වනාන්තර, උස් තැනි හා කඳු වැටිවලින් හෙබි දකුණු ඇමරිකාව රහස් ගුලාවකි. එහි පැරණි ස්වදේශික මානවයන් විසූ ,නැති වී ගිය ශිෂ්ටාචාර විමර්ශනය කිරීම විශ්මයෙන් කුළුගන්වන්නකි.
ඉන්කාවරු හා 16 වෙනි සියවසේ යුද බලයෙන් රටවල් යටත් කරගත් ස්පාඤ්ඤවරු පැමිණීමට පෙර එරට වාසය කළ ජනතාව විසූ කඳුකර දුර්ග හා ගල් තලාවල ඇති නටබුන් ඇමරිකානු පුරාවිද්‍යාඥයන් හා බ්‍රිතාන්‍ය කෞතුකාගාරය භාර නිලධාරී මහාචාර්ය ජාගෝ කූපර් විසින් විමර්ශනය කරන ලදී. ඒ එකල ජනයා පිළිබඳ වැඩිදුර කරුණු දැනගනු පිණිසය.
පුරාවිද්‍යා මහාචාර්ය ජාගෝ කූපර් පේරු හි ඇන්ඩීස් කඳු වැටිය කරා ළඟා වූයේ එහි විසූ අබිරහස් චචාපොයා ජනයා පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සඳහාය. වලාකුළු මිනිසුන් ලෙස හැඳින් වූ එම ජනයා තම කතා වාර්තා කිරීම සඳහා යොදාගත් ක්‍රමවේද දියුණු කර ගත් ආකාරය පිළිබඳ මහාචාර්ය කූපර් අනාවරණය කර ඇත. එමෙන්ම හුවමාරු කරගන්නා ලද විදේශීය භාණ්ඩද සැතපුම් සිය ගණනක් වූ ඔවුන්ගේ භූමි ප්‍රදේශවලින් සොයාගෙන ඇති අතර පැරණි මානව චර්යාවන් පිළිබඳ උපකල්පනයන්ට අභියෝග කරන අවමංගල්‍ය සම්ප්‍රදායන් පිළිබඳවද අනාවරණය කර ඇත
මෙම පර්යේෂණයේදී හමු වී ඇති දැඩි බෑවුමක (පර්වතයක) පිහිටි සුසානාගාර විශ්මය දනවන සුළුය. ඒවා වසර 500 කාලයක් පුරා කිසිවකුගේ අවධානයට ලක් වී නොමැති අතර එම පර්වතය දකුණු ඇමරිකාවේ පිහිටි වඩාත් දර්ශනීය දුර්ගයන්ගෙන් එකකි.

ඒවායේ ඇතුළත ඇත්තේ වසර 500ක කාලයක් පුරා කිසිවකුගේ බාධාකිරීමකට ලක් නොවී වැතිරී සිටින ඇටසැකිලි නෂ්ටාවශේෂයන්ය. පර්වතයේ ඇතැම් ස්ථාන ගෙවී මටසිලුටු වී ඇත්තේ ඔවුන් නැවත නැවතත් එහි පැමිණි බවට ඉඟි කරමිනි. එමෙන්ම එහි ඇති අස්ථිද ප්‍රවේශමෙන් හා හිතාමතාම ස්ථානගත කර ඇති අතර එම ජනයා මළවුන් තැන්පත් කරලීම සඳහා ඒ සා දුරක් යන්නට ඇත්තේ
මළවුන්ගේ ආරක්ෂාව හා රැකවරණය උදෙසා විය හැකියයි සැලකේ. මන්ද, තම මුතුන්මිත්තන්ගේ නෂ්ටාවශේෂ ප්‍රදර්ශනය කිරීමෙන් තම භූමි ප්‍රදේශයට ඇති අයිතිය ප්‍රබල වන හෙයිනි.
තනූජා යටවතුර
0 comments:
Post a Comment