Dec 13, 2012

"දියවඩන නිළමේවරයා ජාතියෙන් සමාව ගත යුතුයි..."


අතීත හෙළ රජදරුවන් විසින් ශාසනාලයෙන් යුතුව බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්නට යෙදුණු බුද්ධ භෝග හා සාංඝික දේපොළ මහා සංඝරත්නයේ කිසිඳු අනුදැනුමකින් තොරව, දළදා වහන්සේගේ ගිහි භාරකරුවා වන දියවඩන නිළමේවරයා විසින් සදාචාර විරෝධීව, අත්තනෝමතිකව විකුණා දමා අයථා ලාබ ලබන බවට ප්‍රබල සැකයක් පවතින්නේ යැයි බොදු බල සේනා ජාලය අවධාරණය කරයි. 
2012 දෙසැම්බර් 13 වැනි දින තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පිහිටි බොදු බල සේනා ජාතික මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එම සංවිධානය අවධාරණය කර සිටියේ මේ පවතින සැකසංකා සම්බන්ධයෙන් කඩිනම් හා විධිමත් පරීක්ෂණයක් පවත්වා වහාම අවසන් තීරණයක් ගතයුතු කාලය එළැඹ ඇති බවයි. මේ අවස්ථාව සඳහා බොදු බල සේනා ප්‍රධානී පූජ්‍ය කිරම විමලජෝති නාහිමියෝ, මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් සහභාගී වී සිටියහ. 
මෙහිදී අදහස් දක්වමින් බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මෙසේ අනාවරණය කර සිටියහ.

"දියවඩන නිළමේ කියන්නේ රටේ සමස්ත බෞද්ධයන්ගේ නායකයා. දළදා වහන්සේගේ ගිහි භාරකාරයා. අද මේ රටේ බෞද්ධයන්ට, බෞද්ධ උරුමයන්ට හානිකර දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒත් දියවඩන නිළමේ නෙමෙයි කටක් ඇරියේ. ඒ වෙනුවට උන්නැහේ මොකද කරන්නේ...? මේ උත්තම තනතුර පාවිච්චි කරලා, ඒ තනතුරට නොගැළපෙන ආකාරයේ විශාල ක්‍රියාදාමයක නියැලී ඉන්නවා. දළදා වහන්සේ උදෙසා විවිධ රජවරු මැති ඇමතිවරු පූජා කරපු ඉඩකඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවායේ නෛතික තත්ත්වයනුත්, පූජා කිරීමේ අරමුණුත් එකිනෙකට වෙනස්. හැබැයි එක ඉඩම් වර්ගයක් තියෙනවා, ඒවාට කියන්නේ "රාජකාරී ඉඩම්" කියලා. පවතින නීතිය අනුව ඒ රාජකාරී ඉඩම් බදු දෙන්නත්, විකුණන්නත් පුළුවන්. හැබැයි මේ ඉඩම් බදු දුන්නාට, විකුණුවාට ඒ බදු දෙන හෝ විකුණන මුදලට සමානම මුදලක් දළදා මාළිගාව නමින්, දළදා වහන්සේට කැප කරලා බැංකුවේ තැන්පත් කරන්න ඕන.  

නමුත්, අක්කර දෙකක් වටිනා මාළිගාවේ විහාර සන්තකයේ ඇති එක්තරා ඉඩමක් පෞද්ගලික සමාගම් සමග එකතු වෙලා පවතින නීති ප්‍රකාරව දළදා වහන්සේ වෙනුවෙන් ලක්ෂ තුනක භාරයක් සහිතව මිලියන පහළොවකට විකුණලා තිබෙනවා. දැන් ගැටලුව තිබෙන්නේ ලක්ෂ 150ට විකුණපු ඉඩමට දළදා වහන්සේ වෙනුවෙන් ලක්ෂ තුනක භාරයක් තිබ්බම ඉතුරු මුදලට මොකද වුණේ කියන එකයි. ඒ වගේම තවත් අක්කර කිහිපයක ඉඩමක් තිබෙනවා, ඒ ඉඩම වෙනුවෙන් නීති ප්‍රකාරව ලක්ෂ තුනක් තැන්පත් කරලා, ඒ ඉඩමේ එක පර්චසයක් අවමය රුපියල් 50,000/- බැඟින් විකුණා තිබෙනවා. එපමණක් නොවෙයි ඒ ඉඩම්වල තිබුණු වටිනා  ගස්කොළන් කපා දමා ඉවත් කර තිබෙන අතර ඒවායින් ලැබුණු මුදල්වලටත් මොකද වුණේ කියලා විශාල ගැටලුවක් තිබෙනවා. මේ කිව්වේ සිද්ධ වෙලා තියෙන අක්‍රමිකතා දෙකක් විතරයි. තවත් බොහෝ දේවල් අපිට වාර්තා වෙලා තියෙනවා. මේ ඉඩම් විකුණන්න අත්සන් කරන්නේ මේ දියවඩන නිලමේවරයයි, බෞද්ධ කටයුතු නියෝජ්යව කොමසාරිස්වරයයි. දෙයියනේ ඇහැ කන තියෙන මිනිහෙකුට තේරෙනවා ශාසනාලයක් තිබිච්ච රජවරු පූජා කරපු ඉඩම්, පෞද්ගලික සමාගම් එක්ක එකතු වෙලා මේ විදිහට සින්නක්කරව කට්ටි කරලා විකුණන්න මේ හොරු දෙන්නට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද කියලා. 

බුද්ධ භෝග කොල්ලකන මේ  සිස්ටම් එකත් නියමෙටම හදල තියෙනව. එක හොරෙක් ඉන්නව මාළිගාව ඇතුළෙ. ඒ හොරා එළියට පේන්නෙ නෑ... ඒ හොරා තමයි බෞද්ධ කටයුතු නියෝජ්‍ය කොමසාරිස්. ඒ  හොරා ඉන්නෙත් මහ හොරාගෙ උදව්වට. ඒ නිසා බොහෝ විට පේන්නෙත් මහහොරාගෙ වැරදි විතරයි. මොනා වුණත් මේ හොරු දෙන්න කරන්නෙ එකම හොරකමමයි. 

දැන් කෙනෙකුට අහන්න පුළුවන් මේවා සිද්ධ වෙද්දී මහානායක හාමුදුරුවරු පොල් ගෑවාදකියලා. සැබැවින්ම උන්වහන්සේලාට මේවාට එරෙහිව මුකුත් කරන්න තරම් බලයක් නෑ... මහානායක තනතුර අද හරියට නාමික විධායකයක් වගේ. උන්වහන්සේලා උපදේශකවරුන්ගේ තත්ත්වයට ඇදවැටිලා තියෙනවා. ඒ දෙන උපදේශයක්වත් මේ බෞද්ධ නාමධාරී නිලධාරීන් බලධාරීන් විසින් පිළිපදින්නේ නෑ. ඒ නිසා උන්වහන්සේලාට දොස් පරවලා වැඩක් වෙන්නේ නෑ. වරද තියෙන්නේ බලය හිමි පිරිස් තුළයි. 

මේ හරක් මෙන්න මේ විදිහට කටයුතු කිරීම ඇතුළේ නේද අද අපිට ගම්පොළ වගේ ඓතිහාසික නගරයන් අහිමි වෙලා තියෙන්නේ...? එතකොට අපි අද කෑ ගහනවා අන්‍යාගමිකයන් ඉඩම් කොල්ලකනවා කියනවා... බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා. මේ නිලධාරීන්ගේ අදූරදර්ශී වැඩපිළිවෙල නිසා නේද අද එවන් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ...? බෞද්ධ සිද්ධස්ථාන වටේ ඉස්ලාම් භක්තිකයො රොක් වුණාම ඒ මිනිස්සු සඳකඩපහණේ අගය අඳුනන්නේ නෑ... මුරගලේ අගය අඳුනන්නේ නෑ... බෝධියේ - දාගැබේ - බුදුපිළිමයේ අගය අර්ථය අඳුනන්නේ නෑ... ඉතිං ඒවා විනාශ කරනවා. ඒ තත්ත්වයට අද බෞද්ධ උරුමය ඇද දැම්මේ කවුද? අපේ උපාසක අම්මලා තමන්ගේ ගෙවල් දොරවල් පවා හදාගන්නේ නැතුව මාළිගාවේ දළදා ප්‍රදර්ශන පෙන්වනකොට ගිහිල්ලා තමන්ගේ කණකර ආයිත්තම් ටික ගලවලා එවෙලේම පූජා කරනවා දළදා වහන්සේට. තමන්ගේ බඩට බත්පිඬ නොදා පින්පුරනවා අපේ මිනිස්සු. එහෙව් එකේ මේ ජෝඩුව මොකක්ද කරන්නේ...? දළදා වහන්සේගේ නාමයෙන් දළදා මාළිගාව සතු දේපොළ සියල්ල තමන්ගේ අම්මගෙන් අප්පුච්චගෙන් ලැබුණු පෞද්ගලික බූදලයක් කරගෙන දළදා මාළිගාව පෞද්ගලික සමාගමක් විදිහට පවත්වා ගෙන යනවා. මේ ලැබෙන මුදල්වලින් මේ අය අද වෙනතුරු අඩුම තරමින් මේ රටේ බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවන්න මොනවාද කරලා තියෙන්නේ කියලා විමසන්න ඕන. දුප්පත් බෞද්ධයො වෙනුවෙන් මොනවාද කරල තියෙන්නෙ. සමස්ත රට වැසියා වෙනුවෙන් නොවුණත්, අඩුම තරමේ මධ්‍යම පළාතටවත් මොනවාද කරලා තියෙන්නේ...?"

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ:

"1931දී සුද්දන් විසින් හැදූ විහාර හා දේවාලගම් පනත අනුව තමයි මේ තරම් අත්තනෝමතික විදිහට මේ ඇත්තන්ට කටයුතු කරන්න වරම් ලැබිලා තියෙන්නේ. පනතට අනුව මේ ඇත්තෝ නිවැරදි වෙන්න පුළුවන්. නමුත් එහෙම කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. දෝෂාභියෝගයක් වෙනුවෙන් අපේ රටේ ව්‍යවස්ථාදායකය අලුයම දෙක වෙනකල් වෙහෙස වී වැඩ. නමුත්, මේ තරම් යුහුසුළුව වැඩ කරන අපේ නිලදරුවන්ට නොහැකි වී තිබෙනවා, තවමත් මේ නීති පද්ධතිය අපිට ගැළපෙන විදිහට වෙනස් කරගන්න. 

අපි කියනවා සුද්දා හදපු විහාර හා දේවාලගම් පනතට සංශෝධනයක්වත් එපා. එය වීසි කර දමන්න. මොකද එහි අඩුපාඩු බොහොමයි. මේ නිළමේවරු ලක්ෂ තුනක් වැනි සොච්චමකට විහාර සන්තක දේපොළ විකුණලා ඉතිරිය යටිමඩි ගහගන්නේ පනතේ ප්‍රකාරව නියම කළ හැකි උපරිමය ලක්ෂ තුනක් නිසා. සුද්දගෙ කාලෙ පනවා තිබූ ඒ නීතිය යටතේ කටයුතු කරමින් වර්තමාන තක්සේරු මුදලට ඉඩම් විකුණලා පස්සේ විශාල ලාභයක් තමන්ගේ සාක්කුවට දමාගන්නවා. ඒ වගේම ව්‍යාජ චීවරධාරියෙක් අසුවුණොත් එවැන්නෙකුට මේ පනත යටතේ නියම කෙරෙන උපරිම දඩය රුපියල්.50/-යි. අද දවසට සාපේක්ෂව මේවා විහිළු නොවෙයිද?

ඒ නිසා අපිට ගැළපෙන ක්‍රමවේදයක් බොදු බල සේනාවෙන් අපි හදා දෙන්නම්. වහාම එය ක්‍රියාවට නංවන්න. මෙතෙක් විකුණා දැමූ දළදා මාළිගාව සතු විහාර දේපොළ යළිත් පවරා ගන්න. එය පනතට අනුවම කරන්න පුළුවන් දෙයක්. දැනට බදු දී ඇති සහ බදු දෙන්නට තිබෙන දළදා මාළිගාව සතු දේපොළ පිළිබඳ විධිමත් වාර්තාවක් රටට හෙළිදරව් කරන්න. එහි වගකීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් බාරගන්න ඕන. මේ ඉන්න දියවඩන නිළමේවරයාගේ දූෂණ අක්‍රමිතකා සම්බන්ධයෙන් අපේ අනුදැනුමත් ඇතිව විධිමත් පරීක්ෂණයක් පවත්වන්න. දළදා මාළිගාවේ තනතුරේ ගෞරවය ආරක්ෂා වීම සඳහා අඩුම තරමේ ලැජ්ජා බය ඇති, ශාසනාලයැති ගුණ යහපත් සිංහල බෞද්ධයෙක් පත්කරන්න. ඒකට අමුතුවෙන් ගෞරව නම්බු නාම උපාධි තියෙන්න අවශශ්‍යය නෑ. ඒ පත්වෙන නිළමේවරයා හොඳින් "පේත වත්ථුව" දැනගත්තහම ප්‍රමාණවත්. එතකොට පාපයට ලැජ්ජා බිය ඇතිවෙලාවත් මේ උරුමය කොල්ලනොකා, කොල්ලකන්න ඉඩ නොදී, සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටිමින් හොඳින් කටයුතු කරාවි. මහන්තත්තකමක් නැති, පුහු උද්ධච්චබවින් මිදුණු අව්‍යාජ මිනිසෙක් මේ සඳහා පත්කරන්න. ඒ වගේම අපි අවධාරණය කරන්න ඕනි දියවඩන නිළමේ තනතුර උඩරටට විතරක් සීමා වෙච්ච දෙයක් නොවෙයි. එය අමුතුවෙන් පරම්පරාගතව පැවත එන්න ඕනා නෑ... ධූරයේ ගෞරවය ආරක්ෂා කරන සිංහල බෞද්ධයෙක් පත්කිරීමයි වැදගත්. අද දියවඩන නිළමේ ධූරය උඩරටටම සීමා වෙලා. ඇරත් මුදල් බලයටම යටවෙලා. ඇයි එතකොට මේ රටේ අනිත් බෞද්ධයෝ බෞද්ධ නෙමෙයිද? ඒ ඇත්තෝ අහසින් කඩන් පාත්වෙලාද? 

ඒ වගේම අපි විශේෂයෙන් අවධාරණය කරන්න ඕනි; ඔය "නිලංග දෑල බණ්ඩාර" කියන පඤ්චස්කන්ධයත් එක්ක අපේ කිසිම පෞද්ගලික කෝන්තරයක් නෑ. ගැටලුව තියෙන්නේ මේ උත්තම ධූරයේ ගෞරවය පිළිබඳවයි. එය කෙළෙසන්න කිසිවෙකුටත් ඉඩ තියන්න බෑ. දළදා වහන්සේගේ භාරකාරයා අතිශය සම්භාවනාවට පාත්‍ර වූ උතුම් මහජනහිතකාමී පුද්ගලයෙක් වෙන්න ඕන. කරුණාකරලා මේ දියවඩන නිළමේවරයා මේ ධූරයෙන් ඉවත් කරන්න. ඔහු ප්‍රසිද්ධියේ ජාතියෙන් සමාව ගත යුතුයි. මාධ්‍ය ඉදිරියේ තමන්ගේ අකටයුතුකම් පිළිබඳ ස්වයං කරුණු දැක්වීමක් කළ යුතුයි. මොකද ඔහුට එරෙහිව නඩුහබ දහයකට වැඩි ප්‍රමාණයක් තිබුණත් තවමත් ඒවා සම්බන්ධව කිසිවෙක්ම මුකුත්ම දන්නේ නෑ... කාගේවත් අවධානයක්වත් මේ කෙරෙහි නෑ... 

කෙසේ වෙතත්, මෙතෙක් විකිණූ ඉඩම් සියල්ල යළිත් පවරා ගැනීමට බලකළ යුතුයි. නව නීති සම්පාදනය කළ යුතුයි. එවිට බෞද්ධ උරුමය අන්‍යාගමිකයන්ට, මිලේච්ඡ ගෝත්‍රිකයන්ට ගොදුරු වීමේ අවදානම ඉවත්කරගත හැකියි. එලෙස පවරා ගන්නා පරවේණි ඉඩම්වල දුප්පත් සිංහල බෞද්ධයන් පදිංචි කරවලා, ඒ මිනිස්සුන්ට යහපත් ජීවනෝපාය මාර්ගයක් සකස්කරලා දීලා ඒ ලැබෙන ආදායමෙන් දළදා මාළිගාවේ නඩත්තු කටයුතු සිදු කරන්න. එය වඩාත් කාලෝචිත පියවරක් වේවි. නැත්නම් මේ සිද්ධ වෙන දූෂිත ක්‍රියාදාමයන් මේ රටේ බෞද්ධ බලය ඩැහැගන්න කෙළ හලන පෙරේත අන්‍යාගමික බලවේගවලට මනා රුකුලක් වේවි."

යනුවෙන් සඳහන් කර සිටියේය.

වීඩියෝව පහතින් 

පංචන ජයසිංහ

http://panchanajayasinghe.blogspot.com/2012/12/blog-post_13.html#more

0 comments:

Post a Comment