Feb 18, 2013

නිවන නොපතන චීන භික්ෂුව


10-2පෘථිවිය මත ජීවත් වන මිනිසුන් ගණන මේ වන විට බිලයන 7 ඉක්මවා තිබේ. ඔවුන් සියලු දෙනාම ඉපදී මිය යන්නේ යම් කිසි කාලයක තමන් ජීවත් වූ බවට හැඟවෙන කිසිදු සාක්ෂියක් ඉතිරි නොකරමිනි. නමුත් ගැනිය නොහැකි තරම් ඉතා සුළු පිරිසක්, තමන් මේ ලෝකය තුළ ජීවත්ව සිටි බවට සාක්ෂි ඉතිරි කර මියයයි. ඒ නිසාම ඔවුන් මිය ගියද අමරණීය වෙති. රටට සහ සමාජයට යහපතක් සිදුවන ආකාරයේ ක්‍රියාවන්වලින් ඉදිරි පරපුරට සාක්ෂි ඉතිරි කර තබා යන්නෝ, කිසිදා මිය නොයති. මේ කතාවද  එවන් පුද්ගලයෙකු පිළිබඳවය.


චීනයේ කිංහයි ප්‍රාන්තයේ පිහිටා ඇති ටේ‍රාංගේ‍රන් ආශ්‍රමය, බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසි නමක් වැඩ සිටින ස්ථානයකි. එහි නායක භික්ෂූන් වහන්සේ 70 හැවිරිදි හුවා චි  (ඩ්භච ඛිඩඪ) නම් වූ භික්ෂුවයි. හුවාචි භික්ෂූන් වහන්සේ  සිය පූජා පිළිවෙත් එක ලෙසම පවත්වාගෙන එනු ලබන්නේ වසර 20ක  පමණ සිටය. විහාර මන්දිරය තුළ ඇති දැවැන්ත බුද්ධ රූපය ඉදිරියේ සෑම දිනකම සිය පූජා පිළිවෙත් පවත්වන්නට මෙම භික්ෂූන් වහන්සේ අමතක නොකරති. මෙම පූජාව සඳහා උන්වහන්සේ භාවිත කරන්නේ යම් නිශ්චිත ස්ථානයකි. දැවයෙන් සාදන ලද     ‍පොළොවක් සහිත විහාර මන්දිරයට පැමිණෙන, භික්ෂූන් වහන්සේ නිතිපතා නිශ්චිත ස්ථානයක සිට පිළිවෙත්වල නිරත වෙති. මෙම පිළිවෙත, වසර 20ක් පුරා දිනකට තුන් දහස් වතාවක් පමණ සිදු කිරීම එතුමාගේ සාමාන්‍ය දින චර්යාවයි. මේ නිසා කාලයත් සමග, හුවාචි භික්ෂූන් වහන්සේගේ පාදය ස්පර්ශ වන ස්ථානය හෑරීයාමට තරම් මෙම පිළිවෙත් පිරීම ක්‍රමවත් වූයේ කෙසේද යන්න ආශ්චර්යයකි.දැවමය ‍පොළොව මත හෑරී ඇති දෙපා  සලකුණේ ගැඹුර අඟල් 1.2කි. විළුඹ, පතුල මෙන්ම පාදයේ ඇඟිලිද ඉතා නිවැරැදි ආකාරයට මෙම පා සටහනේ දැකිය හැකි වේ. අඟලක් දක්වා ගැඹුරු හෑරීමක් ඇතිවීමට නම් දෙපය කොපමණ වාරයක් මෙම ස්ථානයේ ගැටිය යුතුද යන්න පුදුම සහගතය. නමුත් හුවා චි භික්ෂූන් වහන්සේට මෙය පිළිබඳව ප්‍රකාශ කළ යුතු යමක් ඇති බව කිසිම ආකාරයකින් හැඟවෙන්නේ නැත. තම පාද ස්පර්ශය ලත් ස්ථානය සහ පාදවල සලකුණ ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත් කරන්නට එතුමාගේ කිසිදු බලා‍පොරොත්තුවක් තිබුණේ නැත. නමුත් එතුමා බිබිසී සේවයේ මාධ්‍යවේදිනියක විසින් අසන ලද පැනයකට මෙසේ පවසා තිබිණි.

‘මගේ වයස දැන් අවුරුදු 70ක්. මීට අවුරුදු 20කට පෙර මම දිනකට 3000 වතාවක් මෙම ස්ථානයේ පූජාව පවත්වනවා. කෙටියෙන්ම කියනවා නම් මම දවස ගත කරන්නේ මෙතැන. නමුත් අසනීප තත්ත්වයන් හේතුවෙන් වතාවත් කාලයත් අඩු කරන්නට සිදු වුණා. මට අවුරුදු 64 වෙනකොට 3000 වතාවක් පූජාව පවත්වපු තැන පූජාව පවත්වන්නට සිදු වුණේ 2000 වතාවක්  පමණයි. වරක් මම අධික ලෙසම අසනීප වුණා. ඒ වෙද්දී වතාවත් ප්‍රමාණය 1000 දක්වා අඩු වුණා. දැන් මම ගොඩක් වයසයි. අසනීප තත්ත්වයන් වැඩියි. ඒ නිසා දිනකට 500 වතාවකට වඩා  වතාවත් කරන්න ලැබෙන්නේ නැහැ. ශීත කාලයට වතාවත් කිරීම අඩු වුණත් අනිත් කාලවලට දහස් වතාවක්වත් ‘වත් පිළිවෙත්’ කරන්න උත්සාහ කරනවා. මගේ පාද ස්පර්ශ වූ ස්ථානය මේ තරම් ප්‍රසිද්ධියට පත්වෙයි කියලා මම හිතුවේ නැහැ.’

හුවා චි භික්ෂූන් වහන්සේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙකි. එතුමා මෙම ස්ථානයට පැමිණෙන විට මෙය ඖෂධ පැළෑටිවලින් පිරුණු වනාන්තරයක්ව පැවැතිණි.  මේ වනවිට සැදැහැවතුන් ගෙන් ගහන වුවද ඉන් පරිසරයට හානිකර තත්ත්වයක් ඇති නොකරන්නට උන් වහන්සේ දැඩි ලෙසම කැප වී සිටී. 
10-1
ක්‍රිස්තු වර්ෂ 1300 දී පමණ කුඩා කුටියක්  තනාගෙන භාවනානුයෝගීව වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේ දෙනමකින් ආරම්භ වූ මෙම විහාරස්ථානය, වර්තමානය වන විට චීනයේ පමණක් නොව මුළු මහත් ලෝකයේම අවධානය දිනා ඇති විහාර භූමියකි. එසේම වයස අවුරුදු හයේ සිට අනූව දක්වා වයස් කාණ්ඩවල භික්ෂූන් වහන්සේලා මෙහි වැඩ වාසය කරති. ඒ සියලුම භික්ෂූන්ට තම තමන්ට වෙන් වූ කුඩා කුටි තිබේ. ඒ භාවනා කටයුතු කිසිඳු කරදරයකින් තොරව කරගැනීම සඳහාය.

‘මේ භවයේදී නිවන් මග අවබෝධ කර ගැනීම මගේ අරමුණ නොවෙයි. මිනිසුන් වෙනුවෙන් කරන්නට තිබෙන තව වැඩකටයුතු බොහෝමයි. මගේ එකම පැතුම මේ භවයේ මතකයත් සමග ඊළඟ භවයේ මිනිස් උත්පත්තියක් ලැබිමයි. ඊළඟ භවයෙන් පසු මම නිවන් මග ප්‍රාර්ථනය කරන්නේ මගෙන් ලෝක වැසියන්ට ඉටු විය යුතු යුතුකම් ඉටු කළ පසුවයි’ උන් වහන්සේ පවසති.

දුලංජලී මුතුවාඩිගේ 

0 comments:

Post a Comment