ගීෂා නළඟනන්ගේ ජන්ම භූමිය ලෙස සැලකෙන ජපානයේ වුවද විනෝදාස්වාදය සැපයෙන නගර හා අවන්හල් හැරුණු කොට අද කාලයේ ගීෂා නළඟනක සොයා ගැනීම නිකිණි ඇති රටක් සොයනවාක් වැනි ඉතා දුෂ්කර කර්තව්‍යයකි. ඉතිහාසයේ කාලයක් පුරාවට සිය සොඳුරු රුවින් හා නර්තන විලාශයන්ගෙන් ජන හද බැඳ ගත් ගීෂා නළඟනන් අද වන විට ජපානයේ පවා මෙතරම් විරල අංගයක් බවට පත්ව ඇත්තේ ජපානයේ වෙනස් වන ආර්ථිකයත් සමග බිහි වූ විනෝදාස්වාදය සැපයීමේ නව සංස්ථාපිත ප්‍රතිපත්තීන් හේතුවෙන් ස්වභාවයෙන්ම අධි මිලැති විනෝදාස්වාදය සැපයීමේ අංගයක් වන සම්ප්‍රදායික ගීෂා ඉදිරිපත් කිරීම් රස වින්දන මාධ්‍යයන් වෙතින් ඉවතට තල්ලු වීම හේතුවෙනි. නිසාම මීට සියවසකට පෙරදී අසූදාහක ගීෂා නර්තන ශිල්පිනියන් පිරිසක් සිටි ජපානයේ අද වන විට ඉතිරිව ඇත්තේ දහසකට නොවැඩි ගීෂා නළඟනන් සංඛ්‍යාවකි. ගීෂා ලෝකයාට කණකොකා හඬලා ඇති මෙබඳු යුගයක ජපානයටම ආවේණික වූ මෙම අපූරු කලාවේ හෙට දවස සුරක්ෂිත කරනු වස් ගීෂා නර්තන ශිල්පිනියක ලෙසට සේවය කරන පුරුෂ පක්ෂයට අයත් එකම සාමාජිකයා වන ‘අයිටාරෝ’ සුවිශේෂී වන්නේ එහෙයිනි.
තෝකියෝවේ ‘ඕමෝරි හේට් දිස්ත්‍රික්කයේ ‘ඔකියා’ නමැති ‘ගීෂා මණ්ඩපයේ අධිපති ධුරය දරන අයිටාරෝ තවමත් විසිහය වන වියේ පසුවන ළාබාල තරුණයෙකි. ජපානයේ ආර්ථිකය ශීඝ්‍ර ලෙස කාර්මීකරණයට ලක්වෙමින් පැවැති අවධියේදී ‘ඕමෝරි හෝට්’ ප්‍රදේශයේ ගීෂා සංස්කෘතිය
උත්්කෘෂ්ට ලෙස වැජඹෙමින් පැවැති කාලවකවානුවකි. ඒ විසිවන සියවසේ මුල් භාගයේදීය. කෙසේ නමුදු 1980 වන විට එළැඹි ඉඩම් සංවර්ධන ව්‍යාපෘතීන්ට සමගාමීව දේශීය ගීෂා සංස්කෘතිය මුළුමනින්ම බිඳ වැටුණු අතර, ජපානයේ අනන්‍යතා ලකුණක් බඳු වූ මෙම අපූර්ව කලාව රැක ගනු වස් දක්ෂ ගීෂා නළඟනක වූ අයිටාරෝගේ මව ඉමහත් කැපවීමකින් ක්‍රියා කළාය. මීට තෙවසරකට පෙරදී මියයන තෙක්ම ගීෂා කලාවේ උන්නතිය වෙනුවෙන් කැපවී සේවය කළ සිය මවගේ අඩි පාරේම ගමන් කරමින් ඇගේ යුග මෙහෙවර ඉදිරියට ගෙන යාමේ වගකීම දෝතින්ම භාර ගන්නා ලද්දේ අයිටාරෝ විසිනි.
පිරිමි දරුවකු වුවද කලාකාරිනියක වූ සිය මවගේ ඇසුරේ හැදී වැඩුණු අයිටාරෝ හට ගීෂා සංස්කෘතිය අරුමයක් වූයේ නැත. සිය මවගේ ගීෂා සාදවලදී කාන්තාවක ලෙස නර්තනයෙන් සහය වීමට පටන් ගන්නා කල අවිටාරෝ දස විය සැපිරූ කොලු ගැටයෙකු විය. කෙසේ වතුදු සාම්ප්‍රදායික කාන්තා ගීෂා නර්තනාංග ඉගෙනගැනීම අයිටාරෝ අරඹන ලද්දේ අවුරුදු අටේදී වන අතර, සිය කුළුඳුල් රංගනය එකොළොස් වන වියට පා තැබිමත් සමග ජපානයේ ජාතික රංග ශාලාවේදී ඉදිරිපත් කිරීමට වාසනාවන්ත විය. සිය මවගේ හදිසි අභාවයෙන් පසුව ඇයගෙන් හිස්වූ ගීෂා නිවසේ ස්වාමි තනතුර භාරගත් අයිටාරෝ හා ඔහුගේ සොයුරිය වන මයිකා අද නර්තන ශිල්පීන් සය දෙනෙකුගෙන් සැදුම් ලත් ගීෂා කණ්ඩායමක පාලනය භාරව සිටියි. ඔහුගේ ගීෂා රඟදැක්වීම් කෙතරම් ජනාදරයට පත්ව ඇත්තේද යත් රූපවාහිනී හා වේදිකා ප්‍රසංග සඳහා අයිටාරෝට ඇත්තේ ඉහළ ඉල්ලුමකි.
ගීෂා සංස්කෘතිය දාහත් වන සියවසේ අගභාගයේදී ජපානයේ බිහිවූයේ විනෝදාස්වාදය සපයන ගම්මානවලදීය. ඒ පුරුෂ පක්ෂයට අයත් සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන්නාවූ අංගයක් ලෙසය. ක්‍රි.ව. 1700 මැදභාගයේදී කාන්තාවන් ගීෂා වෘත්තියට අවතීර්ණ වූ අතර පසුකාලීනව ගීෂා යනු මූලික වශයෙන් කාන්තාවන් ඇසුරු කර ගත් වෘත්තියක් බවට පත්ව තිබුණු නමුදු අදටද පිරිමි කිමෝනාවන්ගෙන් සැරසී කාන්තා ගීෂාවන්ගේ නර්තනයන්ට ගායනයෙන් හා බෙර වාදනයෙන් සහය වන පිරිමි ගීෂාවරු දැකගත හැක. කෙසේ නමුදු කාන්තා ගීෂා සාමාජිකයකු ලෙස කාන්තා කිමෝනාවන් ගෙන් සැරසී ගීෂා වෘත්තියේ නියැළෙන ජපානයේ එකම පුරුෂයා වනුයේ අයිටාරෝමය.
ප්‍රියන්ති රුද්‍රිගු
0 comments:
Post a Comment