Jul 24, 2013

ඩ‍්‍රැකියුලා සහ ලේ පිපාසිත වැම්පයර්වරුන්ගේ අබිරහස, මිථ්‍යා කතාවල ඇත්ත නැත්ත


අපේ ලෝකය හරිම පුදුමාකාර තැනක්. ජීවයෙන් පිරුණු සුන්දර තැනක් මෙන්ම හරිම අපූරු අද්භූත දේවල්වලිනුත් පිරිලයි, තියෙන්නේ. අමුතු අද්භූත දේවල් අහන්න දකින්න අකමැති කවුරුද? අපේ මිහිතලයේ ඇති සමහර අබිරහස් විසඳීමට විද්‍යාවට හැකිවී නැහැ. ඒවා විද්‍යාත්මක න්‍යායන්ට හසුවන්නේ නැහැ. සමහර දේ ගැන විද්‍යාත්මකව විග‍්‍රහ කරන්නට තැත් කළත් ඒවා ද එතරම් සාර්ථකවී නැහැ. දිනෙන් දින මෙම අබිරහස් ගැන තොරතුරු හෙළිදරව් වෙනවා. ඒවා ගැන කතා වෙනවා. ඒ අතරින් මිථ්‍යා කතා, මිථ්‍යා විශ්වාස මුල් තැනක් ගන්නවා.


ලේ උරා බොන්නෝ !

”මිනිසා රුධිරය ගැන උනන්දුවක් දැක්වූයේ අද ඊයේ නොවේ. වාර්තා ගත ඉතිහාසය ආරම්භයේ සිටයි.” මෙහෙම කියන්නේ ඇමෙරිකාවේ බොස්ටන් සරසවියේ මහාචාර්ය රේමන්ඞ් මැක්නැලි. ඔහු ලේ උරා බොන වැම්පයරයන් හා බැඳුණු ජනශ‍්‍රැති ගැන පුළුල් ලෙස අධ්‍යයනය කළ විද්වතෙක්. ”මිනිස් සිරුරේ රුධිරය පිටතට යද්දී ඒ සමඟ ජීවයත් නැතිවී යන හැටි නූගත් මිනිසුන් දැක්කා. ඒ නිසා ඔවුන් විශ්වාස කළා, සිරුරට යළිත් ලේ පිරවූවොත් ජීවය දෙන්න පුළුවනි කියලා” මැක්නැලි කියනවා. මේ හේතුව නිසාම වෙන්න ඇති බොහෝ රටවල සංස්කෘතීන් තුළ ලේ උරා බී අමරණීයව ජීවත්වන්නට හදන අය ගැන මිථ්‍යා කතා නිර්මාණය වී තියෙන්නේ. අපේ රටේ බලිතොවිල්වල දී අසන්නට ලැබෙන ‘රීරියකා’ත් එවැනි මිථ්‍යා චරිතයක්. ඇස්ටෙක් මිථ්‍යා කතාවල හමුවන ‘සිවටේටියෝ’, පුරාණ ගී‍්‍රක පුරාවෘත්තවලින් කියැවෙන ‘ලමීයා’ එවැනි අමනුෂ්‍ය වැම්පයරයන් දෙදෙනෙක්. චීනයේත් ලේ බොන අමනුෂ්‍ය සත්ත්වයෙක් ඉන්නවා. එයාව හඳුන්වන්නේ ‘ජියංග් ෂී’ කියලයි. පිලිපීනයේ පිටිසරබද ගැමියන් බියවද්දමින් ලේ උරා බොනවායැයි කියන සත්ත්වයා වැම්පයරයකුට හුඟක්ම සමානයි. ‘මනන්ගාල්’ ලෙස හැඳින්වෙන මේ සත්ත්වයා මිනිසුන්ගේ ලේ උරා බොනවා විතරක් නොවේ. ඌට පියාඹා යෑමට වවුලකුගේ මෙන් පියාපත් දෙකක් ද තිබෙනවා. ඒ විතරක් නොවේ, සුදු ලූනුවලට බියක් හා පිළිකුලක් දක්වනවා.

වැම්පයරයෝ
 
වැම්පයරයන් පිළිබඳ ජනශ‍්‍රැති බහුලව අසන්න ලැබෙන්නේ ස්ලේවික් රටවලින් හා නැගෙනහිර යුරෝපයෙනුයි. ස්ලේවික් හා රුමේනියානුවන් අමනුෂ්‍ය, මනුෂ්‍යයන්ගේ ලේ උරාබොමින් ජීවත් වන සත්ත්වයන් විවිධ ආකාරයෙන් නිරූපණය කර තිබෙනවා. ඒක හරියට ඇස්කිමෝවරුන් ‘හිම’ යන්න 30 ආකාරයකින් හඳුන්වනවා හා සමානයි. වර්තමානයේ අප හොඳින් දන්නා වැම්පයරයන් පිළිබඳ පුරාවෘත්ත නිර්මාණය වුණේ ඒ අනුවයි. ඒ මිථ්‍යා කථාවලට අනුව මේ වැම්පයරයන්ගේ රූප මූණ බලන කන්නාඩිවලින් දකින්න බැහැ. ඔවුන් සුදුලූනුවලට බියක් දක්වනවා. හිරු එළිය සහ කුරුසිය දැක්කාම මරණ බියෙන් පලා යනවා. දිගට වැඩුණු කෘන්තක දත් දෙක යොදා ගනිමින් තමයි, සිරුරු සිදුරු කර ලේ උරා බොන්නේ. ඒ මිථ්‍යා කතාවලට අනුව වැම්පයරයකු විනාශ කරන්න නම් ලී උලකින් හදවත සිදුරු කරන්න ඕනෑ. මිනිසාට ළං නොවන ආකාරයේ වැම්පයරයන් විශේෂයක් ගැනත් ස්ලේවික් ජනශ‍්‍රැතිවලින් නිරූපණය වෙනවා. ඒ මිථ්‍යාවනට අනුව ඔවුන්ට දුමක් හෝ දූවිලි වලාවක් බවට පෙරළෙන්න පුළුවන්. ආරාධනාවක් නොමැතිව කිසිම නිවසකට ඇතුළු වෙන්න ඔවුන්ට බැහැ. ඔවුන් ගංගා ඇළදොළ මඟ හරිනවා. ඔවුන්ව විනාශ කරන්න පුළුවන් වන්නේ බොරු උප්පරවැට්ටියකින් රැවටීමෙන් විතරමයි.

ලේ බොන වැම්පයර් වවුලෝ

ලේ උරා බොන වවුලන් යුරෝපයේ හිටියේ නැහැ. ඔවුන්ව මුලින්ම දකින්න ලැබුණේ මධ්‍යම හා දකුණු ඇමෙරිකාවට ගිය ස්පාඤ්ඤ නාවිකයන්ටයි. ඔවුන් තමයි, මේ වවුලන්ව ‘වැම්පයර් වවුලන්’ කියලා නම් කළේ. මේ වවුලන් ගොවිපළවල සතුන්ගේ ඒ කියන්නේ එළුවන්ගේ හා ගවයන්ගේ සිරුරුවල එල්ලී ලේ උරා බොනවා. ඒක හරියට කූඩැල්ලෙක් හරි මදුරුවෙක් හරි අපේ සිරුරුවල එල්ලී ලේ බොනවා වගේ. ලේ උරා බීවා කියලා ගොවිපළ සතුන් මැරෙන්නේ නැහැ. වැම්පයර් වවුලන් බොන්නේ උන්ට අවශ්‍ය ලේ ප‍්‍රමාණයට ලේ විතරයි.

බ‍්‍රෑම් ස්ටෝකර් සහ ඩ‍්‍රැකියුලා

ස්ලේවික් පුරාවෘත්තවලින් බි‍්‍රතාන්‍යයේ හා අමෙරිකාවේ පාඨකයන්ගේ සිරුරු කිළිපොළා යන්න පටන් ගත්තේ ‘ඩ‍්‍රැකියුලා’ නම් චරිතය සාහිත්‍ය ලොවේ පහළ වීමත් සමඟයි. ඩ‍්‍රැකියුලාට පණ දුන්නේ බි‍්‍රතාන්‍ය ලේඛක බ‍්‍රෑම් ස්ටෝකර් විසින්. ඒ 1897 වසරේදීයි. ස්ටෝකර්ගේ ඩ‍්‍රැකියුලා චරිතයට පාදක වුණේ තුන් වන ව්ලැඞ් ටෙප්ස් Vlad Tepes නම් රුමේනියානු කුමාරයායි. එයා ජීවත් වුණේ 15 වැනි සියවසේදීයි. ඒත් සත්‍යය හා ප‍්‍රබන්ධය කියන්නේ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක්. ව්ලැඞ් කුමාරයා අති දක්ෂ රණශූරයෙක්. සතුරන් නසන්නට සමතෙක්. ඔහුව ‘ව්ලැඞ් ඩ‍්‍රැකියුලේ’ යන නමින් ද හැඳින්වුණා. ඒ නමේ සරල තේරුම තමයි ‘ඩ්‍රේගන්වරුන්ගේ පුත‍්‍රයා’ යන්නයි.


ඩ්‍රේගන්වරුන්ගේ පුත‍්‍රයා 
ඩ්‍රේගන්වරු යනු කි‍්‍රස්තියානි නයිට්වරුන්ගේ නිකායක්. 15 වැනි සියවසේදී නැගෙනහිර යුරෝපයේ ඉස්ලාමීය පුනරුදයක් ඇති වෙනවාට එරෙහිව මේ ඩ්‍රේගන්වරු ඒ කාලේ නිතරම සටන් වැදුණා. රුමේනියානුවන් නිතරම සටන් වැදුණේ හංගේරියාව හා තුර්කිය එක්කයි. මේ සටන්වලට නායකත්වය දුන් එක් අයකු ලෙසයි, ව්ලැඞ් කුමාරයා සැලකෙන්නේ. මේ නිසා දේශපාලනික වශයෙන් විතරක් නොවේ, ආගමික වශයෙනුත් ව්ලැඞ් කුමාරයා පැසසුමට ලක් වුණා. එතුමා සැලකුම් ලැබුවේ, රුමේනියාවේ ජාතික වීරයකු හැටියටයි. ව්ලැඞ් කුමාරයා සතුරන්ට පොඞ්ඩක්වත් අනුකම්පාවක් දැක්වූයේ නැහැ. අල්ලා ගත් සතුරන් වධ හිංසා කර මරා දැම්මේ පපුව ලී උලකින් සිදුරු කරලයි. ඒ විතරක් නොවේ, ජය සැමරීම සඳහා සතුරන්ගේ ලේ පානය කරන්නත් ව්ලැඞ් කුමාරයා පුරුදු වෙලා හිටියා කියලා පුරාවෘත්තවල සඳහන් වෙනවා. මේ දේවල් තමයි, බ‍්‍රෑම් ස්ටෝකර් ඔහුගේ ‘ඩ‍්‍රැකියුලා’ නව කතාවේ ලේ උරා බොන ඩ‍්‍රැකියුලා සිටුවරයාගේ චරිතය නිර්මාණය කරන්න පාදක කරගෙන තිබෙන්නේ.

ලේ බොන්න පුරුදු වෙලා
අද රුමේනියාව් ඈත පිටිසරින් පවා වැම්පයරයන් ගැන අහන්න ලැබෙන්නේ නැහැ. ලේ උරා බොන්නන් ගැන ස්ටෝකර් ලොවට දායාද කළ ප‍්‍රබන්ධය රූපවාහිනී, චිත‍්‍රපටවලට හැරුණා විතරක් නොවේ, ඒවා ඇත්තෙන් එක්තරා පිරිසකගේ ජීවන රටාවක් බවටත් පත් වෙලා අවසන්. මේ පිරිස හැඳින්වෙන්නේ ‘සැන්ගුයිනේරියන්ස්’ Sanguinarians කියලයි. මේ පිරිස ලේ බොනවා. හැබැයි මිනිසුන්ගේ උගුර සිදුරු කරලා නම් නොවේ. ඔවුන් ලේ බොන්නේ ලේ බැංකුවලින් ලේ මිලදී ගැනීමෙනුයි. ඒක ඔවුන්ගේ ජීවන රටාවේ කොටසක්. සැන්ගුයිනේරියන්වරු ජීවත් වන්නේ යුරෝපාකරයේ රටවලයි.

