Jul 8, 2013

නිසි තැන් වෙනුවට ඉහළ තැන් ලද තායි වනිතා ශ්‍රම බළකාය

4-1තායි වනිතාවන් දෙස බැලූ විට හැඟෙන්නේ සමතැන් ඉල්ලන්නේ නැති වනිතාවන්ට නිසි තැනටත් වඩා ඉහළ තැනක් ලැබි තිබෙන බවකි. ඒ මන්ද යත් එහි පිරිමින්ට වඩා රැකීරක්ෂා ඇබෑර්තු තිබෙන්නේ කාන්තාවන්ට වීමයි. ගෘහණියකගේ කාර්ය භාරයට අමතරව ඔවුන් පිරිමින්ට වඩා කාර්යක්ෂම ලෙස රටේ සංවර්ධන ක්‍රියාවලියට උරදී සිටී. 4-2දරුවන් තුන් හතර දෙනෙකු සිටින පවුලක පවා මව කුමක් හෝ රැකියාවක නිරත වෙති. එය මධ්‍යම පාන්තික හෝ ධනවත් පන්තියේ කතුන්ට ද ‍පොදුය. ධනවත් හෝ මධ්‍යම පන්තියේ කියා රැකියාවේ වෙනසක් නැත. අපේ රටේ මෙන් නොව ඔවුන්ගේ සුදුස්සාට සුදුසු රැකියා ලැබි තිබේ. නූගත් එහෙත් බලය සහ මුදල් ඇත්තවුන් උස් පුටුවල සිට හයිකාරකම් පෙන්වන්නේ නැත. රැකියාවේ හෝ බලයේ උණුසුමින් මහජනයාට පාට් දමන්නේ ද නැත. උස් පුටුවල සිටින්නන්ගේ දරුවන්ගෙන් ද සාමාන්‍ය වැසියන්ට කිසිදු ආකාරයක කරදරයක් හෝ හිරිහැරයක් මේ දක්වා වාර්තා වී ද නැත.
රාජකාරි කාලය තුළ තමාට අයත් රැකියාව හෝ ව්‍යාපාරය මැනවින් ඉටු කරන්නට මෙම වනිතාවෝ සැදී පැහැදී සිටිති. එය පදික වේදිකාවේ සිදුකරනු ලබන ව්‍යාපාරයක් වන්නට පුළුවන. මේසන් රැකියාවක් වන්නට පුළුවන. එසේත් නැතිනම් ටුක් ටුක් රථයක රියැදුරු රැකියාවක් හෝ බස් කොන්දොස්තරකමක් හෝ වන්නට පුළුවන. මේ සෑම රැකියාවක්ම ඔවුන් දැඩි වගකීමකින් ඉටු කරති. ඒ අතින් ඔවුන් සිටින්නේ පිරිමින්ට වඩා ඉදිරියෙනි.
70 දශකයේ මුල් භාගයේ තායි වනිතාවන්ගේ රැකියා වියුක්තිය පැවතුනේ ඉහළ අගයකය. ක්‍රමයෙන් රටේ සංවර්ධන මංපෙත් පුළුල් වීමත් සමග කාන්තා 4-3රැකියා වියුක්තිය අවම වන්නට පටන් ගෙන තිබිණි. 1976 වසර වන විට කාන්තා රැකියා වියුක්තිය සියයට 93කින් අවම වූ අතර ශ්‍රම බළකායේ කාන්තා නියෝජනය පිරිමි නියෝජනය හා සම මට්ටමකට පැමිණ තිබිණි. එතැන් සිට 1983 වසර දක්වා ශ්‍රම බළකායේ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ පහළ නොගිය අතර 1976 සිට 1985 දක්වා වසර දහය කාන්තා දශකය ලෙස නම් කරනු ලැබිය.
