Jan 31, 2013

ලෝක ආර්ථිකයේ අඳුරු සෙවණැලි...


මේ දිනවල එළවළු මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස්‌ තිබේ. ගිය වසරේ (2012) පැවැති නියඟය අපේ කෘෂි නිෂ්පාදිතයට අහිතකර ලෙස බලපාන ලදී. එම නියඟයෙන් පසු ලැබුණු අධික වර්ෂාව නිසාද වගා හානි සිදුව ඇත. පසුගිය "දිවයින ඉරිදා සංග්‍රහය" (27) වාර්තා කොට තිබූ පරිදි ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කුඹුරු අක්‌කර ලක්‍ෂ දෙකක වී අස්‌වැන්න අවදානම් තත්ත්වයට පත්ව ඇත. විශේෂයෙන් අම්පාර හා මඩකලපුව යන දිස්‌ත්‍රික්‌කවල වී අස්‌වනු නෙළීම ඉදිරි සති දෙකේදී සිදු කිරීමට නියමිත බැවින් පැසුණු වී අස්‌වැන්න වර්ෂාවෙන් විනාශ වීමේ අවදානමක්‌ මතුවී තිබේ. මෙලෙස ගිය වසරේ (2012) නියඟය මෙන්ම මේ වසරේ (2013) අධික වැසි ඇදහැලීමද කෘෂි නිෂ්පාදනයට අහිතකර ලෙස බලපා ඇත. එළවළු මිල ගණනක්‌ ඉහළ යැමට ද මේ තත්ත්වය හේතු වී තිබේ. මේ අධික එළවළු මිල ගණන් හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටින අතර මෙයට පිළියමක්‌ වශයෙන් සතොස අලෙවිසැල් හරහා මහජනතාවට සාපේක්‍ෂව අඩු මිලට එළවළු සැපයීමේ වැඩපිළිවෙළක්‌ ද සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය විසින් අරඹා ඇත. මෙලෙස කෘෂි නිෂ්පාදනය පැත්තෙන් දේශීය ආර්ථිකයට ඇති වූ අහිතකර තත්ත්වයන් මෙන්ම ලෝක ආර්ථිකයේ පවතින අහිතකර වාතාවරණයන් ද අපේ ආර්ථික ගමන්මගට මේ වසරේ (2013) දී අභියෝගයන් මතු කරනු ඇත.

පසුගිය කාලයේදී ලෝක ආර්ථික දැවැන්තයන් පසුබෑමට ලක්‌වූ අතරම, ලෝක ආර්ථිකය නොසන්සුන්තාවට පත් කළ එම සාධකයන් තවමත් මුළුමනින්ම පහව ගොස්‌ නොමැත. ඒ නිසාම ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන්නේ ද මන්දගාමීවය. මේ තත්ත්වය ශ්‍රී ලංකාව ද ඇතුළු නැඟී එන ආර්ථිකයන්ට අහිතකර ලෙස බලපෑම වැළැක්‌විය නොහැකිය. මේ නිසා අපගේ භාණ්‌ඩ සඳහා වන අපනයන ඉල්ලුම දුර්වල වීම මෙන්ම ඛනිජතෙල් සහ වෙනත් භාණ්‌ඩවල මිල ගණන් ඉහළ යැමේ අවදානමක්‌ ද තිබේ. මේ අතරම ගිය වසරේ (2012) පෙබරවාරි මස සිට ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් දියත් කළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම් නිසා රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ද මන්දගාමී විය. ඒ අනුව ගිය වසරේ (2012) ආර්ථික වර්ධනය සියයට 6.5 දක්‌වා අඩු විය. මෙකී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන්හි අහිතකර බලපෑම්වලට මේ වසර (2013) තුළදී ද මුහුණදීමට අපට සිදුවනු ඇත. මේ පසුබිම තුළ ලෝක ආර්ථිකයේ අඳුරු සෙවණැලි මැද, ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි ගමන් මග පිළිබඳව අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

මේ වනවිට ලෝකයේ සියලුම ආර්ථික කලාපයන්හි ආර්ථික වර්ධන අපේක්‍ෂා පහත වැටී තිබේ. ඒ නිසා මුල් ආර්ථික වර්ධන පුරෝකථනයන්ට සෘණාත්මක ගැලපීම් සිදුකොට, ආර්ථික වර්ධනය පිළිබඳ සංශෝධිත නව ඇස්‌තමේන්තු ද සකස්‌ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් 2012 වසරේ ඔක්‌තෝබර් මස ප්‍රකාශයට පත් කළ "ලෝක ආර්ථික ඉදිරි දැක්‌ම" (Wold Economic outlook, October 2012) ට අනුව 2011 වසරේ වාර්තා වූ සියයට 3.8 ක ලෝක ආර්ථික වර්ධනය 2012 වසරේදී සියයට 3.3 දක්‌වා අඩුවනු ඇතැයි පුරෝකථනය කර තිබිණි. එසේම සංවර්ධිත රටවල ආර්ථික වර්ධනය සියයට 1.6 සිට සියයට 1.3 දක්‌වාද, නැඟී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනය සියයට 6.2 සිට 5.3 දක්‌වා ද, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල ආර්ථික වර්ධනය සියයට 5.3 සිට සියයට 2 දක්‌වා සහ ආසියානු රටවල ආර්ථික වර්ධනය සියයට 7.8 සිට සියයට 6.7 දක්‌වාද 2012 වසරේ දී අඩු වන බව සිය "ලෝක ආර්ථික ඉදිරි දැක්‌ම" වාර්තාව මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබිණි. එහි සඳහන් පරිදි චීනයේ ආර්ථික වර්ධනය සියයට 9.2 සිට සියයට 7.8 දක්‌වා ද ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට 6.8 සිට 4.9 දක්‌වා සහ යුරෝ කලාපයේ ආර්ථික වර්ධනය සියයට 1.4 සිට සියයට සෘණ 0.4 දක්‌වාද ගිය වසරේ (2012) දී අඩුවනු ඇතැයි අපේක්‍ෂා කෙරුණි. මේ වසරේ (2013) දී මේ තත්ත්වයෙන් සමනය වී මෙම රටවල ආර්ථික වර්ධනයන් තරමක්‌ ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කරන නමුත් සංවර්ධිත රටවල පවත්නා ආර්ථික පසුබෑම වෙළෙඳ හා මූල්‍ය ප්‍රවාහ ඔස්‌සේ නැඟී එන සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට තවදුරටත් අහිතකර බලපෑම් ඇති කිරීමට ඉඩ තිබේ. මේ නිසා එම අහිතකර බලපෑම්වලට මුහුණදීමට ශ්‍රී ලංකාවටද සිදුවනු ඇත.
රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගන්නා ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් ආනයන වියදම් අඩු වී වෙළෙඳ හිඟය ද අඩු විය. ඒ අනුව 2012 වසරේ පළමු මාස නමයේදී වෙළෙඳ හිඟය, 2011 වසරේ මුල් මාස 9 ට සාපේක්‍ෂව සියයට 2.1 කින් අඩුවී තිබේ. මෙලෙස වෙළෙඳ හිඟයේ වර්ධනය වන තත්ත්වය පාලනය වී තිබුණත් අපගේ වෙළෙඳ හිඟයට ඉදිරියේදී අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබෙන අවදානම් සාධකයන් තවදුරටත් තිබේ. පසුගියදා නිකුත් වූ රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වාර්තාවේ 87 වැනි පිටුවේ ඇති පහත සඳහනින්a ඒ බව පැහැදිලිය.

"2011 දී භාණ්‌ඩ හා සේවාවන්ගේ ජාත්‍යන්තර වෙළෙ¹ම් ප්‍රමාණය සියයට 5.8 කින් වර්ධනය වූයේ 2009 දී වූ සියයට 10.4 ක සංකෝචනය වීමෙන් පසු 2010 දී සියයට 12.6 ක සැලකිsය යුතු වර්ධනයක්‌ ළඟා කර ගැනීමෙන් පසුව වේ. 2012 දී ලෝක වෙළෙ¹ම සියයට 3.2 කින් වර්ධනය වනු ඇතැයි අපේක්‍ෂිතය. පසුගිය වසරේදී වූ සියයට 4.4 ක වර්ධනයට සාපේක්‍ෂව සංවර්ධිත ආර්ථිකයන්හි ආනයන සියයට 1.7 කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. එම ආර්ථිකයන් සමග වෙළෙඳ සබඳතා ඇති අපනයන වෙළෙ¹ම මූලික කරගත් ආර්ථිකයන්ට මෙමගින් සෘණාත්මක බලපෑමක්‌ ඇති විය හැකිය. යුරෝපීය මූල්‍ය අර්බුදය සහ එක්‌සත් ජනපද ආර්ථිකයෙහි මන්දගාමීත්වය වර්ෂය පුරාම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවද ඇතුළුව ආසියානු අපනයන ආර්ථිකයන් හට අඩු විදේශීය ඉල්ලුම සහ ඒ හා සබැඳි අනෙකුත් ගැටලුකාරී තත්ත්වයන්a ඇති කරනු ඇත."

ප්‍රවාහනය මෙන්ම බලශක්‌ති ජනනය සඳහා ද අප විසින් ආනයනික ඛනිජතෙල් යොදා ගන්නා බැවින් ඉහළ යන තෙල් මිල මෙන්ම තිරිඟු මිල ගණන් ඉහළ යැමද ආනයන වියදමේ සැලකිය යුතු ඉහළ යැමකට හේතු විය හැකි අතර එය අපගේ වෙළෙඳ හිඟය වැඩි වීමටද හේතු විය හැකිය. එසේම මේ වසරේ (2013) දී දේශීය ආර්ථික කටයුතු ඉහළ මට්‌ටමකින් වර්ධනය වනු ඇතැයි අපේක්‍ෂා කෙරෙන බැවින් අන්තර් භාණ්‌ඩ සහ ආයෝජන භාණ්‌ඩ වඩා විශාල ප්‍රමාණවලින් ආනයනය කිරීමට ඉඩ තිබෙන බව මහ බැංකුව පෙන්වා දෙයි. එසේ වුවහොත් මේ වසරේදී ද ඉහළ වෙළෙඳ හිඟයේ අභියෝගයට අපට තවදුරටත් මුහුණු දීමට සිදු වේ. ලබන වසරේ (2013) වෙළෙඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 9 ක්‌ පමණ වනු ඇතැයි මහ බැංකුව විසින් ඇස්‌තමේන්තු කර ඇත.

විශේෂයෙන් ඉරානයෙන් අඩු මිලට ඛනිජතෙල් මිලදී ගැනීමට ඇති වී තිබෙන බාධාකාරී තත්ත්වය හමුවේ අපට වෙනත් මාර්ගවලින් ඛනිජ තෙල් මිලදී ගැනීමට වැඩි වියදමක්‌ දැරීමට සිදුවීමද වැළැක්‌විය නොහැකිය. මේ අනුව ඇමරිකානු ඩොලර්Êබිලියන 1.5 ක පමණ විශාල මුදලක්‌ ඛනිජ තෙල් මිලදී ගැනීමට අතිරේකව වැය කිරීමට සිදුවනු ඇතැයි අපේක්‍ෂා කරන අතර එසේ වුවහොත් මේ වසරේ (2013) මුළු ඛනිජ තෙල් ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක්‌ පමණ දක්‌වා ඉහළ යනු ඇතැයිද ගණනය කර ඇත. මෙය වෙළෙඳ ශේෂයට, මේ වසරේදී තවදුරටත් පීඩනයක්‌ ඇති කරන තත්ත්වයකි.

ගිය වසරේදී ආනයන වියදම් අඩුවුවත්, අපනයන ආදායම ද පහත වැටුණි. ගිය වසරේ (2012) ජනවාරි ඔක්‌තෝබර් කාලයේදී අපගේ අපනයන ආදායම් ඇමරිකානු ඩොලර් මිලියන 8163.8 ක්‌ දක්‌වා සියයට 6.4 කින් පහත වැටුණි. අපනයන පහත වැටෙමින් පවතින මේ ප්‍රවණතාව වළක්‌වාගෙන අපනයන වර්ධනය කර ගැනීමට අප විසින් දිගුකාලීන තිරසාර ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යය. එක රැයකින් හෝ කෙටි කලකින් අපනයන වර්ධනය කර ගැනීම ප්‍රායෝගික යථාර්ථයක්‌ නොවුණත් ඒ සඳහා අප දැඩි අවධානය යොමු කර ඵලදායි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය මොහොතකට අපි දැන් එළඹ සිsටිමු. මෙහිදී සාම්ප්‍රදායික අපනයන භාණ්‌ඩ හා අපනයන වෙළෙඳපොළවලට අමතරව අපනයන භාණ්‌ඩ සහ අපනයන වෙළෙඳපොළ (රටවල්) විවිධාංගීකරණයද අත්‍යවශ්‍ය වේ. අපනයන තුළින් අපට ලැබෙන්නේ ඩොලර් ආදායම්ය. විදේශ මුදල් වර්¨ගවලට සාපේක්‍ෂව අපේ රුපියලේ අගය ශක්‌තිමත්ව තබා ගැනීමට නම් අපට විදේශ විනිමය ආදායම් අත්‍යවශ්‍යය. ඒ සඳහා ඕනෑ තරම් අවස්‌ථා (විභවතා) තිබුණත් ඒවායින් නිසි ප්‍රයෝජන ගත හැකි සාර්ථක වැඩපිළිවෙළක්‌ නොමැතිකමේ අඩුවද අපට පෙනෙන්නට තිබෙන බව කනගාටුවෙන් වුවත් කිව යුතුය. 


ශ්‍යාම් නුවන් ගනේවත්ත

0 comments:

Post a Comment