පිසාචයන්
(Vampires) පිළිබඳ කතිකාවත යළිත් කරළියට බැස තිබේ. ඒ පෝලන්තයේ ඉදිකිරීමේ
බිමක සිදු කරන ලද කැණීමකින් ආදි වැම්පරයන්ගේ යැයි විශ්වාස කෙරෙන සොහොනක්
පුරාවිද්‍යාඥයින් පිරිසකට හමු වීමත් සමගය. ග්ලිවිස් නගරයෙන් මතු වූ මෙම
පිසාච ඇටසැකිලි හතරේ ඇති විශේෂත්වය නම් ගෙලෙන් සිඳලන ලද හිස් සැකිලිවල දෙපා
අතර තැන්පත් කොට මිහිදන් කිරීමයි. මළ සිරුරක හිස කඳින් වෙන්කොට මිහිදන්
කිරීම මධ්‍යකාලීන යුගයේදී අනුගමනය කෙරුනු සාමාන්‍ය පොදු පිළිවෙතක් වන අතර
ඉන් බලාපොරොත්තු වන ලද්දේ මියගිය තැනැත්තා මළවුන්ගෙන් නැගිට ලේ උරා බොන
පිසාචයකු බවට පත්වීම වැළැක්වීමයි.
මෙම මළසිරුරු හිමි පුද්ගලයන් සැබවින්ම මරණයට පත්වූයේ කෙසේද යන්නට තොරතුරු හෙළි වී නොමැති මුත්, ගෙල සිඳලීමට අමතරව ඒවායේ දැකිය හැකි තවත් විශේෂ ලක්ෂණයක්
නම් මිහිදන් කිරීමේදී සාමාන්‍යයෙන් සිදු කෙරෙන ආකාරයට ආභරණ වැනි වෙනත්
ලෞකික කළමනා ආදිය කිසිවකින් තොරව සිරුරු වළදා තිබිමයි. මිහිදන්
කිරීම් සිදු වූ වකවානුව නිශ්චිතව කිව නොහැකි නමුත් ඒවා දහසය වන සියවසේදී
පමණ සිදු වන්නට ඇති බවට විශ්වාස කෙරේ. කෙසේවුවද මෙයාකාරයේ පිසාච මළසිරුරු
හමුවූ ප්‍රථම අවස්ථාව නම් මෙය නොවේ. මීට වසරකට පෙරදීද බල්ගේරියාවේ
සොසෝපොල් නුවර වූ ආරාමයක් අසලදී සිදුකෙරුනු කැණීම්වලදී පිසාච ඇටසැකිලි
දෙකක් සොයා ගැනුණු අතර බල්ගේරියානු ජාතික කෞතුකාගාරයේ ප්‍රධානියා වන
‘බොසිඩාර් දිමිකේරාව්’ පවසන ආකාරයට ඉකුත් වසර කීපය තුළදී බල්ගේරියාව
තුළින් පමණක් සොයා ගනු ලැබූ වැම්පර ඇටසැකිලි ගණන සියය ඉක්මවන අතර මෙලෙස මළ
සිරුරුවල හිස කඳින් වෙන් කොට මිහිදන් කිරීම විසිවන සියවසේ මුල්භාගය තෙක්ම
බල්ගේරියානු ගම්මානවල අනුගමනය කෙරුනු සම්ප්‍රදායකි. ජීවත් වන්නවුන්ගේ
රුධිරයෙන් පවස නිවා ගැනීමට මළවුන්ගෙන් නැගිට එන පිසාචයන් පිළිබඳ වන
පුරාණෝක්ති වසර දහස් ගණනක අතීතයට දිවයන්නක් වන නමුදු අදටද නැගෙනහිර
යුරෝපයේ පිටිසරබද හුදකලා ගම්මානවල වෙසෙන්නවුන් පිසාචයන් කෙරෙහි දක්වන
බියෙහි අඩුවක්ව නොමැත. පිසාචයන් පලවා හැරීමේ බලයක් ඇති බවට විශ්වාස කෙරෙන
සුදුලූනු හා කුරුසියන් මොවුන් අතර සුලබව භාවිතා කෙරේ.
මෑතකදී පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් චෙක් ජනරජයෙන්ද පිසාචයන්ගේ බවට සැක කෙරෙන සොහොන් තුන්දහසක් පමණ සොයා ගනු ලැබූ අතර ඒවායේ විශේෂත්වය වූයේ මියගියවුන්ට නැවත නැගිටීමට නොහැකි වන සේ ඒවා මත තට්ටු ලෙස අතුරා තිබූ පාෂාණය කිතුදහමේ ආගමනය මගින් පිසාචයන් පිළිබඳ විශ්වාසය තවදුරටත් නොබිඳිය හැකි වන සේ තහවුරු වන ලද්දේ, වැම්පරයන් යනු ක්‍රිස්තු සංකල්පයට ප්‍රතිරෝධී නපුරු බලවේග ලෙස හඳුන්වා දීමට ඉන් ලද පිටුබලය නිසාය. වසංගත රෝග ව්‍යාප්තියත් (කළු මරණ) සමග පිසාචයන් කෙරෙහි වූ බිය දෙගුණ තෙගුණ ලෙසින් අත්දැකි මධ්‍යකාලීන යුරෝපීයයන්, ඇතැම් විටක සිය මළවුන් මිහිදන් කරන ලද්දේ මළ සිරුරේ මුවතුළට ඔබ්බවන ලද ගඩොල් කැට සමගය. ඒ මරණයෙන් නැගිට සෙසු මළසිරුරු බුදීම වැළැක්වීමටය. පිසාචයයකු පිළිබඳ කියැවෙන රසවත් පුරාණෝක්තියක් හමුවන්නේ දොළොස්වන සියවසේ ස්කොට්ලන්ත දේශසීමාවේ විසූ බව කියැවෙන කාන්තාවක විසින් කළ විස්තරයකිනි. දින කීපයකට පෙරදී මෙල්රෝස් දේවස්ථාන භූමියේ මිහිදන් කරන ලද මියගිය පූජකයකු තමාව බියපත් කරන බවට ඇය විසින් එල්ල කළ චෝදනාවල ප්‍රතිඵලයක් ලෙස පූජකයාගේ සොහොන හාරා බැලූ සෙසු පූජකයන්ට දැක ගත හැකිවූයේ අදහාගත නොහැකි බියකරු දර්ශනයකි. සිරුර නැවුම් ලෙයින් තෙත්ව තිබූ අතර, ජීවත්ව සිටින කාලයේදී ආගමික වගකීම් පැහැර හැරියෙකු ලෙස ප්‍රකටව සිටි එකී පූජකයාගේ සිරුර වහා පුළුස්සා දැමීමට පසුව පියවර ගැනිණි.
පිසාච ජනප්‍රවාදයන් සඳහා ප්‍රබලම පිටුබලයක් ලැබෙන ලද්දේ ග්‍රීසියේදී හා නැගෙනහිර යුරෝපීය රටවලදී වන අතර පසුකලකදී බ්‍රිතාන්‍ය ජර්මනිය පමණක් නොව ඇමරිකාව වැනි රටවලදීද රටවැසියන්ට පැමිණෙන නපුරු උවදුරු සඳහා චෝදනා එල්ල වන ලද්දේ පිසාචයන්ටය.
ප්‍රියන්ත රුද්‍රිගු
0 comments:
Post a Comment