Feb 7, 2013

නිරූපණ වේදිකාව ජයගෙන ජීවිත සිහිනය බොඳ කරගත් නිරූපණ ශිල්පිනිය


8-1වැ‍ලේරියා මේ වනවිට 39 හැවිරිදිය. නමුත් ඈ දෙස බලන්නෙකුට එසේ නොපෙනේ. ඇගේ මුහුණ බලා වයස කියන්නේ නම්, අවම වශයෙන් ඇයට වයස අවුරුදු 80ක්වත් විය යුතු යැයි ඔබට හැඟේ. ඇයට මෙවන් තත්ත්වයක් උදාවූයේ මීට වසර 10කට පමණ පෙරදීය. වැලේරියා කුඩා කල සිටම සිහින මැව්වේ මෝස්තර නිරූපණ ශිල්පිනියක් වන්නටය. එයට හේතුව, ඇගේ සිහින කුමරිය මෝස්තර නිරූපණ ශිල්පිනියක් වීමත්, විවිධ මෝස්තර සහිත ඇඳුම් අඳින්නට ඇය තුළවූ අසීමිත ආශාවත්ය. මේ නිසාම ඇය පාසල් අධ්‍යාපනය ලබන කාලයේ සිටම නිරූපණ ශිල්පිනියන් බඳවා ගැනීමේ පරීක්ෂණවලට සහභාගි වූවාය. අවස්ථා කීපයකදීම අවසන් වටයෙන් ඇයට ඉවත් වන්නට සිදුවූයේ, නිරූපණ ශිල්පිනියකට ඔබින සිහින් ඉඟටියක් සහ පුළුල් වටොරක් ඇයට නොතිබුණු නිසාය. බිලිඳු 8-3වියේ සිටම වැ‍ලේරියා පුෂ්ටිමත් සිරුරකට හිමිකම් කීවාය. ඒ නිසාම එම පුෂ්ටිමත් බව, ඇගේ සිහිනය ටිකින්ටික බොඳ කරමින් තිබිණි. තමාට හිමි පුෂ්ටිමත් සිරුරට ඇය වෛර කරන්නට පටන් ගත්තේ ඉන්පසුවය. ඉන් නොනැවතුණු ඇය දැඩි ශක්තියක් වැය කරමින් ව්‍යායාම්වල යෙදුණාය. ශරීරය නිසාම ඇය මානසික පීඩනයකටද පත්ව සිටියාය. වයස අවුරුදු 16 දී ඇගේ බර කිලෝ 63ක් විය. වෛද්‍ය මතය වූයේද ඇය තම ශරීරයේ බර අඩුකරගත යුතු බවය. ව්‍යායාම්වල යෙදීම අධික තෙහෙට්ටුවක් ගෙන දෙන ක්‍රියාවක් වීම නිසා මාසයකින් පමණ ඇයට එය එපාවී තිබිණි. ඇගේ මීළඟ උපක්‍රමය වූයේ සිරුරේ බර සහ මහත අඩු කිරීමට ආහාර පාලනය කිරීමයි. පාලනය කිරීම කෙසේ වුවද, ඇය ආහාර ගැනීම ශීඝ්‍ර ලෙස අඩු කළාය. ඒ අනුව ශරීරය වර්ධනය සඳහා අවශ්‍ය සියලුම ‍පෝෂ්‍ය පදාර්ථ ඇය වෙතින් ගිලිහී යමින් තිබිණි. කුඩා වැ‍ලේරියාට ඒ පිළිබඳව අවබෝධයක් තිබුණේ නැත. සතියක් ගතවන විට සිරුරේ බර කිලෝ 2.5කින් අඩුවී තිබෙනු දුටු ඇය, මහත් සතුටින් කාලය ගත කළාය.

බලා සිටින විට සිරුර කෙට්ටුවී තිබෙනු දුටු වැ‍ලේරියාගේ පාසල් මිතුරියන්, ඇය වටා රොක්වී සිරුර සිහින් කරගැනීමේ ‘රහස’ විමසන්නට වූහ. නමුත් ඇය කිසිවකුට එම රහස පැවැසුවේ නැත. මීට වසරකට පමණ පෙර පැවැති, පාසල් පාපන්දු තරගයකදී වැ‍ලේරියා නියෝජනය කළ නිවාසය පරාජයට පත්වී තිබිණි. කණ්ඩායමේ සියල්ලන්ම පාහේ තම පරාජය පිළිබඳව චෝදනා කළේ ඇයටය. ඇගේ ස්ථුල සිරුර නිසා තමන් පරාජයවූ බවත්, ඇය කණ්ඩායමේ සිටිනතාක්කල් තම කණ්ඩායමට කිසිදා ජයග්‍රහණයක් අත්කරගත නොහැකි බවත් ඔවුන් පැවැසූහ. එම සිදුවීමෙන් පසු ඇයට තම යෙහෙළියන් පිළිබඳව ඇතිවූයේ මහත් කලකිරීමකි. එම කලකිරීම නිසාම ඇය හුදෙකලා ජීවිතයක් ගත කළාය. ඉන් වසරකට පසු එදා තමාට කෙනෙහිලිකම් කළ මිතුරියන්, ඇය වටා රොක්වී සිරුර සිහින් කරගැනීමේ රහස් ගැන විමසීම, ඇයට මහත් අභිමානයක් විය.

සිරුර සිහින්වීමත් සමග ඇය නිරූපණ ශිල්පිනියක් වීම සඳහා සහභාගිවූ පරීක්ෂණවලින් ජයග්‍රහණය කර නිරූපණ ක්ෂේත්‍රයට පය තැබුවාය. වයස අවුරුදු 22 දී උස අඩි 5යි අඟල් 8ක්වූ ඇගේ බර කිලෝ 57කට ආසන්න අගයක් විය. උස ප්‍රමාණයට සාපේක්ෂව බර සුළු ලෙස අඩු වුවද ඇයට ඉන් ගැටලුවක් නොවුණි. අවුරුදු 16 සිට තමන් ඉදිරියට ගෙන ආ ආහාර රටාව කිසි ලෙසකින් වෙනස් වූයේ නැත. වයස අවුරුදු 22 දී කිලෝ 57ක් බරින් යුතු ඇය වයස අවුරුදු 24 දී තවත් කිලෝ 6කින් අඩුවී තිබිණි. ඇගේ සිරුරද මලානිකවී තිබූ අතර තමාට ඉතා ඉක්මනින් මහන්සිය දැනෙන ආකාරයක් ඇයට වැටහිණි. නමුත් සිය අවිවේකී ජීවන රටාවත් සමග සෞඛ්‍ය  තත්ත්වය පිළිබඳව නොවෙහෙසුණු ඇය නිරූපණ ශිල්පයේ පරතෙරටම ගමන් කිරීමේ අරමුණ ජීවිත අරමුණ බවට පත්කරගෙන තිබිණි.

මේ ආකාරයට කාර්යබහුල ජීවිතයක් ගත කළ ඇය නර්තන වේදිකාවට පිවිසීමේ අවස්ථාවක්ද උදාකර ගත්තාය. ඒ අනුව නිරූපණ ශිල්පයට අමතරව ඇය දිනපතා නර්තන පුහුණුවීම්වල යෙදුණාය. වැ‍ලේරියාගේ ජීවිතයට කණකොකා හඬන්නට පටන්ගත්තේ මේ අතරතුරය. සති කීපයක් දිනකට පැය 10 බැගින් නර්තන අංග 15ක් පුහුණුවූ ඇය නර්තන ප්‍රසංගයකට සහභාගි වූයේ හොඳම සහ දක්ෂතම නර්තන ශිල්පිනියට හිමි සම්මානය දිනාගැනීමේ අරමුණෙනි. ඒ අනුව ඇය පළමු නර්තන අංග 4 ඉතා සාර්ථක ලෙස ඉදිරිපත් කළාය. නමුත්් වෙන කවර දිනකටත් වඩා වැඩි තෙහෙට්ටුවක් මේ වනවිට ඇයට දැනෙන්නට පටන්ගෙන තිබිණි. කෙසේ හෝ ඉතිරි නර්තන අංග ඉදිරිපත් කළ යුතු බැවින් ඇය, වේදනානාශකයක් ලබාගෙන නැවත වේදිකාව මතට ගියාය. නර්තනය ආරම්භ වී විනාඩි කීපයක් තුළ නර්තන වේදිකාව තමා වටා කැරකෙන්නා බඳු හැඟීමක් ඇතිව ඇය වේදිකාව මත ඇද 
8-2වැටුණාය. විශාල ආලෝක ධාරාවක් ඇතුළුවෙමින් ඇගේ දෑස පියවී ගියේය.

නැවත සිහිය ලැබෙන විට ඇය සිටියේ මොනැකෝහි සුපිරි රෝහලකය. එන්නත් කටු කීපයකින් ඇගේ සිරුර විද, සිරුර තුළට දියර වර්ග කීපයක් ඇතුළු කරනු ඇය දුටුවාය. තමාට සිදුවී ඇත්තේ කුමක්ද යන්න දැනගැනීමේ අවශ්‍යතාව තිබුණද, තමා වටා සිටින කිසිවකුත් එය නොපැවැසීම ඇයට මහත් ගැටලුවක් විය. සති 2ක් රෝහල්ගතව සිටි වැ‍ලේරියාට, නිවසට යාමට අවසර ලැබුණේ මාස 6ක් විවේකීව සිටින බවට වෛද්‍යවරයාට ‍පොරොන්දුවූ පසුය. නමුත් ඇයට අවශ්‍ය වූයේ හැකිතාක් ඉක්මනින් නැවත නිරූපණ ශිල්පය සහ නර්තන ශිල්පය සමග එක්වන්නටය. නිවසට ගොස් විවේකීව සිටින අතර ඇය තම වෛද්‍ය වාර්තා සියල්ල ටිකින් ටික අධ්‍යයනය කළාය. තමාට ඇතිවූ අසනීපය හා සම්බන්ධ තොරතුරු අන්තර්ජාලය හරහා සොයන්නට පටන් ගත්තේ ඉන්පසුවය. අවසානයේ අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු අනුව ඇය තමාට සිදුවී ඇති දෙය දැනගත්තාය.

ඇය පෙළණු ලැබුවේ ඒදධපඥයඪච නොහොත් ‘ආහාර රුචිය නොමැති බව’ නම් රෝගී තත්ත්වයයි. මෙම රෝගය වැළඳුන විට ආහාර පිළිබඳ හැඟීමක් හෝ බඩගින්නක් නොදැනේ. ඒ නිසාම ඇනොරෙක්සියා රෝගීන්ට ආහාර අවශ්‍ය වන්නේ නැත. ආහාර නොගන්නා නිසාම, ශරීරය කෘෂ බවට පත්වන අතරම ශක්තිය නිපදවීමක්ද සිදු නොවේ. ඇනොරෙක්සියා රෝගයේ පළමු සහ දෙවන මට්ටමේ සිටින්නන්ට ඖෂධ සහ නිසි ලෙස ආහාර ලබාගැනීමෙන් එය සුව කරගත හැකිවේ. එසේ වුවද ඉන් පූර්ණ සුවය ලැබිමට අවම වශයෙන් වසර 6ක්වත් ගත වේ. රෝගී තත්ත්වය පිළිබඳව දැනගන්නා විට වැ‍ලේරියා පසුවූයේ එහි සිව්වන අදියරේය. එනම් ඇය ජීවිත කාලයේ කිසිම දිනක මෙම රෝගයෙන් සුවය නොලබයි. එපමණක්ද නොව ඇයට කිසි දිනක ගර්භණී තත්ත්වයට පත්වන්නට අවස්ථාවක්ද නොලැබේ. රෝගය නිසා මිය නොගියද, මරණය පැමිණෙන තුරු මරණය පැමිණ තමා රැගෙන යනතුරු බලා සිටිනවා හැරෙන්නට ඇයට වෙන කළ යුතු කිසිවක් නැත.

තම රෝගී තත්ත්වය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් දැනගත් පසුව වුවද ඇයට ශෝකයක් ඇතිවූයේ නැත. මන්දයත් මෙම රෝගය තමා විසින්ම තමා වෙත ළඟා කරගත්තක් වන බැවිනි. ඇය නිරූපණ ක්ෂේත්‍රය තුළ බැබළෙන්නට පටන්ගෙන තිබූ යුගයේ තරුණියන්  වැ‍ලේරියාට ලිපි එවමින්, සිරුර සිහින්ව තබාගන්නා ආකාරය පිළිබඳ විමසූ අයුරු ඇයට සිහිවිය. නමුත් වර්තමානයේ ඇයව දකින කෙනෙකු, සිරුර සිහින්ව තබාගන්නා ආකාරය පිළිබඳව ඇයගෙන් නොවිමසන බව නම් ඇයට හොඳ හැටි විශ්වාසය. වර්තමානය වනවිට ඇගේ සිරුරේ බර කිලෝග්‍රෑම් 22කි. එය ක්‍රමක්‍රමයෙන් අඩුවනු විනා කොතරම් ආහාර සහ ඖෂධ ලබාගත්තද යථා තත්ත්වයට පත් නොවන බව ඇය හොඳින්ම දනී.

මේ වනවිට ඇයගේ එකම බලා‍පොරොත්තුව, මවක්වීම වුවද, එය කිසි දිනක ඉටුකරගත නොහැකි බව ඇයට විශ්වාසය. ඒ නිසාම ඇය දරුවකු ගෙන සාදාගැනීමට සැරසී සිටී. නමුත් ඇගේ රෝගී තත්ත්වය නිසාම කිසිම ආයතනයක් ඇය වෙත දරුවකු ලබාදීමට ඉදිරිපත් වන්නේ නැත. ඉන් පළමුවන කරුණ ලෙස ඉදිරිපත් වන්නේ, ඇයට දරුවකු ඇතිදැඩි කරගන්නට තබා දරුවකු වඩාගැනීමට තරම්වත් ශරීර ශක්තියක් නොමැති බවයි. දෙවැන්න හදිසියේ හෝ දරුවා වැඩිවිය පැමිණීමට පෙර ඇය මියගියහොත් දරුවා පිළිබඳව වගකීමක් ගැනීමට කිසිවකුත් නොමැති වීමයි. මේ නිසාම ඇයට ‘වැදූ මවක්’ ලෙසට තබා ‘හැදූ මවක්’ ලෙස හෝ මවකගේ කාර්යභාරය  ඉටුකරන්නට ෙදෙවය අවස්ථාව ලබාදී නොමැති වීම ගැන දැඩි පසුතැවිල්ලකින් පසුවන්නීය.

ඇගේ රෝගී තත්ත්වය පිළිබඳව නොදන්නා සමහර රසික රසිකාවියන්, තවදුරටත් ඇයගෙන් ලිපි මගින් අසා සිටින්නේ ඇයගේ වැනි සිරුරක් ලබාගන්නා ආකාරය පිළිබඳවය. ඇය එම ලිපිවලට පිළිතුරු යවයි. ඒ සෑම පිළිතුරකම ඇත්තේ එක සමාන අදහසකි. “මමත් ඉස්සර ඔයාලා වගේ සිරුර සිහින් කරගැනීමේ ආශාවෙන් පසුවුණා. ඒ වෙනුවෙන් නොකළ දෙයක් නැතිතරම්. අවසානයේ මම සිරුර සිහින් කරගත්තා. මගේ සිහිනය සැබෑ වුණා. මුළු ලෝකෙම මට ලැබුණා වගේ හැඟීමක් ඇති වුණා. මා වටා විශාල රසික පිරිසක් එකතු වුණා. නිරූපණ සහ නර්තන වේදිකාවේදී රසික රසිකාවියන් මා සෙව්වා. මුළු ලෝකෙම මට ලැබුණා. ඒත් අවාසනාවන්ත විදියට මට අවශ්‍යම දෙය මට නැතිවුණා. දැන් මගේ ජීවිතය පවා මට අයිති නැහැ. මම මහත් ආඩම්බරයෙන් ආරක්ෂා කළ මගේ සිරුර ඇවිදින ඇටසැකිල්ලක් බවට පත්වෙලා. මම සිහින් වුණු ආකාරය මම ඔයාලාට කියලා දෙන්නෙ නැහැ. කෙටියෙන්ම කියනවා නම් මම ඔයාලාට මැරෙන හැටි කියලා දෙන්නෙ නැහැ. තමන්ට උරුම සිරුර ගැන සතුටින් සිටින්න. ඒක වෙනස් කරගන්න උත්සාහ කරන්න එපා. මිනිසාට වරදින්න පුළුවන් එක වතාවයි. නැවත වතාවක් වැරදුනහොත්, ඒක මුළු ජීවිතයටම බලපාන බව මතක තබාගන්න.”

දුලංජලී මුතුවාඩිගේ

0 comments:

Post a Comment