Dec 9, 2012

හෙන ගෙඩියයි උල්කාපාතයයි එකට වැදුනොත් සුන් !


මම නීතිඥ‍යෙක් නෙමෙයි. ඒ නිසා අධිකරණ නීති පොත් කියවන්න ලැබුණේ නැහැ. මම දේශපාලනඥයෙකුත් නෙමෙයි. ඒ නිසා පාර්ලිමේන්තු වරප්‍රසාද , පාර්ලිමේන්තු උත්තරීතරබව සඳහන් වුණ පොත් කියවන්න ලැබුණෙත් නැහැ. ඒත් මම පුරවැසියෙක්. පුරවැසියෙක් විදිහට මම යම්, යම් දේ දකිනවා. මට ඇසෙනවා. මට දැනෙනවා. මට හිතෙනවා. ඒ මම මේ රටේ ජීවත් වන සාමාන්‍ය පංතියේ පත්තරකාරයෙක් හින්දා. ඒ නිසා උසාවියත් පාර්ලිමේන්තුවත් අතරේ මේ වනවිට ඇති වී තිබෙන අලකලංචිය ගැන මගේ පපුවට දැනෙන දේ මට ලියන්න ඕනේ. හිරේ යන්න සිද්ධ වුණත් ලියන්න ඕනෙමයි. ඒක පුරවැසියාගේ අයිතිය. 

මේ වනවිට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් දෝෂාභියෝගයක් ගෙනාපු කතාව ලෝකයම දන්නා කාරණාවක්. මේ සිද්ධිය මුල්කර ගෙන රටේ සිද්ධ වෙන දේවල් දිහා බලන කොට මට ඇ‍‍ඬෙන්න එනවා. ඊට පස්‍සේ සැමුවෙල් රොද්රිගූ ගේ විනෝද සමයක් බලනවා වගේ හිනා යනවා. අගවිනිසුරුතුමිය වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥයින්, විනිසුරුවරුන් විශාල පිරිසක් මුළු රටෙන්ම එකතු වෙන බවකුයි පෙනෙන්නේ. මන්නාරමේ උසාවියත් පහුගිය දවසක මෙම දෝෂාභියෝගයට එරෙහිව වසා දැම්මා.

අගවිනිසුරුතුමියට විරෝධය පළ කරන්න , සහාය පළ කරන්න හෝ කිසිම වචනයක් ඒ සම්බන්ධයෙන් කතා කරන්න අකැමැති නීතිඥයින් සහ විනිසුරුවරුනුත් රටේ ඉන්න බවක් මට පෙනෙනවා. අනිත් පැත්තටත් එහෙමයි. ආණ්ඩුවට සම්බන්ධ සමහර දේශපාලනඥයන් ලංගම බස්වලින් ජනතාව අළුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටට පටව ගෙන එනවා. එතැන බානවා. බත් පාර්සල් සමග අතට ගාණකුත් හම්බ වෙනවා. අගවිනිසුරුතුමියට එරෙහිව ඉංග්‍රිසියෙන් ලියපු වගන්ති සහිත පුවරු ඈත පළාත්වලින් ආපු අහිංසක මව්වරුන් උස්ස ගෙන හිටියේ උඩ, යටට.
පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයතියා පිටකොටුවෙන් තනියම බස් එකකට නගින්නවත් ඒ මව්වරුන් දන්නේ නැහැ. ඒ තරමටම අහිංසක, දුප්පත් උදවිය. හැබැයි ඒ දුප්පත් පුරවැසියන් අතරේ ජැන්ඩියට ඇඳ පැළඳ ගත්ත නෝනා, මහත්වරුනුත් හිටියා. දැන් අගවිනිසුරුතුමියට එරෙහි දෝෂාභියෝග ප්‍රශ්නය, ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම තනතුරෙන් දොට්ට දමන කාරණාවට වඩා දුරදිග ගිහිල්ලා කියලයි මට නම් පේන්නේ. රටේ කීර්තිමත් වෙනත් විනිසුරුවරුන් සහ නීතිඥයින් අගවිනිසුරුතුමිය පිටුපසින් ඇගේ සහයට හි‍ටගෙන ඉන්නවා. ඒ අතරේ අගවිනිසුරුතුමියට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කිරීමට පත්කර තිබෙන තේරිම් කමිටුව තහනම් කරන ලෙස නීතිඥ සංගමයේ නීතිඥවරුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමකුත් ගොනු කරලා.

ඒ පෙත්සම විභාග කරපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පෙත්සමේ නම් කරලා තිබෙන වගඋත්තරකරුවන්ට උසාවිය ඉදිරියේ පෙනී සිටින්න නොතිසී නිකුත් කළා. පාර්ලිමේන්තුවේ කතානායකවරයා ඇතුළු තේරීම් කමිටුවේ සාමාජිකයින් එකොළොස් දෙනාටයි උසාවිය ඉදිරියේ පෙනී සිටින්න උසාවිය නියෝග කළේ. උසාවියට වඩා පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා කතානායකතුමා ඒ නොතීසි ප්‍රතික්ෂේප කළා. තවත් විදිහකට කිව්වොත් උසාවි නියෝගය බලරහිත කළා. මාර අවුලක්නේ දැන් වෙන්නේ. හෙට අනිද්දට අගවිනිසුරුතුමියට පක්ෂව තවත් මූලික අයිතිවාසිකම් පෙත්සම් හෝ ඒ මාදිලියේ මොනවා හරි පෙත්සම් ජාති ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට එන්න බැරි නැහැ. ඒවායේ වගත්තරකරුවන් වන්නෙත් උත්තරීතර පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් හා කතානායකතුමා වෙන්නත් බැරි නැහැ. ඒ නඩුවලටත් පෙනී සිටින්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තවත් නොතීසි නිකුත් කරාවි. වගඋත්තරකරුවන් ඒවා බලරහිතයි කියලා උසාවි නෑවිත් ඉඳීවි. ඊට පස්සේ මොකක්ද වෙන්නේ ? උසාවිය වරෙන්තු නිකුත් කරනවා දුටු තැන අත්අඩංගුවට ගන්න කියලා. එහෙම වුණොත් පොලිසිය ගිහිල්ලා වගඋත්තරකරුවන් අල්ල ගෙන එන්න ඕනේ. ඒත් අපේ පොලිසිය එහෙම කරයිද? එහෙම කරන්න පොලිසියේ මොන ලොක්කද ඉස්සරහට එන්නේ. මේක මාර උගුලක් නෙමෙයිද? රටේ නීතිය හෑල්ලු වෙනවා එක පැත්තකින්.

තවත් පැත්තකින් පොලිසිය ලොකූ ජංජාලෙක පැටලැවෙනවා. රටේ සංවර්ධනයට කණකොකා හඬනවා. ඔය අතරේ නීතිඥ සංගමයේ සාමාජිකයින් පිරිස අගවිනිසුරුතුමියගේ දෝෂාභියෝගය පිළිබඳ විමර්ෂණ සිදුකරන පාර්ලිමේන්තු කාරක සභාවට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ශිරාණි බණ්ඩාරනායක යන චරිතයට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය යට ගිහිල්ලා දැන් උණුසුම් පුවතක් බවට පත් වෙලා තිබෙන්නේ ඒ දෝෂාභියෝගයට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම බවයි මට නම් පෙනෙන්නේ. සමහර විනිසුරුවරුන් සහ නීතිඥයින් මේ ප්‍රශ්නය දිහා බලන්නේ නොතීසි ප්‍රතික්ෂේප කිරීම අධිකරණයේ උත්තරීතරභාවයට , එහි ස්වාධීනත්වයට සහ ගෞරවයට එල්ල කළ පහරක් විදිහට වෙන්නත් බැරි නැහැ. පාර්ලිමේන්තුවේ කතානායක ඇතුළු තේරීම් කමිටු සාමාජිකයනුත් සමහර විට මේ ප්‍රශ්ණය දිහා බලනවා ඇත්තේ අපේ බලයට සහ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට ඇඟිලි ගහන්න උසාවියට බලයක් නැහැකියන හැඟී‍මේ ඉඳලා වෙන්නත් බැරි නැහැ. දෝෂාභියෝගය යට ගිහිල්ලා දෙපැත්තේ බලය ගැන කතා කරන තැනට සිද්ධිය පත් වෙලා තියෙන්නේ ඔන්න ඔය විදිහට කියලයි මටනං තේරෙන්නේ.

 මේ වගේ තත්ත්වයක් උඩ විනිසුරුවරුන් (උසාවිය) සහ දේශපාලනඥයන් (පාර්ලිමේන්තු,පළාත් සභා සහ ප්‍රාදේශීය සභා) අතරේ ඝට්ටන ඇතිවීම වළක්වන්න අමාරු වෙනවා. මොකද දෙපාර්ශවය එකිනෙකා දිහා පුද්ගලික මට්ටමින් බලන්න පුරුදු වෙන හින්දා. ඒ නිසා ආණ්ඩුවට එරෙහිව පවරා තිබෙන වෙනත් පෙත්සම් විභාගවල දී ආණ්ඩුවට උසාවියෙන් අභියෝග එල්ල වෙන්න හොඳටෝම ඉඩ තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරන්න මේක හොඳ වෙලාවක් කියලා සමහරුන්ට හිතෙන්න පුළුවනි. යම්,යම් දූෂණ අක්‍රමිකතා ආදිය ගැන නම් කියැවෙන දේශපාලනඥයන්ට එරෙහිව නඩු පැව‍රෙන්නත් පුළුවනි. ඒ වගේම දැනට පවරා ඇති නඩු ආදියේදී කිසිම බුරුලක් අධිකරණයෙන් නොලැබී යන්නත් තිබෙන ඉඩකඩ බොහෝමයි. මැති ඇමැත්තන් රිමාණ්ඩ් බන්ධනාගාරවලට ගාල් වෙන්නත් ඉඩ නැහැයි කියලා කියන්න නම් බැහැ. බත් පැකට් දීලා ,අතට ගාණකුත් දීලා, කොළඹට අහිංසකයින් ගෙන්නලා, ඔවුන් ලවා උද්ඝෝෂණ කරවලා ශ්‍රේෂ්ඨාධිකරණයට චණ්ඩි පාට් පෙන්නන්න උත්සහ කිරීමෙන් පේන්නේ ඒවා සංවිධානය කරපු මිනිස්සු මොන තරම් දුර්වල කට්ටියක් ද කියලා. නූගත්කම සහ දේශපාලන මැර බලය ඒ යටින් තිබෙනවා කියලයි මට නම් පේන්නේ. අගවිනිසුරු කියන්නේ උසාවි ගොඩනැගිල්ලේ බ්ලොක් ගල් කාමරයකට සීමා වුණ චරිතයක් නෙමෙයි.

 මුළු ලෝකයෙම රාජ්‍ය නායකයන් සහ කීර්තිමත් , ප්‍රබල සංවිධාන එක්ක ඕනෑම වෙලාවක ගනුදෙනු කරන්න පුළුවන් චරිතයක් ඒක. ඒ වගේම තමයි පාර්ලිමේන්තුව. අපේ රට ගැන මුළු ලෝකයම කියවන එකම තැන තමයි පාර්ලිමේන්තුව. මේ දෙක එකට හැප්පෙනවා කියන්නේ හෙන ගෙඩියකුයි, උල්කාපාතයකුයි එකට හැප්පෙනවා වගේ වැඩක් ! එහෙම වුණොත් රට සුන් !!

අනුර හොරේෂස්
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=4850:2012-12-05-09-23-41&catid=50:online-he-sara

1 comments: