Mar 30, 2013

ඉන්දියාව එන්න – අපි තමිල්නාඩුවේ ඊළම පිහිටුවමු…


ඉන්දියාව එන්න  – අපි තමිල්නාඩුවේ ඊළම පිහිටුවමු…ලාංකේය දෙමළ ජනයාගේ දුක දැක උණු වුණු ඉන්දීය බුරුල්ල මේ දිනවල නිරන්තරයෙන් කිරෙන් නැහැවෙමින් පවතී. ඒ කිරි බොන්නට ලංකාවේ දෙමළ ජනයා හැර අන් සියළු බොරු ඇඬිලිකාරයෝ නොයෙක් විජ්ජාවන් දමති. ලංකාවේ පමණක් නොව සමස්ත දෙමළ ජනයාගේම යහපත් සුඛවිහරණයන් උදෙසා  අන් සැවොම එක්ව අවසන් පියවර ගත යුතුය. ඒ සඳහා කවර හෝ කැපකිරීමක් සිදුකර මේ ප‍්‍රශ්නය අවසන් කළ යුතුය. මේ මහා සද්ගුණවත් ඉන්දීය අරමුණ (එනම් දෙමළ ජනයාගේ දුක නිවීම) උදෙසා අප සැවොම අපට හැකි පමණින් දායක විය යුතුය. එය අද දවසේ අවශ්‍යතාවයයි.

කැප කිරීම ආරම්භ කළ යුත්තේ ලොකු තැනිනි. ඒනිසා – ඉන්දියාව එන්න, අපි තමිල්නාඩුවේ ඊළම පිහිටුවමු. පකිස්තානය, බංගලාදේශය බිහි කළාට වඩා හොඳින්, ඊට වඩා විද්‍යාත්මකව අද දවසේ එය කළ හැකිය. ඉන්පසු ඒ තමිල් ඊළමේ සියළු දෙමළ ජනයාට නිදහසේ ද, සිතුමතේ ද , සකලශ‍්‍රියෙන් ආඪ්‍යවද ජීවත්විය හැකිය. ලොවපුරා වෙසෙන දමිළ ජනයාට තමන්ගේම කියා දේශයක් හිමිවනු ඇත. ඔවුනගේ ප‍්‍රමාණය අනුව ලංකාවේ උතුරු නැගෙනහිර හැරෙන්නටත් මදිබව  ඕනෑම කෙනෙකුට පසක් වේ. එනිසා අපි ඒ ප‍්‍රායෝගික විසඳුමට එකඟවෙමු. ආදරණීය අවංක සත්ගුණවත් ඉන්දියාවේ අශිර්වාදය සහිතව හිස ඔසවන තමිල්නාඩුවේ කොටි බලවේග ද මේ විසඳුමෙන් සුරතාන්තයට පත්වනු ඇත.

ඉන්පසු යාපනයේ දෙමළ ජනයාගේ යැපීම් මාර්ග අවහිරකොට ඔවුන් සැබෑ ලෙසම දුකට පත් කරන ඉන්දීය ධීවර ප‍්‍රශ්නය කියා ප‍්‍රශ්නයක් ඇති නොවනු ඇත. ලංකාවේ දෙමළ ජනයාගේ පරම්පරා හතරක්ම කැලයට දැක්කා, ඔවුනට ආයුධ පුහුණුව ලබා දී ලංකාවේ පරිපාලන කටයුතු වලින්ද, අධ්‍යාපන අවස්ථාවන්ගෙන්ද, සමාජ දායකත්වයෙන්ද ඔවුන් එළවා දැමීමට මුල් වීමේ පාපයට ඉන්පසු ඉන්දියාවට සමාව ලැබෙනු ඇත. තම රාජ්‍යයේවත් නැති ආකාරයේ බලය බෙදාදීමක් ලංකාවට යෝජනා කර ලංකාවේ පළාත් සභා අටවා නටන්නට ගිය නිමක් නැති තොවිලය ඉන්පසු අවශ්‍ය නොවනු ඇත. ලංකාවේ සදාකාලිකව මිනීමරාගන්නා දේශ සිමාවක් ඇති කිරිමද ඉන් වැළකෙනු ඇත. දෙමළ ජනයාගේ කදුළු පිසින්නටද, කිරිපල්ල අතගාන්නටද,සොටු සූරන්නටද , නැව් නැඟ ලංකාවට ඒම මින්පසු අවශ්‍ය නොවනු ඇත. බයිසිකලයකට හුලං ගසාගෙන වුවද දෙමළ ජනයාගේ දුක සැප බැලීමට යාමට ඉන්දියාවට ඉන්පසු හැකිවනු ඇත. අධිරාජවාදීන්ගේ පදයට නටනවා යැයි එක එකාගෙන් කතන්දර අහන්නටද ඉන්පසු ඉන්දියාවට සිදු නොවනු ඇත.

එපමණක් නොවේ අළුත් දෙමළ රාජ්‍යයට නොගොස් යාපනයේ ඉතිරි වන දෙමළ ජනයාගේ අල ළුණු ටික ලංකාවේ ඉතිරි ප‍්‍රදේශ වලට ලබාගතහැකිවන පරිදි ඉන්දියාවෙන් අඩු මිලට  ඒවා ලංකාවට පැටවීමද නතර කළ යුතුය. සීපා, සාටිස් වැනි ගිවිසුම් හරහා කෝටි ගණන් ජනයා ලංකාවට එවීමට ගන්නා උත්සාහයද අතහැරිය යුතුය. ලංකාවේ තිබෙන රැකියාවන් ලංකාවේ වෙසෙන දෙමළ ජනයාට ජීවත්වීමට අවශ්‍ය වන බැවිණි.

ලංකාව මෙහිදී එක් දේශපාලන පියවරක් අනුගමනය කළ යුතුයx එනම් 13 වන සංශෝධනය සහ පළාත් සභා අහෝසි කිරිමයි. නැතහොත් අළුතින් පිහිටුවන දෙමළ රාජ්‍යය හෙවත් තමිල් ඊළමයේ කාට හෝ අසමජ්ජාතියෙකුට උතුරු නැගෙනහිර සමග ඒකාබද්ධව කටයුතු කිරිමට අදහසක් පහළ විය හැකි බැවිනි. එය දෙමළ ජනයාගේ විශේෂයෙන් ලංකාවේ දෙමළ ජනයාගේ අයහපතට හේතුවිය හැකි බැවිනි.

මේ මහා විප්ලවීය කර්තව්‍යය එක් කුඩා ලිපියකින් මුළුමනින්ම පැහැදිලි කිරීම ඉන්දියාව නමැති ඉබ්බාගෙන් සද්භාවයේ පිහාටු ඉල්ලනවාටත් වඩා අසීරු කාර්යයකි. නමුත් ආරම්භයක් ලෙස මේ අදහස සමාජගත වීම අවශ්‍යය. මන්දයත් සියළු ඓතිහාසික සාධක ගොනුවී තිබෙනුයේ තමිල්නාඩුවේ ඊළම පිහිටුවීම සාධාරණීකරණය කරමින් වන බැවිනි.

- අඛිල මහගමගේ

ලොව ඉපැරණි නගර


ඩැමස්කස්
ඩැමස්කස් සිරියාවේ අගනුවරයි. මේ දක්වාම නොනවත්වා මිනිස් වාසයක පවතින ලොව පැරණිම නගරය ලෙස ඩැමස්කස් සැලකේ. මෙහි ඉතිහාසය
12-1 වසර දොළොස් දහසක් පමණ ඈතට දිව යයි. එකල මිනිසා ගල් යුගයේ විසූ බවට විශ්වාස කෙරේ. මේ වන විට මිලියන හතරකට වැඩි ජනතාවක් ඩැමස්කස් නගරය තුළ වෙසේ.

ප්ලොව්ඩිව්
බල්ගේරියාවේ ඇති විශාලතම නගරයක් වූ ප්ලොව්ඩිව් දෙවැනි වන්නේ සොෆියා අගනුවරට පමණි. මෙහි  ක්‍රි.පූ. 4000 සිට මිනිස් වාසය පැවැති බවට විශ්වාස කෙරෙන අතර, එහිදී ඇතැමුන් කියන්නේ එය 6000 දක්වා ඈතට දිව යන බවයි.

බිරුට්
මීට වසර පන්දහසකට පමණ ඉහතදී බිරුට් නගරයේ මිනිස් වාසය සිදුව ඇති බව කියැවේ. එහෙත් ඇතැම් කල්පිතයන්ගෙන් කියවෙන්නේ මෙය වසර විසිදහසක් පමණ පැරණි වන බවයි.

ජෙරුසෙලම12-2ලොව වෙසෙන බිලියන ගණනක ජනතාවක් ශත වර්ෂ ගණනක් පුරා ශුද්ධ භූමිය ලෙස සලකන්නේ ජෙරුසෙලමයි. ආගමික වශයෙන් එහි ව්‍යාප්තිය සිදුවීම වසර තුන්දහසක් පමණ ඈතට දිව යන අතර, වසර හයදහසකට පමණ ඉහතදී නගරය සොයා ගෙන ඇතැයි විශ්වාස කෙරේ.

ටෙල් අවිව්
ඊශ්‍රායලයේ අගනුවර වූ ටෙල් අවිව් නිල වශයෙන් ආරම්භව ඇත්තේ මීට වසර සියයකට ඉහතදී බව කියැවේ. එහෙත් වසර හාරදහසකට පෙරාතුව සිට එහි මිනිස් වාසය සිදුව ඇත.

ඇතන්ස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර ඓතිහාසික වටිනාකමකින් යුතුවේ. මෙහි ඉතිහාසය වසර තුන්දහසක් ඈතට දිව යයි. එහෙත් එහි සැබෑ ඇරඹුම වසර තුන්දහස් පන්සියය ඉක්මවන බවට විශ්වාස කෙරේ.

ලිස්බන්
යුරෝපයේ තවත් ශ්‍රී විභූතිමත් නගරයක් ලෙස මෙය සැලකේ. වසර තුන්දහස් දෙසීයක තරම් ඈතකට එහි ඉතිහාසය දිව යයි. ෆීනිසියානුවන් විසින් මෙය සොයා ගෙන ඇතැයි විශ්වාස කෙරේ.

ෂියාන්
චීනයේ පිහිටි ෂියාන් නගරය වසර තුන්දහස් එකසියයක් පුරා වැඩි දියුණු වූවකි. මෙහි ඇති සංස්කෘතික උරුමයන් නිසාම ස්වදේශිකයන් අතර මෙන්ම විදේශිකයන් අතරද එය ප්‍රසිද්ධියක් උසුලන්නකි.

රෝමය
ආශ්චර්යමත් ශිෂ්ටාචාරයක ඇරඹුම සිදුවන්නේ රෝමයෙනි. රෝමයේ ආරම්භය ක්‍රි.පූ 753 දක්වා දිවයයි.

දිල්ලි
ආසියාවේ ඇති වඩාත් වටිනා ඓතිහාසික ස්ථාන බොහෝමයක් දිල්ලි නගරය සතුවේ. මීට වසර තුන් දහසකට ඉහතදී දිල්ලියේ ජනාවාස බිහිවීම සිදුව ඇත. අද වෙද්දී ලොව වැඩිම ජනගහනයක් සිටින රටවල් අතරින් අටවන තැන පසුවන්නේ දිල්ලි නගරයයි

Mar 26, 2013

අඟහරු සොයා ගිය චාරිකා



අගහරු ලෝකයෙන් එන කුරුමිට්ටෝ ගැනත් පාවෙන පීරිසි ගැනත් අපේ ඇත්තෝ බොහෝ කාලයක සිට කතා කළහ. පෘථිවි වාසීන් හැමදාමත් සිතා සිටියේ පෘථිවියට හා සමාන පරිසරයක් අගහරු මත ඇතිබවත් අගහරු ලෝකයේ ජීවීන් සිටින බවත්ය. මේ නිසාම අගහරු ලෝකය ගැන බොහෝ දෙනකු සිතුවේ ගෞරවනීය හැඟීමකිනි.
රාතී‍්‍ර අහසේ දිස්වන මේ ග‍්‍රහවස්තුව අනෙකුත් ආකාශ වස්තුවලට වඩා පැහැයෙන් වෙනස්ව වඩාත් රතු පැහැයකින් දිස්වන නිසාම එය රතු ග‍්‍රහයා යැයි පැවසූ පැරැුන්නෝ අගහරු ගින්නට අධිපති දෙවියායැයි සිතූහ. මේ නිසාම රුසියාවත් ඇමරිකාවත් තම අජඨාකාශ ගමන්වලදී සඳ මෙන්ම අගහරු පිළිබඳව ද අවධානය යොමුකළහ.
යම් දිනක අගහරු මත පා තැබිය යුතු බවත් අගහරුගේ පවතින ජීවය සොයා යා යුතු බවත් ඔවුන්ගේ අදහස විය. සිකුරු හැරුණුවිට පෘථිවයට වඩාත් සමීපයෙන් පිහිටි ග‍්‍රහලෝකය වන්නේ අගහරුය. පෘථිවි විශ්කම්භයෙන් අඩක් පමණ වූ විශ්කම්භයක් සහිත අගහරු ලෝකය මත දිනක් පෘථිවි දිනකින් වෙනස් වන්නේ ද සුඑ වශයෙනි. පෘථිවිය හිරු වටා යන කාලය මෙන් දෙගුණයක කාලයක් අගහරු හිරු වටා යාමට ගතකරයි. අගහරුගේ ගුරුත්වාකර්ශන බලය පෘථිවියේ ගුරුත්වාකර්ශන බලය මෙන් තුනෙන් එකකි.
අගහරු ග‍්‍රහයාගේ ගමන් මග පිළිබඳ තාරකා විද්‍යාඥයන් සිතේ තිබූ ගැටලූව සාර්ථකව නිරාකරණය කිරීමට සමත්වූයේ 1609 දී ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥ ජොහැන්නස් කෙප්ලර්ය. ඉන් අනතුරුව 1610 දී ගැලීලියෝ ගැලිලි තම දුරේක්ෂ උපයෝගීකරගනිමින් අගහරු පූර්ණ ගෝලාකාර ග‍්‍රහයකු නොවන බව කියා සිටියේය. ගියෝවානි කැනසි නම් විද්‍යාඥයා අගහරුගේ ධ‍්‍රැව වසාගෙන හිමතට්ටු පැතිර පවතින බව කියා සිටියේය. අගහරු තමන් වටා භ‍්‍රමණය වීමට පැය 24 ක් හා මිනිත්තු 39 ක් ගතකරන බව ගියෝවානි සොයාගත්තේය. ඔහු කොතරම් නිරවද්‍යද යන්න අද සනාථ වී තිබේ. නූතන විද්‍යාත්මක සොයාගැනීම් අනුව ගියෝවානිට වැරදී තිබුනේ විනාඩි තුනක් පමණි.
යුරේනස්, නෙප්චූන් වැනි ග‍්‍රහලෝක සොයාගත් විලියම් හර්ෂෙල් අගහරු සතුව තුනී වායුගෝලයක් ඇතැයි ප‍්‍රථමවරට හෙළිකළේය. අගහරු ද පෘථිවිය මෙන් තමන්වටා භ‍්‍රමණය වන තලයට ලම්භක නොවී ආනතව භ‍්‍රමණය වන බැවින් ඒ මත සෘතු බේදයක් හටගන්නා බව ද හෙතෙම කියා සිටියේය.
අගහරු ග‍්‍රහයා ගැන අප ලෝකයා දත් දේ වෙනස් වීමට පටන් ගත්තේ 70 දශකයේදීය. එදා මෙදා තුර මිනිසා විසින් නිර්මිත යානා 30 ට අධික ප‍්‍රමාණයක් අගහරු වෙත යවා තිබේ. ඒ ඇතැම් යානා සාර්ථක වූයේ නැත. ඇතැම් යානා සාර්ථකව ඉලක්කය වෙත ගොස් මිනිස් සත්ත්වයාගේ කුතුහලය සන්සිදුවමින් තොරතුරු එවන ලදී. එදා මෙදා තුර අගහරු මත සිටිනවායැයි අප සිතා සිටි අපූරු ජීවීන් පසුබිම් කැර ගනිමින් ගෙතුනු දහසකුත් එකක් විද්‍යා ප‍්‍රබන්ධ සියල්ල ප‍්‍රබන්ධයක් ම පමණක් බවට පත්වූයේ මේ අගහරු ගවේෂණයේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.
ඇසට පෙනෙන තරමේ ජීවීන් අගහරු මත නොමැති ව දැන් බොහෝ පර්යේෂණ වලින් තහවුරු වී ඇතත් අදටද ඇතැම් විද්‍යාඥයන්  සිතන්නේ අප පෘථිවියට ජීවීන් පැමිණෙන්නට ඇත්තේ අගහරු මත සිට බවයි. ඒ හේතුවෙන්ම අගහරුගේ අභ්‍යන්තරයේ කුඩා ක්ෂුද්‍ර ජීවීන් හෝ සිටින්නේ ද යන්න සොයා ඔවුහු විවිධ වූ පර්යේෂණ දියත් කර තිබේ.
අගහරු පිළිබඳ තොරතුරු සොයා බැලීමේ කාර්යයේ පෙරමුණ ගත්තේ රුසියාවයි. මාස්නික් එක හා දෙක යනුවෙන් යානා දෙකක් තැනූ සෝවියට් රුසියාව මාස්නික් එක යානය 1960 ඔක්තෝබර් 10 වැනිදා අභ්‍යාවකාශගත කළේය. අගහරු ආසන්නයෙන් ගමන් කරමින් එහි ඡායාරූප හා තොරතුර ලබාගැනීම අරමුණ වුව ද පෘථිවිය වටා කක්ෂගතවීමටත් පෙර මාස්කින් එක විනාශවී ගියේය. ඉන් නොනැවතුණු සෝවියට් බලධාරීන් හරියටම දින හතරකට පසු මාස්කින් දෙක යානය ද මුදාහැරියේ අගහරුවෙත යාමේ දෙවැනි උත්සාහය ද කි‍්‍රයාවට නංවමිනි. නමුත් ඒ යානයට ද අත්වූයේ පෙර යැවූ මාස්කින් එක යානයට අත්වූ ඉරණමයි.
මේ යානා දෙකම විනාශ වීමෙන් පසු අගහරු රහස් සෙවීමේ වැඩසටහන තරමක් කල් දැමීමට සෝවියට් දේශයට සිදුවිය. ඔවුහු ඒ සඳහා තෙවැනි පියවර වශයෙන් ස්පුට්නික් 22 යානය සූදානම් කළහ. ස්පුට්නික් යානය 1962 ඔක්තෝබර් මස 24 වැනිදා අභ්‍යාවකාශගත කිරීමට සියල්ල සූදානම් කැරෙන විට මාස් එක නමැති තවත් යානයක් ඔවුන් විසින් සූදානම් කැර තිබිණි. අභ්‍යාවකාශය දක්වා ගමන් කරමින් තිබූ ස්පුට්නික් 22 යානය සෝවියට් දේශයේ අපේක්ෂාවන් සියල්ල බොඳ කරමින් පෘථිවි කක්ෂයට ළගාවීමටත් පෙර විනාශ වී ගියේය.
ස්පුට්නික් 22 විනාශ වුව ද සෝවියට් දේශය තමන් සූදානම්කර තිබූ මාස් එක යානය 1962 නොවැම්බර් මස 01 දා අභ්‍යාවකාශගත කැරුණි. මින් ඉහත අගහරු ඉලක්කකැර ගනිමින් යැවූ සියලූ යානා පෘථිවි කක්ෂයට ළගාවීමටත් පෙර විනාශ වී යාමේ අවාසනාවට මුහුණ පා සිටි සෝවියට් බලධාරීන්ගේ සිතට සැනසුමක් එක්කළ මාස් එක පෘථිවි කක්ෂය පසුකොට ඈත අභ්‍යාවකාශයට ඇදී ගියේය. එහෙත් සෝවියට් අභ්‍යාවකාශ වැඩසටහෙන් සිටි අයගේ සිතේ ඒ සතුට වැඩි දිනක් පැවතියේ නැත.
ඈතට ගිය මාස් එක යානයේ පෘථිවිය සමග තිබූ සියඑම සන්නිවේදන කාර්යයන් නැවතී ගියේය. මාස්  එක ද ආසාර්ථක වූයේ ඒ ආකාරයෙනි.
මාස් එක යානය අජඨාකාශ ගතවී දින තුනකින් එනම් නොවැම්බර් 04 වැනිදා ස්පුට්නික් 24 යානය අජඨාකාශයට යැවීමට සෝවියට් බලධාරීන් සමත්විය. එහි ආයු කාලය රැඳී තිබුණේ පෘථිවි කක්ෂයට ළගාවනතුරු පමණි.
සෝවියට් දේශය දිගින් දිගටම අ`ගහරු ඉලක්ක කරගනිමින් අජඨකාශ කටයුතු කරගෙන යද්දී ඇමරිකාවද ඒ කාර්යයටම අතගැසුවේය. ඇමරිකාව මැරිනර් 03 යානය අගහරු ආසන්නයෙන් ගමන්කරවීම සඳහා සකස් කර එය 1964 නොවැම්බර් 05 වැනිදා අභ්‍යාවකාශගත කළේය. ඒ යානයට අත්වූයේද රුසියන් යානාවලට අත්වූ  ඉරණමයි.
එම වර්ෂයේම නොවැම්බර් 28 වැනිදා ඇමරිකාව සිය දෙවන අගහරු යානය මැරිනර් 04 මුදාහැරියේය. අගහරු අසලින් පියාසර කිරීමට නියමිතව තිබූ මෙම යානය ඇමරිකාවේ පමණක් නොව සමස්ත පෘථිවි වාසීන්ගේ බලාපොරොත්තු සඵල කරමින් අගහරු ග‍්‍රහයාගේ ඡායාරූප 21 ක් පොළවට නිකුත් කළේය.
ඇමරිකාව මැරිනර් 04 යවා දින දෙකකින් සෝවියට් දේශය සොන්ඞ් 2 නමැති යානාවක් අභ්‍යාවකාශ ගතකළේය. එය ඉතාමත්ම සාර්ථකව පෘථිවි ගුරුත්වයෙන් මිදී අගහරු වෙත ගමන් කළ නමුත් ඒ ආසන්නයේදී එහි ගුවන්විදුලි සංඥා පෘථිවියට ලැබීම නොලැබී ගියේය. ප‍්‍රතිඵලය වූයේ සොන්ඞ් 2 අගහරු පසුකර ගිය ද එමගින් ලබාගත් කිසිදු ඡායාරූපයක් හෝ අගහරුගේ තොරතුරක් පෘථිවියට නොලැබීමයි.
1969 පෙබරවාරි 29 වැනිදා ඇමරිකාව තවත් පියවරක් ඉදිරියට තැබුවේ සෝවියට් දේශයට වඩා සාර්ථකත්වය ළගා කැර ගනිමිනි. එදින මැරිනර් හයට යැවුණු අතර අගහරු ග‍්‍රහයා ආසන්නයෙන්ම ගමන්ගත් මැරිනර් හය පෘථිවියට එහි ඡායාරූප 75 ක් එවීමට සමත්විය. ඉන් අනතුරුව මැරිනර් හත යානය ද මාර්තු 27 වැනිදා අජඨාකාශගත කැරුණු අතර එමගින් අගහරු මතුපිට ඡුායාරූප 126 ක් එවා තිබිණි. මැරිනර් අට යානය ද ඇමරිකාව ඉන් වසර දෙකකට පසුව 1971 මැයි 08 වැනිදා අජඨකාශගත කරන ලද්දේ මෙතෙක් යැවූ යානා මෙන් අ`ගහරු ආසන්නයෙන් ගමන්කොට ඡයාරූප එවීමට පමණක් සීමා කිරීමේ අපේක්ෂාවෙන් නොවේ. මැරිනර් අට අගහරු වටා කක්ෂගත කරන පළමු යානය බවට පත්කිරීම ඇමරිකාවේ අදහසවී තිබිණි. නමුත් සිදුවූයේ ගුවන් ගත කිරීමේදී මැරිනර් අට යානය අසාර්ථක වීමයි.
අගහරු තරණය සඳහා වූ තමන්ගේ උත්සාහයන් දිගින් දිගටම අසාර්ථක වීම නිසා දීර්ඝ කාලයක් නිහඩව සිටි සෝවියට් රුසියාව යළිත් කොස්මෝස් 419 නමැති යානයක් තනා එය අගහරුමත ගොඩබැස්සවීමට සැළසුම් කළේය 1971 මැයි මස 08 වැනිදා අජඨකාශගත කරන ලද එම යානය පෘථිවි කක්ෂයට එළඹීමත් සමගම විනාශ වී ගියේ යළිත් වතාවක් රුසියාවේ බලාපොරොත්තු විනාශ කරමිනි. නමුත් ඒ වනවිටත් මාස් අට සහ නමය යන යානා අගහරු වෙත යැවීමට සූදානම්ව තිබිණි.
මාස් දෙක 1971 මැයි මස 19 වැනි දින අජඨාකාශගත කරන ලදී. එය මෙතෙක් යාන වලට වඩා බොහෝ සෙයින් වෙනස් වූ යානාවක් විය. කොටස් දෙකකින් සමන්විත වූ මාස් දෙකෙහි එක් කොටසක් අ`ගහරු වටා කක්ෂගත කිරීමත් අනෙක් කොටස අගහරු මත පතිතකිරීමත් රුසියාවේ අපේක්ෂාව විය. අගහරු ආසන්නයට ගිය යානය ඒ වටා කක්ෂගත වූයේය. කක්ෂ යානයෙන් පෘථිවියට ඡායාරූප එවන ලද්දේ රුසියාවේ අපේක්ෂාව පළමු වතාවට මල්ඵල ගන්වමිනි. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් අගහරුමතට ගොඩබැස්සවීමට කටයුතු කළ බිම් යානය ගොඩබැස්සවීමේදී ගිනිගෙන විනාශ විය.
මැයි 28 වැනි දින මාස් තුන යානය ද අභ්‍යාවකාශගත කැරුණු අතර එම යානය ද සාර්ථකව අගහරුවටා කක්ෂගත විය. මාස් තුනෙහි කක්ෂ යානයෙන් ද රුසියාවට අවශ්‍ය ඡුායාරූප ලැබුන ද එහි අනෙක් කොටස කක්ෂගතවී විනාඩි කිහිපයකින් විනාශවී ගියේ එය අගහරුමතට ගොඩබැස්සවීමට පෙරාතුවය.
සෝවියට් යානා වලට එසේ තම සම්පූර්ණ ඉලක්කය සාර්ථක කරගැනීමට නොහැකිව ලතවෙද්දී ඇමරිකාව යළි 1971 මැයි 30 වැනිදා මැරිනර් නමය යානය අගහරුවෙත යැවීය. ඉතා සාර්ථකව අගහරුවටා කක්ෂගතවූ මැරිනර් නමය යානය පෘථිවියට එවූ ඡුායාරූප සංඛ්‍යාව 7329 කි. මේ ඡායාරූප එකින් එක සියුම් පරීක්ෂාවට ලක් කළ පෘථිවි විද්‍යාඥයෝ අගහරු පිළිබඳ බොහෝ විස්තර ලෝකයට හෙළි කළහ.
සටහන සහ ඡායාරූප සැපයීම  - සජීව විජේවීර

මැරිනර් නවය යානය

මැරිනර් නවය යානයෙන් එවූ ඡායාරූපයක්

මැරිනර් නවය යානයෙන් එවූ ඡායාරූපයක්

මැරිනර් හය යානයෙන් එවන ලද ඡායාරූපක්

මැරිනර් නවය යානයෙන් එවූ ඡායාරූපයක්

මැරිනර් හය යානය

මැරිනර් 3 ගුවන්ගත කරද්දී

ස්පුට්නික් 24 අජඨාකාශයට යැවීමට සූදානමින්

අගහරුගේ දර්ශනයක්

අගහරු ග‍්‍රහයාගේ දර්ශන

ගැලීලියෝ ගැලිලි

ජොහැන්නස් කෙප්ලර්

විලියම් හර්ෂෙල්


Mar 24, 2013

රජ කාලේ අම්බලම්


ලංකාවේ ව්‍යවස්ථාපිත පළාත් පාලන ක‍්‍රමයක් ඇතිවීමට පෙර අතීතයේ පටන්ම එක් එක් ගම්ප‍්‍රදේශ ගම් ප‍්‍රධානියකුගේ පාලනය යටතේ පැවැතිනි. ගම්මු ඔහුගේ ප‍්‍රධානත්වයෙන් රැස්වී ගමේ ගොවිතැන් කටයුතු පොදු කටයුතු ආදිය පිළිබඳව සාකච්ඡාකර තීරණයකට එළඹියහ. ගමේ එකිනෙකා අතර පැවැති ආරවුල් ආදිය විසඳීම ද එම ගම් ප‍්‍රධානියා විසින් සිදුකරනු ලැබීය. මුල් යුගයේ එවැනි කටයුතු සඳහා ගම්මු එක්රැස්වූයේ ගමේ සෙවණැති ගසක් යටටය. පසු කාලය වනවිට ගම් ප‍්‍රදේශවල ඉදිවූ අම්බලම් ඒ සඳහා යොදා ගැනිණි.

අම්බලම ගම්මුන් එක් රැස්වූ ස්ථානයක් වූවා පමණක් නොව දුරබැහැර ප‍්‍රදේශවල සිට පා ගමනින් මෙන්ම කරත්ත ආදියෙන් ගමන් බිමන් ගිය මගීන් ගිමන් හලක් වශයෙන් ද ප‍්‍රයෝජනයට ගත් ස්ථානයක් විය. ඒ අනුව අම්බලම යනු රැස්වීම් ශාලාවක්, විශ‍්‍රාම ශාලාවක් පමණක් නොව යුක්තිය පසිඳලන අධිකරණ ශාලාවක් වශයෙන් ද හැඳින්වීම නිවැරදිය. ඇතැම් ගම්වල අම්බලම් ධර්මශාලා වශයෙන් ද ප‍්‍රයෝජනයට ගැනිණි. රාජ්‍ය අනුග‍්‍රහයෙන් හා ඇතැම් ප‍්‍රභූවරුන් විසින් ද සාදන ලද අම්බලම් විසිවැනි සියවසේ මැද භාගය පමණ දක්වාම ලංකාවේ ගම් නියම්ගම්වල බොහෝ සේ දක්නට ලැබුණි.
එම අවදිය දක්වාම අම්බලම ගමේ පන්සල තරමටම වැදගත් ස්ථානයක් වූ අතර බුදුදහමින් පෝෂණය වූ ගැමියන්ගේ චින්තනයට අනුව අම්බලමක් සෑදීම විශාල පුණ්‍යකර්මයක් විය. ඒ අසලම පිංතාලියක් තබනු ලැබුවේ කෙනකුගේ පිපාසය සංසිඳුවීම ද අම්බලමක් සෑදීම තරමටම කුසල කර්මයක් සිදුවන පිංකමක් ලෙස සලකනු ලැබූ බැවිනි.
අම්බලමක් ඉදිකිරීම යනු හුදෙක් පොදු ගොඩනැගිල්ලක් ඉදිකිරීම පමණක්ම නොවීය. එම ගොඩනැගිලිවල නිර්මාණ ශිල්පීහු තමන් දන්නා සියලූ කලා කුසලතා උපයෝගී කරගනිමින් ඒවා නිම කළහ. මල්කම් ලියකම් ආදිය යෙදීමෙන් ඒවා අලංකාර කළහ. අද වන විට එවැනි අම්බලම් විශාල ප‍්‍රමාණයක් විනාශවී ගොස් ඇති අතර රාජ්‍ය අනුග‍්‍රහයෙන් ප‍්‍රතිසංස්කරණය කිරීම නිසා එයින් කීපයක් පමණක් රටේ තැනින් තැන ඉතිරිවී ඇති බව පෙනෙන්නට තිබේ.
වර්තමාන කොළඹ නුවර මාර්ගය අසබඩ ද තවමත් එවැනි පැරණි අම්බලම් කීපයක් දක්නට ලැබෙන අතර ඒවා ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් ද වැදගත්කමකින් යුත් අම්බලම් ය. එම මාර්ගයේ කෑගල්ල සහ මාවනැල්ල යන නගර දෙක අතර පිහිටි මංගලගම අම්බලම එවැන්නකි. මුඛපරම්පරාගත කතාවන්ට අනුව නම් එය දුටුගැමුණු රජ සමයේ ඉදිකරන ලද්දකි. එම ගමට මංගලගම යන නම ලැබීමට හේතු පාදක වූ කතාව ද මෙම අම්බලම හා සම්බන්ධව ගොඩනැගුණකි.
අතීතයේ ඉන්දියාවේ විසූ මංගල නමැති බ‍්‍රාහ්මණයෙක් ලක්දිව පිහිටි බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදාගැනීම සඳහා පැමිණියේය. එසේ පැමිණෙන විට ආනන්ද බෝධි පරපුරේ බෝධි අංකුරයක් ද රැගෙන ආ අතර ඔහු ලක්දිව තැනින් තැන පිහිටි වෙරහ විහාර වැඳ පුදා ගනිමින් සෙංකඩගලපුර දෙසට ගමන් කළේය. දිනක් එසේ යන අතරතුර රෑ බෝවූයෙන් තමා ගෙනගිය බෝධි අංකුරය සහිත බඳුණ අසල පිහිටි උස් භූමියක තබා මහමග අයිනේ වූ අම්බලමක ලැගුම් ගත්තේය.
පසුදින අලූයම නැවත සෙංකඩගල පුරවරය දෙසට ගමන් ඇරඹීමට සූදානම් වූ බ‍්‍රාහ්මණ තෙමේ කලින් දින සැන්දෑවේ තමන් තැන්පත් කළ බෝධි අංකුරය අතට ගැනීමට සූදානම් වූ මොහොතේ ඔහු පුදුමයට පත්කරමින් එහි මුල් පොළවට ඇදී ඇති බව දැකගන්නට ලැබිණි. පසුව එම බෝධි අංකුරය රෝපණය කිරීමට සුදුසු ස්ථානය එයම බව සිතා එහිම රෝපණය කළ බ‍්‍රාහ්මණ තෙමේ බෝධීන්වහන්සේට ඇප උපස්ථාන කරමින් එහිම නතර විය.
මේ පුවත කනවැකුණු රජතෙමේ බ‍්‍රාහ්මණයා රජමාලිගයට ගෙන්වා සියලූ තොරතුරු විමසීමෙන් පසු එම ස්ථානයෙහිම විහාරස්ථානයක් කරවා අවට ප‍්‍රදේශය ගම්වාරයක් වශයෙන් ඔහුට දුන්නේය. මංගල නමැති බ‍්‍රාහ්මණයාට නින්දගම් වශයෙන් ලබාදුන් හෙයින් එම ගම මංගලගම නම් විය. එදා බ‍්‍රාහ්මණයා ලැගුම්ගත් අම්බලම මෙම මංගලගම අම්බලම බව කියති. ඔහු රැගෙන ආ බෝධි අංකුරය, එම අම්බලම අසලම ඇති මංගලගම බෝධිමාලකාරාම විහාරස්ථානයේ පිහිටි පැරණි බෝධිය බව ද කියනු ලැබේ.
මෙම අම්බලමේ පියස, පෙතිඋළු ආදිය කැඞී බිඳී විනාශවී ගොස් ගල් කණු ටික පමණක් බිම පතිතවී තිබූ අතර 1970 සමගි පෙරමුණු රජය සමයේ රඹුක්කන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා වශයෙන් සිටි ආන්නද සිරිසේන මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මෙය යළි ගොඩනැංවීමට පියවර ගත්තේය. අද දක්නට ඇත්තේ පැරණි ක‍්‍රමයට ගල්කණු මත ගොඩනැංවූ එම අම්බලමය. මෙම පැරණි අම්බලම පිළිබඳව ආනන්ද කුමාරස්සාමි මහතා ස්වකීය ”මධ්‍යකාලීන සිංහල කලා” නමැති ග‍්‍රන්ථයෙහි මෙසේ සඳහන් කර තිබේ.
ඉතා අලංකාර සාමාන්‍ය ප‍්‍රමාණයේ අම්බලමක් සතරකෝරළේ මංගලගම විය. කුලූණු ගලින් නිමවිය. ලියකම් කරන ලද දැව ද යොදා තිබිණ. ලී වහලයේ උළු සෙවිලිකර තිබිණ. වහල මත දෙකෙළවරේ මැටියෙන් කරන ලද කොත් දෙකක් විය. අම්බලමේ අත්තිවාරමේ ගල්මත දැව ඇදලාය. එම දැවමත මිනිස්සු ඉඳගනිති. කොන් සතරේ කණු සතරකි. එයට අල්ලා වහලකි. අම්බලමේ කණු බොහෝ විය. රාත‍්‍රිය ගත කරන්නන්ගේ පහසුව සඳහා ගොඩනැගිල්ල කොටස්වලට වෙන්කර ඇත.
අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලයට සමීපව අලූත්නුවර නගර මධ්‍යයේ පිහිටා ඇති ”ගිරුවා අම්බලම” දඹදෙණිනුවර රජකම් කළ ,, වැනි පණ්ඩිත පරාක‍්‍රමබාහු රජුගේ අගමෙහෙසියවූ සුනේත‍්‍රා දේවිය විසින් කරවන ලද්දකි. ඇය රුහුණු රට ගිරුවායේ සිටි රාමචන්ද්‍ර නමැති බ‍්‍රාහ්මණ වංශිකයකුගේ දියණියක වූ බවත් කුඩා කල ගිරුවායේ වාසය කළ බැවින් ඇය ගිරුවා දේවිය නමින් ද හැඳින්වූ බවත් කියනු ලැබේ. සුනේත‍්‍රා නම්වූ ඇය ”ගිරුවස සුනේත‍්‍රා දේවිය” යනුවෙන් පොදු ජනතාව අතර ප‍්‍රචලිත විය. ගිරුවස සුනේත‍්‍රා දේවියට රුහුණු මාගම්පුර මෙන්ම මායා රටේ ද බිසෝගම් රාශියක් තිබූ බවත් අලූත්නුවර දේවාලය ගොඩනංවා ඇති පැරණි පද්දාවෙල යන ග‍්‍රාමය ද ඇයට තිබූ බිසෝගමක් වූ බවත් ඉතිහාසගත තොරතුරුවලින් හෙළිවේ.
මුඛපරම්පරාගත කතාවලට අනුව දඹදෙණි නුවර රජ කළ ,, වැනි පැරකුම්බා රජුට කතා කිරීමට නොහැකි ගොතගැසෙන රෝගයක් වැළඳී ඇති අතර රටේ සියලූ දක්‍ෂ වෛද්‍යවරුන්ගෙන් ප‍්‍රතිකාර ලබාගත්ත ද එය සුව නොවූ බව කියති. රජුගේ අගමෙහසිය වූ ගිරුවස සුනේත‍්‍රා දේවිය දෙවිනුවර උපුල්වන් දෙවියන්ට පඬුරු ගැටගසා රජුට සුවය ප‍්‍රාර්ථනා කළ අවස්ථාවේ උපුල්වන් දෙවියන් රාත‍්‍රියේ සිහිනෙන් පෙනී සිට මායා රටේ පිහිටි බිසෝපත්තුවට අයත් ගම්වල පදිංචි තේවාකාරයන්ට දෙවිනුවරට පැමිණ පෙරහර රාජකාරී ඉටුකිරීම අපහසුවී ඇති බැවින් සුනේත‍්‍රා දේවියගේ බිසෝ පත්තුවට අයත් ගමක් වූ පද්දාවෙල නමැති ග‍්‍රාමයේ උපුල්වන් දෙවියන් වෙනුවෙන් දේවාලයක් ගොඩනංවන ලෙසත් පද්දාවෙල්පායේ වැඩ සිටින අස්සද්දනා පිරිවෙන් තෙරසාමීන්ගේ උපදෙස් අනුව එම කටයුතු කරන ලෙසත් දන්වා සිටින ලදී.
පද්දාවෙල්පායේ තෙරසාමීන්ට ද උපුල්වන් දෙවියන් එදිනම රාත‍්‍රියේ සිහිනෙන් පෙනී සිට එයම පවසා දේවාලය සෑදිය යුතු ස්ථානය සැරයටියක් සිටුවා පෙන්නුම් කළේය. මේ ගැන ඇසූ රජතුමා පද්දාවෙල නවතිළකපුර නම්වූ අලූත්නුවරක් ගොඩනංවා දෙවිනුවර තිබූ උපුල්වන් දෙව්රුව සහ දේවාභරණ පෙරහරින් අලූත්නුරවට වැඩම කරවන ලද අතර එයට පසුව රජුගේ වික්කල් රෝගය සුවවූ බව කියති. අලූත්නුවරට පැමිණෙන බැතිමතුන් සහ මහ මග ගමන්කරන්නන් සඳහා එහි ”ගිරිවස සුනේත‍්‍රා” දේවිය විසින් අම්බලමක් ද ඉදිකරවනු ලැබූ අතර ”ගිරුවා අම්බලම” යනුවෙන් හැඳින්වෙන්නේ එය බව කියනු ලැබේ. වාස්තු විද්‍යාත්මක අතින් ඉතා වැදගත් වූ මෙම අම්බලම ගල්කණු 16ක් මත නංවන ලද දැව තට්ටු දෙකක් උඩ වහල ගසා කොකු උළු සෙවිලිකර සෑදූ එකකි.
කන්දඋඩරට රාජධානියේ සිට සතර කෝරළයට පැමිණීමටත්, ගම්පොල රාජධානියේ අගනුවර වූ ගඟසිරිපුර සිට කෝට්ටේ දක්වා ගමන් කිරීමටත් තිබූ පැරණි රජ මාවත වැටී තිබුණේ අල්පිටිකන්ද රුකුලගම හරහා අලූත්නුවර පුරවරය මැදිනි. ගිරුවා අම්බලම පිහිටියේ ද මෙම පැරණි රජ මාවත සමීපයෙහිය. අලූත්නුවර දේවාලය ඉදිකළ පැරකුම්බා රජතුමා තම අගමෙහෙසියගේ නැගනිය වූ රුකුලා දේවියට එහි ආවතේව කටයුතු කිරීමේ රාජකාරිය පවරා ඇය එයට නුදුරින් පදිංචි කරවූහ. රුකුලා දේවිය පදිංචි ගම වූ එය එතැන් පටන් රුකුලගම නම්වූ බව කියති. රුකුලා දේවිය විසින් ද පැරණි රජ මාවත සමීපයෙහි අම්බලමක් ඉදිකරන ලද අතර එය ”රුකුලා අම්බලම” නමින් හැඳින්වේ. අබලන් තත්ත්වයකට පත්ව තිබූ එම අම්බලම වත්මන් ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ජගත් බාලසූරිය මහතාගේ විමධ්‍යගත අරමුදලින් 2000 වසරේ දී ප‍්‍රතිසංස්කරණය කර තිබේ.
මේ හැරුණුවිට කොළඹ නුවර මාර්ගය අසල පිහිටි කඩුගන්නාව අම්බලම සහ කෑගල්ල නගර සීමාව තුළ පිහිටි ජුබිලි අම්බලම යන අම්බලම් රජ කාලයට අයත් නොවූවද ඓතිහාසික වශයෙන් වැදගත් වූ අම්බලම් දෙකකි. ඉංග‍්‍රීසි පාලන යුගයේ කොළඹ නුවර මහා මාර්ගය තැනීමේ දී ඉංග‍්‍රීසි ජාතික ඉංජිනේරුවන් විසින් කඩුගන්නාව අම්බලම සාදනු ලැබ ඇති බව කියන අතර 1887 දී එංගලන්තයේ වික්ටෝරියා මහ රැජිණගේ රාජප‍්‍රාප්තියේ 50 වැනි සංවත්සරය සැමරීම සඳහා කෑගල්ල ජුබිලි අම්බලම සාදා තිබේ. ඉංග‍්‍රීසි පාලන යුගයේ ඉදිකරන ලදැයි සැලකෙන කඩුගන්නාව අම්බලම ද අබලන් තත්ත්වයට පත්ව තිබී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත සංචාරක අමාත්‍යාංශය විසින් ප‍්‍රතිසංස්කරණය කරනු ලැබ තිබේ.
කෑගල්ල ජුබිලි අම්බලම කෑගල්ල නගර සභාව යටතේ පාලනය වන අතර අද එහි ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි. මෙම අම්බලම ඉංග‍්‍රීසි පාලන යුගයේ දී කෑගල්ල ඒජන්තවරයා බැහැදැකීමට පැමිණෙන රටේ මහත්වරු, කෝරාළවරු, ගම්මුලාදෑනිවරු, වෙල්මුලාදෑනිවරු ආදීහු නිලඇඳුමින් සැරසීම සඳහා යොදාගත් ස්ථානය වශයෙන් ද කොළඹ සිට මහනුවර දක්වා අශ්වකෝච්චියෙන් ගමන් ගත් නිලධාරීන් නවාතැන්ගත් ස්ථානයක් වශයෙන් ද සැලකේ. මෙයට අමතරව කොළඹ කුරුණෑගල මහාමාර්ගයේ මංගෙදර ඇතුළු තවත් ස්ථාන කීපයක ද පැරණි අම්බලම් පිහිටා තිබේ.
ලංකා ඉතිහාසයේ එක්තරා යුගයක සිහිවටන මෙන් ඉතිරිව පවත්නා මෙම පැරණි අම්බලම් කීපය හෝ අනාගත පරපුරට දැකබලා ගැනීම සඳහා ආරක්‍ෂා කර තැබීමට පියවර ගැනීම ජාතික උරුමයන් රැකගැනීම පිළිබඳ වගකීමක් ඇති බලධාරීන්ගේ යුතුකමක් වියයුතු බවද මෙහිලා සඳහන් කළයුතුව ඇත.
සටහන සහ ඡායාරූප :- රඹුක්කන - කරුණාරත්න අතුකෝරාල

අලූත්නුවර දේවාලය

කෑගල්ල ජුබිලි අම්බලම

අලූත්නුවර ගිරුවා අම්බලම

මංගල බ‍්‍රාහ්මණයා රැගෙන ආ බව කියන බෝධිය අද මංගලගම විහාරස්ථාන භූමියේ දැකගැනීමට ඇති අයුරු.

මංගලගම අම්බලම

කඩුගන්නාව අම්බලම

රුකුලගම රුකුලා අම්බලම