(නොපැහැදුණු දනන්ගේ පැහැදීම පිණිසත්, පැහැදුණු දනන්ගේ තහවුරු වීම
පිණිසත්මය)
නමෝ තස්ස භගවතෝ අරහතෝ, සබ්බ ධම්මේහි අප්පටිහත
ඥානචාරස්ස, දසබල ධරස්ස, චතු වේසාරජ්ජ විසාරදස්ස, සබ්බ සත්තුත්තමස්ස, ධම්මිස්සරස්ස, ධම්ම රාජස්ස, ධම්මස්සාමිස්ස, තථාගතස්ස සබ්බඤ්ඤුණෝ සම්මා
සම්බුද්ධස්ස…!. !!.. !!!
(මෙම ලිපිය සූත්‍ර පිටකය, ඛුද්දක නිකාය, මහා නිද්දේස පාලිය, සාරිපුත්ත නිර්දේශය ඇසුරින්
සම්පාදිතයි.)
භාග්‍යවතුන් වහන්සේ පසැස් ඇති සේක. (භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු
රජාණන් වහන්සේ පසැසකින් චක්ෂුර්මත් වන සේක.)
භාග්‍යවතුන් වහන්සේ පසැස් ඇති සේක. පසැසින් අග්‍ර වන සේක. එබැවින්ම
දම් සෙනෙවි (ධම්ම සේනාපති) මහෝත්තම වූ, භාග්‍යවතුන් වහන්සේගේ ඖරස
පුත්‍ර වූ, භාග්‍යවතුන්
වහන්සේගේ ධර්ම නමැති ලය මඩලින් උපන්, භාග්‍යවතුන් වහන්සේ ගේ දම්සක්
පෙරළු ශ්‍රී මුව මඩලින් උපන්, මහා ප්‍රාඥ මහා සාරිපුත්ත මහා රහතන් වහන්සේ විසින් මැනවින් විස්තර
කරන ලද පරිදි භාග්‍යවතුන් වහන්සේ පසැසින් චක්ෂුර්මත් වන සේක.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ උතුම් වූ පසැසින් (උතුම් වූ දර්ශන ලාභ පහකින්) චක්ෂුර්මත් වන සේක.
ඒ කෙසේද යත්,
භාග්‍යවතුන් වහන්සේ මසැසින්ද (මාංශමය ඇසින්, පියවි ඇසින්) චක්ෂුර්මත් වන සේක. දිවැසින්ද චක්ෂුර්මත් වන සේක. පැනැසින්ද (ප්‍රඥා ඇසින්) චක්ෂුර්මත් වන සේක. බුදු ඇසින්ද චක්ෂුර්මත් වන සේක. සමතැසින්ද (සමන්ත චක්ඛු නම්
වූ සර්වඥතා ඥානයෙන්ද) චක්ෂුර්මත් වන සේක.
කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ මසැසින්(මාංශමය ඇසින්/ පියවි ඇසින්)
චක්ෂුර්මත් වීද යත්,
භාග්‍යවතුන් වහන්සේගේ මසැස්හි නිල් පැහැයද, රන් වන් පැහැයද, රත් පැහැයද, කළු පැහැයද , සුදු පැහැයද යන මේ පංච වර්ණයෝ
විද්‍යාමාන වෙති. තවද භාග්‍යවතුන් වහන්සේගේ අක්ෂි රෝමයෝ (භාග්‍යවතුන් වහන්සේගේ
නේත්‍රයන් හි මධ්‍ය මණ්ඩලයෝ) යම් තැනෙක පිහිටියේද, එතැන දිය බෙරලිය (නිල් මහනෙල්
විය යුතුය) මල් වැනි සුනිල් සුපිරිසිඳු දැකුම්කළු නිල් පැහැය වෙයි. තවද එහි රන්
පැහැය නිසි තන්හි දැකුම්කළු කිණිහිරි මල් මෙන් රන්වන් පැහැය වෙයි. දෙනෙත් අග රතිඳු
ගොව් සදිසි දැකුම්කළු රත් පැහැය වෙයි.මැද රුක්පෙණල ඇට මෙන් ඉතා කළු, මෙලෙක් සිනිඳු පිරිසිඳු
දැකුම්කළු කළු පැහැය වෙයි. ඉනික්බිති දහවත් තරු වන් ඉතා සුදු හෙළ පඞෙර වන් පිරිසිඳු
දැකුම්කළු සුදු පැහැය වෙයි.
භාග්‍යවතුන් වහන්සේ පෙර සසරෙහි කල මහා පුණ්‍ය ශක්තියෙන් උපන්, පංච වර්ණයෙන් යුත් මේ පියවි
දෙනෙතින්ම දවාලෙහිද රාත්‍රීහිද හාත්පස යොදුන් සියයක් දකිති. යම් කලෙක චතුරංග
සමන්වාගත (කරුණු සතරකින් සමන්විත වූ) මහා අන්ධකාරයම වෙයිද, එනම්, හිරු අස්තයට ගිය මැදියම් රැය
වෙයි, සඳ නැති
අමාවක- පොහෝ දින වෙයි, ගහන වූ මහා
වන ලැහැබක් වෙයි, ඝන
වලාකුලින් අහසද වැසුනේ වෙයි. මෙවන් චතුරංග සමන්වාගත අඳුරු රැයක පවා භාග්‍යවතුන්
වහන්සේ හුදු පියවි ඇසින්, කිසිදු
සෘද්ධි ඥාන බලයකින් තොරවම හාත්පස යොදුනක් දකින සේක. බිත්ති, දොර, පවුරු, ගල්, ගස් ආදිය විනිවිද දැකිය හැකි
මහා දර්ශන ශක්තියක් භාග්‍යවතුන් වහන්සේගේ මසැස (පියවි දෙනෙත) තුල වෙයි. තවද, එවන් අඳුරු රැයක, එක් තල ඇටයක් ලකුණු කොට තල ඇට
පිරවූ විශාල ගැලක බහා සඟවා තැබූ කල ඒ එක තල ඇටයම එකවර ගෙනහැර පෑ හැකි ආශ්චර්යමත්
දර්ශන ශක්තියක් භාග්‍යවතුන්වහන්සේගේ මසැස සතුය.එවන් මහානුභාව සම්පන්න පියවි
නෙත් සඟලකින් යුත් භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම චක්ෂුර්මත් වන සේක.
කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ “දිවැසින්” චක්ෂුර්මත් වීද යත්,
භාග්‍යවතුන් වහන්සේ මිනිස් ඇස ඉක්මවා සිටි පිරිසිඳු දිව්‍යමය ඇසින්, චුතවන (මිය යන) නැවත උපදින
සත්වයෝ දකින සේක. උසස් වූද-පහත් වූද, හීන වුද-ප්‍රණීත වූද, මනා රූප ඇත්තා වූද- විරූපී
වූද, සුගතියට
ගියා වූද- දුගතියට ගියා වූද, සත්ත්වයන් බලන සේක. අහෝ! මේ සත්ත්වයෝ කයින් පව්කම් කොට , වචනයෙන් පව්කම් කොට, මනසින් පව්කම් කොට, ආර්යයන්ට නිගරු කොට, මිත්‍යාදෘෂ්ටියෙහි පිහිටා, මිත්‍යාදෘෂ්ටිය අනුව සමාදන්
වූ විවිධ කර්ම ඇති වූහ. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සුව රහිත වූ දුකට ගති වූ
විවසව පතිත වන නිරයට පැමිණියාහු වෙති. දුක් ඇති තිරිසන් යෝනියෙහි, ප්‍රේත යෝනියෙහි උපන්නෝ
වෙතියි දකින සේක.
තවද, ඇතැම්
සත්ත්වයෝ, කයින්
වචනයෙන් මනසින් පින්කම් කොට, කාය සුචරිතයෙහි හැසිරී, වචනයෙන් සුචරිතයෙහි හැසිරී, මනසින් සුචරිතයෙහි හැසිරී, ආර්යෝපවාද නොකොට (ආර්යයන්ට
ගැරහීම නොකොට), සම්‍යග්
දෘෂ්ටියෙහි පිහිටා, සම්‍යග්
දෘෂ්ටිය අනුව සමාදන් වූ කර්ම ඇති වූහ. ඔවුහු, කය බිඳීමෙන් මරණින් මතු
සුන්දර ගති ඇති, සැපයෙන්
අග්‍ර වූ ලෝකයන්හි උපන්නෝ වෙතියි, මෙසේ කර්ම විපාක පරිදි ඒ ඒ තැනට පැමිණි (පරලොවට පැමිණි) සත්වයන්
දැනගන්නා සේක. දකින සේක.
තවද, භාග්‍යවතුන්
වහන්සේ කැමති පරිදි සක්වල (විශ්වයෙහි), එක් ලෝකධාතුවක්(එක් ඉරකින්
සඳකින් ආලෝකය පැතිරෙන ඉහල බ්‍රහ්ම තල සතරක්, තවත් බ්‍රහ්ම තල දහසයක්, දිව්‍ය තල සයක්, මනුෂ්‍ය ලෝකයක්, සහ අපාය තල සතරක් සහිත ලෝක
ධාතුව) බලන සේක. එවන් ලෝක ධාතු දෙකක්ද බලන සේක. ලෝක ධාතු තුනක්, සතරක්, පහක්, දහයක්, විස්සක්, හෝ පනහක් බලන සේක. සියයක්
පන්සියයක් හෝ බලන සේක. කැමති පරිදි සහශ්‍රී චූලනිකා ලෝකධාතුවද (සෞරග්‍රහමණ්ඩල
දහසක් පමණ වන ලෝක ධාතුව, ඉහත කී තල
තිස් එකකින් යුත් ලෝක ධාතූන් දහසකින් සමන්විත ලෝක ධාතුව) බලන සේක. ද්වී සහශ්‍රී
මධ්‍යම ලෝක ධාතුවද (චූලනිකා ලෝක ධාතුන් දහසක්) බලන සේක. ත්‍රී සහශ්‍රී මහා සහශ්‍රී
ලෝකධාතුව (මධ්‍යම සහශ්‍රී ලෝක ධාතු දහසකින් යුත් මහා ලෝක ධාතුව) ද බලන සේක. තවද, තමන් වහන්සේ යම් පමණ කැමති වන
සේක්ද, අනන්ත අප්‍රමාණ
ලෝකධාතූන්, සක්වලයන්
එපරිදි බලන සේක. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙසේ උතුම් වූ
දිවැසින්ද චක්ෂුර්මත් වන සේක.
කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ පැනැසින්(ප්‍රඥා ඇසින්) චක්ෂුර්මත් වීද යත්,
භාග්‍යවතුන් වහන්සේ මහත් ප්‍රඥා ඇති සේක. පතල (පැතිරුණු) ප්‍රඥා
ඇති සේක. ශීඝ්‍ර ප්‍රඥා ඇති සේක. දිවෙන ප්‍රඥා ඇති සේක. තියුණු ප්‍රඥා ඇති සේක.
විනිවිද යන ප්‍රඥා ඇති සේක. ප්‍රඥා ප්‍රභේදයන්හි නිපුණ වූ සේක. නොයෙක් ආකාරයෙන්
බෙදා දැක්විය හැකි නුවණින් යුක්ත වන සේක. අධිගම කල (ලබා ගත්) ප්‍රතිසංවිද්
(පටිසම්භිදා) ඇති සේක. භාග්‍යවතුන් වහන්සේ චතුර්වෛශාරද්‍යයට පැමිණි සේක. දශබලධාරී
වූහ. පුරුෂ ශ්‍රේෂ්ඨ, පුරුෂ සිංහ, පුරුෂ නාග,පුරුෂාජානෙය්‍ය (පුරුෂ
ආජානේය) වන සේක. උන්වහන්සේ අනන්ත ඥාන ඇති සේක. අනන්ත තේජස් ඇති සේක. අනන්ත යසස් ඇති
සේක. මහත් වූ ප්‍රඥා ධනයෙන් ආඪH වූහ. ප්‍රඥා ධනයෙන් ධනවත් සේක. භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයන් නිවනට
පමුණුවන හෙයින් නේතෘ වූහ. වෛනෙයයන් (අන්‍යයන්) හික්මවන බැවින් විනෙතෘ වූහ. සැක
සිඳින හෙයින් අනුනෙතෘ වූහ. උන්වහන්සේ අර්ථය පණවන සේක. නිශ්චය කරවන සේක. පිළිවෙත
දක්වන සේක. ප්‍රතිපත්ති ඵලයෙන් පහදවන සේක.
තවද භාග්‍යවතුන් වහන්සේ, සිය සන්තානයෙහි , නූපන් ආර්ය මාර්ගය ඉපදවූ සේක.
අන්‍යයන්ගේ සිත්හි හටනොගත් මාර්ගය උපදවන සේක. ප්‍රකාශ නොකළ මාර්ගය විවරණ දීම්
වශයෙන් ප්‍රකාශ කරන සේක. ප්‍රත්‍යවේක්ෂා වශයෙන් ආර්ය මාර්ගය දනා සේක. ප්‍රත්‍යක්ෂ
වශයෙන් ආර්ය මාර්ගය දනා සේක. මාර්ගය දන්නසුලු වූහ. මාර්ගයෙහි විචක්ෂණ වූ සේක. තවද
භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශිත ආර්ය මාර්ගය අනුව යන ශ්‍රාවකයෝ ශීලාදී
ගුණයෙන් උන්වහන්සේ පසුපස යති.
භාග්‍යවතුන් වහන්සේගේ මහා නුවණින් නොදන්නා ලද්දක්, නොදක්නා ලද්දක්, ඥානයෙන් නොපැමිණෙන ලද්දක්, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දක්, ප්‍රඥාවෙන් ස්පර්ශ නොකරන
ලද්දක් නම් නැත. “ඥෙය” නම් වූ දතයුතු යම්කිසි
ධර්මයක් වේ නම්, අතීත
වර්තමාන අනාගත කාලත්‍රයටම අදාලව සකලවිධ ධර්මයෝ සියලු ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේගේ
ඥානයෙහිම වැටෙති. ආත්මාර්ථය, පරාර්ථය, උභයාර්ථය, දෘෂ්ඨධාර්මිකාර්ථය, සම්පරායිකාර්ථය, උත්ථාන (ප්‍රකට) අර්ථය, ගම්භීරාර්ථය ද, ගූඨාර්ථය ද, ප්‍රතිච්චන්නාර්තයද , නෙය්‍යාර්ථයද , නීතාර්තයද , නිර්දෝෂාර්ථයද , නික්ලේශාර්ථයද, පරිශුද්ධාර්ථයද, පරමාර්ථයද යන මේ සියල්ල බුද්ධ
ඥානය තුලම පැතිර පවතී. භාග්‍යවතුන් වහන්සේගේ සියලු කාය කර්මය, වාග් කර්මය, මනෝ කර්මය ඥානය අනුවම පවතී.
භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඥානය අතීතයෙහි සැපීමක්, සීමාවක් නැත. අනාගතයෙහි
සැපීමක්, සීමාවක්
නැත. වර්තමානයෙහි සැපීමක්, සීමාවක්
නැත. “ඥෙය” නම් වූ දත යුතු ධර්ම යම් පමණ
නම් “ඥානය”ද එපමණ වෙයි. ඥානය යම් පමණද “ඥෙය” එපමණ වෙයි. ඥානය වනාහි “ඥෙය” හිමි කොට ඇත්තේය. “ඥෙය” ඉක්මවා ඥානයද “ඥානය” ඉක්මවා ඥෙය පථය ද නැත්තේය. ඒ
ධර්මයෝ දෙදෙනා ඔවුනොවුන් පර්යන්ත කොට මුළුමනින්ම එක්ව සිටින්නාහ. කටවල් මැනවින්, මුළුමනින්ම හේත්තු වන
සේප්පුවක් වැසූ කල්හි, යම් සේ උඩු
පියන යටි පියන ඉක්මවා නොසිටීද, යටි පියන උඩු පියන ඉක්මවා නොසිටීද, එමෙන්ම භාග්‍යවත් බුදුරජානන්
වහන්සේගේ ඥානය සහ “ඥෙය” ඔවුනොවුන් කෙලවර කොට ඇත්තේය.
යම් පමණ “ඥෙය” වේද, ඥානයද එපමණ වෙයි. ඥානය යම්
පමණද, ඥෙය ද
එපමණය. ඥානය “ඥෙය” කෙලවර කොට ඇත්තේය. ඥෙය ඥානය
කෙලවර කොට ඇත්තේය. ඥෙය ඉක්මවා ඥානය නොපවතී. ඥානය ඉක්මවා ඥෙය පථය නැත. ඒ ධර්මයෝ
දෙදෙනා ඔවුනොවුන් කෙලවර කොට සිටින්නෝය. භාග්‍යවතුන් වහන්ස්ගේ ඥානය සකල ධර්මයන්හි
පවතින්නේය.
සියලු දහම් විෂයෙහි භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය පවතී. සියලු ධර්මයෝ
බුදු රදුන්ගේ මනොද්වාරාවර්ජනයට (මනසින් අනාවරණය කරගැනීමට) අයත් වෙති. රුචියට අයත්
වෙති. සිතින් පිරිසිඳ දැකිය හැකි වෙති.
සියලුම සත්ත්වයන් විෂයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ඥානය පවතී.
උන්වහන්සේ සියලු සත්වයන්ගේ ආශය(අදහස්) දනිති. අනුශය දනිති. අධිමුක්තිය දනිති.
නුවණැසෙහි අල්ප වූ රාගාදී කෙලෙස් රජස් ඇති වූද, මහත් වූ කෙලෙස් රජස් ඇති වූද, තියුණු දියුණු ශ්‍රද්ධාදී
ඉඳුරන් ඇති වූද, මෘදු
සුන්දර ශ්‍රද්ධාදී ආකාර ඇති වූද, ගර්හාවට සුදුසු අශ්‍රද්ධාදී ඉඳුරන් ඇති වූද, අවබෝධ කරන නුවණ ඇති වූද, අවබෝධ කරන නුවණ මද වූද, මගඵල ලද හැකි වූද, වර්තමාන භාවයේදීම මගඵල ලද
නොහැකි වූද සත්ත්වයන් දැනගන්නා සේක.
දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත ලෝවැසි තෙම දෙව්මිනිසුන් සහිත
සකල සත්ත්ව ප්‍රජාවම, “ඇතුළු බුදු
නුවණෙහි”ම අනාවරණය
වෙයි. යම් සේ ඇතිතාක් මත්ස්‍ය කැස්බෑවුන් ආදී නොයෙක් සත්ත්වයෝ වෙත්ද, ඔවුන් සියල්ලෝ මහමුහුදෙහිම
සැරිසරති. එසෙයින්ම දෙවියන් මරුන් බඹුන් සහිත මිනිසුන් සහිත සකල සත්ත්ව ප්‍රජාවම, ඇතුළු බුදු නුවණෙහිම පවතී
(සියලු සත්ත්ව ප්‍රජාවෝ බුදු නුවනට අනාවරණය වෙති). සියලු ආකාර පක්ෂීන් මහා ගුරුළු
(පක්ෂීන් අතුරෙහි ශ්‍රේෂ්ඨතම යැයි සැලකෙන දිව්‍යමය පක්ෂියෙකි) රජු ඇතුළුවම හුදු
අහසෙහි එක් පෙදෙසක පමණක් වසා පැතිර සිටීද, එපරිදි උතුම්වූ මහා ප්‍රාඥ
සාරිපුත්තයන් වහන්සේ හා නුවණින් සම වූවක්හු පවා අනන්ත වූ බුද්ධ ඥානයෙහි පෙදෙසක
පමණක් පවතී. බුද්ධ ඥානය සෑම විටම සකල දෙව්මිනිසුන්ගේ සකලවිධ ප්‍රඥාවන් පැතිර
මැඩගෙන සිටී.
තවද, අතිශය
නිපුණවූ අන්‍ය වාදයන් පරාජය කිරීමෙහි සමත් මහත් තියුණු නුවණ ඇති ශ්‍රමණ, බ්‍රාහ්මණ, ගෘහපති පණ්ඩිතයෝ බොහෝ වාදයන්
දෘෂ්ටීන් පිලිබඳ වාද කොට, අන්‍යයන්
පරාජය කොට ලැබූ ජය ඇතිව, ඉතාම
තීක්ෂණ වූ, ගැඹුරු වූ, ගුප්ත වූ, ගූඪ වූ ප්‍රශ්න සකසා භාග්‍යවතුන්
වහන්සේ හා විවාදයට පැමිණෙති. එසේ පැමිණ භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න විචාරති. භාග්‍යවතුන්
වහන්සේ විසින් ඒ සියලු ප්‍රශ්න කරුණු සහිතව ප්‍රකාශ කොට විසඳන සේක. එවිට එකී
පණ්ඩිතයෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක බවට උපාසක බවට පත්වෙති.
මෙසේ නොයෙක් ලෙසින් භාග්‍යවතුන් වහන්සේගේ මහත් වූ ප්‍රඥාව ප්‍රකාශ
වන බැවින්, ප්‍රකට වන
බැවින්,භාග්‍යවත්
අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම ප්‍රඥා ඇසින්ද (පැනැසින්)
චක්ෂුර්මත් වන සේක.
කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ “බුදු ඇසින්” චක්ෂුර්මත් වීද යත්,
භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලන සේක්, සිතෙහි අල්ප වූ රාගාදී කෙලෙස්
රජස් ඇති සත්ත්වයන්ද, මහත් වූ
රාගාදී කෙලෙස් රජස් ඇති සත්ත්වයන්ද , තියුණු වූ ශ්‍රද්ධාදී ඉඳුරන්
ඇති මෘදු වූ ඉඳුරන් ඇති සුන්දර සත්ත්වයන්ද, අශ්‍රද්ධාදී ගර්හාවට සුදුසු
රළු ආකාර ඇති සත්ත්වයන්ද, මෝරනලද
තියුණු නුවණ ඇති සත්ත්වයන්ද හීන වූ නුවණැති (බාල) සත්ත්වයන්ද, මගඵල ලැබීමට හැකි (භව්‍ය)
සත්ත්වයන්ද, වර්තමාන
භාවයේදීම මගඵල ලැබිය නොහැකි (අභව්‍ය) සත්ත්වයන්ද, දකින සේක. පරලොව කෙරෙහිද පවටද
බිය ඇතිව වසන ඇතැම් සත්ත්වයන්ද පව්කම්ද පරලොවද බිය වශයෙන් නොගෙන වසන ඇතැම්
සත්ත්වයන්ද දකින සේක.
යම්සේ උපුල් විලක හෝ පියුම් විලක හෝ නෙළුඹු විලෙක(ඕලු විලෙක), ඇතැම් උපුල් හෝ පියුම් හෝ ඕලු
දියෙහි හටගෙන දියෙහි වැඩී දියෙන් නොනැගී දියතුලම ගැලී පරව යයිද, යම්සේ උපුල් විලක හෝ පියුම්
විලක හෝ නෙළුඹු විලෙක(ඕලු විලෙක), ඇතැම් උපුල් හෝ පියුම් හෝ ඕලු දියෙහි හටගෙන දියෙහි වැඩී දිය හා සමව
පිහිටියාහුද, ඇතැම්
උපුල්, පියුම් හෝ
ඕලු දියෙහි හටගෙන, දියෙහි
වැඩුනාහු දියෙන් උඩට නැගී දිය හා නොගැටී දිය හා නොවැකී, දියෙහි නොගෑවී සිටිත්ද, එසේම, භාග්‍යවතුන් වහන්සේ බුදු
ඇසින් ලොව බලන සේක්, කෙලෙස්
නමැති දිය ඇති, ලෝකය නමැති
විලෙහි ඉපිද, කෙලෙස්
දියෙහිම ගැලී සිටිනා කෙලෙස් දියෙහිම ඉපිද මියෙන මහා රජස්ක (අධික කෙලෙස් ඇති)
සත්ත්වයෝද, කෙලෙස්
නමැති දියෙහි නැගුනු කෙලෙසුන් ගෙන් මිදෙනු හැකි අල්ප රජස්ක (කෙලෙස් අඩු)
සත්ත්වයන්ද, දියුණු
තියුණු ශ්‍රද්ධාදී ඉන්ද්‍රීන් ඇති, ගර්හිත නොදියුණු ඉන්ද්‍රීන්
ඇති සත්ත්වයන්ද පරලොව භය ඇති පවට බිය ඇති සත්ත්වයන්ද, පරලොව භය නැති පව්කම් කරන
සත්ත්වයන්ද, දකින සේක.
මේ පුද්ගල තෙමේ රාග චරිත ඇත්තෙකි, මේ තෙම ද්වේශ චරිත ඇත්තෙකි.
මොහු මෝහ චරිත ඇත්තෙකි. මේ විතර්ක චරිත……, ශ්‍රද්ධා චරිත……, ඥාන චරිත ඇත්තෙකි, ආදී වශයෙන් භාග්‍යවතුන්
වහන්සේ බුදු ඇසින් දකින සේක. භාගවතුන් වහන්සේ බුදු ඇසින් එසේ දැක රාග බහුල
පුද්ගලයාට අසුභයෙන් (කයෙහි පිළිකුල් බව ඇසුරින්) දහම් දෙසන් සේක. ද්වේශ බහුල
පුද්ගලයාට මෛත්‍රී භාවනාව ප්‍රකාශ කරන සේක. මෝහ බහුල පුද්ගලයා ධර්මය ඇසීමෙහි
ගුරුවරුන් ඇසුරු කිරීමෙහි දහම් උගෙනීමෙහි දහම් කථා කිරීමෙහි දහම්හි අර්ථ විමසීමෙහි
යොදවන සේක. විතර්ක බහුල පුද්ගලයාට සිත සන්සුන් වීම පිණිස ආනාපානාසතිය දෙසන සේක. ශ්‍රද්ධා
බහුල පුද්ගලයාහට ප්‍රසාද උපදවනසුළු, ශ්‍රද්ධාව වඩනසුළු සූත්‍රරයන්ද, භාග්‍යවතුන් වහන්සේගේ සම්මා
සම්බුද්ධත්වයද, ධර්මයෙහි
ස්වාක්ඛාත බවද, සංඝයාගේ
සුපටිපන්න බවද, ශීල කථාද
දේශනා කරන සේක. ඥාන චරිත ඇත්තාට විදර්ශනා නිමිත්ත වූ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වූ ත්‍රිලක්ෂණය පවසන
සේක.
යම්සේ, මහත් වූ උස
වූ ගල් පර්වතයක් මුදුනෙහි සිට ඇස් ඇති පුරුෂයෙක් හාත්පස භූමියෙහි සිටින ජනතාව
බලන්නේද, එසෙයින් සොඳුරු බුදු නුවණැති භාග්‍යවතුන්
වහන්සේද ධර්මය නමැති මහා පහයට නැගී ජාති, ජරා, මරණාදී දුකින් මඩිනා ලද ජනතාව
දෙස මහා කරුණාවෙන් බලන සේක.
කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ “සමතැසින්” (සමන්ත චක්ඛු නම් වූ සර්වඥතා
ඥානයෙන්) චක්ෂුර්මත් වීඑද යත්,
භාග්‍යවතුන් වහන්සේ වෙත පමණක්ම ඇති සම්මා සම්බුදු රජාණන් වහන්සේලා
විෂයෙහිම පමණක් විද්‍යාමාන හෙයින් අන්‍යයන්ට අසාධාරණ(අන්‍යයන්ට නොමැති) වන අසම සම වූ සම්මා සම්බුදු
රජාණන් වහන්සේලා විෂයෙහි පමණක් සාධාරණ වූ උතුම් වූ සර්වඥතා ඥානය “සමන්ත චක්ඛු” නම් වෙයි.
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වනාහි සර්වඥතා ඥානයෙන්
උපෙතයහ. සමුපෙතයහ. උපගතයහ.සමූපගතයහ. වෙන් නොවූහ. පරිපූර්ණ වූහ. සමන්විත වූ සේක.
භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් සර්වඥතා ඥානයට ආවරණය වූ කිසිවක් ත්‍රෛලෝක
ධාතුවෙහි නැත. උන්වහන්සේ නුවණින් නොදුටු කිසිවක් නැත. අතීත වූ හෝ, අනාගත වූ හෝ, වර්තමාන වූ හෝ උන්වහන්සේගේ නුවණින්
දක්නා නොලද්දක් නැත. සියලු ධර්මයෝද සියලු ධර්ම ජාතයෝද සියලු අයුරින් අවබෝධ කරන ලද
හෙයින් භාග්‍යවතුන් වහන්සේ “සමන්ත චක්ඛු” වූ සේක. සර්වඥ වූ සේක.
මෙසේ හෙයින් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සමතැසින්ද
(සර්වඥතා ඥානයෙන්) චක්ෂුර්මත් වූ සේක.
මාගේ ස්වාමී වූ, දෙව් මිනිසුන්ට ශාස්තෘ වූ, මාගේ ශාස්තෘ වූ, භාග්‍යවත් අරහත් වූ, සියලු ධර්මයන් විෂයෙහි පරිපූර්ණ වූ ඥාන ඇති , දශ බලධාරී වූ, චතුර්වෛශාරද්‍ය වූ , සකල සත්වයන් අතුරෙහි අනුත්තරීය
වූ අග්‍ර වූ, ධර්මයට ඊශ්වර
වූ, ධර්ම රාජ වූ, ධර්ම ස්වාමී වූ, තථාගත වූ සර්වඥ සම්මා සම්බුදු
රජාණන් වහන්සේ මෙසේ පසැස් ඇති සේක. පසැසකින් චක්ෂුර්මත් වන සේක. ඒ භාග්‍යවත් අරහත්
සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…!..!!…!!!
“ඝන අඳුර විනිවිඳින – මසැස් ඇති මුනි රජ
මියෙන උපදින මියෙන- ලෝ සතුන් දුටහ – නිමල දිවැසින
පැනැසින් කළහ එලි – බිඳ අවිදු මොහඳුර
යොමා බුදු ඇස මහා කුළුණින – බැලූ සත්වග එතෙර කරමින
මහා සමතැස සදා වඳිනෙමි – තබා හිස බුදු දෙපා පියුමග”
“මහා මුනිරජ ගොයුම් භගවා – පසැස් දසුනින් සකල දම් දැන
මහා බියකරු මහා සසරින් එතෙර වී- සත එතෙර කරමින
නිවා දුක ගිනි අමාදොර ඇර- දිනූ මරසෙන් විජය කරමින
මහා මුනිරජ සදා වඳිනෙමි – නමා හිස බුදු දෙපා පියුමග”
තෙරුවන් සරණයි.!!!
සසිත් රාජසූරිය.
http://lankacnews.com/sinhala/main-news/86310/
0 comments:
Post a Comment