Jan 14, 2013

ශ්‍රී ලංකාවේ දකුණු පළාත ඒ කාලෙ ප්‍රබල යක්ෂ රාජධානියක්



රාවණාගේ වත්මන් ලේ නෑ පරපුර අද වර්තමානයේ රැඳෙමින්, අනාගතයට ‍ෙදාර කවුළු විවර කිරීමට අතීතය කණිමින් සිටියි. ඒ හිතුවක්කාර විදියට අරහෙන් මෙහෙන් කරනු ලබන කැණීමක් ලෙසින් නොවේ. ඒ ගැන පූජ්‍ය විමලරතන හිමි මෙසේ කියයි.


අපගේ මේ තොරතුරු ගවේෂණය, හෙළිදරව්ව අතීතය ගැන නොව ලංකාවේ අනාගතය සඳහායි. මේ මතුවනුයේ ලෝක අනාගතයේ ලංකාවට හිමිවන ස්ථානයයි. ලංකාව යනු ලෝකයේ බලවත්ම රාජ්‍යය වූ බවත් අනාගත ලෝකයටද එය එසේම විය යුතු බවත්ය.


එහෙත් වත්මන් ලෝක හැඩගැස්ම අනුව එම තත්ත්වය ළඟාකර ගැනීම පහසු නැත. නමුත් ඉතා සැලසුම්සහගතව, ක්‍රමානුකූලව කටයුතු කරන්නේ නම් එය අපහසුවන්නේද නැත. ඒ සඳහා අවශ්‍ය වනුයේ එකම එක දෙයකි. එය වූකලි තුන්කල් දක්නා දේශපාලන දැක්මේ බුද්ධියේ ක්‍රියාවේ ආදීන භාවයයි.


මේ සියල්ල අපට කියාදෙන්නේ වරිග පුස්තක පූර්ණිකාවයි. මෙම වරිග පූර්ණිකා පුස්තකය අද වන විට සතුව තිබෙනුයේ ඉරුගල් බණ්ඩාර රවිශෛලාෂ රාජකරුණා පෙළපත සතුවයි. දැනට එහි බාරකරු ලෙස කටයුතු කරන්නේ මමයි.


මෙම වරිග පූර්ණිකා පුස්තකය සඟවාගෙන සුරක්‍ෂිත කරනුයේ ඉතිහාසගත පරපුරක තොරතුරු පමණක්ම නොවේ. ඒ අනුව, එය ඓතිහාසික ලියැවිල්ලක්ම යන මතය ඉක්මවාලමින් සිටියි. ඒ එම පුස්තකය තුළ රාවණා රජු සමයේ පැවැති රාජ්‍ය ව්‍යුහය සහ දේශපාලන දර්ශනය මැනැවින් විදහාපාන බැවිනි.


වරිග පූර්ණිකාවට අනුව, රාවණා රජු කාලයේ එදා ශ්‍රී ලංකාව පාලන ප්‍රදේශ හතරකට බෙදා වෙන්කර තිබිණි. ඒ පාලනයේ පහසුව සඳහායි. මෙසේ බෙදා වෙන් කළ කොටසකට යක්‍ෂ ගෝත්‍රික නමක්ද තිබිණි. එම නම වූයේ 'පදියම' යන්නය. මෙම පදියම යන වචනය අරුත්බර වැකියකට සම්බන්ධ කර ඔවුන් එම පාලන ප්‍රදේශ මෙසේ හඳුන්වා තිබිණි.


'හේත්‍ර කයිර මණ්ඨක පදියාන'

මෙම යක්‍ෂ ගෝත්‍රික භාෂාව ගැන පූජ්‍ය විමලරතන හිමි මෙසේ කියයි.


සිංහලයට පෙරළන තෙක් අපට නොතේරෙන ඉතා සුන්දර වූ භාෂාවකි. භාෂාවේ සෑම අකුරක්, වචනයක්, වැකියක් පාසා සඟවාගනු ලැබූ කිසියම් සුන්දරත්වයක් මතුවෙමින් තිබේ. අප හදවතට එය දන්වා ලනුයේ ඉතාමත් හුරුපුරුදු, නමුත් දැනට භාවිතයට නොගන්නා වූ ආගන්තුක නොවූ භාෂාවක් ලෙසටය.


යක්‍ෂ ගෝත්‍රිකයන්ට තිබුණේ මනරම් කාව්‍යමය භාෂාවකි. ගද්‍යයෙන් ලියුවද, පද්‍යයෙන් ලියුවද එහි සුන්දරත්වය අඩුවක් නොපෙන්වයි. මේ යක්‍ෂ ගෝත්‍රිකයන් විකෘති කාමාශාවන්ගෙන් තොර විය යුතු බව දක්වමින් යක්‍ෂ භාෂාවෙන් ලියූ සටහනකි. මෙම සටහනට දී ඇති නම වනුයේ 'දශාකාර රාගය' යන නමයි.


කාමාරාගය සත් පදය වී
ඊ පීතල රාගයෝ වී
ඊ දෙසුල් රාගයෝ වී
ඊ රාමල් රාගයෝ වී
ඊ ඛරත රාගයෝ වී
ඊ සුංගු රාගයෝ වී
ඊ ජලිත රාගයෝ වී
ඊ යාදී රාගයෝ වී
ඊ ඛහිත රාගයෝ වී
ඊ කාංගි රාගයෝ වී

මෙය සිංහලට නැඟූ විට මෙසේ කියැවෙයි.

පීතල රාගය - සමලිංගික හැසිරීමේ ආශාව.

රාමල් රාගය - ස්වයංකාම වින්දනය.

දෙසුල් රාගය - කෙසඟ සිරුරක් ඇති පුරුෂයකුගේ හෝ ස්ත්‍රියකගේ පහස පැතීම.

ඛරත කාම රාගය - තරබාරු සිරුරක් ඇති පුරුෂයකුගේ හෝ ස්ත්‍රියකගේ පහස පැතීම.

සුංගු කාමරාගය - කාම වින්දනය සඳහා වේලාවක් නොමැතිවීම. දරුවන්, වැඩිහිටියන් ගැවසෙන ස්ථානවල ගැන නොසැලකිලිමත් වී කාම සේවනයේ යෙදීම.

ජලිත කාම රාගය - පුරුෂයකුගේ ශරීරය දැකීමෙන් කාමයෙන් මුසපත්වීම.

යාදී කාම රාගය - බහු පුරුෂ සේවනයට ඇති කැමැත්ත.

ඛහිත කාම රාගය - කාම වින්දනය පරම සැපතක් කොට සිතීම.

රිපී කාම රාගය - ස්ත්‍රියකගේ අඟ පසඟ දැකීමෙන් කාමයෙන් මුසපත්වීම.

කාංගී කාම රාගය - මුඛ මාර්ග, වච්ච මාර්ග ආදී තැන්වල පහස විඳීමේ කැමැත්ත.

මෙම ක්‍රියා සිදුවී ඇත්තේ එකල මෙහි පැමිණි වෙළෙන්දන්ගෙන් බව යක්‍ෂ ගෝත්‍රිකයන් මෙහිම සඳහන් කර තිබේ. ඒවා වැළැක්වීමේ අරමුණින් මෙම වගන්ති සමාජයට දීම කර තිබේ.


යක්‍ෂ ගෝත්‍රික පරපුරේ මනරම් වූ කාව්‍ය ග්‍රන්ථයක් තිබේ. එය 'රක්ඛ මහිලා ග්‍රන්ථය' ලෙස හඳුන්වයි. මෙම රක්ඛ මහිලා ග්‍රන්ථය, යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ තේරී පූර්ණිකාවේ අඩංගු වන්නකි.


රවිශෛලාෂ පරපුරේ යක්‍ෂ ගෝත්‍රික පද්‍ය සාහිත්‍ය කලාව ගැන වරිග පූර්ණිකා පුස්තකය මෙසේ දක්වයි.


යක්‍ෂ ගෝත්‍රිකයන් කාව්‍ය ශෛලීන් පහක් අනුගමනය කර ඇත. ඒ මෙසේය. සත්ත ඉඳුබ, ජාතිස කාලමන, අග්ගිලා බෝජ, තිමිහිර, සළඹ සෝවුර.


"සිපිකි සොඳ ලුකමැ රවිශෛලාෂ යකුග සළඹ සෙවුර මෙරැක ඉඳුමුණ මුර තුමුස"

උඩුකය දැහැන සළුපොට සුසිල බව ළයේ
සුදැතිය නුඹගේ සත්පොට දැහැන ගෙල තියේ
සොබනය රුවින නෙත රසඳුනට සකි ලියේ
දකිතය උහුන කෙලෙසුන් බිඳෙති භව කයේ

"මේවායින් අපිට පැහැදිලි වන එක දෙයක් තියෙනවා. ඒ යක්‍ෂ ගෝත්‍රික පරපුර සතුව තිබූ සකල කලා ශිල්පවල දැනුම් සම්භාරය. එකල ඔවුන් ජීවත් වුණේ පරිසරය එක්ක. ඒ ජීවිතවලට රිද්මය වුණේ අව්ව, වැස්ස, සුළඟ. මේ හැම දෙයක්ම අපිට කියා පාන්නේ රණ ශූරයකු, පාලකයකු යනු සොබාදහමත් එක්ක ජීවත්වන කෙනෙක් කියලා. ඒ ජීවිතය තුළ තමයි "පෝනු, කයිර, මණ්ඨක, පදියාන" නමින් එදා ලංකාව කොටස් හතරකට බෙදෙන්නෙ.


මේ රාවණාගේ යුව රජ්ජුරුවො වුණේ ඔහුගේම පුතා. ඒ උපේන්ද්‍රමිණික කුමාරයා. ඔහු රජකමට එන්නෙ තාත්තාගෙන් පස්සේ. එදා රකුන්ගිර අද රිටිගල ප්‍රදේශය තමයි තමන්ගෙ රාජ්‍යය කරගත්තේ.


උපේන්ද්‍රමිණික රජ්ජුරුවන්ට පුතුන් දෙදෙනකු හිටියා. එක පුතෙක්ගෙ නම රවිශෛලාෂ මණ්ඨක. අනික් පුතා වුණේ කේවේසස්ථාන. මේ රවිශෛලාෂට තවත් නමක් තිබුණා. ඒ ගිරිකාල මණ්ඨක.


මේ කාලේ රාවණ රජ්ජුරුවන්ට ඔෟෂධ උයන් දෙකක් තිබුණා. ඒකෙන් එක් ඔෟෂධ උයනක් තිබුණේ උතුරුකරේ යාපනය කේන්ද්‍ර කර ගනිමින්. ඒකට කිව්වෙ පසිඳගිය මණ්ඨාල කියලා. මෙන්න මේ ඔෟෂධ උයන මුල්කරගෙන තමයි රාවණාගේ එක් මුනුපුරෙක් රාජ්‍යය ගොඩනැඟුවෙ. ඒ කේවේසස්ථාන කුමාරයා. ඒකට කියපු නම වුණේ කේවේසස්ථ මන්ඨක පදියම.


රාවණාගේ අනික් මුනුපුරා වුණේ රවිශෛලාෂ කුමාරයා. මේ කුමාරයා රාවණාගේ අනික් ඔෟෂධ උයන මුල්කරගෙන රාජ්‍යයක් ගොඩනැඟුවා. ඒ උයනෙ නම වුණේ අරවුද සෝත උයන කියන නම. ගොඩනැඟුව රාජ්‍යයට කිව්වෙ රවිලාෂ මණ්ඨක පදියම එහෙමත් නැත්නම් ගිරිකාල මණ්ඨක පදියම කියලා. මේ රාජ්‍යය තිබිච්ච තැනට එදා කිව්වෙ රකුන්ගිර කියලා. අද එතෙන්ට කියන්නෙ රිටිගල කන්ද කියලා.


මේ විදියට බලනකොට උතුරු නැඟෙනහිර පළාත්වල පදිංචිවෙලා හිටියෙ කේවේසස්ථාන වංශිකයන්. රිටිගල පැත්තෙ පදිංචි වෙලා හිටියෙ රවිශෛලාෂ වංශිකයන්. මෙන්න මේ රවිශෛලාෂ පරපුරට පරම්පරාගත රාජ නාමාවලියක් තියෙනවා. ඒක වරිග පූර්ණිකාවෙ මේ විදියට දක්වලා තියෙනවා.


කසාගිරි රජු, දෙව්ලගිරි රජු, වාරසික රජු, සේතකඨ රජු, උජුපල රජු, බැබිල ගිර රජු, මන්දාක රජු, අකිලික රජු, කීර්තිධීර රජු, රෞලාන රජු, මෝජගිරි සෙන්පති, උරසිකාර සෙන්පති, ඉදියර සෙන්පති, කන්කුර සෙන්පති, ගෝසල මාන සෙන්පති, භධාගිරික සෙන්පති.

රාවණාගේ පාලන කාලයේ එදා ලංකාව කොටස් හතරකට බෙදලා තිබුණෙ මේ විදියට.

1. ශ්‍රී ලංකාවේ උතුර හා උතුරු මැද ප්‍රදේශය.

එදා මෙම ප්‍රදේශය හැඳින්නුවෙ මෝභිශූන මණ්ඨක පදියාන කියලා. ඒ එක්කම ඒකට තවත් නමක් කිව්වා. ඒ කේවේසස්ක මණ්ඨක පදියාන කියලා.

2. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය.

මේක තමයි මෙරටේ විශාලම යක්‍ෂ ගෝත්‍රික බල ප්‍රදේශය. හැඳින්නුවෙ වායිකුජ මණ්ඨක පදියාන කියලා. මේ ප්‍රදේශය තවත් අනු මණ්ඩල හතරක් පාලනය කෙරුවා. ඒ සත්තානා රක්ඛ පදියම, මහාගිරි රක්ඛ පදියම, සබරගිරි රක්ඛ පදියම, කන්දර රක්ඛ පදියම කියලා.


එදා රකුන්ගිර සන්තාගිර අද රිටිගල කියන ප්‍රදේශය මුල්කරගෙන නීලගිරිය, ගිරිදේශය, උපුල්වන්ගිරිය, ලලාව දේශය, ධූමක කද්දිරිය වගේ ප්‍රදේශ යක්‍ෂ සෙන්පතිවරු පාලනය කෙරුවා.


3. ශ්‍රී ලංකාවේ නැඟෙනහිර ප්‍රදේශය.


ශෛරාකශිල මණ්ඨක පදියම විදියට හැඳින්නුවා. ත්‍රිකුණාමල බල ප්‍රදේශය යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ බල ප්‍රදේශ වුණා. මහියංගණ ප්‍රදේශයත් මේ බල ප්‍රදේශයට අයිති වුණා.

4. ශ්‍රී ලංකාවේ බටහිර ප්‍රදේශය.

හැඳින්නුවේ හිරසල මණ්ඨක පදියාන කියන නමින්. කොළඹ, ගම්පහ, කළුතර ප්‍රදේශ යක්‍ෂ ගෝත්‍රිකයො බල ප්‍රදේශ කරගෙන පාලනය කළා.


මේ රාජ පරම්පරාවෙ හිටියා මහානාම රජ කියලා කෙනෙක්. මේ මහානාම රජු රජ කරන කාලයේ විවාහක බිසවකගේ ඉල්ලීමක් පිළිඅරගෙන කර්මාන්ත දෙකක් කළා. ඒ නීලගිරි වාපිය සහ නීලගිරි තෙර සිප්ගල. අදත් ඒ කර්මාන්ත දෙක තවම තියෙනවා. ඒවා අද හඳුන්වන නම් වෙනස්. ඒ පිළිවෙළින් මහානාම වාපී සහ මහානාම පිරිවෙන කියලා. මේක වරිග පුස්තකයේ දක්වලා තියෙනවා. ඒකෙ සිංහල තේරුම මේ විදියයි.


"සව් සිතින් භද්‍රපද වූ මහානාම ශ්‍රී නරේන්ද්‍රයාණෝ උග්‍ර හෘද මණ්ඩල ඒකාලෝක කළ රකුන්ගේ යස ශ්‍රිණිය සිරිමේඝා රත්නපාලි මහේෂිකාවුන් වහන්සේ හා සව්සිරින් වැජඹෙන්නේ එකල්හි රජු මෙහෙෂියන්ගේ බන්ධු වර්ගයා පිරිවරා වරිග සභා මණ්ඩපයේ වැඩ හිඳ නීලගිරි ග්‍රාම මහානාම ග්‍රාම ලෙසින් කළෙමි."


(ලබන සතියට)

1 comments: