Jan 10, 2013

ලක්දිව නොබෝසත් නොරජ්හුය


ලක්දිව නොබෝසත් නොරජ්හුයලංකාවේ රාජ්‍යත්වයට දිගු ඉතිහාසයක් ඇත. අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහයන් එක් දහස් අටසිය පහළොවේ දී අත්අඩංගුවට පත් කොට ගෙන පිටුවල් කිරීමෙන් පසු මෙහි ගොඩ නැගී තිබූ රාජ්‍යත්වය අහෝසි විය. අනතුරුව උඩරට රදළයින් හා ගිවිසුමකට එළඹුණු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට යටත් කර ගන්නා ලදී. ලංකාවේ රාජ්‍යත්වය අහෝසි වී 2015 වසරට වසර දෙසීයක් ගත වෙයි. 1972 ජන රජ ව්‍යවස්ථාව අනුව ලංකාවේ ජනාධිපති තනතුරක් ඇති කරන ලදී.අනතුරුව 1978 ව්‍යවස්ථාව අනුව එය සංශෝධනය කරමින් විධායක බලැති ජනාධිපතිවරයෙකු ද පත් විය. මේ අර්ථයෙන් ගත් කල්හි ලංකාවේ වර්තමානයේ රාජ්‍ය පාලනයේ ප්‍රධනියා වශයෙන් කටයුතු කරන්නේ රාජ්‍යත්වයට සමාන කම් ඇති තනතුරකින්ද යන්න මතු කළ හැකිය. එයට හේතුව වර්තමානය තුල රටේ බොහෝ තීන්දු තීරණ තනිවම උසුලන්නේ ජනාධිපතිවරයා වීමයි. රටේ ඉඩකඩම් පවා අවශ්‍ය පරිදි අන්සන්තක කරලීමට අවශ්‍ය ගිවිසුම් වලට යන්නේද ජනාධිපතිවරයාය. ගාලු මුව දොර පිටියේ හමුදාව පදිංචි වී සිටි ඉඩමෙන් කොටසක් චීන සමාගමකට බදු දීම උදාහරණයක් ලෙසට ගත හැකිය. මෙය අපට සිහිපත් කරන්නේ කෝට්ටේ යුගයේ දී විදේශිකයින්ට නින්දගම් පවරාදීමයි.

ලංකාවේ පැවති රාජ්‍යත්වය පිළිබඳව වැටහීමක් වර්තමාන ජනතාව සතුව නැත. වැඩවසම් යුගයක පැවති නෂ්ඨවූ සාම්ප්‍රදායික පාලන තන්ත්‍රයක් ලෙසට ඇතැම් අය හඳුන්වා දී තිබුණද ලෝකයේ ප්‍රජාත්නත්‍රීය සමාජ අතරින් ප්‍රමුඛ යයි සැලකෙන බ්‍රිතාන්‍යයේ ද වඩා ධනවත් යයි සැලකෙන ජපානයේ ද රටේ ප්‍රධාන පුද්ගලයා ලෙසට සැලකෙන්නේ රජුය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය හා රාජ්‍යත්වය අතර ගැටුමක් ඇතිකර ගැනීමට ඒ රටවල් උත්සාහ නොගනිති. නේපාලයේ ද රජ්‍යත්වය මෑතක් වන් තුරු පැවතියද ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා එම ක්‍රමය පෙරළා දැමීමට රටෙන්ම පැන නැගුණු බලවේග සමත් විය. කලකට ඉහත සිකීම් රාජ්‍යයේ පැවති රාජාණ්ඩුව ද පෙරළා රට ඉන්දීය ප්‍රාන්තයක් බවට පත් කරලීමට ඉන්දීය රජය කටයුතු කළ ආකාරය ද මෙහිදී සිහිපත් කළයුතු වෙයි.

රාජාණ්ඩුවක් යනු හිතුවක්කාර අත්තනෝමතික පාලනයක් ලෙසට වර්තමානයේ දී සැලකුවද එය එසේ නොවේ. රාජාණ්ඩු සම්ප්‍රදාය පිළිබඳව දිගු ඉතිහාසයකට හිමිකම් කිව හැකි ශ්‍රි ලංකාවේ ඉන්දියාවේ රාජ්‍ය පාලනයටද වඩා අනන්‍යතාවයක් තිබූ බව ප්‍රකටය. ඊට හේතුව එය සිංහල බෞද්ධ රාජ්‍යයක් වීමයි. මෙයට අභාෂය ඇතිකරගන්නා ලද්දේ අශෝක ධර්ම රාජ්‍ය පාලනයෙන් බව සැබවි. නමුත් ලංකාවේ සම්ප්‍රදාය එයම නොවීය. එයට සාක්ෂි සපයන වැදගත් ම ලේඛනය ප්‍රකාශයට පත්කර තිබෙන්නේ ඕලන්ද ජාතික ආණ්ඩු කාරවරයෙකු වූ විලියම් ෆැල්ක්ය. 1769  වර්ෂයේ දී මල්වතු විහාරයේ සංඝ සභාව වෙත එම ආණ්ඩුකාරවයා  විසින් ඉදිරිපත් කරනු ලැබු ප්‍රශ්ණ මාලාවකට දුන් පිළිතුරු මෙම ලේඛනයට ඇතුලත් වේ. එය ලංකාවේ රජ සිරිත් හා  ලෝකචාරිත්‍ර යනුවෙන් හැඳින්වුණි. එම ලියවිල්ල බ්‍රිතාන්‍ය  පුස්තකාලයේ තිබි වියතුන් ගේ සැලකිල්ලට භාජනය විය. අනතුරුව මහාචාර්ය අභය ආර්යසිංහ මහතා විසින් එය සිංහලට පෙරළා 1985 වසරේ දී මුද්‍රණයෙන් පළ කර තිබේ.

වර්තමාන රජයත් අගවිනිසුරුවරියත් අතර බරපතළ ගැටුමක් නිර්මාණය ව තිබෙන මේ අවස්ථාවේ මෙම ලියවිල්ලෙහි අන්තර්ගත කරුණු සාකච්ඡා කිරීම වැදගත්යයි සිතමි. එයට හේතුව ජේ.ආර්.ජයවර්ධන රජයේ අගවිනිසුරු වරයාව සිටි නෙවිල් සමරකෝන් මහතා මෙම අගනා ග්‍රන්ථයට වෙසෙසි ප්‍රස්ථාවනාවක් ඉදිරිපත්කර තිබීමයි. එහි මෙසේ සඳහන්ය.

‘ආරෝවන් විසඳීම සඳහා අධිකරණයට සහාය දෙන නීතිවේදියෙකු වශයෙන් ද ගතවූ අවුරුදු නව තිසක් තිස්සේ දිවයින තුල යුක්තිය පසිඳලීමේ කාර්යයන්හි මම නිරත වීමි. අපේ කාර්යයන්හිදී  ශ්‍රී ලංකා වේ චිරාගත නීතියට හසුවන බෙහෝ ආරෝවන් පිලිබඳ විනිශ්චය කටයුතු කළෙමි. එහෙත් එම නීති පද්ධතියේ සමූලාරම්බය වත් එහි වර්ධනයවත් දැක ගැනීමට අප ලැබූ අවස්ථා සුලභ නොවේ. නීති වාර්තාගත පෙර තීරණ විසින් නිරන්තරයෙන් අප මෙහෙයවන නිසාද අපට ඒවා මග පෙන්වන නිසාද එබඳු පර්යේෂණයක් ඉඳුරා අවශ්‍ය නොවීය. එසේ වුවද මහාචාර්ය අබය ආර්යසිංහ ඉදිරිපත් කර ඇති ලංකාවේ රජසිරිත් හා ලෝක චාරිත්‍ර නම් නිබන්ධානුගත පර්යේෂණ කෘතිය මා කිය වූයේ දැඩි ඇල්මකිනි. පැරණි සිංහල රජවරුන් අත්තනෝමතික වූද නීති ඒකාධිකාරය තමන් කෙරෙහි ම පවරා ගත්තාවූද පාලකයින් වශයෙන් හඳුන්වා දෙන ජන විශ්වාශය සාවද්‍ය වූවකි. ඔවුන් මෙහෙයවූ රාජ ධර්ම වශයෙන් නම්කර ඇති ඒ නිත්‍යාංග පමණින් දහයකි. ඇතැම් අවස්ථා වලදී රජතුමා වෙතම අභියාචනා එළඹියේය. සුසංවිධිත සමාජයක් ගොඩනැගීම සඳහා සියුලු අවස්ථා උදාවී තිබුණේය.’

නෙවිල් සමරකෝන් මහතා මතු කරන වැදගත්ම කාරණය නම් වර්තමාන නීතිය පෙර වාර්තාගත තීන්දු තීරණ මත බලපැවැත්වෙන්නේය යන්නයි. වෙසෙසින්ම 1815 දී බ්‍රිතාන්‍යයන්ට ලංකාව පවරාගත්තාට පසුව ඇති කරන ලද වාර්තානුගත නීති මෙයට අසුවෙයි. එයට පෙර නීති සංග්‍රහ නීතිපොතේ පැවතියද වලංගු කර නොගනී. උඩරට ගිවිසුම එක් උදාහරණයකි. 1 948 න් පසුව වුවද එය එසේම වී ඇත. ඒ අනුව ලංකාවේ ඉඩම් වෙසෙසින්ම සඟසතු ඉඩම් හා බැඳි පැරණි නීති පිළිබඳව සැලකිල්ලක් නොදැක්වෙයි. එහෙත් ඕලන්දයින් විසින් සකස් කරන ලද තේසවලාමේ නීතිය හා ඒ හා සැබැඳිව පසුව ගන්නා ලද තීරණ අධිකරණයේ දි සැලකිල්ට ගෙන ඇත.වර්තමාන නීති  පද්ධතියේ ස්වභාවය එසේ වුවද  ලංකාවේ පැරණි රාජාණ්ඩු සමයේ දී ක්‍රියාත්මක වී ඇත්තේ මීට වඩා යුක්ති ධර්මයට සමීප නීති රිති බව පැහැදිළිය. රජු වුවද වැරැද්දක් කරන්නේ නම් එයට දඬුවමක් හෝ දෝෂාරොපණයක් කිරිමට ඉඩ තිබී ඇත්තේය උදාහරණයක් වශයෙන් ගත් කළ්හි. නරේන්ද්‍රසිංහ රජු එක්තරා බෙරවායෙකු ගේ රාජකාරියකට පැහැදී තම රාජ කංචුකය  සම්මානයක් ලෙසට පළඳවන්ට උත්සාහ ගත්තේය. මෙයින් රජ සිරිත් උල්ලංඝණය වව බව දැනගත් රම්මලක දිශාව එය ඇද දමා භේරිවාදයා දඟගෙයි ලවා රජුටද දොස් පවරා දඩයක්ද නියම කලේය.

රාජ නීතියෙහි පදනම දශ රාජධර්මයයි.  ලංකාවේ රජ්ජුරුවන් වහන්සේ ගේ තනි කැමැත්තට ඕනෑ වූ දෙයක් කරන්ඩ පුලුවන්ද යන්න ප්‍රශ්ණයක් වශයෙන් ෆැල්ක් ආණ්ඩුකාරවරයා විමසූ කල්හි මල්වතු මහ නා හිමියන්  දුන් පිළිතුර මෙසේය. ‘රජ්ජුරුවන් වහන්සේ ලෝක නීතිය යන පුරාතන පැවති නඩු අනඩු සිරිත් චාරිත්‍ර දැනීමද ධර්ම නීතිය යන ආගම පුරාගම දැනීමද යන මෙසේ  මහත් වූ නුවණ ඇති පණ්ඩිත කෙනෙක් ය. තමන්ගේ කැමැත්තට තීන්දු කරන්ඩ පුලුවන් රාජ්ජේ කාරණාවලුත් ඇත. අමාත්‍ය මණ්ඩලයෙන්ද රට වාසීන්ගෙන්ද හොඳ හැටි විචාරා කරන දේත් බොහෝ දේ ඇත.   මේ රාජ නියමයට පදනම් වී ඇත්තේ දශ රාජ ධර්මයයි. එය එම ලියවිල්ලේ සඳහන් කර ඇත්තේ මෙසේය. දන්දීමය සිල් රැකීමය තෑගි දීමය සෘජු භාවය මැදහත් බවය තපස් ඇති බවය. ක්‍රෝධ නොකිරීමය ක්ෂමා වීමය අවිරුද්ධ බවය. දන්දීම නම් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට යාචකයින්ට බත් පිළි ආදිය දීමය. සිල් රැකීම නම් නොකඩ කොට ආගම දැරීමය. ත්‍යාගි බව නම් කෙත්වත් ආදී උතුම් වස්තු දීමය.සෘජු බව නම් සිත වංක චාටු නැති බවය. මැදහත් බව නම් සියල්ලන්ම එකසැටි බවය. තපස් ඇති බව නම් රූප ශබ්දය ගන්ධය රසය ස්පර්ශය යන මෙකී ඇලුම් පසේ පැවති තෘෂ්ණාව මැඩ පැවැත්වීමය. ක්‍රොධ නොකිරිම නම් නිරපරාධ අයට වද නොයෙදීමය. ක්ෂමා වීම නම් නොවිචාරා වරදට නොකිපීමය. අවිරුද්ධ බව නම් සියලු අය විරුද්ද නැති බවය.’

මෙහිදී පැහැදිලිවන්නේ රටේ නිතිය යුක්ති ධර්මය අනුව තීරණයවී ඇති බවයි. පෙර පූර්වාදර්ශ ද ගණන් ගන්නා නමුත් යුක්ති ධර්මය එහිදී ප්‍රධාන බවන බව පැහැදිලිය. රජු දේවත්වයෙන් සැලකීමද බෝසත් ගුණ යෙන් යුතු වීමද කල යුතු බව සම්ප්‍රදායක් විය. නුවර නාථ දේවාලය ඉදිරියේ පැවති රාජ අබිෂේකයේ දී දශ රාජ ධර්මය රකින්නට දිවුරුම් දීමෙන් ඒ බැව් සනාථ වේ. එසේ නොවුනහොත් තමන්ගේ හිස සත්කඩකට පැලේවා යයි ද රජු කියයි. මේ නිසා ලංකාවේ  රාජ්‍යත්වය වනාහි හිතුවක්කාර පාලනයක සංකේතයක් ලෙසට සැලකීම වැරදිය.
වර්තමාන නීති සම්ප්‍රදායද  පවත්වාගෙන යන විධායක ජනාධිපතික්‍රමයද එයට වඩ අඩු ලුහුඬුකම් වලින් යුක්තය. අගවිනුසුරුවරිය හැසිරෙන ආකාරයද ජනාධිපතිවරයා හැසිරෙන අකාරය දෙසද වඩා විමර්ශනාත්මක බැලීමෙන් ඒ බැව් පැහැදිලි වේ. ජනාධිපති වරයා රජෙකු විලාසයෙන් පිළිගැනීමට ජනතාව සූදානම් ව ඇතැයි මතයක් මේ වන විට ඇතිවී තිබේ. එයට හේතුව  ජනාධිපතිවරණ දෙකේදීම අති මහත් බහුතරයක චන්ද පදනමක් හිමි වීමයි. මෙම ලැබීමට ප්‍රධාන හේතුව මහ ජනතාව පීඩාවට පත් කළ යුද්ධය ජය ගැනීමට නායකත්වය දීම බව කාගේත් පිළි ගැනීමයි. එහෙත් නායකත්වය විසින් තේරුම් කර ගෙන ඇත්තේ ඕනෑම දෙයක් හිතූමතයේ කිරීමට බලය ලබා දීමක් ලෙසටය. එම පිළිවෙත රජකම ඔලුවෙන් සිටවීමකි. ඔල්මාදය යයි ඇතැම් විට කියන්නේද මෙයටය.යටත් විජිත සමයේ සිටි ගමේ රාළහාමිලාට මෙවැනි ඔල්මාද තිබුණි. මෙහිදී විරුද්ද වාදියාට ක්‍රෝධ කිරීමද නිරපරාද වරදට පටලැවීමද යුක්ති ධර්මයක් ලෙසට කල්පනා කරති. සරත් ෆොන්සේකා මහතාගේ සිද්දියේ දී මේ වග ඉතාමත් පැහැදිලිව පෙන්නුම් කලේය. දැන් අග විනිසුරුවරියගෙන් පළි ගැනීමට සියලු දහන් ගැට යොදයි. මෙය රාජ ධර්මයට පටහැනිය. මේ ක්‍රියාත්මක වන්නේ රාජ ප්‍රතිරූපකයෙකුගේ විලාශයයි. 1815 දී ඉංග්‍රීසින්ගේraja-sirih-02අත්අඩංගුවට පත්ව පිටුවහල් කළ රාජසිංහ රජුද අවසාන කාලයේ ක්‍රියා කලේ මෙලෙසය. ඔහු රාජ ධර්මය තුට්ටුවකටවත් මායිම් නොකොට පරණාතල හිමි වැනි භික්ෂූන් වහණ්සේලාද රදළයින්ද සාමානය ජනාතාවද ඝාතනය කරන්නට අණ දුන්නේ පළි ගැනීමේ චේතනාවෙනි. එයින් රටට අත් වූ ප්‍රතිඵලය නම් ස්වාධිනත්වය නැතිවීමයි.
වර්තමානයේදී ද ජනාධිපතිවරයා එක් පැත්තකට වී තමන්ගේ පිරිස සමග අගවිනුසුරුවරිය ඉවත්කරගන්නට සටනකට අවතීර්ණ වී සිටින අතර ශිරානි බණ්ඩාරනායක මහත්මියද තවත් පසෙකට වී එයට විරුද්ධව පළිහ අතට ගෙන තිබේ. මේ ප්‍රශ්ණයට වෙන කවදාටවත් වඩා විදේශීය මැදිහත් වීම ඇති වියහැකිය. එය රටේ ස්වාධීනත්වයට හානි කරය. පෙර රජ වරුන් නම් මහනායක හිමිවරුන් ගේ බසට කන්දුන්හ. නමුත් අද එසේ නොවේ.  ලක්දිව නොබෝසත්හු නොරජ්හු විය යුතු යයි  අනුරාධපුරයේ ගලේ කොටවා තබා ඇත්තේ බෝසත් ගුණ ඇති දශ රාජ ධර්මයට හිස නමන මහා විහාරයේ අනුශාසනා පිළිගන්නා පුද්ගලයින් රජ විය යුතු නිසාය. ඒ පිබඳව වර්තමානයේද අවධානය යොමු විය යුතුය.


- මතුගම සෙනවිරුවන්

Jan 9, 2013

එංගලන්තයෙන් මතු වූ ඇංග්ලෝ සැක්සන් නිධානයේ ආශ්චර්යය


මීට තෙවසරකට ඉහතදී බ්‍රිතාන්‍යයේ ස්ට්‍රැට්ෆර්ඩ්ෂයර් ප්‍රදේශයෙන් ඇංග්ලෝ සැක්සන්වරුන්ට අයත් අති විශාල නිධානයක් සොයාගනු ලැබුයේ එංගලන්තය පුරා කතා බහට ලක්වූ උණුසුම් මාතෘකාවක් බවට එය පත් කරමිනි. එම සිදුවීමෙන් තුන් අවුරුද්දක් ගතවීමෙන් අනතුරුව පසුගියදා යළිත් වරක් ස්ට්‍රැට්ෆෝඩ්ෂයර්හි හැමර්විච් ප්‍රදේශයෙන් යළිත් වරක් එබඳුම ආකාරයේ අද්විතීය ගණයේ නිධානයක් සොයා ගැනීමට හැකිවීම නිසා බ්‍රිතාන්‍ය යළිත් වරක් විස්මයෙන් කැළැඹී සිටියි.10-2

රාජාලියෙකුගේ හැඩයෙන් යුතු වස්තුවක්ද රන්මුවා ශීර්ෂකයකින් කොටසක්ද ඇතුළුව රන් හා රිදී වස්තූන්ගේ කොටස් අනූවක එකතුවකින් මෙම නිධානය සමන්විතය. මෙකී ඇතැම් කොටසක් ප්‍රමාණයෙන් කෙතරම් ක්ෂුද්‍ර යැයි කියතොත් ඒවායේ කැබැල්ලක බර ග්‍රෑම් එකකට නොවැඩි බැව් කියැවේ. කෙසේ වුවද මේවායේ පැරණිකම කෙතරම් ඈත අතීතයකට දිවයන්නේද යන්න මතෛක් අනාවරණය වී නොමැත.

10-1
2009 වසරේදී ලිච්ෆීල්ඩ් අසල පිහිටි හෙක්ටයාර් පහක වපසරියකින් යුතු කුඹුරකින් රන්, රිදී, හා තඹ මිශ්‍ර ලෝහ ඇසුරින් නිමවන ලද කුඩා වස්තූන් තුන්දහස් නවසියකින් යුතු නිධානයක් සොයා ගනු ලැබුණේ එය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබිමට සමත් වෙමිනි. ලෝහ අනාවරක උපකරණයක් භාවිතා කරමින් සිටි පුද්ගලයෙකු විසින් පළමුවරට හඳුනා ගනු ලැබූ මෙම ඇංග්ලෝ සැක්සන් නිධානයට අලුතෙන්ම සොයා ගන්නා ලද රන්, රිදී තොගයේ යම් සම්බන්ධකමක් ඇත්ද යන්න මතෛක් හෙළිවී නොමැති අතර බොස්වර්ත් හා හේස්ටිංස් යුද බිම්වල පුරාවිද්‍යාත්මක හැදෑරීම්වල නිරතවූ පුරාවිදුවන්්  කණ්ඩායමක් විසින් ලිච්ෆීල්ඩ් අසල වූ මෙකී ඓතිහාසික කුඹුර යළිත් වරක් පරීක්ෂාවට ලක් නොකරන්නට ඒද වැළලී යාමට හොඳ හැටි ඉඩ තිබිණ.
බ්‍රිතා්‍යයෙන් සොයාගනු ලැබු දැවැන්තම ඇංග්ලෝ සැක්සන් රත්‍රන් හා රිදී නිධානයේ කිලෝ පහකට අධික රත්‍රන්ද කිලෝ 1.5 ඉක්මවූ බරකින් යුතු රිදී තොගයක්ද කුඩා රතු කැට දහස් ගණනාවක්ද වූ බව කියැවේ. 

මර්ෂියා රාජධානිය පැවැති ක්‍රි.ව. හත්වන හා අටවන සියවස්වලට අයත් බවට දළවශයෙන් නිගමනය කෙරුණු මෙම පළමු රන් රිදී තොගය ලෝකයේ එතෙක් මතෛක් සොයා ගනු ලැබූ විශාලතම ඇන්ග්ලෝ සැක්සන් රන් හා රිදී එකතුව වන නිසා ස්ට්‍රැට්ෆෝර්ඩ්ෂයර් නිධානයේ ගැබ්වූ වටිනාකමත් වැදගත්කමත් අමුතුවෙන් කිව යුතු නොවේ. බ්‍රිතාන්‍ය කෞතුකාගාර විශේෂඥයින් විසින් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 3.3ක් ලෙස වටිනාකම තක්සේරු කළ මෙම නිධානය මතෛක් ලෝකයේ කොතැනක හෝ සොයාගනු ලැබූ වටිනාකමින් අධිකම නිධානයද වෙයි.

බිෂොප්වරයෙකු විසින් උරයේ පැළඳි කුරුසියක්ද, නවන ලද විශාල කුරුසියක්ද, ශිරස්කඩක කොටසක්ද ඇතුළු නා නා විධ රන්, රිදී, විසිතුරු අංගවලින් යුතු වූ ස්ට්‍රැට්ෆෝඩ්ෂයර් නිධානයේම කොටසක් බවට මෙකී මෑතකදී හමුවූ රන් රිදී තොගයද ඔප්පු වුවහොත් එම සොයා ගැනීමේ වැදගත්කම මතෛකැයි කියා කිව නොහැකිවනු ඇත.

ප්‍රියන්ති රුද්‍රිගු 

රිෂානා නෆීක් සෞදියේදී මරා දමයි




සෞදි ආරාබියේ මරණ දඬුවම නියම වී සිටි ගෘහ සේවිකාවක වූ රිෂානා නෆීක් නිදහස් කරගැනීමට පසුගිය කාලයේ ලංකාවෙන් සෞදි රජය වෙත විවිධ ඉල්ලීම් කර තිබුණා.

2005 වසරේදී හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක දරුවකු මැරීයැයි මරණ දඩුවම නියමවී සිටි ඇය ඒ වනවිට 17 වන වියේ පසුවිය. ඇගේ පදිංචිය වූයේ මුත්තූර් ය.

මීට දින දෙකකට පෙර ජනාධිපතිවරයා විසින් සෞදි අරාබියේ රජුගෙන්ද ඒ පිළිබඳ රාජත්‍රාන්ත්‍රික මට්ටමෙන් ඉල්ලීමක් කර තිබූ නමුත් පසුගිය වසර 7 පුරාවටම සිර දඬුවම් විඳි ඇයගේ බෙල්ල කපා අද මරා දමා තිබෙනවා.





රිෂානා ගේ නිවස හා පවුලේ අය

Jan 8, 2013

මතභේදයට තුඩු දුන් අබිරහස් සොහොන් බිම්


වර්ජිනා - ග්‍රීසිය 
08-1ආදි මැසිඩෝනියාවේ අයිගියා අගනුවරින් සොයා ගන්නා  ලද සොහොන තිස්වසරක  කාලයක් මුළුල්‍ලේ තියුණු විවාදයන්ට තුඩු දුන් මාතෘකාවක් බවට පත්ව තිබේ. මෘත සිරුර සම්බන්ධයෙන් පැන නැගී ඇති උභතෝකෝටික ගැටලුවක් වනුයේ එය මහා ඇලෙක්සැන්ඩර් රජුගේ පියා වූ  II  වන පිලිප් රජුගේද නැතහොත් ඇලෙක්සැන්ඩර් රජුගේ ඊර්ෂ්‍යා සහගත මව වූ “ඔලිම්පියා විසින් බාල වියේදීම විෂ කැවීමෙන් දුර්වල තත්ත්වයට පත් කළ  III වන පිලිප් රජුගේද යන්න නිර්ණය කර ගැනීමට නොහැකිවීමයි. මීට හේතුව නම් මෘතෘ සිරුරෙන් හා සොහොන් ගැබේ නිදන් කොට තිබූ මිහිදන් වස්තුවල වයස අතර  පවතින නොගැළපීමයි. මිහිදන් වස්තු  II වන පිලිප් රජුගේ මරණයෙන් (ක්‍රි.පූ. 336 දී) පරම්පරා ගණනකට පසු වයසක් එනම්  ක්‍රි. පූ. 316 වකවානුවට අයත් බව හෙළි වී ඇති නමුදු, ඇටසැකිල්‍ලේ  හිස් කබල ආශ්‍රයෙන් එහි හිමිකරුවාගේ මුහුණ ප්‍රතිනිර්මාණය කළ  විට ඉන් මෙතෝන්හි  II වන පිලිප් රජු විසින් ක්‍රි. පූ. 355 දී ලද තුවාලයක සලකුණු නිරූපණය කිරීම මීට හේතුවයි. එබඳු දරුණු තුවාලයක් දුර්වල තත්ත්වයේ සිටි  III වන පිලිප් විසින් ලද බව සිතීම පවා උගහට වීම නිසා මෘත සිරුරේ අනන්‍යතාව මේ වන තෙක් තහවුරු කර ගැනීමට හැකි වී නැත.

ග්ලැස්ටන්බරි  තාපසාරාමය
ජනප්‍රවාදයේ එන ආකාරයට බ්‍රිතාන්‍යයේ ආතර් රජු මොඩ්රඩ් අතින් තුවාල ලැබිමෙන් පසුව ගඟ තරණය කොට ඇවලොන් දූපත් කරා ගෙන ගොස් ඇත්තේ ග්ලැස්ටන්බරි තාපසාරාමයේද වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම  සඳහායි. පසුකාලීන ආදී වේල්සයේ වන්දිභට්ටයෙකු විසින් ප්‍රකාශ කර ඇත්තේ නයිට්වරුන්ගේ වට මේසය බිහි කිරීමේ පුරෝගාමියා වූ ආතර් රජු  ග්ලැස්ටන්බරීහිදී වළලද බවකි.
ක්‍රි.ව. 1911 දී ආතර් රජුගේ සොහොන පිහිටි බවට සැක කෙරෙන ස්ථානය කැණීමකට ලක් කළ පූජක පිරිසකට  “His iacet Inclitus Arturius in insule Avelonie”  යනුවෙන්   කොටන ලද ඊයම් කුරුසියක් හමු වී තිබේ. ඉන් කියැවෙන දෙයෙහි අර්ථය නම් “ඇවුලොන්හි මිහිදන් කරන ලද ආතර් රජු මෙහි සැතපෙන්නේය.” යන්නයි. මිනි පෙට්ටිය තුළ මෘත සිරුරු ද්විත්වයක් තිබි ඇති අතර, එහි වූ කාන්තා සිරුර “ගුයින්මියර්” නැමැත්තියගෙ බව විශ්වාස කෙරේ. කෙසේ නමුදු ක්‍රි. ව. 1539 දී දේවස්ථානය  විනාශ වී යාමත් සමග මෘත සිරුරුද සදහටම  වැළලී ගොස් ඇත්තේ ආතර් රජුගේ පුරාවෘත්තය පිළිබඳ කිසිදු භෞතික සාක්ෂියක් ඉතිරි නොකරමිනි.

රෙනෙස් ‍ලේ මාලිගය
ප්‍රංශයේ රෙනෙස් ‍ලේ ගම්මානයේ පිහිටි මෙම මනබඳනා සුළු පෞරාණික මාලිගය වටා ගෙතුණු ජනප්‍රවාද රාශියකි. ඒවායින්  සියෝන් හි තාපසාරාමය, දිළිඳු නයිට්වරු (Knights Templar)  පුරාණ මෙරොවින්ගියන් රජවරු, මරියමග්ද‍ලේනා  වැන්නවුන් පිළිබඳ පමණක් නොව, ක්‍රිස්තුන් වහන්සේගේ සොහොන් ගැබ පිහිටි ස්ථානය පිළිබඳද  විවිධ හෙළිදරව් කිරීම් සිදු කෙරේ. මෙම ජනප්‍රවාද අතර  පෙරමුණ ගන්නේ මාලිගය ඉදිකිරීමේදී ධනවත් පූජකයෙකු විසින් සොයා ගන්නා ලද බව කියැවෙන පදක්කමක් පිළිබඳ කතාවයි. ෆ්‍රෑන්ක් මිලියන විසිතුනක පිරිවැයක් දරමින් “ප්‍රංසුවා සවුනියර්”  නමැති පූජකයා විසින් මෙම මාලිගයේ  ඉදි කිරීම් කටයුතු සිදු කරත්දී ඔහුට පැරණි ලිපි කීපයක් හා තනි අසෙකු පිට යන නයිට්වරු දෙදෙනෙකු නිරූපණය කෙරෙන පදක්කමක්ද (මෙම රූපය දිළිඳු නයිට්වරුන්ගේ ලාංඡනයයි) හමු වී ඇති අතර බොහෝ දෙනෙකු විශ්වාස කරනුයේ , මෙම පදක්කම දේවස්ථානයේ අල්තාරය යට පිහිටි මුද්‍රා තබන ලද සොහොන් ගැබට ඇතුළු වීමට ආධාරවන්නක් බවයි. සොහොනේ අන්තර්ගතයත් එහි මිහිදන් කොට ඇත්තේ  කවුද යන්නත් මතෛක් හෙළි වී නොමැත.

ගෝර්ඩියම් තුර්කිය
ග්‍රීක ජනකතාවල එන ඇල්ලූ සියල්ල රන් බවට පත් කිරීමේ අපූරු හැකියාවකින් යුතු මිඩාස් රජුගේ නමින් නම් කරන ලද ගෝර්ඩියම් සොහොන එනමින් නම් කිරීමට පුරාවිද්‍යාඥයින් පෙළඹවූ හේතුව වනුයේ සොහොනේ  තිබි  සොයා ගන්නා ලද මැටි භාණ්ඩ හා සෙසු කෞතුක වස්තු මිඩාස් රජු විසූ කාලයේ බවට සැලකෙන
ක්‍රි. පූ. 8 වන සියවසට අයත් වීමයි.  ක්‍රිමේරියානුවන් විසින් ක්‍රි.පූ. 710 දී “ෆ්‍රී ශ්‍රී යාව” ආක්‍රමණය කොට එහි   පාලනය අත්පත් කර ගැනීමට පෙර එහි රජකම් කරන ලද්දේ “මිඩෝස්” ලෙස හැඳින්වෙන රජෙකු වීම නිසා ග්‍රීක ජනප්‍රවාදයේ එන “මිඩාස්” හා “මිඩෝස්” යනු එක් අයෙකු බවට විශ්වාසයක් ගොඩනැගී තිබේ.

ඊසානදිග මොංගෝලියාව08-4මුඛ පරම්පරා ගතව ජනප්‍රවාදයේ පැවත එනුයේ මොංගෝලියාවේ සිටි අති දරුණු ඒකාධිපති පාලකයෙකු වූ “ගෙන්ගිස් කාන්” මිහිදන් කරන ලද්දේ කිසිවෙකුට  කිසිදා සොයා ගැනීමට නොහැකි ස්ථානයක බවය. ඔහුගේ දෙන රැගෙන ගිය අවමංගල්‍යය පෙරහර ඉදිරියට අහම්බෙන් හෝ ඒමට යෙදුණු ඕනෑම අයෙකුට ක්ෂණික මරණය හිමි වූ අතර, දෙන සොහොන කරා  ගෙනයන  අශ්වාරෝහකයින්ද, එමතුදු නොව, සොහොන්  ගැබ කණින ලද කම්කරුවන්ද මරණයට පත් කරන ලද්දේ ගෙන්ගිස් ඛාන්ගේ අවසන් විවේකස්ථානය සදාකාලික රහසක් ලෙස පවත්වා ගැනීමට පැවති අවශ්‍යතාවය නිසයි. “මොංගෝලියාවේ “ඕර්ඩෝස්” සානුවේ පිහිටි ඔහුගේ  මන්දිරයේද සොහොන් ගැබක් පිහිටියද, එහි මිහිදන් කොට ඇත්තේ ඔහුගේ පෞද්ගලික බඩුබාහිරාදිය පමණි. නවීන තාක්ෂණය භාවිතයෙන් මෙම කුරිරු පාලකයාගේ සොහොන් ගැබ සොයා පුළුල් මෙහෙයුම සිදු කෙරෙමින් පවතිනුයේ, ඔහුගේ මෘත සිරුර සමග ඔහු විසින් එකල පැවති බලගතුම අධිරාජ්‍යයන්ගෙන් කොල්ල කා ගන්නා ලද බව කියැවෙන සුවිසල් ධනස්කන්දයෙන් කොටසක හෝ ඒ සමග නිදන් කොට ඇති බවට වන විශ්වාසය නිසයි.

ඊජිප්තු පාරාවෝ නිම්නය08-2ඊජිප්තු පාරාවෝවරුන්ගේ සොහොන් ගැබ් පිළිබඳ පුවත්, නිබඳව කුතුහලය කැටි වූ මාතෘකාවන් ලෙස සැලකුණද ඒ අතරින්ද වඩාත්ම අබිරහස්මය බවක් පළ කරන්නාවූ සොහොන් ගැබක් ලෙස ක්‍රි. ව. 1907 දී අනාවරණය කර ගන්නා ලද 55 වන සොහොන් ගැබ හැඳින් විය හැක. දැවයෙන් කරන ලද පුදසුන මත පැහැදිලිව
“අන්කාටන්” රජුගේ නම කොටා තිබෙනු දැක ගත හැකි අතර සොහොන් ගැබ අන්කාටන්ගේ මව වූ “ටියො” වෙනුවෙන් ඉදිකරන ලද්දක් බව පැහැදිලිව දැක ගත හැකි වුවද, එහි පිහිටි මිනීපෙට්ටියේ වෙනස්කම් සිදු කර ඇත්තේ පුරුෂ දේහයක්  එහි බහාලීම සඳහාය. කාන්තාවක වෙනුවෙන් තනන ලද මිනී  පෙට්ටියේ පසුව  පුරුෂයෙකු වෙනුවෙන් වෙනස්කම් සිදු කර ඇත්තේ ඊට යටි රැවුලක් එකතු කිරීමෛනි. එහි වූ රත්‍රං මුහුණු ආවරණයද ඕනෑකමින්   බිඳ දමා ඇත්තේ දේහයේ හිමිකරුවාගේ අනන්‍යතාව සැඟවීම  උදෙසාය. එය සාර්ථක වූ බව පෙනී යන්නේ ඩී.එන්.ඒ. පරීක්ෂණ වැනි නූතන තාක්ෂණ විධි අනුසාරයෙන් වුවද අද දක්වා එහි අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකිව ඇති හෙයිනි.

ගල්වටය (Stonehenge)  බ්‍රිතාන්‍යය
කුමක් අරබයා කවරකු විසින් ඉදි කරන ලද්දේද යන්න තවමත් අබිරහසක් වන ගල් වටයේ මෑතකදී සිදු කරන ලද විකිරණශීලී කාබන් දිනයක
පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ එය ඉදි කෙරුනු කාලයේ සිට (ක්‍රි. පූ. 3000) එය රාජකීයන්ගේ භෂ්මාවශේෂ මිහිදන් කිරීමට යොදා ගන්නට ඇති බවකි. වසර පන්සියයක කාලයක් පුරා එබඳු ආදාහනමය අවමංගල්‍ය උත්සවයන් දෙසිය හතළිහක් පමණ සිදු කෙරී ඇති බවට විශ්වාස කෙරේ.

නෝර්වේ
නෝර්වේ හි පිහිටි ශා. නිකලස්තුමන්ගේ දේවස්ථාන භූමියේ වූ රෝස පඳුරක් යට සිදු කළ කැණීමකදී සොයා ගන්නා ලද වයිකිංවරුන් සිටි යුගයට අයත් ඇටසැකිල්‍ලේ ගෙල පෙදෙසේ පිටුපසට වන්නට අස්ථියක පිහිටි අසාමාන්‍යතාව මතෛක් විසූ එකම එක්  ජනකොට්ඨාසයකට පමණක් සීමා වූවකි. ඒ පේරුහි  විසූ ඉන්කාවරුය. නෝර්වේජියානුවන් අතර කිසිසේත් හමු නොවන මෙම අස්ථි සැකැස්ම අයත් ඉන්කාවරයෙකුගේ ඇට සැකිල්ලක් ඔවුන්ගේ නිජබිමින් මෙතරම් දුරස්ව පිහිටි භූමි ප්‍රදේශයකින් හමු වන්නේ කෙසේද යන්න අදටද නොවිසඳුණු අබිරහසකි.

ඇල්ප්ස් කඳු (ඕස්ට්‍රියානු ඉතාලි දේශසීමාව)
ඇල්ප්ස් කඳු අතරින්  ශීතල හිමේ මිහිදන්ව තිබියදී 1951 දී සොයා ගන්නා ලද  මීට වසර පන් දහස් තුන්සියයකට පෙර විසූ ඔට්සි මානවයාගේ මමිකරණයට ලක්වූ සිරුර ද නොවිසඳුනු ගැටලු රාශියකට මුල පුරන ලද සොයා ගැනීමක් විය. තඹ යුගයේදී විසු යුරෝපීයන් පිළිබඳ වැදගත් කරුණු රාශියක් ඔට්සි සිරුරෙන් හෙළි වුවද, ඔහුගේ මරණයට හේතුව (ඔහු සතුව  පිහියේ තිබි පුද්ගලයන් සිව් දෙනෙකුට අයත් රුධිරය සොයා ගනු ලැබිණි.) එය  මිනිමැරුමක්ද, නැතහොත් සතුරන් සමග ඇති වූ ගැටුමකදී සිදුවූ මරණයක්ද යන්න හෙළි කර ගැනීමට හැකි වී නොමැත.
ප්‍රියන්ති රුද්‍රි

Jan 7, 2013

දිඹුලාගල මහා කන්දේ සිහ රජු


සෑම දින ම පාසැල නිම වී ගෙදර එන පුංචි චාර්ලිස් පැත්තකට වී බලාගත් අත බලාගෙන කල්පනා කරමින් සිටින අන්දම දෙමාපියන් සිත් තැවුලට කාරණයක් විය. මේක ඉස්කෝලෙදි කරන දඟ වැඩවලට ගුටිකාගෙන ඇවිත් දැන් හිමිජ්ජ වගේ ඉන්න හැටි. මූටත් යන කලක් තියෙන්න එපායැ හාමිනේ. අපි මේකව මහණ කරමු. පුංචි චාර්ලිස් දරුවා දෙමව්පියන් විසින් වල්පිට ආරණ්‍ය සේනාසනයට කැදවාගෙන ගෙන ගිය අතර, දරුවාගේ හෙට දවස මැනවින් හැඳිනගත් උඩුපිහිල්ලේගොඩ පඤ්ඤලංකාර හිමිපාණන් වහන්සේ උන්වහන්සේ යටතේ කුඩා චාර්ලිස් කිතලගම සීලාලංකාර නමින් පැවිදි බිමට පත් කරන ලදි.

පසු කලෙක බුද්ධ ශාසනයටත් සිංහල ජාතියටත් ඉමහත් සේවාවාක් කරන ලද්දා වූ මේ කිලතලම සීලාලංකාර යන ශ්‍රී නාමය ගෞරවාදර සහිතව හෙළ ඉතිහාසයට එක් වන්නේ දිඹුලාගල මහ නාහිමිපාණන් වහන්සේ ලෙසිනි. තම නායක ස්වාමිපාදයාණන් වහන්සේ අනුව යමින් වාසය කළ තරුණ සීලාලංකාර ස්වාමීන් වහන්සේ තම සහෝදර ස්වාමීන් වහන්සේලා සමග එකට වැටී කල් මරමින් නො ඉද සොහොන්පිටිවල, පාළු කැලෑවලට වැදී භාවනා කරන්නට විය. භාවනායෝගීව වැඩසිටි උන්වහන්සේගේ ගමන වෙනස් වීමට ලක්වූයේ 1948 දී පොළොන්නරුව ප‍්‍රදේශයේ සොරිවිල ගම්මානයට වැඩම කිරීමත් සමඟ ය. පාරම්පරික සිංහලයින් සිංහල භාෂාව නො දැන ද්‍රවිඩ භාෂාව කථා කරමින් ද්‍රවිඩ ජනයා මෙන් දිවි ගතකරන ආකාරය දැක කම්පාවට පත් උන්වහන්සේ මෙවැනි අසරණයින්ට පිහිට වීමේ තිර අදිටනක පිහිටියේ ය.

එදා සොරිවිල ග‍්‍රාමයෙන් ඇරඹි ගමනේ දී, රුහුණෙන් පැමිණි ගැමුණු කුමරු මෙරට එක්සේසත් ශ්‍රී ලංකාවක් බවට පත් කළාක් මෙන්, රුහුණු ජන්ම භූමි කොට ගෙන උපන් මහා විජයබාහු මහ රජු පොළොන්නරුව තම රාජධානිය කොට ගෙන මුළුමහත් ශ්‍රී ලංකාවේ ම අණසක පැතිරුවා මෙන්, විසිවන සියවසේ සිය රටේ උරුමය අහිමි වූ සිංහලයන්ට යළිත් පණ දුන්නේ දිඹුලාගල සිරි සීලාලංකාර හිමිපාණන් ය.

යකුන්නේ අහපල්ල…… තොපි මෙච්චරක් කල් ඇඟට වස්තරයක් දාගෙන හිටිය ද? තොපේ කොල්ලෝ කුරුට්ටෝ ඉබාගාතේ යනව. උඹලා ගේන මස් කෑලි හප හපා උන් කාලෙ මැරුව. මේක උඹලගෙ රට. උඹලගෙ මුතුන් මිත්තො තමයි මේ රට හැදුවෙ. ඒ මිනිස්සු අද මැරිල ගිහිල්ල කල්ප කාලාන්තරයක් වෙනවා. ගනිල්ල දැන්වත් කැති පොරොව අතට. අවුරුදු සිය දහස් ගානක් තිස්සෙ කැලෑ කොළ වැටිල සාර වෙච්ච මහ පොළොවක් තියෙනව. මේවා අස්වද්දපල්ලා. මං මෙහෙම කිව්වට තරහක් මරහක් ගන්න එපා. උඹල මගේ නැදෑයෝ.

මනම්පිටියෙන් එහා නැගෙනහිර පළාතේ ජීවත් වන එකම සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේ වූ සීලාලංකාර හිමියන් ගැන ප‍්‍රදේශවාසී බෞද්ධ ජනතාව තුළ තමන්ට කුමන ප‍්‍රාතිහාර්යයකින් හෝ විශ්වකර්ම පුද්ගලයෙකු සමීප කර ඇති වගක් සිහිපත් වන්නට ඇත. බොහෝ නැගෙනහිර බෞද්ධයන් එවකට දැක ඇති එකම භික්ෂූන් වහන්සේ ද උන්වහන්සේ ය. සංඝපීතෘන් වහන්සේනමක් නො මැති කමින් සිහළ උරුමයන් අන්‍යජාතීන්ගේ සංස්කෘතියන් හා මිශ‍්‍රව යටපත් වී ගොස් තිබූ යුගයක උන්වහන්සේගේ සැර, සිතට කාවදින සුලු වාග් විලාශය සැඟවී ගිය බෞද්ධ හා සිංහල උරුමයන් යළි නගා සිටුවීමට මහත් රුකුලක් විය. උන්වහන්සේගේ බලකිරීම හේතුවෙන් අක්කර දහස් ගණනක් අස්වැද්දීමටත්, අස්වද්දන කුඹුරු වෙනුවෙන් මහාපරිමාණ ජල යෝජනා ක‍්‍රමයක් වන මාදුරු ඔය ව්‍යාපාරය ඇති කිරීමටත් මුල් වූ සේක.



භික්ෂු සංඝයා නො මැති පළාතක අනාගතය කෙබඳු වේදැයි හොඳින් දත් මාහිමිපාණන් වහන්සේ දිඹුලාගල මුල්කොට භික්ෂුන් වහන්සේලා ඇතිකිරීමට මුල්විය. ජාති, කුලගොත්, වේලපත්කඩ ඇතු ‘‘හීන බමුණු මත කරපින්නාගත් සමාජයට අතුල්පහර ගැසූ උන්වහන්සේ තම පළමු ගෝල ස්වාමීන් වහන්සේ වශයෙන් තමන් වහන්සේ සමඟ මුලසිට ම ළඟින් සිටි මිල්ලානා නම් වැදි නායකයාගේ වැඩිමහල් දරුවා දිඹුලාගල සිරියාලංකාර නමින් පැවිදි බිමට ඇතුළත් කළ සේක. එයින් නො නැවතී සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන් ජාති භේදයකින් තොරව උන්වහන්සේ විසින් පැවිදි බිමට ඇතුළත් කරන ලදි. සීලාලංකාර හිමියන්ගේ ගුණකඳ දැනගත් දුගී දුප්පත් පවුල් චකිතයකින් තොරව තම දරුවන් සසුනට පූජා කළහ. මේ ආකාරයෙන් අලුත පැවිදි වූ ස්වාමීන් වහන්සේලා 800කගේ පමණ පහසුව පිණිසත් අධ්‍යාපනය පිණිසත් උන්වහන්සේ විසින් සියයකට අධික විහාරස්ථාන මිල්ලාන, දලුකාන, ගිනිදමන, අල්ලේවැව, අරලගංවිල, අලවකුඹුර, වැලිකන්ද වැනි ප‍්‍රදේශ පුරාවට ඉදිකිරීමට මුල් වන ලදි.

උන්වහන්සේ වැඩසිටි දිඹුලාගල පුදබිම අතීතයේ මලියදේව මහරහතන් වහන්සේ වැඩසිටි පුදබිමයි. එය එකල සිහළුන්ගෙන් පිරී ඉතිරී ගිය ප‍්‍රදේශයක් විය. නමුත් මෙදා උන්වහන්සේ එහි වඩිනා විට එය සිංහලයන්ගෙන් ශූන්‍ය ව ගිය පළාතක් විය. පාරම්පරික සිංහල බෞද්ධයෝ ද තමන් සිංහලයින් යැයි නො දන්නා යුගයක් එහි විය. ඔවුන් තම මව් භාෂාව වන සිංහල භාෂාව ද නො දත් පිරිසක් විය. මෙය දිඹුලාගල හිමියන්ට නො රුස්සන කාරණයක් විය. උන්වහන්සේ එරාවුර් ප‍්‍රදේශයේ හොඳ සිංහල මහතෙක් හඳුනාගෙන සිටි අතර ඔහුගේ උපකාරයෙන් සිංහලයන් පිරිස ඒකරාශී කරන්නට විය. අවුරුදු ගණනාවකින් මගේ නෑදෑයො දැක බලාගත්තෙ අදයි. මුන්නැහෙත් අපේ ගම් පළාත්වල ඉපදිල දුක් විඳල මෙහාට ගාටපු ඇත්තො නො වැ. මං අද දිඹුලාගල මහ කන්දෙ අයිතිකාරය. ගාල්ල,මාතර පැත්තෙ ඉන්න හිටින්න තැනක් නැති කොල්ලො කෙල්ලො දරු පවුල් දිඹුලාගලට එවන්න. දෙදහක් තුන්දාහක් නෙමෙයි පන්දාහක් උනත් කමක් නෑ. උදේට දවාලට ?ට බත් දෙනව. ගෙවල් දොරවල් හදල දෙනව. මට ඕනෑ කරන්නෙ අපේ පළාතේ සිංහල ගම්මාන හදන්න.

උන්වහන්සේගේ එරාවුර් ගමන සාර්ථක විය. සතියක් දෙකක් ඉක්ම යත්ම මහ සෙනඟ කන්දරාවක් දිඹුලාගල හිමි බැහැ දකින්නට පැමිණියේ දැඩි බලාපොරොත්තු සහිත ව ය. එවකට එගොඩපත්තු ගම් සභාවේ තිබුණේ කොට්ඨාස 13ක් පමණක් වුවත් අලුතින් පැමිණි සිංහල ජනතාව සමඟ එය 40 දක්වා වැඩි විය. මේ ආකාරයෙන් ඇරඹි ගමනේ උන්වහන්සේ විසින් සිංහල ජනතාව 45000ක් පමණ පදිංචි කරවා ඇත. අයාලේ යමින් ඉඳහිට දැකගත හැකි වූ කේඩෑරි දරුදැරියන්,වැඩිහිටියන් වෙනුවට ජවසම්පන්න පිරිස් පොළොන්නරු ප‍්‍රදේශයේ සැරිසරන්නට විය. දරුදැරියන්ට සිප් සතර හදාරන්නට පාසල් එකින් එක බිහිවන්නට පටන් ගත්තේ ය. දිඹුලාගල හිමිපාණන් විසින් තම ඩහදිය වගුරුවමින් වරිච්චි බඳිමින් මැටි අනමින් ඉදිකළ පාසල් ප‍්‍රමාණය 26 දක්වා ඉහළ යන්නට විය.

අවුරුදු 40ක් පුරාවට දිවා රෑ නො බලා කළ මෙහෙවරහි ප‍්‍රතිඵලය වශයෙන් පොළොන්නරුව සිට පූනානි දක්වා වූ ප‍්‍රදේශය මුළුමනින් ම බෞද්ධ පුරවරයක් බවට පත් විය. කටු පඳුරු පීරමින් ගමන් යමින්,රත්වූ කර්කශ පොළොව සමඟ හැපෙමින් සිටි උන්වහන්සේ කිසි දිනක සෙරෙප්පු යුගලක්වත් භාවිත නො කළ සේක. උන්වහන්සේ කෙසේ කැපවීමෙන් කටයුතු කරන ලද්දේ ද යත් තම උපන් ගම වූ මාතර කිතලගමට වැඩම කරන ලද්දේ දිඹුලාගල ප‍්‍රදේශයට වැඩීමෙන් වසර විස්සක් ගත වීමෙන් පසු ව ය. සිංහල ජාතියත්,බෞද්ධ උරුමයත් රැකදීමට දිවිහිමියෙන් කටයුතු කළ දිඹුලාගල මාහිමිපාණන් වහන්සේ ඇපකැපව කටයුතු කළේ ජාතිය හා බුදුදහම සුරක්ෂිත කිරීමට මිස තම පෞද්ගලික ජීවිතය ගැනවත් නො සලකමිනි. තම දිවිය පුරාවට ගත් ඍජු නො සැලන තීරණ හා මනා සංවිධානාත්මක හැකියාවත් සිංහල ජාතිය හා බුදුදහම වෙනුවෙන් කළ සේවයත් නිසා උන්වහන්සේට සිටියේ එසේ මෙසේ සතුරන් සංඛ්‍යාවක් නම් නො වේ. දිනෙන් දින උන්වහන්සේට නිර්නාමික දුරකතන ඇමතුම් ලැබෙන්නට විය. නමුත් ඒ කිසිත් වගකට නො ගත් උන්වහන්සේ තම ශාසනික මෙහෙවර තීව‍්‍ර කළා මිස පසුපසට හැරවූයේ නැත. රුදුරු කොටි ත‍්‍රස්තවාදීන් උන්වහන්සේව දුටුවේ සිංහලයේ මුර දේවතාවකු ලෙසිනි. වසර ගණනාවක තිස්සේ උන්වහන්සේව ඝාතනය කිරීමට ලේ පිපාසිත පාපී කොටි ත‍්‍රස්තවාදීන් ප‍්‍රයත්න දැරූහ. 1995 මැයි 26 වැනි දින උදේ 7.15ට පමණ රුදුරු ත‍්‍රස්තවාදීන්ගේ වෙඩිවරුසාවකට යටව අපවත් වූයේ තම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ දහවල දානය සඳහා අවශ්‍ය වන එළවළු රැගෙන ඒමට කොරටුවට ගොස් ගෙන එන අතරතුර ය. මෙවන් උත්තම ගුණයන්ගෙන් හෙබි ඒ දිඹුලාගල සිහරජුන් හෙවත් සීලාලංකාර හිමියන් නො වන්නට පොළොන්නරුව ඇතුලු නැගෙනහිර බෞද්ධ උරුමයන් සිහළයාට අහිමිව ගොස් බොහෝ කල් ය.

(Copied From http://dahamgagana.com/

Jan 6, 2013

නව නිපැයුම් වෙනුවෙන් ජීවිතය අහිමි කර ගත් පුද්ගලයෝ


සමහර අවස්ථාවන්හි අත්හදා බැලීම් වැරදී යාම හෝ සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක නොවීම හේතුකොට ගෙන, අලුත් යමක් සොයා ගැනීමේ ක්‍රියාව බිහිසුණු ප්‍රතිඵල අත්කර දිය හැකිය. නව නිපැයුම් සොයාගන්නවුන්ගේ ජීවිත පහසු එකක් නොවේ යයි මා සඳහන් කරන්නේ එබැවිනි. නව සොයාගැනීම් සිදුකළ සමහර පුද්ගලයන් තම නිර්මාණය හේතු කොට ගෙනම මරණයට පත්වූ අවස්ථා පිළිබඳව ඉතිහාසයේ සඳහන් වෙයි. පහත දැක්වෙන්නේ එබඳු පුද්ගලයින් සත් දෙනකු පිළිබඳ කෙටි විස්තරයකි.

හෙන්රි ස්මොලින්ස්කි
මොහු වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. පියාසර කළ හැකි කාරයක් නිපදවීම අරමුණු කරගනිමින් තම රැකියාවෙන් ඉවත් වූ ඔහු “ඇඩ්වාන්ස්ඩ් වෙහිකල් ඉංජිනියර්ස්” නමින් තමාගේම සමාගමක් පටන් ගත්තේය. වර්ෂ 1973 දී එම සමාගම “ස්කයි මාස්ටර්” ගුවන් යානයක පසු කොටස “ෆෝඩ් පින්ටෝ” වර්ගයේ කාරයකට සවිකර ඔවුන්ගේ ප්‍රථම ගුවන් කාරය නිපදවීය.
ඊළඟ වසරේ මෙබඳු වාහන වෙළෙඳ‍පොළට නිකුත් කිරීමට ස්මොලින්ස්කි බලා‍පොරොත්තු වුවද 1973 සැප් 11 වන දින එම ගුවන් කාරයේ අත්හදා බැලීමේ චාරිකාවකට ගුවන් නියමු හැරල්ඩ් බ්‍ලේක් හා සහභාගි වූ ඔහු ගුවනේදී කාරයට සවිකළ ගුවන් යානා තටුවක් ගැලවී යාම හේතු කොට ගෙන යානය කඩා වැටී සහයක ගුවන් නියමු බ්‍ලේක් සමගම මරුමුවට පත්විය.
06-1

ෆ්‍රාන්ස් රැචල්
ඕස්ට්‍රේලියාවේ උපත ලද ප්‍රංශ ජාතිකයෙකු වූ මොහු වෘත්තියෙන් සන්නාලියෙකි. ඔහු විවේක කාලය යොදා ගනු ලැබුවේ පැරෂුටයක් සේ ගුවනේ සිට මිහිමතට නිරුපද්‍රිතව පැමිණීමට පැළඳිය හැකි ඇඳුමක් නිර්මාණය කිරීමටය. 1903 ගුවන් යානා භාවිතය ආරම්භ වූ වසර බැවින් මේ වකවානුව, හදිසි අනතුරකදී ගුවන් නියමුවන් කෙසේ ආරක්ෂිතව යානයෙන් පැනගත හැකිද යන්න සොයා බලමින් සිටි කාලයකි. ෆ්‍රාන්ස් ඔහුගේ නිර්මාණය මිනිසුන් මෙන් සෑදූ ආකෘති වලට පළන්දා අත්හදා බැලුවේය. ඒවා බොහෝ දුරට සාර්ථක යයි පෙනී ගිය විට හෙතෙම අයිෆල් කුලුනෙහි පහත කොටසක සිට හිමෙන් වැසුණු මහ‍පොළාවට පැන්නේය. අඩි 187ක උසක සිට පිනූ ඒ පිම්ම ඔහුට ක්ෂණික මරණයක් අත්කර දුන්නේය.

