Mar 6, 2013

මිථ්‍යාවත් යථාර්ථයත් අතර දෝලනය වන ගුප්ත ජීවී විශේෂ


ගුප්ත යැයි සැලකෙන ජීවී විශේෂ බොහෝමයක් මීට කාලයකට පෙර හෝ ඇතැම් විශේෂ වර්තමානයේදී පවා මිහිතලය මත හෝ ගැඹුරු සාගර පත්‍ලේ හෝ විසූ බවට ජනප්‍රවාදයේ කියැවෙන සත්ව 
විශේෂය. ‘ගුප්ත ජීව විද්‍යාව’   යනු ව්‍යාජ විද්‍යාවක් බවට බොහෝ තර්ක ඉදිරිපත් වුණද මෙබඳු ගුප්ත ජීවීන් පිළිබඳව කියැවෙන කතා මිථ්‍යාවක් ලෙස සලකා මුළුමනින්ම බැහැර කළ නොහැක්කේ, එබඳු ජීවීන් හමුවූ බවට වන ලිඛිත ‍ලේඛන නිසාය. පහතින් දැක්වෙනුයේ එබඳු වාර්තාගත සිදුවීම්ද සහිතව ඉදිරිපත් කළ හැකි ගුප්ත ජීවී විශේෂ කීපයකි. ඔවුන් හමුවූ බවට වන සාක්ෂි විමසුම් නුවණින් කියවා බැලූ කල මෙබඳු දෑ කෙරෙහි කිසිදු විශ්වාසයක් නොදක්වන්නට පවා ඒවා ප්‍රතික්ෂේප කිරීම උගහට වනු ඇත.

රයි හා ඉල්කායි
‘රයි හා ඉල්කායි’ යනු පැපුවා නිව්ගිනියාවේ වාසීන් විසින් මුහුදේ දක්නට ලැබුණු එහෙත් කිසිවිටෙක අල්වා ගැනීමට හෝ ජු සම්බන්ධතාවක් දැක්වීමට හෝ නොහැකිවූ පෙනුමෙන් දියකිඳුරන් හා සමානවූ මනුෂ්‍ය හා මුහුදු ජීවී විශේෂයකට දී ඇති නමයි. පරිණාමීය ක්‍රියාවලිය පිළිබඳ දැක්මකින් යුතුව මෙබඳු ජීවී විශේෂයක් පැවතීම සිදුවිය නොහැක්කක් ලෙස පෙනී ගියද මොවුන් දුටු බවට ලැබෙන ඇසින් දුටු සාක්ෂි ගොන්න පිළිබඳ විමසා බැලූ කල එය මිථ්‍යාවක් ලෙස බැහැර කිරීම කිසිසේත් කළ නොහැක.
ක්‍රි.ව. 1983දී ‘රිචඩ් ග්‍රීන්වෙල්’ නමැති ඇමෙරිකානු සත්ව විද්‍යාඥයා හා ‘රෝයි වැග්නර්’ නමැති මානව විද්‍යාඥයා මෙම ගුප්ත මුහුදු ජීවී විශේෂයේ අභිරහස විසඳනු වස් ‘ඉල්කාවරුන්’ බහුලව දුටු බවට කියැවෙන මුහුදු ප්‍රදේශයක ගවේෂණයක් සිදුකරන ලද්දේ එකී ගුප්ත ජීවියා මුහුදු 
ක්ෂීරපායියෙකු, සීල් හෝ ඩොල්ෆින් මත්ස්‍යයෙකු හැර අන් යමක් නොවන බව සැකහැර තහවුරු කරගැනීම සඳහායි. එනමුදු නිව්ගිනියාවේ නූගත් ගැමියන්ගේ පිළිගැනීම් හා එකඟ වීමට ඔවුන්ට සිදුවූයේ කළපුවක විසූ මසුන් කුලප්පු කරමින් සිටි එබඳු සත්ව විශේෂයක් සියැසින් දැකගැනීමට හැකිවීමත් සමගය. නියත වශයෙන්ම ඔවුහු මීට පෙර හඳුනාගෙන සිටි ක්ෂීරපායි විශේෂයක් නොවන බවට ගැමියන් දැරූ මතය සැකයකින් තොරව පිළිගැනීමට ඔවුන්ට සිදුවුවද, ලෝකය හමුවේ එය අදටද අභිරහසක් ලෙස පවතිනුයේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ සිදුකිරීමට මූල්‍ය ප්‍රතිපාදන සැපයීමක් සිදුනොවූ හෙයින් ගවේෂණය අතරමග නතර කර දැමීමට විද්‍යාඥ දෙපළට සිදුවූ බැවිනි.

ඇගෝග්වේ
කෙන්යාවේ හා උගැන්ඩාවේ වෙසෙන බව කියන ‘ඇගෝග්වේ’ මානවයන් ස්වරූපයෙන් යම්තාක් දුරකට ‘අල්මා’ නමැති ම්‍ලේච්ඡ මනුෂ්‍ය මෘගයන්ට සමාන වුවද ශරීර ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩාය. බොහෝවිට ඔවුන්ව විස්තර කරනු ලබන්නේ සුළු වශයෙන් මානව ලක්ෂණ දරන, දිගු සිහින් පූර්ව ගාත්‍රා සහිත, පසුපස  ගාත්‍රා යුගළින් සිරස්ව නැගී සිටිමින් ඇවිදින බෝනබෝ වඳුරන් ලෙසය. බොහෝ ගුප්ත සත්ව විද්‍යාඥයන් විශ්වාස කරනුයේ ඇගෝග්වේ යනු මීට වසර මිලියනයකට පෙරදී අප්‍රිකාවේ විසූ ‘ඕස්ට්‍රලෝපිතිකස්’ නමැති ආදිකල්පිත මානවයන්ගෙන් ශේෂවූ ජීවී විශේෂයක් බවය්. බ්‍රිතාන්‍ය ගවේෂකයකුවූ ජේ. කෝට්නේ හා මෙන්ම 1983දී බ්‍රිතාන්‍ය සත්ව විද්‍යාඥයන් කණ්ඩායමක් විසින්ද ඇගෝග්වේ සතෙකු ජීව ග්‍රහයෙන් අල්වා ගැනීමට දැරූ උත්සාහයන් දෙකම ස්වදේශිකයන් විසින් ව්‍යාර්ථ කරන ලද්දේ ඔවුන් තමාගේ ආදි මුතුන්මිත්තන් බව පවසමිනි.

යෙරන්
‘යෙටී’ හෝ ‘බිග්ෆුට්’ වැනි දැවැන්තයන් දුටු බවට අදටද කියැවෙන කතා අඩුවක් නැති වුවද මේ දක්වා එබඳු සත්වයෙකු අල්වා ගැනීමට හෝ සැබෑ ලෙසම ජීවත්වන්නේය යන්න තහවුරු කළ හැකි කිසිදු සාක්ෂ්‍යයක් හමුව නැත. චීනයෙන්ද මෙබඳු ගුප්ත දැවැන්ත ජීවියෙකු වාර්තා වන අතර ඒ ‘යෙරන්’ය. කෙසේ නමුදු උතුරු ඇමෙරිකාවේ බිග්ෆුට් මෙන් නොවන යෙරන් සතුව ඇත්තේ දිගු තැඹිලි පැහැති ලෝම වන අතර යෙටී මෙන් ලජ්ජාශීලීද නොවන්නෙකුද බැව් කියැවේ. අදටද යෙරන් සතුන් දුටු බව කියන චීන ජාතිකයෝ ඕනෑතරම් සිටින අතර එබඳු කතා අතුරින් ප්‍රකටම සිදුවීම වාර්තා වන්නේ 1942දීය. චීනය හා ජපානය අතර ලෙයින් වැකුණ  යුද්ධය ඇරඹි තිබූ සමයේදී එකල කුඩා දරුවකුව සිටි ‘ලියුජිකුආන්’ නමැත්තා සියැසින් දැක තිබුණේ හමුදා බලඇණියක් විසින් අල්වා ගන්නා ලද ‘යෙරන්’ සතුන්  දෙදෙනකු යදමින් බැඳ මහමග දිගේ ඇදගෙන යන අයුරුයි. ඔවුන්ට කුමක්වූවා දැයි ඉන්පසු කිසිදු තොරතුරක් හෙළිවී නොමැති අතර යෙරන් යනු අදටද ගුප්ත හැඟීම් දනවන, ජීවියෙකු පමණක් බවට පත්ව තිබේ.

මෙගා‍ලේනියා ප්‍රිස්කා
මෙගා‍ලේනියා ප්‍රිස්කා යනු ඕස්ට්‍රේලියාවේ සිටි බව කියන ‘කොමඩෝ මකරා’ට වඩා කීපගුණයකින් ප්‍රමාණයෙන් විශාලවූ කබරගොයෙකුගේ හා කටුස්සෙකුගේ සංකලනයක් බදු අංගලක්ෂණ දරන ප්‍රාග් ඓතිහාසික සත්වයෙකි. විද්‍යානුකූලව මොවුන්  නෂ්ඨව ගිය ජීවී විශේෂයක් ලෙස සැලකෙන නමුදු මෑතභාගයේදීද . මොවුන් දුටු බවට වන වාර්තාවීම් ඕනෑතරම්ය. 1939දී නිව්සවුත් වේල්සයේ ගමන් කරමින් තිබූ දුම්රියක් අනපේක්ෂිත ලෙස දුම්රිය මාර්ගය මත නතර කිරීමට සිදුවූයේ ඒ හරහා මග හරස් කරමින් වැටී තිබුණු සුවිශාල දර කොටයක් හේතුවෙනි. එනමුදු නොබෝ වේලාවකින්ම දර කොටය ගමන් කිරීමට පටන්ගෙන තිබුණේ දුම්රියේ සිටි මගීන් තුෂ්ණිම්භූත කරවමිනි. තමන් එලෙස බලා සිටින ලද්දේ මීටර අටක් පමණ දිගවූ කටුස්සෙකුවන් ආදි කල්පික උරග වංශිකයෙකු දෙස බව ඔවුන්ටම නොබෝ වේලාවකින්ම වැටහී ගොස් තිබේ. මෙයාකාරයේම සත්වයෙකු 1977දී ෆ්‍රෑන්ක් ගෝර්ඩන් නමැත්තා විසින්ද නිරීක්ෂණයකොට තිබුණේ තම මෝටර් රිය ඉදිරියෙන් සිතාගත නොහැකි තරම් වේගයෙන් දිවයත්දීය.
04-1කොන්ගාමැටෝ
සමකාසන්න අප්‍රිකාවේ ඝන කැලෑ හා වගුරුබිම්වල සැඟවී වෙසෙන බවට විශ්වාස කෙරෙන ‘කොංගාමැටෝ’ සතුන් සතු එකක් අඩිහතක් පමණ දිගුවූ පියාපත් යුගළ නිසා බාහිර ස්වරූපයෙන් මොවුහු නෂ්ඨව  ගිය 
‘ටෙරොඩැක්ටිල්’ ඩයිනෝසරයන්ට සමානය. ටෙරොඩැක්ටිල් මෙන්ම තමා ජීවත් වන භූමිභාගය පිටස්තරයන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා දරුණු වසම් චර්යා ප්‍රදර්ශනය කරනු මොවුහු පක්ෂීන් විශේෂයක් ලෙස වරදවා වටහා ගැනීමටද හේතුවක් නොමැත්තේ පක්ෂීන් මෙන් නොව මොවුන්ට තියුණු දත්ද පිහිටා ඇති නිසාය.

වරෙක (ක්‍රි.ව. 1932) කැමරුන්හි පිටිසරබද ප්‍රදේශයක ගවේෂණයක නියැලුණු ප්‍රකට දේශගවේෂක 
‘අයිවන් සැන්ඩර්සන්’ හා ඔහුගේ සහායක පිරිස විසින් ඉතා අසාමාන්‍ය අන්දමේ පියාසලන සත්වයෙකු වෙඩි තබා බිම හෙළන ලද්දේ වවුලෙකු, උරගයෙකු හා පක්ෂියෙකු යනාදී මේ සියලුම සතුන්ගේ සංකලනයක් බඳු අස්වාභාවික ජීවියෙකු පියාඹා යනු දැකීමෙන් ඇතිවූ කුතුහලය නිසාය. ඉන් නොබෝ වේලාවකින් පසුව සැන්ඩර්සන් ඇතුළු පිරිස හට මරා දමන ලද සත්වයාගේ සහකරුවා වෙතින් එල්ලවූ මරණීය ප්‍රහාරයෙන් දිවිගලවා ගැනීමට ප්‍රබල සටනක නියැලීමට සිදුව තිබේ. ස්වදේශිකයන් මෙම අද්භූත සත්වයාට කෙතරම් බියක් දක්වන්නේද යත්, ඌව මෙම ගෝත්‍රිකයන් අතර ප්‍රචලිතව ඇත්තේ ‘මරණයේ දූතයා’ යන අන්වර්ථ නාමයෙනි. අදාළ ප්‍රදේශය ක්ෂේත්‍ර ගවේෂණ සිදුකිරීමද අපහසු වූවක් ලෙස නම් දරා ඇත්තක් හෙයින් ‘කොංගොමැටෝ’ පිළිබඳ තොරතුරු හමුවනුයේ ඉතා අල්ප වශයෙනි.

ඔරන් පෙන්ඩෙක්
සුමාත්‍රා දිවයින්වල පිහිටි ඝන වනාන්තරවල සැඟව ජීවත්වන බව කියන ‘ඔරන් පෙන්ඩෙක්’ සතුන් ‘බිග්ෆුට්’ සතුන්ට ස්වරූපයෙන් සමාන බැව් කියවුණද එතරම් විශාල නොවේ. සුමාත්‍රාවේ විජාතික කොලනි පිහිටුවීමට පැමිණි ලන්දේසීන් මොවුන් අවස්ථා කිහිපයකදීම දැක තිබූ අතර ඔවුන්ගේ ඇසින් දුටු සාක්ෂින්ට අනුව මොවුහු දෙපයින් ඇවිද, ලෝමවලින් ගැවසුණු ශරීරයකින්ද යුතු, උසින් අඩු මනුෂ්‍ය ස්වරූපයට නෑකම් කියූ සත්ව කොට්ඨාසයකි.

යෝවී
ඕස්ට්‍රේලියාවේ බිග්ෆුට් ලෙස විරුදාවලී ලැබූ මෙම සත්වයා දුටු බව කියැවෙන සිදුවීම් අදටද ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. එබඳු එක් සිදුවීමක් පිළිබඳ සාක්ෂි දරනුයේ පෙර පැවැති ක්වීන්ස්ලන්ඩ් ජාතික පක්ෂයේ සෙනෙට්වරයකු වන ‘බිල් ඔ’චීය’. 1977 වර්ෂයේදී සිය පාසල් සගයින්ද සමග ‘ස්ප්‍රිංබුක්’ ප්‍රදේශයේ දෙදිනක් කඳවුරුලාගෙන සිටීමේ ගවේෂණයකට සහභාගිවූ චීට තමන්ගේ කණ්ඩායම අඩි දහයක් පමණ උසැති දැවැන්ත ශරීරයකින් යුතු ගෝරිල්ලෙකු වැනි සත්වයෙකුගේ ප්‍රහාරයට ලක්වූ අයුරු අදටද හොඳින් මතකය. එකී ප්‍රදේශයේ ගත කළ දෙදින පුරාම වරින්වර මොහු දර්ශනයවී තිබුණු අතර අදටද ‘චී’ ඇතුළු බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට යෝවී යනු සැබෑවටම ජීවත්වන සත්වයෙකි.

නුන්ඩා
නුන්ඩා නොහොත් ‘න්ග්වා’ යනු ටැන්සානියාවේ කැලෑබද පෙදෙස්වල වෙසෙන බව කියන ශරීර ශක්තියෙන් සිංහයෙකු පවා පරදවන බිලාල වංශයට අයත් දැවැන්තයෙකි. මොහුගේ ආක්‍රමණයට ලක්වූ ස්ථානවල තිබි සොයාගන්නා ලද ‘ලොම්’ පර්යේෂණයන්ට භාජනය කිරීමේදී අනාවරණය වූයේ අපූරු සත්‍යතාවකි. එනම් එම සත්වයින්ම මතෛක් මිහිතලය මතින් සොයා ගන්නා ලද කිසිදු ජීවියෙකුට අයත් නොවන නව මාංශභක්ෂක ක්ෂීරපායි විශේෂයක් බවයි. ක්‍රි.ව. 1922දී ‘විලියම් හයිකන්ස්’ නමැති මහේස්ත්‍රාත්වරයා මෙම නව විශේෂය යුරෝපා මාධ්‍යවල අවධානයට බඳුන් කළ අතර 1920දී ස්කොට්ලන්ත ජාතික ‘පැට්‍රික් බෝවන්’ විසින් ‘නුන්ඩා’ සත්වයෙකු දඩයම් කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වුවද ඌගේ ලොම් ස්වල්පයක් ලබාගැනීමේ විරල භාග්‍යය හිමි කරගන්නා ලදී.

ඇකි්‍යුරිනිස්
ප්‍රථම වරට ‘ඇකි්‍යුරිනිස්’ නමැති උස්වූ සිරුරින්ද, රන් පැහැ කෙස් කළඹින්ද, මුළුමනින්ම නිරුවත්වූ ශරීරයකින්ද හෙබි, මෙම මානව විශේෂය හමුව ඇත්තේ ‘ඇරගුආයා නදියේ’ ගවේෂණයක නිරතවූ ඇංග්ලෝ-බ්‍රසීල ජාතික ගවේෂණ කණ්ඩායමකටය. ඔවුන් සන්නිවේදනයකොට ඇත්තේ කිසිදු ඉන්දියානු ගෝත්‍රිය භාෂාවකට සමානකම් නොදරන්නාවූ අමුතුම භාෂාවකින් වන අතර යළිත් වරක් 1979දී වෙනත් ගවේෂණ කණ්ඩායමකට මෙම නිරුවත් අද්භූත ‘ඇකි්‍යුරිනිස්වරු’ හමුව තිබේ. ඔවුන්ගේ සමේ පැහැපත් වර්ණයෙන් ගවේෂකයන් අසීමිත ලෙස පුදුමයට පත්වූ බැව් කියැවේ.

0 comments:

Post a Comment