Apr 10, 2013

න්‍යෂ්ටික බලය සමග පෙරළි කරන උතුරු කොරියා



3-1ලෝකයේ ඇතැම් රටවල් තුළ හොර රහසේම සිදු කෙරෙන න්‍යෂ්ටික ක්‍රියාවලීන් මේ වෙද්දී කාටත් ගැටලුවක්ව ඇති සෙයක් පෙනේ. එහිදී උතුරු කොරියාවට සුවිශේෂී තැනක් හිමිවේ.  හුදෙකලා රාජ්‍යයක් ලෙස වැජඹෙමින් ඔවුන් සිදු කරන න්‍යෂ්ටික  ක්‍රියාවලීන්  මේ වෙද්දී ජාත්‍යන්තර සමාජයේ  දැඩි අවධානයට 3-2යොමුව තිබේ. ඒ හමුවේ ලොවට තර්ජනය කිරීමට තරම්   උතුරු කොරියාව  ප්‍රබලව ඇත. එබැවින් මෙවර අපගේ දේශපාලන පිටුව වෙන් වන්නේ උතුරු කොරියාවේ ඒ බල පුළුවන්කාරකම් වෙතයි. උතුරු කොරියාව සිය පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම කළේ 2006 දීයි. එදා පටන් මේ දක්වා තෙවතාවක් ඔවුන් මෙම අත්හදා බැලීම්වල නිරතව සිටියි.

 ඉකුත් පෙබරවාරියේදී  තෙවන වරට සිදු කළ අත්හදා බැලීමද   සාර්ථක බව  ඔවුන් කියා තිබේ. මේ අත්හදා බැලීම  කරා යාමට ඔවුන් පෙළඹ වූ  කාරණා දෙකක් විය. එකක් එක්සත් ජාතීන්ගේ  පැන වූ සම්බාධකයි. අනෙක ඇමෙරිකාව හා දකුණු කොරියාව එක්ව හමුදා පුහුණුවීම්වල නිරත වීමයි. රොකට් යානා ගුවන්ගත කිරීම් හමුවේ උතුරු කොරියාවට  එරෙහිව එක්සත් ජාතීන් සම්බාධක පැනවීම උතුරු කොරියානුවෝ කුපිත  කරවන්නක් විය. ඊට ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් නැමති අවියෙනි. එබැවින්  එය මර්දනය කිරීමට ඇමෙරිකාව  ප්‍රමුඛ ජාත්‍යන්තරය වෙර දරමින් සිටියි.

 උතුරු කොරියාවේ නැගෙනහිර පළාතේ පිහිටි පාලු ඉසව්වක මේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කර ඇති බව දැනට ලැබි ඇති තොරතුරුවලින් හෙළිවේ. චන්ද්‍රිකා තාක්ෂණය හරහා ලබාගත් ඡායාරූප ඊට සාක්ෂි සපයා තිබේ. ඒ අනුව  භූගතව එම පරීක්ෂණ සිදු කර ඇති බවට තොරතුරු වේ. මීට අමතරව යුරේනියම් සඵලතා ක්‍රියාවලියට සම්බන්ධ  තවත් බලාගාර උතුරු කොරියාව සතුව ඇති බව ඇමෙරිකාවේ  හා දකුණු  කොරියාවේ විශ්වාසයයි. එහෙත් උතුරු කොරියාව නම් කියන්නේ සිවිල් ජනතාවගේ  අවශ්‍යතාවන් වෙනුවෙන් එම බලාගාර ඉදි කර ඇති බවයි. උතුරු කොරියාවට මේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නවත්වන ලෙසට බල කරමින්  ජාත්‍යන්තර ප්‍රජාව සාකච්ඡා වට ගණනාවක් සිදු කළද ඒවා සියල්ල දැන් ගඟට කැපූ ඉනි මෙන් නිෂ්ඵලව ඇත. උතුරු කොරියාවේ මේ බල පුළුවන්කාරකම් පිටුපස සිටින්නේ කිම් ජොං පරපුරයි. වසර ගණනක් උතුරු කොරියානු නායකයාව සිටි කිම් ජොං ඉල් මිය ගියේ සිය පුත්‍රයා වූ කිම් ජොං අන්ට ජනපති පුටුව උරුම කර දෙමිනි. පියා මෙන්ම පුතාද හිතුවක්කාර පාලනයක් ගෙන යයි. ඒ මතෛක් කල් පැවති ඔවුන්ගේ  ස්වාධීනත්වය සුරැකීම වෙනුවෙනි. ඔවුන් ගෙන යන ඒ හමුදා පාලනය කෙරෙහි උතුරු කොරියානුවන්ගේද ප්‍රබල අකමැත්තක් නොවේ. එහෙත් තවමත් දකුණු කොරියාව තරම්  දියුණුවක් කරා යාමට උතුරු කොරියාව සමත්ව නැත. හුදෙකලා රාජ්‍යයක්  ලෙස ලොව හමුවේ පෙනී සිටීම ඊට හේතු වී තිබේ.
කෙසේවුවද  උතුරු කොරියාව සිදු කරන මේ න්‍යෂ්ටික හිතුවක්කාරකම් හමුවේ කොරියානු  අර්ධද්වීපය යළි යුද්ධයක් කරා යාදෝයි සැකයක් නැතුවා නොවේ.  එහෙත් යුද්ධයේ කෲරත්වය දන්නා කිසිවකුත්  කිසිදාක එවන් දෙයක් නම් ප්‍රාර්ථනා නොකරනු ඇත.

2 comments:

  1. mona unath buddhist ratawal dekak

    americawa tramai ithn otanata ratawal dekak kale

    ReplyDelete
    Replies
    1. මේ ලෝකේ ගොඩක් ප්‍රශ්න පිටිපස්සේ තියන්නේ මුස්ලිම් අන්තවාදයයි.. ක්‍රිස්තියානි අන්තවාදයයි...

      Delete