Jul 15, 2013

බුද්ධගයා ප්‍රහාරය සහ හිටපු ඇමරිකානු ජනාධිපති රේගන්ගේ මහත්වරු




පකිස්තානවාසී දේශපාලන චින්තකයකු හා සමාජ ක්‍රියාධරයකු වූ ඉක්බාල් අහමඩ් ප්‍රකට Dawn සඟරාවට ලියූ ලිපියකින් මගින් අපූරු කතාවක් ලෝකයට හෙළි කරයි. ඉක්බාල් කියන පරිදි කතාව මෙසේය. ඒ 1985 වසරේ දිනයකි. ඇමරිකානු රූපවාහිනිය අපූරු දසුනක් විකාශය කරයි. විවාදාපන්න ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් ධවල මන්දිර  තණපිටියේ සිටී.
ඔහුගේ මුහුණේ විශාල සිනහවකි. සිනහවෙන් මුව සරසා ගත් ජනාධිපති රේගන් මේ සූදානම් වන්නේ ඔහු සමග සිටින යම්කිසි කණ්ඩායමක් මාධ්‍ය මගින් හඳුන්වාදීමටය. රේගන් කණ්ඩායම හඳුන්වා දෙන්නේ මෙසේය.
‘මේ මහත්වරුන් හිතින් ඇමරිකාවේ නිර්මාතෘවරුන්ට සමානය’ ජනාධිපති රේගන් ඇමරිකාවේ නිර්මාතෘවරුන්ට සමාන කරමින් ඒ හඳුන්වා දුන්නේ ඇෆ්ගනිස්ථානයේ මුජහිදීන් නායකයන්ය.

මේ අවස්ථාව ඉතාම වැදගත්ය. එය ලෝකයේ ගමන් මග වෙනස් කළ
නිමේෂයකි. මුජහිදීන්ලා නමැති ඉස්ලාමීය ගරිල්ලා දේශපාලන කණ්ඩායම්  පන්නරය ලැබුවේ, ලෝකයට  ආවේ එපරිද්දෙනි. දේශපාලන ඉස්ලාමීය කොටස් ත්‍රස්තවාදීන් වශයෙන් අභිෂේක ලැබුවේ එසේ ධවලමන්දිරයේදීය. 

මේ අභිෂේක මංගල්‍යයෙන් එළියට පැමිණ ත්‍රස්තවාදීන් ලෝකයට කරමින් තිබෙන විනාශය ගැන අමුතුවෙන් කිවයුතු නැත. ඔසාමා බින්ලාදන් නමැති ත්‍රස්ත ප්‍රධානියා එළියට ආවේ ඇමරිකාවේ ත්‍රස්ත අභිෂේක මංගල්‍යයෙහි ප්‍රතිඵලයක් හැටියටය. අවසානයේ බින්ලාදීන්ගේ අල්කයිදා කාඩර්ලා තමන්ට ත්‍රස්තවාදයේ රුහිරි පෙවූ පෙන්ටගනය සහ  සී.අයි.ඒ. මුල්කරගෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල කළහ. ඉතිහාසය සරදමක්යැයි කල්පනා වෙන්නේ මේවා දකින විටය. මෙසේ උපත ලැබූ මුජහිදීන්ලා ගැන අපගේ අවධානය යොමු වූයේ ඉකුත් 7 වැනිදා (2013 ජූලි 7) ඉන්දියාවේ බුද්ධගයා ශුද්ධ භූමියට එල්ල වූ කාලබෝම්බ ප්‍රහාර වටයත් සමගය. ඉන්දීය ආරක්ෂක අංශ වාර්තා සඳහන් කරන හැටියට බුද්ධගයා ම්‍ලේච්ඡ ප්‍රහාරය ඉන්දීය මුජහිදීන්ලාගේ වැඩකි. එහෙත් මේ මුජහිදීන්ලා ඉන්දියානුවන් යැයි නිෂ්පාදිත රටෙහි ‍ලේබලය ගැහුවද ඔවුන් පැමිණ තිබෙන්නේ  අරාබියෙන් හා ස්කොට්ලන්තයෙනි. කෙසේ වුවද මේ ඉන්දීය ආරක්ෂක වාර්තා අප තුළ සැක  ජනිත කරයි. ප්‍රහාරයෙන් පසුව ඉන්දීය බුද්ධි අංශ ප්‍රචාරය කළේ  මාස කිහිපයකට පෙර ප්‍රහාරයක අනතුර පිළිබඳ බුද්ධි අංශ අනතුරු ඇඟ වූ බවය.  එසේම දැනට අත්අඩංගුවට ගත්  ස්වරූපයේ පුද්ගලයන් බුද්ධගයා ප්‍රදේශයේ සැරි සරා තිබෙන බවද වාර්තාවෙයි. දිල්ලියේ බුද්ධි අංශ වාර්තා මගින් අනතුරු ඇඟ වූ පසු විහාරයෙහි විශේෂ ආරක්ෂක       බළකායක් විසින් ගයාවේ ආරක්ෂාව තර කළ බවද කියවෙයි. එහෙත් විශේෂ එබඳු ආරක්ෂාවක් දමා තිබියදී කාලබෝම්බ 13ක් ගයා භූමිය තුළ සවි කිරීම සැක ජනිත නොකරන්නේද? කෙසේ වුව අවසානයේ අයිය මලෝ දෙදෙනකු අල්ලයි. 8 වැනිදා අත්අඩංගුවට ගත් සැක කරුගේ මුහුණ කළු රෙද්දකින් වසා තිබුණි. ප්‍රහාරයෙන් සුළු කාලයක්ගත වෙද්දී සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් ඉන්දීය ආරක්ෂක බලධාරීන්ට  සමස්ත ලෝකයේම දැඩි ගෞරවයට ලක් වූ බුද්ධ ගයාව ත්‍රස්ත ප්‍රහාර වලින් බේරා ගැනීමට නොහැකිවීම ඉතාම ගැටලු සහිතය.
16-1එපමණක් නොව මේ  ජවනිකා පෙළ අප තුළ වඩාත් අරුමය උපද වන්නේ ප්‍රහාරයෙන් දිනකට පසු ඉන්දීය  ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන්ගේ ලංකා ගමන යෙනි.

එහෙයින්  ඉන්දීය ආරක්ෂක අංශ කියන හැටියට බුද්ධගයා ප්‍රහාරය මුජහිදීන්ලාගේ වැඩක් නම් ත්‍රස්තවාදින් ඉන්දියාවෙහි උඩ කරණම් බිම කරණම් ගසද්දී ආරක්ෂක උපදේශකවරයා ලංකාවෙහි තිබෙනවා යැයි කියන ගැටලු විසඳා ගැනීමට උපදෙස් දීම සඳහා පැමිණීම නම් අපගේ සිතෙහි හාස්‍ය රසයක් මතු කරයි.

බුද්ධගයා ප්‍රහාරයට කලින් ප්‍රබල ත්‍රස්ත ප්‍රහාර රැසකට ඉන්දියාව  ගොදුරු විය. මුජහිදීන්ලාගේ ත්‍රස්ත ප්‍රහාර දෙස අවධානය යොමු කරන කල අපට එක් කරුණක් පැහැදිලි වෙයි. ඒ ඔවුන් තමන්ගේ හෝ අනුන්ගේ අරමුණක් වෙනුවෙන් ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන බවය. එහෙත් බුද්ධගයා ප්‍රහාරයෙන් ඔවුන් ඉටුකර ගැනීමට අපේක්ෂා කළ ත්‍රස්තවාදී අරමුණ අතිශය සංදිග්ධතා බහුලය. එහෙයින් මෙම ප්‍රහාරය අපගේ සිත්හි තවත් සැකමතු කරයි. ඉන්දීය ආරක්ෂක අංශ වාර්තා එකවිට අපට පිළිගත නොහැකිය. අනෙක ලෝකයේ ප්‍රමුඛ පෙළේ බුද්ධි අංශ මගින් ක්‍රියාත්මක කරන අදහස් යුද්ධ අපට අමුතු දෙවල් නොවේ. ලෝකයේ ලොකුම අදහස් යුද්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන්නෙ ඇමරිකාවෙහි සී.අයි.ඒ.සංවිධානය මගිනි.

බුද්ධගයා ප්‍රහාරය මුජහිදින්ලාගේ වැඩක් යැයි අපි මොහොතකට උපකල්පනය කරමු. එහෙත් ඒ ප්‍රහාරය ඔවුන්ගේ අවශ්‍යතාවට කළ එක්ක විය නොහැකිය. මුස්ලිම් ත්‍රස්තයන්  බොහෝ විට කර තිබෙන්නේ සී.අයි.ඒ. ආදි බුද්ධි අංශවලට කඩේ යාමය.ලෝකයේ බුද්ධි අංශ අතර දැනට ඉහළ තැනෙක සිටින පාකිස්තානයේ අයි.එස්.අයි. ඔත්තු සේවාව ප්‍රබල තැනෙක සිටී. රෝ -සී.අයි.ඒ. ඒකාබද්ධ බුද්ධි මෙහෙයුම් සේම චින ඔත්තු සේවාව වන එම්.එස්.එස්.සේවාව අයි.එස්.අයි. ඔත්තු සේවාව සමග එකට වැඩ කරන අවස්ථාද ඇත.  ඇමෙරිකාවේ සී.අයි.ඒ. සහ පෙන්ටගන මග පෙන්වීම අනුව ලෝකයේ දේශපාලන ඉස්ලාමීය කණ්ඩායම් ත්‍රස්තවාදීන් සේ පාරට බැස්සද කාලයක් යන විට බොහෝ ත්‍රස්ත කණ්ඩායම් ඇමරිකාවේ පාලනයෙන් ගිලිහී පාකිස්තාන ඔත්තු සේවාව අතට පත්වෙයි.
එහෙයින් බුද්ධගයා ප්‍රහාරය එබඳු ඒකාබද්ධ ගනුදෙනුවක ප්‍රතිඵලයක් විය හැකිය. මතුපිටින්  කරුණු  සලකා බලනවිට බුද්ධගයා ප්‍රහාරයේ එක් අප්‍රධාන අරමුණක් වන්නේ දලයිලාමා හාමුරුදුරුවන්ගේ ගෝලබාලයන් වන  ලාමා හිමිවරුන්ය. ලාමා හිමිවරුන් ඉන්දියාවෙහි සරණාගතයන් වී සිටින්නේ බෞද්ධ තිබ්බතය කොමියුනිස්ට් චීනය මගින් ග්‍රහණයට ගනු ලැබිම නිසාය.

චීනයට ලොකුම හිසරදයක් වී තිබෙන්නේ ලාමා වරුන්ගේ විමුක්තිකාමී අරගලයයි. පසුගිය කාලයේ ලාමාවරුන් විශාල පිරිසක් තිබ්බත නිදහස තකා ගිනි තබාගෙන අපවත් වූහ.  ත්‍රස්ත ප්‍රහාර වටයේ අරමුණ ලාමාවරුන්ට පාඩමක් ඉගැන්වීමද? එසේත් නැත්නම් චීනයට එරෙහිව ලාමාවරුන්ගේ අරගලය උග්‍ර කරවීමද?  යන ප්‍රශ්නද අප තුළ ඇතිවෙයි. මුස්ලිම් ගරිල්ලන්ට බුද්ධාගම නොඉවසීම පිළිබඳ මූලධර්මවාදි වලිප්පුවක් විනා බෞද්ධයන් සමග ගහමරා ගැනීමට සමීප හේතු තිබෙන බවක් නොපෙනේ. ඉන්දීය ආරක්ෂක අංශ කියන්නේ බුරුමයෙහි ඇති  වී තිබෙන මුස්ලිම් ත්‍රස්ත  නැගිටීම හා බුද්ධගයා ප්‍රහාරය අතර සබඳතාවක් තිබිය හැකි බවය. එබඳු එකී තර්කයෙහි යම් ඇත්තක් තිබේනම් ත්‍රස්තයන් ප්‍රහාර එල්ල කළ යුත්තේ බුරුමයෙහි ස්වේදගෝන් වැනි පූජනීය ස්ථානයකටය. පැට්නාවල සැලසුම් කළ ප්‍රහාරය පසුව යම් හේතුවක් උඩ ගයාවට එල්ල කළ බවද මේ අතර ප්‍රචාරය වෙයි. එබැවින්ම මුජහිදීන්ලා තමන්ගේම ත්‍රස්තවාදී අරමුණක් සඳහා ප්‍රහාරය එල්ල කළේ නම් උපාය මාර්ගිකව ඔවුන් ප්‍රහාර එල්ල කළයුත්තේ හින්දු ආගමික ස්ථානයකටය. ඊට හේතුව ඉන්දීය  හින්දූන් සහ මුස්ලිම්වරුන් අතර තිබෙන බරපතළ ගැටුමයි.

එම ගැටුම උග්‍ර වූයේ 1992 දෙසැම්බර් 6 වැනිදා අයෝධ්‍යා ප්‍රහාර යෙනි. අයෝධ්‍යාවල මුස්ලිම්වරුන්ගේ මෝගල් යුගයට අයත් දේවස්ථානයක් විය. හින්දුවරුන් විශ්වාස කළේ එම දේවස්ථානය තිබෙන්නේ රාමා උපන් භූමියෙහි බවය. එනිසා රණකාමී ආගමික උත්සවයකට සහභාගි වූ හින්දු අන්තවාදීහූ අයෝධ්‍යා මුස්ලිම් දේවස්ථානය කුඩුපට්ටම් කළහ. මෙනිසා ගැටුම් රැල්ලක්  ඇතිවිය.  2000කට අධික පිරිසක් මිය ගියහ. අනෙක් මුස්ලිම් රටවලද ගැටුම් ඇතිවය. මෙකී වාස්තවික  පසුබිම අනුව මුස්ලිම් ත්‍රස්තයන් බුද්ධ ගයාවට ප්‍රහාරයක් එල්ල කිරීමෙහි උපාය මාර්ගික ගැටලු ඉතාම අපහැදිලිය. එක්පැත්තකින් මේ ප්‍රහාරය රෝ සංවිධානයේ උපාය මාර්ගික කම්පන ප්‍රහාරයක්ද විය හැකි යැයි යමෙකුට තර්ක කළහැකිය. එබඳු ප්‍රහාරයකට දැක්විය හැකි නිදර්ශනයක් වන්නේ 1986 මැයි 3 දා උදෑසන 9.12ට කොළඹ  සිට මා‍ලේ බලා යාමට නියමිතව තිබූ එයාර් ලංකා ගුවන් යානයක බෝම්බයක් පිපිරීමය. යානය පිටත්වීමට සුළු මොහොතකට පුපුරා ගිය බෝම්බය නිසා 16ක් මිය ගියහ. 41 ක් තුවාල ලැබූහ. ලංකාවේ පමණක් නොව ඉන්දියාවේද අය මේ ගැන ප්‍රකාශ කළේ   ඒ ප්‍රහාරය ‘රෝ’   වැඩක් බවය. එකී බෝම්බ ප්‍රහාරය වනවිට ඉන්දියාව හා ලංකාව අතර දෙමළ ජනයාට දේශපාලන විසඳුමක් දීම පිළිබඳ මත භේද උග්‍ර වී තිබුණි. එකට සිටි ඉන්දීය විදේශ ‍ලේකම්  ඒ.පී. වෙන්කටේස්වරන්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ ලංකාවේ දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීමය. කෙසේ වුව මුලින්ද අප කී පරිදි  බුද්ධගයා ප්‍රහාරවලින්් මෙරට බොදු හදවත් ශෝකයෙන්  ඇවිලෙද්දී ඉන්දීය ආරක්ෂක උපදේශක මෙහි පැමිණීම අපූරු අහඹුවක් විය හැකිය.
 
කොහොම නමුත් බුද්ධගයා ප්‍රහාරය අතිශය බරපතළ අනතුරු ඇඟවීමකි. ඒ අනතුරු ඇඟවීම ශ්‍රී ලංකාවටද එකසේත් අදාළය. ඇමරිකාවේ සී.අයි.ඒ. සමග එක් වී ඇෆ්ගනිස්ථානයේ සෝවියට්  ආගමනයට එරෙහිව මුජහිදීන්ලා පුහුණු කළ අන්තර්සේවා බුද්ධි අංශයෙහි වසර 4ක් පුරා කටයුතු කළ බ්‍රිගේඩියර් මොහොමඩ් යූසුෆ් වරක් සඳහන් කර තිබුණේ තමන්ගේ කාල සීමාවේදී මුජහිදීන්ලා 80,000ක් පමණ පුහුණුකර මුදා හළ බවයි.
අහමඩ් රෂිඩ්ගේ ඇස්තමේන්තු පරිදි 1982 - 1992 අතර කාලයේදී ඉස්ලාමීය රටවල්  43ක මුස්ලිමුන් 35,000ක් මුජහිදීන්ලා වෙනුවෙන් එක්කර තිබේ. මේ කණ්ඩායම් විවිධ ඔත්තු සේවාවලට සම්බන්ධ වෙමින් ලෝකයට හානි කරමින් සිටී. සමහර විට චීනය නැගිටින විට ආසියාවේ ප්‍රබල බෞද්ධ මුස්ලිම් ගැටුමක් නිර්මාණය කිරීම සමහර අයගේ අරමුණු විය හැකිය. එය චීනයේ නැගීසිටීමට මතූ නොව සමස්ත  ආසියාවේ නැගිටීමටද බාධාවකි.  බුද්ධගයා ප්‍රහාරය එබඳු වැඩ පිළිවෙළක ආරම්භක ප්‍රහාරය විය හැකිය. එහෙයින් ලංකාව  සීරුවෙන් සිටිය යුතුය.  

වරුණ අබේසේකර 

3 comments:

  1. http://kafila.org/2013/07/09/bodhgaya-bomb-blasts-moving-beyond-the-usual-suspects/

    ReplyDelete
  2. Ethakota muslim un ahawal ekatada wagakiima baragatthe. Meka buddha gayawata bomba gahapu unta kade yamak witharai.

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන්නේ මතයක් විතරයි සහෝදරයා..

      Delete