Jan 3, 2013

මෙක්සිකෝවෙන් හමුවූ (පිටසක්වල ජීවී) මානව කපාලය


බැලූ බැල්මට රිඩ්ලි ස්කොට්ගේ ‘Alien’
12-3
ගණයේ චිත්‍රපටයකට වස්තු බිජය සපයන කතා තේමාවකට උචිත යැයි හැඟී යන මේ අපූරු හිස්කබල, පිටසක්වල ජීවියෙකුට අයත් වූවක් නම් නොවේ. මෙක්සිකෝවේ, ඔහාවාස් ගම්මානයේ පිහිටි පැරණි සුසාන භූමියකින් සොයා ගන්නා ලද වසර දහසක් පැරණි මෙම මානව හිස්කබල කපාල විකෘතිතාවකින් පෙළුණු ආදි මානවයෙකුගේ වන අතර කපාලයේ හැඩය වෙනස් කිරීම සඳහා හිස්කබල බන්ධනය කිරීමේ පුරාණ සම්ප්‍රදාය පෙන්නුම් කරමින් මෙක්සිකෝවෙන් හමුවූ එබඳු ගණයේ පළමු හිස්කබලද වන බවක් කියැවේ.පූජාකර්ම සඳහා මෙන්ම එක් ජනකොට්ඨාසයකින් තවෙකක් වෙන්කර හඳුනාගැනීම සඳහාද පුරාණ මෙකො ඇමෙරිකානු සංස්කෘතීන් තුළ කපාල විකෘතිතාවන් යොදාගැනීම සුලබ පිළිවෙතක් විය. සුසාන භූමියෙන් සොයාගන්නා ලද ඇටසැකිලි විසිපහෙන් දහතුනකම මෙසේ ඕනෑකමින් ඇති කරන ලද කපාල විකෘතිතාවන් දැකගත හැකි අතර ඊට අමතරව, දන්ත විකෘතිතාවන් සහිත ඇටසැකිලිද එහිදී සොයාගැනීමට හැකිවීම විශේෂයකි. උතුරුදිග මෙක්සිකෝවේ විසූ විවිධ ජන කණ්ඩායම් අතරවූ සංස්කෘතීන්ගේ කදිම සංකලනයක් මෙම සුවිශේෂී කැණීම මගින් හෙළිදරවු කරගැනීමට හැකිවූ බව පුරාවිද්‍යාඥ ‘ක්‍රිස්ටිනා ගාෂියා මොරේනෝගේ’ අදහසයි.12-1
මෘත ශරීරවලින් බොහොමයක් කැලිෆෝනියානු බොක්ක ආශ්‍රිතව දැකගැනීමට හැකි සිප්පි හා බෙලිකටු ඇසුරෙන් තැනූ වළලු, නාස්මුදු වැනි ආභරණ පැළඳ සිටියදීම මිහිදන් කෙරී ඇති අතර එහිවූ එක් ඇටසැකිල්ලක උදරය මත තැන්පත්කොට තිබූ දැවැන්ත කැස්බෑකටුව විශේෂ අවධානයට බඳුන්ව තිබිණි.12-2
ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය වෙනුවෙන් කැණීම් ව්‍යාපෘතිය මෙහෙයවන ලද පුරාවිද්‍යාඥ මොරේනෝ ප්‍රකාශ කරන අන්දමට මෘත ක‍ලේබරයන්හි දැකිය හැකිවූ දන්ත විකෘතිතාවන් වැඩිවියට පත්වීමේදී සිදුකළ චාරිත්‍රයක ප්‍රතිඵලයක් වන අතර විශේෂයෙන් ‘නයාරිට්’ වැනි සංස්කෘතීන් තුළ මෙය ප්‍රකටව පැවැති සම්ප්‍රදායකි. කපාල විකෘතිතාවන් ඇති කිරීමේ අරමුණින් සිදුකරන ලද කපාල බන්ධනයන්හිදී (බැඳීම) ළදරුවකුගේ උපතින් මාසයක් වැනි කෙටි කාලයක් ඇතුළතදී එනම් අස්ථි තවමත් මෘදු තත්ත්වයේ පවතිද්දීම කපාලය පැතලි කිරීම සඳහා පීඩනයකින් යුතුව හිසට දැව පටි තබා බැඳීම සිදුකර ඇත.

 සමාජ තත්ත්වය හැඟවීමේ සලකුණක් ලෙස අනුගමනය කරන ලද මෙම අතිශය අන්තරාකාරී පිළිවෙත හේතුවෙන් බොහෝ දරුවන් අඩු වයසින්ම මරුමුවට පත්ව ඇති බව සොයා ගැනීමට ලැබි ඇති මෘතශරීර සාක්ෂි දරයි.
ප්‍රියන්ති රුද්‍රිගු

2 comments: