Apr 5, 2013

එදා කොළඹ පාරවල්වල නම් හැදුණු හැටි


එදා කොළඹ පාරවල්වල නම් හැදුණු හැටි
අඩුවෙන් ගමන්කළ මාර්ගයක් ඔස්සේ - කුමුදුනී හෙට්ටිආරච්චි විසිනි

කොළඹ මාර්ගවල පැරැණි නම් වෙනුවට අලූත් නම් යෙදීම සිදුවෙමින් පවතිද්දී සන්ඬේ ටයිම්ස් හි කුමුදුනී හෙට්ටිආරච්චි  සමග කළ සාකච්ඡාවක් මගින් ෆ්‍රෙඞ්රික් මෙන්ඩිස් අප රැගෙන යන්නේ දීප්තිමත් ඓතිහාසික සංචාරයකය.
නමක වටිනාකම කුමක්දැයි කවියා විමසුවද පොත් හා ලිය කියවිලි මගින් දැනුම ලබාගෙන මෙන්ම දුවිලි මාවත් දිගේ දිවිය පුරා ඇවිද ඇති වයස අසූ ගණන්වල සිටින ප්‍රෙඞ්රික් මෙන්ඩිස්ට සැම දෙයක්ම ඇත්තේ නම තුළය.
කෙසේ වෙතත් දෙපසෙහි ගස් වවා ඇති හෝර්ටන් පෙදෙසට නම ලැබුණු ආකාරයත් එහි පවුල් ප‍්‍රශ්න හා ඒ පිටුපස ඇති කවි පිළිබඳව ඔහු දැනුම ලබා ගන්නේ කවියාගෙන් නොව බයිරොන් සාමිවරයාගෙනි.
මෙන්ඩිස් මහතා සමග කළ දිගු සාකච්ඡාවේදී සන්ඬේ ටයිම්ස් පුවත්පතට දැන ගන්නට ලැබුණේ ලංකාවේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයකුව සිටි ශ්‍රීමත් රොබර්ට් විල්මට් විවාහ වූ අවස්ථාවේ ඔහුගේ මාමා ස්ථිර ලෙස ප‍්‍රකාශ කළේ තමන්ට හිමිවන දේපළවල උරුමය ලැබීමට නම් ශ්‍රීමත් විල්මට් වාසගම් ද්විත්වයන් භාවිත කළ යුතු බවයි.
ආණ්ඩුකාරවරයාගේ විවාහයෙන් පසුව තම බිරිඳගේ වාසගම එකතුවීම නිසා ඔහුගේ නාමය ශ්‍රීමත් රොබර්ට් විල්මට් හෝර්ටන් බවට පත්වූ අතර අවසානයේදී කුරුඳුවත්තේ මධ්‍යම ප‍්‍රදේශයේ ඇති මාර්ගයකට එම නම ලැබුණේද ඒ ආකාරයෙනි. මෙන්ඩිස් මහතා කියන ආකාරයට කතාව එතැනින්ද නවතින්නේ නැත. සම්මානනීය කවි බයිරන් සාමිවරයා ආණ්ඩුකාරවරයාගේ බිරිඳගේ ඥාතියකුවන අතර ඔහු ”රාති‍්‍රයේ සුන්දරත්වය මෙන් ඇය ගමන් කරයි” කෘතිය කරන්නේ ආණ්ඩුකාර බිරිය කළු ගවුමකින් සැරසි සිටිනු දුටු අවස්ථාවකට පසුවය.
87 හැවිරිදි මෙන්ඩිස් මහතාගේ මතකය තුළින් නම් දින සහ නොවැදගත් තොරතුරු ද වචනයට නැගුණේ සන්ඬේ ටයිම්ස් සම්මුඛ සාකච්ඡාවේදී පමණක් නොවේ. ශ්‍රී ලංකා ජාතික භාරය විසින් අගෝස්තු 30දා හැටන් නැෂනල් බැංකු ශ‍්‍රවණාගාරයේ පවත්වනු ලැබූ මාර්ග හා ස්ථාන නාම පිළිබඳ අතුරු සමීක්ෂණයේ සම්මන්ත‍්‍රණයේදී විශාල පිරිසක් ඉදිරියේ කළ කතාවේදී ද එය එසේ සිදුවිය.
කවි ගැන මෙන්ම බි‍්‍රතාන්‍යයන්ගේ කාලයේ ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන ද කතා කළ අතර බලවත් ලෙස පෑන මෙහෙයවූ අයිරිස් ජාතික ආචාර්ය කි‍්‍රස්ටෝපර් එලියට් ගැනද සඳහන් කරමින් කීවේ ඔහුගේ නමින් නම්කළ මාර්ගයේ නාම පුවරුවේ එම නමේ අකුරු වැරැදියට ලියා ඇති බවයි. ත්‍යාගශිලියකු වූ ආචාර්ය එලියට් බොරැල්ලේ පදිංචිව සිටි අතර කලම්බු ඔබ්සර්වර් පුවත්පතේ කතුවරයා ලෙස කටයුතු කළේය. බි‍්‍රතාන්‍යයන් විසින් පනවනු ලැබූ බලූ බද්ද සහ තුවක්කු බද්ද ඇතුළු බදුවලට එරෙහිව ප‍්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගිය ඔහු එයින් නොනැවතී බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහි විරෝධතා සඳහා ද ජනයා මෙහෙයවීය.
බලූ බද්ද ගෙවීම ප‍්‍රතික්ෂේප කළ ඔහු වේදිකාවට ගොඩවී ඉංගී‍්‍රසියෙන් මෙන්ම සිංහලෙන් ද දේශීය ජනයා අමතා කතා කළ බව කී මෙන්ඩිස් ඔහුගේ එම කි‍්‍රයා කලාපයට එල්ලවූ බරපතළ ප‍්‍රතිචාර ගැනද සඳහන් කළේය.
එලියට් මහතා විසින් 1848 ජුලි 26 වැනිදා සංවිධාන කළ මහා විරෝධතාවයෙන් කලබලයට පත් බි‍්‍රතාන්‍ය හමුදාව පිටකොටුවේ සහ මරදානේ සිට බොරැල්ල කරා මෙහෙයවන ලද්දේ එම මහජන කැළඹිලි මැඩ පැවත්වීම සඳහාය. කැරලිකරුවන් පෙරළා පහරදුන් නිසා බි‍්‍රතාන්‍යයන් කළ වෙඩි තැබීමෙන් විශාල පිරිසක් මිය ගියහ. යටත් විජිත ලංකාව තුළ යුද නීතිය ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. මුහුදින් එතර සිට කි‍්‍රයාත්මක වූ බලගතු බි‍්‍රතාන්‍ය පාලනය බලවත් පීඩනයකට ලක්වූ බව පෙනී ගියේය.
මෙම සිදුවීම ගැන බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්න කිරීමේ බරපතළ ප‍්‍රතිවිපාක ඇතිවූ අතර අගමැති ජෝන් ලෝඞ් රසල් තම කිට්ටු ඥාතිවරයකු වූ ටොරින්ටන් සාමිවරයා ආණ්ඩුකාරවරයා ලෙස පත්කර එවනු ලැබීය. මෙය ඥාති සංග‍්‍රහයක් ලෙස විවේචනයට ලක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ටොරින්ටන් සාමිවරයා සහ වෙනත් ප‍්‍රධාන නිලධාරීන් ආපසු කැඳවීමට සිදුවූ අතර බි‍්‍රතාන්‍යයේ කැබිනට් මණ්ඩලය ද විසුරුවා හරිනලද බව මෙන්ඩිස් මහතා කියයි.ඊළඟට බේරේ වැව ගැන විස්මය ජනක විස්තර කිරීමක යෙදෙන ඔහු එය කැලණි ගඟට සම්බන්ධ විශාල මඬ වගුරක් බවත් බොරැල්ල දෙමටගොඩ සහ කොළොන්නාව හරහා එම සම්බන්ධය තුබූ බවත් කියයි. සුළඟත් සමග ප‍්‍රදේශයට මෝසම් සුළං ලැබෙන විට මෙහි දිය රැලි ඇතිවන බවත් මෙහි බොර ඇළක් ඇතිවූ බවත් (පසුව බොරැල්ල වූයේ එයයි) පවසයි. නාරාහේන්පිට දක්වා පැතිරෙන මෙම මඩ වගුර වෙත දැදුරුඔය කැලයේ සිට කැලණි ගඟ ඔස්සේ පැමිණෙන අලින් නොපෙනී යන බවද මෙන්ඩිස් මහතා ප‍්‍රකාශ කළේය.
මෙහි මුල් සිංහල නම නාරහත්පිටිය බවට විශ්වාසයක් පවතින බවත් එහි නා යනු අලින් බවත් එහි තේරුම අලින් අතුරුදන්වන ස්ථානය බවත් ඔහු හෙළි කළේය.
ඉන්පසුව ජලය ගලා යන්නේ නාවලටය. එය එකල ඝන වනාන්තරයකි. බුවනක බාහු මරා දැමිමෙන් පසුව කෝට්ටේ අත්හැර දමා තුබූ බවද මෙන්ඩිස් මහතා විස්තර කළේය.  ඕලන්ද ජාතික ඉතිහාසඥයකු වන වැලන්ටයින් පසුව විස්තර කොට තිබෙන්නේ ප‍්‍රදේශය ඇත් ගාලක් තත්ත්වයට පත්ව තුබූ බවයි.  නාවලින් පසුව පාගොඩ (හල්ගොඩ හෙවත් හබල් ඔරු නැවතුම) හරහා ජලය දියවන්නාවට ගලා යයි.
ඒ දිනවල මෙම ප‍්‍රදේශ හරහා අලින්ගේ ගමන් මගක් වූ බව ඔබ දන්නවා දැයි මෙන්ඩිස් මහතා විමසයි. නාවල, නාවින්න (නැහින්න) එනම් අලි සිටින ළඳු කැලෑව, පාදුක්ක, සිංහරාජ වනාන්තරය සහ දකුණේ පනාමුරේ දක්වා ප‍්‍රදේශයේ අලි ගමන් මගක් වූ බව පැහැදිලිය.
කුරුඳුවත්ත පසුබිම පිළිබඳව නැවත කතා කරමින් ඔහු කීවේ රොස්මීඞ් පෙදෙස නම් කොට තිබෙන්නේ රොස්මීඞ් සාමිවරයා වූ ශ්‍රීමත් හර්කියුලස් රොබින්සන් නාමයෙන් බවයි. ගිල්ෆර්ඞ් පෙදෙස නම්කොට තිබෙන්නේ ලංකාවේ ප‍්‍රථම බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයා වූ හා ග්ලිෆර්ඞ් හි අර්ල්වරයා වූ ෆෙඞ්රික් නෝර්ත් වෙනුවෙනි. එමෙන්ම ස්ටැන්මොරි ක්‍රෙසන්ට් නම්කර ඇත්තේ සැටැන්මොර් සාමිවරයා වූ ශ්‍රීමත් ආතර් ගොර්ඩන් වෙනුවෙනි.
මේවා ගැන මතුපිටින් කතා කරන්නේ නැතිව මෙම පුරාවස්තු ලෝලියා ඉතිහාසය තුළ එක් පියවරක් නොව පියවර ගණනාවක් ඉදිරියට ගොස් ඇති අතර දිවයින පුරා ස්ථාන 900ක ස්ථාන නාම පිටුපස තිබෙන කුඩා රහස් සහ කතා පිළිබඳ හෙළිදරව් කරගෙන තිබේ. කොළඹ 4 ශාන්ත පීටර් විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී මෙන්ඩිස් මහතා මෙම විෂයයට ඇලූම් කරන්නට වූයේ ඔහුගේ පියාද පුරාවස්තු රැස් කරන්නකුවීම නිසාය. ”නුගේගොඩ අපගේ නිවසේ තාත්තා සතු පෞද්ගලික කෞතුකාගාරය තුබූ” බව කියන ඔහු වැඩි දුරටත් කියන්නේ එහි ප‍්‍රධාන වශයෙන් තඹ, පොර්සිලේන් හා ඇත් දළ භාණ්ඩ තුබූ බවයි.නැවතත් තමන්ගේ පි‍්‍රයතම විෂයයට ගිය මෙන්ඩිස් කොළඹ හෙවත් කොළොන්තොට පිළිබඳව දිගු විස්තරයක් කෙළේය. කොටුව ප‍්‍රදේශයේ තුබූ අඹ ගසක කොළ මිස ගෙඩි නොතිබිණි.  ඕලන්දකාරයෝ මෙය ඔවුන්ගේ රාජදුත ලාංඡනයට ද ඇතුළත් කළහ. එයින් ද නොනැවතුණ  ඕලන්දකාරයන් මෙම නම යොදා ගත්තේ  ඕලන්දකාරයන් භාවිත කළ ලතින් භාෂාවේ එන කොලූම්බා යන යෙදුම ඇසුරින්ය.
ස්ථාන නාම පිළිබඳ ඔහුගේ දැනුම ගැන වමේ සිටි උදවිය ආකර්ශනය කර ගැනීමට බගතලේ පාර පිළිබඳව ඔහු කළ විස්තරය ද හේතුවිය.
”බගතලේ” යනු ”කිසිවකුට දෙවැනි නැති” යන අර්ථය ඇති වචනයක් බව කී ඔහු එය සුළු මුදල් ඔට්ටු සඳහා කෙරෙන ඉතාලියානු කී‍්‍රඩාවක් බව සඳහන් කළේය. සති අන්තවල මෙම ප‍්‍රදේශයට රැස්වන ජනයා බියර් පානය කරමින් මෙම කී‍්‍රඩාව කළෝය. ”එය බිලියඞ් වැනි කී‍්‍රඩාවකි. ඇලවූ ලෑල්ලක කරන එම කී‍්‍රඩාවේදී කුඩා බෝලවලට පොලූමතින් පහර එල්ල කරමින් ඒවා චලනය කරන්නේ ඇතැම් ඇනවල වැදීම සඳහාය. පසුව මෙම නම සිංහලීකරණය වී ඇත.”
අන්වීක්ෂයට හසුවූ ඊළඟ ස්ථානය නම් කොළඹ 4 පිහිටි මිලාගිරියයි. මුලදී එහි වූයේ ”නොස්සා සෙනොරා ඩොස් මිලාගෙස් (අවර් ලේඩි ඔෆ් මිරකල්ස්) නම් පෘතුගීසි පල්ලියකි. පසුව  ඕලන්ද පාලනය යටතේ  ඕලන්ද ප‍්‍රතිසංස්කරණවලට ලක්වූ එය සමග පාසලක්ද ආරම්භ කරනු ලැබීය. එහි විදුහල්පති වූ ස්වදේශිකයා ජඞ්නිමෝ ගේ‍්‍රරෝ නම්වූ අතර ඔහු තොම්බකරුවකු හෙවත් බෞතිස්මය, විවාහ සහ මරණ රෙජිස්ට‍්‍රාර්වරයකු ද වීය. එම පවුලේ ඉතිහාසය මෙබඳුය. ගේ‍්‍රරෝගේ බිරිඳ නෝනා බාබා නම්වූ අතර ඔවුන්ගේ දියණිය විරිතමුල්ලේ දෝන ඉසබෙලා කොර්නෙලියා පෙරුමාල් නමින් බෞතිස්මය ලැබූ අතර පසුව ගජමන් නෝනා ලෙස මාතර ප‍්‍රසිද්ධියට පත්වූයේ ඇයයි.
ඕලන්ද කාලයේ කොළඹ මාර්ග ජාලයක් තිබිණි. ඔහු කියන පරිදි මුලින්ම තුබුණේ කොනින්ග් ස්ටාර්ට් හෙවත් රජ වීදියයි. එමෙන්ම කුමාර වීදියක් ද තිබිණ. එය නම්කොට තිබුණේ  ඕලන්දයේ ඔරේන්ජ්හි කුමරු නාමයෙනි.
(මතු සම්බන්ධයි)
සන්ඬේ ටයිම්ස්හි පළවූ ලිපියකි / පරිවර්තනය - සී. ජේ. අමරතුංග

එදා කොළඹ ලස්සන



0 comments:

Post a Comment