හොරේස් ලෝසන් හන්ලි06-4මොහු නීතිඥයකු මෙන්ම ලුයිසිසියානා ප්‍රාන්තයේ මන්ත්‍රීවරයකු ද විය. සබ්මැරීන් පිළිබඳව දැඩි ඇල්මක් හා උනන්දුවක් දැක්වූ හෙතෙම සිවිල් යුද්ධ සමයෙහි ලුසියිසියානා ප්‍රාන්ත රජයට විවිධ මාදිලියේ සබ්මැරීන 3ක් සැලසුම් කිරීමට හා නිෂ්පාදනය කිරීමට සහය විය. මෙයින් මුල් සබ්මැරීනය, නිව් ඕලීයන්ස් නගරය 1862 දී සතුරන් අතට පත්වූ අවස්ථාවේ ගිල්වා විනාශ කළ අතර දෙවන සබ්මැරීනය ඇලබාමා වල මොබයිල් බොක්කේදී ගිලී විනාශ විය. තුන්වන සබ්මැරීනය ඔහුගේම වියදමින් සෑදූ හන්ලි 1863  ඔක්. 15 වනදින තවත් නැවියන් 7 දෙනෙකු සමග චාල්ස්ටන් අසල මුහුදේ යාත්‍රා කරද්දී ගිලී යාමෙන් මරුමුවට පත්විය. එහෙත් මේ සබ්මැරීනය ආපසු සොයා ගත් රජය නව නාවික පිරිසක් සමග එය නැවතත් යුද කටයුතු සඳහා පිටත් කර හැරියේය. හන්ලි නමින්ම නම් කර තිබූ මෙම සබ්මැරීනය ලොව ප්‍රථම වරට නැවක් ගිල්වා මුහුදු බත් කළ සබ්මැරීනය වෙයි. එහෙත් එම පළමු සාර්ථක මෙහෙයුම අවසානයේ එහි වූ නැවියන් සියලු දෙනාටම මරු කැඳවමින් මුහුදු පත්ලට කිඳා බැස්සේය.

තෝමස් මිඩ්ලි ජූනියර්
මොහු ඉහළ පිළිගැනීමක් තිබුණු රසායන විද්‍යාඥයෙකි. වරක් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊයම් සහිත ගැසොලීන් අත්වල තවරාගත් ඔහු ඒවා පිරුණු භාජනයකින් විනාඩියක කාලයක් නොකඩවා ඒවා ආඝ්‍රාණය කළේය. එසේ කළේ ඒ ඉන්ධනය මිනිස් සිරුරට හානිකර නැති බව පෙන්වීමටය. එහෙත් ඔහු ඊයම් විෂ වීමෙන් රෝගී විය. එහෙත් ඔහු මියගියේ ඒ හේතුව නිසා නොව, පුලියක් හා කඹයක් යොදා ගනිමින් තැනූ ඔහුගේ නව නිපැයුමක් හේතුවෙනි. ‍පෝලියෝ රෝගියෙකු වූ ඔහුගේ ශරීරයට ආධාරකයක් සේ තැනූ මේ යන්ත්‍රයෙහි කඹ ඔහුගේ බෙල්‍ලේ හිරවීම නිසා 1944 නොවැ. 02 දින හුස්ම හිරවී මියගියේය.

මාරි කියුරි
මැය ලොව සුපතල භෞතික මෙන්ම රසායන විද්‍යාඥවරියකි. වරක් භෞතික විද්‍යාව සම්බන්ධයෙනුත් තවත් වරෙක රසායන විද්‍යාව සම්බන්ධයෙනුත් වශයෙන් ඇය දෙවරක්ම නොබෙල් ත්‍යාගයට හිමිකම් ලැබුවාය. රේඩියම් සොයාගනු ලැබුවේ ඇය විසිනි. එහෙත් අවාසනාවකට මෙන් ඇය අදූරදර්ශීව රේඩියම්වලට නිරාවරණය වීම හේතුවෙන් ඒප්ලාස්ටික් ඇනීමියා වැළඳී 1934 ජූලි 04 වන දින මියගියාය.

වැ‍ලේරියන්   ඇබ්කොව්ස්කි
06-3ඇබ්කොව්ස්කි රුසියානු ජාතිකයෙකි. නව සොයා ගැනීම් කෙරෙහි උනන්දුවක් දැක්වූ හෙතෙම වරක් අධිවේගී “එයරෝ වැගන්” දුම්රිය ඇන්ජිමක් නිර්මාණය කළේය. මෙම දුම්රියට ඔහු ගුවන් යානයක එන්ජිමක් හා තටුද යොදාගත්තේය. ඔහු එය නිර්මාණය කළේ සෝවියට් රජයේ නිලධාරීන් මොස්කව් වෙත හා මොස්කව් සිට පිට පළාත්වලට ප්‍රවාහනය කිරීම සඳහාය. ඇබ්කොව්ස්කි හා තවත් පස් දෙනකුගෙන් යුත් කණ්ඩායම අත්හදා බැලීම සඳහා මොස්කව් සිට පිටතට ගිය ගමන සාර්ථකව නිම කළද මොස්කව් දක්වා ආපසු එන ගමනේදී අනතුරට ලක්ව ඔවුන් සියලු දෙනාම මියගියහ. මියයන විට ඇබ්කොව්ස්කිගේ වයස අවු. 26කි.

පෙරිලස්06-2මොහු ග්‍රීසියේ ඇතෑන්ස් වල විසූ ලෝකඩ නිර්මාණකරුවෙකි. නව නිර්මාණ බිහි කළ වුන් අතරින් කුරිරු මරණයකට හිමිකම් කීම සුදුසු යැයි හැඟෙන තරමටම ම්‍ලේච්ඡ නිර්මාණයක් බිහි කළේ ඔහුය. වරක් ඔහු මරණීය දණ්ඩනයට නියම වන අපරාධකරුවන් දරුණු වධ හිංසාවට ලක් කොට මරණයට පත් කිරීමට අලුත් උපකරණයක් නිපදවීය. ඒ ඇතුළත හිස් කුහරයක් සහිත ගවයෙකුගේ ලෝකඩ පිළිරුවකි. මෙම ගවයා ඇතුළතට මරණ දඬුවමට නියම වූ සිරකරු දමා අගුලු ලා ඊට යටින් ගිනි දල්වයි. ලෝකඩ රත්වන විට ඒ වේදනාව ඉවසිය නොහී කෑගසන සිරකරුගේ විලාපය ගවයාගේ නාස් කුහර තුළින් පිටතට ගලා එන්නේ ගවයෙකු කෑ ගසන හඬට සමාන හඬකිනි. මේ අලුත් නිර්මාණය පෙරිලස් එවකට සිසිලියේ ඒකාධිපති පාලකයා වූ පලාරිස්ට හඳුන්වා දුන්නේය.
පලාරිස් ගවයාව නිර්මාණය කළ පෙරිලස්ව ගවයා තුළට දමා පිටතින් අගුලු ලා, යටින් ගිනි දල්වා මෙම නිර්මාණය අත්හදා බැලුවේය. පෙරිලස් ගවයා තුළම මියගියාද, නැතහොත් පිළිස්සී ගිය මරණාසන්න පෙරිලස්ව පලාරිස්ගේ භටයින් කඳුමුදුනින් පහළට විසි කළාද යන්න ඉතිහාසයේ පැහැදිලිව සඳහන් නොවෙතත් ඔහුගේ නව නිර්මාණයම ඔහුව මරණය කරා ගෙන ගිය බව නම් පැහැදිලිව දැක්වේ.
සීතා අබේසේකර