ඩ‍්‍රැකියුලාට පණ දුන් බ‍්‍රෑම් ස්ටෝකර්
විශ්ව සාහිත්‍යයේ එන බිහිසුණුම නවකතාව ලෙස සැලකෙන්නේ බ‍්‍රෑම් ස්ටෝකර්ගේ ඩ‍්‍රැකියුලායි. මරණින් පසු මිනීවළෙන් නැගිට ඇවිත් ජීවත් වන්නන්ගේ ලේ උරා බොමින් සදාකල් ජීවත් වන වැම්පයර්වරු ගැන ලොව පවතින විශ්වාසයන් ඉතාමත් විචිත‍්‍ර අයුරින් නිර්මාණය කළ කතා පුවතක් ලෙස ඩ‍්‍රැකියුලා නවකතාව ලෝක සාහිත්‍යයේ ඉතා වැදගත් තැනක් හිමිකරගෙන තිබෙනවා. ඒබ‍්‍රහම් (බ‍්‍රෑම්) ස්ටෝකර්ගේ ඩ‍්‍රැකියුලා ප‍්‍රකාශයට පත්වෙලා දැන් අවුරුදු 100 කට වැඩියි. අයර්ලන්ත ජාතිකයෙක් වූ ස්ටෝකර් උපන්නේ 1847 වසරේදීයි. ඔහු ඩ‍්‍රැකියුලා නවකතාව පළ කළේ 1897 අවුරුද්දේයි. ඩ‍්‍රැකියුලා කතාවෙන් කියැවෙන්නේ ශතවර්ෂ ගණනාවකට කලින් ට‍්‍රාන්සිල්වේනියාවේ (ඒ කියන්නේ අද රුමේනියාවේ) කාපේතියානු කඳුකරයේ ජීවත් වී යුද වැදී මැරුණු වංශවතෙක් ගැනයි. ඔහුගේ නම වොයිවෝඞ් ඩ‍්‍රැකියුලා. එසේත් නැතිනම් ඩ‍්‍රැකියුලා සිටුවරයායි. වැම්පයර් ආත්මයක් ලබා සිටින ඔහු මිනිසුන්ගේ ලේ උරා බී ජීවත්වෙනවා. ඔහු ට‍්‍රාන්සිල්වේනියාවේ සිට එංගලන්තයට පැමිණෙන අයුරු ඩ‍්‍රැකියුලා නවකතාවට පාදක වෙයි. රුමේනියා බසින් ඩ‍්‍රැකියුලා යන්නෙහි තේරුම ‘යක්ෂයාගේ පුත‍්‍රයා’ යන්නයි. ඩ‍්‍රැකියුලා නවකතාව ජනප‍්‍රිය වීමත් සමඟ එය වේදිකා නාට්‍ය රැසකට මුල් වුණා. 1923 අවුරුද්දේදී ප‍්‍රථම වරට ජර්මනියේ නිහඬ චිත‍්‍රපටයකට ඩ‍්‍රැකියුලා කතාව පාදක කර ගැනුණා. ඉන්පසු ඩ‍්‍රැකියුලා නමින් චිත‍්‍රපට කිහිපයක් ද වැම්පයරයන් පාදක කර ගනිමින් චිත‍්‍රපට ගණනාවක් ද නිර්මාණය කෙරුණා. ස්ටෝකර් මියගියේ 1912 දීයි. අවසන් කාලයේදී ඔහු ‘ඩ‍්‍රැකියුලාස් ගෙස්ට්’ නමින් නවකතාවක් ලියමින් හිටියා. පසුව ඒ නවකතාව අවසන් කළේ ස්ටෝකර්ගේ බිරිය විසිනුයි.

මරණයෙන් නැගී සිටි ඇත්තන්ගේ අරුම පුදුම කතා

එකම ජීවිත කාලයක් තුළදී දෙවරක් මිය ගිය පුද්ගලයින් ගැන ඔබ අසා තිබෙනවාද? මොනයම් හේතුවක් නිසා හෝ මරණයට පත් වූ බොහෝ මිනිසුන් මරණයෙන් පසු නැවතත් එම සිරුරින්ම ජීවය ලබා උපදින්නේ නම් මැනවයි ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ට හැඟෙන වාර අනන්තය. මෑත ඉතිහාසයේ එබඳු අරුම පුදුම සිද්ධීන් කිහිපයක් , එනම් මිය ගියා යයි සලකා කටයුතු කළද මිනී පෙට්ටිය තුළ හෝ මෘත ශරීරාගාරයක් තුළ දී හෝ නැවත ජීවය ලැබූ  14-1පුද්ගලයන් පිළිබඳ සිද්ධීන් කිහිපයක් ලොව පුරා වාර්තා විය. පහත දැක්වෙන්නේ විවිධ පුවත් වාර්තාවලින්  උපුටා ගත් එබඳු සත්‍ය සිද්ධීන් කිහිපයකි.

බ්‍රසීල ජාතික දෙහැවිරිදි කෙල්වින් සැන්ටෝස් නිව්මෝනියාවට ගොදුරු වී උතුරු බ්‍රසීලයේ ඇඩර්ලාඩෝ සැන්ටෝස් රෝහ‍ලේ ප්‍රතිකාර ලබද්දී 2012 ජූනි 01 වන දින රෝගය උත්සන්න විය. දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරු ශ්වසන පද්ධතියේ අක්‍රිය වීම හේතු කොට ගෙන ඔහු මිය ගොස් ඇතැයි ප්‍රකාශ කළහ. ඒ වන විට වේලාව රාත්‍රී 7 පමණ විය. පසුදින දරුවාගේ දෙමාපියන්  අවමඟුල් උත්සවය සංවිධානය කළහ. අවමඟුල් උත්සවය පටන් ගැනීමට පැයක් තිබියදී  හදිසියේම අවදිව , විවෘතව තිබූ මිනී  පෙට්ටියේ වාඩි වූ කෙල්වින්  “තාත්තේ , මට වතුර ටිකක් බොන්න පුළුවන්දැ” යි පියාගෙන ඇසුවේය. අවමඟුල් උත්සවයට සහභාගි  වී සිටි පිරිස ඒ දැක බියෙන් ත්‍රස්ත විය. “අපි හිතුවෙ හාස්කමක්  සිද්ධ වෙලා  දරුවා නැවත ජීවය ලැබුවා කියා” යි දරුවාගේ පියා පැවැසුවේය. එහෙත් ආපසු හිටි ඉරියව්වෙන්ම පෙට්ටියෙහි වැතිර ගත්  දරුවා නිසල විය. ඔහු මෙවර සදහටම  මියගොස් සිටියේය. වෛද්‍ය ප්‍රතිකාරවලදී කුමන හෝ  අකටයුත්තක් සිදුවී ඇති බව අනුමාන කළ දරුවාගේ පියා නඩුමගට අවතීර්ණ විය.

තවත් එබඳු අරුම පුවතක් ගල්ෆ් කලාපයේ පුවත්පත් කිහිපයක පළ විය. 2012 ජුනි 04 වන දින පළ වූ එම පුවතින්  විස්තර කෙරුනේ යේමනයේ ධමාර් ප්‍රාන්තයේ 65 වියැති නම හෙළි කිරීමට අකමැති වූ පුද්ගලයෙකු මිය ගිය පුවතකි. හෘදයාබාධයක් වැළඳී සිහිසුන්ව සිටි ඔහු හුස්ම ගැනීම පවා නොකළ බැවින් මියගොස්  ඇතැයි සිතූ ඥාතීන්  මුස්ලිම් චාරිත්‍රානුකූලව, පැය 24 ක් යාමට මත්තෙන් අවසන් කටයුතු සිදුකිරීමට සූදානම් වූහ. මිනිය හොඳින් සෝදා සුදු ඇඳුමින් සරසා, ආගමික කටයුතුද නිම වූ පසු මිනිය වළ තුළට බහා එතුළට පස් දැමීම පටන් ගත් විගසම, සිහිලද මිය ගියා යැයි සැලකූ පුද්ගලයා “උඹලාට ඕනෑ කරන්නේ මාව පණ පිටින්
වළලා මරා දමන්නදැයි “ අසමින් කෑ ගෑවේය.
මළ මිනිය ඇඳුමින් සැරසී කෑ ගසන මිනිසා දුටු අවමඟුලට සහභාගි වූවෝ මුලදී භීතියට පත් වුවද පසුව ඔහුට අලුත් ඇඳුම් ඇඳ ගැනීමට සලස්වා අවමඟුල් උත්සවය පී්‍රති උත්සවයක් බවට පත්කර ගත්හ.
පසුගිය වසරේ අප්‍රියෙල් 03 වනදා උතුරු ආජන්ටිනාවේ පෙරැන්ඩෝ රෝහ‍ලේ  මවක් නොමේරූ දරුවකු ප්‍රසූත කළාය. මව නමින් ඈනාලියා බවුටර් විය. දරුවා බිහි වන විට දරු ගැබට  සති 61/2 ක් පමණක් පිරී තිබුණි. උපදින විට මේ ගැහැනු දරුවාගේ බර රා. 01 කුත් අවු. 07 ක් විය.  මුලදී වෛද්‍යවරු එය මළ දරු උපතක් යැයි සඳහන් කළද පසුව උපතින් සුළු වේලාවකට පසු දරුවා මිය ගියේ යැයි පවසා තිබුණි. කෙසේ වෙතත් ජීවත් කරවීමට අපහසු තරමේ කුඩා බිලිඳියගේ මරණය සම්බන්ධයෙන් මරණ සහතිකයක්ද නිකුත් කර මළ සිරුර සුපුරුදු පරිදි මෘත ශරීරාගාරය වෙත යැවිනි. අප්‍රියෙල් 03 අඟහරුවාදා උදේ 10.24ට උපන් බිලිඳියගේ සිරුර එදිනම උදේ 11.05 වන විට මෘත ශරීරාගාරයේ ශීතකරණයේ තැන්පත් කෙරිනි.
එදින රාත්‍රී මිය ගිය දියණියගේ ඡායාරූපයක් ගෙන අවසන් වරට ඇයගෙන් සමුගැනීමට සිතා, මෘත ශරීරාගාරයට ගොස් ශීතකරණය විවෘත කළ මා පිය යුවළට නින්දෙන් පිබිදුනාක් මෙන් ඇඹරෙමින් සිහින් කෙඳිරියක් නගන බිලිඳා දැක ගත හැකි විය. ඒ වන විට බිලිඳු සිරුර අධි ශීතකරණයේ තබා පැය 12ක් ඉක්ම ගොස් තිබිණි. වහා බිලිඳා ආපසු රෝහල් වාට්ටුවට ගෙන ගොස් ප්‍රතිකාර ඇරඹිනි. දරුවා ප්‍රසූත කරන අවස්ථාවේ සිට මරණ සහතිකය නිකුත් කරන අවස්ථාව දක්වා සහභාගි වූ වෛද්‍යවරු කිසිවෙකුත් මෙවැන්නක් සිදුවූයේ කෙසේද යන්න පැහැදිලි කිරීමට අ‍පොහොසත් වූහ.

2011 ජූලි 25 ඕඕඛි ප්‍රවෘත්තිවලද මෙබඳු ප්‍රවෘත්තියක් වාර්තා විය. 2011 ජූලි 23 වන සෙනසුරාදා අවු. 50ක් වයසැති දකුණු අප්‍රිකානු මිනිසෙකු ඇදුම රෝගය උත්සන්න වීමෙන් සිහිසුන් තත්ත්වයට පත් විය. එදින රාත්‍රී ඔහුව සිහි ගැන්වීමට අ‍පොහොසත් වූ ඔහුගේ ඥාතීන් ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු  කරනවා වෙනුවට , ඔහු මියගොස් යැයි සිතා පෞද්ගලික  අවමංගල්‍ය සංවිධානයකට කතා කොට සිරුර ඔවුන්ගේ මෘත ශරීරාගාරයේ අධිශීතකරණයක තැන්පත් කෙරිනි. පසුදින ඉරිදා ද. අප්‍රිකානු වේලාවෙන් සවස 5 ට පමණ සිහි ලද රෝගියා දරුණු ශීතලෙන් ගැහෙමින් අවදිව වටපිට බලද්දී තමා වටකොට  තිබෙන මළ මිනී දැක භීතියෙන් කෑ ගැසීමට පටන් ගත්තේය. ඒ වන විට ඔහු ශීතකරණයේ පැය 21ක් ගතකොට තිබිණ. මුලදී එහි සිටි සේවකයින් දෙදෙනා අවතාරයක් යැයි සැක සිතා දිවි බේරා ගැනීමට එතැනින් පලා ගියද, පසුව සෙමින් සෙමින් ආපසු විත් බලා කරුණු වටහා ගැනීමෙන් පසු රෝගියා වහාම ගිලන් රථයක් ගෙන්වා රෝහල වෙත යැවීය.
2012 මාර්තු 03 ඩේලි මේල් පුවත් පතෙහි තවත් එබඳු සිදුවීමක් වාර්තා විය. වැටීම නිසා හිසෙහි තුවාල සිදු වී තිබුණු හුදකලාව ජීවත් වූ චීනයේ ගුවන්ෂයි පළාතේ 95 වියැති  මහලු කාන්තාවක් (ලී සියු ෆෙං) ඊට සති 2කට පසු සිහිසුන්ව වැටී සිටිනු  අසල්වැසි කාන්තාවක් දුටුවාය. ඇයව සිහි ගැන්වීමට කළ සියලු උත්සාහ ව්‍යර්ථ විය. හුස්ම ගැනීමද නැවතී තිබිණ. ස්ථීරවම ඇය මියගොස්  ඇතැයි සිතූ අසල්වැසි කාන්තාව තම පුතා හා එකතුව අවසන් කටයුතු සූදානම් කළාය. අසල්වැසියන් හට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය සහිත මිනී පෙට්ටියක හුදකලාව ජීවත් වූ කාන්තාවගේ නිවසේ තැන්පත් කර තැබිණි.අවසන් කටයුතු සිදුකිරීමට නියමිත දිනට පෙරදා දේහය තැන්පත් කර තිබූ නිවසට ගිය අසල් වැසි කාන්තාව මිනී පෙට්ටිය හිස්ව තිබෙනු දුටුවේය. ඒ වන විට මහලු කාන්තාවගේ මරණය සිදුවී  දින 6ක් ඉක්ම ගොස් තිබිණි. කලබලයට පත් අසල්වැසියන් නිවස හා අවට විපරම් කිරීමේ දී දුටුවේ මුළුතැන් ගෙහි ආහාර පිසිමින් සිටි මිය ගියා යැයි සිතූ කාන්තාවය. ඔවුන් දුටු කාන්තාව  මෙසේ පැවසුවාය. “මම හුඟ වේලාවක් නිදා ගත්තා. හරිම බඩගිනියි ඒ නිසා කෑම ටිකක් පිළියෙළ කරන්න හිතුවා.”

පසුව ඇයව රෝහලට ගෙන ගිය විට වෛද්‍යවරු පැවසුවේ ඇය “කෘත්‍රිම මරණය” කට ගොදුරු වී ඇති බවය. අවසන් කටයුතුවලට පෙර දින කීපයක් සිරුර නිවසේ  තබා තිබිමේ සම්ප්‍රදායානුකූල චීන චාරිත්‍රයට පින් සිදු වන්නට ඇය පණ පිටින් ආදාහනය වීමෙන් වැළකිනි. එහෙත් එම සම්ප්‍රදායම හේතු කොට ගෙන  සියු ෆෙංට ඇගේ යැයි කිව හැකි බඩු බාහිරාදිය කිසිවක්ම  නැති විය. මන්ද චීන සම්ප්‍රදායට අනුව යමකු මිය ගිය විට ඔහු හෝ  ඇය පරිහරණය කළ සියලු භාණ්ඩ පුළුස්සා විනාශ කරන බැවිනි.

තමන්ගේම අවමඟුල් උත්සවය මධ්‍යයේ අවදිවීමට ලැබිම කාන්තාවකට මහත් බිය උපදවන අවස්ථාවකි. එහෙත් 49 වියැති රුසියානු කාන්තාවක වූ ෆැගිල් යූ (ජ්චඨඪතරභ) ඒ අවස්ථාවට මුහුණ පෑවාය. 2011 ජූනි 24 ඩේලි මේල් පුවත් පත වාර්තා කළ පරිදි තදබල  හෘද රෝගී තත්ත්වයකින් පසු ඇය මිය ගිය බවට වෛද්‍යවරු සනාථ කළහ. එහෙත් අවමංගල්‍ය උත්සවය මධ්‍යයේ දී ඇය අවදි වූවාය. තමන්ගේ ඥාතීන් තමන් වෙනුවෙන් යාච්ඤා කරනු ඇසුණු කල්හි , තමා මිනී පෙට්ටියක බහා අවමංගල්‍ය ඇඳුමින්  සරසා තිබෙනු  දුටු කල්හි ඇය භීතියෙන්  මුසපත්ව කෑගෑවාය. ඇගේ සැමියා වහාම ඇයව රෝහල් ගත කළද දැඩි සත්කාර ඒකකය තුළ ඇය ජීවත් වූයේ මිනිස්තු 12ක කාලයක් පමණි. එවර ඇය ස්ථීරවම මියගොස් සිටියාය.  හදිසියේ තදින් බියවීම හේතු කොට ගෙන හෘද රෝගී වී ඇය මිය ගිය බව වෛද්‍යවරු පවසා තිබිණ.

වෙනිසියුලාවේ කාලෝස් කැමේජෝ  2007 සැප්තැම්බර් මස අධිවේගී මාර්ගයකදී සිදුවූ රිය අනතුරකින් පසු රෝහල් ගත කෙරිණි. සිහිසුන්ව සිටි ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරු ඔහු මිය ගොස් ඇතැයි ප්‍රකාශ කළහ. 2007 සැප් 21 ඩේලි මේල් පුවත් පත වාර්තා කොට තිබූ පරිදි  මිනිය හඳුනා ගැනීමට ඔහුගේ  බිරිය පැමිණීමට පෙර වෛද්‍යවරු  පශ්චාත් මරණ පරීක්ෂණය ආරම්භ කළහ. මෘත ශරීරාගාරය තුළදී පරීක්ෂණය ආරම්භ කරමින්  කාලෝස්ගේ මුහුණ කැපූ වෛද්‍යවරු උණුසුම් රුධිරය ගලා ඒම නිසා මවිතයට පත්විය. කැපුම්  තුවාලයෙන් ඇතිවූ දරුණු වේදනාවත් සමග කාලෝස් සිහි ලැබිය. කැපුම් තුවාලය වහාම මසා බෙහෙත් ගැල්වූ වෛද්‍යවරු ඔහුව මෘත ශරීරාගාරයෙන් පිට කළහ.  තම සැමියාගේ මළ සිරුර හඳුනා ගැනීමට රෝහලට පැමිණි ඔහුගේ බිරිය දුටුවේ තමා එන පෙරමග බලමින් කොරිඩෝවේ වාඩි වී සිටින තම සැමියාය.

මෙබඳු සිදුවීම් ඈත ඉතිහාසයේ මෙන්ම මෑත ඉතිහාසයේ ද වරින් වර අසන්නට ලැබි තිබේ. සිඩ්නි මෝනිං හෙරල්ඩ්  පුවත් පත 2008 ජනවාරි 21 පළ කළ 81 වියැති ඇංගෝලානු ජාතික මහලු මිනිසාගේ  මරණයෙන් නැගිටීමත්, ඉන්ටනැෂනල්  බිස්නස් ටයිම්ස් , වර්ල්ඩ් හා තවත් පුවත් පත් 2013 පෙබරවාරි  01 වනදා වාර්තා කළ අවු. 101 වියැති මහලු චීන කාන්තාවගේ මරණයෙන්  නැගිටීමත් ඒ අතර වෙයි.  මේ සිදුවීම් දෙකෙහිදීත් අප ඉහත විස්තර කළ සමහර අවස්ථාවලදීත් මිය ගියා යැයි සිතූ පුද්ගලයින්ගේ ඥාතීන් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු නොකොට කෙළින්ම අවමඟුල් කටයුතු සංවිධානය කළද අනෙක් සිද්ධීන්වලදී රෝගියා මියගොස්  ඇති බවට වෛද්‍යවරු  සනාථ කොට  තිබුණි. එවන් පුද්ගලයින්  මරණයෙන් නැගිටි කල්හි ඔවුන්ගේ ඥාතීන් අදාළ වෛද්‍යවරුනට එරෙහිව නීතිමගට පිළිපන්නේ වුවද මේ අසාමාන්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය විද්‍යාවේද යම් පැහැදිලි කිරීමක් කර තිබෙනු දැකිය හැක.

සාමාන්‍ය ජනයාට මෙය අරුම පුදුම සිදුවීමක් ලෙස පෙනුණද වෛද්‍ය විද්‍යාවේ මේ තත්ත්වය හැඳින්වෙන්නේ සස්පෙන්ඩඩ් ඇනිමේෂන් (Suspended animation) නමිනි. මේ තත්ත්වයේ දී පුද්ගලයෙකුගේ හෘද සපන්දනය නාඩි හා ස්වසන යන මූලික සජිවී ලක්ෂණ සම්පූර්ණයෙන්ම නැවතී තිබෙනු දැකිය  හැක. සිරුරේ උෂ්ණත්වයද ඉතා පහළ මට්ටමකට වැටේ . එවිට ඒ පුද්ගලයා ජීවත්ව සිටින්නේ දැයි බාහිරින් පරීක්ෂා කොට බලා වෛද්‍යවරයෙකුට වුව නිගමනයකට එළඹීම අපහසුය. මෙබඳු  අවස්ථා සුලබ නොවන නමුදු, මරණයක් සිදුවී ඉතා ඉක්මනින්ම අවසන් කටයුතු සිදු නොකිරීම සමහර අවස්ථාවන්හි වාසිදායක තත්ත්වයක් ඇතිකරන බව ඉහත සිද්ධි සනාථ කරයි.