Dec 19, 2012

අරුම පුදුම ශාපලත් වස්තු




10-1ශාපලත් වස්තූන් ලෙස බොහෝවිට බියමුසු සැලකුම් ලබනුයේ පුරාණයට අයත්, කෞතුක වස්තු, ධාතු හා මෘත ශරීර අවශේෂයන් යනාදියයි. පෙනුමෙන් මේවා බොහෝ ආකර්ෂණීය ලෙස නෙත් සිත් වසඟ කරන ආකාරයෙන් ඉදිරිපත් වුණද, ඈත අතීතයේ පටන් ඒවා පසුබිම් කොට ගනිමින් සිදුවූ සිද්ධි සමුදායක් හේතුවෙන් ආකර්ෂණීය නිමාවකින් යුතු ඇතැම් වස්තු බොහෝමයක් ස්වභාවයෙන්ම ශාපලද ඒවා ලෙස හංවඩු ගැසී තිබේ. පෙනුමෙන් සුන්දරවූද එහෙත් බියකරු අවාසනාවන් කැටිකරගත් එබඳු ශාපලත් ලෝක ප්‍රකට වස්තු කීපයක් මින් ඉදිරිපත් කෙරෙයි.

මඕරිවරුන්ගේ වෙස් මුහුණු

නවසීලන්තයේ වෙසෙන ස්වදේශික ජන කොට්ඨාසයක් වන මඕරිවරුන්ගේ සිරිතක් වනුයේ යුද්ධයකට යාමට ප්‍රථමයෙන්, වෙස් මුහුණු හා ප්‍රතිමා කීපයක් නිර්මාණය කිරීමයි. මීට හේතුව වනුයේ යුද්ධයේදී මිය යන පුද්ගලයාගේ ආත්මය එකී වෙස්මුහුණු තුළ ලැගුම් ගන්නා බවට ඔවුන් තුළ වන විශ්වාසයයි. මෙබඳු වෙස්මුහුණු තුළ මියගිය පුද්ගලයාගේ ආත්මය සේම ශාපයක්ද ගැබ්ව ඇති බවට පැවත එන විශ්වාසය හේතුවෙන් ගර්භණී මව්වරුන් හට එබඳු දෑ ඇස ගැටීමෙන් වැළැක්වීමට පියවර ගෙන තිබේ. මෙම වෙස් මුහුණු පිළිබඳ ශාපය කෙතරම් දැඩි විශ්වාසයක් බවට පත්ව ඇත්ද යන්න හොඳින්ම පැහැදිලි වන්නේ, ඒ පිළිබඳ නරඹන්නන්ට අනතුරු ඇඟවීමක් දැක්වෙන පුවරුවක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයකද ප්‍රදර්ශනය කිරීම නිසාවෙනි. මෙහි ශාපය ගර්භණී කාන්තාවන්ට පමණක් බලපෑම මෙහි ඇති විශේෂත්වයයි.

කොහිනුර් දියමන්තිය

මඕරිවරුන්ගේ වෙස්මුහුණු මගින් කාන්තාවන්ට අසුබ පල ගෙනෙන කල කොහිනුර් දියමන්තියේ ශාපය බලපානු ඇති බවට විශ්වාස කෙරෙනුයේ පුරුෂ පක්ෂය කෙරෙහිය. කාන්තාවන්ට වාසනාව ගෙනෙන කැරට් එකසිය දහනවයකින් යුතු අගනා කොහිනුර් දියමන්තිය එහි මුල් උරුමකරුවා ලෙස සැලකෙන ‘ක්‍රිෂ්ණා දෙවිඳුන්’ වෙතින් සොරා ගනු ලැබූ දින පටන් එහි අයිතියට හිමිකම් කියූ පුරුෂයන් හට අවාසනාව හා මරණයම කැන්දන ලද්දකි. ඉන්දියාවේ ‘ෂ ෂා සුරි’ නැමැති අධිරාජ්‍යයාත්, ඔහුගේ මරණයෙන් පසු දියමන්තියට හිමිකම් කියූ ඔහුගේ පුත් ‘ජලාල් කාන්ද’ එසේ කොහිනුර් ශාපයට ගොදුරු වූ දැවැන්ත පුද්ගලයෝය.

ටෙරා කොටා හමුදාව

1974 දී චීන ජාතික ගොවියන් හත් දෙනෙකුගේ කණ්ඩායමක් විසින් භූගත කැණීමක් හරහා සොයාගනු ලැබූ මෙම සෙබළ ප්‍රතිමා ගොන්න ජාතියට වාසනාව ගෙනාවද එය සොයාගත් ගොවියන්හට මරණයත් අවාසනාවත් ගෙනා කෞතුක වස්තුවක් ලෙස ප්‍රකටය. සොයා ගැනීමෙන් දශක කීපයක් ඇතුළතදීම ගොවීන් තිදෙනෙකු මිය ගිය අතර, සෙසු සිව් දෙනාද රෝග පීඩා හා ණය අර්බුදයන්ගෙන් ගහණ ජීවිතයක් ගෙවනු ලදුව අවසානයේදී දුකසේ මරු වැළඳ ගත්තෝය.

හඬන දරුවාගේ සිතුවම

බ්‍රිතාන්‍යයේ බොහෝ  නිවෙස්වල බිත්ති මත එල්බ තිබෙනු දැකිය හැකි හඬන දරුවෙකුගේ රුව දැක්වෙන මෙම සිතුවම ශාප ලද්දක් බවට රාවයක් පැතිර යන ලද්දේ 1980 දශකය ආරම්භයේදී සිතුවම  ප්‍රදර්ශනය කෙරුනු බොහෝ නිවෙස් පැහැදිලි කළ නොහැකි ගිනි ගැනීම්වලට බඳුන්වූ හෙයිනි. මෙහි ඇති පුදුමය වනුයේ චිත්‍රය හැර, ඒ වටා වූ නිවසේ සෙසු බඩු බාහිරාදිය සියල්ල ගිනිබත් වුවද ඒ හැම විටකදීම සිතුවමට අල්ප මාත්‍ර හෝ  හානියක් සිදුව නොතිබිමයි. මේ හේතුව නිසා බොහෝ දෙනෙකු අතර විශ්වාසයක් පැතිර ගියේ, සිතුවම එල්වා තැබිම යනු එකී නිවෙස් ගිනි ගැනීමට කෙරෙන ආරාධනයක් ලෙසයි.

දිල්ලි දම් පැහැති ඉන්ද්‍රනීලය

දම් ඉන්ද්‍රනීලයේ සැඟවුණු ශාපය පිළිබඳ පුවත කරළියට පැමිණියේ ලන්ඩන් නුවර වූ කෞතුකාගාරයක පාලකයකු විසින් එහි ශාපය දැක්වෙන ලිඛිත සටහනක්ද සමග මාණික්‍යය සොයාගැනීමත් සමගය. 1800 වසරේ මැද භාගයේදී පමණ ඉන්දියානු පන්සලකින් සොරාගනු ලැබූ මාණික්‍ය එහි හිමිකරුවා වෙත හැමවිටම ගෙනෙන ලද්දේ මූල්‍ය අර්බුද හා රෝග පීඩාවන්ය. ‘එඩ්වඩ් හෙලන් ඇලන්’ නැමැති ‍ලේඛකයාටද කලකදී එහි හිමිකරුවා 10-2වීමේ අවාසනාවට පංගුකාරයෙකු වීමට සිදුවූ අතර ඒ හේතුවෙන් ඔහුට විඳින්නට සිදුවූ කරදර නිමක් නොවීය. දුක් පීඩා දරාගත නොහී අවසානයේදී ඔහු එය කාණු පල්ලකට වීසි කර දැම්මද, යළිත් එය එඩ්වඩ් කරාම පැමිණියේ පුදුමාකාර ලෙසය. අවසානයේදී ඔහු එය කෞතුකාගාරයකට යැවීමට කටයුතු කරන ලද්දේ තමාගේ මරණයෙන් තෙවසරක් ගතවන තුරු එය ඇල්ලීමට හෝ තහනම් කෙරෙන උපදෙස්ද සමගය.

හෝප් දියමන්තිය

දැනට ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති මෙයද ශාප ලද්දක් ලෙස ප්‍රචලිතව ඇත්තේ එහි හිමිකරුවන් සියල්ලන් හට එමගින් අවාසනාව කැන්දූ බැවිනි. පූජකයෙකු විසින් සොරාගනු ලැබූ දියමන්තිය පසු කලෙක ප්‍රංශ ජාතික මැණික් වෙළෙන්දෙකු වූ ‘ෂෝන් බැබ්ටිස්මේ ටෙෆර්නියර්’ ගේ සන්තකයට පත් වූ අතර ඔහුට මරණය වැළඳ ගැනීමට සිදු වූයේ වියරු සුනඛ කණ්ඩායමක, අනපේක්ෂිත ප්‍රහාරයකට ගොදුරු වීමෙනි. මීට පසුව එහි උරුමයට හිමිකම් කියූවන්ටද සිදු වූයේ අවාසනාවන්ත ලෙස මරු තුරුලට යෑමට බැව් කියැවේ.

උලුරු පර්වතය

වසරකට දහස් ගණනක් වූ සංචාරක පිරිසකගේ ආකර්ෂණය දිනා ගන්නා උලුරු පර්වතය පිහිටියේ ඕස්ට්‍රේලියාවේ සිටි ස්වදේශිකයන් වන ‘ඇබෝරජින්වරුන්’ විසින් ශුද්ධ වූ භූමියක් ලෙස සැලකූ ප්‍රදේශයකය. පර්වතයේ වන චිත්තාකර්ෂණීය බව නිසාම බොහෝ සංචාරකයෝ නීතියට පටහැනි ලෙස පර්වතයෙන් ගලවා ගත් කුඩා ගල් කැබලි තම රටට ගෙන යනුයේ අනගි සංචාරයේ සිහිවටනයක් ලෙසය. එසේ වුවද, ඒ සියල්ලන් හටම යළිත් එබඳු සිහිවටන ආපසු ඕස්ට්‍රේලියාව වෙත ගුවන් මගින් එවීමට සිදුවන්නේ ඔවුන්ට අත්විඳීමට සිදුවන අභාග්‍ය සම්පන්න සිදුවීම් නිසාය.

ප්‍රියන්ති රුද්‍රිගු

1 comments: