Jan 29, 2013

ආගමික කල්ලිවලින් බෞද්ධ ජනතාව බේරා ගැනීම හැර මුස්‌ලිම් ආගමට එරෙහි කිසිදු කැරළි ගැසීමක්‌ නැහැ

ආගමික කල්ලිවලින්
බෞද්ධ ජනතාව බේරා ගැනීම හැර
මුස්‌ලිම් ආගමට එරෙහි
කිසිදු කැරළි ගැසීමක්‌ නැහැ

බොදු බල සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ
තුෂාරී කළුබෝවිල

බෞද්ධාගමිකයන්ට එරෙහිව නැගී එන ආගමික කල්ලිවලින් බෞද්ධ ජනතාව බේරා ගැනීම හැර මුස්‌ලිම් ආගමට එරෙහි කිසිදු කැරළි ගැසීමක්‌ නොකරන බව බොදු බල සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවැසූහ.

එහිමියෝ මෙසේ පැවැසුවේ ඊයේ (28 වැනිදා) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී ඥානසාර හිමියෝ තවදුරටත් මෙසේ ද පැවසූහ.

"අපි මුස්‌ලිම් ආගමිකයන්ට විරුද්ධ නැහැ. නමුත් මුස්‌ලිම් මූලධර්මවාදී අන්තයක්‌ මේ රටේ ක්‍රියාත්මක වෙනවා. එයින් විශාල අසහනයක්‌ බෞද්ධයින්ට ඇතිවී තිබෙනවා. මූලධර්මවාදී සංවිධාන 400 ක්‌ පමණ මේ රටේ ක්‍රියාත්මකව පවතිනවා. අපි ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරලා නැහැ. බෞද්ධ ජනතාවට අගතියක්‌ ඇතිකරවන ආකාරයේ මුස්‌ලිම් අන්තවාදී ක්‍රියාවන් පිළිබඳව අපි සොයා බලමින් ඒවා සමාජයට හෙළිදරව් කරනවා. එසේ කිරීමෙන් මුස්‌ලිම් ජනතාවට අපහාස කිරීමක්‌, විරුද්ධවීමක්‌ සිදුවන්නේ නැහැ. ලොව පිළිගත් සම්මුතීන්ට අනුව රටක බහුතර ආගමිකයන්ට, ප්‍රවේණි උරුමය ඇති ජාතියට ආතතියක්‌ ඇතිවන ආකාරයට ඒ රටේ කුඩා ආගම් ක්‍රියා නොකළ යුතුයි. අද මේ සම්මුතීන් බිඳ වැටෙමින් තිබෙනවා. අපි කතා කරන්නේ ඒ ගැනයි. මේ රටේ එදා කාලේ පටන් පැවතගෙන ආ සාම්ප්‍රදායික මුස්‌ලිම්වරු අපි ආරක්‌ෂා කර ගත යුතුයි. ඔවුන් රැක ගැනීම මහා ජාතිය හැටියට අපේ වගකීමයි. ලොව පුරා පවතින අන්තවාදී ගැටුම් නිසා මුස්‌ලිම් ආගමිකයන් 200 ක්‌ පමණ දිනකට මිය යනවා. අන්තවාදය සිංහල - බෞද්ධ වෙසින් ආවත්, දෙමළ - හින්දු වෙසින් ආවත්, ඉස්‌ලාම් - මුස්‌ලිම් වෙසින් ආවත් අපි එය පරාජය කළ යුතුයි. සිංහල බෞද්ධයින් භාර ගන්න ලෝකයේ කොහේවත් වෙන රටක්‌ නැහැ. අපට යන්න වෙන තැනක්‌ නැහැ. මේ නිසා සිංහල බෞද්ධ රට ඒ හැටියෙන්ම අපි රැකගත යුතුයි. මේ නිසා සිංහල බෞද්ධයන්ගේ රැකවරණය උදෙසා පාර්ලිමේන්තු තේරීම් කාරක කමිටුවක්‌ පත් කිරීම පිළිබඳව බොදු බල සේනා කෘතවේදිත්වය පළකරනවා.

පහරදීම හෝ බිය ගැන්වීම අපේ ක්‍රමය නොවෙයි. අපි කරන්නේ දැනුවත් කිරීමයි. ඒ දැනුවත් කිරීම හරි ප්‍රබලයි. හැබැයි සාමකාමීයි. අපේ ඉවසීම නිවටකමක්‌ ලෙස සලකනවා නම් අපි ඒකට විරුද්ධයි. මහා ජාතියට බලපෑම් කරන මුස්‌ලිම් මැති ඇමැතිවරුන්ට පකිස්‌තානයට ගිහින් බලපෑම් ඇතිකරන්න බැහැ. එහිදී ඔවුන්ව මරා දමාවි. රට ගැන, ජාතිය ගැන කිසිම හැඟීමක්‌ නැති, කුහක විදිහට හිතන හා හැසිරෙන සිංහල මෝඩයින්ට කතා කරලා රට ගැන හැඟීමක්‌ ඇති කරලා ඔවුන්ව නින්දෙන් පිබිදීම තමයි බොදු බල සේනා සංවිධානයේ අරමුණ වන්නේ.

අපි පසුගියදා ජනාධිපතිතුමා හමුවී විශේෂ සාකච්ඡාවක්‌ පවත්වමින් යෝජනා 5 ක්‌ ඉදිරිපත් කළා. ජනගහනය සීමා කිරීමේ පනත සංශෝධනය කිරීම, බුද්ධ ශාසනය කියන වචනය නිර්වචනය කිරීම, බෞද්ධ ප්‍රකාශන නියාමන පනත සංශෝධනය කිරීම, විහාර දේවාල සංශෝධිත පනත සම්මත කර ගැනීම ඇතුළු කාරනා ඊට ඇතුළත් වුණා. ඒ සඳහා ජනාධිපතිතුමාගෙන් ඉහළ ප්‍රතිචාර ලැබුණා. බොදු බල සේනා මුවාවෙන් රට පුරා තැන තැන පැවැත්වෙන හුදෙකලා ව්‍යාපෘති නැවැත්වීමට මැදිහත් වන ලෙස ජනාධිපතිතුමා ඉල්ලීමක්‌ කළා.

ජනාධිපතිතුමා පැවැසුවේ මේ රටේ මහා ජාතියක්‌ නැහැ. ශ්‍රී ලාංකික කියන හැඟීමෙන් කවුරුත් රටේ දියුණුවට වැඩ කළ යුතුයි කියායි. එහෙමයි කියලා ජාතික ගීය භාෂා තුනකින් නැවත නිර්මාණය කරන්න තරම් එතුමා අදූරදර්ශී තීරණ ගන්න එකක්‌ නැහැ. ජාතීන් අතර සමගිය ඇති කරන්න, ජාතික ගීය වෙනස්‌ කරලා වැඩක්‌ වෙන්නේ නැහැ. මීට වඩා ජාතීන් වෙසෙන රටවල්වලටත් එහෙම දේවල් වෙලා නැහැ.

බෞද්ධයන් තානාපති කාර්යාලවලට කේළාම් කියන්නවත්. පිටරටවලින් සල්ලි ගෙන්නා ගන්නවත් ක්‍රියාකරලා නැහැ. ජාතිවාදි අර්බුද ඇති කිරීමෙන් ඒවා පෙන්නලා අරාබියෙන් සල්ලි ගෙන්වා ගන්න නොයෙක්‌ සංවිධාන මේ රටේ බිහිවෙලා තියෙනවා. අපි ඒවාට ඉඩ නොදිය යුතුයි.

බුද්ධ ශාසනය, බෞද්ධ ජනතාව, සිංහල ජාතිය අපහාසයට පත්කරවන, සමච්චලයට පත්කරවන, විනාශ කරන ක්‍රියාවන්ට අපි ඉඩදෙන්නේ නැතැයි ඥානසාර හිමියෝ පැවැසූහ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ බොදු බල සේනා සභාපති කිරම විමලජෝති හිමියෝ මෙසේ පැවැසූහ.

"හැම නිෂ්පාදනයකටම "හලාල්" යෙදීම ගැන අපි විරුද්ධයි. ඉස්‌සර හලාල් යොදා තිබුණේ ආහාර වර්ග කිහිපයකට පමණයි. අද බොහෝමයක්‌ භාණ්‌ඩවල මෙය ඇතුළත් වෙනවා. අල්ලා දෙවියන් වෙන් කළ කෑම මුස්‌ලිම් උදවිය ගත්තාට කමක්‌ නැහැ. ඒවා බෞද්ධ ජනතාවට අවශ්‍ය නැහැ. ඒවා බුද්ධ පූජාවට තියන්න ඕනේ නැහැ. අද 4500 කට වැඩි භාණ්‌ඩ ප්‍රමාණයකට මෙම ලකුණ යොදලා බෞද්ධ ජනතාවට අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කළ දේවල් බලෙන් කවනවා. නියම බෞද්ධයන් නම් ඒවා වර්ජනය කළ යුතුයි.

බොදු බල සේනා නම පාවිච්චි කරලා රට පුරා විවිධ සංවිධාන බිහිවී තිබෙනවා. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අයිතිය පොලිසියට තිබෙනවා. එම කුඩා කණ්‌ඩායම් අපේ නම් භාවිත කරලා මුස්‌ලිම් ආගමට, එම ජාතීන්ට අපහාස වන ආකාරයට ක්‍රියාකරනවා. අපි ඒකට විරුද්ධයි. අපට අවශ්‍ය වන්නේ බෞද්ධ, මුස්‌ලිම්, හින්දු, කතෝලික කුමන හෝ ආගමිකයන් වුවත් ශ්‍රී ලාංකිකයන් හැටියට සහයෝගයෙන් ජීවත්වීමටයි. එයට බාධා කිරිම බරපතළ වරදක්‌ යෑයි එහිමියෝ පැවැසූහ.

මෙහිදී අදහස්‌ දක්‌වමින් එම සංවිධානයේ වැඩසටහන් සම්පාදක ඩිලන්ත විතානගේ මහතා පැවැසුවේ මේ අයුරිනි.

"මේ රටේ සිදුවන ගබ්සාවන් පිළිබඳව බොදු බල සේනා හඬක්‌ නැගුවේ හේතු ඇතුවයි. අදටත් මහා රෝහලේ ගබ්සා කිරීම් 80 ක්‌ පමණ සිදුවෙනවා. මෙයින් කාන්තාවන්ට, සිංහල ජාතියට වන හානිය ගැනයි අපි කතා කළේ. ඒවා විකෘති කර දක්‌වමින් ඇතැම් දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ගරන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා යෑයි කීවේය.

මෙම අවස්‌ථාවට විතාරන්දෙනියේ නන්ද, ඇඹිලිපිටියේ විජිත යන ස්‌වාමීන් වහන්සේලාද සහභාගි වූහ.

0 comments:

Post a Comment