
එකක් ඇනා හතරක වටිනාකමකින් යුතු වූ මෙකී මුද්දරයේ දැක්වෙන වික්ටෝරියා රැජිනගේ උඩුකය රුව යටිකුරු ලෙස මුද්‍රණය කර ඇති මුද්දර දුසිමක් පමණ එහි පළමු මුද්‍රණයෙන් පසුව, ඉන්දියානු ජනතාව අතර අලෙවි කෙරී ඇත්තේ සිදු වූ මුද්‍රණ දෝෂය කාගේ කාගේත් අවධානයෙන් ගිලිහී යාම නිසයි.
දැනට මෙම මුද්‍රණ දෝෂය සහිත මුද්දර, ලොවට ඉතිරිව ඇත්තේ 20ක් 30ක් අතර සංඛ්‍යාවක් පමණක් වන අතර, පසුගියදා පවුම් හැත්තෑ දහසක ලංසුවක් යටතේ අලෙවි වූ මුද්දරය එකී ගොන්නේ වූ කිසිදු ආකරයක කැළැල් හෝ සලකුණුවලින් තොරවූවක් වීම නිසා එහි වටිනාකම ඉතා ඉහළය.

“Spink of London” වෙන්දේසි කරුවන්ගේ ආයතනය විසින් වෙන්දේසියේ විකිණීමට පෙර ප්‍රකට ඇමරිකානු මුද්දර එකතු කරන්නෙකු වූ ‘ රොබට් කැත්ලින්’ සන්තකයේ පැවැති මෙම මුද්දරය බඳු උඩු - යටිකුරු රූප සහිත මුද්දරවලට ඉතා ඉහළ ඉල්ලුමක් ඇති බව මුද්දර විශේෂඥයන්ගේ අදහසයි. බ්‍රිතාන්‍ය යටත් විජිතයේ රත්නාකරයක් බඳු වූ ඉන්දියාව තුළ පරිහරණය කෙරුණු මුද්දර සඳහා ක්‍රි.ව. 1901 දී වික්ටෝරියා රැජිනගේ අභාවය සිදුවන තෙක් ඇගේ උඩුකය රුව භාවිත කෙරී ඇත.
උඩු යටිකුරු මහරැජින රුව දැක්වෙන ඇනා හතරේ මෙම මුද්දරය බහුවිධ වර්ණ සංකලනයකින් යුතුව මුද්‍රණය කෙරුණු ලොව ප්‍රථම මුද්දර කීපය අතරටද ගැනෙන්නකි. රතු පැහැ රාමුවකින් යුතු එහි මැද දැක්වෙන රැජින රුව මුද්‍රණය කර ඇත්තේ නිල් පැහැයෙනි.
ප්‍රියන්ති රුද්‍රිගු
0 comments:
Post a Comment