ඔවුන් පළමු වරට සංවිධානාත්මක ලෙස ජාත්‍යන්තර තලයේ ශ්‍රමික කාන්තා සමුළුවකට සහභාගි වූයේ 1985 වසරේදීය. ඒ කෙන්යාවේ නයිරෝබි නුවර පවත්වන ලද සමුළුවකි.
ඉන් අනතුරුව තායි කම්කරු ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ 1998 වසරේදීය. ඒ කම්කරු ආරක්ෂක පනත නමිනි. ටීආර්ටී නොහොත් තායි තරක් තායි පක්ෂයේ යෝජනාවකට අනුව එය ඉදිරිපත් වී තිබිනි. කාන්තා සහ පිරිමි කම්කරු දෙපිරිස වෙනුවෙන් එය පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර ඉන් අනතුරුව කම්කරු ප්‍රජාව වෙනුවෙන් නීති පද්ධති සකස් කෙරිනි
.
2002 වසරේ සිට 2011 වසර දක්වා පිරිමි සහ කාන්තා ශ්‍රමිකයන්ගේ වර්ධනය වෙන් වෙන් වශයෙන් සලකා බැලූ විට පිරිමි ශ්‍රමිකයන් සංඛ්‍යාව වර්ධනය වී ඇත්තේ ලක්ෂ 23 කිනි. නමුත් කාන්තා ශ්‍රමිකයන් සංඛ්‍යාව ලක්ෂ 31කින් වර්ධනය වී තිබේ. ස්වයං ව්‍යාපාරික මට්ටමින් ශ්‍රම බළකායට එකතු වී ඇති කාන්තා ප්‍රතිශතය සියයට 18කි. ඉන් වැඩි පිරිසක් රූපාලංකරණ ක්‍ෂේත්‍රය හා සම්බන්ධ රැකියාය. කේෂාලංකරණ ආයතනය, සම්බාහන ආයතන සහ මැහුම් ගෙතුම් ආදිය ද ඊට ඇතුළත්ය. කාන්තා ස්වයං රැකියා ක්‍ෂේත්‍රය කෙතරම් සාර්ථක ලෙස පණ ගැන්වී ඇත්ද යත්, ෆෝබ්ස් සඟරාව 4-4පවසන අන්දමට ලොව හොඳම ව්‍යාපාරික කාන්තාවන් පනස් දෙනා අතර සිටින්නියක් ද තායිලන්ත කාන්තාවකි. යුවදී ජිරාදිවට් නම් වන ඇය කොටස් වෙළෙඳ‍පොළ හිමිකාරියකි. පසුකාලයේ ඇය සහභාගි වූ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී, විවාදයකට තුඩු දිය හැකි කරුණක් පවසන ලදුව එය මාධ්‍ය මගින් ඉස්මතු කර පෙන්වා තිබිණ. සාකච්ඡාව අවස්ථාවේ මෙය දැඩි ලෙස සිදු කළ ප්‍රකාශයක් වුවද, පසුව ඇය කීවේ මෙය ඉතාම සාර්ථක ලෙස සිදුකළ විහිළුවක් පමණක් බවයි.

“තායිලන්තයේ පිරිමින් ඉන්න ඕනෙ තැන්වල දැන් ඉන්නෙ කාන්තාවන්. ඒක හරිම ආඩම්බරයක්. නමුත් තව කාලය ගත වන විට තායි පිරිමින් ගෘහණියන් බවට පත් වෙලා. කාන්තාවන් බලවත් වෙයි කියලත් හිතෙන අවස්ථා තිබෙනවා”.

තායි දත්ත වාර්තාවලට අනුව තායි කාන්තාවන්ගෙන් සියයට 58ක් අඩු අධ්‍යාපනලාභීන්ය. එනම් ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු පාසල් හැර ගියවුන්ය. නමුත් අත්දැකීම් මත තමාගේ සේවා වගකීම් ගැන මනා දැනුවත් බවක් සහ වැටහීමක් තිබේ. වාර්තා පෙන්වා දෙන අන්දමට කම්කරු රැකියාවන්ගේ නියුක්ත කාන්තාවන්ගෙන් සියයට 90ක් කෘෂිකර්මය හා සම්බන්ධ රැකියාවල නිරත වී සිටී. ඒ ගම්බද ප්‍රදේශවලය. 1980 වසරේ කෘෂිකාර්මික භෝග අපනයනය කිරීමෙන් තායිලන්ත දළ දේශීය නිෂ්පාදිතයට එකතු වූ ආදායම සියයට 15.5කි. 1986 වසරේදී එය 43.6කි. 1989 වසර වන විට 65.5 ක් වූ එය 1996 වසරේදී 89.4 ක් දක්වා ඉහළ නැග තිබිණි. මේ ආකාරයට රටේ සංවර්ධනයට උරදීමේ පූර්ණ ගෞරවය රජය විසින් ලබා දී තිබෙන්නේ ද කාන්තාවන්ටය.

නගරබද අඩු අධ්‍යාපනලාභී කාන්තාවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් පදික වෙළෙඳාම්, මේසන් රැකියා හෝ ඉලෙක්ටේ‍රානික ක්‍ෂේත්‍ර ආදියෙහි නිරත වී සිටිති. පදික වෙළෙඳ කාන්තාවන්ගේ ප්‍රධාන වෙළෙඳ භාණ්ඩය ඇඳුම් පැළඳුම්ය. දිනපතා උදෑසන දැවැන්ත ට්‍රන්ක පෙට්ටිවල නානා ප්‍රකාර ඇඳුම් පුරවා ගෙන පැමිණෙන ඔවුන් විදේශිකයන් ගමන් ගන්නා මංමාවත් අසල යම්කිසි ස්ථානයක් බලා තාවකාලික කුටියක් අටවා ගනී. ඒ සඳහා අවශ්‍ය යකඩ කණුවේ සිට බෝල්ට් ඇණය දක්වා වූ සියලු අඩුපාඩු ගෙන එන්නේ ඉහත කී ට්‍රන්ක පෙට්ටිය තුළ දමා ගෙනය. ඉන්පසු සවස් වනතුරු සිය වෙළෙඳාම් කටයුතු සිදුකරන ඔවුන් සවස හය පමණ වන විට සියලු සේසත හකුලා ට්‍රන්ක පෙට්ටිය තුළ දමාගෙන යන්නට යයි. නැවත වැඩ පටන් ගන්නේ පසුදා උදෑසනය.

සේල්ස් ගර්ල්ස් නොහොත් සුපිරි වෙළෙඳසල්වල විකුණුම් සේවිකා වෘත්තිය, පදික වෙළෙඳාමට වඩා පියවර කීපයක් ඉදිරියෙන් ඇති රැකියාවකි. විකුණුම් සේවිකාවක වීම සඳහා වැඩිදුර අධ්‍යාපනයක් අවශ්‍ය නොවූවද මුදල් අයකැමි තනතුර සඳහා නම් සාමාන්‍ය අධ්‍යාපනයක් හෝ අවශ්‍යය. බැංකොක් නගරයේ ඇති වෙළෙඳසල්වලින් සියයට 95ක් පමණ ඇත්තේ සුපිරි වෙළෙඳසල්ය. ඒ නිසා විකුණුම් සේවිකා ඇබෑර්තු මදි නොකියන්නට තිබේ. මෙම සෑම සුපිරි
4-5වෙළෙඳසලකම විකිණීම සඳහා තබා ඇති බඩු භාණ්ඩවලට අමතරව එක්තරා ‍පොදු උපකරණයක් තිබේ. ඒ සෑම බිත්තියකම පාහේ සවිකරන ලද විශාල ප්‍රමාණයේ දර්පනයන් (මුහුණ බලන කණ්ණාඩි) ය. මේවා අලෙවිය සඳහා තැබූ ඒවා ද නොවේ. සුපිරි වෙළෙඳසල්වල භාණ්ඩ සොරා ගැනීම වැළැක්වීම සඳහා මේවා සවිකළැයි සිතීම සම්පූර්ණයෙන්ම විහිළුවකි. මන්ද යත් ඒ සඳහා ඕනෑතරම් සීසීටීවී කැමරා පද්ධති සවිකර තිබිමයි.

මෙතරම් දර්පන ප්‍රමාණයක් බිත්තිවල එල්ලා තැබිමට හේතුව සොයා බැලූ විට, දැනගත හැකි වූයේ පුදුම උපදවන කාරණයකි. ඒ සියලුම දර්පන වෙළෙඳ සේවිකාවන් වෙනුවෙනි. වෙළෙඳ සේවිකාවන්ගේ රූපාලංකරණය වෙනුවෙනි. කණ්ණාඩි පමණක් නොව සුපිරි වෙළෙඳ‍පොළේ විකිණීම සඳහා තබා ඇති ඕනෑම ආ‍ලේපනයක් නොමි‍ලේම නිවසට රැගෙන යන්නට ද ඔවුන්ට අවසර තිබේ. නමුත් ඒ යම්කිසි සීමාවක් දක්වා පමණි. එපමණක් නොව, සෑම සේවිකාවක්ම උදෑසන සේවයට වාර්තා කළ පසු සම්පූර්ණයෙන්ම මුව අලංකරණවලින් (එනම් මේක් අප්) සැරසිය යුතුය. මේ කියන දර්පන සවිකර ඇත්තේ ඒ සඳහාය. උදෑසන නවයට පමණ මෙවැනි වෙළෙඳසලකට ගොඩවුවහොත් මෙහි ඇත්ත නැත්ත දැකිය හැකිය. වෙළෙඳ සේවිකාවන් එක රොත්තට මුව ආ‍ලේපන උලති. තොල් පාට කරති. හිසකෙස් කරකවා එක එක මෝස්තරවලින් හැඩ කරති. කෙටියෙන්ම කිවහොත් රූපලාවන්‍යාගාර මෙනි. ගනුදෙනුකරුවන් ගැන අවධානය ඇති වන්නේ එම කාර්යයෙන් අනතුරුවය. නමුත් මේ පිළිවෙළ ගැන කිසිම පුද්ගලයෙකු දොස් කියන්නේ ද නැත.

මෙම මේක් අප් කිරීම වෙළෙඳ සේවිකාවන්ට පමණක් සීමා වූවක් නොවේ. බස් කොන්දොස්තරවරියන් ද එසේය. පදික වේදිකාවේ වෙළෙඳාම් කරන කාන්තාවන් ද එසේය. මේසන් වැඩ කරන කාන්තාවන් ද වර්ණවලින් සරසන ලද දෙතොල් සහ දුන්නක් සේ අඩක් වක් වුණු, පාට කරන ලද ඇහිබැමිවලින් යුක්තය. ගිනි කාෂ්ඨක අව් රශ්මියේ ටුක් ටුක් රථ පදවාගෙන යන රියැදුරුවරියන් ද සම්පූර්ණ මේක් අප් භාවිතයෙන් හැඩ වී සිටිති. අපට විකාරයක් ලෙස පෙනුණද ඕනෑම පුද්ගලයෙකුට ප්‍රියමනාප ලෙස සිටීම සඳහා ඔවුන් හුරු වී තිබෙන ආකාරයයි මේ. මෙවැනි හේතු නිසාම තායි තරුණියක් දෙස දෙවරක් හැරී නොබලන්නට හිතෙන යම් පුද්ගලයෙකු වේ නම් නියත වශයෙන්ම එම පුද්ගලයා දෑස් නොපෙනෙන්නෙකු විය යුතුය. නොඑසේ නම් සිහි කල්පනාවක් නැත්තෙකු විය යුතුය. එසේත් නැතිනම් සියලු කෙලෙසුන් නැසූ යතිවරයෙකු විය යුතුය.

දුලංජලී මුතුවාඩිගේ තායිලන්ත සංචාරයකින් පසු

0 comments:

Post a Comment