඇස් පනාපිටම දැකගත හැකිවිය.

දේශපාලනඥයන් හමුවේ ටිබෙට් හාමුදුරුවන් කරන්නේ ආයාචනා නොව නියෝගයන්ය. ඒ අසරණ ගම්වැසියන්ගේ සුභ සාධනය සඳහාය.
දිනක ටිබෙට් හාමුදුරුවෝ ඌව පළාත් සභාවට ගොඩවැදුනේ වේගයෙනි. එවකට මහ ඇමැතිවරයා වූයේ දැන් වනජීවි ඇමතිවරයා වන ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාය.

මම එවකට ඔහුගේ මාධ්‍ය ලේකම් වරයා වීමි.

මහඇමති ගේ කාමරයට කඩා වැදුණු හාමුදුරුවෝ ‘‘මම අද ආවේ දෙකෙන් එකක් විසඳාගෙන යන්න. මේ මගේ මල්ලේ තියෙන්නේ බෝම්බයක්. ඔබතුමා අපේ ගමේ පාරේ වැඩ කරල දෙනවද, නැතිනම් පළාත් සභාවම පුපුරවන්නද?’’

හාමුදුරුවෝ නොකඩවා කියාගෙන යද්දී මහ ඇමතිතුමා කට පුරා බක බක ගා හිනාඋනේ සුපුරුදු ගැලවිජ්ජා පටිපාටිය පෙන්වමිනි.
‘‘බොරු නොවෙයි මහ ඇමතිතුමා’’ කියා මල්ලට අතදමා වයර් කෑලිවල කොනක් පෙන්නුවේය.


ආනන්ද තෙන්නකෝන්
මහ ඇමතිවරයා වහාම සීනුව නාද කළේය. ‘‘කෝ කෝ මේ නිලධාරීන්ට එන්න කියනවා’’ සැනින් නිලධාරීන් කීපදෙනෙක් ආවෝය ‘‘මේ හාමුදුරුවන්ගේ වැඬේට අද විසඳුමක් දෙන්න ඕනෑ’’ මහ ඇමති නියෝග කළේය.

හාමුරුවෝ එළියට ආවේ ඉන්පසුවය.

‘‘ඇයි හාමුදුරුවනේ බෝම්බ ගෙනාවේ’’ මම ඇසුවෙමි.

‘‘පිස්සුද මහත්තයා මම ගෙනාවේ මේ වයර කෑලි ටික විතරයි’’ කියමින් හාමුදුරුවෝ මල්ලෙන් වයර් කෑලි කීපයක් පෙන්වමින් හයියෙන් සිනා සුනහ.
‘‘මේ ගමේ පන්සල විතරයි. වෙනත් ආගමික ස්ථාන වලට මේ ගම්මාන වල ඉඩක් නැහැ. මේ ඔක්කොම බුදු හාමුදුරුවන්ගේ ගම්මාන’’ යැයි ටිබෙට් හාමුදුරුවෝ පැවසුවේ පියකරු සිනාවකින් මුව සරසාගනිමිනි.



සටහන සහ ඡායාරූප : බදුල්ලේ පාලිත ආරියවංශ

May 6, 2013

දඹුලු පුජා භුමියේ මුස්ලිම් ආක්‍රමණය


දඹුලු පුජා භුමියේ මුස්ලිම් ආක්‍රමණය 

දඹුල්ලේ පල්ලියේ පැටිකිරිය මෙහෙමයි
ඓතිහාසික රන්ගිරි දඹුලු විහාරස්ථානය ඇතුලත් ප්‍රදේශය පූජා භූමියක් ලෙසට සංවර්ධනය  කිරීමේ බලාපාරොත්තුව  දිගුකාලයක සිට පැවතෙන්නකි. මේ මගින් වන්දනා කරුවන්ට  මෙන්ම භික්ෂූන් වහණ්සේලා උදෙසා ද අගනා කේනද්‍රස්ථානයක් බිහිවෙයි. සම්බුද්ධත්ව ජයන්තිය නොහොත් බුද්ධත්වයට පත් වීමෙන් වසර දෙදහස් හයසීයක් ගත වන මොහොතක මෙම කර්තව්‍යය රජයේ පුමඛතම යුතුකමක් බවට පත් විය යුතුව ඇත.

ඓතිහාසික මාතලේ නිදහස් සටනට නායකත්වය දුන් රන්ගිරි දඹුල්ල ඉතිහාසයේ මහා පීඩනයන්ට ගොදුරු වූ පුණය භූමියකි. ඉංග්‍රීසීන් විහාරස්ථානයේ ඉඩ කඩම් රාජසන්තක කොට රජයේ කැලෑ බවට පත් කළහ. මෑතකදී සංවර්ධනය කළ අන්‍යාගමික දේවස්ථානයක් නිසා මේ පුණ්‍ය භුමිය මෙන්ම එම විහාරස්ථානයේ කැපකරු දායක පිරිස ද මහත් කැලඹීමට පත්විය. පූජා භුමිය වෙන් කිරීමේ දී සළකුණු කරන ලද ඉඩම් වලින් කොටසක් යළිත් නගර සංවර්ධනය සඳහා පවරා ගැනීමක් සිදු වී තිබේ. එයට හේතුව දඹුල්ල ලංකාවේ වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් වීමයි. රාජකාරියට යටත් ඉඩ කඩම් සහිත මේ භූමිය එලෙස රජයට පැවරීමේ දී එයට හිලවු වශයෙන් ඉඩ කඩම් ප්‍රදානයක් ද සිදු වී නොමැත. පෙර රජ වරුන්ගේ නම් සිරිත එයයි. ශ්‍රී ජයවර්ධන පුර සරසවියට ඉඩ කඩම් ලබා ගැනීමේ දී පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙනට අයත් ඉඩම් ද ලබා ගන්නට සිදු විය .එයට හිලව්වට වෙනත් ස්ථානයකින් ඉඩම් ප්‍රදානය කෙරුණි. නමුත් මෙහිදී සිදු  වූයේ අනෙකකි.  පවරා ගන්නට යෙදුණු ඉඩම් නොයෙකුත් දේශපාලන හිතවත්කම් වලට දේශපාලන පන්දම් කාරයින්ට බෙදා දෙන්නට කටයුතු කෙරිණි. මේ මහා කැලඹීම ඇති වීමේ මූලික හේතුව එයයි.

වත්මන් දඹුල්ල නගරය මෙලෙස දියුණට පත් වූයේ අසූව දශකයේ දී එහි පැවැත්වූණූ ගම් උදා ව්‍යපාරය නිසාවෙනි. විහාරස්ථනය අවට කඩ අටක් තානායමක් පොලිස් ස්ථානයක් වැනි ස්ථීර ගොඩනැගිලි කීපයක් පිහිටා තිබූ බව 1961 මිනුම්දෝරු සිතියම දක්වයි. ඉන්පසු ක්‍රමයෙන්  දඹුල්ල නගරය කුරුණෑගල හන්දියට සංක්‍රමණය විය. මහවැලි ව්‍යාපාරයේ ප්‍රතිලාභ නිසා ගොවීන් ඉතා ඉක්මනින් දියුණට පත් විය. මිරස් රට ලූණූ මෙන්ම එළවුළුද ඔවුන්ට වාසනාව ගෙනා පාරිභෝගික භාණ්ඩයන් විය. නමුත් ඒ සමගම මේ ප්‍රදේශයේ පාරම්පරික ගොවීන්ට අවාසනාවද නොඅඩුව ලැබුණි. මේ ප්‍රදේශයේ තිබූ කුඩා වැව් රාශියක් උලුප්පා ඩෝසර කරන ලද අතර පාරම්පරික ගම් බිම් අහිමි වූ සිංහලයින්ට නැවතත් ඉඩම් කට්ටි මැන වෙන්කර දෙන ලදහ.අන්‍ය ජන වර්ග මේ ප්‍රදේශයේ නොසිටි නමුත් ඔවුන්ට ද මේ භූමිය තුල ඉඩම් වෙන් කර දෙන ලද්දේ ජන වර්ග අනුපාතයට අනුවයි. මඩාටුගම කැකිරාවට ආසන්නයේ තිබෙන ගම්මානයකි. එහි මහ වැව ගබඩා වැවක් ලෙස ඉතිරි කර තබන ලදහ. එසේම එහි ගම්මානයේ ඉඩම් මුස්ලිම් ජන කොටසටද බෙදා දෙන ලදහ. කවදත් සහන ශීලී පිරිසක් වූ සිංහලයින් තමන්ගේ පාරම් පරික ඉඩම් මේ අන්‍ය ජාතිකයින් සමග බෙදා හදා ගන්නට කිසිම අකමැත්තක් නොදැක්වූහ.

