පුරාණයේ කොත්මලේ විසූ ජනතාව ජීවත් වූයේ
කෘෂිකර්මාන්තයේ නියැළෙමින් ඉන් ලැබුණු ආදායමෙනි. එසේම දේපළ ඉඩකඩම්, කුඹුරු
බහුලව තිබූ අයද එහි සිට ඇත. ඇතැම් අය පොහොසත්කමින් යුතු අයගේ කුඹුරු ආදිය
අඳ ක්‍රමයට වැඩ කළහ. අෑත අතීතයේ ඉතා දුප්පත් ගම පවුලක් කොත්මලේ ප්‍රදේශයේ විසීහ. ආර්ථික මට්ටමෙන් ඉතා අසරණ තත්ත්වයේ සිටී මෙම ගම පවුල එදිනෙදා වේල සරිකර ගත්තේ කුලී වැඩ කරමිනි. එකල කොත්මලේ ප්‍රදේශයේ ගවයන් ඇති කිරීම සිරිතක්ව පැවැතිණි. සෑම නිවෙසකම හරක් බානක්වත් සිට ඇත. අද මෙන් හරක් ගැට ගසා තණ කවන සිරිතක් එකල නොවීය. උදෑසන මොනරාගල කඳු පියසටත් පහළ ඇති ලන්දටත් හරකුන් රැගෙන යන ගැමියෝ ගවයන් තණ බුදින අතරේ පල වැල නෙළමින් බඹර කපමින් කාලය ගෙවා දමති. හවස් යාමයේ හරකුන් රැගෙන ආපහු එති. කලක් යනවිට හරක් රැගෙන ඒම සඳහා ආපසු යෑමට අවශ්‍ය නොවීය. එම සත්තු ඉබේම පැමිණ ගම ඉස්මත්තේ තැනිතලාවක ලැගුම් ගන්නට පුරුදු වූහ. ඉහත සඳහන් කළ දුප්පත් ගම පවුලටද හරක් බානක් විය. ගම ඇත්තාද උදේ තම හරක් බාන රැගෙන ලන්දට ගොස් දමා එන අතර පසුව හවස හරක් ලගින තැනට ගොස් උන් රැගෙන ඒමට පුරුදු විය. දිනක් මෙම ගම්ඇත්තා හරකුන් ලගින තැනට ගොස් බලන වට තම හරක් බාන එහි පැමිණ නැති බව දුටුවේය. පසුව ඔහු කැලයට ගොස් ඇඳිරි වැටෙන තුරුම සොයා හිස් අතින්ම ගෙදර පැමිණියේය. පසුදා උදේම නිවෙසින් පිටත් වූ ගම ඇත්තා කැලයට ගොස් උන් සොයා සෑම තැනම ඇවිද්දේය. එහෙත් උන් ගිය අතක් සොයා ගැනීමට නොහැකි විය. ගවයන් නැතිව ඉතා දුකින් ආපසු එන ඔහුට පාරේ තිබී සෝලු කෝටුවක් හමුවිය. එසේම එය ඉතා බලසම්පන්න එකක් බව අතට ගත්විට ඔහුට දැනිණි. මෙසේ එම සෝලු කෝටුවත් රැගෙන එන අතරේ පාර අයිනේ ගසක් යට තණකමින් සිටින තම හරක් බාන දැක ගත හැකි වූයෙන් ඔහු ඉතා සතුටට පත්විය. පසුව ගෙදරට පැමිණි ගම ඇත්තා කළුනික සෝලු කෝටුව වහලයේ ගසා සිදුවූ අද්භූත විස්තරය තම බිරියට කීවේය. එහෙත් සෝලු කෝටුව වහලයේ ගසා තිබෙන තැන බිරියට කීවේ නැත. කළුනික සෝලු කෝටුව නිසා ටික කලක් යන විට මෙම දුප්පත් ගම පවුල ගමේම සිටින පොහොසත් පවුල බවට පත්විය. තමන් මෙතරම් පොහොසත් වූයේ කළුනික සෝලු කෝටුව නිසා බව ගම් ඇත්තා දැන සිටි නමුත් ගෙදර ඇත්තී ඒ බව නොදැන සිටියාය. ගම ඇත්තාද ඒ බව ඇයට නොකීවේය. බොහොම දුප්පත් කමින් සිටි මේ පවුල හිටි හැටියේ මෙසේ පොහොසත් වූයේ කෙසේ දැයි යන්න ගමේ අනෙක් අයටද ගැටලුවක් විණි. එහෙත් ඒ ගැන සොයා බලන්නට කාටත් වුවමනාවක් වූයේ නැත. තමන් මෙතරම් පොහොසත් වූයේ කෙසේද කියා ගම ඇත්තාගේ බිරියටද ගැටලුවක් ඇති විය. ඒ ගැන නිතර නිතර තම සැමියාගෙන් ඇය විමසන්නට වූවාය. ඇයගේ කරදරය ඉවසා සිටින්නට බැරිම තැන සත්‍ය තොරතුරු කීමට ගමයාට සිදුවිය. ඔහු ඒ පිළිබඳ ඇයට කීවේ කාටවත් නොකියන ලෙස පොරොන්දු කරගෙනය. ඇයද ඊට එකඟ වූවාය. මෙසේ ටික කලක් එම රහස රැකගෙන සිටියත් ඇයට එය කාට හෝ කීමට අවශ්‍ය විය. ඒ අනුව ඇය ගමේ කාන්තාවකට ඒ පිළිබඳ විස්තර කළාය. ඉන් ටික දිනකින් එම රහස ගම පුරා පැතිරී ගියේය. මෙම අපූරු සෝලු කෝටුව ගැන මලය රටේ සිටි දක්ෂ ඇදුරකුටද ආරංචි විය. එම ඇදුරා තවුස් වෙසක් ගත්තේය. එසේ පැමිණි මෙම ගම ගෙදරට අවුත් තමන්ට භාවනා කිරීමට මෙම ඉඩමේ සුදුසු පරිසරයක් ඇති බවත් ඒ සඳහා සුළු ඉඩ ප්‍රමාණයක් ලබාදෙන ලෙසත් ගමයාගෙන් ඉල්ලා සිටියේය. ගම දෙමාල්ලන් හට තාපසයාගේ ඉල්ලීම ඉවත දැමීමට නොහැකි විය. ඒ අනුව ඔහුට සිටින්නට වත්ත කෙළවරක කුටියක් සකස් කරදී දිනපතා දානයට වඩින්නටද ආරාධනා කළේය. තාපසයා එවිට ගම දෙපළට කීවේ තමන් නිසි පරිදි ගුණදම් ආරක්ෂා කරන අයකු නිසා පිටස්තර අය දෙන ආහාරපාන ආදිය නොවළඳන බවයි. වෙන අයගේ ආහාරපාන ගතහොත් තමාගේ සිල් බිඳෙන බවත් ඒ නිසා තමන්ම ආහාර පිළියෙල කරගන්නා බවත් හෙතෙම කීවේය. තාපසයා ආහාර පිළියෙල කළේ රත්තරනින් සෑදු භාජනවලය. අනුභව කළේද රත්තරන් පිඟානකය. මේ තරම් රත්තරන් ගොඩක් තිබෙන අපූරු තාපසයා පිළිබඳ මෙම ගම දෙපළ පැහැදී සිටියහ. ඔවුහු එතුමාට භක්තියෙන් සිටියහ. මෙසේ කාලයක් ගෙවී යන විට මෙම තවුස්වෙස් ගත් ඇදුරාට ගම ගෙදර සෝලු කෝටුව පිළිබඳ විමසිලිමත්වී එය තිබෙන තැන සොයා ගැනීමට හැකිවිය. එහෙත් එය ලබා ගන්නට නම් ගමයා ගෙදර නොසිටින අවස්ථාවක් විය යුතුය. එසේම එය ගම ඇත්තීගෙන් ප්‍රයෝගයෙන් ගත යුතු බව හෙතෙම කල්පනා කළේය. මෙසේ ඒ පිළිබඳ උනන්දුවෙන් කල් මරමින් සිටින විට දිනක් ගම ඇත්තා නිවෙසින් පිටත් වී දුර බැහැරක යන බව දැනගත හැකි විය. සෝලු කෝටුව ලබා ගැනීමට එය කදිම වෙලාව බව දැනගත් තාපසයා වහා ක්‍රියාත්මක විය. ඒ අනුව ගම ගෙදරට ගිය තාපසයා තමා දැන් මෙහි සිටියා ඇති බවත් අෑත මහ වනයට ගොස් භාවනා කිරීමට අදම යන බවත් පැවැසුවේය. ගම බිරියද තාපසයාගේ හදිසි තීරණය ගැන කම්පා වූවාය. එහෙත් එතුමන් උසස් ගුණදම් රකින තාපසයකු නිසා කිසිත් නොකීවාය. තාපසයා තමන් පාවිච්චි කළ රත්තරන්වලින් පිඟන් කෝප්ප ආදිය ගම බිරියට ගෙනැවිත් දුන්නේය. තමන් මහ වනයට යායුතු නිසා ආරක්ෂාවට වහලයේ ඇති සෝලු කෝටුව දෙන ලෙස ඇය ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව එය තිබෙන තැන පෙන්වා ඇයගෙන් එය ලබා ගත්තේය. ගම බිරිය තාපසයාට එය ලබා දුන්නේ රත්තරන්වලට වූ අධික තණ්හාව නිසාය. එය කළුනික සෝලු කෝටුවක් බවත් තම පවුල මෙසේ පොහොසත් වූයේ එය නිසා බවත් ඇයට සිත්චුණේ නැත. තවුසා එය රැගෙන ඉක්මනින්ම යන්නට ගියේය. ගම ඇත්තා යළි නිවෙසට පැමිණෙන විට ගම බිරිය එම විස්තරය ඔහුට කීවේ තාපසයා දුන් රත්තරන් භාණ්ඩ පිළිබඳ උදම් අනමිනි. ගමයාගේ ඉහ මොළ රත්වී ආවේය. එහෙත් පමා වූවා වැඩිය තම පවුලට මෙසේ වාසනාව ගෙනාවේ එම කළුනික සෝලු කෝටුව නිසා බව ඇයට පහදා දුන්නේය. එවිට ඇයද දුක්වෙන්නට වූවාය. එසේ කල් යත්ම එම දෙපළ දුප්පත් වී අසරණ තත්ත්වයට පත්වෙන්නට වූහ. ඔවුහු තම දේපළ විකුණමින් ජීවිතය ගැටගසා ගන්නට පුරුදු වූහ. තමන්ට වාසනාව ගෙනා සෝලු කෝටුව නැතිවීම ගැන දුක් වන්නට වූහ. |
0 comments:
Post a Comment