Dec 31, 2012

සැඟවුණු මනරම් වනගත පෙදෙසක දිවි ගෙවන රාවණා පරපුරේ අන්තිම ලේ නෑයා හමු වුණෙමි



2012 දෙසැම්බර් 21 වැනි දින සිදුවෙතැයි කියූ ලෝක විනාශය පිළිබඳ අනාවැකි ප්‍රකාශ කරමින් මායා දින දර්ශනය නිර්මාණය කළ මායාවරුන්, අන් කිසිවකු නොව මහින්දාගමනයට පෙර ලංකාවේ පදිංචිව සිටි රාවණා පරපුර බවත්, මෙම රාවණා රජුගේ පසු පරම්පරාව අද වන විටත් ලංකාවේ පදිංචිව සිටින බවත් 'මව්බිම' පුවත්පත අනාවරණය කර සිටියි.

'මව්බිම' මෙම සුවිශේෂී හෙළිදරව්ව කරනු ලබන්නේ මේ පිළිබඳ සිදුකරන ලද දීර්ඝකාලීන ගවේෂණවලදී සොයාගත් ඉපැරැණි තොරතුරු සහ ජීවමාන සාක්ෂි මත පිහිටමිනි.

අනාවරණය වූ එම කරුණු අනුව රාවණා රජුට පෙර පරම්පරා හතරක් තිබී ඇති අතර, එම පරම්පරා හතර ශෛනාර, මිථාන, මාලන්ති සහ සුමාලින්ති යනුවෙන් හඳුන්වා ඇත. එම පරම්පරා හතරෙන් පසු රජකමට පත් රාවණා හඳුන්වා ඇත්තේ විශ්ව කීර්ති ශ්‍රී රාවණා නොහොත් යගු කෞරාණමන්ඨක යන රාජ නාමයෙනි.
මෙම රාවණා රජුට දාව උපන් පුත්‍රයා උපේන්ද්‍රමිණික වූ අතර, ඔහු රාවණා රජුගේ යුවරජු ලෙස රාජ්‍ය පාලනයේ යෙදී ඇත. උපේන්ද්‍රමිණිට පුතුන් දෙදෙනකු සිටි අතර, ඔවුන් හැඳින්වූයේ රවිශෛලාෂ මණ්ඨක සහ කේවේසත්ථාන මණ්ඨක යන නම්වලිනි.

මෙම කාලය තුළ පසිදගිය මණ්ඨාල නම් ඔෟෂධ උයනක් රාවණා රජු උතුරේ පිහිටුවා තිබිණ. එම ඔෟෂධ උයන මුල්කරගනිමින් කේවේසත්ථ මණ්ඩක පදිගම නමින් රාජ්‍යයක් උතුරේ පිහිටුවනු ලැබුවේ රාවණා රජුගේ එක් මුනුපුරකු වූ කේවේසත්ථාන මණ්ඪක කුමරුවා විසිනි.
රට මැදට වන්නට පිහිටි තවත් ඔෟෂධ උයනක් වූ අරවුද සෝත උයන මුල්කර ගනිමින් රවිශෛලාෂ මණ්ඨක කුමරු රාජ්‍යයක් පිහිටුවූ අතර, එම රාජ්‍යය හැඳින්වූයේ රවිශෛලාෂ මණ්ඨක පදියම හෙවත් ගිරිකාල මණ්ඨක පදියම යන නමිනි. මෙම රාජ්‍ය පිහිටි ස්ථානය වර්තමානයේ හඳුන්වනු ලබනුයේ රකුන්ගිරි හෙවත් රිටිගල කන්ද යන නමිනි.

රාවණා රජුගේ පරම්පරා දෙකෙන් එකක් වූ කේවේසත්ථාන පරපුර ජීවත්වූයේ මුහුදුබඩ ප්‍රදේශය වාසස්ථාන කරගනිමිනි. නාවික තාක්ෂණය පිළිබඳ ඔවුනට හසළ දැනුමක් තිබූ අතර, පසු කලෙක ඔවුන් විදෙස් රටවල සංචාරය කරමින් එම රටවල් සිය වාසස්ථාන බවට පත්කරගනු ලැබිණ. මෙසේ පදිංචි වූ අය මායාකරුවන් ලෙස හැඳින්වුණු අතර, වර්තමානයේ ලෝකය පුරා කතාබහට ලක්වූ මායා දින දර්ශනය නිර්මාණය කළ මායාකරුවන් වූයේ ඔවුනගෙන් පැවැත ආ පරපුරයි.
රාවණ රජුගේ අනික් පරම්පරාව වූ රවිශෛලාෂ පරපුරට ගුවන්යානා, වාරි වාපි කර්මාන්තය පිළිබඳ හසළ දැනුමක් තිබූ අතර, ඔවුන් ඒ අනුව ජීවිකා වෘත්තිය ගෙනගොස් තිබිණ.

පසු කලෙක මෙම පරපුර දෙක අතර එකිනෙක ආවාහ-විවාහ සිදුවූ අතර, එය තව ජාතියක උප්පත්තියකට හේතු වී තිබිණ.
රාවණ හෙවත් කෞරාණ යනු මෙරට සහ ලෝකය පුරා ව්‍යාප්ත වූ යක්ෂ ගෝත්‍රික කෝණ වංශිකයන්ගේ මුල් නමයි. මොවුන් විජය රජු ලංකාවට පැමිණීමටත් පෙර අෑත අතීතයක සිට මෙරට පදිංචිව සිටි අතර, දැනට හෙළිදරවු වූ තොරතුරු සහ සාක්ෂි අනුව ලාංකිකයන්ගේ ඉතිහාසය ඒ අනුව විජය රජ සමය ඉක්මවූ අතීතයකට නෑකම් කියයි.

මෙහිලා දැක්විය හැකි වඩාත්ම වැදගත් කාරණය වනුයේ රාවණා රජුගේ මුනුපුරකු වන රවි ශෛලාෂ රජ කුමරුගෙන් පැවැත ආ නීලගිරි වංසයේ මහානාම රජුගෙන් ඇරැඹුණු පසු පරම්පරාවේ, පරම්පරාවල් තුනක් වර්තමාන ශ්‍රී ලංකාවේ අදටත් ජීවත්ව සිටීමයි. එම පරපුර මාතා බණ්ඩාර හෙවත් මුදලිහාමි හෙවත් රාජකරුණා මුදියන්සේගෙන් ඇරැඹුණු අතර, රාජකරුණා මුදියන්සේ සෝල්බරි ආණ්ඩුව සමයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධරයකු ලෙස කටයුතු කර ඇත.
මෙම මාතා බණ්ඩාර හෙවත් මුදලිහාමිට පුතුන් තිදෙනකු සිටි අතර, ඔවුන් කිරිබණ්ඩා, හීන්බණ්ඩා, ටිකිරි බණ්ඩා ලෙසින් හැඳින්විණ.
වැඩිමල් පුතා වන කිරි බණ්ඩාට දරුවන් සත්දෙනෙකි. ඒ පිරිමි දරුවන් වූ කපුරු බණ්ඩා, කළු බණ්ඩා, තිලකරත්න බණ්ඩාර, හීන්බණ්ඩාත්, ගැහැනු දරුවන් වූ ඩිංගිරි මැණිකා, සෝමාවතී, විමලාවතීත් වශයෙනි.

තෙවැනි පුතු වූ හීන් බණ්ඩාට පළමු විවාහයෙන් දරුවන් හතර දෙනෙක් ලැබිණ. ඒ පුතුන් වූ චන්ද්‍රසේන, විමලසේන, මුතු බණ්ඩා සහ දියණියක වූ සුමනාවතියි.
දෙවැනි පුත්‍රයා වූ ටිකිරි බණ්ඩා හෙවත් සිට්ටිය රාලට සිටියේ දියණිවරුන් තිදෙනෙකි. ඉන්ද්‍රාවතී, චන්ද්‍රාවතී සහ පේමාවතීයි.
මෙම දරුවන්ගෙන් කිරි බණ්ඩාගේ පුතකු වන තිලකරත්න බණ්ඩාරත්, හීන් බණ්ඩාගේ පුතකු වූ මුතු බණ්ඩාත් පැවිදි දිවියට ඇතුළත් වූහ.

තිලකරත්න බණ්ඩාර ගිහිනම අතහැර පැවිදි වූ කිරිබණ්ඩාගේ සිවුවැනි දරුවා පූජ්‍ය විමලරතන ස්වාමින් වහන්සේ, රාවණාගේ පරපුරෙන් පැවැත ආ තම පරපුර පිළිබඳ ඉතිහාසගත ලිපි ලේඛන, සාක්ෂි බොහෝමයක් මේ වන විට සොයාගෙන ඇත. මේ වනවිටත් උන්වහන්සේ සැඟවී ගිය කරුණු ගවේෂණය කරමින් සිටිති.
තමන් වහන්සේ සතුව යම් විස්මිත බලයක් තිබෙන බව වැටහෙන බවත්, එය සිත දියුණුකර හෝ ධ්‍යාන උපදවා ලබාගත්තක් නොවන බවත් පවසන උන්වහන්සේ තම දෑස් විවරව පවතින විට බොහෝ අතීත සිද්ධීන් සහ එහි දර්ශන තම දෑස් ඉදිරියේ ජීවමානව දිස්වන බවත් පවසා සිටිති. එය පරම්පරාවෙන් පැවැත ආ දෙයක් බව විශ්වාස කරන උන්වහන්සේ මායා දින දර්ශනය සහ අනාවැකි ගැන මෙබඳු අදහසක් ප්‍රකාශ කරති

මායාවරුන් කියා තිබෙන අනාවැකි සහ දින දර්ශනය වැරැදි විදියට වටහා ගැනීමෙන් ලෝකය කලබල වී ඇත. නමුත් එය එසේ කලබල විය යුතු කරුණක් නොවේ. යම් යම් අවාසනාවන්ත සිදුවීම් සිදුවුවත් එය ලෝක විනාශය නොවේ. ලෝක විනාශය පිළිබඳ සැබෑ මතය ප්‍රකාශ කරනු ලැබුවේ බුදුන් වහන්සේයි. එබැවින් කලබල නොවී වැඩිපුර පින්දහම් කටයුතුවල යෙදෙන්නැයි උන්වහන්සේ ඉල්ලා සිටිති.

අතීත රාවණා රජුගේ ලේ ඥාතීත්වය ජීවමානව දක්වන පරම්පරාව වන උන්වහන්සේගේ වර්තමාන පරම්පරාව ඉතා මනරම් වනගත භූමි ප්‍රදේශයක අප්‍රසිද්ධියේ ජීවත්වෙමින් රාවණාගේ ඉතිහාසය සහ ශ්‍රී ලංකාවේ අභිමානය ලෝකය හමුවට ගෙන ඒමට මහත් වෙහෙසක් දරමින් සිටිති.
මේ පිළිබඳව විශේෂ ලිපි, ඡායාරූප මාලාවක් නුදුරේම 'මව්බිම' මගින් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.


අරුණඩේල් විජේරත්න

0 comments:

Post a Comment