Jan 9, 2013

එංගලන්තයෙන් මතු වූ ඇංග්ලෝ සැක්සන් නිධානයේ ආශ්චර්යය


මීට තෙවසරකට ඉහතදී බ්‍රිතාන්‍යයේ ස්ට්‍රැට්ෆර්ඩ්ෂයර් ප්‍රදේශයෙන් ඇංග්ලෝ සැක්සන්වරුන්ට අයත් අති විශාල නිධානයක් සොයාගනු ලැබුයේ එංගලන්තය පුරා කතා බහට ලක්වූ උණුසුම් මාතෘකාවක් බවට එය පත් කරමිනි. එම සිදුවීමෙන් තුන් අවුරුද්දක් ගතවීමෙන් අනතුරුව පසුගියදා යළිත් වරක් ස්ට්‍රැට්ෆෝඩ්ෂයර්හි හැමර්විච් ප්‍රදේශයෙන් යළිත් වරක් එබඳුම ආකාරයේ අද්විතීය ගණයේ නිධානයක් සොයා ගැනීමට හැකිවීම නිසා බ්‍රිතාන්‍ය යළිත් වරක් විස්මයෙන් කැළැඹී සිටියි.10-2

රාජාලියෙකුගේ හැඩයෙන් යුතු වස්තුවක්ද රන්මුවා ශීර්ෂකයකින් කොටසක්ද ඇතුළුව රන් හා රිදී වස්තූන්ගේ කොටස් අනූවක එකතුවකින් මෙම නිධානය සමන්විතය. මෙකී ඇතැම් කොටසක් ප්‍රමාණයෙන් කෙතරම් ක්ෂුද්‍ර යැයි කියතොත් ඒවායේ කැබැල්ලක බර ග්‍රෑම් එකකට නොවැඩි බැව් කියැවේ. කෙසේ වුවද මේවායේ පැරණිකම කෙතරම් ඈත අතීතයකට දිවයන්නේද යන්න මතෛක් අනාවරණය වී නොමැත.

10-1
2009 වසරේදී ලිච්ෆීල්ඩ් අසල පිහිටි හෙක්ටයාර් පහක වපසරියකින් යුතු කුඹුරකින් රන්, රිදී, හා තඹ මිශ්‍ර ලෝහ ඇසුරින් නිමවන ලද කුඩා වස්තූන් තුන්දහස් නවසියකින් යුතු නිධානයක් සොයා ගනු ලැබුණේ එය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබිමට සමත් වෙමිනි. ලෝහ අනාවරක උපකරණයක් භාවිතා කරමින් සිටි පුද්ගලයෙකු විසින් පළමුවරට හඳුනා ගනු ලැබූ මෙම ඇංග්ලෝ සැක්සන් නිධානයට අලුතෙන්ම සොයා ගන්නා ලද රන්, රිදී තොගයේ යම් සම්බන්ධකමක් ඇත්ද යන්න මතෛක් හෙළිවී නොමැති අතර බොස්වර්ත් හා හේස්ටිංස් යුද බිම්වල පුරාවිද්‍යාත්මක හැදෑරීම්වල නිරතවූ පුරාවිදුවන්්  කණ්ඩායමක් විසින් ලිච්ෆීල්ඩ් අසල වූ මෙකී ඓතිහාසික කුඹුර යළිත් වරක් පරීක්ෂාවට ලක් නොකරන්නට ඒද වැළලී යාමට හොඳ හැටි ඉඩ තිබිණ.
බ්‍රිතා්‍යයෙන් සොයාගනු ලැබු දැවැන්තම ඇංග්ලෝ සැක්සන් රත්‍රන් හා රිදී නිධානයේ කිලෝ පහකට අධික රත්‍රන්ද කිලෝ 1.5 ඉක්මවූ බරකින් යුතු රිදී තොගයක්ද කුඩා රතු කැට දහස් ගණනාවක්ද වූ බව කියැවේ. 

මර්ෂියා රාජධානිය පැවැති ක්‍රි.ව. හත්වන හා අටවන සියවස්වලට අයත් බවට දළවශයෙන් නිගමනය කෙරුණු මෙම පළමු රන් රිදී තොගය ලෝකයේ එතෙක් මතෛක් සොයා ගනු ලැබූ විශාලතම ඇන්ග්ලෝ සැක්සන් රන් හා රිදී එකතුව වන නිසා ස්ට්‍රැට්ෆෝර්ඩ්ෂයර් නිධානයේ ගැබ්වූ වටිනාකමත් වැදගත්කමත් අමුතුවෙන් කිව යුතු නොවේ. බ්‍රිතාන්‍ය කෞතුකාගාර විශේෂඥයින් විසින් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 3.3ක් ලෙස වටිනාකම තක්සේරු කළ මෙම නිධානය මතෛක් ලෝකයේ කොතැනක හෝ සොයාගනු ලැබූ වටිනාකමින් අධිකම නිධානයද වෙයි.

බිෂොප්වරයෙකු විසින් උරයේ පැළඳි කුරුසියක්ද, නවන ලද විශාල කුරුසියක්ද, ශිරස්කඩක කොටසක්ද ඇතුළු නා නා විධ රන්, රිදී, විසිතුරු අංගවලින් යුතු වූ ස්ට්‍රැට්ෆෝඩ්ෂයර් නිධානයේම කොටසක් බවට මෙකී මෑතකදී හමුවූ රන් රිදී තොගයද ඔප්පු වුවහොත් එම සොයා ගැනීමේ වැදගත්කම මතෛකැයි කියා කිව නොහැකිවනු ඇත.

ප්‍රියන්ති රුද්‍රිගු 

0 comments:

Post a Comment