Nov 28, 2012

දොලහේ කැරැල්ල ඇත්ත නැත්ත...!


දොලහේ කැරැල්ල ඇත්ත නැත්ත...!


නොවැම්බර් 30 වැනි සිකුරාදා දින නාවින්න රාජමහා විහාරයේ දී පැවැත්වෙන දොළහේ කැරැල්ල සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වූයෙන් ඒ කෙරෙහි විමසිල්ලෙන් බලන්නට සිදු විය. ඒ අනුව, ඇත්ත - නැත්ත නිරවුල්ව පැහැදිලි කරගන්නා තෙක් කිසිවෙකුත්, නිකරුණේ එකිනෙකාට අවලාද නගා නොගත යුතු බවත්, අපක්ෂපාතී තෙවන පාර්ශවයක් වශයෙන් මැදිහත්ව මේ ගැන විමසා බලා විධිමත් වාර්තාවක් සකස් කරන බවටත්, ඒ අනුව අසන්නන්ට බලන්නන්ට අවසන් තීරණයකට පැමිණිය හැකි බවත්, ඉකුත් හෝරා කිහිපයේදී ම'විසින් අවධාරණය කරන්නට යෙදුණි. එකී වගකීම මට හැකි පමණින් ඉටුකරනු වස් තරන ලද අධ්‍යයනයකින් අනතුරුව මෙම වාර්තාව සකස් කිරීමට අදහස් කළෙමි.

මෙහිදී මූලිකවම සඳහන් කළ යුතු වැදගත්ම කාරණය නම් වාර්තාවක් සකස් කිරීමට තරම් දොළහේ කැරැල්ල වැඩසටහනේ ගැටලු සහගත හෝ සැකසහිත තත්ත්වයක් නොමැති බවයි. දොළහේ කැරැල්ලට විරෝධය පාන්නේ යැයි පවසන කිසිඳු අයෙකු විසින් අප වෙත තමන් විරෝධය පෑමට හේකුව කුමක්දැයි දන්වා එවා තිබුණේද නැත. එනයින් සලකා බලන විට පළමුව අප වටහා ගත යුතු කාරණය නම් මූලධර්මවාදී විජාතික බලවේගවලට විනා වෙනත් කිසිවෙකු වෙතින් දොළහේ කැරැල්ලට කිසිඳු ආකාරයක සහේතුක විරෝධයක් නොමැති බවයි. යමෙක් එසේ කිසියම් විරෝධයක් දැක්වී නම් එය ඔහුගේ හෝ ඇයගේ හුදු අනවබෝධය නිසා එල්ල වී තිබෙන විරෝධයක් බවත්, එසේ විරෝධය පෑම සඳහා ඔවුනොවුන් විසින් ඉදිරිපත් කරන ලද තර්ක විතර්කයන්හි කිසිඳු සාධනීය පදනමක් නොහැති බවත් අවධාරණය කළ යුතුය. එසේම, තම නිදහස් සටන් ව්‍යාපාරය අඩපණ කිරීමට හෝ කඩාකප්පල් කිරීමට තරම් කිසිඳු දේශමාමකයෙකුට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් දොළහේ කැරැල්ලේ සංවිධායක මණ්ඩලය වහ වහා සිතට ගත යුතුය. එහෙයින්, දොළහේ කැරැල්ල කඩාකප්පල් කිරීමට පිරිසක් සැරසෙන්නේ යැයි ප්‍රචාර දියත් කිරීමෙන් සිද්ධ වන්නේ නැති ගැටලු ඇතිකර ගැනීමක් පමණි. කිසිවෙක් විසින් හෝ මීට විරෝධය පාමින් ප්‍රචාර දියත් කරයි නම් ඒ සඳහා ඔප්පු කළ හැකි සාධනීය පදනමක් තිබිය යුතුය. නමුත්. එවැන්නක් කිසිවෙකුත් විසින් ඉදිරිපත්කර නොතිබූ බවක් පෙනිණ. කෙසේ වෙතත්, අභ්‍යන්තරිකව කිසියම් ගැටලුවක් ඇති වී තිබෙන බැව් අවිවාදිතය. එකී ගැටලුව කථාබස් කොට හොඳින්ම විසඳා ගැනීමට ඉඩකඩ තිබූ අතර, එය එසේ නොවීමෙන් සිදුව තිබෙන්නේ දොළහේ කැරැල්ල සම්බන්ධයෙන් අනවශ්‍යය බිල්ලෙක් සමාජය තුළ නිර්මාණය වීම පමණි. ඇරත්, ඕනෑම සවිධාන කටයුත්තකදී විවිධ අවුල් සහගත ස්වභාවයන් ඉස්මතු වීම ස්වභාවයෙන්ම, නිරායාසයෙන්ම සිද්ධ වන්නකි. සංවිධානයක සිටිනුයේ හවුල්කරුවන් පිරිසකි. හවුලක් ඇත්තේ කොතැනද, එතැන අවුලක් ඇතිවීම සාමාන්‍යය. ඒවා එතරම් ගණන් ගතයුතු තත්ත්වයන් නොවේ.

යදමක් ශක්තිමත් වන්නේ ඒ යදමෙහි පුරුක් එකිනෙක එකට බැඳී තිබෙන තාක්කල් පමණි. එහි පුරුක් වෙන් වෙන්ව පැවැතියහොත් යදමකින් අපේක්ෂිත කාර්යය නිසි පරිදි ඉටුකර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත. අප විසින් මෙය තේරුම් ගත යුතු ය. එසේ නොමැතිව කටයුතු කිරීම හරියට අර ගඟට කැපූ ඉනි වාගේය. කච්චියට පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන්මය. ආරේ ගති නෑරේ කියන්නේද ඕකටය. ඉතිං... ඌරන්ට මොන අච්චාරුදැ'යි ඇසුවාලු. මන්දයත්, අපට එරෙහිව කරවල වෙළඳාමේ යන හීරළුවන්ට හඳුන්වල මිලෙන් ඵලක් නැති හෙයිනි. එහෙයින් අප කල්පනාකාරීව කටයුතු කළ යුතුය. පැමිණි දුක් පැණි රසයි කියමින්, ඇනුම් - බැනුම් - රැවුම් - ගෙරවුම් ආශිර්වාදයක් කොටගත යුතුය. අපේ ගමන අපි යා යුතුය. ගැටලුවක් ඇති වී නම් අදාළ සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කිරීමේදී අනාවරණය වූ ප්‍රධානතම කාරණය නම් කිසිවෙකුටත් දොළහේ කැරැල්ල කඩාකප්පල් කිරීමට අවශ්‍යතාවක් නැති බැවියි. මුල සිටම එකිනෙකා අවබෝධයෙන් කටයුතු කළේ වී නම් මේවා මෙතරම් දිග්ගැස්සෙන්නේ නැති බවද අවධාරණය කළ යුතු ය. දොළහේ කැරැල්ලේ මුඛ්‍යාධ්‍යාශය වනුයේද සියලු ජාතිකත්ව බලවේග ඒකරාශී කිරීමයි. සියලු භේද භින්නතා නැති කොට දමා එකම යාන්ත්‍රණයක් තුළ සියලු දෙනා ක්‍රියා කිරීමයි. එබැවින් තවත් ඉදිරියට කිසිඳු ආකාරයක හෝ ගැටලුවක් ඇති නොවිය යුතු අතර, තවදුරටත් මතභේදයක් පවතී නම් එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුය. එයද දොළහේ කැරැල්ල මුල් අදියර අවසන් වීමෙන් පසුවය. එතෙක් සියලු දෙනා විසින්ම ඒකාත්මිකව එකා මෙන් කටයුතු කළ යුතු ය.

වාර්තාවක් සකස් කරනවා යැයි කීවාට ඒ තරම්ම බරපතල අර්බුදයක් කොහිවත් නැති බව මුලදී පැවැසූයෙමි. මෙතැන කිව යුතු හා නොකිව යුතු කාරණා තිබේ. මේ කීවේ මෙතැන කිව යුතු කාරණාය. නොකිව යුතු කාරණා කිව යුතු අයට පවසා තිබේ. දැන් තවත් ගැටලුවක් නැත. යළිත් ගැටලු ඇතිවන්නේද නැත. කිසිවෙකුත් ගැටලු ඇතිකරගත යුත්තේද නැත. මෙරට සියලු ජාතික සංවිධාන දොළහේ කැරැල්ලට සහාය දක්වනු ලැබේ. ඔවුහු සියලු දෙනාද එදිනට සහභාගී වනු ඇත. බොදු බල සේනා ජාලය - සිංහල රාවය සංවිධානය ඇතුළු තවත් ජාතික සංවිධාන කිහිපයක ප්‍රධානීන් එකම වේදිකාවක එදිනට පෙළ ගැසෙනු ඇත. ජාතික සංවිධානවල බෙදීමක් පවතී යැයි ඇතැමෙකු පවසනු ඇත. සැබැවින්ම එයද මවාගත් බිල්ලෙකි. එවැන්නක් කිසිසේත්ම නැත. බොදු බල සේනාවටද න්‍යාය පත්‍රයක් තිබේ. සිංහල රාවයටද න්‍යාය පත්‍රයක් තිබේ. බෞද්ධාරක්ෂක පදනමටද න්‍යාය පත්‍රයක් තිබේ. හරියට අර අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාට එක එක දක්ෂතා තිබුණාක් මෙන් මේ එක් එක් ජාතික සංවිධානයට කළ හැකි කටයුතු බොහොමයකි. ඒවා එකිනෙක හඳුනා ගෙන මැනැවින් ක්‍රියාත්මක විය යුතු ය. දහසකුත් සංවිධාන බිහි විය යුතුය. බොදු හඬ තවතවත් දිසදෙස නැංවිය යුතුය. දෙදෙනෙක් එක මග නොයා යුතුය. නමුත්, යන්නේ දෙපැත්තක වුවත්, ගෙන යා යුත්තේ එකම පණිවිඩයය. අප සියල්ලන්ගේම පරමාර්ථය එකය. සියල්ලෝම ළඟා වනුයේ එකම අරමුණකටය. එකම ඉලක්කයකටය. එහෙයින් කිසිවෙකුත් නිකරුණේ කලබල විය යුතු නැත. දොළහේ කැරැල්ලේදී සියලු ජාතික සංවිධාන ඒකාත්මික වන මොහොතක් වන හෙයින්, එය විශාල පණිවිඩයක්ද පොදු සමාජයට රැගෙන යනු ඇතැයි විශ්වාස කරමි. ‍එසේම, මෙතෙක් පැවැති දුර්මත ඉවත් කිරීමටද එය ඉවහල් වනු ඇතැයිද සිතමි. යමෙක් මෙය කඩාකප්පල් කිරීමට වෙහෙසෙයිද ඔවුනට ‍තෙරුවන්ගේම පිහිටය.

නොවැම්බර් 30 වැනිදා ඔබට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ යැයි විශ්වාස කරමි. ඒ සඳහා සහභාගී වී ඇත්ත නැත්ත විමසන මෙන් ඉල්ලා සිටිමි. දොළහේ කැරැල්ල හොඳය. එහි නම ගැන විවිධ විවිධ අය විවිධ විවිධ මත පළ කරන මුත් ඒවායෙහි ගැටලුවක්ද නැත. කැරැල්ලට ඇවිත්ම බැලිය යුතු යැයි කීවේ එහෙයිනි. මෙතෙක් ඔබ කිසිවෙකුගේ ඇස නොගැටුණු සුවිශේෂි කාරණයක්ද එදිනට හෙළිදරව් කරනු ලැබේ. මේ කියන්නේ කූරගල සම්බන්ධයෙන් වන වීඩියෝව ගැන නම් නොවේ. අප සියලු දෙනාම මෙතෙක් කලක් බලාපොරොත්තුවෙන් සිටි දෙයකි. දොළහේ කැරැල්ලට සම්බන්ධ වීමෙන් එකී මතවාදය සමාජගත කිරීමට ඔබටත් දායක විය හැකිය. අවසාන වශයෙන් යළිත් කිසිඳු ගැටලුවක් ඇති නොවීම පිණිස අප විසින් වගබලා ගත යුතු යැයි අවධාරණය කරමි. අප වෙනුවෙන් අපි නැඟී සිටිය යුතු කාලය එළැඹ ඇත.

කිසියම් ගැටලුවක් උද්ගත වූයේ ද,

ගැටලුව
ගැටලුවට හේතුව
විසඳුම
විසඳුම් සෙවීමේ මාර්ගය

යන මේ ආකාර සතර දෙස අවධානය යොමු කොට අවශ්‍යය කටයුතු සම්පාදනය කරන්න. එසේම ඕනෑම ක්‍රියාදාමයකදී....

ඇති ගැටලු නැති කර ගැනීමට වෑයම් කළ යුතුය.
නැති ගැටලු ඇති වීම වැළැක්වීමට වෑයම් කළ යුතුය.
නැති හොඳ ඇතිකර ගැනීමට වෑයම් කළ යුතුය.
කිසියම් හොඳක් තිබේ නම් එය වඩාවර්ධනය කරගැනීමට වෑයම් කළ යුතුය.

එසේම, ජාතික බලවේග ගොඩනැංවීමේදී ඊට නායක්තවය ගන්නවුන් විසින් අවධානය යොමු කළ යුතු කාරණා සතකි.

නිවැරදි උත්සාහයෙන් යුතු වීම
නිවැරදි සිහියෙන් යුතු වීම
පිරිසිඳු ක්‍රියා ඇති බව
විමසා බලා කටයුතු කිරීම
මනා හික්මීම
ධාර්මික දිවි පෙවත
අප්‍රමාදී බව

ඉහත කරුණු කෙරෙහිද අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින අතර, අභීත වීර දූ පුතුන්ට පණ පොවන සිංහලේ නව නිදහස් සටන දොළහේ කැරැල්ලට ලෝ - සසුන් වැඩ කැමති සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබේවා'යි පතමි.

පංචන ජයසිංහ.
විජය පුවත්පත් සමාගම

4 comments: