Feb 27, 2013

අතීතයෙන් ඇසෙන අරුමැසි කතා


12-1බියවද්දන පැල්පත්
අප්‍රිකාවේ “ මුකුලීන්” ප්‍රදේශයේ ගෝත්‍රිකයන්ගේ පැල්පත් තනනු ලබන්නේ විලාප නගන වාමනයකුගේ රුව එහි බාහිර ස්වරූපයෙන් නිරූපණය වන ආකාරයටය. මේ ආකාරයේ බියකරු ස්වරූපයකින් යුතුව සිය නිවෙස් ඉදිකිරීම මගින් සතුන් හා සොරුන්ගෙන් එල්ල විය හැකි උපද්‍රව වලට එරෙහිව ආරක්ෂාව සැලසෙන බවට වන විශ්වාසයක් ඔවුන් අතර පැවැතීම මීට හේතුවයි.

දේවගැතිවරයාගේ දියණිය
මෙයින් නුවර හැලෝවෙල් හි විසු දේවගැතිවරයකුගේ දියණියක වූ ‘ ලුයිසා බෙල්ඩන්’ හට ඕනෑම යාච්ඤාවක් ඉතා නිවැරදිව මතකයෙන් කීම සඳහා  එය එක්වරක් පමණක් ශ්‍රවණය කිරීම ප්‍රමාණවත් විය.

නත්තලට පෙර දින සැඳෑවේ සිදු වූ  නව ලෝකයේ බිහිවීම
නව රටවල් සොයා දේශ පර්යාටනයේ නියැළුණු දේශ ගවේෂක “ ක්‍රිස්ටෝපර්” කොලොම්බස් ඇතුළු නාවිකයන් පිරිස රැගත් ‘ සැන්ටා මරියා’ නෞකාව හයිටි රාජ්‍යයට ඔබ්බේදී අනතුරට ලක්වූයේ ක්‍රි.ව. 1492 දෙසැම්බර් මාසයේ 24 දාය. එල්ල විය හැකි සතුරු උපද්‍රවවලින් ආරක්ෂාව සලසා ගැනීම සඳහා නාවිකයන් පිරිස කඩිනමින් බලකොටුවක් ඉදිකිරීමට පටන් ගත් අතර, එය ඇමරිකාවේ පිහිටු වූ පළමු ස්ථීර ජනාවාසය බැව් කියැවේ.

ලාංඡනයකට ඇතුළු වූ ඇටසැකිල්ල
උතුරු අයර්ලන්තයේ  ‘ ලන්ඩන්ඩරි’ වසමෙට අයත් ලාංඡනයේ දැක්වෙන ඇටසැකිල්ල මියගිය රදළයකුගේ මතකය වෙනුවෙන් ඊට ඇතුළු කරන ලද්දකි. කාලයක්   පුරා සිය ඥාතියකු විසින් සිරගත කරනු ලැබ, කුසගින්නේ හිඳ මිය  ගිය ‘වොල්ටාර් ඩී බර්ග්’ ගේ  සිරුර නෝර්ත් බර්ග් බලකොටුවෙන් සොයා ගන්නා කළ එය ඇටසැකිල්ලක් බවට පත්ව තිබිණි. සිය ඥාතියාගේ කුරිරු වද හිංසාවනට ලක් වී දුඃඛිත මරණයක් උරුම කර ගනු ලැබු වංශාධිපතියාගේ මතකය වෙනුවෙන් ඔහුගේ ඇටසැකිල්ල ඔහුගේ  වසමේ ලාංඡනයට ඇතුළු කරනු ලැබිණ.

සොරකමට එරෙහිව පළිගත් පාලම
ග්‍රීසියේ ක්ලිඩ් නුවර වූ  “ලුඩියාස්’ ගංගාව මතින් පිහිටි පාලමේ අද වන විට ඉතිරිව ඇත්තේ ආරුක්කුවක් පමණි. අඩි පනස් නවයක් දිගැති අඩි විසි තුනක් උසැති මෙම පාලම ආදි රෝමානුවන් විසින් ඉදිකරන ලද්දක් වන අතර, පසුකලකදී එය හුදෙක් ආරුක්කුවක් පමණක් බවට පත් වූයේ, එහි වූ සෙසු ගල් සියල්ලම සොරකමට ලක්වීම නිසාවෙනි.

ජූලියස් සීසර්ගේ ප්‍රීතිය 
ජූලියස් සීසර් අධිරාජ්‍යයා රෝමයේ ‍පොම්පෙයි නුවර දිනා ගැනීමේ ප්‍රීතිය සමරනු වස් පවත්වන ලද භෝජන සංග්‍රහයක් සඳහා අමුත්තන් එක් ලක්ෂ පනස් දහසක් ආරාධනා ලැබූ අතර ඔවුන්ට අසුන් ගැනීම සඳහා මේස විසිදෙදහසක් සකස් කොට තිබිණ. සිය ජයග්‍රහණයේ ප්‍රීතිය රටවැසි සියල්ලන්ටම පන්ති භේදයකින් තොරව ලබාදීම කෙරෙහි උත්සුක වූ නරේන්ද්‍රයා විසින් සිය අධිරාජ්‍යයේ වෙසෙන සියලුම දිළිඳු පවුල් වසරක කාලයකට සියලුම බදුවලින් නිදහස් කිරීමට තරම් කාරුණික විය.

කැරැල්ලකට තිත තැබූ මළ සිරුර
ප්‍රංශයේ තුන්වන හෙන්රි රජුට එරෙහිව කැරලි ගැසු වූලෝස් නුවර වැසියන් පාර්ලිමේන්තු කථානායකවරයා වු “ ෂෝන් ඩුරන්ට්” මරා දමන ලද්දේද එහි ප්‍රතිඵලයක් ලෙසිනි. සිය රජු කෙරෙහි දැඩි පක්ෂපාතිත්වයෙන් විසු  කථානායකවරයා ඝාතනය කොට ඉන් නොනැවතුණු කැරැලිකරුවන් තවදුරටත් ඔහුට අවමන් කරනු පිණිස ඔහු දැඩි ස්නේහයෙන් පසු වූ රජුගේ  රුව දැක්වෙන සිතුවමක් ඉදිරියේ මළ සිරුර සිටුවන ලදී. සිදුවූයේ නොසිතුවකි.
සෘජුව පිහිටුවා තුබු මළ සිරුර කිසිදු බාහිර බලපෑමකින් තොරව ලිස්සා ගොස්  සිතුවම ඉදිරියේ දණ ගසා සිටින ඉරියව්වකට පත් වූයේ කැරලිකරුවන් විස්මයෙන් මෙන්ම බියෙන්  මුසපත් කරමිනි. මළ සිරුරක් විසින් සිදු කළ එකී වික්‍රමයේ බලපෑම කොතරම් ප්‍රබල වීද කියතොත් කැරැල්ල එතැනම ලොප් කිරීමට එය සමත් වූ බව කියැවේ.

අඳුරට බියෙන් ආලෝකය නිපදවූවෙක්
රාත්‍රී අඳුර පලවා හරින විදුලි බල්බයේ නිර්මාතෘවරයා වන ‘ තෝමස් අල්වා එඩිසන්’ ස්වභාවයෙන්ම අඳුරට බියක් දැක්වූවෙකි. මූලික වශයෙන් සිය භීතිය ජය ගැනීමේ අරමුණින් විදුලි බල්බය ඔහු විසින් නිපදවන්නට ඇතැයි සිතිය හැක.
12-2
රුක්ලන්ති පෙරේරා (Ripley’s Believe It or Not ඇසුරිනි) 

0 comments:

Post a Comment