Jun 28, 2013

පිටරට වාහනවලට වැටුණු අපේ නම්

‘‘මචං මට  ඕනෑ හොඳ කනේ මයිල් මොඞ්ල් කාර් එකක්’’ මිතුරන්ට එසේ පවසමින් ‘‘කනේ මයිල් මොඩලයක්’’ සොයමින් ලංකාව පුරා ඇවිද ගිය ඡායාරූප

අත්තනායක මොඞ්ල්
මාධ්‍යවේදී මිතුරකු මට සිහිපත් වෙයි. අවසානයේ දී ලක්‍ෂ 5ක මුදලක් වැයකර කළු පැහැති කනේ මයිල් මොඩලයක් මිලට ගත් ඔහු උදම් ඇනුවේ ලක්‍ෂ 20කට ඉල්ලූවත් මේක නම් ආයෙ විකුණන්නේ නෑ යි පවසමිනි. 

මේ කනේ මයිල් මොඩලය වනාහි වෝක්ස්වැගන් මෝටර් රථය යි. අදටත් වෝක්ස්වැගන් මෝටර් රථයක් තමා සතු කරගන්නට ප‍්‍රිය කරන, තවත් අතෙකින් පැරැණි වාහනවලට ප‍්‍රිය කරන්නෝ සුලබ වෙති.
එහෙත් මේ වදන් වියමන පැරැණි වාහන ගැන නම් නොවේ. අන්වර්ථ නම් පටබැඳුණු අන්වර්ථ නමින්ම ජනප‍්‍රියත්වයට පත් වාහන පිළිබඳවය.
වෝක්ස්වැගන් කනේ මයිල් මොඞ්ල් වීමේ කතාන්දරය පසෙක තබා ලියන්නට අවැසි තවත් කරුණු කිහිපයක් තිබේ. එනම් වාහනවලට මෙසේ අන්වර්ථ නම් භාවිත වීමට බලපෑ පසුබිම කවරක් ද යන්න පිළිබඳවයි.
ඒ ඇතැම් වාහනවලට එලෙස වෙනත් නම් භාවිත වූයේ එම වාහනයේ හැඩය අනුවය. එමෙන්ම ඇතැම් වාහනවලට අන්වර්ථ නම් පබැඳුණේ ඒ වාහනය ද සම්බන්ධව සිදුවූ ප‍්‍රකට සිදුවීමක් කරණ කොටගෙනය. අනෙක් හේතුව නම් වෘත්තිකයින් අනුව, එනම් යම් වෘත්තියක නියැළෙන්නන් වෙනුවෙන්ම ගෙන්වන ලද වාහන එම වෘත්තිකයන්ගේ නම් සම්බන්ධ කොටගෙන අන්වර්ථ නමකට හිමිකම් කීමය. 

වාහනවලට මෙසේ අන්වර්ථ නම් තැබීමට පුරෝගාමී වූයේ තැරැව්කරුවන්ය. එදා අද මෙන් සන්නිවේදනය දියුණුවේ උච්චස්ථානයකට පැමිණ තිබුණේ නැත. වාහනයේ පින්තූරයක් ජංගම දුරකථනය ඔස්සේ ලබාගෙන එය ගැනුම්කරුවන්ට පෙන්වීමේ පහසුකම තබා ජංගම දුරකථනවත් එකල නොතිබුණේය. අනෙක් අතට කටට නුහුරු ඉංගිරිසි නම් කට පාඩම් කර ගැනීමට වඩා ඉහත කී සාධක ඔස්සේ ඒ වාහනය හැඳින්වීමට අන්වර්ථ නමක් යොදා ගැනීම සිංහලයට හුරු වූ
කනේ මයිල්
දෙතොලගට ද පහසුවක් වූයේය. තැරැව්කරුවන් විසින් මෙසේ පටබඳින ලද නම් අවසානයේ එම වාහනයේ නියම නම අමතකව යන මට්ටමට ජනප‍්‍රිය විය.
 
කනේමයිල්, රුක්මනී මොඞ්ල්, ජේ.ආර්. මොඞ්ල්, උපාලි පියට්, කාපේරි චවලට්, ඩොක්ටර් සනී, ඩෙලිකා වඳුරු මූණ, සමුළු කාර්, බොක්ස් මොඞ්ල්, රට බොඩි බෙන්ස්, අත්තනායක මොඞ්ල්, ඒ.එස්.පී. මොඞ්ල්, ලොටෝ මොඞ්ල්, බිංකුංඩා ට‍්‍රැක්ටරය, යුනිමෝ ලොක්කා, ඞීමෝ බට්ටා, ඞීමෝ බට්ටී, තැපැල් ලොරි, බටු සනී, ඉබ්බා මොඞ්ල්, බඞී. කිච් කිච් ඩෙලිකා කහකුරුල්ලා, පළාත් සභා ජීප් කී නොකී සියලූ වාහනවලට මෙසේ අන්වර්ථ නම් පටබැඳුණු ඉතිහාසය සතුව රසවත් කතාන්දර සමුදායකි. 


වෝක්ස් වැගන් මෝටර් රථය කනේ මයිල් නමින් හැඳින්වීමට හේතු භූත වූයේ එහි පිටුපස වීදුරුව ළඟ කනක් වැනි කොටසක් පැවතීමය. එහි ඉරි රටා තිබුණි. ඒ කොටස හැඩය අනුව ගත් කල මිනිස් කනකට සමානය. ඉරි රටා සහිත කනක කොටසක් වැනි වූ උපාංගයක් සහිත වෝක්ස්වැගන් මෝටර් රථයට කනේ මයිල් නම් අපූරු නමක් පටබැඳුණි. ඒ නමේ නිර්මාතෘවරයා කවුරුන්දැයි කීමට නොදන්නා නමුත් නම් බොහොමයක හිමිකරුවන් තැරැුව්කරුවන් බව නම් ඉහත කී පරිදිම සත්‍යයකි. ජේ.ආර්. මොඞ්ල් යැයි නම් තැබුණේ ලොරියකටය. දිගු නහයක් සහ පළල් නළල් තලයකින් හෙබි හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුහුණේ රුවට එම ලොරියේ මුහුණත සැබැවින්ම සමාන විය. සැබැවින්ම ඒ උපමාව එකල පවා රසයක් දනවන්නක්ම මිස  ජනපතිවරයකුට කරන අපහාසයක් නම් වූයේ නැත. තැරැුව්කරුවෙකු හෝ වෙනත් පුද්ගලයෙක් ජේ.ආර්. මොඩලයේ ලොරියක් යැයි පැවසූ විට ඒ ලොරියේ මුහුණත මනසේ පැහැදිලිව සිත්තම් වෙන තරමට එය එදා ජනප‍්‍රිය විය. දිගු නාසයේ හා මුහුණේ දිගටි හැඩය ඒ ලොරි මුහුණතේ ද කැපී පෙනෙන ලක්‍ෂණය ලෙස පිළිඹිබුව තිබුණි. 

රුක්මනී මොඞ්ල්
අතිශය ආදරණීය සිනමා තරුවක්ව ජනහදවත්හි ඉඩහසරක් වෙන් කරගත් රුක්මණී දේවිය අවාසනාවන්ත රිය අනතුරකට ගොදුරු වෙද්දී ඇය ගමන් කරමින් සිටියේ ටොයොටා හයිඒස් වෑන් රථයකය. 1970 දශකයේ අග භාගයේ දී නිෂ්පාදනය කළ එම වාහනය ටොයොටා හයිඒස් පරණ මොඞ්ල් ලෙස හැඳින්විණි. එම රිය අනතුර ශෝකයත් සමඟ ශේෂ කළ අනික් දෙය වූයේ රුක්මණී මොඞ්ල් යන වාහන නාමයයි. එදා සිට ටොයොටා හයිඒස් පැරැණි මොඞ්ල් වෑන් රථය රුක්මණී මොඞ්ල් යනුවෙන් බෞතීස්ම ලද්දේය. 

අත්තනායක මොඞ්ල් ලෙස හැඳින්වූයේ ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර භාවිත කළ ලාන්සර් වැගන් රථයයි. උලපනේ වතු යායක සැඟවී රහස්‍ය ජීවිතයකට පිලිපන් රෝහණ විජේවීර එදා සමාජයට යම් පමණකින් හෝ විවෘත වූවානම් ඒ විවෘත වූයේ අත්තනායක යන නමිනි. ඒ ‘අත්තනායක’ ගේ දෑත් මත විලංගු වැටෙද්දී ඔහු භාවිත කළේ ලාන්සර් වැගන් මෝටර් රථයයි. එනයින් එය එවක් පටන් ලාන්සර් වැගන් නමින් නොව අත්තනායක මොඞ්ල් නමින්ම ප‍්‍රචලිත වූයේය.
වෘත්තිකයින් අනුව අන්වර්ථ නම් යෙදුනු වාහන අතර ඩොක්ටර් සනී පෙරමුණෙන්ම සිටියි.
එෆ්.බී. 13 - ඩොක්ටර් සනී බවට පරිවර්තනය වූයේ එය 1990-93 යුගවල දී ආනයනය කළේ වෛද්‍ය වෘත්තිකයින්ට වෙන්වූ බලපත‍්‍රය වෙනුවෙන් වීම නිසාය. වෘත්තිකයින් වෙනුවෙන් වෙන්වූ තවත් වාහනයක් ජනප‍්‍රිය වූයේ ඒ.එස්.පී. මොඞ්ල් යනුවෙනි. ඒ පොලිසියේ ඒ.එස්.පී. නිලධාරීන් වෙනුවෙන් වෙන්වූ 18ශ්‍රී 19ශ්‍රී ලාන්සර් මෝටර් රථයයි.
මේ අතර වාහන සමාගම් අයිතිකරුගේ නමින් ජනප‍්‍රිය වූ වාහනයක් ද ඇත. ඒ උපාලි පියට් රථයයි. පියට් රථය මෙරට එකලස් කළේ උපාලි විජේවර්ධන නම් ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයා විසිනි. එහෙයින් පියට් රථය උපාලි පියට් යන නමින් හඳුන්වන්නට යෙදුනි. 

දෙවැනි ලෝක යුද සමයේ දී අප‍්‍රිකානු කළු ජාතික යුද භටයෝ මෙරටට පැමිණියහ. ඔවුන් ප‍්‍රවාහනය කිරීමට යොදාගත්තේ චවලට් ලොරියයි. කාපිරින් ගේ ගමනාගමනය සඳහා යෙදවූ චවලට් රථය ටික කලක් ඇවෑමෙන් කාපේරි චවලට් යන නමින් ජනප‍්‍රියත්වයට පත්විය.
ඩෙලිකා වෑන් රථය වඳුරු මූණ නමින් හැඳින්වූයේ එහි හැඩය හේතුවෙනි. 1970 දී ගෙන්වූ මිට්සුබිෂි වෑන් රථය බොක්ස් මොඞ්ල් නමින් හැඳින්වූයේ ද පෙට්ටියක හැඩය ගත් එහි බාහිර පෙනුම හේතුවෙනි.
1976 වසරේ දී සිරිමා බණ්ඩාරනායක යුගයේ දී නොබැඳි ජාතීන්ගේ සමුළුව ලංකාවේ දී පැවැත්විණි. එම සමුළුව සඳහා ගෙන්වන ලද එක් කාර් වර්ගයක් වූයේ පර්ජෝ 504 මෝටර් රථයයි. එය ගෙන්වන ලද්දේ ප‍්‍රංශයෙනි. ප‍්‍රංශයෙන් ගෙන්වන ලද පර්ජෝ 504 ගෙන්වූයේ සමුළුවේ ප‍්‍රවාහන කාර්යයන් සඳහාම වූ බැවින් එය පසිඳු වූයේ සමුළු කාර් යන නමින් ය. 

ලොටෝ මොඞ්ල් ඒ නමින් විවරණ ලද්දේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් හඳුන්වා දෙනු ලැබූ ලොටෝ ලොතරැයිය නිසාය. ටොයොටා සී.ආර්. 27 ටවුන් ඒස් වෑන් රථය එදවස ගම් දනව් සිසාරා ලොටෝ ලොතරැයිය බෙදාහරින්නට බහුල ලෙස භාවිත කෙරිණි. ලොටෝ ලොතරැ
ලොටෝ මොඞ්ල්
යියේ ගමන් මගට සරණක් වූ ටොයෝටා සී.ආර්. 27 ටවුන් ඒස් ලොටෝ මොඞ්ල් ලෙස ජනප‍්‍රිය වන්නට ගතවූයේ ද ඉතාමත් කෙටි කාලයකි.
එංගලන්තයේ ලියුම් බෙදීමට පාවිච්චි කළ රතු සහ නිල් පැහැයෙන් යුතු මොරිස් සමාගමේ නිෂ්පාදනය කළ ලොරිය ප‍්‍රකට වූයේ තැපැල් ලොරි යන නමිනි. නිසාන් වැනට් වෑන් රථයේ මුහුණත සිංහ මුහුණ හැඩය ගත් හෙයින් එය සිංහ මූණ නමින් ප‍්‍රකට විය.  නිසාන් බී-ටූ-ටෙන් මෝටර් රථය බටු ගෙඩියක් සේ කුඩා පිම්බුණු ආකාරයක් ගත්තේය. එහෙයින් එයට බටු සනී යන නම පටබැඳුණු අතර මොරිස් සමාගමෙන් නිෂ්පාදනය කළ මෝටර් රථයක් එහි හැඩය අනුව ඉබ්බා මොඞ්ල් නමින් ප‍්‍රකට විය.

සුසුකි, ඉසුසු, හොණ්ඩා, ඩයිහට්සු පොඩි වෑන් රථය ජනතා අතරට ගියේ බඞී යන නමිනි. පිටුපස දොර අරින විට කිචි කිචි ශබ්දයක් නැගුණ ඩෙලිකා වෑන් රථයට කිචි කිචි ඩෙලිකා යන නම පටබැඳුණු අතර ලංගමයට ගෙනා ලටෙක් බස් රථය එහි පැහැය අනුව කහ කුරුල්ලා නමින් ප‍්‍රසිද්ධ විය. පළාත් සභා මන්ත‍්‍රීන්ට ගෙන්වන ලද මිට්සුබිෂි ජීප් රථය ප‍්‍රසිද්ධියට පත්වූයේ පළාත් සභා ජීප් යන නමිනි. 

බිංකුංඩා ට‍්‍රැක්ටරය, යුනිමෝ ලොක්කා ඞීමෝ බට්ටා, හාඩිමෝ බට්ටී ඒ නම් ලද්දේ ද එහි හැඩය ප‍්‍රමාණය හා ‘‘සමකාලීන වර්ගයා’’ අතර ඊට හිමි ස්ථානය අනුවය. සැකෙවින්ම ‘‘උස, මහත, ප‍්‍රමාණය’’ අනුවය.
1959 දී ප‍්‍රවාහන සේවය ජනසතු කෙරිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ලංගමය බිහිවිය. ඒ හිටපු අගමැති ඇස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක යුගයේදී ය. ජනසතුවත් සමග ජර්මනියෙන් මෙරටට බස් රථ ගෙන්වන ලදී. පළමුවෙන්ම ලංකාවට ගෙන ආ එම බස් රථ රට බොඩි බෙන්ස් නමින් ජනප‍්‍රිය වූයේ ගමනාගමන මණ්ඩලයේ සේවකයන් හා මගීන් අතරය.
අද වෙද්දී තවත් වාහනයක් තවත් අන්වර්ථ නමකින් ජනතාව අතර ජනප‍්‍රිය වෙමින් පවතී. ඒ සන්ධ්‍යාවන්හි කුඩා මංමාවත් සිසාරා පාන් බනිස් ආදිය තබාගත් පුංචි කැබිනට්ටුවක් ද සහිතව ගමනේ යෙදෙන ත‍්‍රීවීල් රථයයි. 

හොඳින් කනට ඇසෙන නළා හඬක් සමඟ සවස තේ පානයට කෙටි කෑම බීම, රාත‍්‍රී ආහාරයට පාන් රැගෙන එන මේ වාහනය එහි නළා හඬ අනුව ජනතාව
පළාත් සභා ජීප්
අතර ජනප‍්‍රියත්වයට පත්ව ඇත්තේ චූන් පාන් යනුවෙනි. ඇතැම්විට අනාගතයේ දී ත‍්‍රීවීල් රථය චූන්පාන් මොඞ්ල් ලෙස ජනප‍්‍රිය වෙන්නට ද බැරිකමක් නැත. හැඩය, ප‍්‍රකට සිදුවීම් මෙන්ම වෘත්තිකයින් අනුව වාහනවලට අන්වර්ථ නම් යෙදුනා මෙන්ම වාහනවල මුහුණත හැඩයට සමානයැයි යන උපකල්පනය මත මිනිසුන්ට වාහනවල නම් යෙදෙන අවස්ථා ද ඇතැම් විට කනින් කොණින් අසන්නට ලැබේ.
ලොරි මූණා, ලොරියා එලෙස වාහනවල හැඩය අනුව මිනිසුන්ට යෙදුන නම්ය. මෙවැනි යෙදුම් සැබැවින්ම දනවන්නේ උපහාසයක් මිස අපහාසයක් නම් නොවේ. මෙකී වගතුග අප අපේ පන්හිඳට අකුරු කොට ගත්තේ ද එනිසාවෙන් ම ය.
 
(මාලඹේ පුංචි කාර් නිවෙස පෞද්ගලික සමාගමේ සභාපති සරත් යාපා බණ්ඩාර මහතා දැක්වූ සහයෝගයට අපගේ විශේෂ ස්තූතිය හිමිවේ.)
 

සටහන : සංජීවිකා සමරතුංග

0 comments:

Post a Comment