කූටකන්නතිස්ස රජුගේ පුත් භාතිකාභය රජුගේ කාලය අප රට ඉතිහාසයේ ඉතා වැදගත් තැනක් ගන්නේ බටහිර ලෝකය සමඟ කෙළින්ම වෙළෙහෙළ¼දාම් කිරීම ඇරැඹුණේ ඔහුගේ කාලයේ බැවිනි. එහෙත් එම රටවලට අපේ වෙළෙඳ ද්‍රව්‍ය ගියත්, ඒවා ගියේ ඉන්දියාව හරහාය. තැප්‍රොබේනය නමින් බටහිර ලෝකයා අතර ප්‍රසිද්ධව තිබුණු අපේ රට මේ ලෝකයේ අනෙක් පැත්තේ, එසේත් නැත්නම් මේ ලෝකයෙන් එහා පිහිටි රටක්ය යන ප්‍රචාරය සාර්ථකව පවත්වා ගැනීමට වෙළෙඳ ඒකාධිකාරය සියතට ගෙන සිටි අය සමත් වූහ. ක්‍රි.පූර්ව 330 තරම් අෑත කාලයක, ඇලෙක්සන්ඩර්ගේ අද්මිරාල්වරයකු සැබැවින්ම තැප්‍රොබේනය පිහිටා ඇති ඉසව්ව සොයා ගත්තත්, සුළු කලකින්ම බටහිර ලෝකයට එම සිද්ධියද අමතක වී ගොස් තිබිණි.
එහෙත් රෝමයේ ඔගස්ටස් සීසර් අධිරාජයාගේ කාලයේදී රෝම නැවක් මෝසම් සුළඟට හසුවී මෙරට වරායකට ගසාගෙන ආවේය. මෙම සිද්ධිය හේතුකොටගෙන මෝසම් සුළං රටාව පිළිබඳ නාවිකයන් දැනුම්වත් වීම නිසා ඉන් පසු කාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සඳහා මෙය උපකාරි විය. මෝසම් සුළං, වෙළෙඳ සුළං නමින්ද හැඳින්වෙන්නේ මේ නිසාය.
භාතිකාභය රජු රෝම නියෝජිත පිරිස මහත් උනන්දුවෙන් මුණ ගැසුණේය. ඔවුන් සමඟ දීර්ඝ සාකච්ඡාවක්ද කළේය. රෝමය සමඟ වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා මෙරටින් නියෝජිත පිරිසක් යැවීමටද තීරණය කළේය. මෙම සිද්ධිය ඉතා වැදගත් සිද්ධියක් හැටියට ප්ලිනි නම් රෝම ඉතිහාසඥයා විස්තර කරයි.
ඔගස්ටස් සීසර්, සිංහල නියෝජිත පිරිස මහත් හරසරින් පිළිගත්තේය. මෙම සිද්ධිය වූයේ ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ කාලයේදී යැයි ප්ලිනි සඳහන් කරතත් එය සැබැවින්ම සිදුවූයේ ඔගස්ටස් සීසර්ගේ කාලයේදී බව පසු කාලයකදී ඊජිප්තුවෙන් සොයාගත් ගී්‍රක රෝම සාක්‍ෂිවලින් පෙනේ. අපේ මහාවංසයෙන්ද මෙම සිද්ධිය වූයේ භාතිකාභයගේ කාලයේදී බව හෙළි වේ. එදා රෝම අධිරාජ්‍යයේම යටත් විජිතයක් වූ ඊශ්‍රායෙල් පෙදෙසෙහි බෙත්ලෙහෙම්හි ක්‍රිස්තුස් වහන්සේ උපන්නේත් අප රට භාතිකාභය රජුගේ කාලයේදීය.
සිංහල නියෝජිතයන් ආපසු එන ගමනේදී පබළු විශාල තොගයක් ගෙන ආ බව මහාවංසය කියයි. එය සීසර්ගෙන් ලැබුණු තෑග්ගක් විය යුතුය. ඉන්දියාවේ හින්දුන් අනාදිමත් කාලයක සිට පුද පූජා අවස්ථාවලදී පූජා භාණ්ඩයක් ලෙස පබළු යොදාගත් බව පෙනේ. එය අද ද ඉන්දියාවේ ඇතැම් පෙදෙස්වල සිදුවේ. ඔවුහු පූජනීය වස්තූන් පබළුවලින් සරසති. මෙම සිරිත අප රට බෞද්ධයන් අතරද මෙම කාලයේදී තිබුණු බව පෙනේ. භාතිකාභය රජු, රෝමයෙන් ගෙනා පබළු ගෙන දැලක් සාදා එම දැලෙන් මහාථූපය වැසූ බව මහාවංසය කියයි. මෑත දී ජේතවන ව්‍යාපෘතියේ කැණීම්වලදීත් ලක්‍ෂ ගණනින් පබළු තොග හමුවූ බව මෙහිදී සැලකිය යුතුය.
තැප්‍රොබේනය ගැන ප්ලිනි සඳහන් කරන මේ කරුණුද ඉතා වැදගත්ය.
'පැරැන්නන් තප්‍රොබේනය දෙවැනි ලෝකයක් යැයි සිතූහ. එහෙත් මහා ඇලෙක්සන්ඩර්ගේ ආක්‍රමණවලදී තප්‍රොබේනය දිවයිනක් බවත්, එය පිහිටා තිබෙන්නේ කුමන ප්‍රදේශයකද යන බවත් සත්‍ය වශයෙන්ම දැන ගැනීමට හැකිවිය. ඇලෙක්සන්ඩර්ගේ ඔනිසික්‍රීටස් නම් අද්මිරාල්වරයා සිය නැව් කණ්ඩායම සමඟ කළ සංචාරකදී ඔහුට මෙම තොරතුරු දැන ගැනීමට හැකි විය.'
ක්‍රි. පූර්ව 6 වැනි ශත වර්ෂයේදී පවා ගී්‍රකයන්ගේ හා රෝමකයන්ගේ නැව් දකුණු ඉන්දියානු වරායවල දක්නට ලැබිණි. මෙම දෙකොට්ඨාසයම දකුණු ඉන්දියානුවන් විසින් හඳුන්වන ලද්දේ 'යවන' යන නමිනි. අපේ පාලි පොත්වල 'යෝනක' නමින් හැඳින්වෙන්නේද මොවුන්මය. පණ්ඩුකාභය රජු යවනයන් වෙනුවෙන් අනුරාධපුරයේ වෙනම වීථියක් වෙන් කළ බවද කියැවේ. මෙයින් පෙනෙන්නේ භාතිකාභයගේ කාලයේදී පැමිණි දූත පිරිසටත් පෙර සිට මෙම ජාතීන් පිළිබඳ දැනීමක්, හැඳිනීමක් අප රට ජනතාවට තිබුණු බවයි. භාතිකාභයගේ කාලයේදී සිදු වූයේ තැප්‍රොබේනයට කෙළින්ම එන මුහුදු මාර්ගය සොයා ගැනීම පමණි.
ඇලෙක්සන්ඩර්ගේ ආක්‍රමණවලින් පසු ඊජිප්තුවේ සිට යුරෝපය හරහා ඉන්දියාවට එන තෙක් පර්සියන් භාෂාව ජාත්‍යන්තර වෙළෙඳ භාෂාව වශයෙන් පැතිරී තිබුණු බව පෙනේ. ශත වර්ෂ ගණනක් තිස්සේම එම තත්ත්වය එසේම පැවැතිණි. ක්‍රි. වර්ෂ 1344දී පමණ මෙරටට පැමිණි ඉබන් බතුතා, ආර්ය චක්‍රවර්ති රජු සමඟ කතා බහ කළේද පර්සියන් භාෂාවෙනි. ක්‍රි. වර්ෂ 1409දී චිං හෝ නම් චීන අද්මිරාල්වරයා ගාල්ලේ පිහිටු වූ ත්‍රිභාෂා සෙල්ලිපියද ලියා ඇත්තේ පර්සියන්, චීන හා දෙමළ භාෂාවලිනි. රාජරාජගේ මහාද්වීපික ආක්‍රමණවලින් පසු දෙමළ භාෂාවද දකුණු ආසියාවේ ජාත්‍යන්තර භාෂාවක් වශයෙන් භාවිත වූ බැවින් මෙසේ දෙමළ භාෂාවද යොදා ගන්නට ඇත.
සිංහලයන් හා රෝමකයන් අතර ඇති වූ සාකච්ඡාවලදී කුමන භාෂාවක් උපයෝගී කරගන්නට ඇත්ද? රෝමයේදී ඇති කරගත් වෙළෙඳ ගිවිසුම කුමන භාෂාවකින් ලියැවෙන්නට ඇත්ද? භාෂා ප්‍රශ්නයක් ඔවුන්ට එතරම් බලාපෑ බවක් නොපෙනේ. එපමණක් නොව චීනය සමඟත් ආසියාවේ අනෙකුත් රාජ්‍යයන් සමඟත් සිංහලයෝ වෙළෙඳ හා සංස්කෘතික සම්බන්ධකම් දිගටම කරගෙන ගියහ. මේ අවස්ථාවලදී ද භාෂා ප්‍රශ්නයක් බලපෑ බවක් නොපෙනේ. අද මෙන්ම එදත් රට රටවල් අතර ගනුදෙනු කර ගැනීමේදී ඔවුන් ජාත්‍යන්තර භාෂා උපයෝගී කරගන්නට ඇත. මේ සෑම රටකම එම භාෂා ඉගෙනීම සඳහා පහසුකම් තිබෙන්නට ඇත. එදා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඇති කළ මහා අධිරාජ්‍යයේ පොදු ජාත්‍යන්තර භාෂාව පර්සියන් භාෂාව වූ බවයි පෙනෙන්නේ. ඇතැම් විට සිංහලයන් හා රෝමකයන් අතර සන්නිවේදන කටයුතු කෙරෙන්නට ඇත්තේ පර්සියන් භාෂාවෙන් විය හැකිය. ආසියානු ජාතීන් අතර ඇතැම්විට පාලි හා සංස්කෘත භාෂා ජාත්‍යන්තර භාෂා හැටියට යෙදෙන්නට ඇත. මේ හැර සියලුම ඉන්දියානු ජාතීන් අතර කටයුතු කිරීම සඳහා සියලු දෙනාටම පොදු ජීව භාෂාවක් යොදා ගත්තේද යන්න පිළිබඳ පර්යේෂණ පැවැත්විය යුතුය. එක දෙයක් නම් ඉතාම පැහැදිලිය. මුල් යුගයේ සිට අපේ රජවරුන්, ඔවුන් ලැබූ අධ්‍යාපනයේ කොටසක් වශයෙන් ජාත්‍යන්තර කටයුතු සඳහා අවශ්‍ය භාෂා ඉගෙන ගෙන සිටි බවට කිසිම සැකයක් නැත.
මුල් කාලයේ සිටම සිංහලද්වීපය ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් විය. රෝමය සමඟ ඇති කරගත් වෙළෙඳ ගිවිසුමෙන් පසු එම තත්ත්වය විශාල වශයෙන් දියුණු වන්නට ඇති බව පෙනේ. ගොඩවාය, මාතොට ආදී පැරැණි වරායවල් අසල තිබී සොයා ගත් දස දහස් ගණනින් යුත් රෝම කාසි තොග ඊට දෙස් දෙයි. සිංහලයන් මුලින්ම මෙරටට පැමිණියේ ඔවුන්ගේම විශාල නැව්වලිනි. ඔවුන් මුල සිටම නැව් තැනීමේ කර්මාන්තයෙහි දක්‍ෂයන් වූ බව පෙනේ. නැව් තැනීමට අවශ්‍ය වූ දැව වර්ග ඕනෑ තරම් මේ රටේ තිබිණි. නැව් තැනීම සඳහා අවශ්‍ය දැව පිටරට යැවීමද අප රට පැවැති ප්‍රධාන ව්‍යාපාරයකි. සිංහලයන් සතු වෙළෙඳ නැව් සෑම වරායකම දක්නට ලැබුණු බවට ඓතිහාසික සාක්‍ෂි ඇත. චීනයේ යැංසිකියෑං ගඟේ වරායවලද සිංහල නැව් දක්නට ලැබුණු බව කියැවේ. මුතු මැණික් සහ කුළුබඩු අපේ ප්‍රධාන වෙළෙඳ ද්‍රව්‍ය වූ අතර පසු කාලයේදී සහල්ද පිටරට යැවිණි. නැව් තනා පිටරට යැවීමේ මහා පරිමාණ ව්‍යාපාරයක්ද අප රටේ නොයෙක් කාලවල තිබුණු බව පෙනේ.
රාජ්‍ය ගෞරවයට පමණක් නොව සමස්ත ස්ත්‍රී වර්ගයාටම නින්දාවක් ගෙන දුන් කුප්‍රකට අනුලා රැජනගේ ක්‍රියා කලාපය වුවද රටේ ආර්ථික දේහයට හෝ වෙළෙඳ ව්‍යාපාරවලට හෝ එතරම් බලපෑමක් ඇති නොකරන්නට ඇත. එයට හේතුව එදා පණ්ඩුකාභය විසින් මෙහි පිහිටුවන ලද ක්‍රමවත් හා ශක්තිමත් පාලන තන්ත්‍රයයි. එක් එක් ප්‍රාදේශීය නායකයන් තම තමන්ගේ පෞද්ගලික අභිවෘද්ධිය සාදා ගන්නට නම් තම ප්‍රදේශයේ අභිවෘද්ධිය ඇති කළ යුතු විය. වැව් ඕනෑම ප්‍රදේශයක හදවතයි. ඒවා පිළිසකර කිරීම, නඩත්තු කිරීම හා අවශ්‍ය නම් තවත් වැව් ඉදිකිරීම මෙම නායකයන් අතින් අඛණ්ඩවම සිදුවිණි. තමන්ගේ ආදායම වැඩි වන්නේ රටේ ආදායම වැඩි වූ තරමටය. ඔවුන්ට වෙනත් වැටුපක් නොලැබෙන බැවිනි. මෙවැනි ක්‍රමයක් මඟින් රටේ ආර්ථිකය ඉබේම දියුණු වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
සිංහලයන් පැමිණීමට පෙර සිටම මෙහි පැවැතුණු මුතු හා මැණික් වෙළෙ¼දාම කවදත් රටට ධනය ගෙන එමින් තිබිණි. මුතු පමණක් නොව සක් බෙල්ලන් (හක් ගෙඩි)ද අප රටින් පිටරට යැවුණු වැදගත් වෙළෙඳ ද්‍රව්‍යයක් විය. මේ රටින් පිටරට යැවුණු ප්‍රධාන දැව අතර කළුවර, කළුමැදිරිය, පතඟි ආදිය ප්‍රධාන තැනක් ගති. සුවඳ විලවුන් වශයෙන් හා ඔෟෂධයක් වශයෙන් අවශ්‍ය වූ සඳුන් හා කොකුම් ගස්ද මෙරට වනාන්තරවල සුලබ විය. අපේ වන සම්පත එදා සම්පත් ආකරයක් විය. ඇතුන් කෙසේ වෙතත් අලින් පිටරට යැවීමද ප්‍රධාන වශයෙන් සිදුකෙරිණි.
කුරුඳුවලට සංස්කෘත භාෂාවෙන් 'සිංහල' යන වචනයද යෙදේ. එයට හේතුව සිංහලද්වීපයෙන් හඳුන්වා දෙන ලද කුළුබඩු වර්ගය වීමයි.
ඩබ්ලිව්.එස්. බණ්ඩාර මහතාගේ 'යටගියාවේ යට ගිය තැන්' ග්‍රන්ථයෙනි |
0 comments:
Post a Comment