ඓතිහාසික රන්ගිරි දඹුලු විහාරස්ථානයට ඉඩ කඩම් පූජා කරන ලද්දේ වලගම්බා රජු දවස සිටය.බුදු පිළිම වහණ්සේ ගේ හිසට නිකටට මෙන්ම වැලමිටටද මෙසේ ඉඩ කඩම් ප්‍රදානය කර දී ඇත. නිකවටවන යනු නිකටට පූජා කරන ලද ගමකි. වැලමිටියාව යනු වැලමිටට පූජා කර න ලද ගමකි. බඩ ගමුව හා පාදෙණිය ද එලෙසම ප්‍රසිද්ධය. මෙලෙස නිකටට පූජා කරන ලද නිකවටවන කලක් සිංහල බෞදධයින් ගේ පරවේණියක් විය. එහි මුල් නම නිකපටුනයි. මුගලන් රජු කළ ඔහුගේ සෙනපතියන්ගේ නින්දගමක් විය. මේ ඓතිහාසික පුරාණ  ගම්මානයන් එකල වෙළෙදාමෙන් සම්බන්ධකර න ලද්දේ නැගෙනහිර මුස්ලිම් වෙළෙන්දන් විසිනි. සෙනරත් රජු ගේ රාජ්‍ය කාලයේ දී පරංගීන්ගෙන් ගැහැට ලත් මේ වානිජයින් රජු ගේ අනුග්‍රහය මත කන්ද උඩරටට ඇතුලු වී සිංහලයින්ට රෙදිපිළි ලුණු ආදී ය වෙළෙදාම් කළහ. එක් මුස්ලිම් තවලමක් මේ නිකවටවන ගමේ නවාතැන් ගැනීමේ සිරිතක් විය. පෙර කී සෙන්පතියන්ගේ පරපුරකින් පැවත එන ගම්ප්‍රදානියෙකු ජීවත් වූ මේ ගම්මානයේ ඔහුගේ කරුණාව ලැබ යටකී වෙළෙන්දා ඔහුගේ නිවස අසලම සියඹලා ගසයට සිය තවලම ලිහා දමා විවේක ගැනීමේ පුරුද්දක් විය. කාලයාගේ ඇවෑමෙන්  ගම් ප්‍රධානියා හදිසියේ මරු වසඟයට පත් විය. දරුවන් නෙමැති ඔහුට සිටියේ සිය ආදරණීය බිරින්දෑ පමණි.  ගම්පති ගේ මරණයෙන් පසුව ඔහුගේ නිවසට පැමිණි මුස්ලිම් වෙළෙන්දා  ගම්පති නිවස උකසට සින්න වී ඇති බව කියා පෑවේය. මේ කිසිවක් නොදත් අසරණ භාවයට පත් ගම්පති වැන්දඹුව මේ ඉඩම වෙළෙන්දාට සින්න වන්නට ඉඩදී පිටමං විය. අවසානයේ දී මුස්ලිම් වෙළෙන්දා කපටි කමින් මේ ගැහැනිය ද රවටා ගෙන තම භාර්යාව බවට පත් කර ගත්තේය. එම පුරාණ ඉඩම අදත් හඳුන්වන්නේ කේනිවත්ත(ගෑනි වත්ත) යනුවෙනි.වර්තමානය වන විට මෙහි සිංහල ගමක් නැත. ඇත්තේ මුස්ලිම් ගම්මානයකි. එහි සිටි සිංහල පිරිස් එම ගමෙන් පිටව ගොස් ලේනව අසල පදිංචි විය. විහාර රාජකාරියද නැවතුණි. 1966 සැප්තැම්බර් මස 16 දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය අනුව ලේනව  කුඹුක්කඳන්වල  පාරම්පරික ඉඩම් ද ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පණත යටතේ රාජ සන්තක කර ඇති බව මෙහි සඳහන් කළ යුතුය. පාරම්පරික සිංහල ජනතාව කාලයක් තිස්සේම මෙලෙස මහත් සේ පීඩාවට පත් වෙමින් සිටී.

රන්ගිරි දඹුල්ල විහාරස්ථානය අවට තිබෙන සියලුම ඉඩම් පමණක් නොව හේවිසි හඬක් ඇසෙන මානයේ තිබෙන සිලුම ඉඩම් පූජාකරන ලද්දේ විය. වාර්ෂිකව මේ රාජකාරි ඉඩම් වල ඉන්නවුන් ඉටුකළ යුත් රාජකාරි විය.තල මල් පිපෙන කාලයට තල මල් පූජා කිරීමද තල අස්වැන්නෙන් විශාල තල බෝල සාදා පූජා කිරීම ද විය. විසිවන සියවසේ මැද භාගයේ කොළඹ වන්දනා කරුවන් නිරන්තරයෙන් දඹුල්ලට ඇදෙන්නට වන්හ. ඔවුන් වෙනුවෙන් දඹුල්ලේ විහාරය ආසන්නයේ කඩපිල් ඉඳි විය. විහාරස්ථානයේ නායක හිමියන් ගේ අවසරය පරිදි සිංහල දෙමළ පමණක් නොව මුස්ලිම් වරුද මෙහි වෙළෙදාම් කලේ පැරණි සම්බන්ධකම් මතය. මඩකලපුවේ සිට පැමිණි උහුමදුන් ලෙබ්බේ නම් පුද්ගලයෙකු මෙලෙස විහාර හන්දියේ සිල්ලර කඩයක හිමිකාරයෙකු විය. නායක හාමුදුරුවන්ට පින්සෙන්ඩු වී මේ කඩය ලබා ගත් අතර හැටේ දශකයේ මේ කඩය ජයටම තිබූ බව පැරණියන්ට මතකය. නමුත් කලක දී ඔහු ගේ මරණයෙන් පසුව මේ කඩය අභාවයට ගියේය. ඥාතීන් ආපසු මඩලපුවටම ගියහ. නමුත් හැත්තෑව දශකයෙන් පසුව නැවතත් අකුරණින් පැමිණි මුසලිම් වරු මේ ස්ථානය නැවතත් අල්ලා ගෙන වෙළෙදාම් කර ගෙන ගියහ. ඔවුන්ගේ ආගමික වතාවත් සඳහා ද මේ ස්ථානයේ කුඩා යාඥා මඩුවක් පැවති බව පැරණියන් පවසති.

අසූව දශකයේ ගම් උදාව පැවැත්වූ පසු දඹුල්ල දියුණුවිය. මහවැලි පෙදෙස් වලින් ලැබෙන අස්වැන්න මෙන්ම නෙයෙකුත් වෙළෙඳ බඩු සඳහා දඹුල්ල විවෘත විය. ඒ නිසා කුරුණෑගල හන්දියට නගරය විතැන් විය. මෙහිදී පූජාභූමි සංවරධන සැලැස්මක් ද ක්‍රියාත්මක වූ අතර විහාර ආසන්නයේ තිබූ සිංහල වෙළෙඳ ස්ථාන සියල්ල ඉවත් කරන ලදී. නමුත් අකුරණ මුස්ලිම් වරුන් ගේ කඩ ඉවත් නොකරන ලදී.  ගලේ වෙල පුවක් පිටිය ආදී පෙදෙස් වල් සිටි මුස්ලිම් වරුන්ට සිංහල අයට වඩා සලකන ලදහ. ආර්ථික මධ්‍යස්ථානයේ ද කඩ ඔවුන් වෙත බහුලව ප්‍රදානය කෙරුණි.

සියවස් තුනක පමණ සිට මෙලෙස දඹුල්ලේ සිංහල බෞදධයින් ගේ අයිතිවාසිම් ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වන ආකාරය මේ සිදු වීම් මාලාවෙන් තේරුම් ගත හැකිය. අන්‍ය ජාතීන් ගේ ආගමික නිදහස වෙනුවෙන් තමන්ගේ උරුමය නැති කර ගත් පිරිසක් බවට අද සිංහල බෞද්ධයින් පත්ව ඇත. දඹුල්ලේ පමණක් නොව පොතුවිල් මූදූ මහා විහාරය කූරගල අනුරාධපුර මහ මෙවුනා උයන ආදී සෑම ස්ථානයකින් ම වාර්තා වන්නේ මේ තත්වයයි. නමුත් මෙහිදී වුවත් සිංහලයින්ගේ සහනශීළීත්වය ඉස්මතු වෙයි. ඉවත් කරන යාඥාමඩුව සාදා දෙන්නට මුදල් පවා දෙන්නට කරුණාව පහළ වෙන තරමට අපගේ නායක ස්වාමීන්වහණ්සේලා පරිත්‍යාගශීළී වෙති. එහෙත් මේ සම්බුද්ධ ජයන්ති වර්ෂයේ රජයේ පාර්ශවයෙන් ඉටු කර ගත යුතු බෙහෝ දේවල් ගැන උන්වහණ්සේලාට කල්පනාවක් නැත. උතුර සහ නැගෙනහිර බොහෝ සිද්ධස්ථාන තිබුණත් ඒවා තවමත් අනාරක්ෂිතය. පුරා වස්තු නිධන් වස්තු මංකොල්ල කෑමේ නිරත වන්නන් සිංහල බෞද්ධ උරුමයන් ද හිතාමතාම වනසති.
මේ තත්වය සැලකිල්ලට ගෙන රජය උනන්දු කර ප්‍රශ්ණ සමහන් කර ගැනීම සඳහා මැදිහත් වන සිංහල දේශපාලනඥයින් ඉතා විරලය. සිංහල බෞද්ධයින් ගේ චන්ද වලින් බලයට පත්ව ඔවුන්ටම අකෘතඥ වන මේ පිරිස රටට ශාපයක් වී අහවරය. සිංහල දෙමළ මුස්ලිම් කිතුණූ සමගිය යනු ජාතියක් වශයෙන් නිවරදිව එකතු වීමයි. එහිදී ප්‍රධාන සංරචකය විය යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියයි. එයට හානි නොවන පරිදි ජීවත් වීමට අන්‍ය ජාතිකයින් පෙළ ගැස්විය යුතුය. සිංහල පාර්ශවයෙන් කරුණාව ලැබ පවත්වා ගෙන ගිය දඹුල්ලේ යාඥාමඩුව ගැනද තත්වය එසේමය. එසේ නොවුණහොත් සිංහල බෞද්ධයින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියට එන පිරිස කිසිවෙකුටත් වළක්වාලිය නොහැකිවන බවද සැලකිය යුතුය.

- මතුගම සෙනෙවිරුවන් / seneviruwan.blogspot.com

May 5, 2013

සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේ


මෙරට ඉංගී‍්‍රසි පාලන අවධියේදී ථූපාරාමයට බටහිරින් පිහිටි නටබුන් ස්මාරකය මිහිඳු සොහොන ලෙසත් නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපය  සංඝමිත්තා සොහොන ලෙසත් පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි එච්.සී.පී. බෙල් මෙන්ම ජේ.ජී. ස්මිතර් ද දක්වා ඇත. පසුගිය වසරේ නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපයටත් නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපය සංරක්‍ෂණය කළ අනුරාධපුර පුරාවිද්‍යා අංශය එයට සංඝමිත්තා සොහොන යනුවෙන් නාම පුවරුවක් සවිකොට තිබුණි. එම ස්තූපය අනුලා මෙහෙණියගේ සොහොන ලෙස ද ජන ව්‍යවහාරයේ පැවති අයුරු වලිසිංහ හරිස්චන්ද්‍ර ද සඳහන් කර ඇත. ඉංගී‍්‍රසි අවධිය වනවිට මතුකරගෙන තිබූ ප‍්‍රථම  ස්තූපය සංඝමිත්තා සොහොන නොවන බව හා එය පදලස චේතියක් බව සනාථ කරමින් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා  යුනිවර්සිටි ඔෆ් සිලෝන් රිවිච් සඟරාවට අගනා ලිපියක් සපයා තිබුණි.


පදලස චේතිය යනු අති පුරාණයේ සතර බුදුවරයන් වරින්  වර ථූපාරාම භූමියට  වැඩම කොට දම් දෙසා පෙරළා දඹදිව වැඞීම සඳහා සිරි පදලස තබා බර කොට අහසට නැගි ස්ථානය යැයි මෙරට අනුරාධපුර සමයේ බෞද්ධයන්ගේ විශ්වාසයක් පැවතුන බවද දීපවංසය, මහාවංසය, වංසත්ථප්පකාසිනිය ආදී  ග‍්‍රන්ථයන්හි සඳහන්ය. එම ස්ථාන පූජනීය තැන් ලෙස සලකා පසුකාලයක ථූපාරාමයෙන් නැගෙනහිරට පිළිවෙළින් ස්තූප සතරක් ඉදිකොට තිබී ඇත. අනුරාධපුර අවසන් කාලයේ එනම් 4 වැනි උදය රජු සමයේ (946-954) පරන්තක නම් වූ සොළී පාලකයා විසින් අනුරාධපුරය ආක‍්‍රමණය කරන ලද්දේ පාණ්ඩ්‍ය පාලකයා විසින් 3 වැනි දප්පුල රජු වෙත ආරක්ෂාව සඳහා තබාගිය පාණ්ඩ්‍ය රාජ කකුධ භාණ්ඩ ලබාගැනීම පිණිසය. එහෙත් රජතුමා රුහුණට පලා ගියෙන් සිය අරමුණ සපුරාගත නොහැකි වූ සොලී ආක‍්‍රමණිකයන් විසින් ගිනි තබා විනාශ කරන ලද ස්ථාන අතර පදලසෙහි වූ පූජනීය ගොඩනැගිලි ද විය. ඉන් පසු රාජ්‍යයට පත් 4 වැනි මිහිඳු රජු විසින් ඒවා පිළිසකර කරන ලද බව මහාවංසයේ සඳහන්ය.

ක්ධයාපිතඃ චොළ රාජස්ස් බලෙන පදලාංඡනෙ
චතුන්නං චෙතියානං සො රමනීයං ඝරං අකා
සතර බුදුවරයින් සඳහා ඉදිකළ ස්තූප සතර නගරයෙන් දකුණු දෙස වූ බව දීපවංසයේද සඳහන්ය. ථූපාරාම භූමිය පැරණි නගරයට දකුණින් පිහිටා ඇත.

විසාලෙ පාචිනාරාමො-ථුපාරාමො ’නුරාධකෙ
දක්ඛිණෙ චතුරොථූපා  චතුබුද්ධාන සාසනෙ
සත්‍ය වශයෙන්ම ථූපාරාමයට නැගෙනහිරින් ඇති කුඩා ස්තූප සම්බන්ධව පුරාණයේ පැවැති පූජනීය ගොඩනැගිලිවල නටබුන් වශයෙන් ගල්කණු, පියගැටපෙළ, කොරවක්ගල්, මුරගල් හා සඳකඩපහණ අදත් දැකිය හැකිය. අනුරාධපුර යුගයේ අවසානය වනවිට පමණක් නොව පොළොන්නරු යුගයේදීද මෙම පදලස චෛත්‍ය සතර පැවති බව මහා බෝධිවංසය සඳහා පොළොන්නරු යුගයේදී රචිත මහාබෝධිවංශ ග‍්‍රන්ථපදයේ ථූපාරාමයට නැගෙනහිරින් සතර බුදුවරයන් සඳහා ඉදිකළ  පදලස චේතිය සතරක් තිබූ බව සඳහන් වීමෙන් තහවුරු වේ.

අර්හත් මිහිඳු හිමියන් අනුරාධපුරයට වැඩම කොට එහි ඒ ඒ ස්ථානවලට යමින් ඒ ඒ ස්ථානයේ ආගමික වැදගත්කම ගැන කරන ලද විස්තරය සඳහන් කරන බෝධිවංශ ගැටපද කතුවරයා මිහිඳු හිමියන් විසින් පෙන්වන ලද එම ස්ථාන පොළොන්නරු යුගයේදී කුමන නමකින් යුක්ත ස්ථාන දැයි හඳුන්වා දී ඇත. 10 වැනි සියවසේ රචිත පාලි මහාබෝධිවංශයේ මහාවිහාර පරිග්ගහණ කථා යටතේ කකුසඳ, කෝණාගම, කාෂ්‍යප හා ගෞතම යන බුදුවරුන් ථූපාරාමස්ථානයට වැඩම කොට නිමේශයක් සමාධිගතව සිට නැවතත් අහසට නැගි ස්ථාන මිහිඳු හිමියන් විසින් පෙන්වා දෙනු ලබන්නේ අනාගතයේ ථූපාරාමය ඉදිවූ ස්ථානයේ සිටය. ඒ අනුව කකුසඳ බුදුන් අහසට නැගි තැන  ”හේ දැන් සතර බුදුන් පදලස පැදුම් දෙසෙන් මහ සෑ තැන්....” යනුවෙන්ද කෝණාගම බුදුන් වැඩ සිටි තැන ”හේ දැන් පදලස පැදුම් දෙසෙන් දෙවැනි මහ සෑ තැන්” යනුවෙන් ද කාෂ්‍යප බුදුන් වැඩ සිටි තැන ”හේ දැන් පදලස පැදුම් දෙසෙන් තුන්වැනි මහ සෑ තැන් යනුවෙන්ද අවසානයට ගෞතම බුදුන් අහසට නැගි තැන ”සිලාචේතියට්ඨානෙ සල තැන්හිදු, හේ පදලස සතරවැනි කුඩා දාගැබයි” යනුවෙන් සඳහන්ය. කාෂ්‍යප බුදුන් වහන්සේ එසේ අහසට නැංග තැන වූ සෝමනස්සමාකයෙහි පසු කල දෙවැනි පෑ තිස් රජුගේ මලණු උත්තිය රජු විසින් සෑයක් කරන ලද බව වංසත්ථප්පකාසිනියේ සඳහන්ය.  කෝණාගම බුදුන් වහන්සේ එසේ අහසට නැංග ස්ථානය වූ සිරිස මාලකයේ පසු කල ථූලත්ථන රජු සෑයක් කළ බවද ටීකාව සඳහන් කරයි. මහාවංශයේ හා එහි ටීකාවේද ගෞතම බුදුන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනයේදී අනුරාධපුරයට වැඩම කොට ථූපාරාමය පිහිටන ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිට සිලාචේතිය පිහිටන ස්ථානයේ වැඩවෙසෙමින් දෙවියන්ට අනුශාසනා කළ බව මහාවංසයේ හා ටීකාවේ සඳහන්ය.
සද්ධර්ම රත්නාකරයේ බුදුන් වහන්සේ අනුරාධපුරයට වැඩම කළ පුවත සඳහන්ය. කි‍්‍ර.ව. 1474 දී උපසම්පදාව ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේට පැමිණි  බුරුම (පේගු) දුත පිරිස පෙරළා සියරට යාමෙන් පසු එරට පිහිටුවූ කල්‍යාණි ශිලාලිපියේ ඔවුන් සිරිලක රැුඳී සිටි කාලයේදී අනුරාධපුරයට ගොස් පුරාණ සිද්ධස්ථාන වැඳපුදාගත් බවත් ඒවා අතර එකක් වශයෙන් ශිලාථූපයක් සඳහන් කර ඇත. ථෙරා රතනචෙතියඤ්ච මරිච්චවට්ටි චේතියඤ්ච ථූපාරාමචෙතියඤ්ච අභයගිරි චෙතියඤ්ව සිලාචෙතියඤ්ච ජෙතවනචෙතියඤ්්ව වන්දිත්වා දක්ඛිණසාඛං මහාබෝධිරුක්ඛඤ්ඡු වන්දිත්වා ලොහපාසාදඤ්ව පස්සිත්වා සද්්ධාතිස්ස රජගේ වැඩිමල් පුත් ලඤ්ජිතිස්ස (කි‍්‍ර.පු. 119-109) විසින්  ථූපාරාමයට නැගෙනහිරින්  ශිලාථූපය කරවූ බව මහාවංසයේ සඳහන්ය.

ථූපාරාමස්සපුරතො - සීලාථුපකමෙව ච
ලජ්ජිකාසන සාලංච - භික්ඛුසංඝස්ස කාරයී
මේ අනුව ලඤ්ජිතිස්ස රජු විසින් පදලසෙහි අවසාන ස්තූපය වූ සිලාථූපය ඉදිකරන ලද බව වාර්තා වන හෙයින් දුටුගැමුණු  රජුගේ බෞද්ධ ප‍්‍රබෝධය යටතේ ලඤ්ජිතිස්සට පෙර ඉතිරි පදලස චේතිය ඉදිකර තිබෙන්නට ඇතැයි සැලකිය හැකිය.
ථූපාරාමයට නැගෙනහිරින් දැනට නටබුන්ව ඇති ස්තූප  දෙක හැර වෙනත් කිසිදු ස්තූපයක නටබුන් මතු-පිට  පොළවේ දක්නට නැත. මේ සම්බන්ධව අදහස් දක්වන මහාචාර්ය පරණවිතාන නූතන  අටමස්ථානයේ ආදාහන මළුව ඒ ආසන්නයේ පිහිටීම නිසා ඒවා විනාශ වන්නට ඇති බව ඉහත කී ලිපියේ දක්වා තිබේ. වර්තමානයේ  ථූපාරාම දාගැබ් භූමියට උතුරින්  ආදාහන මළුව හා විහාර භූමිය වෙන් වන පරිදි මහාමාර්ගය ඉදිකොට ඇතත් ඉංගී‍්‍රසි පාලන සමයේ මෙම ස්තූප පිහිටි බිම ද ආදාහන මළුව ප‍්‍රදේශයට ඇතුළත් වන පරිදි ස්තූපවලට දකුණු දෙසින් ථූපරාම නැගෙනහිර දොරටුව දෙසට ආසන්නව මහාමාර්ගය පිහිටා තිබී ඇති බව පැරණි සිතියම්වලින් මෙන්ම නටබුන් වූ  පාරේ අවශේෂ අනුව පැහැදිලි වේ. තවද 20 වැනි සියවසේ මුල් කාර්තුවේදී මහාමාර්ග සෑදීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් බෙල් බෞද්ධ ස්මාරකවල ගල් යොදාගැනීමට ඉඩදීමට විරුද්ධව වලිසිංහ හරිස්චන්ද්‍ර පැමිණිලි කර තිබීමද සැලකිල්ලට ගත යුතුය.
20 වැනි සියවසේ මුල සිට පූජා නගරය අවට ජනාවාස ඇතිවීමේදී නිවාස සාදා ගැනීම සඳහා ස්මාරකවල ගල් ගඩොල් ගලවාගෙන ඇති බවට සාක්‍ෂය බොහොමයක් ඇත.  උදාහරණයක් වශයෙන් 1894 වර්තාවල අභයගිරි විහාර භූමියේ උතුරු සීමාවේ පැරණි ස්තූපයක මීටරයක් පමණ උසට අවශේෂ ඉතිරි වී තිබීම වාර්තා වී ඇතත් 1994 දී අප විසින් එය පිරික්සීමේදී දක්නට ලැබුණේ පොළාව යටට ඇති අත්තිවාරම් හා යූප ගල් කොටසක් පමණකි. ඊට ආසන්නවම පදිංචිකරුවන් විසින් නිවාස ඉදිකරනු ලැබ ඇත. පදලස චෛත්‍ය පිහිටි භූමිය තවමත් උත්සව කාලවලදී වාහන නැවැත්වීමද අනවසර වෙළෙඳසල් ඉදිවීමද කෙරෙන හෙයින් එම කරුණුද මෙම විනාශයට හේතු වන්නට ඇත. එහෙත් මෙම භූමියේ කැනීම් කළහොත් මෙම ස්තූපවල අත්තිවාරම් සලකුණුවත් සොයා ගැනීමට හැකිවනු ඇත.
අභයගිරි ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග